ඉදින් මේ තරම් පොත් කියවූ මා නිහඬව සිටින්නේ කුමටද? දැන් ඉතින් මා ද පොතක් ලිවිය යුතුය. ලිව්වෙමි. ඒ මාරක කතාවකි. වඩාත් නිවැරදිව කිව්වොත් රහස් පරීක්ෂක කතාවකි. ඞීමන් ආනන්ද තමාගේම වූ රහස් පරීක්ෂකයකු නිර්මාණය කරගෙන සිටියේය. ඔහු ”ඩිකී වීරකෝන්” ය. මටද අවශ්‍ය වූයේ එවන් රහස් පරීක්ෂකයකු නිර්මාණය කරගන්නටය. අවාසනාවට මා නිර්මාණය කළ රහස් පරීක්ෂකයාගේ නම දැන් මට මතක නැත.
මගේ දෙවන නවකතාව ලියවෙන්නේද හයේ පන්තියේදීම ය. එහි නම ”ලන්දේගම” නම් විය. එය ඒ යුගයේ ඉතා ජනප‍්‍රියව තිබූ මුදලිනායක සෝමරත්න මහතා ලියූ මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය අනුගමනය කරමින් ලියන ලද්දකි. මුවන්පැලැස්සේ වීරයා කදිරා වෙද්දී ලන්දේගම වීරයා ටිකිරා විය. මුවන්පැලැස්සේ ආරච්චිල වෙනුවට එහි සිටියේ රටේ මහත්තයෙකි.
තුන්වන නවකතාව එයිට වඩා මදක් ඉදිරියට ගිය එකකි. එය ලන්දේගම දෙවන කොටස විය. නම ”අලූත් ඉරක් පායලා” ය. ගමෙන් අතුරුදන් වන ටිකිරා වසර ගණනාවකට පසු ගමට පැමිණෙන්නේ සිංහල උගතකු ලෙසය. ගමේ පාසලක් පටන් ගන්නට ඔහුට අවශ්‍ය වෙයි. ඔහු ඒ වෙනුවෙන් ගමේ හයිකාරයන් හා කරන සටන සහ අවසානයේ සියලූ සතුරන් පරදවා පාසල පටන් ගන්නා ආකාරයත් මගේ කතාව විය. (මේ කාලයේ මා හය වන පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටි බවත් ”ගුරු ගීතය” කියවා නොතිබුණ බවත් මතකයේ තබා ගැනිම සුදුසු යයි සිතමි)
එයින් පසුව මා අතින් නවකතාවක් ලියවෙන්නේ උසස්පෙළ ඉගෙනුම ලබද්දී ය. එහි නම මතක නැත. ආදරය පිළිබඳ නැවුම් අද්දැකීම් ලබමින් සිටි ඒ කාලයේ ලියවුණේ ආදර කතාවකි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුණ කතාව මගේ සිත් ගත් බැවින් මුද්‍රණය කරගන්නට ආසාවක් ඇතිවිය. මා ලියන්නේ ගෙදරට හොරා බැවින් තාත්තාගෙන් ඒ සඳහා ආධාරයක් ලබාගන්නටත් නොහැකිය.
මේ කාලයේ මාතර ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන නම් ශිෂ්‍යාවක සිය නිර්මාණ එකතු කර ”අණබෙර ගසා කියන වගයි” නමින් පොතක් නිකුත් කර තිබුණි. මම නුගේගොඩ සරසවි පොත් හලින් (ඒ කාලයේ තිබුණේ නුගේගොඩ තැපැල් කාර්යාලය අසළ වූ කුඩා සරසවි පොත් හලකි) ඒ පොත මිලට ගතිමි. පොත ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබණේ ප‍්‍රදීප ප‍්‍රකාශකයන් විසිනි. මම මගේ පොතක් මුද්‍රණය කර දිය හැකිදැයි විමසමින් ඔවුන්ට ලිපියක් යැව්වෙමි.
”අපි ආධුනිකයන්ගේ නිර්මාණ ප‍්‍රකාශය සඳහා බාර නොගනිමු” යයි හැරෙන තැපෑලෙන් පිලිතුරු ලැබුණි.
ජයකොඩි සෙනෙවිරත්න ශූරීන්ගේ ”මල් මැණීකේ” නවකතාව මුද්‍රණයෙන් පිටවන්නේ මේ කාලයේදී ය. දයාවංශ ජයකොඩි සමාගමෙන් නිකුත්වන සෑම නවකතාවක්ම පාහේ මිලට ගන්නට පුරුදුව සිටි මම මේ නවකතාවද මිලට ගතිමි. නවකතාවේ අගට සෙනෙවිරත්න ශූරීන් විසින් ලියන ලද විශේෂ සටහනක් ද විය. තමන් ආධුනිකයන් ගණනාවකට අත දුන් ආකාරය එහි සටහන් විය. අහා.. මේ මා වෙනුවෙන්ම ලියූ සටහනකි.. මම මගේ නවකතාව ගැන කියා සෙනෙවිරත්න ශූරීන්ට ලිපියක් යැව්වෙමි. නවකතාව එවන්නැයි ඔහු ලියා එව්වේ ය. මම එය තැපැල් කර යැව්වෙමි. පැමිණ තමා හමුවන්නැයි ඉල්ලීමක් ඇති ලිපියක් ඔහු එව්වේ ය. මම නුගේගොඩින් පානදුර බසයේ නැග වලානේ බුදු පිලිමය ළඟින් බැස සුහද මාවත දිගේ ගොස් ජයකොඩි සෙනෙවිරත්න ශූරීන් හමුවීමි.
”ජගත්ගෙ භාෂාව හොඳයි. මං ඒකට කැමතියි. ඒත් ඉතින් තවමත් ඔයා පොඩි ළමයෙක්නෙ.. දැන්ම පොත් අච්චුගහන්න මහන්සිවෙන්නෙ නැතිව දිගටම ලියන්න” ඔහු කීවේය.
පොත් අච්චුගැසීම පිළිබඳ ආසාව මගෙන් ගිලිහී ගියේය. එහෙත් ලිවීම පිළිබඳව වූ ආසාව නමි ගිලිහී ගියේ නැත. නොකඩවා පුවත්පත් වලට ලිව්වෙමි.
මගේ පළමු පොත මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කියූ සිදුවීම් වලින් වසර විස්සකට පමණ පසුවය. ඒ පොත 1999 දී ආචාර්ය රෝලන්ඞ් අබේපාල මහතාගේ කාරුණික අනුග‍්‍රහයෙන් සාර ප‍්‍රකාශනයක් ලෙස නිකුත් වූ ”කන්ද උඩ මාලිගාව” නම් වන කෙටිකතා සංග‍්‍රහයයි.
මං ලියන්න ගිය රහස් පරීක්‍ෂක කතාවේ (එය නොලියවුනත්) ඉන්ස්ඵෙක්ටර්ට දාපු නම නම් මට ෙෑාඳට මතකයි. ඒ තමයි රණබාහු.
ReplyDeleteඉන් වසර දහයකටත් පසු මට ඇත්තටම රණබාහු කෙනෙකු හමුවුණු විට හරිම හුරු පුරුදු බවක් තමයි දැනුනේ.
හෙන්රි වරණකුලසූරිය ගේ පොත්වලත් ජයකොඩි සෙනෙවිරත්න ගේ නම සඳහන් වෙනවා ඔහුඑවූ ලිපියක් වැනි දෙයක් නිසා!
ReplyDeleteමා "විල්ලරවාඩිය" නවකතාව පූජා කළේ ජයසේන ජයකොඩි සූරීන්ටය.
Deleteමා තරුණ වියේ ලියූ නවකතාවක අත්පිටපතක් කියවා අඩුලුහුඬුකම් දක්වා මා දිරිමත් කරමින් ලිපියක් එවන්නට තරම් එතුමා කාරුණිකවීම ඊට හේතුවයි. පොතේ පිටපතක් එතුමාගේ දෙපා නමැද දෝතින් පූජා කරන්නට ලැබීම භාග්‍යයක්.
නවකතා කිහිපයක්ම ලිව්වාට මුද්‍රණද්වාරයෙන් මුලින්ම පිට කරලා තියෙන්නේ කෙටි කතා පොතක්නේ.මමත් පාසල් යන කාලයේ උතුරේ යුද්ධය ගැන කෙටි කතාවක් ලිව්වා මතකයි.එතකොට මම හිටියේ අට වසරේ වෙන්න ඕනේ.
ReplyDelete