Wednesday, July 13, 2016

හොඳ මිනිසුන් අතර සිට....

මෙලෝ වාසී සියල්ලෝම හොඳ මිනිස්සු වෙති. ඔවුන් තුළ අඩු වැඩි වශයෙන් නරක ද ඇත.


ඒ මට හිතෙන හැටිය. මිනිසුන්ගේ නරක අමතක කර හොඳ පමණක් දකින්නට මම සැමවිටම උත්සාහ කරන්නෙමි. එහෙත් එය සැම විටම සාර්ථක උත්සාහයක් නොවේ. සමහර මිනිසුන් තුළ ඇති නරක දිරවා ගත නොහැකි තරම් වූ විට ඉවසා සිටිය නොහැකි තරම් වූ විට ඔවුන් වෙතින් ඈත්ව සිටින්නට සිදුවූ අවස්ථාද නැත්තේ නොවේ. එවන් මිනිසුන් මට හමුවී ඇත්තේ අතළොස්සකි. එය සතුටකි. වැඩියෙන් ඇත්තේ හොඳ මිනිසුන් පිළිබඳ මතකයයි.


මම කලින් ලියූ ”තාර බැරල් කපාලා - ගල් රෝලෙන් තළාලා” සටහනට surangamlr විසින් ලියන ලද ”මිනිස්සුන්ට මනුස්සකමෙන් සැලකූ නිසා අදටත් ඔබ ගැන ඈත ගම්, කඳු මුදුන්, හෙල් මිටියාවත් වල මිනිස්සු කතාවෙනවා ඇත.” යනුවෙන් වූ අදහස මේ සටහන ලියන්නට මා පෙළඹවු සාධකකයි. ”හොඳ මිනිසුන්ගේ සිත් තුළ අප කළ දේ පිළිබඳ මතකය රැඳී ඇති බව අත්දැකීමෙන් දනිමි”යි මම ඔහුට පිළිතුරු දුන්නෙමි. ඒ ගැන ලියන්නට බොහෝ මතක සටහන් ඇතත් දෙකක් පමණක් ලියන්නට සිතුවෙමි.



ජාතික ආධුනිකත්ව මණ්ඩලය හා සාකච්ඡුා කර මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික කම්හලට කාර්මික හා විදුලි කාර්මික ආධුනිකයන් බඳවා ගන්නට අපි වරින් වර කටයුතු කළෙමු. එසේ බඳවාගත් තරුණයන් අතරින් එක් අයකු අපේ විශේෂ අවධානයට ලක්විය. ප‍්‍රධාන හේතුව ඔහු කම්හලට බාර දෙන්නට ආ ඔහුගේ සහෝදරයාය.


”සර් මං අසවල් ගීත රචකයා” ඔහු කෙළින්ම තමන් හඳුන්වා දුන්නේ ය. මම ඔහුගේ ගී පිළිබඳව දැන සිටියෙමි. ”මේ මගේ මල්ලි.. අපි අසවල් ව්‍යාපාරයට සම්බන්ධව වැඩ කරනවා. ඒත් අපි හිතුවා මේයා මොනවා හරි දෙයක් ඉගෙන ගෙන හිටියොත් හොඳයි කියලා. මේ ව්‍යාපාර අද තියෙනවා. හෙට නැති වෙනවා” ඔහු තමා සම්බන්ධව සිටින කලාත්මක නිර්මාණ බිහි කරන ව්‍යාපාරය පිළිබඳ විස්තරයක්ද කළේය. ”.. මෙයා වැඩිය තැළිලා පොඩි වෙලා නැහැ සර්” ඔහු කතාව අවසන් කළේ එසේය.

”බයවෙන්න එපා.. අපි හොඳින් එයා බලාගන්නම්” මම සහෝදරයා සනසනු වස් කීවෙමි.

තරුණයා බොහෝ උනන්දුවෙන් කම්ලේ පුහුණුව ලැබුවේය. මම ඔහු අමල් ලෙස හඳුන්වමි. ඒ ඔහුගේ නියම නම නොවේ. ඔහු ඉතා විනීත තරුණයෙක් විය. මම මට හැකි පමණින් ඔහුට අත දුන්නෙමි. කරුණාාවෙන් සැළකුවෙමි.


අමල් මුල් වසර එකහමාර ඉතා හොඳින් පුහුණුව ලද නමුත් එන්න එන්නම ඔහුගේ පැමිණිම අඩාල වෙමින් යන බව මට පෙනුණි.

”අමල් අයියලා එක්ක බිස්නස් වැඩ වලට යනවා සර්” අමල් පිළිබඳව විමසූ විට මගේ රියදුරා ව සිටි පියසේන කීවේ ය. මම කීපවතාවක් පියසේන යවා අමල් කම්හලට ගෙන්වා ගත්තෙමි.

”බිස්නස් කළාට කමක් නැහැ අමල්.. ඉස්සෙල්ල කෝස් එක ඉවර කරලා ඉන්න” මම ඔහුට අවවාද කළෙමි. ඒ හැම වතාවකට සතී කීපයක් පුහුණුවට පැමිණෙන තරුණයා යළි යළිත් පැමිණීම අතපසු කරන බවක් පෙනුණි.


”අපි යමු අමල්ගෙ ගෙදර” මම දිනෙක පියසේනට කීවෙමි. අපි මහරගම පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. තරුණයා ගෙදර සිටියේය. මගේ පැමිණීම ඔහු බලාපොරොත්තු නොවූවක් බව මට දැනුණි. ඔහුගේ පාඨමාලාවේ ඇති වැදගත් කමත් එය කෙසේ හෝ අවසන් කර සහතිකය අතට ගෙන තමන් කැමති රැකියාවක් කරන ලෙසත් මම ඔහුට අවවාද කළෙමි. ඔහු මගේ අවවාද සාවධානව අසා සිටියේය. ඊළඟ සතියේ යළි පහුණුවට වාර්තා කළේ ය.


මම ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණෙමි. වීඩියෝ කැසට් වලින් සහ පසුව සංගත තැටි වලින් මෙරටට එන ශ‍්‍රී ලංකාවේ රූපවාහිණි වැඩසටහන් මහත් උනන්දුවෙන් නරඹන මට අමල්ගේ නම නිතර පෙනෙයි.

”මේ මගේ වර්ක්ෂොප් ඒකේ ඉගෙනගත්ත දරුවෙක්” මම දන්නා හඳුනන අයට කියමි. අමල් සිය සහෝදරයින් සමගින් ඒ කලා ක්ෂේත‍්‍රයේ පරිපාලකයකු ලෙස ඉදිරියටම යමින් සිටින බව පෙනෙයි. අපූරුය.


වසර දොළහකට පමණ පසු ලංකාවට ගිය අවස්ථාවක මගේ මිත‍්‍ර කැලූම් පාලිත සවසක දුරකතන ඇමතුමක් දුන්නේ ය.

”අද හවසට අමල් මාත් එක්ක සෙට් වෙන්න එනවා..  මං එන්නං උඹව ගන්න”

අපි එක්තරා අවන් හලකදී හමුවීමු. එදා මගේ කම්හලේ සිටි කුඩා කොලූ ගැටයා උස් මහත්ව තරුණයකු වී සිටියේය. ඔහු සමග පැමිණි සේවකයන් කීපදෙනකු ඔහුගේ වාහනයේ සිටිනු මට පෙනුණි.

අපි මධුවිතක් තොළගාමින් ආ ගිය කතා කතා කළෙමු. සිසිල් බීම වීදුරුවක් තොල ගාමින් අමල් අප සමග එක්විය. තමන් නිරතව ඉන්නා ක්ෂෙත‍්‍රය පිළිබඳව ඔහු බොහෝ දේ කතා කළේ ය.

”මම සර්ව ගෙදරින් බස්සන්නම්”අප එන්නට පිටත් වන විට අමල් කැලූම්ට කීවේය. නුගේගොඩ අපේ මහ ගෙදර ඉදිරියේ පාර අයිනේ වාහනය නැවැත්තූ අමල් මට වාහනයෙන් බසින්නට දොර ඇරියේය. වාහනයෙන් බැස දොර වැසූ මම ඔහුගෙන් සමුගන්නට සැරසුණෙමි. මා යමක් කියන්නට පෙර තරුණයා මහ පාරේ දූලි ගොඩ මැද දණ ගසා මට වැන්දේය. මම මහත් කම්පණයෙන් ඔහු දෙවුරෙන් ඔසවා නැගිට්ටෙව්වෙමි. ඔහුගේ ඇසින් වට කඳුළක් කම්මුල් දිගේ රූරා ගලා යනු මම දුටුවෙමි.

”මං ගිහින් එන්නං සර්” මිමිණූ තරුණයා වාහනයට නැග්ගේය. ඔහුගේ වාහනය පාරේ ඈතින් නොපෙනී යන තෙක් මම ගේට්ටුව අසළ සිට බලා සිටියෙමි. හොඳ මිනිසුන්ගේ සිත් තුළ තැන්පත්ව ඇති හොඳ මතක කිසිදා නොමැකෙණ බව මම දනිමි.


දෙවන සිදුවීම එයට වඩා වෙනස් එකකි.


එය මාර්ග සංවර්ධන අධිකාරියේ වසර ගණනාවක සේවයෙන් පසු මම ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීම සඳහා මගේ ඉල්ලා අස්වීමේ ලියවිලි බාර දී තිබූ කාල වකවානුව විය.

අනතුරකට ලක්ව තිබූ අලූත්ම වාහනයක් රක්ෂණ සමාගම පැමිණ ගෙනයන තෙක් කම්හලේ පසෙක ගාල් කර තිබුණි. එක්තරා දිනෙක මේ වාහනයේ සවිකර තිබූ ඉතා වටිනා කැසට් වාදන යන්ත‍්‍රය කිසිවකු විසින් ගළවාගෙන ගොස් තිබුණි.

මට කළ හැකිව තිබූ පහසුම දෙය පොලීසියට එය පැමිණිළි කිරීමයි. ඉන්පසු සිදුවන පළමු දෙය පොලිසිය පැමිණ කම්හලේ මුරකාරයන් කුදලාගෙන ගොස් ගුටි ඇණ නැතිවූ භාණ්ඩය පිලිබඳ සොයා බැලීම බව මම දැන සිටියෙමි. එය මා දකින්නට කැමති දෙයක් නොවේ. ආයතනයේ නීති රෙගුලාසි පසෙක ලා වෙනස්ම පියවරක් ගන්නට මම සිතුවෙමි. මම කම්හලේ සියලූම සේවකයන් කාර්යාලයට කැඳෙව්වෙමි.

”මට ඔයගොල්ලන්ට කියන්න කාරණයක් තියෙනවා. අසුවල් වාහනයේ කැසට් එක කවුරු හරි ගලවගෙන ගිහින් තියෙනවා. ඒ වගේ එකකට  ඕනෙ කෙනෙකුට ආසා හිතෙනවා තමයි. ඒත් ඒක ගළවාගෙන යන එක වැරදි වැඩක්. මම මේ වර්ක්ෂොප් එකේ ඔයාල එක්ක අවුරුදු ගාණක් එකට හිටියා. ඔයාලගෙ දුක සැප බැලූවා. පාලකයෙක් වගේ නෙවෙයි. සහෝදරයෙක් වගේ මම ඔයාල එක්ක හිටියා. දැන් මම මෙතනින් යන්න යන වෙලාව. ඒ තිබි්ච්ච හොඳ හිත රැකගෙනම යන්න මම කැමතියි. හොඳ නිළධාරියෙක් හැටියට ආයතනයේ මට තිබිච්ච හොඳ නමත් රැකගෙන යන්න මම කැමතියි. ඒ නිසා මේ කැසට් එක නැවත වර්ක්ෂොප් එකට ලැබෙන්න  ඕනෙ. මේක ගත්තෙ ඔයාල අතරින් කෙනෙක්. ඒ කෙනා කවුද කියලා හොයා ගන්න මට අවශ්‍ය නැහැ. ගෙනිච්ච කෙනා කවුරු හරි කමක් නැහැ කැසට් එක නැවත ගෙනත් තියන්න. ගෙනිච්චා වගේම කාටවත් නොපෙනී ගෙනත් තියන්න. ගෙනත් තියලා යාලූවෙක් ලවා අපට කෝල් එකක් දෙන්න අන්න අහවල් තැන කැසට් එක තියෙනවා කියලා. එච්චරයි”

දින දෙකකට පසු නාඳුණන කටහඬකින් දුරකතන ඇමතුමක් ලැබුණි.

කැසට් ප්ලේයර් එක වර්ක්ෂොප් එකේ කන්ඩෙම් කරලා පැත්තක තියෙන ජීප් එකක සීට් එකක් යට තියෙනවා

මම මිනිසුන්ට ආදරය කරමි. එසේ නොකර සිටින්නට නොහැකි මෙවන් අත්දැකීම් මට අනන්තවත් ඇත. ඔබ සොයා යා යුතු වන්නේ හොඳ ය. එවිට ඔබට එය දකින්නට ලැබෙයි. ඔබ නරකම සොයා යන්නකු නම් ඔබට කිසිදා හොඳ දකින්නට නොලැබෙනු ඇත.

2 comments:

  1. අන්තිමට දීලා තියෙන ඔවදන නම් අගෙයි..

    ReplyDelete
  2. ඔය මිනිස්සු එකට එක්කහු වෙච්ච වෙලාවට තමුන්ගෙ ලොක්ක ගැන කතාවෙන එව්වා අහගෙන ඉන්න පුලුවන්නං හරි වටිනවා.

    ReplyDelete