Monday, May 15, 2017

චිත්තරපටි විස්තරය



අපේ තාත්තා ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ ක්ෂෙත‍්‍ර නිලධාරියකුව සිටි කාලයේ අපට ලංකාවේ තැනින් තැන පදිංචිව සිටින්නට සිදුවිය. ඉතිරිකිරීමේ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වුණේ කච්වේරි හරහා වීම නිසා තාත්තාට වරින් වර ලංකාවේ විවිධ කච්චේරි වලට මාරුවන්නට සිදුවිය. තාත්තා ඉතිරිකිරීමේ  ව්‍යාපාරයට බැඳුණ කතාව පසුව කියන්නට සිතමි.

මා ඉපදුණේ තාත්තා හම්බන්තොට කච්චේරියේ සිටි කාලයේදී ය. ඒ කාලයේ තාත්තා පදිංචිව සිට ඇත්තේ හුංගම බටඅත ය. මා කලින් කියා ඇති පරිදි බටඅත වෙල්යාය අවසන් වන තැන කොළඹ කතරගම පාර අයිනේ පිහිටි තාත්තා හැදූ කුඩා ගෙය බොහෝ දෙනෙකුට මතක ඇත්තේ ”බටඅත බීඩි කර්මාන්ත ශාලාව” යයි ලොකු අකුරින් එහි බිත්තියක ලියා තිබූ බැවින් ය. මා ඉපදුනේ ඒ කුඩා ගෙය හදන්නට පෙර ඒ කිට්ටුව තිබූ වෙනත් ගෙදරක බව මම අසා ඇත්තෙමි. මගේ උප්පැන්නයේ උපන් ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ බටඅත - හුංගම ලෙසයි.

ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ
රජත ජයන්තිය වෙනුවෙන්
1969 දී නිකුත් කළ මුද්දරය
මේ කාලයේ බටඅත යනු අලි වාසයක් වූ මහා කැලෑවකි.

”බටඅත කැලයෙන් ගෙනාපු රිලා හාමියේ නටපන් රිලා හාමියේ” කියන ගීතයක්ද ලංකා ගුවන් විදුලියේ ප‍්‍රචාරය වූයේ ඒ කැලෑවේ විශාලත්වය නිසාම ය. රාත‍්‍රි කාලයට අපේ ගේ වටේ ද අලි ගැවසුණ බව මම අසා ඇත්තෙමි.

මෙයින් වසර කීපයකට පසු මල්ලී ඉපදුණේ මාතර ඉස්පිරිතාලයේ ය.


අක්කාත් අයියාත් ඉපදී තිබුණේ තාත්තා ඉතිරිකිරීමේ ව්‍යාපාරයට බැඳෙන්නට පෙර නිසා ඔවුන්ගේ උප්පැන්න ලියවුණේ නුගේගොඩ මිරිහානේ අපේ ගමේදී ම ය. තාත්තා අම්මාත් මල්ලීත් මාත් නුගේගොඩ මිරිහානේ නවතා අයියාත් අක්කාත් සමගින් බදුල්ල ට පදිංචියට යන්නේ ඔහුට බදුල්ල කච්චේරියට ස්ථාන මාරුවක් ලැබෙන නිසාය. ඉතින් වසර ගණනාවක දුෂ්කර සේවයෙන් පසු තාත්තා නැවතත් කොළඹ හතේ ඇතුලත මල් පාරේ පිහිටි ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයට මාරුවන්නේ අපි සියලූ දෙනාටම එකම තැනක පදිංචිවන්නට වාසනාව ගෙන දෙමිනි. අපි නැවතත් අපේ මිරිහානේ මහගෙදරට එක්වූයෙමු.


මට කියන්නට  ඕනෑ වූ හැබෑ විස්තරය පටන් ගන්නේ මේ වැල් වටාරම් වලින් පසුව දැන් ය.


ඒ කාලයේ නුගේගොඩ මිරිහානේ දැන් ”බෝධිය පාර” යයි හඳුන්වන මොරගහ පටුමගේ අපේ මහගෙදර ඉතා කුඩා එකක් විය. ව්‍යාපාර දියුණු වීමෙන් පසු එතැනම තාත්තා තැනූ දෙමහල්  නිවස ඉන්පසු අපේ නිවහන වුවත් ඒ කාලයේත් මේ පාර මොරගහ පටුමග ම විය. ඇඹුල්දෙණියෙන් හැරී තලවතුගොඩට දිවෙන මහපාරෙන් වමට හැරෙන මොරගහ පටුමග බොරළු පාරක් විය. පාර පටන්ගන්නා තැන සිටම කන්ද ය. පාරේ වම්පැත්තේ පිහිටි තරමක් ලොකු පොල් ඉඩමේ පාරට පේන මානයේ සෙක්කුවක් විය. ඒ නිසා ඒ ඉඩමේ තිබූ නිවස සෙක්කු ගෙදර විය. එතැනම දකුණු පැත්තේ පන්සල ය. බෝ ගහක් සංඝාවාසයක් බණ මඩුවක් හැර වෙනත් ඉදිකිරීමක් එහි නොවීය. අඩුම වශයෙන් පන්සල වටා තාප්පයක් වත් නොවී ය.

වැඩි කල එලියක් නොතිබුණත් පන්සල අපේ ජීවිත වලට බොහෝ සෙයින් බලපෑවේ ය. ඒ බලපෑම් වලින් මා වඩාත් සතුටට පත්වන මතකය නම් පන්සල් බිමේ වාඩි වී නැරඹූ වාර්තා චිත‍්‍රපට පිළිබඳ මතක යයි.

මේ කාලයේ එක් එක් තානාපති කාර්යාල වලින් සිය මව් රටවල කටයුතු ප‍්‍රචාරය කරන්නට තරගයක් තිබුණා යය මට සිතෙයි. මේ අතරින් රුසියානු ඇමරිකානු චීන තානාපති කාර්යාල කැපී පෙනුණි. නැගෙනහිර හා බටහිර වශයෙන් දෙකට බෙදී තිබූ ජර්මන් තානාපති කාර්යාල දෙකද මේ තරගයේ සිටි බව මතක ය. ඒ අතරටම අපේ රටේ රජයේ වාර්තා චිත‍්‍රපට අංශයද විය.

චිත‍්‍රපටයක් පෙන්වන්නට සතියකට දෙකකට පෙර පන්සල් බිමේ තැනක පාරට පෙනෙනෙ ලෙස පෝස්ටරයකන් ඇලවෙයි. අහවල් තානාපති කාර්යාලයෙන් හෝ රජයේ චිත‍්‍රපට අංශයෙන් හෝ චිත‍්‍රපටයක් අහවල් දින සවස ප‍්‍රදර්ශනය කෙරන බව එයින් කියැවෙයි. අපි අදාල දිනයේ කල් ඇතිව පන්සලට පැමිණෙන්නෙමු. චිත‍්‍රපටය පෙන්වන්නට බඩුමුට්ටු පටවාගත් වෑන් රිය කල් ඇතිවම පැමිණ තිබෙයි. නමුත් සමහර දිනවල වෑන් රථය එනතෙක් බලා සිටින්නටද සිදුවෙයි.

අප බලා සිටියදී වෑන් රථයෙන් බඩු මුට්ටු බිමට බෑවෙයි. තරමක් විශාල තිරයක් ගසක හෝ ඔවුන් ගෙන එන ආධාරක මත හෝ එල්ලෙයි. ප්‍රොජෙක්ටර් ක‍්‍රියාකරු වහ වහා ප්‍රොජක්ටරය සවි කරයි. ඒ කාලයේ අපේ ගමට විදුලිය නොතිබුණේ ය. වෑන් රථයේ ගෙන එන කුඩා විදුලි ජනක යන්ත‍්‍රයෙන් ප්‍රොජෙක්ටරයට විදුලිය ලැබෙයි. අපි මැජික් මෙන් බලා සිටියදී ප්‍රොජෙක්ටර් ක‍්‍රියාකරු චිත‍්‍රපට රීල් සවිකර ප්‍රොජෙක්ටරය නිසි ලෙස තිරයට එල්ල කර සකස් කරයි.

අපි නොයිවසිල්ලන් බලා සිටිමු. පළමු ආලෝක කදම්බය තිරය මත පතිත වත්ම සැවොම කඩිමුඩියේ බිම තණකොල බිස්සේ වාඩි වෙති. චිත‍්‍රපටය ඇරඹෙයි.

සමහර දිනෙක විදෙස් රටක නිපදවූ කාටුන් චිත‍්‍රපටයකි. ඒ අතරට බොහෝ විට ඒ රටවල කටයුතු විස්තර කෙරෙන වාර්තා චිත‍්‍රපට ය. ඒවා අපට නිරස නොවෙයි. අපි මහත් ඇල්මෙන් බලා සිටිමු. ඇත්තම කිව්වොත් තිරය මත රූප පතිත වන මොකක් පෙන්නුවත් අපි සතුටු වීමු.

රජයේ චිත‍්‍රපට අංශයෙන් පෙන්වන්නේ රජයේ වැඩ කටයුතු පිළිබඳ විස්තර සහිත චිත‍්‍රපට ය. ඒකාලයේ තිබුණේ ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුව ය. ඉන්පසු සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ය. මේ දෙකෙන්ම පෙන්වූ වාර්තා චිත‍්‍රපට අපි නරඹා ඇත්තෙමු. වගා සංග‍්‍රාමය නිදහස් උත්සවය කර්මාන්ත ප‍්‍රදර්ශනය වැනි නොයෙකුත් පුවත් මේ චිත‍්‍රපට වලින් අපට දකින්නට ලැබෙයි. සමහර දිනෙක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ චිත‍්‍රපටයකිි. යම්කිසි සෞඛ්‍ය ප‍්‍රශ්නයක් පිලිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නිපද වූ චිත‍්‍රපට ඒ අතර වෙයි. එය අපූරු සන්නිවේදන ක‍්‍රියාවලියකි. රූපවාහිනී ඇති මේ යුගයේදීවත් ඒ තරම් මිනිසුන්ගේ සිත් වලට කා වදින සන්නිවේදනයක් නොකෙරේ යයි මට සිතෙයි.

ඩඞ්ලි සේනානායක රජයේ වගා සංග‍්‍රාමය වෙනුවෙන් නිපදවූ රන්වන් කරල් අර්ධ වාර්තාමය වෘත්තාන්ත චිත‍්‍රපටය අප නැරඹුවේ මිරිහානේ පන්සල් බිමේ වාඩිවීගෙන ය.

රන්වන් කරල් වගේ 
මූණේ සිනා ඇගේ 
දුටුවම සිත මාගේ
බැඳුණෙ ආදරේ
ආලෙ බැන්ද මාගෙ පණේ
සෝමාවතී
මගේ සෝමාවතී

1968 දී තිරගත වූ රන්වන් කරල් ආචාර්ය සිරි ගුණසිංහ ගේ අධ්‍යක්ෂණයක් යයි මගේ මතකය කියයි. සංගීතවත් කළේ සෝමදාස ඇල්විටිගල විය යුතු ය. ප‍්‍රධාන නිළිය වූයේ පුණ්‍යා හීන්දෙනිය යි

පන්සල් බිමේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ඉතා සුමට සුගම එකක් නොවී ය. සමහර විටෙක ශබ්දය නෑසී යයි. තවත් සමහර විටෙක චිත‍්‍රපට රීලය කැඩෙයි. විදුලි උත්පාදන යන්ත‍්‍රය නැවතෙයි. ඒ ඒ අවස්ථා නිසි ලෙස කළමණාකරනය කරගන්නට ප‍්‍රක්ෂෙපන යන්ත‍්‍රයේ ක‍්‍රියාකරු සමත් ය. ඒවා ඔහුට හොඳහැටි පුරුදු අලකලංචි ය.

රාත‍්‍රී නවය දහය වන විට චිත‍්‍රපට දර්ශනය අවසන් වෙයි. අපි කතා බස්වලින් කලූවරේම නිවෙස් බලා යන්නෙමු. ගමෙන් කාලක් වත් පන්සල් බිමේ සිටිය නිසා පාලූවක් දැනෙන්නේ නැත. මග දිගට කතා කරන්නට බොහෝ දේ ඒ කුඩා වාර්තා චිත‍්‍රපට අපේ සිත් තුළ ඉතිරි කර ඇත.

දැන් මම ආපසු හැරී බලමි. චිත‍්‍රපට පිළිබඳ අපේ ඇල්ම බැල්ම පිස්සුව මුළින්ම ඇවිලූවේ මේ වාර්තා චිත‍්‍රපට නොවේදැයි මට සිතෙයි.

ජීවිත ඇරඹෙන්නේ මේ කුඩා දියපහරවලින් ය. 
ඒවා මහා ගංගා වීම හෝ නොවීම හෝ පසුව අප මුහුණ දෙන සමාජ සංසිද්ධින් විසින් තීරණය කරනු ලබන්නකි.


4 comments:

  1. ගලහිටියාව සෙන්ට්‍රල් පිට්ටනියේ මං මේ වගේ වාර්තා චිත්‍රපටයක් දෙකක එක දවසක නරඹා ඇති බව මතකයි. ඉන් එකක් ඉතිරි කීරීම ගැන සැදුණු එකක් වගෙයි මතක.

    ReplyDelete
    Replies
    1. ඔව් රසික.. ඉතිරිකිරීමේ ව්‍යාපාරය ගැන හැදුණ වාර්තා චිත‍්‍රපටත් තිබුණා..

      Delete
  2. සරසවිය කතෘ රුපවාහිනි වැඩසටහනකදී කිව්වා වර්තමානයේ සිනමා රසිකයින් චිත්‍රපටි බලනවාට වඩා ඉස්සර මිනිස්සු චිත්‍රපටි බැලුවා කියන කතාව ඔහු පිළිනොගන්නා බවට.ඔහු කිව්වේ ඉස්සර චිත්‍රපටි බලන්න තිබ්බේ සීමිත අවකාශයක් වුනත් අද වෙනකොට තාක්ෂනයේ දියුණුවත් එක්ක සිනමාශාලා වලට නොගිහින් මේ චිත්‍රපටි බලන්න ඕන තරම් අවස්ථා ඇති බව සහා එසේ චිත්‍රපටි නරඹන රසිකයින් බොහෝ ඉන්නා බව.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන යමක් කියන්නට දන්නෙ නැහැ මනෝජ්.. ඒහෙම සන්සන්දනයක් කරන්න මම දන්නෙ නැහැ... හැබැයි එක දෙයක් දන්නවා.. එදා චිත‍්‍රපට බලලා අපට කතා කරන්න ගොඩක් දේ ඉතිරි වුනා.. දශක ගණනාවකට පස්සෙත් අදත් අපි ඒව ගැන කතා කරනවා.. කතා කරන්න දේ තියෙනවා.. අද එහෙම ද කියන එක ප‍්‍රශ්නයක්..

      Delete