Monday, March 26, 2018

ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න 2

හිතා මතා නොකළත් ජීවිතේ සමහර දේ සිදුවී ඇත්තේ යම්කිසි සැළසුමකටමය. ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නයත් එහෙම එකකි. ඒ ගැන කියන්නට පෙර තවත් බොහෝ වැල් වටාරම් කියන්නට සිදුවෙයි. කමත්වා. මේ කියන හැම දෙයක්ම මගේ කතාවට අදාල ය.


මම කුඩාකාලයේ සිටම අඳින්නට කැමැත්තක් සහ යම් දක්ෂතාවක් තිබූ දරුවකු වීමි. අපේ මාමා වූ නැසීගිය චිත‍්‍රශිල්පි ස්ටීවන් ගුණතිලක ගෙන් චිත‍්‍රශිල්පයේ ”අ”යන්නද ඉගෙන ගත්තෙමි. අඳින්නට තිබූ ආසාව නිසා ටික කාලයක් මිහිර පත්තරේට පැංචා නමින් කාටුන් එකක්ද ඇන්දෙමි.


ජීවිත කාලයටම හිතේ කොණක පුංචි වේදනාවක් ඇති කරමින් තිබෙන ඉතා කුඩා සිදුවීමක්ද මේ ඇඳීමේ කතාවට සම්බන්ධව තිබේ. වට වංගුවේ යන ගමන් එයද ලියන්නෙමි.


හතරේ පන්තියේ සිටියදී මා ඉගෙන ගනිමින් සිටියේ තලපත්පිටියේ් ඉස්කෝලේ හෙවත් කො/ද උඩහමුල්ල බෞද්ධ කණිටු විදුහලේ ය. අපේ පන්තිය තිබුණේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත ය.


(ඒ කාලයේ මේ වේදිකාව මත ලියතඹරා නමින් වේදිකා නාට්‍යයක් පෙන්වූ අයුරුත් මතකය. ශාලාව දෙපැත්තේ කොට බිත්තිවලට උඩින් පොල් අතු බැඳ ශාලාව කලූවර කර පෙන්වූ ඒ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ අපට වඩා පන්තියක් ඉහළින් සිටි රෝයි ජයවර්ධන ය. ඩොමී ජයවර්ධනගේ පොඩි පුතා ය. මාධ්‍යවේදිනී බුද්ධිනී ජයවර්ධනගේ තාත්තා වූ රංග ශිල්පි සහ ගායක නිහාල් ජයවර්ධනගේ මල්ලී ය. ”රොණට ඇදෙන සමණලියක” ගීය ගයන්නේ නිහාල් ජයවර්ධන ය. ටයිටස් තොටවත්ත සූරීන්ගේ "තෙවත" නම් වූ කෙටි චිත‍්‍රපට තුනක එකතුවේ ආ "අහල පහල" කෙටි චිත‍්‍රපටයේ නිහාල් රඟපෑවේ ය.

අපේ පාසලේ නාට්‍යයේ පෝස්ටර් ගසා තිබුණේ ”පුංචි ඩොමී රඟන ලියතඹරා” කියා ය. අද මේ අයිය මලෝ දෙදෙනාම අප අතර නැති එක ගැන කණගාටු ය)


පාසලේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත වූ හතරේ පන්තියේදී මට හොඳ යහලූවෙක් සිටියේ ය. ඔහුගේ නම මිල්රෝයි විය. අද කොහේ සිටිනවාදැයි නොදන්නෙමි. පන්තියේ කොට බිත්තියෙන් පැනගොස් අල්ලපුවත්තේ ආච්චිගෙන් පොල් රොටි සහ ලූනුමිරිස් ගෙනැවිත් මට දුන්නේ මිල්රෝයි ය. ජීවිතේටම කෑ රසම පොල් රොටි ඒ පොල් රොටි ය.


එක් දිනක් සෞඛ්‍යය පාඩම උගන්වන්නට ආ තරුණ ගුරුවරිය පන්තිය සිසාරා බැල්මක් හෙළා ප‍්‍රශ්නයක් ඇසුවා ය.

”කාටද පන්තියේ හොඳටම අඳින්න පුලූවන්?”

”ජගත්ට ජගත්ට..” කොල්ලෝ කෑගැසුව හ.

”කමලාට කමලාට..” කෙල්ලෝ කෑගැසුවහ.


කොල්ලන්ගේ කෑ ගැසීම යටපත් කරන්නට කෙල්ලන්ගේ කටහඬට නොහැකිය. ගුරුතුමිය මා පන්තිය ඉදිරියට කැඳවා අච්චු පොතක් අතට දී එහි තිබූ ආහාර ජීර්ණ පද්ධතිය කලූලෑල්ලේ අඳින්නැයි කීවා ය. කොල්ලෝ ජය ගෝසා නැගූහ. එහෙත් මට සතුටක් ඇතිවූයේ නැත. මා කලූලෑල්ලේ නිවැරදිව රූපය ඇන්ද නමුත් එදා සිට අද දක්වා සිතේ කොණක පැළපදියම්ව තිබෙන සියුම් වේදනාවක්ද මගේ සිතේ විය.


කමලා අපේ ගමේ ඉතාම දුප්පත් පවුලක කෙල්ලක වූවා ය. දණහිසටත් පහළට දික්වුණ අවපැහැගත් සුදු ගවුමක් ඇඳ රබර් සෙරෙප්පු දෙකක් පැළඳගෙන පාසල් ආ මේ අහිංසක කෙල්ල මට තවම මතකය. ඔබට මා විහිලූවක් සේ පෙනෙනු හැෙඟනු ඇත. එහෙත් මේ දුප්පත් කෙල්ලට සිය දස්කම පෙන්වන්නට ලැබුණ එකම අවස්ථාව ඩැහැගත්තාය යන හැඟීම අදටත් මට සියුම් වේදනාවක් ඇති කරයි.



අයියාගේ ප‍්‍රශ්නයට එන්නට මට තවත් දවසක් ලියන්නට සිදුවෙයි.

8 comments:

  1. ඔහොම අවස්ථා ජීවිතවල තියෙනවා අජිත්. ඉතා සුළු දේවල්. පසුව සිහිවී අමුතු දුකක් ඇතිවෙනවා.

    මෙන්න මෙහෙම කරන්නත් තිබුණා!
    http://rasikalogy.blogspot.com.au/2017/07/winner-takes-it-all.html

    ReplyDelete
    Replies
    1. සිඩ්නි සිනුවර කළා වගේ ජගත්ගේ නම ඕස්ට්‍රේලියන් සිංහල ක්‍රමේට අජිත් වෙලාද?

      Delete
  2. සමහර වෙලාවට සමහර ේවල් හිත යටිං රිද්දනව. ඒත් උඩින් ාවන දෙයක් පෙන්නනව.
    කමලට ඊට පස්සෙ චාන්ස් එකක් ආවෙම නැද්ද.
    එයැයිට මේ වුණෙ

    ReplyDelete
  3. සමහර සිදුවීම් තියෙනවා නොගිනිය තරම් කුඩා එව්වා.එත් ඒවායෙන් අපේ හිත් වලට එකතු කරනවා දරා ගන්න බැරි තරම් බරවල්.

    ReplyDelete
  4. වැඩේ කියන්නේ මානවට ඔය සිදුවීම මතක තිබුනට කමලාට ඔය ගැන මතකයක් නැතිය කියල ටක්කෙටම කියන්න පුළුවනි. සමහර විට කමලාට ඔහොම දෙයක් හිතුනේවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්.. අනිවාර්යයෙන්ම.. මේක මේ ලෝකෙ කවුරුවත් දන්නෙ නැහැ මේ අද ලියනකල්.... :)

      Delete