Wednesday, May 23, 2018

ඇයි කුරුප්පු අංකල් දම්මි බැන්දෙ නැත්තෙ?

සිංහල නවකතා ඉතිහාසයේ සදා නොමැකෙන නමක් තැබූ නවකතා අතර ”ගොළු හදවත” ට හිමි වූ සුවිශේෂී ස්ථානයක් ඇත. අපේ පරපුරේ පොත් කියවන්නන් අතර ”ගොළු හදවත” නොකියවූ කෙනෙකු සිටිය නොහැකි ය. පේ‍්‍රමයේ සදාතනික වේදනාව අකුරු වලට හැරවූ කරුණාසේන ජයලත් ඒ වේදනාව අපේ හදවත් තුළද තැන්පත් කර කල් ඇතිවම යන්නට ගියේ ය. (1994 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දාහත් වසරක පාලනය පෙරළා දමා චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ගෙන එන්නට ක‍්‍රියාකාරීව සිටි ජයලත් ඒ ජයග‍්‍රහණය දනින්නට පෙරම යන්නට ගියේ ය)


පද්මා නාලිනී ගුණරත්න

ගොළු හදවතේ දම්මි ගේ චරිතයට පාදක වූ සැබෑ චරිතය වූ පද්මා නාලිනී මහත්මිය ද දින කීපයකට පෙර අප හැර ගිය පුවත අපේ සිතේ මහත් කම්පනයක් ඇති කරන්නට සමත් විය. මේ සටහන ලියන්නේ ඒ කම්පනය නිසා ය.



”ගොළු හදවත” නවකතාව සම්බන්ධව බොහෝ දෙනකු යාන්තමින් දැන සිටි කරුණක් වූයේ එය කරුණාසේන ජයලත් ගේ පුද්ගලික අත්දැකීමක් පදනම් කරගත් කතාවක් යන්නය. හොරණ තක්ෂිලාව පසුබිම් කර ගොඩ නැගුණ ගොළු හදවතේ දම්මිගේ ආදරය පැතූ සුගත්ට අත් වූ සෝබර ඉරණම අදත් අපේ හදවත් තුල වේදනාව දල්වයි.



දම්මි සුගත්ට හිතවත් ය. ඇගේ හිතවත් කම වරදවා වටහා ගත් සුගත් ඇයට ආදරය කරයි. ඇය වෙනකකු හා සරණ යන්නට නියමිතව සිටින බව සුගත් දැනගන්නේ තම ආදරය ඇයට ප‍්‍රකාශ කළ පසුව ය. ඒ වේදනාව සුගත්ගේ ජීවිතය අහසින් පොළොවට ඇද දමයි. ඒ නවකතාවේ කතාව ය.


සැබෑ කතාවත් ඒ වාගේම ය.

කරුණාසේන ජයලත් 


පද්මා (පද්මා නාලිනී ගුණරත්න), කරුණාසේන ජයලත් සහ දොන් බෝල්ඞ්වින් කුරුප්පු උගත්තේ හොරණ තක්ෂිලාවේ ය. ඔවුහු හොඳ යහළුවෝ වූහ.


ඞී බී කුරුප්පු 
තමා සහ ජයලත් අතර තිබූ මිත‍්‍රත්වය පිළිබඳව සිය ”සැ ඳෑ  තරු එළියේ කිමිදෙන හිරු” පොතේ ඞී බී කුරුප්පු මහතා ලියන්නේ මෙසේ ය. ”තක්ෂිලා විද්‍යාලයේ උගනිද්දී කරුණාසේන ජයලත් සහ මමත් දෙවසරක් පමණ සතියේ වැඩි දවසක් ගත කළේ දෙන්නාගෙන් එත් කෙනකුගේ නිවසේ ය. එක්කෝ අප දෙන්නාම අපේ ගෙදර ය. නැත්නම් කුඹුකේ කරුණාසේනගේ (ඒ කියන්නේ ඔහුගේ මවගේ) මහ ගෙදර ය.”


බෝල්ඞ්වින් තක්ෂිලාවේ සිටි දක්ෂම සිසුවකු විය. ජයලත් සහ බොල්ඞ්වින් දෙදෙනාම ඇදී සිටියේ වාමාංශික දේශපාලනයටය.


පාසලේ කිසිවකුට නොදැනෙන ආකාරයෙන් පද්මා සහ බෝල්ඞ්වින් අතර පේ‍්‍ර්ම සබඳතාවක් විය. ළඟම යහලූවකු වූ ජයලත් පවා මේ ගැන නොදැන සිටියේ ය.


පද්මා ජයලත්ට ලෙන්ගතු ය.


පන්තියේ කිසිවකු නැති වේලාවක
දම්මි සුගත්ට වෙරළු දුන්නා ය.
නවකතාවේ එන දම්මි සුගත්ට වෙරළු දුන්නාක් මෙන් ඇත්ත කතාවේ පද්මා ජයලත්ට කටු ලොවි දුන්නා ය. මේ ලෙන්ගතු කම නිසාම ජයලත් සිතින් පද්මාට ආදරය කළේ ය. එක් දිනෙක සිය ආදරය පද්මාට හෙළි කරන ජයලත්ට දැනගන්නට ලැබෙන්නේ පද්මා ඒ වන විටත් බෝල්ඞ්වින් සමග පෙමින් බැඳී ඇති බව ය.



ඒ හෙළිදරව්ව ජයලත්ට දරා ගන්නට නොහැකි තරම් විය. ඔහු සිය මිතුරා වූ බොල්ඞ්වින් හොරණ දී හමුවිය.



”එදා ජයලත් මගේ අත් දෙක අල්ලගෙන හොඳටම ඇඬුවා. මට ඒක අද වාගේ මතකයි” දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ප‍්‍රවීණ ලේඛක ඞී බී කුරුප්පු මට කීවේ ය. ”ඒ සිදුවීම මතක් වනවිට අදත් මට මහ දුකක් දැනෙනවා..”



ගොළු හදවතට පදනම් වූ සිය ආදර කතාව කොතැනකදීවත් හෙළිදරව් නොකර සිටින්නට කුරුප්පු පරිස්සම් විය. දැන සිටියේ අප කීප දෙනකු පමණකි. එහෙත් වක්කඩ කැඩුවා සේ මේ පුවත දෝරෙ ගලා ගියේ ප‍්‍රවීණ ලේඛක ඒ ඞී රන්ජිත් කුමාර මේ පෙම් පුවත ලක්බිම පුවත්පතට ලිවීමත්  සමගය. රන්ජිත් කුමාර මහතා කුරුප්පු මහතාගේ හිතවතකු වූවා පමණක් නොව පද්මා නාලිනී ද හොඳින් දැන හඳුණාගෙන සිටියේ ය. ඒ දැන හැඳුණුම් කම ඇති වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගොළු හදවත නවකතාව ඇසුරින් තැනූ ගොළු හදවත චිත‍්‍රපටය හරහා යයි සිතමි


මේ හැඳුණුම්කම් නිසා  කතාව වඩා රසවත්ව හෙලිදරව් කරන්නට ඔහුට හැකි විය. සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ පොත් අතරින් ”හැන්දෑවට පායන හිරු” පොතේ ඞී බී කුරුප්පු මහතා මේ කතාව පළමු වරට ලිව්වේ මෙයට පසුව ය. තව දුරටත් හංගාගෙන සිටීමෙන් පළක් නැතැයි වටහා ගත් පසුව ය. ඒ ලිව්වේත්  ඕනෑවට එපාවට මෙන් යාන්තමින් ය.



”ඇයි කුරුප්පු අංකල් එයාව බැන්දෙ නැත්තෙ..?” මම වතාවක් ඇසුවෙමි.. ඇත්තටම මම ඇසුවේ ”ඇයි කුරුප්පු අංකල් දම්මිව බැන්දෙ නැත්තෙ?” කියා ය.



”ඒක කෙරුණෙ නෑ ජගත්.. මං ඉගෙනගන්න කොළඹ ගියාම ඒක ඉබේටම අතෑරිලා ගියා.. කොහොම වුණාද කියලා තේරුම් කරගන්න බැහැ..තරුණ කාලෙනෙ..” කුරුප්පු මහතා කී හැටි මට මතකය. අතීතාවර්ජනයේ වේදනාව ඔහුගේ මුහුණේ ඇඳී තිබිනැයි මට ඒ වෙලාවේ සිතුණි.



මේ කාලය වන විට ඔහු සිටියේ විවාහයෙන් වෙන් වී තනිකඩව ය. මෙල්බන් නගරයේ හිතවතකුගේ ගෙදරක කාමරයක ය.



”පද්මව ආයෙම කවදාවත් හමුවුනේ නැද්ද?”



”හමුවුණා... එයා වතාවක් සිඞ්නි වලට ආව වෙලාවෙත් මට හමුවුණා..” ඔහු කීවේ ය. ” ඒ හමුවීමත් මට පස්සෙ ලොකු ප‍්‍රශ්නයක් වුණා..” ඒ ප‍්‍රශ්නය කුමක්දැයි අනුමානයෙන් සිතා ගත්තා විනා හාරා අවුස්සා අසන්නට නොගියෙමි. එය පවුලේ ප‍්‍රශ්නයක් විය හැකි යයි මම අනුමාන කළෙමි.



කරුණාසේන ජයලත් පසුව තක්ෂිලාවේම උගත් තරුණියක විවාහ කරගත්තේ ය. අධ්‍යාපනයෙන් කප් ගැසූ ඞී බී කුරුප්පු රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විය. පද්මා වෙනත් අයකු හා විවාහ විය. ජයලත් හා වූ මිත‍්‍රත්වය ඔහු මියයන තෙක්ම පැවති බව කුරුප්පු මහතා කීවේ ය.


මේ ඉතිහාසගත පේ‍්‍රමය පිළිබඳව සඟවාගත් වේදනාවක් කුරුප්පු මහතාගේ සිතේ තිබුණා යයි මම සිතමි. ඒ කතාව ආවර්ජනය කරන විට ඔහුගේ මුහුණේ මතු වූ ඉරියව් මට ඒ ඉඟිය සපයයි. එහෙත් ඔහුට හෝ ජයලත්ට හෝ ඇය නොලැබීම ගැන මම සතුටු වෙමි. කාට හෝ ඇය ලැබුණා නම් කරුණාසේන ජයලත් අතින් අර අපූරු නවකතාව ලියැවෙන්නේ නැති නිසා ය.



අද මේ තිදෙනාම අප හැර ගොසින් ය. අර සුන්දර ආදර කතාව පමණක් ඉතිරිව ඇත. තවමත් අපි එය කියවමින් විරහ වේදනාවේ කටුක රසය විඳ ගනිමින් සිටින්නෙමු.




පසු සටහන
(ඞීබී කුරුප්පු මහතා පිලිබඳව මා ලියූ සටහන් කීිපයක් මෙතැනින් කියවන්න)
ඞීබී සහ මම 1
ඞීබී සහ මම 2

ඞීබී සහ මම 3

ඞීබී සහ මම 6 - එකම ඉරණමක?

9 comments:

  1. දොන් බෝල්ඩ්වින් කුරුප්පු ලියූ එක්තරා ප්‍රේම කතාවක් කෙටි නවකතාවේ අන්තර්ගතය මේ පැරණි පෙම් කතාවේ සිදු නොවුණු ප්‍රබන්ධ අනාගතයක් ගැනය කියායි මං හිතන්නේ!

    ReplyDelete
  2. ඔය ගොළු හදවත නම් ඉතාම බොළඳ කතාවක්.

    ඒ කතාවට කැමති පාසල් යන කාලයේ ඒ පොත කියවූ අයයි. වසය විසි හතරේ දී පමණ ගොළු හදවත කියවූ මට ඒ මොන විකාරයක් ද කියා හිතුණා. අතින්වත් නොඇල්ලු කෙල්ලක ගැන සිතමින් අවුරුදු ගණනාවක පසුත් බියර් බොමින් වාතවෙන තරුණයින්ව හැඳින්විය යුත්තේ බොළඳ කියන නමින් තමයි!

    ReplyDelete
    Replies
    1. ඒ බොළඳ නවකතාවට මම මහත් සේ ප‍්‍රිය කරමි.

      Delete
  3. ජගත් මා ලියූ "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" නමින් ලිපියක් පහන සඟරාවේ පළවුණා. එහි අන්තර්ගතය වුනේ මගේ ඉහත කමෙන්ටුවේ ඇති අදහසයි.

    එය කියවූ ප්‍රියානන්ද විජේසුන්දර ගොළු හදවත වර්ණනා කරමින් පසු කලාපයට ලිපියක් ලිව්වා.

    මා එයට ලියූ පිළිතුරු ලිපියේ මාතෘකාව වුනේ "සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ" යන්නයි.

    මා ඒ ලිපිය අවසාන කළේ මෙලෙසයි.

    "ගොළු හදවත" කතාවේ ප්‍රාරම්භය බලන්න.

    සුගත් තරුණ මහතා හෝටල් කාමරයකට වී බියර් බොමින් විනාශ මුඛයට යමින් සිටී.

    ඒ කවර හෙයින් ද? කිසිදාක ප්‍රකාශ නොකලා වූ මොන්ටිසෝරි ආදරයක් නිසාවෙනි.

    පසුව "බඹා කෙටූ හැටි" ලියා ජයලත් උන්නැහේ සුගත් ව යන්තම් ගලවා නොගත්තා නම්, ඔහු නතර වීමට නියමිතව තිබුනේ එක්කෝ පොලිඩෝල් මාර්ගයෙන් හොරණ කැරකෝප්පුවේ ය.

    නැතිනම්, ප්‍රෝසැක් මාර්ගයෙන් මුල්ලේරියාවේ ය.

    මගේ "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" යන ලිපියේ මාතෘකාව වෙනස් වී එය "සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ" යනුවෙන් ලියවෙන්නට ද ඉඩ තිබුනි.

    අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි.

    අප අනුකරණය කළ යුත්තේ බිබී මිය යන සුගත් ලා නොව, හැකි අයුරින් "සැන්දෑවට හෝ පායා" ලොවට ආලෝකය ගෙන එන්නෝ ය.

    ඒ මා ලියූවේ ත්‍රිකෝණ ප්‍රේමය ගැන රංජිත් කුමාර ලක්බිමේ ලියන්නට කලිනි!

    ReplyDelete
  4. ජගත්,රසික දෙන්නාම
    කුරුප්පු මහත්මාගේ ගැන දක්වා ඇති උනන්දුවට ස්තුතියි.
    එතුමාගේ පොත් පළ කිරීමේදී මගේ උපරිමයෙන් උදව් දුන්නා.
    මට එතුමා තාත්තෙක් වගේ වුණා!
    ඒ වගේම මට සතුටුයි මේ හැංගුණු පෙම් පුවත කළ-එළියට දෙන්න
    මැදිහත්කරුවා වුණු නිසා.
    මගේ 'නිදිගෙ පංච තන්තරේ' බ්ලොග් එකෙන්
    ඒ සේරම තොරතුරු ළඟදීම ලියන්නම්.
    ළඟදීම පළ කරන්නට යන
    'පොත් ගැහිල්ලේ ගැහෙන කතාව'
    පෝස්ටුවෙත් විස්තර ටිකක් තියෙනවා!

    ReplyDelete
  5. ඔය "ගොළු හදවත” කතාව කියවත් නැහැ.චිත්‍රපටිය නරඹාත් නැහැ.හැබැයි ඒ සින්දුව නම් අහලා තියෙනවා.

    නුහුරු නුපුරුදු රහස පිලිබඳ
    මිහිර ආදරයයි කියා
    පවුරු බැඳගෙන සිතක වැජඹුණු රසවති
    නෑ කොයි ගියා.

    එකනම් රස විඳින්න කැමති සින්දුවක්.

    ReplyDelete
  6. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_282.html

    ReplyDelete