Tuesday, April 18, 2017

අනාගතය ගැන සිතමු...

මීතොටමුල්ලෙ කුණු කන්ද නාය යාමෙන් සිදුවූ විනාශය පිලිබඳ අදහස් සැම අතින්ම ඇසෙයි. වැඩි වශයෙන් එකිනෙකාට කරගන්නා චෝදනා ය. විනාශයට මුළ මේ කුණු කන්ද ආරම්භ කළවුන් සහ මේ තාක් කාලයක් එය පවත්වාගෙන ගියවුන්ය යන්න අවිවාදිත ය. ඒ පිළිබඳව රජය වෙනුවෙන් සමාව ඉල්ලන බව සාගල රත්නායක ඇමතිවරයා කියා තිබෙනුද දුටුවෙමි. එයද හොඳ ප‍්‍රවණතාවකි. මෙයට පෙර කිසිම දිනෙක ඇමතිවරයකු සමාව ඉල්ලා සිටිනු මම දැක නැත්තෙමි. 


දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ මේ බැණ අඬා ගැසීම් නවත්වා මෙවන් විපතක් ඉදිරියේදී සිදු නොවීම පිලිබඳව අපට ගත හැකි පියවර මොනවාදැයි සාකච්ඡා කිරීමයි. ඒ සාකච්චාවෙන් මතුවෙන අදහස් ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන්ට බල කීරීමයි.


මේ සම්බන්ධයෙන් වටිනා අදහසක් නදී වාසලමුදලිආරච්චි සොයුරිය ලියා තිබෙණු දුටුවෙමි. මෙවැනි අවදානම් සහගත ස්ථාන රට පුරා තිබේ නම් ඒවා ලේඛණ ගත කර ප‍්‍රසිද්ධ කිරීම සුදුසු යයි ඇය යෝජනා කරයි. එය ඉතා වැදගත් පියවරකි.  සියලු රටවැසියන්ට මේ ක‍්‍රියාවට දායක විය හැකිය. 


ඒ සමගම ලංකාවේ කුණු ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයා ගත යුතුය. මේ ප‍්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එදා මෙයට විසඳුමක් සොයන්නට උනන්දුවූවානම් අද මෙවන් විපතක් සිදු නොවනු ඇති බව විශ්වාසය.



මේ 1997 දී මවිසින් දිවයින පුවත්පතට ලියූ අදහස් දැක්වීමකි. 





එදා සුළු පරිමානයෙන් හෝ මේ කටයුත්ත ආරම්භ කළා නම් අත වන විට මෙවන් විපතක් සිදුනොවනු ඇතැයි මට සිතෙයි. නියපොත්තතෙන් කඩන්නට හැකිව තිබූ ගහ මහා රුකක් වනතුරු බලා සිටීමේ විපාකයයි මේ.

කසළ ප‍්‍රතිචක‍්‍රී කරණය පිළිබඳ විශේෂඥ දැනුමැති විද්වත්තු අපේ සමාජයේ අපමණ සිටිති. ආචාර්ය සමුද‍්‍රා ජයලත් වැනි විද්වතුන් විදෙස් ගතව සිටියද ඔවුන්ගේ සේවය ලංකාවට ලබාගත නොහැකිවන්නේ නැති බව මට විශ්වාස ය. අවශ්‍යවන්නේ අවංක අදහසින් ක‍්‍රියාත්මක වන්නට උනන්දුව ඇති දේශපාලන නායකත්වයක් පමණකි. එකිනෙකා කඹ ඇදගන්නේ නැතිව, චෝදනා කරගනිමින් සිටින්නේ නැතිව, පක්ෂ භේද පසෙක ලා එක්සත්ව මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගත යුතුය. 


දැන් අප හමුවේ ඇත්තේ ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. නැවත මෙවන් විපතක් සිදුනොවන්නට ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. .  

Sunday, February 26, 2017

කම්හලක් හැදුවෙමි - පින්තූර

කම්හලක් හැදුවෙමි කතාවට අදාල වෙන පින්තූර ටිකක් හමුවුණා..

මරදාන යාන්ත‍්‍රික කම්හල

මරදාන යාන්ත‍්‍රික කම්හල

මරදාන යාන්ත‍්‍රික කම්හල

හොර්ටන් තැන්නේ යන්ත‍්‍ර පරීක්ෂාවකට ගිය අවස්ථාවක

හොර්ටන් තැන්නේ යන්ත‍්‍ර පරීක්ෂාවකට ගිය අවස්ථාවක 
මගේ නිල රථයේ රියැදුරු පියසේන සහ ටිපර් රියැදුරු වික‍්‍රම මහත්වරුන් 

මාර්ග සති රැස්වීමකට ගිය අවස්ථාවක

මාර්ග සති රැස්වීමකට ගිය අවස්ථාවක







Monday, February 6, 2017

කම්හලක් හැදුවෙමි - 2 කොටස

අපට තිබුණේ ඉතාමත් සීමිත සම්පත් ප‍්‍රමාණයකි. ලිපිකාරිණියට යතුරු ලියනයක් නැත. ප‍්‍රධාන කාර්යාලයේ පාවිච්චියෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික් යතුරු ලියනයක් තිබූ බව මට මතකය. අලූත්ම එකකි. යම්කිසි දෝෂයක් නිසා ක‍්‍රියා නොකරයි. අලූත්වැඩියාකරවා ගන්නට කිසිවකුට උනන්දුවක් නැති නිසා පාවිච්චියෙන් ඉවත් කර ඇත. මම එය ඉල්ලා ගතිමි. මෙට්‍රොපොලිටන් ආයතනයට යවා අලූත්වැඩියා කර ගත්තෙමි.


කාර්මිකයනට ආයුධ ඇත්තේද සීමාසහිතවය. තිබෙන ආයුධ දෙකට බෙදා සේවා කණ්ඩායම් දෙකක් හැදුවෙමි. සෑම උදෑසනකම අවශ්‍යකරන තෙල් වර්ග සහ අමතර කොටස් පටවා ගන්නා කණ්ඩායම් දෙක දෙපසකට පිටත් කර හරින්නෙමි. රට පුරා විවිධාකාර යන්ත‍්‍ර තිබූ බැවින් ඇති තරම් වැඩ තිබුණි. එහෙත් මෙය තෘප්තියක් ලැබෙන වැඩක් නොවේ. මටත් වඩා අතෘප්තිමත්ව සිටියේ මා සමග පැමිණ සිටි කාර්මිකයන්ය.


”මෙහෙම ඔයිල් මාරු කර කර ඉඳලා වැඩක් නැහැ සර්.. එන්ජින්  ඕවරෝල් එකක් වගේ ටිකක් ඇඟට දැනෙන වැඩක් කරමුකො.. සර් බය නැතුව  ඕනෙ වැඩක් බාර ගන්න.. අපි දෙන්නම් තිතට”


මගේ කාර්මිකයන්ගේ දක්ෂතා ගැන මම හොඳින්ම දනිමි. ඔවුහු මා අතින් අල්ලා තෝරාගත් වැඩකාරයෝ ය. වැඩ කරන්නටම ඉපදුණ දක්ෂයෝ ය. ඔවුන්ට අවශ්‍ය එන්ජිමක් ගලවා සවි කරන්නටය. ගියර් පෙට්ටියක් දෙපළු කරන්නටය. ටෝක් කන්වර්ටරයක් ගලවන්නටය. විසල් යන්ත‍්‍රයක හයිඩ්‍රොලික් සිලින්ඩර අලූත්වැඩියා කරන්නටය. හරියාකාර ඇඟට දැනෙන වැඩක් නැති කල ඔවුන් නළියන බව මම දනිමි. එහෙත් මෙය සේවා ඒකකයක් බවත් කම්හලක් නොවන බවත් ඔවුන්ට තේරුම් කර දෙන්නේ කෙසේද?


ඉහළ නිලධාරීන්ටගෙන් යමක් ඉල්ලා ගන්නට නියමිත වේලාවක් ඇත. මම අවස්ථාව එළැඹෙන තෙක් කල්බලමින් සිටියෙමි.


මාර්ග සති යන්ත‍්‍ර ප‍්‍රවාහණයට යොදාගෙන තිබූ 26 ශ‍්‍රී 9060 ලොරිය අබලන් වන්නේ මේ අවස්ථාව මට උදාකර දෙමින් ය. මාර්ග සති වැඩ සටහන අඩාල වන කිසිදු දෙයක් සිදුවිය නොහැකිය. ප‍්‍රමුඛතාව මාර්ග සතියට ය. ලොරිය අබලන් වීමෙන් යන්ත‍්‍ර ප‍්‍රවාහණය කරන්නට නොහැකි වීම ඇඟට දැනෙන බරපතළ තත්වයකි.


”ලොරිය කොම්පැණියට යවලා රෙපයාර් කරගනිමු” ප‍්‍රධාන කාර්යාලයෙන් නියෝගය ලැබුණි.


මම අධ්‍යක්ෂ (යාන්ත‍්‍රික) රණසිංහ මහතා හමුවීමි. මගේ සහයට ඉංජිනේරු ජයතිලක මහතාද විය.


”ලොරිය කොම්පැණියට යැව්වොත් මාස ගාණක් යයි එලියට ගන්න.. සර්ට පුලූවන් නම් මට ස්පෙයා පාට්ස් ටික අරගෙන දෙන්න.. මම අපේ මිකැනික්ලට කියල ලොරිය හදන්නම්” මම කීවෙමි.


රණසිංහ මහතා කල්පනා කරමින් සිටියේ ය.


”කොච්චර කාලයක් යයිද හදන්න?” ඔහු ඇසුවේ ය. මාර්ග සතිය සම්බන්ධ ප‍්‍රශ්න වලදී කාලය යනු ප‍්‍රධානම සාධකයකි. ඒ බව මම දනිමි.


”ස්පෙයා පාට්ස් ටික ලැබිලා සතියක් ඇතුළත මම ලොරිය දෙන්නම්” මම කීවෙමි. සතියක් යනු ආණ්ඩුවේ ආයතනයකට ඉතා කෙටි කාලයකි. මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිම යාන්ත‍්‍රික කම්හලකින් මෙවැනි අලූත්වැඩියා කිරීමක් සතියකින් අවසන් කර නැත. මෙය අවම වශයෙන් මාස තුන හතරක් ගන්නා වැඩකි.


රණසිංහ මහතා කල්පනා කරමින් සිටියේ ය. අවසන ඔහු අර සුන්දර සිනාවෙන් ජයතිලක මහතා දෙස බැලූවේ ය.


”එදිරිට බඩු ටික අරගෙන දෙන්න” ඔහු කීවේ ය.


ඊළඟ සතියේ අවශ්‍ය අමතර කොටස් ලැබුණි. මගේ ගෝලයෝ දවස් තුනක් රෑ දවල් නොබලා වැඩ කර ලොරිය ගොඩ දැමූහ. හතරවන දවසේ උදෑසන මම ඒ බව රණසිංහ මහතාට දන්වා සිටියෙමි.
”මාර්ග සංවර්ධන අධිකාරියට යාන්ත‍්‍රික කම්හලක් අවශ්‍ය නැත” යයි යම් කිසිවකු ගෙන තිබූ තීරණය විසින් බඳින ලද බැම්ම බිඳ වැටීම ඇරඹුණේ එසේය. දැන් වතුර කාන්දු වෙමින් තිබෙයි. ඉක්මණින්ම මේ බැම්ම සම්පූර්ණයෙන්ම බිමට වැටෙන බව මට දැනෙයි.


”මිස්ටර් එදිරිසිංහ.. මගේ කාර් එකේ ක්ලච් එක ගිහිල්ල .. කොම්පැණියට දැම්මොත් සතියක්වත් ගනියි.. බැරිද මොකවත් කරන්න?” සෙත්සිරිපායේ පඩි පෙළේදී හමු වූ අධ්‍යක්ෂ (විගණක) අසයි. මම පැය දෙකකින් ඔහුගේ වාහනය අලූත්වැඩියා කර ආපසු සෙත්සිරිපායට යවමි. එය මාර්ග සංවර්ධන අධිකාරියේ අතීීතයේ තිබූ කම්හලක අවම වශයෙන් සතියක් දෙකක් ගන්නා වැඩකි.


අපේ ලොක්කෝ වාහන වලට දැඩි ලෙස ආදරය කරන අය වෙති. ලංකාවේ කොයි ලොක්කාත් එසේමය. නිලරථ වලට ඔවුන්ගේ ඇත්තේ දැඩි ඇල්මකි. ඔවුන්ට අවශ්‍ය ඉතා ඉක්මණින් සිය වාහනය අලූත්වැඩි කර ගත හැකි ක‍්‍රමයකි. ප‍්‍රධාන කාර්යාලයේ වාහන අලූත්වැඩියා සඳහා නොකඩවා මරදාන කම්හලට එන්නට පටන් ගත්තේ එසේ ය.


මරදාන දැන් තව දුරටත් සේවා ඒකකයක් නොවේ.  ඕනෑම ප‍්‍රධාන අලූත්වැඩියාවක් පැය කීපයකින් හෝ දින කීපයකින් හෝ නිම කිරීමට සමත් වැඩකාරයන් පිරිසක් සිටිනා ඉතා ක‍්‍රියාකාරී යාන්ති‍්‍රක කම්හලකි. මේ ප‍්‍රසාරණය මුහුණ දෙන්නට මට තවත් සේනාව අවශ්‍යය.


කම්හලට අලූතින් කාර්මිකයන් හතර දෙනක් සහ විදුලි කාර්මිකයකු අනුයුක්ත කෙරුණි. වැඩ බලන්නට යාන්ත‍්‍රික අධිකාරිවරුන් දෙදෙනෙකුද අලූතෙන්ම බඳවාගන්නා ලදී.  තවත් ලිපිකරුවෝ දෙදෙනෙක්ද ඒ සමගම පත්වීම් ලදහ. අවුරුද්දක් දෙකක් යන විට මරදාන කම්හලට අනුයුක්තව විවිධ ශ්‍රේණි වල සේවකයෝ සියයක් පමණ සිටියහ.


තිබෙන වැඩ පරිමාව සපුරන්නට තවත් කාර්මිකයන් අවශ්‍යය. මම ජාතික ආධුනිකත්ව මණ්ඩලය සමග සාකච්ඡුා කර ආධුනිකයන් හතරදෙනකු ඉල්ලා ගත්තෙමි.


මම සේවක කාමරයේ වහලයට තිබූ කොන්ක‍්‍රීට් තට්ටුව මත තවත් කාමරයක් තැනුවෙමි. අවශ්‍ය සිමෙන්ති ගල් ආදිය විවිධ වැඩ බිම් වලින් ඉල්ලා ගත්තෙමි. සේවකයෝ ස්වෙච්ඡුාවෙන් ගඩොල් බැන්දහ. කපරාරු කළහ. ඒ කාමරයේ ඇඳන් කීපයක් දමා රෑ බෝවී එන සේවකයන්ට නිදාගන්නට පහසුකම් සළසා දුන්නෙමි. රූපවාහිනී යන්ත‍්‍රයක්ද එහි සවිකළෙමි. මගේ කම්හලේ කිසිදු සේවකයකු අසතුටින් නොසිටි බව මට විශ්වාස ය.


මාර්ග සති සේවා වලට යොදවා තිබූ යන්ත‍්‍ර වලට අමතරවමාර්ග සංවර්ධන අධිකාරියට මිලට ගත් තවත් බර යන්ත‍්‍ර ගණනාවක්ම අපේ යන්ත‍්‍ර හමුදාවට එක්වෙයි. ඒවා රටපුරා සේවයට යොදවා ඇත. මසකට වරක්වත් ඒ තැන්වලට ගොස් මේ යන්ත‍්‍ර පරීක්ෂා කරන මෙන් මට උපදෙස් ලැබී ඇත. ගාල්ල මාතර බණ්ඩාරවෙල නුවරඑළිය මහියංගනය අනුරාධපුර ආදී ප‍්‍රදේශවලට මාස දෙකකට වතාවක් හෝ යන්නට මට සිදුවිය. ඒ හැරෙන්නට මාර්ග සති සංවිධානය කිරීමේ රැුස්වීම් වලටද මගේ සහභාගිත්වය අවශ්‍ය වූයේ ඒ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර සැපයීම මගේ වගකීමක් වූ නිසා ය.


මගේ 31ශ‍්‍රී 5380 දරණ පරණ මිට්සුබිෂී ජීප් රථය වෙනුවට අලූතෙන්ම මිලට ගත් මිට්සුබිෂි බඩල්කැබ් රථයක් ලබා දෙන්නට තරම් ප‍්‍රසාදයක් ඉහළ නිලධාරීන්ගේ සිත් වල ඇති කරන්නට මට හැකිවී තිබුණි.


අපි රැයක් දවාලක් නොබලා ඉමහත් තෘප්තියකින් වැඩ කළෙමු.


අධ්‍යක්ෂ (යාන්ත‍්‍රික) රණසිංහ මහතා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නේ මේ අතරදී ය.


අලූතින් නිලධාරීහු පත්ව එති. මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නිලධාරීහු වෙන වෙනම මා හමුවන්නට එති.


”මේ වැඬේට අපි ඉඩ දෙන්නෙ නැහැ.. අපි දන්නවා එදිරිසිංහ මහත්තයා මේ වර්ක් ෂොප් එක ගොඩනගන්න වෙච්ච මහන්සිය..” ඔවුන්ගේ කතා වල සාරාංශය එසේ විය. මම නිහඬව සිටිමි. මොනයම් ක‍්‍රමයකින් හෝ මා වෙනුවෙට වෙනත් අයකු පත්කිරීමේ අදහස යටවී යයි. එසේ වුවද සිතේ ඇති වූ කළකිරීම පහව නොයයි. ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ගත් තීරණයට ඒ කළකිරීම මහත් උත්තේජනයක් සැපයූ බව මම දනිමි.


මා මාර්ග සංවර්ධන අධිකාරියෙන් අස්ව එන දා මගේ දුප්පත් සේවකයෝ තමන්ට හැකි පමණින් සාදයක් සංවිධානය කළහ. ඔවුන් මා වැළඳගෙන හඬාවැටුණ අයුරු සිහිපත් වන විට අදත් මගේ ඇස් වලට කඳුළු පිරෙයි.



ජීවිතයේ එක් පරිච්ඡෙදයක් නිමා වූයේ එලෙස ය.


කාලය අප බොහෝ දුර ගෙනගොස් ඇත.


පසු සටහන


මරදාන කම්හල දැන් එතැන නැත. එය රත්මලානට ගෙන ගිය බව දැනගන්නට ලැබුණි. පසුගිය වසරක දිනෙක මම මගේ මිත‍්‍ර කැලූම් පාලිත මහීරත්න සමග ටවර් රඟහලේ නාට්‍යයක් බැලීමට ගියෙමි. අපේ වාහනය නවත්වන්නට තැනක් නොවීය.


”මගේ වර්ක්ෂොප් එක තිබෙුණ පාරෙන් එහා පැත්තෙ. අපි එතෙන්ට ගිහිල්ල බලමු. කවුරු හරි  හිටියොත් වාහනේ එතන නවත්තන්න පුලූවන්” මම කීවෙමි. අපි එල්පින්ස්ටන් රඟහල ඉදිරියෙන් පල්ලමට ගොස් කම්හලේ ගේට්ටුව අසළ වාහනය නැවැත්තුවෙමු. පාලූවට ගොස් ඇති කම්හල් බිම මගේ සිතේ මහත් සංවේගයක් ඇති කරයි. එක් කලෙක මෙය කඩි ගුලක් මෙක් කඩිසරව තිබූ තැනකි. මම වාහනයෙන් බැස්සෙමි. ගේටුට්වේ මුරට සිටි මා නොහඳුනන කොලූ ගැටයෙක් වාහනය අසළට දුවගෙන එයි.


”සර් එදිරිසිංහ මහත්තය නේද?” ඔහු අසයි.

”ඔයා කොහොමද දන්නෙ? ඔයා මං හිටපු කාලෙ හිටියෙ නැහැනෙ” මම අසමි.

”ඉස්සර වර්ක්ෂොප් එකේ සර්ගෙ පින්තූරයක් එල්ලලා තිබුණා.” තරුණයා කියයි.


මා අමතක නොකළ එක් අයෙකු හෝ සිටින බව දැන් සහතික ය.

Monday, January 30, 2017

කම්හලක් හැදුවෙමි - 1 කොටස

විවිධ පළාත්වලට පත්ව යන නිලධාරීන් විවිධාකාර ආයතන ගොඩ නගන්නට කරන කැපවීම් අපි විටින් විට කියවන්නෙමු. ලංකාවේ එහෙම වැඩ කරන මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන අපහසුතාවන් අපමණය. එක පැත්තකින් ආයතන නීති රීතිය. ආයතන සංග‍්‍රහය  සහ මුදල් සංග‍්‍රහය අතේ තබාගත් ලොක්කෝ දැමිය හැකි හැම බාධාවක්ම දමති. ඉරිසියාවෙන් හා කුහක කමින් හිස් පුරවාගත් නිලධාරීන් ය. ඒ මදිවාට වැඩක් කරන්නා දෙස වපරැහින් බලන්නන් ය. වැඩක් කළ යුතුවන්නේ මේ සියල්ලන් ගෙන්ම ගැලවීගෙන ය.


කුප‍්‍රකට ජේ ආර් රජීව් ගාන්ධි ගිවිසුමෙන් පසු අද රටට ගැළවී ගත නොහැකි හෙණයක් වී ඇති පළාත් සභා නම් ආයතන බිහිවිය. එකම ඒකකයක්ව තිබූ මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ පළාත් වල තිබූ කාර්යාල පළාත් සභා වලට පැවරෙමින් තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික අංශයට අයත්ව තිබූ ප‍්‍රාදේශීය කම්හල් සියල්ලම ඒ ඒ පළාත් සභා වලට පැවරීමේ කටයුතු ඇරඹුනි.


පල්ලෙකැලේ කුරුණෑගල කුරුවිට බණ්ඩාරවෙල ආදී ප‍්‍රදේශවල තිබුණ කම්හල් සේවකයන් සහ නිලධාරීන් සමගම පළාත් සභා වලට පැවරුණි. බස්නාහිර පළාතට අයත්ව තිබූූ කොළඹ තත්වය මදක් වෙනස් විය.


”එදිරි ඉක්මණින් හෙඞ්ඔෆිස් එකට ඇවිත් මාව හමුවෙන්න” පණිවුඩය ආවේ යාන්ත‍්‍රික අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි වරලත් ඉංජිනේරු ෂෙල්ටන් රණසිංහ මහතාගෙනි.


මම උදයෙන්ම සෙත්සිරිපායේ ප‍්‍රධාන කාර්යාලයට ගියෙමි. රණසිංහ මහතා සමග ඉංජිනේරු ජයතිලක මහතාද විය.


”වෙස්ටර්න් රීජනල් වර්ක්ෂොප් එක බස්නාහිර පළාත් සභාවට දෙනවා” රණසිංහ මහතා කෙළින්ම කතාව පටන් ගත්තේ ය. ”අපේ ඔක්කොම් මැෂින් ඒකට දෙන්න වෙනවා.. ආර්එම්ඊ (RME - Regional Mechanical Engineer) ඇතුළුව ඔක්කොම වැඩ කරන අයත් එක්කම.. ඒත් අපට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.. මාර්ග සති ෆ්ලීට් එක අපට ඉතුරු වෙනවා.. අපි ඒක මේන්ටේන් කරන්න  ඕනෙ.. අපි එදිරිව ආර්ඞීඒ (RDA - Road Development Authority) එකට තියා ගන්නවා... රෝඞ්වීක් ෆ්ලීට් එක මේන්ටේන්කරන වැඬේ අපි ඔයාට බාර දෙනවා..” ඔහු කීවේ ය. මම අසා සිටියෙමි.


”ආර්එම්ඊ ගාව දැන් තියෙන 31ශ‍්‍රී 5380 ජීප් එක අපි ඔයාට දෙනවා. ඒකෙ ඩ‍්‍රයිවරුත් එක්ක. දැනට තියෙන වර්ක්ෂොප් එකේ දැන් ඉන්න මිකැනික්ලගෙන් ඔයා කැමතිම හතර දෙනා තෝරාගෙන මට නම් ටික කියන්න.. හෙට ඉඳන් සර්විස් යුනිට් එකක් දාන්න සුදුසු තැනක් හොයන්න”


යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා මා පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටින බව මම දනිමි. මම අභියෝග වලට කැමැත්තෙමි. මේ නම් කිසිවකුට නොලැබෙන අවස්ථාවකි. අනෙක් අතින් පළාත් සභාවට නොගොස් මාර්ග සංවර්ධන අධිකාරියේ දිගටම සේවය කරන්නට අවස්ථාව ලැබීම භාග්‍යයකි.


(මේ  සිදුවීම් වලින් වසර කීපයකට පසු වරලත් ඉංජිනේරුවරයකු ලෙස සුදුසුකම් ලබන්නට මා ඉදිරිපත් කළ ප්‍රොෆෙෂනල් රිවිව් වාර්තාවට අත්සන් කළ එක් වරලත් ඉංජිනේරුවරයකු වූයේ ෂෙල්ටන් රණසිංහ මහතා ය. මට පෙර ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ ඒ මහතා ඉන්පසුව ඇමරිකාවට ගිය බව දැනගතිමි. මේ අතිදක්ෂ හොඳ නිලධාරියා පිලිබඳ කිසිදු තොරතුරක් මට ඉන්පසු සොයාගත නොහැකි විය. මගේ වාර්තාවට අත්සන් කළ අනෙක් වරලත් ඉංජිනේරුවරයා දැන් කැනඩාවේ වාසය කරන ධනකාන්ත පීරිස් සොයුරා බවද සටහන් කර තබමි)


මම පසුදා සිටම වැඩට බැස්සෙමි. මගේ රියැදුරා පියසේන ය. ඔහු මට අනුයුක්ත කළ දින සිට මා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන තෙක්ම මගේ රියැදුරාව සිටියේ ය. හක්මණ පදිංචිකාරයකු වූ පියසේන නැවතී සිටයේ බත්තරමුල්ලේය. රාත‍්‍රියේ 12ට එන්නට කීවත් ඔහු එයි.


පැරණි කම්හලෙන් මා තෝරාගත් කාර්මිකයන් කීපදෙනාත් සමගින් ඒ සතියම බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සියලූම ඉඩම් වලට ගියේ අපේ නව සේවා ඒකකයට සුදුසු තැනක් සොයාගන්නටය. කඩුවෙල සහ නුගේගොඩ දෙතැනේ වඩා ඉඩ කඩ ඇති ඉඩම් දෙකක් තිබුණත් අපේ අවධානය වැඩියෙන්ම යොමු වුණේ මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට යාබදව පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ලොරි නැවැත්වීමට යොදා ගත් කුඩා ඉඩමයි. නුගේගොඩ ඉඩම තිබුණේ අපේ මහගෙදර සිට පයින් ඇවිද යන දුරකිනි. එනමුදු මරදාන ඉඩම කම්හලට වඩාත් සුදුසු තැන ලෙස මම තේරුම් ගත්තෙමි. එල්පින්ස්ටන් රඟහල ඉදිරියෙන් පහළට යනවිට තිබෙන මේ ඉඩමේ ගොඩනැගිල්ලක්ද වීම අපේ කටයුත්ත වඩාත් පහසු කරනු ඇතැයි මම සිතුවෙමි. යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා කැඳවාගෙන විත් තැන පෙන්වූ විට ඔහුද එයට එකවරම කැමති විය.


ඊළඟ සතියේම කාර්යාල කාමරයක් ගබඩා කාමරයක් සේවක කාමරයක් මුර කාමරයක් ගොඩ නැගුණි. සේවක කාමරයේ වහලයට කොන්ක‍්‍රීට් එකක් දම්මවා ගත්තේ අනාගතය ගැන සිතා ය. මේ ඉඩම කුඩාය. ගොඩනැගිලි තනන්නට ඇත්තේ කුඩා ඉඩකඩකි. මේ සීමිත ඉඩෙන් උපරිම ප‍්‍රයෝජනය ගතයුතු ය. යම් දිනෙක මම මේ කොන්ක‍්‍රීට් තට්ටුව උඩ තවත් කාමරයක් තනන්නෙමි. එය කරන්නේ කෙසේ දැයි අද මට නොවැටහේ. එනමුදු දිනෙක මම එය කරන්නෙමි.


ගබඩාබාරකරුවකු ලිපිකාරිනියක සහ මුරකරුවන් දෙදෙනෙකු ද අනුයුක්ත කෙරුණි. කාර්මිකයන් හතර දෙනෙකි. රියැදුරන් තුන්දෙනෙකි. මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ෆෝමන්වරයකු ලෙස සේවය කළ සෝමසිරි මහත්තයාද අපට එක් වී සිටියි. මාර්ග සති යන්ත‍්‍ර කට්ටලයේ ක‍්‍රියාකරුවන් දහ දෙනෙක් පමණ සිටින්නට ඇත. සටන ගෙනයන්නට මට ලැබුණ හමුදාවයි මේ.


”එදිරි මේක සර්විස් යුනිට් එකක් විතරයි... වර්ක්ෂොප් එකක් නෙවෙයි” වැඩ පටන්ගත් දා යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා නැවත අවධාරණය කළේ ය.


මම එකඟතාව පෙන්වමින් හිස සළමි.


මට  ඕනෑ කොතැනකින් හෝ පටන් ගන්නටය.


අපි වැඩ පටන් ගත්තෙමු.

(ඉතිරි කොටස පසුව කියවමු)
,

Tuesday, January 24, 2017

ආමීර් ඛාන් ගේ Dangal චිත‍්‍රපටය හින්දි සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳියි

මම සිනමා විචාරකයෙක් නොවෙමි. එහෙත් සිනමාව පිළිබඳ කුඩා කල සිටම ඇති උන්මාදයකින් පෙළෙන්නෙක්මි. 


මා පළමු වතාවට බැලූ හින්දි චිත‍්‍රපටය පවුලේ අයත් සමග බොරැුල්ලේ ලිඩෝ හිිදී නැරඹූ ”මධුමතී” නම් වන හින්දි චිත‍්‍රපටයයි. එය හොල්මන් කතාවකි. එයින් පසු හින්දි චිත‍්‍රපට නැරඹුවේ ඉතාම අඩුවෙනි. තරුණ කාලයේ එම්පයර් සිනමා හලේ පැල් බැූඳගෙන දිවූ රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවෙන් ගෙන්වා පෙන්වූ ගීත් අභිමාන් වැනි කීපයක් පමණක් වරින් වර බැලූ බව මතක ය. 


එ‘ කාලයේ මම හින්දි චිත‍්‍රපට විරෝධියෙක් වීමි. එවන් විරෝධයක් ඇති කර ගත්තේ මන්දැයි  පැහැදිළි හේතුවක් දැන් කල්පනා කරන විට පවා මට සිතා ගත නොහැකිය. ජනප‍්‍රිය හැම දේටම විරුද්ධ වීම තරුණ කාලයේ ගතියක් යයි මට සිතෙයි. අප ප‍්‍රබුද්ධයන් වීමට පෙරුම් පුරනා නිසා විය හැකි ය.


නැවත හින්දි චිත‍්‍රපට බලන්නට පෙළඹුනේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ආසන්නයේ ”සාජන්” චිත‍්‍රපටය නැරඹීමෙන් පසුවය. සන්ජේ දත් සහ මධුරි ඩික්සිත් ගේ රංගනය මගේ සිත ඇද ගන්නට සමත් විය. මට ඒ ආදරය විඳගන්නට හැකිය. ඔබ එයට කියන්නේ බොළඳ කම කියා නම් ඒ බොළඳ කමට මම කැමැත්තෙමි. සමස්ථ සමාජය සම්භාව්‍ය කිරීමේ සිහිනයක් මට ද විය. දැන් මම ඒ සිහිනයෙන් මිදෙමින් සිටිනෙමි. (සමාජවාදී සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් තිබූ සිහිනය සේම)


(සාජන් චිත‍්‍රපටයේ ගීයක් නරඹන්නට කැමති නම් මෙතැනට යන්න..)




ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමෙන් පසු පහසුවෙන් හින්දි චිත‍්‍රපට ලැබෙන්නට පටන් ගැනීමත් සමගම ඒ බොහෝ ඒවා බලන්නට මට හැකි විය.


අපේ සිනමාව දවසින් දවස කඩා වැටෙන්නේත් හින්දි සිනමාව දවසින් දවස ඉදිරියටම යන්නෙත් ඇයිදැයි යන්න මේ සෑම විටකම මගේ සිතේ හොල්මන් කළ ප‍්‍රශ්නයක් විය. 


හින්දි සිනමාව මේ හැටි ඉදිරියට යන්නට බොහෝ කාරණා බල පෑවද ඒ කාරණා වලින් ඉදිරියෙන්ෙ තිබෙන්නේ ඒවායේ තිර නාටක වල ප‍්‍රභල බව ය යන්න මගේ අදහසය. 


ආමීර් ඛාන් ගේ Dangal අපට පෙන්වා දෙන්නේ ද ඒ කාරණයමය.





පසුගිය සතියේ ප්‍රෙස්ටන් හි විලේජ් සිනමා හලේ Dangal නැරඹුවෙමි. චිත‍්‍රපටය අවසන් වන විට ඉන්දියන් කාරයන් සිටියේ සිටගෙන ය. සිටගත්තා නොව ඔවුන් නිරායාසයෙන් දෙපයින් සිටුවන්නට සිනමාකරුවා සමත් වී තිබුණි. ඉන්දියන්කාරයකු නොවන මාද මගේ ඇසින් වට කඳුළු සඟවාගෙන සිටියේ මහත් ආයාසයෙනි. මට ඒ සංවේදනය ඒ තරමින් දැනේ නම් ඉන්දියන්කාරයන්ට කෙසේ දැනෙනවා ඇද්ද?


මේ හින්දි සිනමාකාරයාගේ දක්ෂතාවයි. උන්ට බනිමින් ඉන්නේ නැතිව උන්ගෙන් යමක් ඉගෙන ගත්තොත් නරකද?


හින්දි සිනමාවේ දී සිදුවීම් අතිශයෝක්තියට නැංවෙයි. එහි ඇති වරද කුමක්ද? ආසියානුවන් වන අපේ කතා රටාවම අතිශයෝක්තියෙන් පිරී නැත්ද? ජාතක කතා වල සිට ජන කතා දක්වා ත් ඉතිහාස කතා හරහාත් අපි කුඩා අවදියේ සිට වැඩිහිටියා දක්වාම අතිශයෝක්තිය රස කර විඳ නැත්ද? සිනමාවේදී පමණක් යථාර්ථවාදී බව බලාපොරොත්තු වන්නේ කුමකටද? 


ආමීර් ඛාන්ගේ Dangal සිනමා පටයේ ආදර කතාවක් නැත. සමනල නලූ නිළියන්ද නැත. ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ය. ගැහැනුන් ය. 


තමාගේ පුතා මල්ලවපොර ශූරයකු කරන්නට සිහින දකින තාත්තා කෙනකුගේ ඇත්ත කතාවක් පාදක කර ගනිමින් තිර නාටකය ගොඩනගා ඇති ආකාරය අපූරුය. පුුතෙකු වෙනුවට දියණියන් දෙදෙනකු ලබන තාත්තා අවසානයේදී දියණියන් දෙදෙනා මල්ලවපොර සඳහා යොමු කිරීම දක්වා යන ගමනේ නාටකීය සිදුවීම් ගොඩනගා ඇති ආකාරයත් දෙබස් රචනා කර ඇති ආකාරයත් නියම කතාකාරයන්ගේ හපන්කම් ය. කඩිමුඩියේ එහෙන් මෙහෙන් ගැට ගසා ගන්නා කතා වලින් සිනමා නිර්මාණ කර අතින් පාඩු කරගන්නා සිංහල සිනමාවේ කතා රචකයන් මේවා ගැන කල්පනා කළ යුතුය.


සම්භාව්‍ය සිනමාවකින් පමණක් සිනමාව කර්මාන්තයක් ලෙස රැකෙන්නේ නැත. සිනමාව කර්මාන්තයක් ලෙස රැකගන්නට නම් මිනිසුන්ගේ හදවත් දිනාගන්නා මිනිසුන් වැළඳගන්නා නිර්මාණ ද බිහි විය යුතුය. ඒ අතින් හින්දි සිනමාව දෙස බැලීමේ වරදක් මට නොපෙනේ.    


ආමීර් ඛාන් අපට පෙන්වා දෙන්නේ ඒ සත්‍යයයි. Dangal හින්දි සිනමාවේ ආදායම් වාර්තා බිඳීම පිළිබඳ මම පුදුම නොවන්නෙමි. පුදුමවන්නේ එසේ නොවුණා නම් පමණකි.    

Sunday, January 22, 2017

මෝටගේ‍්‍රඩරයට යටවෙන්නට ගිය ක‍්‍රියාකරු

මෝටගේ‍්‍රඩරයක් යනු කුමන ආකාරයක යන්ත‍්‍රයක් දැයි ඔබ නොදැන සිටින්නට හේතුවක් නැත. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් දැවැන්ත මෝටගේ‍්‍රඩර දෙකක් මේ කියන කාලයේ බටහිර යාන්ත‍්‍රික කම්හලට අයත්ව තිබුණි. මේ මා මාර්ග සංවර්ධන අධීකාරියේ රැකියාවට ගිය අලූතය. මගේ ලොක්කා  වරලත් යාන්ත‍්‍රික ඉංජිනේරු දේවේන්ද්‍ර මහත්තයා ය.




මොටගේ‍්‍රඩර් යන්ත‍්‍ර ප‍්‍රමාණයෙන් විශාල නිසා ඒවායේ ක‍්‍රියාකරුවන්ද පොඩි පහේ අධිමානසිකත්වයකින් සිටින්නට ඇතැයි අද කල්පනා කරන විට මට හිතෙයි. එක් යන්ත‍්‍රයක ක‍්‍රියාකරු මෙරිල් ය. අනෙකේ උඩවත්ත ය. දෙදෙනාටම ගෝලයන් දෙදෙනක්ද අනුයුක්තව සිටියේ යන්ත‍්‍රයේ නඩත්තුව තනිවම කළ නොහැකි නිසා ය.


මේ පේ‍්‍රමදාස මහත්තයා අගමැතිව සිටි කාලයයි.


කොහේදෝ වැඩකට යවා තිබූ උඩවත්තගේ  HDMG.... මෝටගේ‍්‍රඩර ය දහවල් දොළහට පමණ කම්හලට පැමිණියේ ය. යම්කිසි අලූත්වැඩියාවක් කරගෙන නැවත යන්නට ය. ඒ කාලයේ කම්හල තිබුණේ බත්තරමුල්ලේ පාලම් තුන නමින් හැඳින්වුණ තැන ඇලට මායිම්ව බත්තරමුල්ල පැත්තේ සිට පැමිණෙන විට දකුණු පැත්තේ ගොඩ කළ බිමේ ය.



(ජේ ආර්, රජීව් ගාන්ධි සමග පරිප්පු ගිවිසුම අත්සන් කළ දා මේ කම්හල වාහන විශාල සංඛ්‍යාවක්ද සමග දේශපේ‍්‍රමීන් විසින් ගිනි තබන ලද බව ද එදා මා පාවිච්චි කළ 31 ශ‍්‍රී 3928 මිට්සුබිෂී ජීප් රථය ද ඒ සමග ගිනිබත් වූ බව ද ලියා තබන්නේ මහත් සංවේගයෙනි)


බත්තරමුල්ල පැලවත්ත පාර ඒ කාලයේ ඉතා පටු පාරක් විය. උඩවත්ත මෝටගේ‍්‍රඩරය පදවාගෙන ආවේ පැලවත්ත පැත්තේ සිට ය. ඒ පැමිණ විනාඩි දහයක් යන්නටත් පෙර ප‍්‍රධාන කාර්යාලයෙන් දුරකතන ඇමතුමකි.


”HDMG.... මොටගේ්‍්‍රඩරය අමාත්‍යංශයේ ලේකම්ගේ නිල රථයට ඉස්සර කරන්නට ඉඩ නොදී වේගයෙන් ධාවනය කර ඇති හෙයින් වහාම මේ ගැන පරීක්ෂණයක් කර වාර්තා කරන්න”


මට මතක හැටියට අමාත්‍යංශයේ ලේකම් පාස්කරලිංගම් ය. ආණ්ඩුවේ බලසම්පන්න චරිතයකි. එහෙව් උත්තමයෙකුගේ වාහනයට ඉස්සර කරන්නට ඉඩ නොදී මෝටර් ගේ‍්‍රඩරයක් ධාවනය කළ එහි ක‍්‍රියාකරු දැන් දඬුකඳේ ගැසිය යුතු ය.


”පැලවත්ත පාරෙ මොටගේ‍්‍රඩරේ අයින් කරලා වෙනින් වාහනයකට ඉස්සර කරන්න ඉඩ දෙන්න තැනක් කොහෙද තියෙන්නෙ සර්. මං දැක්කා ලොක්කෙකුගෙ වාහනයක් පිටිපස්සෙන් එනවා. ලොක්කෙක් තියා සොක්කෙක් ආවත් මොනා කරන්නද? පාර ඉඩ තියෙන එකක්යැ.. මං ඉතින් පාගලා ආවා” ඒ උඩවත්තගේ පැහැදිළි කිරීමයි.


පටු පාරක තමන්ට ඉස්සර කරන්නට ඉඩ නොදී ධාවනය කළ මෝටර් ගේ‍්‍රඩරයක් පිළිබඳව ඉහළට පැමිනිළි කරන්නටත් ඒ අහිංසක සේවකයාට එරෙහිව ක‍්‍රියා කළ යුතුයයි අදහස් කරන්නටත් තරම් උද්ධච්ච මානසිකත්වයකින් යුතු ලොක්කෝ ඒ කාලයේත් සිටියහ.


සේවකයාට තදින් අවවාද කළ බවත් මෝටගේ‍්‍රඩරයෙන් ඔහු ඉවත් කළ බවත් ඉහළට ලියා යවා වැඬේ ගොඩින් බේරා ගන්නට හැකි විය. එහෙම ලිව්වාට උඩවත්ත ඒ මෝටගේ‍්‍රඩරයේ දිගටම සේවය කළේ ය.


පළපුරුදු මෝටගේ්‍්‍රඩර් කි‍්‍රයාකරුවකුගේ වටිනාකම ලොක්කන් නොදන්නවාට ඉංජිනේරුවෝ දනිති.

Tuesday, January 17, 2017

ලොක්කන්ගේ පොඩි වැඩ

මේ සටහන කවදාක හෝ කොතැනක හෝ ලියා තබන්නට මට අවශ්‍යව තිබූ සටහනකි. ජීවිතය දෙස ආපසු හැරී බලන විට මේ සිදුවීම් කීපය නොමැකෙන ලෙස සිතේ ඇඳී ඇත්තේ එක විට දැනෙන කළකිරීමක් සහ සතුටක්ද සමගින් ය.


මේ 1996 වසරයි.


පිටරටක අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබීම රජයේ ආයතන වල සේවය කළ අපට විශාල සිහිනයක් වූ බව නොරහසකි. සමහර ආයතන වල එකම නිලධාරීන් පිරිසක් වරින් වර මේ වරප‍්‍රසාදය ලබා ගනිද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ඉහළ නිළධාරීන් ඉතා වැදගත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඔවුනට ගෞරවයක් ලෙස සටහන් කළ යුතුය. විදේශ වාරිකාවක අවස්ථාවක් ලැබුණ විට සැම විටකම මෙයට පෙර විදෙස්ගත නොවූ නිලධාරීන් තෝරා ගැනීම ඒ පිළිවෙතයි.


මේ කියන අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ කම්කරු ආයතනය (ILO - International Labour Organization)  ඉතාලියේ තුන් මස් නේවාසික පාඨමාලාවක් සඳහා යාන්ත‍්‍රික ඉංජිනේරුවන් දෙදෙනකුට අවස්ථාව ලබාදීම සඳහා මාසංඅධිකාරියේ යාන්ත‍්‍රික අංශයෙන් නාමයෝජනා  කැඳවා තිබුණි. අපේ අංශය විසින් පවත්වාගෙන යනු ලබන ලැයිස්තුවට අනුව අපේ සල්ගාදු සහ මා මේ සඳහා තෝරා ගැනුණි. අපේ නම් දෙක අනුමැතිය සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් වෙත යවනු ලැබිණි.


දවස් සති ගණන් ගතවෙයි. දැන් වීසා ලබා ගත යුතු අවසන් දවස් ද ළං ළං වෙයි. තවමත් ලිපි ගොණුව ලේකම් ළඟය.  ඔහු හිතා මතාම අත්සන් කිරීම පමා කරයි. ඔහුගේ කාර්යාලයේ සේවය කළ ලිපිකාරිණියක අපට මේ බව තහවුරු කළා ය. ”සෙකටි‍්‍ර චෙයාමන් එක්ක හිත යටින් තරහයි.. ඒකයි හේතුව”


”මේක හරියන්නෙ නැහැ එදිරි.. අපි යමු ලේකම් ළඟට” සල්ගාදු අවසන් දවසේ උෑදෑසන කීවේ ය. එදා වීසා ගන්නට නොලැබුණොත් මේ ගමන යන්නට ඉඩක් නැත. අදාල දවසේ සවස 4ට පෙර අදාල ලිපි ලදහොත් එදිනම වීසා ලබා දීමට හැකි බව තානාපති කාර්යාලයේ කාරුණික නිලධාරියා කියා තිබුණි.


අපි සෙත්සිරිපායේම පිහිටි ලේකම්ගේ කාර්යායට ගොඩ වැදුනෙමු. ඒ ගරු ගාම්භීර නිලධාරියාට කාරණය කිව්වෙමු. ඔහු මේසය මත වූ ලිපි ගොණු අතරින් අපේ ලිපිගොණුව අතට ගත්තේ නොසැළකිළිමත් ලෙසටය.


”තමුසෙල පැනගෙන ලෑස්තිවුණාට මෙහෙම පිටරට යවන්ඩ කොහෙද අයිසෙ ආණ්ඩුවට සල්ලි තියෙන්නෙ?” ඔහු ගොරහැඩි ලෙස කීවේ ය. ”මට මේකට අනුමැතිය දෙන්ඩ බැහැ”


අපි ආපසු ආවෙමු.


”වෙයාමන්ට කියමු” ඒ අපේ අවසාන උත්සාහයයි.


අපි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිගේ කාර්යාලයට ගියෙමු. එවකට සභාපතිවරයා එම් බී එස් ප‍්‍රනාන්දු මහතා විය. ඔහු දක්ෂ නිලධාරියෙකි. වැඩ නොකරන්නට නොව වැඩ කරන්නට හැකි ආකාරය නිතරම සොයා බලන නිලධාරියකු විය.


”ආයතන සංග‍්‍රහයේ මොකක් තිබුණත් ආයතනයේ යහපත වෙනුවන් ඔබ ගත් තීරණයක් වැරදී ගියොත් මම ඔබ ආරක්ෂා කරනවා.. ඒ නිසා බය නැතිව වැඩ කරන්න” වරක් ඉංජිනේරුවන් වෙනුවෙන් පැවැත්වුණ රැස්වීමකදී ඔහු කී හැටි මට මතකය. ඒ සහතිකය පිළිබඳ සැකයක් ඇති කර ගත යුතු නැත. ඔහු ජනාධිපති පේ‍්‍රමදාසගේ කාලයේ සිටම ශක්තිමත් ලෙස සේවය කළ නිලධාරියෙකි.


”අපට අවශ්‍ය මේ වගේ ඉංජිනේරුවන්” යනුවෙන් පේ‍්‍රමදාස මහතාගෙන්ද බව්තීස්මය ලබා තිබුනි. ඒ කාලයේත් අපේ ආයතනයේ සභාපති ඔහු ය.


ඒකත් අපූරු කතාවකි.


පල්ලෙකැලේ ගම් උදාව සඳහා මහනුවර රෝහල අසලින් අලූත් පාරක් තැනුණි. ගම් උදාවට දින දෙකක් තිබියදී පාරේ වැඩ සියල්ල අවසන්ව තිබුණත් රෝහළ අසළ මඩ ගොහොරුවක් නිසා පාර එතැන නිසි ලෙස සකසන්නට නොහැකි විය. කෙසේ හෝ පාර දින දෙකකින් අවසන් කළ යුතු විය. මඩ ගොහොරුව යටින් උනන උල්දිය නිසා ඉංජිනේරුවන් මුහුණ දී සිටියේ බරපතළ ප‍්‍රශ්නයකටය. පාලමක් වැනි බරසාර වැඩක් කරන්නට වේලාවක් ද නැත. අනෙක් පැත්තෙන් පේ‍්‍රමදාස මහතා අසූ හාරදාහට කේන්තියෙනි. වෙනත් කරන්නට දෙයක් නැති තැන ලොරි ගණනාවක් අමු සිමෙන්ති මඩ ගොහොරුව මත දමා ඒ මතින් පාර සකස් කෙරුණි. වියදම මොකක්ද? පාරේ වැඩ අවසන් ය.


පේ‍්‍රමදාස මහතාට හරිම සතුටුය. ”අපට අවශ්‍ය මේ වගේ ඉංජිනේරුවන්” යය් ඔහු සභාපතිතුමාට බෞතීස්මය ලබා දුන්නේ එදා ය.


අපි දැන් සභාපතිවරයාගේ  කාර්යාලයේ ය. ඔහු බර වැඩකය. එහෙත් එය නවතා අපට සවන් දුන්නේ ය.


”එහෙම කොහොමද..? අපිට සල්ලි තියෙන නිසානෙ අපි දෙන්නෙක් නොමිනේට් කෙරුවෙ.. මම දැන් ඇමතිතුමා හමුවෙන්න යනවා.. ඔයාල සෙකටි‍්‍රගෙන් ෆයිල් එක ඉල්ලගෙන ඇමතිතුමාගෙ ඔෆිස් එකට එන්න” ඔහු කීවේ ය.


අපි ආපසු ලේකම්වරයා වෙත ගොස් ලිපි ගොණුව ඉල්ලාගතිමු. අපට ලිපිගොණුව දෙන්නට පෙර ඔහු ”ප‍්‍රතිපාදන නැත.... අනුමැතිය දිය නොහැකිය” කියා අත්සන් කර අවසන් ඇණයද ගැසුවේ ය.


අපි ලිපිගොණුවද සමගින් පිම්මේ ඇමතිකාර්යාලයට ගියෙමු. එවකට මහාමාර්ග ඇමතිවරයා ඒ එච් එම් ෆවුසි මහතා විය.


ඇමතිවරයාගේ කාර්යාලය මීමැසි පොදියක් මෙන් මිනිසුන්ගෙන් පිරී තිබුණි. අපි මිදුලේ කෙළවරක වූ පෝලිමේ අගිස්සට එක්වුණෙමු. කාලය වේගයෙන් ගතවෙයි.


”සර්ල මොකද මේ පෝලිමට වෙලා..?” ප‍්‍රශ්නය නැගුවේ කොහේ දෝ සිට පාත් වූ අමාත්‍යාංශයට නිදහස් කර සිටි අධිකාරියේ රියැදුරු මහත්වරු කීපදෙනෙකි. ඒ අය අතරින් පත්මසිරි මට තවමත් මතකය. ”මේ පෝලිම අද ඉවර වෙන්නෙ නෑ.. සර්ල මෙහෙන් එන්න”


අප යමක් කියන්නටත් පෙරම ඔහු ගොඩනැගිල්ලේ වෙනත් දොරකින් අප ඇතුළට ගෙන ගියේ ය. මුරකරුවන් සිටි දොර කපොලූ හතරක් පහක් ගිය තැන අප නොදැනුවත්වම නැවතුණේ ඇමතිවරයාගේ ගරු ගාම්භීර කාර්යාල කාමරය තුළ ය. එතුළ ද පනහක හැටක පිරිසකි. සභාපති එම්බීඑස් ප‍්‍රනාන්දු මහතා ඇමතිවරයාගේ මේසය අසළමය.


අප දුටු සැණින් ඔහු ළඟට එන ලෙස හිසින් සන් කළේ ය. අපි ඔහු අසළට ගියෙමු. ඔහු ලිපි ගොණුව අප අතින් ගත්තේ ය. ”අනුමැතිය නොදෙමි කියලයි සෙකටි‍්‍ර අත්සන් කළේ ” අපි කීවෙමු.


”ඒකට කමක් නැහැ”  සභාපතිවරයා කීවේ ය. ඔහු ඇමතිවරයා වෙත ගොස් ලිපිගොණුව ඇමතිවරයා අතට දුන්නේ ය. එය කියවා බැලූ ඇමතිවරයා හිස ඔසවා අප දෙස බැලූවේ ය.


”අනුමැතිය නොදෙමි කියලනෙ තියෙන්නෙ.. සල්ලි නැහැලූ නේද?”


”සර්... සල්ලි තියෙනවා සර්...  සල්ලි තියෙනවද නැද්ද කියල අපෙන් අහල බලල නේද ඔහොම මිනිට් එකක් ගහන්න  ඕනෙ.. අපි ගාව ඇති තරම් සල්ලි තියෙනව සර්.. "..........." ප්‍රොජෙක්ට් එකෙන් අපි මිලියන් 10 කට වැඩිය ඉතුරු කරලා තියෙනවා "...." ප්‍රොජකේට් එකෙන් මිලියන් විස්සකට වැඩියි” සභාපතිවරයා ලාභ ලද ව්‍යාපෘති ගණනාවක විස්තර කියයි. ”ඉතින් කොහොමද සල්ලි නැහැ කියන්නෙ.. අනික මේ ඉංජිනියර්ස්ල දෙන්නගෙ ටිකට්ස් වලට යන සල්ලි විතරයි අපට වියදම් වෙන්නෙ.. අනිත් වියදම් ILO එකෙන් දරන්නෙ”


මේ කතාවේ වඩාත්ම වැදගත් කතාව සභාපතිවරයා කීවේ ඉන් පසුවය. ඔහු ඉංග‍්‍රීසියෙන් කියූ වදන් මම මේ ලෙස සිංහලට හරවමි.


”ඒ සල්ලි මොකක් නැති වුණත් සර් මේ ස්කොල් එකට අපට දරන්න වෙන වියදම වගේ සිය දහස් ගාණක මුදලක් මේ ඉංජිනේරුවො රෑ  දවල් නොබලා වැඩ කරලා ආයතනයට ඉතිරි කරලා දීල තියෙනවා....  අපට යුතුකමක් තියෙනවා සර් මේ මිනිස්සුන්ට මේ අවස්ථාව දෙන්න”


ඇමතිවරයා සිනාසුණේ ය. ඔහු ලේකම්වරයාගේ සටහන යටින් මෙලෙස ලියා ලිපිගොණුව නැවත දුන්නේ ය.
”ප‍්‍රතිපාදන ඇත..  අනුමත කරමි”


ඊළඟ පැය බාගය ඇතුළත අපි නැවත මහාමාර්ග ලේකම්වරයා ඉදිරියේ පෙනී සිටියෙමු. ඇමතිවරයාගේ සටහන කියවා බැලූ ඔහු කරබාගෙන ”අනුමැතිය දෙමි” යි යටින් ලියා අත්සන් කළේ ය.


ඒ වන විට වේලාව සවස  පහ ය


පසු සටහන


අපට නියමිත වේලාවට වීසා ගන්නට නොහැකි විය. එසේ වුවද අප දෙදෙනාගේ නම් ඊළඟ වසරේ මැද ඉතාලියේම පැවැත්වෙන මිළඟ වැඩසටහනට ඇතුල් කර ඇති බවත් නැවත අනුමැතියක් අවශ්‍ය නැති බවත් අදාල ආයතනයෙන් පසුව දන්වා එවීය.


මම 1996 දෙසැම්බරයේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා අස්වී 1997 ජනවාරියේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණෙමි.


සල්ගාදු වෙනත් ඉංජිනේරුවරයෙකු සමගින් ඒ වසරේ මැද ඉතාලියට ගිය බව දැනගතිමි.


මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා අස්වූ පසු එම් බී එස් ප‍්‍රනාන්දු මහතා ගැන යමක් මට දැනගන්නට නොහැකි විය. මිනිසකුගේ දක්ෂතා අගයන්නට පැකිළෙන මේ කුහක සමාජයේ මගේ ජීවිතයට අමතක නොවන පැසසුමක් ප‍්‍රසිද්ධියේ කළ ඒ මහතාට මගේ ගෞරවය හිමිවෙයි.


ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වී වසර විස්සකට පසුවත් ඉතාලියට යාමේ සිහිනය මගේ සිතේ තවමත් හොල්මන් කරමින් තිබේ. මගේ අවශ්‍යතා ලැයිස්තුවේ ඒ අයිතමය ඇත්තේ ඉතා පහළින් ය.

Saturday, January 14, 2017

ජනාධිපති පේ‍්‍රමදාසගේ අත්වැල් ඇල්ලීම


ටයි පටිය සහ ජනාධිපති පේ‍්‍රමදාස ලිපියේ මා ලියූ අත්වැල් ඇල්ලීම පිළිබඳව විමසුම් කළ අය වෙනුවෙනුයි මේ සටහන.


ජනාධිපති පේ‍්‍රමදාස යනු හිතට එන  ඕනෑම අදහසක් එසැණින් ක‍්‍රියාත්මක කරන නායකයකු බව ලිව්වෙමි. අත්වැල් ඇල්ලීමද ඔහුගේ තවත් එක් අපූරු වැඩ සටහනකි. නියම කරන එක්තරා දිනෙක එක්තරා වේලාවක ඔහු යටතේ ඇති සියලූම ආයතන වල සේවක සේවිකාවන් වාහන වලින් මහපාරට ගෙන එනු ලැබෙන අතර නියමිත වේලාවේදී මේ අසරණයන් පාරදිගට සිටගෙන එකිනෙකාගේ අත්අල්ලාගෙන අත්වැලක් සෑදිය යුතුය. අත්වැල කිලෝමීටර අච්චර දිගය මෙච්චර දිගය කියා පේ‍්‍රමදාස මහත්තයාට වාර්තා කරන්නටද පිරිසක් සිටියහ.


අත්වැල් අල්ලන්නට ගෙන එන රජයේ සේවකයන් දිරි ගැන්වීම සඳහා ඒ සැමටම නොමිලයේ රුපියල් පහක් වටිනා සූරන ලොතරැුයියක්ද පිරිනැමිණි. ඒ ලොතරැුයිපත් වලින් කිසිවකුට කිසිදු දිණුමක් නොඇදුණි. මේ වෙනුවෙන්ම කිසිදු දිණුමක් නැති සූරන ලොතරැුයි ලක්ෂ ගණනක් මුද්‍රණය කළ බව ඒ ලොතරැුයි ආයතනයේ සේවය කර පසුව මාර්ග සංවර්ධන අධිකාරියට බැඳුණ එක්තරා ලිපිකාර මහතකු මට කීවේ දැඩි හිතවත් කමටය. (ඔහු දැඩි පේ‍්‍රමදාසවාදියකු විය) පසුව විගණනයට හසු නොවන පිණිස ඉතිරිව තිබූ මේ දිණුම් නැති ලොතරැුයි පත් ලක්ෂ ගණනක් පුලූස්සා දැමූ බවද ඔහු කීවේය. ඒ කාලයේ සිදුවූ සිදුවීම් සමග කල්පනා කරන විට ඒ කතා වල ඇත්තක් තිබේ යයි මට සිතෙයි.


මේ කාලයේම පේ‍්‍රමදාස මහතාගේ මහතාගේ මෙහෙයවීමෙන් ”පෙරමග” නම් සඟරාවක්ද මුද්‍රණය කෙරුණි. ඔහු යටතේ තිබූූ ආයතන වල සියලූම සේවක සේවිකාවන් අනිවාර්යයයෙන්ම මේ සඟරාව මිලට ගත යුතු විය. සඟරාවේ මිල වැටුපෙන් අඩුකර ගැනුණි. සඟරාව මිලට නොගන්නා සේවකයන්ගේ නම් ලැයිස්තු ගෙන්වා ගැනුණි.


යමක් කියවන්නට තිබූ කැමැත්ත නිසා "පෙරමග" මිලට ගත් නමුත් ලෙඩ නිවාඩු දමා අත්වැල් ඇල්ලීම මගහැරියෙමි.

Friday, January 13, 2017

ටයි පටිය සහ ජනාධිපති පේ‍්‍රමදාස

බොහෝ දෙනෙකුට අමතකව ගිය චක‍්‍රලේඛයක් පසුගිය දා ජනාධිපති සිරිසේන විසින් අවලංගු කරන ලද බව අසන්නට ලැබුණි. අභාවප‍්‍රාප්ත ජනාධිපති පේ‍්‍රමදාස විසින් පනවන ලද රජයේ සේවයේ නියුතු විධායක ශ්‍රේණි වල නිලධාරීන්ගේ නිල ඇඳුම පිලිබඳව වූ නියෝගයයි ඒ. මේ නියෝගයෙන් කියැවුණේ සියලූම විධායක නිලධාරීන් එක්කෝ ජාතික ඇඳුම නැත්නම් යුරෝපීය ඇඳුම ඇන්ද යුතු බවය.


ජනාධිපති පේ‍්‍රමදාස යනු හරි හෝ වැරදි හෝ තමන්ට සිතෙන දෙය ක‍්‍රි‍්‍රයාත්මක කළ ජනාධිපතිවරයෙකි. අද සිටිනා ජනාධිපතිවරුන් මෙන් මේ තීරණයට අරයා විරුද්ධ වේවිද මෙයා විරුද්ධ වේවිද කියා සිත සිතා සිටීමක් ඔහුට නොවීය. ඔහු සිතුණ දේ ඒ හැටියටම ක‍්‍රියාත්මක කළේ ය. අද මෙන් හැම දේටම පාරට බහින ජනතාවක් එදා නොවීය. ඒ නොසිටියේ ඇයිදැයි සැවොම දනිති. පාරට බැස්සානම් ඒ අය ගැන බලාගන්නට ඇති තරම් හමුදා හා නිල නොවන හමුදා පේ‍්‍රමදාස මහත්තයාගේ පාලනය යටතේදී තිබුණි.


”සිවිල් ඉංනේරුවන් අවශ්‍ය නැත . මේසන් බාස්ලා සිටියාම හොඳටම ඇත” වැනි වැදගත් ප‍්‍රකාශ ද එතුමන් ගේ කටින් කියැවී තිබුණ යුගයකි මේ.


පේ‍්‍රමදාස මහතාගේ පාලනය ඉතා දැඩි එකකි. විශේෂයෙන් ඔහු මහාමාර්ග ඇමතිවරයා ද විය. එනිසා ඒ නියෝග ක‍්‍රියාත්මක කළ යුතුමය. ඔහු කලින් කළ ”අත්වැල් ඇල්ලීම” වැනි ව්‍යාපෘති වලින් අප සෑහෙන තරම් මගහැර සිටියද මේ නියෝගය මග හැරීම නම් ඉතා අපහසු එකක් විය.


මාර්ග සංවර්ධන අධිකාරියේ බහුතරයක් ඉංජිනේරුවන් සාමාන්‍යයෙන් ඇන්දේ කලිසම සහ අත්කොට හෝ අත් දිග හෝ කමිසයකි. එය රාජකාරියට පහසු ඇඳුමක් විය. අප විධායක  නිලධාරීන් යයි කියා සමාජය ඉදිරියේ විශේෂයෙන් කැපී පෙනීමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තක් හෝ අපට නොවීය. එනිසාම පේ‍්‍රමදාස මහතාගේ මේ නියේා්ගය අපට මහත් වධයක් විය. එනිසා හැකි සෑම විටම අප අතින් මේ නියෝගය කඩ විය. ටයි පටියක් බෑගයේ දමා ගෙන යන අපි සෙත්සිරිපාය ප‍්‍රධාන කාර්යාලයට යන විට පමණක් රිය ගාලේ දී ටයි පටිය බැඳගන්නෙමු. ප‍්‍රධාන කාර්යාලයෙන් පිටවූ වහාම එය ගලවා නැවත බෑගයට දමා ගත්තෙමු.


පේ‍්‍රමදාස මහතා අභාවප‍්‍රාප්ත වූ සැණීන් අපේ ටයි පටිද අතුරුදන් වූයේ ඉතා කැමැත්තෙනි.


එහෙත් ටයි පටියට පෙම් බැඳගත් සමහර නිලධාරීන් විශේෂයෙන් ප‍්‍රධාන කාර්යාලයේ ඉංජිනේරු නොවන අංශ වල සමහර නිලධාරීන් දිගටම එය පළඳිනු අපි නිරීක්ෂණය කළෙමු.  තම තමන්ගේ කැමැත්තේ හැටියට ය.


පේ‍්‍රමදාස මහතාගේ මරණයෙන් පසු කාටත් අමතකව ගිය මේ නියෝගය කාට හෝ නැවත සිහිපත්වීමද පුදුමයකි.


Sunday, September 4, 2016

අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම

කිසිදු බුද්ධිමත් සමාජයක් සයිබර් අපරාධ සැහැල්ලූකොට සළකන්නේ නැත. ඒවා අනෙකුත් සංවිධානාත්මක අපරාධ සේම භයානක ය. විනාශකාරී ය. සමාජ විරෝධී ය. එනිසා සයිබර් අපරාධ වල නියැලෙන්නෝ දඬුවම් ලැබිය යුතු අපරාධකරුවෝ වෙති.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුල් වී එහි ගොණු විකෘති කර දැමූ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ඇති වී තිබේ. මේ තරුණයන් දක්ෂයන් බැවින් ඔවුන් කළ අපරාධය නොතකා හැරිය යුතුය යන මතයක් ජනගත කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ තරුණයන් දක්ෂයන් නම් ඔවුන් කළ යුතුව තිබුණේ සිය දක්ෂතා සමාජ විරෝධි අපරාධයක් සඳහා යොදා ගැනීම නොවේ. දක්ෂයන් කළ යුත්තේ තම දැනුම සමාජ සුබසිද්ධිය සඳහා යොදවා ගැනීමයි.


සයිබර් අපරාධ අද මුලූ ලොවටම හිසරදයක් වීී ඇත. තමන්ට අයත් නැති වෙබ් අඩවි වලට හෙරෙන් රිංගා ඒවා විනාශ කිරීමත් කප්පම් ඉල්ලීමත් අද බහුල ලෙස සිදුවෙයි. (සන්නස වෙබ් අවඩියද තුන් වරක් මේ අපරා ධකරුවන්නේ ප‍්‍රහාර වලට ලක්විය) සයිබර් අපරාධ නිසා අපහසුතාවට පත්වූ, පීඩාවට පත් වූ ආයතන මෙහි ඇති බරපතළ බව හොඳින් දනියි. මේ අපරාධ නැවැත්වීමේ වගකීමක් නීතිය රකින ආයතන වලට ඇති බවට විසල් හඬක් නැගෙන්නේ එනිසාය.


අපරාධයක් කරන්නා දක්ෂයෙක්ද නැද්ද යන්න නීතිය සහ යුක්තිය ඉදිරියෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ කළ අපරාධය සහ එයට නීතියෙන් ලැබිය හැකි දඬුවම පමණකි. අපරාධකරුවන් වීරයන් කිරීමේ ප‍්‍රවණතාව දැන්වත් නවතා දැමිය යුතුය. එසේ නොවන කල අනෙකුත් අපරාධකරුවන්ද එය ආදර්ශයට ගනිමින් ඉදිරියටම යනු ඇති බවට සැකයක් නැත.


සයිබර් අපරාධ හෝ වේවා වෙනයම් අපරාධ හෝ වේවා වරදකරුවන් ඒ වරද කරන්නේ දැනුවත්වමය. තමන් කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒ අය දනිති. දැනුවත්ව වැරදි කරන්නන් වීරයන් වන්නේ නැත. සමාජ සුබසිද්ධිය අපේක්ෂා කරන්නෝ වෙත් නම් ඔවුන් කළ යුත්තේ අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම නොවේ.