එල් බී ඒකනායක
වියත් ලේඛකයකු පිළිබඳ මතක සටහන් අතර
ජීවිතයේ සමහර මතක සටහන් සිත මතුපිටට නොඑන ලෙස යටපත් කරගෙන ඉන්නේ ඒවා සිහිපත් වීමෙන් විඳින්නට සිදුවන වේදනාවට ඇති අකැමැත්ත නිසා ය. එවන් මතක සටහන් අතරින් එකක් 3zzz ගුවන්විදුලියේ හිටපු කැඳවුම්කරුවකු වන අසෝක සිල්වා සොයුරා විසින් පසුගියදා සංවිධානය කළ 3zzz ආදිතමයන්ගේ සුහද හමුවේදී මතුපිටට ආවේ නැවත වතාවක් ඒ අතීත වේදනාව විඳගන්නට අපට අවස්ථාව සළසාලමින් ය.
ඒ අප අතරින් වෙන්ව ගිය සැබෑ වියතෙකු වූ එල් බී ඒකනායක සූරීන් පිළිබඳ මතකයයි.
ඒ එක් කතාවක් රෝහණ කරුණාරත්න මතකයට ගෙන ආවේ මෙසේ ය.
”එල්බී අංකල් දවසක් රේඩියෝ එකට වැඩ සටහනක් ලියලා එව්වා... මේක අද යනව නේද කියල කීප සැරයක්ම ටෙලිෆෝන් කෝල් දීලත් ඇහුවා.. දානවා අංකල් දානවා.. අපි කිව්වා.. අපි හිතා හිටියේ ඒක දාන්නමයි. ඒ අන්තිමේ වෙලාව මදි වුණා.. වැඩ සටහන ඉවර වුණා විතරයි අංකල්ගෙන් බැණුම් හතයි.. මායි බන්දුයි කෙළින්ම ආවෙ අංකල්ගෙ ගෙදරට.. අංකල් ගෙදර නැහැ.. එයා තරහින් පුපුර පුපුර ඉඳලා එලියට බැහැල ගියා. ඇන්ටි කිව්ව.. අපි දෙන්න දැන් පාරවල් දිගේ ඇවිදිමින් අංකල්ව හොයනවා.. මෙන්න එක තැනකදි අපට පේනව අංකල් හයියෙන් හයියෙන් ඇවිදගෙන යනවා.. අපි දෙන්න දුවල ගිහින් ඒ පාරෙදිම බිම දණ ගහල අංකල්ට වැන්දා.. අනේ සමාවෙන්න අංකල් හිතා මතා කළ වරදක් නෙවෙයි.. ඔන්න ඒ පාර තමයි අංකල්ගෙ හිත නිවුණෙ.. දාන්නෙ නැත්නම් මට ඒක කලින්ම කිව්ව නම් ඉවරයිනෙ පුතා.. මං මේක අද යනවා කියලා කී දෙනෙකුට නං කිව්වද? ඒ මිනිස්සුත් අහන්න බලාගෙනනෙ හිටියෙ.. මං මඩවලටත් (මෙල්බනයේ සිටි වියත් ලේඛකයෙකි) කිව්ව අහන්න කියල .. ඔන්න ඔය වගේ තමයි එල්බීගෙ වැඩ.. තරහ ගත්තට අපට හරිම ආදරෙන් හිටියෙ”
එල් බී මා මුළින්ම දැන සිටියේ ”සිංගරුපාය” ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බනයේ 3zzz ගුවන්විදුලියට ලියූ ලේඛකයා ලෙස ය. මෙල්බන් ශ‍්‍රී ලාංකික ජීවිතය දෙස අපූරු බැල්මක් හෙළමින් ලියැවුණ සිංගරුපාය ඉතා අඩු පහසුකම් තිබුණ යුගයක නිමවුණ අපූරු ගුවන් විදුලි නාට්‍යයක් ලෙස අපේ සිත් බැඳගත්තේ ය. ඒ යුගයේ ගුවන් විදුලිය ඇසූ කිසිවකුට සිංගරු පාය අමතකව යා නොහැකි ය.
ඒ අතරම එල් බී එම ගුවන් විදුලියටම ලියූ ”විසිවන සියවස” වැඩ සටහන් පෙළ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය කෙරෙහි හෙළන ලද විචාරාත්මක බැල්මක් විය. අවාසනාවකට මේ වැඩ සටහන අතර මග ඇණ හිටියේ ය. ඒ ඇණ හිටීමට පසුබිම් වූයේ එම වැඩ සටහනේදී සිංහල මුස්ලිම් කෝලාහලය පිළිබඳව එල් බී ලියන ලද අදහසකට එවකට මෙල්බනයේ අණසක පතුරවාගෙන සිටි අන්තවාදීන් දැරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීම ය.
”ඒ පහර දීම හින්දා මට ලියන එක එපා වුණා පුතා” අප හමුවී කතා කළ පළමු දවසේම එල්බී මට කීවේ ය. නොසඟවාගත් කළකිරීමක් ඒ කටහඬෙහි විය.
මට එල්බී හමුවන්නේ අහම්බයකිනි. ඒ 2000 වසරේදී යයි සිතමි. ඒ හමුවීමට පාර කැපුවේ මෙල්බනයේ හිටපු කොන්සල් බන්දු දිසානායකයි. ඔහු එක් දිනෙක දුරකතනයෙන් මා ඇමතුවේ අපූරු කාරියක් බාර දෙන්නටය.
”මල්ලි අපේ එල්බී කවි පොතක් ලියලා.. මං ඒක ප‍්‍රින්ට් කරන්නයි හදන්නෙ.. ඔයාට පුලූවන්නං මට ඒ පොත ඩිසයින් කරලා දෙන්න” බන්දු ඉල්ලා සිටියේ ය. මම එකඟ වීමි.
පොතේ නම ”නව මැදිරි කවුළුවෙන්” විය. ගිලන්ව රෝහල් ගතව සිටින ලේඛකයකු නවවන තට්ටුවේ තමාගේ කාමරයේ කවුළුවෙන් පිටත බලා සිටිද්දී දැනෙන සිතිවිලි රැසක් ඒ පොතට ඇතුල්කොට තිබුණි.
ඒ යුගයේ තිබුණ ඞීඑස් කළණී ෆොන්ට් එකෙන් මම පොත සැළසුම් කළෙමි. පොත ගැන කතා කරගන්නට එල්බී රොක්ස්බර්ග් පාක්හි අපේ නිවසට දින දෙක තුනක් ආවේ ය. පිටකවරය වෙනුවෙන් අදහස් කීපයක්ම
මම ලේඛකයා වෙත ඉදිරිපත් කළෙමි. ඔහු අවසානයට කැමැත්ත දුන්නේ මේ සමග දැක්වෙන පිට කවරයට ය.
”මේක තමයි මගේ හිතේ තිබුණ පිට කවරය” ඔහු කීවේ ය.
ඔහුගේ කවි පොත පිළිබඳ කතා බහ අප දෙදෙනා සමීප කරවන්නට සමත් විය. ඔහු ඉතා නිර්ව්‍යාජ ලෙස මා සමග කතා කළේ ය. විවෘතව කතා කළේ ය. මේ වයෝවෘද්ධ ලේඛකයා තරුණයකු වූ මා සමග කළ කතා බහ අදත් මගේ සිතේ දෝංකාර දෙයි.
”මං රේඩියෝ එකට ලිව්වෙ හරිම ආසාවෙන් පුතා.. අන්තිමේ මුං මාව වටකරගෙන පහර දෙන්න ගත්තා.. මට ලියන එක එපා වුණා.. මං ලිවීම අත්ඇරදැම්මා... මේ කවි පොත තමයි මං එයින් පස්සෙ ලිව්ව එකම ලියවිල්ල . සමහර විට මේක තමයි මගේ අන්තිම ලිවීමත්” ඔහු කීවේ ය. නොලියූ කාලය පිළිබඳ ඔහු සිත තුළ තිබූ පසුතැවීම මට හොඳහැටි දැනුණි. ලේඛකයකුගේ අත් බැඳ තැබෙන විට දැනෙන වේදනාව මට තේරුම් ගත හැකි ය.
ඒ කාලයේ මා සිටියේ මෙල්බනයේ එවකට තිබූ එකම ශ‍්‍රී ලාංකික පුවත්පත වූ ඉංග‍්‍රීසියෙන් පළ වූ සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල අතිරේකය සංස්කරණය කරමින් ය. මේ නිහඬ ලේඛකයා නැවත අවදි කර ගත යුතු යයි මගේ සිත කීවේ ය.
”එහෙම නෙවෙයි අංකල්.. අපි ආයෙම ලියමු.. පොඩියට හරි පටන් ගමු.. මට ලියල එවන්න” මම ඇවිටිලි කළෙමි. ඔහු දැඩිව ප‍්‍රතික්ෂෙප කළේ ය. බොහෝ වතාවක් ඇවිටිලි කරන විට ඔහු මඳක් මෘදුවනු මට දැනුණි.
”මම කවියක් ලියා එවන්නම්” ඔහු අවසානයේදී කීවේ ය. මම සතුටින් ඉපිළ ගියෙමි.
ඔහු ලියා එවූ කවිය මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල අතිරේකයේ විශේෂ තැනක් දී පළ කළෙමි. ඔහු මහත් සතුටට පත්විය. එල්බී ඒකනායක නම් වන ලේඛකයා නැවත පණලබා එනු මම මහත් තෘප්තියකින් බලා සිටියෙමි. ඔහු මාස තුනක් හතරක් පත්තරයට ලිව්වේ ය. ඒ අතරේ අර අවාසනාවන්ත ප‍්‍රවෘත්තිය බන්දු දිසානායක මට ලබා දුන්නේ ය.
”එල්බීට අමාරුයි මල්ලි.. ආයෙම ඉස්පිරිතාලෙ .. මේ පාරනම්..” බන්දු අයියා කෙටියෙන්ම කතාව හමාර කළේ ය. නොකියූ කොටස මට තේරුම් ගන්නට හැකි ය.
බන්දු ඉක්මණින්ම ”නවමැදිරි කවුළුවෙන්” පොත මුද්‍රණය කළේ ය. මුද‍්‍රණය කළ පොත් රෝහලේ සිටි එල්බීට දුන් බව ආරංචි විය.
මම රෝහලට ගොස් එල්බී හමුවුණෙමි. ඔහු ඇඳේ වාඩි වී සිටියේ ය. පොත් මිටියක් ඔහුගේ පසෙකින් විය. ඔහු මහත් සතුටකින් දෝතින්ම සිය පොත මට දුන්නේ ය. මම කඳුළු සඟවා ගනිමින් ඒ පොත මහත් බැතියෙන් බාර ගතිමි.
”මම ගෙදර ගිය ගමන්ම ආයෙම ලියන්න පටන් ගන්නවා පුතා..” ඔහු කීවේ ය ”.. ඊළඟ මාස දෙකට කවි පන්ති දෙකක් මම ....... ට බාරදුන්නා පුතාට යවන්නය කියලා. එයා ඒක එවාවි” එල්බීගේ උද්‍යෝගිමත් කටහඬ මට ඇසෙයි.
”ඒක හොඳයි අංකල්.. අපි දිගටම ලියමු” මම කීවෙමි. එහෙත් ඔහුගේ කාලය ඉතා කෙටි බව මම ඒ වන විටත් දැනගෙන සිටියෙමි. රෝහලේ විදුලි සෝපානයෙන් පහළට එද්දී මට මගේ කඳුලූ සඟවාගන්නට නොහැකි විය.
ඒ දිනයට පසුවදා එල්බී අප හැර ගියේ ය.
මගේ රාජාලි පියාපත කවි පොතේ ආ මේ කව ලියුවේ එල්බී වෙනුවෙනි.
ගිලන් යහනත
නවා අතු පතර විලෝ ගස් පෙළ
සළා පිනි කඳුළු අතොරක් නැතිව අතු අගින්
බලා සිටියා ය විසල් ගොඩනැගිලි අබියස
මේ මහා රෝහල් බිමේ කෙළවරක
නවා ගත් හිස් ඇති මිනිසුන්
පුරා මෙ බිම සරා ගිය අයුර
නවවෙනි තට්ටුවේ වාට්ටුවේ
රෝගීව සිටි කවියා බලා සිටියේ ය
කුඩා මේසය කෙළවරක
කඩදාසි සහ පෑන ද
බලා සිටියේය වැළපෙමින්
අකර්මණ්‍යව සිටි කවියා දෙස
නොමිනිසුන් මිනිස් වෙස් ගත්
තලා දැමු සිත රිදුම් දුනි
රෝගී වූ ෙසෙල සියොළඟ පුරා
පීඩා දුන්නාට බෝ වැඩියෙන්
නොලිව් කවි පද සිරව හදවත තුළ
හඩා වැටුණා කළල වේසයෙන්
අලූත් කවි මල් පිපුණා ය රහසින්
ගිලන් යහනට ඉහළින්
ලියන්නට බොහෝ දේ ඉතිරිව ඇත
නොලියූ බොහෝ දේ ඇත සිත තුළ
ලියන්නට පටන් ගමි හෙටම
මහත් ආවේගයෙන් කීවේ ය කවියා
අවසන් හුස්ම හෙළුෑ දිනට පෙරදින
ජීවිතය යනු හමුවීම් සහ වෙන්වීම් රැසක එකතුවක් බව ඇත්ත ය. එහෙත් ඒ වෙන්වීම් අපේ සිතේ තබා යන වේදනාව විඳ ගැනීම කොයි තරම් අපහසු කාරියක්ද?
පසු සටහන
එල්බී ලියූ අන්තිම කවි කීපය අර බාරදුන් අය ඒවා මට එවුවේ නැත. ඇයිදැයි නොදනිමි. එසේම එල්බීගේ මේ කවි පොත කිසිදිනෙක එළිදැක්වුණේ ද නැත. එයට හේතුවද මම නොදනිමි.
ඉතාම කණගාටුදායක පුවතක් හිතාදර ජගත් මහතා බෙදාහදා ගෙන ඇත්තේ. එල්බී මහත්මයා කියන්නේ ඉතාම ගුණයහපත් කිතුණුවෙක්. ඒ වගේම වචනයේ පරිසමාප්තයෙන්ම හොද මනුෂ්‍යයෙක්. ඉතිං භක්තිමත් කිතුණුවෙක් වන මට මේ පුවත ඇසු විට දැනුන වේදනාව ඉමහත් වීම පුදුමයක් නෙමේ නේද ජගත් මහත්මයා. එතුමාගේ ආත්මයට සැනසීම ලබෙවා කියා මා අද සවස දිව්‍ය යාඥාමෙහෙයේදී දෙවියන්ට කන්නලව් කරන්නම් ජගත් මහත්මයා.
ReplyDeleteමැල්කම්
හිතවත් ජගත් මහත්මාණෙනි , ඔබේ කථා වලින් කෙටිකතා කරන්නට දුන් අවසරය අගය කරනවා . නමුත් මොනයම් හේතුවකින් හෝ මා එය දකින විට මම රේඩියෝ කෙටිකතා වැඩසටහන නවත්වලා . යලිත් පටන් ගත්තොත් අනිවාර්යයයෙන්ම ඔබේ කතා කිහිපයක් කරනවා . ඔබ සිහිනයකි රෑ වැඩසටහනේ කල විචාරය් හරිම හැගුම්බරයි . ඔබේ ගී , කථා සේම කතාබහෙන් කාටත් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා . ඔබේ ගුවන් විදුලියේත් , කැනඩාවේ සවන ගුවන් විදුලියේත් වැඩසටහන් හුවමාරු කරගන්න කැමති නම් ඒ සදහා ආසාවෙන් බලාගෙන ඉන්නවා . ඔබ හරිම කාර්ය බහුල පාටයි . ඒත් බ්ලොග් එකට තවත් දේ එකතු කරනවා නම් කියවන්න ආසාවෙන් ඉන්නවා .ඉඩක් ඇතොත් අමතන්න . යම් හෙයකින් කැනඩාවේ ටොරොන්ටෝව පැත්තේ එනවා නම් කලින් කියන්න .
ReplyDeleteඑල්. බී. ඒකනායක කතු වරයා ගැන මා අසා තිබෙනවා පමණයි. ඔබ මට තිලිණ කළ 'රාජාලි පියාපතේ' කව් පෙළ මා කියවූවා.එහි ගැබ්වී ඇති සංවේදනාත්මක අදහස් ගැන මටත් කනගාටුවක් ඇති උනා. එහෙත් අද එය නැවත කියවූ පසුවයි සත්‍ය සිද්ධිය දැන ගත්තේ.
ReplyDelete