Monday, May 23, 2016

විද්‍යාව - අපේ පත්තරය

අධ්‍යාපනික පුවත්පතක් පිළිබඳ අදහස සිරිනිමල් සහ මා සාකච්චා කරමින් සිටිය කාලයේ එවැන්නක් බිහිවී නොතිබුණි. සාකච්ඡුා කරමින් සිටියද එවැන්නක් ආරම්භ කරන්නට ආර්ථික හයියක් අප දෙදෙනාටම නොවීය. ඒ හයිය ලැබෙන කාලය වන විට ”සතර” පුවත්පත බිහිවී තිබුණි. එනිසා අපේ පුවත්පත විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට අපි තීරණය කළෙමු.

අපි ”විද්‍යාව” නමින් අපේ පුවත්පත නම් කළෙමු. පුවත්පතේ නම ලියාපදිංචි කරන්නට ගිය විට එනමින් මෙයට පෙර පුවත්පතක් තිබුණ බව දැනගන්නට ලැබුණ හෙයින් නමේ අගට ”හය හත අට නවය දහය” කියා එක් කළෙමු. ”විද්‍යාව” නමින් මා ඇඳ තිබූ හෙඞ්පීස් එකට යටින් පටියක්  ලෙස මේ අකුරු පේළිය එක් කළෙමු.


පුවත්පතේ සංස්කරණය සඳහා අප දෙදෙනාට අමතරව සුමිත් කරුණාරත්න සහ දයාවංශ ලියනගේ යන හිතවතුන්ද එක් කර ගත්තෙමු. එවකට ජනප‍්‍රියව තිබූ සිත්තර පුවත්පතේ ප‍්‍රමාණයට අපේ පුවත්පත නිර්මාණය කළෙමු. වෙනම අනන්‍යතාවක් ඇති කර ගැනීම සඳහා පිට කවරය සඳහා කහ පැහැති කඩදාසියක් යොදා ගත්තෙමු. මුද්‍රණය සඳහා නැදිමාල පැත්තේ පිහිටි කුඩා මුද්‍රණාලයක් අපේ මිතුරන් විසින් සොයාගනු ලැබ තිබුණි. එහි තිබූ පැරණි රොටරි මුද්‍රණ යන්ත‍්‍රය අපේ කාර්යයට හොඳින්ම සෑහුණි. ”විද්‍යාව” මංගල කළාපය එම මුද්‍රණාලයේ මුද්‍රණය කළ නමුත් ඉන් අනතුරුව අභාවප‍්‍රාප්ත සිසිර කුමාර මාණික්කආරච්චි මහතාට අයත්ව තිබූ විජේරාම හන්දියේ මුද්‍රණායලට පත්තරය ගෙන යන්නට අපට සිදුවිය.


නැදිමාලේ මුද්‍රණාලයේ විද්‍යාව මංගල කළාපය මුද්‍රණය කළ දා රැු එළි වන තෙක් කහට තේ බොමින් මුද්‍රණ යන්ත‍්‍රය අසළ නිදි වැරූ හැටි අද කල්පනා කරන විට පවා සුන්දර මතක සටහනක් ලෙස දැනෙයි.


පත්තර බෙදා හැරුණේ අමුතුම ආකාරයකටය. දයාවංශත් මගේ මල්ලි මංගලත් පත්තර පුරවා ගත් මලූ එල්ලා ගෙන පාසලෙන් පාසලට යමින් ඒ පාසල් වලට පත්තර හඳුන්වාදෙමින් පාසල් නියෝජිතයන් බඳවා ගත්හ. පත්තරය වඩාත් ජනප‍්‍රියවත්ම දුර බැහැර පාසල් වලින් ඇනවුම් ලැබුණි. අපි වරකට පත්තර 15000 ක් මුද්‍රණය කළෙමු. ඒ සියල්ලම පාහේ විකිණුන අතර අපි ලාභය යොදවාගෙන අපේම අකුරු අමුණන (වර්ණ සංයෝජන) අංශයක් ආරම්භ කළෙමු.


මේ සඳහා අවශ්‍ය ඊයම් අකුරු සහ ඒවා දමන්නට ලී තට්ටු අපි මිලට ගත්තෙමු. අපේ ගෙදර නාන කාමරයක් සඳහා වෙන් කර තිබූ කුඩා කාමරය මේ සඳහා වෙන් කර ගත්තෙමු. අකුරු අමුණා පත්තර පිටු සැකසීමේ කාර්යය වැටුණේ මගේ කරපිටටය.



අකුරු ඇමිණීම ඉතා අපහසු කාර්යයකි. සිංහල භාෂාවේ සෑම අකුරක්ම වෙනුවෙන් කුඩා කොටු වෙන් කෙරුණ අකුරු රාක්කයෙන් නියමිත අකුර බැගින් ගෙන අමුණා පිටුවක් සකස් කිරීමේ අපහසුව දැන් පරිගණකයෙන් අකුරු අමුණන මේ මොහොතේ පවා මට දැනෙයි. කොළමෙන් කොළම අකුරු අමුණා ඒ කොළම් එකතු කර පිටු සකස් කර ඒ පිටු පරිස්සමින් මුද්‍රණාලයට ගෙනගොස් පත්තරය මුද්‍රණය කරගෙන ඒ පිටු ගෙදර ගෙනැවිත් නවා පත්තර සකස් කිරීමේ කාර්රය අපේ අතින්ම සිදුවිය. වඩාත්ම අපහසු කාර්යය වූයේ මුද්‍රණයෙන් පසු ඒ ඊයම් අකුරු එකින් එක ගලවා නැවත අර රාක්කවල නියමිත කොටු වලට දැමීමය. මුද්‍රණ භාෂාවෙන් මේ කාර්යයට කීවේ ”ඩිෂ් කිරීම” කියා ය.

අපේ පත්තරය ඉතා ජනප‍්‍රිය විය. දිවයිනේ දුර බැහැර පාසල් වලට පවා පුවත්පත යැවුණි. සමහර ගුරුවරුන් පැමිණ අපේ නිවසින්ම පත්තර මිටි රැුගෙන ගිය හැටි මට තාම මතකය.


”විද්‍යාව උසස් පෙළ” නමින් පත්තරයක් අරඹන්නටද අපි සැළසුම් කළෙමු.


පත්තර 15000 ක් විකිණුනද අපට ලැබුණ ලාභය ඉතා කුඩා එකක් විය. සිත්තර පත්තරයක් රුපියල් 2.25 ත් වූ ඒ කාලයේ ඒ හා සමානම පත්තරයක් රුපියලකට විකුණන්නට අප ගත් අනුවණ තීරණයේ ප‍්‍රතිඵල ඉක්මණින්ම ලැබුණි. වසරක් යන විට අපට පත්තරය පවත්වාගෙන යන්නට නොහැකි තරමට ලාභය අඩුවිය. මුද්‍රණ ගාස්තු බ්ලොක් සෑදීමේ ගාස්තු බෙදාහැරීමේ ගාස්තු ආදී මෙකී නොකී වියදම් එක්වන විට අපට තවදුරටත් පුවත්පත පවත්වාගෙන යන්නට නොහැකි තත්වයක් උද්ගත විය.


ඒ සමගාමීව සිරිනිමල් ජවිපෙ කටයුතු වලට පූර්ණකාලීනව යොමුවීමද බලපෑවේය. අපි පත්තරය නවත්වා දැමුවෙමු. එක්තරා දිනෙක වාහනයකින් පැමිණි සිරිනිමල් අපේ ගෙදර තිබූ අකුරු කේස් දෙක පටවාගෙන ගියේය.


පසු කලෙක සුමිත් යම්කිසි නගර සභාවක සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස පත්වීමක් ලද බව දැනගත් නමුත් දයාවංශ පිළිබඳ කිසිදු තෙිාරතුරක් ආරංචි නොවීය. සිරිනිමල් අකාලයේ අප හැර ගියේය.


මේ සියල්ල මතක සටහන් ලෙස මම තවමත් විඳිිමින් සිටින්නෙමි.

Saturday, May 21, 2016

ඔහු මගේ හොඳම මිත‍්‍රයා විය

අප මුණ ගැසුණේ හයේ පන්තියේ දී ය. මොනයම් හේතුවක් නිසා හෝ ඔහු මගේ හිත දිනා ගත්තේය. අපි හොඳම යහළුවන් වීමු. ඔහු සිරිනිමල් ය.

මම ඒ කාලයේ ද නවකතා කෙටිකතා කවි ලියමින් සිටියෙමි. සිරිනිමල්ද ලිවීමේ දක්ෂතාවක් තිබූ ශිෂ්‍යයකු විය.

අපි වඩාත් ළං වූයේ කො/ද උඩහමුල්ල තලපත්පිටිය බෞද්ධ කණිටු විදුහලේ ළමා පුවත්පතක් පටන් ගැනීම නිසාය. මේ ගැන කලින් ලිව්වෙමි. මා හතේ පන්තියට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට ඇතුල්වීමෙන් පසුවද අපේ ඇසුර නොනැවතුණි.

මම පුරුද්දක් ලෙස ඉඳ හිට තලපත්පිටියේ දැන් ජයවර්ධනපුර රෝහල ඉදි කර ඇති ප‍්‍රදේශයේ තිබූ සිරිනිමල්ගේ නිවසට ආ ගියෙමි. වෙනෙකක් තබා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ උසස්පෙළ ගණිත පන්තියේ සිටියදී හොරෙන් හොරෙන් මා දෙස බැලූ, එසේ බලමින් සිට මා පාසල් නොගිය සතියක පිරිමි නමකින් මට ලිපියක් එවූ අපේ පාසලේ ලස්සන කෙල්ලගේ ලිපියට පිලිතුරක් යවමින් මා ලියා යැව්වේ සිරිනිමල්ගේ ලිපිනයම ය. මගේ ඉඟිය තේරුම් ගත් ඒ තරුණිය ඇගේ නියම නමින්ම ලියූ ආදර හසුන මට සුරැකිව ගෙනැත් දුන්නේද සිරිනිමල්ම ය.

තරුණ කාලයේ මගේ පෙම්වතිය දැඩි ලෙස රෝගාතුරව කොළඹ මහ රෝහලේ නවත්වා සිටි සමයේ ඇගේ පවුලේ අයට හොරා ඇය බලන්නට යාමේ වික‍්‍රමයට මට හවුල් වූයේ සිරිනිමල් ය. ඒ බලා, එහි සිට මගේ වේදනාව බෙදා ගනිමින්, පේ‍්‍රමය ගැන කතා කරමින්, විග‍්‍රහ කරමින්, නුගේ්ගොඩ දක්වා පා ගමනින් ආවේද සිරිනිමල්ය.


උසස් පෙළින් පසු සිරිනිමල් ඔහුගේ ඥාතියෙකුගේ බ්ලොක් මේකිං ආයතනයක රැුකියාවට ගියේය. අප තවත් යහලූවන් දෙදෙනකු හා සමගින් ”විද්‍යාව” පත්තරය පටන් ගත්තේ ඒ කාලයේ ය. මේ කාලයේ ඔහු ජීව විද්‍යා අංශයෙන් බාහිර උපාධිය හදාරමින් සිටියේ ය.


සිරිනිමල්ට තිබුණේ අතිශය කොමියුනිස්ට් විරෝධී දේශපාලන දැක්මකි. කොමියුනිස්ට් ක‍්‍රමය තුළ මිනිසුන්ගේ පුද්ගලික නිදහස අතිශයින් සීමා වන බවත් මිනිසුන්ගේ ජීවිත පාලකයන්ගේ අවශ්‍යතාව පරිද්දි හැසිරවෙන බවත් ඔහු තරයේ විශ්වාස කළේ ය. මොස්කව්හි ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික ශිය්‍යයන්ට ලංකාවෙන් ලැබෙන ලිපි පවා ඔවුන් අතට පත් වන්නේ ඒවා කඩා විවෘත කර කියවා බැලීමන් අනතුරුව යයි ඔහු විශ්වාස කළේ ය. ඔහුගේ සියලූම දේශපාලන තර්ක ගොඩ නැගී තිබුණේ කොමියුනිස්ට් විරෝධය ඔස්සේය. ඒ නිසාම ඔහු දැඩි ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධකාරයෙක් විය. ඒ විරෝධය තහවුරු කරන්නට ඔහු මා සමග වරු ගණන් තර්ක කළේය.

එක්තරා දෛවෝපගත දිනෙක ඔහු සිය ජීවිතය තීරණය කෙරෙන තීරණයකට එළැඹ සිටියේය. ඒ තීරණය මට කියූ දිනය මට තාම මතකය. අප කතා කරමින් සිටියේ අපේ නිවසින් පාගොඩ පාරට ගොඩවෙන තැනකය.

”හැමදාම ජේවීපී එකට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ ජගත්.. මට හිතුණා කෙළින්ම ඒ අය එක්ක කතා කරන්න..” ඔහු කීවේය.

ඒ කී ලෙසම ඔහු ඒ සතියේම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයකට ගොඩ වී එහි සිටි අයෙකුට සිය අවශ්‍යතාව කියා සාකච්ඡුාවක් ඉල්ලාගෙන තිබුණි. ඒ සාකච්ඡුාවෙන් අනතුරුව සිරිනිමල් ජනතා විමුක්ති පෙරමුණේ සුප‍්‍රකට පන්ති පහට සහභාගි විය. දේශපාලන කඳුවුරු වලට සහභාගි විය.

කුමරියක් වෙලා ඔබ සඳ දිලූණ ඒ ?යේ
මගේ සිතුවිලි ගොමුව අතර මැද සැඟවුණේ

යයි පෙම් කවි ලියූ ඔහු සිය පෙම්වතියත් කරමින් සිටි රැුකියාවත් බාහිර උපාධියත් අතහැර දමා ජවිපෙ පූර්ණකාලිකයකු විය. ඉන්පසු ජවිපෙ ඔහුගේ ජීවිතය විය.


ඔහුුට තිබුණේ තර්ක කිරීමේ අපූරු හැකියාවකි. ඉගැන්වීමේ අපූරු හැකියාවකි. සිය මතය රසවත්ව ඉදිරිපත්කිරීමේ අපූරු හැකියාවකි. ඒ සියල්ලටම වඩා සිය කාර්යයට අවංකව කැපවීමේ ගුණය අඩු නැතිව ඔහු තුළ විය. ඔහු ජවිපෙ අධ්‍යාපන අශයේ කටයුතු කළ බවක් මට දැනගන්නට ලැබුණි.


83 දී ජේආර් ගේ ආණ්ඩුව අසාධාරණ ලෙස ජවිපෙ තහනම් කරන විට ඔහු පන්නිපිටියේ පන්තියක විද්‍යාව උගන්වමින් සිටියේ ය. මම ද ඒ පන්තියේම සාමාන්‍ය පෙළ විද්‍යාවත් උසස් පෙළට ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතයත් උගන්වමින් සිටියෙමි. පක්ෂ තහනමත් සමගම සිරිනිමල් සැඟවුණේ ය. රහස් පොලිසියෙන් ඔවුන්ගේ පන්පිටියේ නිවසට පැන ඔහු සොයාගිය බව මට දැනගන්නට ලැබුණි. ඒ පවුලේ අය, ඒ වන විට ගොඩනැගෙමින් තිබූ රෝහල නිසා අධීක ඉල්ලූමක් තිබූ සිය දේපළ විකුණා වෙනත් ප‍්‍රදේශයක පදිංචියට ගිය බව ආරංචි විය.


සැඟව දේශපාලනය කළ සමයේ සිරිනිමල් ඉඳ හිට අපේ නිවසට ගොඩ වන්නට අමතක නොකළේ ය. බෝහෝ විට ඔහු ආවේ ”බඩගිණියි අම්මේ” යයි අපේ අම්මාට කියමින් ය. අපේ නිවසින් කෑම කන ඔහු තාත්තා සමග දේශපාලන වාද වලට පැටලෙයි. සැමට සම තැන ලැබෙන අනාගත කොමියුනිස්ට් රාජ්‍යය ගැන ඔහුගේ සිහිනය ඔහු අප ඉදිරියේ දිගහරියි.

ජවිපෙට එරෙහි මර්ධනය දැඩි වත්ම ඔහුගේ පැමිණිම අඩු විය. අවසන් වරට ඔහු ආ දවසේ ඔහු මගෙන් සපත්තු දෙකක් ඉල්ලා ගත්තේය.

”අපි ආයෙ හමුවෙයිද දන්නෙ නැහැ” අපේ නිවසේ ගේට්ටුව අසළදී ඔහු කීවේය. ඔහුගේ ඇස්වල කඳුළු තිබුණි. යමක් කියන්නට ධෛර්යයක් මට නොවීය. මම නිහඬව බලා සිටියෙමි. ඔහු ගාටමින් පාගොඩ පාර දිගේ යන හැටි මම බලා සිටියෙමි. ඒ අවසන් දැක්මයි.


එයින් මාස කීපයකට පසු මේ අපූරු හිතහොඳ අවංක තරුණයාගේ සිරුර බෙල්ලන්විල පන්සල අසළ දමා පුලූස්සා තිබුණේ යයි ආරංචි විය.


මට ඔහු වෙනුවෙන් තවමත් හඬන්නට හැකිය


සපත්තු දෙක




”තියෙනවනං වැඩිපුර
සපත්දෙකක් දීපං මට”
අඩිය ගෙවුණ සපත්තු දෙක
ගෙයි දොරකඩ එළිපත මත
ගැලවූ පසු නුඹ කී හැටි..

ගිය සුමානෙ මං අරගත්
අලූත්ම රට සපත්තු දෙක
දාගෙන නුඹ වෙන්වුණ හැටි..
පාගොඩ මහ පාර දිගේ
උකුසු රකුසු ඇස් මගහැර
බිම බලාන නුඹ ගිය හැටි..
කිසිම දිනෙක හමු නොවන්න
යන්නම යන්නට ගිය හැටි...
රට ගිනිගත් හැන්දෑවක..


බෙල්ලන්විල
වෙළ අද්දර
කුණු ගොඩ ළඟ
ගිනි ගොඩ මැද
නුඹ හිටියලූ
එක උදයක
මල් පුදන්න පන්සල් ආ
සැදැහැතියන් ඒ දුටුවලූ..


හිත් දොර ළඟ
එළිපත මත
නුඹ අතහැරි
අඩිය ගෙවුණ
සපත්තු දෙක
වද දෙනවා
තාමත් මට...



(”වියෝලය දරාගත් මිනිසා” කාව්‍ය සංග‍්‍රහය)


Monday, May 16, 2016

ජීවිතය තීරණය කරන කුරුබිලිය


මේ දිනවල තිස්ස අබේසේකරගේ ”අයාලේ ගිය සටහන්” පොත නැවත කියවමින් සිටින්නෙමි. අප අතර සිටි ශාස්ත‍්‍රාල සහතික නොලත් බුද්ධිමතකු ලෙස අපේ මහත් ගෞරවයට පාත‍්‍ර වන තිස්ස අබේසේකර මහතා පිලිබඳ සටහනක් ලියමින් ලියනගේ අමරකීර්ති පසුගිය දා පවසා තිබුණේ නොගියා නම් හොඳ යයි සිතෙන මිනිසුන් අතර තිස්සද සිටින බව ය. එය අපද පිලිගන්නා සත්‍යයකි.

තිස්ස අබේසේකර හමුවී කතා බහ කරන්නට අවකාශයක් මට කිසිදා නොලැබුණි. ලංකාවේ සිටි කාලයේදී මගේ ලොකු දුව පාසලෙන් ගන්නට කාන්තා විද්‍යාලයේ ගේට්ටුව ඉදිරියේ සිටිනා විට තිස්ස ද ඔහුගේ දුව ගන්නට පැමිණ සිටිනු මම නිතර දැක ඇත්තෙමි. ළඟට ගොස් කතා කරන්නට ආසාවක් තිබුණද වට පිට නොබලා ආඩම්බරකාර සෙයියාවකින් සිටිනා මේ දැවැන්තයා ඉදිරියේ පසුබා සිටියෙමි.

බොහෝ කාලයක් සිනමාවේ සිටියද පළමු වරට ඔහු මගේ හදවත දිනා ගන්නේ වැලිකතර චිත‍්‍රපටය ඔස්සේය. වැලිකතරට තිස්ස ලියූ තිරනාටකය අපට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේ ය.

ගාමිණී (වික‍්‍රම රන්දෙණිය පොලිස් පරීක්ෂකවරයා අලූත් පොලිසියේ රාජකාරියට යාමට පෙර නිල ඇඳුමින් සැරසී සිය බිරිය ඉදිරියේ සිටගෙන)  - රජ දැක්මට අවසරද
ස්විනීතා - අවසරයි

තිස්ස පිළිබඳ මේ කතාව ලියන්නට පටන් ගත්තේ මේ විස්තර ලියන්නට නොවේ. එහෙත් ලියැවුණි.

ශාස්ත‍්‍රාල බුද්ධිමතුන් පරදන විශිෂ්ට දැනුමක් තිබූ මේ බුද්ධිමතා වතාවක් ශාස්ත‍්‍රපති උපාධියකට ලියාපදිංචි වීමට අයැදුම් කළේ ය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයෙන් යයි මගේ මතකය කියයි. තිස්සට ප‍්‍රථම උපාධියක් නැතැයි කියා ඒ අයැදුම්පත ප‍්‍රතික්ෂෙප විය. මෙය අපේ රටේ මුග්ධ අධ්‍යාපන ක‍්‍රියාවලිය මනාව පිලිබිඹු කරන සිදුවීමක් යයි මට සිතෙයි.

උසස් පෙළ නැත්නම් ප‍්‍රථම උපාධිය කළ නොහැකිය
ප‍්‍රථම උපාධිය නැත්නම් පශ්චාත් උපාධියක් කළ නොහැකිය
වැනි දැඩි නීති රීති පනවාගෙන සිටින්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබ අධ්‍යාපන පරිපාලනයේ සිටින්නවුන්ගේ කුහක පිළිවෙත් නිසා යයි මට සිතෙයි.

ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වන මා දන්නා දියණියක හදිසියේම පාසල් යාම නවතා දැමුවේ පාසලේදී සිදුවන හිංසන වලට මුහුණ දෙන්නට ඇයට නොහැකි යයි කියමිනි. පසුව ටේෆ් කොලිජියකට (ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක වන තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියකි) ඇතුල් වූ ඇය එහි අධ්‍යාපනය ලබා ඒ සුදුසුකම් මත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූවාය. ඇයට උසස් පෙළ සහතිකය තිබේදැයි විශ්ව විද්‍යාලය ඇසුවේ නැත.

උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුල් වන්නට තරම් ලකුණු නොලද මගේ යෙහෙළියක ජාතික තාක්ෂණ ඩිප්ලෝමා (එන්ඞීටී) පාඨමාලාව හදාරා ඒ සුදුසුකම් ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූවාය. ඔස්ටේ‍්‍රලියාවේදී විශ්ව විද්‍යාලයකට ඇතුල් වූ ඇය ඉන් පිට වූයේ ආචාර්ය උපාධියක් ලබාගෙනය. අද ඇය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි.  උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය තරම් ලකුණු ලබා ගන්නට නොහැකිවන්නෝ මෝඩයෝ නොවෙති.


මෙවැනි උදාහරණ අනන්තවත් පෙන්වා දිය හැකිය. එහෙත් වැඩි වැල්වටාරම් නැතිව කියනවා නම් උසස් අධ්‍යාපනය හදාරන්නට කැමැත්ත ඇත්තවුන්ට ඉදිරියට යාමට විකල්ප මාර්ග සකස් කරදීමේ වගකීම අද දියුණු යයි සම්මත සෑම රටකට අධ්‍යාපනඥයන් පිළිගෙන ඇති බව නොදන්නේ ශ‍්‍රී ලංකාවේ බක පණ්ඩිතයන් පමණකි.

ලංකාවේ පාසල් දරුවකුගේ අනාගතය උසස්පෙළ සහතිකය නමැති කඩදාසි කැබැල්ලට තීරණය කරන්නට ඉඩ දී තිබීම අහම්බයක් නොවේ. හිතා මතා කරගෙන යනු ලබන සාහසික අපරාධයකි.

නොදන්නා කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඒ අපරාධයට උඩ ගෙඩි දෙන්නට දැන් විශ්වවිද්‍යාල වල සිටින තරුණ තරුණියන් පෙළඹී සිටිනු දැකීම අවාසනාවකි.

Friday, May 13, 2016

අයියා කවියකුව සිටියේ ය

අයියා කුඩා කාලයේ හොඳ කවියකුව සිටියේ යයි මම මීට පෙර ලියූ සටහනේ සඳහන් කළා. ඒ කතාවත් මේ එක්කම ලියා අහවර කළොත් හොඳ යයි සිතනවා.


කුඩා කාලයේ සිටම අයියා ලියන්නට දක්ෂයෙක්. පහේ පන්තියේ සිටම මගේ සිංහල වාක්‍ය රචනා ඉතා ඉහළ තත්වයක තිබුණේත් සිංහල ගුරුවරුන්ගෙන් මා බොහෝ පැසසුම් ලැබුවේත්  අයියාගේ මග පෙන්වීම නිසායි.


අයියා පහේ පන්තියේද හෝ හයේ පන්තියේ සිටියදී ”ටිකිරි” පත්තරයෙන් මෙහෙයවූ කවි තරගයකින් තුන්වන තැන ලැබුවේය. ඒ තරගයේ දෙවන තැන ලැබුවේ දේ වි ගාල්ලගේ නම් ශිෂ්‍යයෙකි.


අයියා පාසල් යන යුගයේ ලියූ එක් කවක් මා ළඟ බොහෝ කාලයක් සුරැකිව තිබුණා. ඒ කව මම මගේ පළමුවන කාව්‍ය සංග‍්‍රහයෙ (සිසිරයේ පිපුණ මල) සටහන් කළා.


අසිරිමත් සිරිලක

හන්දියේ මැද තිබෙන - සම්බාර් හෝටලෙන්
විසි කරන ඉඳුල් කොල - පොදි කරන අදහසින්
කුසට ආහාරයක් - ලබමි යන අදහසින්
කුණු බාල්දිය හෙවත් - බදුරුගට වෙතට ගිය
පොඩි එකා අද ආවෙ - කනේ පාරක් කාල
මැනේජර උතුමගෙන්

සම්බාරු හෝටලේ - රේඩියෝ එකෙන් එන
කර්නාටක ගීතයේ - ගෝසාව මැද්දෙන්
එයි හඬක් කොහෙන්දෝ
සිතාරෙද ගිටාරෙද - නැතොත් මොන උලව්වද
එයට කියනා නාමෙ - නොම දනියි පොඩි එකා
මී විතක් අතින් ගත් - කඳ බඩ ඇතියවුන්
වෙසෙන මහ මැදුරේ - පිය සාදයකි අද
මස් කඩෙන් විසි කරපු - මස් ලේ වලින් තොර
කටුවකට ඉව වැටුණ - බලූ නාට්ටෙක් වගේ
(හොඳ බල්ලන් සිටින්නේ - මහ මැදුරු වල පමණි)
ඇදුනි කොලූවා ඒ දෙසට

ප‍්‍රවේසම්වනු බල්ලන්ගෙන් - (උන් සිටින්නේ මැදුරෙදෝ)
ළඟට එන විට කොලූවා - වැසුණි පියන් පත් මැදුරේ
අහෝ දම් දිවද මෙය..?


උසස් පෙළ පන්තියේ සිටි ශිෂ්‍යයකු වූ අයියා අතින් ලියැවුණ මේ කවිය සමාජය දෙස නැවත වතාවක් හැරී බලන්නට මට බල කළ අයුරු තවමත් මට මතකයි. අපි දකින සමාජයේ නොපෙනෙන පැත්ත ගැන සිතන්නට සමාජ අසාධාරණය ගැන කල්පනා කරන්නට මගේ ඇස් පෑදුවේ  මේ කුඩා කවයි.


 අයියා ඒ කාලයේම කවි ලිවීම නවත්තා නොදැමුවේ නම් අද වන විට ලංකාවේ අංක එකේ කවියකුව සිටිනු නොඅනුමානයි. කවියකු වනවාට වඩා වාහන කොම්පැණියක ඉහළ තනතුරක් දරා සිටීම හොඳ යයි අයියා සිතනවා විය හැකිය. කවියන් කලාකාරයන් යයි කියාගන්නා මිනිසුන් කරනා කියනා දේ දෙස බලන විට ඔහු නිවැරදි යයි මටත් අද සිතුණි.

Wednesday, May 11, 2016

පත්තර කතාව

අයියා ලොකු බ‍්‍රව්න් පේපරයක් මේසය මත එළා ගෙන බර වැඩක ය. කතුරකින් යම් යම් දේ ලියූ කඩදාසි කෑලි කපමින් ඔහු ඒවා කොළය මත අලවයි. කතුරින් කපන විට
ඔහුගේ කට ද ඒ අනුව යන සැටි මට පෙනෙයි.

අයියා සිටියේ අටවන පන්තියේ ය. ඒ වකවානුවේ ඔහු උගත්තේ මහරගම විද්‍යාකර විද්‍යලයයේ ය. උඩහමුල්ල රජයේ බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලයයේ ඉගෙන ගනිමින් සිටි අපේ අයියා විද්‍යාකරයට ගියේ පහේ ශිෂ්‍යත්වය සමත්වීම නිසා ය. (ශිෂ්‍යත්වය සමත් වන දරුවන් කොළඹ රාජකීය ආනන්ද නාලන්ද විද්‍යාල වලට දමන්නට වෙහෙසෙන දෙමාපියන් සිටින රටක අපේ තාත්තා අයියාව ඇතුල් කළේ මහරගම විද්‍යාකරයට ය. අපේ තාත්තාගේ හැටි එහෙමය.  මේ පියවර ගැන තාත්තා බොහෝ දොස් අසන්නට ඇති බව නිසැක ය. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසුව අයියා නාලන්දාවට ඇතුල් කරන්නට තාත්තාට සිතුණේ එනිසා විය යුතු ය*

‘‘මොනාද කරන්නෙ..?’’ මම ඇසුවෙමි.

‘‘පත්තරයක් හදනවා..’’ අයියා කීවේ ය.

‘‘පත්තරයක්..?’’

‘‘මේ බ‍්‍රව්න් පේපර් එක පත්තරයක් වගේ තුනට නවනවා.. පන්තියේ ළමයි ලියන ලිපි
මේකේ පිටු වල අලවනවා.. ඊට පස්සෙ පන්තියේ ළමයින්ට කියවන්න දෙනවා..’’

‘‘මොකක්ද පත්තරේ නම..?’’

‘‘ළමා ලෝකය’’

පත්තරයේ උඩින්ම අපූරු අකුරු වලින් ‘‘ළමා ලෝකය’’ යයි ලියා ඇත. ඊට පහළින්
කරඬුවක් දරාගෙන පෙරහැරක යන අලියෙකුගේ සිතුවමකි. එය ඇඳ තිබුණේ
ජගත් නම් අයකි. සිතුවමට යටින් අයියා ලියූ කවි දෙපදයකි.

‘‘කරඬුව රැුගෙන පෙරමුණෙ යන මහා ඇතා
දුටු හැටි බලව ‘අට - ඞී’ යෙහි මේ ජගතා’’

අයියා කවියට හපනෙකි.

ජීවිතයේ බොහෝ කාලයකට පසුව මා පත්තරකාරයකු කරනු ලැබුවේ අයියා ගේ මේ
කුඩා පත්තරය විසින් බව ජීවිතය දෙස ආපසු හැරී බලන මේ මොහොතේ මට සිතෙයි. මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් කරන්නට මේ කුඩා පත්තරය ඉවහල් වූ වා නොවේ දැයි සිහිපත් වන විට සිතට දැනෙන්නේ විමතියකි.

දැන හෝ නොදැන අයියා මගේ ජීවිතයට කළ බලපෑම කොයි තරම් සුවිශාල ද?

අයියා ගේ පත්තරය මාස ගණනාවක් නොකඩවා පළ වී නැවතී ගියේ ය. එහෙත් ඒ
කාලය තුළ ඒ පත්තරය මට විශාල අත්දැකීම් සමුදායක් ලබා දුන්නේ ය.

දැන් මගේ වාරය යි. එවකට මා ඉගෙන ගනිමින් සිටියේ උඩහමුල්ල රජයේ බෞද්ධ
කණිෂ්ඨ විද්‍යාලයයේ හයේ පන්තියේ ය.

(ජීවිතයේ පසු භාගයක මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරුවකු ලෙස
සේවය කරමින් සිටි කාලයේ මම මගේ ජීවිතයට සමීපව සිටි අයකු සමග මේ කුඩා
විද්‍යාලයය අසළින් මගේ වාහනය පදවමින් සිටියෙමි. මා උගත් සමයේ මෙන් නොව ඒ වන විට එය විශාල භූමියක පැතිරුණ විද්‍යාලයයක් වී තිබුණි.

‘‘මේ තමයි මම ඉස්සෙල්ලාම ගිය ඉස්කෝලෙ..’’ මම ඇයට කීවෙමි.

‘‘කාටවත් ඇහෙන්න කියන්න එපා.. ’’

‘‘ඇයි..? තමන් ජීවිතේ පටන් ගත්තෙ මේ වගේ පොඩි ඉස්කෝලයකින් ය කියලා කියන්න ලැජ්ජා වෙන්නෙ මොකටද?’’

‘‘ඔයාගෙ දර්ශනේ ප‍්‍රායෝගික ජීවිතේට ගැළපෙන්නෙ නැහැ.. හැමෝම බලන්නෙ තමන් රෝයල් ආනන්ද නාලන්ද වගේ ඉස්කෝල වල ඉගෙන ගත්තා කියලා පෙන්නන්න.. තමන් මේ වගේ පොඩි ඉස්කෝලක ඉගෙන ගත්තා කියලා කියන කෙනෙක් පුලූවන් නම් මට පෙන්නන්න..’’ ඈ කිවා ය.

මම නිහඬ වීමි.)

‘‘අපි පත්තරයක් පටන් ගමු ද?’’මම පන්තියේ මගේ ළඟින්ම සිටි සගයා වූ සිරිනිමල් (සිරිනිමල් අමරතුංග) ගෙන් ඇසුවෙමි. (සිරිනිමල් අමරතුංග ජීවිතයේ බොහෝ කාලයක් මගේ ළඟින්ම සිටි මිතුරකු විය. සිය හිරිමල් යොවුන් වියේ දී කරමින් සිටි බාහිර උපාධියත් පෙම්වතියත් රැකියාවත් අතහැර දමා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු බවට පත් වූ ඔහු එම ව්‍යාපාරයේ අධ්‍යාපන අංශයේ ක‍්‍රියාකාරිකයකුව සිට අසූව දශකය අග භීෂණ සමයේදී අතුරුදන් විය. ඔහු පිළිබඳ මතකය වෙනම දවසක අවදි කළ යුතු යයි මට සිතෙයි)


‘‘කොහොමද කරන්නෙ..’’ ඔහු අසයි.

අයියාගේ පත්තරය බලා සිට ලත් අත්දැකීම හොඳටම සෑහේ. මම මේ අතින් ලියන
පත්තරය ගැන සිරිනිමල්ට විස්තර කළෙමි. ඔහු එකඟ විය. මම සංස්කාරකවරයා වූයෙමි. ඒ කාලයේ අපි කීවේ ‘‘කර්තෘ’’ කියා ය. සිරිනිමල් උපකර්තෘ වරයා විය. අයියාගේ පත්තරය නැවතී තිබුණ හෙයින් මගේ පත්තරය ද ‘‘ළමා ලෝකය’’ නමින්ම පටන් ගත්තෙමි.

අපේ පත්තරය පොතක් සේ සකස් කළ එකක් විය. අපේ මේ උත්සාහය දුටු සේනාධීර නම් ගුරු මහතෙක් අපට රෝණියෝ ෂීට් බණ්ඩලයක් දුන්නේය. ඒවා ඒ කාලයේ පාවිච්චි කළ ඉතා රළු කඩදාසි වර්ගයක් වූ නමුත් අපේ කාර්යයට ඉහටත් උඩින් ගැළපුණි.

අපි අපේ කුඩා පත්තරය (සඟරාව) ඉතා මැනැවින් පවත්වාගෙන ගියෙමු. එහි කොටස් වශයෙන් පළවන නවකතා ලිව්වෙමු. කෙටිකතා ලිව්වෙමු. කවි ලිව්වෙමු. චිත‍්‍රකතා ඇන්දෙමු

අතින් ලියා සකස් කළ මේ කුඩා පුවත් පත පසු කළෙක මා අතින් බිහි වූ ‘‘විද්‍යාව’’ (විද්‍යා අධ්‍යාපනික පුවත් පත - ශ‍්‍රී ලංකාවේ දී) පහන ( ඕස්ටේ‍්‍රලියාවේදී) සන්නස ( ඕස්ටේ‍්‍රලියාවේ දී) පුවත් පත් සඳහා අඩිතාලමක් වූවා නොවේදැයි දැන් මට සිතෙයි.

ඒ කාලයේත් දැන් කාලයේ වගේමය. කවුරුන් හෝ හොඳ යමක් කරන විට එයට උදව් කරනවා වෙනුවට තමනුත් ඒ දෙයම කරන්නට සැරසෙන පිරිස ඒ කාලයේත් අඩු නොවීය. අපේ සඟරාවෙන් පසු තවත් පන්ති වලින් ඒ වාගේම සඟරා බිහිවන්නට පටන් ගත් බව මට මතකය.

හතේ පන්තිය අවසානයේ අපේ අම්මා මා කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයයට ඇතුල් කළා ය. මගේ පත්තරය ද එයින් නැවතුණි. එහෙත් පත්තර කිරීමේ පිස්සුව නම් නොනැවතුණි.

හයේ පන්තියේදී සෑදුණ පත්තර පිස්සුවෙන් අදත් මම බොහෝ දුක් විඳිමින් සිටින්නෙමි.

Saturday, May 7, 2016

පිදීමේ ක‍්‍රමවේදය

පමාවට සමාව ඉල්ලමි


හැම මාසයකම අග සතිය මට ඔලූව උස්සන්නවත් විවේකයක් නොදෙයි. ඒ ”සන්නස” පුවත්පත නිමා කර මුද්‍රණයට සූදානම් කළ යුතු නිසා ය. මේ මාසයේ ඒ බර දෙගුණයක් වූයේ එකවර පුවත්පත් දෙකක්ම එකම සතියක නිකුත් කරන්නට සිදුවීම නිසාය. එනිසා ලියන්නට සිටි දේ කිසිවක් ලියාගන්නට නොහැකි විය.

අද සවස මගේ බ්ලොග් ගුරු රසික සූරියආරච්චි දුරකතන ඇමතුමක් දී ”මොකද අලුතින් ලිව්වෙ නැත්තෙ?" යි අසන විටත් මා සිටියේ සන්නස අන්තර්ජාලයට එක් කරමින් ය.

”මේ වැඬේ අහවර වූ ගමන් කතාවක් ලියනවා” යයි රසිකට පොරොන්දු වූයෙමි. පොරොන්දු වූ පරිදි අලූත් එකක් ලියන්නට නොහැකි වුවත් පරණ කතාවක් සොයා ගතිමි.

මේ සටහන තරමක් පරණ එකකි. එසේ වුවද එහි කාලීන බව නිසා නැවතක මෙහි බහාලමි.



පිදීමේ ක‍්‍රමවේදය




මම විවිධ පුද්ගලයන්ගේ චරිතාපදාන කියවන්නට  මහත් රුචියක් දක්වන්නෙමි. ඞී බී කුරුප්පු ශූරීන් ගේ ‘‘හැන්දෑවට පායන හිරු නොහොත් යුගයක අත්දැකීම්’’ පොතත් ඞී එෆ් කාරියකරවන ශූරීන් ගේ ‘‘දශක සතක මතක’’ හා ‘‘මතක පොතේ ඉතිරි හරිය’’ පොත් දෙකත් පසුගිය මාස කීපයේ දී නැවත කියෙව්වෙමි. මේ දෙදෙනාම වියපත් ලේඛකයෝ ය. සාපේක්ෂ වශයෙන් තරුණ ලේඛකයකු වන ගුණසිරි සිල්වා සිය අත්දැකීම් ලියා තැබූ ‘‘පිහාටු පෑන’’ පොත කියෙව්වේ ගිය මාසයේ ය. ඔහුගේ පොතේ පෙරවදනේ එන මේ කොටස මගේ සිත් ගත්තේ ය.

‘‘හැම කෙනෙකුටම කියන්නට කතාවක් ඇත. හැම කතාවක්ම නිසි ලෙස පෙළ ගැස්විය හැකි නම් ඒ සියල්ල ම රසවත් වනු නොඅනුමාන ය. එහෙත් පාඨකයා හමුවට එන්නේ ලේඛකයන් කලාකරුවන් දේශපාලනඥයන් වැනි සිවිල් චරිත පිලිබඳ කතා පමණක් ම නිසා අර හැම දෙනා තුළම පොදුවේ පවතින රසවත් කතා නොවැදගත් ඒවා ලෙස යටපත් වෙයි.’’


කුරුප්පු මහතා සිය ජීවිත කතාව ලියන්නේ මතකයෙනි. ඔහුට ඇති ස්මරණ ශක්තිය විශ්මයජනක ය. කුරුප්පු මහතාගේ වයසට එන තෙක් ජීවත් වන්නට ලැබුණොත් අපූරු ය. එහෙත් ඉතා දුර්වල ස්මරණ ශක්තියක් ඇති මගේ මතකය ගැන මට කිසිදු විශ්වාසයක් නැත. එනිසා ම මතකයට එන යම් යම් දේ ලියා තබන්නට මම සිතමි. එයින් යම් රසයක් විඳ ගන්නට එක් අයකුට හෝ හැකිවුව හොත් එය සතුටකි.


සන්නස සාහිත්‍ය තරගාවලියේ සහතික බෙදා දීම නිමා විය. සුන්දර සැන්දෑවකින් පසු අප ආපසු ආවේ මහත් සතුටක් සිත්හි රඳවාගෙන ය. තරගයේ ජයග‍්‍රාහක කෙටි කතා දහය ඇතුළත් කොට "පළමුවැනි තෑග්ග" කෙටි කතා සංග‍්‍රහය නිකුත් කරන්නට ලැබීම අපේ සතුට තවත් වැඩි කරන්නට හේතු විය. පොත මුද්‍රණය කිරීමේ කටයුත්තේ දී මට ශක්තියක්ව සිටියේ ඞී බී කුරුප්පු මහතා ය. එනිසාම මේ පොත ඔහුට පුදන්නට තීරණය කළෙමු.

කුරුප්පු මහතා අනවශ්‍ය ගරු සැළකිලි වලට කැමති නැති නමුත් ඔහු ගේ කැමැත්ත නොවිමසා ම අපි මේ කටයුත්ත කළෙමු. ඒ අපේ හිතට හරියන මිනිසෙකුට පොත පිදිය යුතු නිසාය.

"පළමුවැනි තෑග්ග" පොත තුසිත් අබේනායක සොයුරා අතින් කුරුප්පු මහතාට පිළිගැන්වෙන මොහොතේ මගේ සිත දුව ගියේ පොතක් පිලිගන්වන්නට ගොස් උගත් පළමු පාඩම වෙත ය. ඒ 70 දශකයේ අග භාගයේ දී ය.

එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයේ උසස් පෙළ හදාරමින් සිටි මම විද්‍යා ශිෂ්‍ය සංගමයේ ලේකම් වරයා වූයෙමි. සභාපති වූයේ මගේ හිත මිතුරා උදය ලක්ෂ්මන් ය.

(පසු කලෙක ලංකාවේ අති සාර්ථක ව්‍යාපාරිකයකු ව මහත් සැපවත් දිවියක් ගෙවමින් සිටි මගේ මිතුරා පූරුවේ කළ පවක් පළදීමෙන් දෝ නවසීලන්තයට සංක‍්‍රමණය වී දැන් සැපසේ දුක් විඳිමින් සිටියි. නරක කල ආ දා විශ්ණු දෙවින්යන්ට ද බටකොල කන්නට වු වා ලූ. උදය ලක්ෂ්මන් ගේ හා මගේ කතා බොහෝ ය. ඒ සියල්ල පසුවට තබමි)

නම විද්‍යා ශිෂ්‍ය සංගමය වුව ද අප දෙදෙනා මේ සංගමයේ කළේ කලා කටයුතු ම ය.


අපි පළමුව පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සාහිත්‍ය තරගයක් පැවැත්වූයෙමු. (ශිෂ්‍යාවන්?? ඔව්... ආනන්ද ශාස්ත‍්‍රාලය පිරිමි පාසලක් වුවත් උසස් පෙළ විද්‍යා පන්ති වල පමණක් ශිෂ්‍යාවන් කීපදෙනෙකු සිටියේ විද්‍යාව උගත් අපට ලැබුණ විශේෂ වරප‍්‍රසාදයක් සේ ය)


අපේ ඊළඟ අරමුණ වූයේ සඟරාවක් මුද්‍රණය කිරීම ය.


මම පත්තර සඟරා පිස්සෙක්මි. කියවන පිස්සුව නොවේ. සංස්කරණය කිරීමේ පිස්සුව ය. යන යන තැන පත්තර සඟරා හැදීමේ පිස්සුව ය. මා මගේ පළමු පත්තරය සංස්කරණය කළේ හයේ පන්තියේ සිටියදී ය.  ඒ ගැන දිග කතාවක් තිබේ. එය පසුව කියමි.


60 දශකයේ ‘විද්වාන්’ නමින් මුද්‍රණය කර තිබූ සඟරාව පාසලේ මුල්ම මුද්‍රිත සඟරාව විය. දෙවැන්න වූ අපේ සඟරාව මම ‘මුතුහර’ ලෙස නම් කළෙමි. සොයා ගත හැකි සියලූම රාජ්‍ය ආයතන වලට ගොස් වෙළඳ දැන්වීම් එකතු කළෙමු. ඒ සඳහා අවසර දෙන ලෙස ඉල්ලා වෙළඳ අමාත්‍යාංශයට යැවූ ලිපියට පිළිතුරු එව්වේ එවකට වෙළඳ ඇමති වූ බී ඉලංගරත්න මහතා මය. එතුමා සිය අස්සනින් ම නිකුත් කළ ලිපියකින් අපට ඒ සඳහා අවසර දුන්නේ ය. (ඒ කාලයේ ඇමතිවරු එහෙම ය)  එවකට යුනියන් ප්ලේස් හි තබූ ට‍්‍රැක්ටර් සංස්ථාවට මාත් උදයත් ගියේ නා කපන වැස්සක් මැදින් ය. තෙත බරිත කුකුල් පැටවුන් දෙදෙනකු සේ ගැහෙමින් සිටි අප දෙදෙනා දෙස අනුකම්පාවෙන් බැලූ ඒ සංස්ථාවේ ප‍්‍රචාරක අශයේ ලොක්කා සම්පූර්ණ පිටුවකම දැන්වීමක් දුන් හැටි අමතක කරන්නේ කෙලෙසද?


ඉතින් කතාව කෙටියෙන් කියනවා නම්, මහත් වැර වෑයමක් දරා අපි අපූරු සඟරාවක් මුද්‍රණය කළෙමු. සඟරාව විදුහල්පති තුමාට පුදන්නට අපි තීරණය කළෙමු.

‘‘ඒකාකාරී රටාවෙන් මිදී නව මං ඔස්සේ සිතන්නට අප මෙහෙයවන විදුහල්පති තුමාට බැතියෙන් පිදෙයි’’ මේ මා ලියූ පිදීමේ පාඨයයි.


නියමිත දවසේ අපි විදුහල්පති තුමා හමු වී ඔහුට සඟරාව පුද කළෙමු. සඟරාව අතට ගෙන පිටුවක් දෙකක් පෙරළුෑ එතුමා කී වදන් මට තවමත් මතක ය.


‘‘අයිෂේ ජගත්... ලස්සන වැඩක් කළාම ඒක අපි අපිටම පුදාගෙන ඇති වැඬේ මොකක් ද..? තමුසෙලා මේක මට පුදන්නෙ නැතිව අධ්‍යාපන ඇමති තුමාට පිදුවා නම් එහෙමත් නැත්නම් අඩුම ගානෙ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට පිදුවා නම් ඒ අය ලව්වා ඉස්කෝලෙට මොකක් හරි වැඩක් කරවා ගන්න තිබුණා.. යමකට මහන්සි වුණාම ඒකෙන් උපරිම ප‍්‍රතිඵල එන විදිහට ඒක කරන්න  ඕනෙ අයිෂෙ..’’


විදුහල්පති තුමා එදා ඉගැන්නූ පාඩම මම කිසි දිනෙක අනුගමනය නොකළෙමි. අදත් අපේ පොත කුරුප්පු අංකල්ට පුදා මා ලැබූ අති මහත් සතුට වෙන කිසිදු ුද්ගලයෙකුට පුදා ලබන්නට නොහැකි බව මම සක් සුදක් සේ දනිමි. සතුට මිල කළ හැක්කේ කාට ද?