Sunday, September 4, 2016

අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම

කිසිදු බුද්ධිමත් සමාජයක් සයිබර් අපරාධ සැහැල්ලූකොට සළකන්නේ නැත. ඒවා අනෙකුත් සංවිධානාත්මක අපරාධ සේම භයානක ය. විනාශකාරී ය. සමාජ විරෝධී ය. එනිසා සයිබර් අපරාධ වල නියැලෙන්නෝ දඬුවම් ලැබිය යුතු අපරාධකරුවෝ වෙති.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුල් වී එහි ගොණු විකෘති කර දැමූ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ඇති වී තිබේ. මේ තරුණයන් දක්ෂයන් බැවින් ඔවුන් කළ අපරාධය නොතකා හැරිය යුතුය යන මතයක් ජනගත කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ තරුණයන් දක්ෂයන් නම් ඔවුන් කළ යුතුව තිබුණේ සිය දක්ෂතා සමාජ විරෝධි අපරාධයක් සඳහා යොදා ගැනීම නොවේ. දක්ෂයන් කළ යුත්තේ තම දැනුම සමාජ සුබසිද්ධිය සඳහා යොදවා ගැනීමයි.


සයිබර් අපරාධ අද මුලූ ලොවටම හිසරදයක් වීී ඇත. තමන්ට අයත් නැති වෙබ් අඩවි වලට හෙරෙන් රිංගා ඒවා විනාශ කිරීමත් කප්පම් ඉල්ලීමත් අද බහුල ලෙස සිදුවෙයි. (සන්නස වෙබ් අවඩියද තුන් වරක් මේ අපරා ධකරුවන්නේ ප‍්‍රහාර වලට ලක්විය) සයිබර් අපරාධ නිසා අපහසුතාවට පත්වූ, පීඩාවට පත් වූ ආයතන මෙහි ඇති බරපතළ බව හොඳින් දනියි. මේ අපරාධ නැවැත්වීමේ වගකීමක් නීතිය රකින ආයතන වලට ඇති බවට විසල් හඬක් නැගෙන්නේ එනිසාය.


අපරාධයක් කරන්නා දක්ෂයෙක්ද නැද්ද යන්න නීතිය සහ යුක්තිය ඉදිරියෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ කළ අපරාධය සහ එයට නීතියෙන් ලැබිය හැකි දඬුවම පමණකි. අපරාධකරුවන් වීරයන් කිරීමේ ප‍්‍රවණතාව දැන්වත් නවතා දැමිය යුතුය. එසේ නොවන කල අනෙකුත් අපරාධකරුවන්ද එය ආදර්ශයට ගනිමින් ඉදිරියටම යනු ඇති බවට සැකයක් නැත.


සයිබර් අපරාධ හෝ වේවා වෙනයම් අපරාධ හෝ වේවා වරදකරුවන් ඒ වරද කරන්නේ දැනුවත්වමය. තමන් කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒ අය දනිති. දැනුවත්ව වැරදි කරන්නන් වීරයන් වන්නේ නැත. සමාජ සුබසිද්ධිය අපේක්ෂා කරන්නෝ වෙත් නම් ඔවුන් කළ යුත්තේ අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම නොවේ.

Thursday, August 4, 2016

සුනිල් සරත් මතකය

සාහිත්‍ය ය සිනමාව නාට්‍යය ගීතය සංගීතය ගුවන් විදුලිය ආදී සකල විධ කලාවන්හි මහත් ප‍්‍රබෝධයක් පෙන්වූ යුගයකි 1970 දශකය. පාසල් යන කොලූ ගැටයන් වූ අපට ද මේ පුබුදුව නොදැනුණා නොවේ.

මහගම සේකර, බුද්ධදාස ගලප්පත්ති, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, පේ‍්‍රමසිරි කේමදාස, ධරමසේන පතිරාජ, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස් (ඇතුලූ තවත් බොහෝ අය) අපේ ලෝකයේ වීරවරයෝ වූහ. ඔවුන් සිය නිර්මාණ ඔස්සේ අපේ සිත් වැඩි වශයෙන් සසළ කළේ මේ යුගයේ දී ය.

දුහුනන් වූ අපි ඔවුනගේ නිර්මාණ තුළින් ලද ආශ්වාදයෙන් මත් ව සිටියෙමු.


පේ‍්‍රමකීර්ති ද අල්විස් ප‍්‍රමුඛ ගුවන් විදුලි ශිල්පීහු ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ අපූරු වැඩසටහන් පෙළක් ඉදිරිපත් කරමින් සිටියහ.


සෙනසුරාදා උදය වරුවේ එක් එක් ගුවන් විදිලි ශිල්පියාට පැය බැගින් වෙන් කෙරුණ ශනිදා සාදය නම් වූ වැඩ සටහන ට අමතරව සෑම සතියේ දිනක ම සවස සොඳුරු සෙවණ නම් වූ වැඩ සටහනක් ද ගුවන් ගත විය. මේ යුගයේ කණිටුු සරසවිය  ද ළමුන් අතර ජනප‍්‍රිය වූ වැඩ සටහනක් විය.


මගේ පළමු ගුවන් විදුලි වැඩ සටහන මා ලිව්වේ කණිටුු සරසවියට ය. එය අකුණු ගැසීම පිළිබඳ විද්‍යාත්මක පසුබිම විස්තර කෙරෙන නාට්‍යයක් ලෙසින් සකස් කළ කුඩා වැඩ සටහනකි. වැස්ස අකුණු ශබ්ද පසුබිමින් යොදා ගෙන අපූරුවට නිෂ්පාදනය කර තිබූ ඒ වැඩ සටහන ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වූ දා මා විඳි සතුට අදටත් මට දැනෙයි. කණිටු සරසවිය පසුපසින් සිටි යෝධයා ප‍්‍රවීණ මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරින් බව අද මම දනිමි. ඔහු අද අපේ මෙල්බන් සෙනසුරාදා ගුවන්විදුලි වැඩසටහනට සතිපතා අපූරු අංගයක් පටිගත කර එවීම මට මහත් ආශ්වාදයක් ගෙද දෙන්නේ එනිසා ය


අඟහරුවාදා සොඳුරු සෙවණේ සෑහෙන කාලයක් වෙන්ව තිබුණේ ආධුනික නිර්මාණකරුවනගේ කවි නිර්මාණ ඉදිරිපත් කරන්නට ය. මේ වැඩ සටහන ඉදිරිපත් කළේ එවකට ද ඉහළ නමක් දිනාගත් තරුණ ගීත රචකයකු වූ සුනිල් සරත් පෙරේරා ය. නිර්මාණකරුවන් එවන නිර්මාණ ඉදිරිපත් කරනවාට අමතරව යම් යම් තෝරාගත් නිර්මාණ අගය කිරීමද ඔහු අතින් සිදුවිය. මේ අගැයීම් ඉවකින් මෙන් නිර්මාණකරණයට පිවිසෙමින් සිටි අපට මහත් රුකුලක් විය. එවකට සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි මම ද වැඩ සටහන අසා සිටීමෙන් නොනැවතී මගේ ශක්ති පමණින් කවි ලියා යැව්වෙමි.


කිසිදාක මගේ කවියක් ප‍්‍රචාරය නොවූ අතර කවි එවූ අයගේ නාමලේඛණයේ මගේ නම කියවෙනවා අසා සිටීමෙන් පමණක් සෑහීමට පත් වන්නට මට සිදුවිය.


මේ කාලයේ සුනිල් සරත් සේවය කරමින් සිටියේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප‍්‍රචාරක අංශයේ ය. තාත්තා සමගින් ය. කෙසේ හෝ මේ කවි ලියා එවන කොලූ ගැටයා තමා සමග එකට සේවය කරන එදිරිසිංහ මහත්තයාගේ පුතා බව දැන්ගන්නා සුනිල් සරත් පෙරේරා මහතා සිය නිවසට පැමිණ තමා හමුවන්නැයි මට තාත්තා අත පණිවිඩයක් එව්වේ ය.


මම අමන්දානන්දයට පත් වීමි. ඔහු ගීත රචනා ක්ෂෙත‍්‍රයේ පතාක යෝධයෙකි.
එවැන්නකුගෙන් ලැබෙන ඇරයුමක් ඉතා වටියි. කිරුළපන මායා මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී සුනිල් සරත් අයියා හමුවූ දිනය අද මෙන් මතක ය.


ඔහුගේ නිවසේ ආලින්දයේ පුටුවකට බර දී පෙරේරා මැතිණිය වෙතින් ලද තේ කෝප්පයක් තොල ගාමින් මම කාව්‍ය නිර්මාණකරණය හා ගීත රචනය පිලිබඳ ජීවිතයේ ලද පළමු පාඩම සුනිල් සරත් පෙරේරා මහතා වෙතින් එදා ඉගෙන ගත්තෙමි. උපමා, රූපක වැනි සාහිත්‍ය උපක‍්‍රම මා පළමු වතාවට උගත්තේ ඔහු වෙතින් ය. මා ගෙන ගිය කවි කීපයේ අඩුපාඩු පෙන්වා දී ඒවා කපා කොටා සිය අත්අකුරෙන් ම නිවැරදි කළ හැටි තවමත් මතක ය.


මහ වෙල් යායයි
මහ වැව් යායයි
රන් මැළි මහ සෑයයි....
මහාවැලී මහ ගඟ උතුරා එන
නිවහල් දෑ ගීයයි.....

මා ලියූ කවියක පද කීපයක් ඔහු නැවත සකස් කළේ එසේ ය.


අපේ ඒ පළමු හමුවීමෙන් පසු මට ලංකාවේදී ඔහු නැවත හමු නොවී ය.


අදද දුහුනන් අතින් කව් ගී ලියැවෙයි. රත්න ශ‍්‍රී විජේසිංහ වැනි කළාතුරකින් හමුවන ප‍්‍රවීණයකු හැර ඒ ගැන ඇස් ඇර බලා කතා කරන ප‍්‍රවීණයන් අද හිඟ ය. වරද්ද වරද්දා නිර්මාණ කරන ආධුනික ලේඛකයකු කැඳවා ඔහුට උපදෙසක් දෙන්නට සිතන, ආධුනිකයා දිරිමත් කරවන වදනක් දොඩන, ප‍්‍රවීණයන් ගැන අද අසන්නට ලැබෙන්නේ කලාතුරකින් ය.


‘‘පෙරදිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා’’ 


යි ලියූ සුනිල් සරත් පෙරේරා නම් වන නිර්මාණකරුවා (එදා සිය නිවසේ ආලින්දයේ මා වාඩි කරවාගෙන කවිය පිළිබඳ පාඩමක් කියා දුන් සුනිල් සරත් අයියා) නැවත මට මුණ ගැසුණේ මෙල්බන් හි දී ය. ඒ අපේ පළමු හමුවීමෙන් අවම වශයෙන් වසර 30 කටවත් පසුව ය. එනමුදු ඔහු තවමත් එදා සිටි නිරහංකාර සුනිල් සරත් අයියා ම ය.

Wednesday, August 3, 2016

පමාවට සමාවක් තිබේද

බ්ලොග් එකක් ජනප්‍රිය කරගන්නට නම් සතියකට අලුත් සටහන් දෙකක්වත් දැමිය යුතු යයි මගේ හිතවත්තු කියති. ඒ කතාව ඇත්ත වුනත් එහෙම ලියන්නට විවේකයක් මට නැත. 

දවස් දහයකින්  පමණ අලුත් යමක් බ්ලොගයට එක් කර නැතිබව දැක්කේ අදය. මේ සතිය අවසන්වන්නට පෙර නව සටහනක් ලියන්නට සිතමි. දහසක් වැඩ අතර එයට කාලය සොයාගන්නා එක මටම ප්‍රශ්නයකි.. 

Thursday, July 21, 2016

මාර්ග සතිය..........

ආර් පේ‍්‍රමදාස මහතා විසින් ආරම්භ කරන ලද මාර්ග සති වැඩ සටහන දේශපාලනීකරණය වීම නිසා ආයාලේ ගිය හොඳ වැඩ සටහනක් ලෙස මට දැනෙයි. තෝරාගත් මැතිවරණ කොට්ඨාශයක තෝරාගත් ග‍්‍රාමීය මාර්ග රැුසක් සතියක හෝ දෙකක කාලය තුළ පිළිසකර කිරීම මේ වැඩ සටහනට ඇතුළත් විය. සම්පූර්ණ වැඩ සටහන ක‍්‍රියාත්මක වූයේ මහජන සහභාගිත්වයෙනි. ශ‍්‍රමදානයෙනි. අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සැපයුණේ මාර්ග සංවර්ධන අධිකාරියෙනි.


තමන්ගේ ගමේ පාර සාදා ගැනීම සඳහා ප‍්‍රදේශවාසීන් දැක්වූ කැපවීම සහ උද්‍යොගය ගමට කිසිදු සබඳකමක් නැති අප තුළ පවා මහත් ආශ්වාදයක් ඇති කරන්නට සමත් විය.  


වැඩ සටහනේ මූලික දුර්වලතාව වූයේ මාර්ග තෝරා ගැනීමේ ක‍්‍රමවේදයයි. ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ ප‍්‍රදේශයේ සමිති සමාගම් එක්ව කළ මේ තෝරාගැනීමට උඩින් පාත්වන්නේ ප‍්‍රදේශයේ මහ දේශපාලකයාය. ඉන්පසුව ප‍්‍රදේශයේ කුඩා දේශපාලූවන් ය. කළින් සාකච්චා කර සකස් කර ලැයිස්තු ගත කළ පාර වෙනුවට වෙනත් පාර ආදේශවන්නේ මේ දෙවන වටයේදී ය. දේශපාලන බලවතාගේ වත්තට යන පාර මහ ගෙදරට යන පාර ඒ ඒ බලවතුන්ගේ සුරතලියන්ගේ  මහප්පාගේ බාප්පාගේ ගෙදරට යන පාර ආදී වශයෙන් මහජනතාවට කිසිදු වැදගත් කමක් නැති පාරද මේ ලැයිස්තුවට එක්වන්නේ එක්කෝ තිබෙන පාරක් කපා දමමින්ය. නැත්නම් අලූතින්ම ඇතුල් කරමින් ය. බොහෝ විට සිදුවන්නේ පළමු එක ය.


මේ බොහෝ රැුස්වීම් වලට මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ප‍්‍රදේශයේ විධායක ඉංජිනේරුවරුන්ටත් අදාල ව්‍යාපෘතිය සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීමේ වගකීම දැරූ මටත් සහභාගිවන්නට සිදු වන බැවිත් මේ අප‍්‍රසන්න අත්දැකීම් සියල්ල විඳගැනීමේ අවස්ථාව අපට ලැබෙයි.


එවන් එක් අත්දැකීමක් පාදක කරගනිමින් මා ලියූ ”මාර්ග සතිය” කෙටිකතාව පළමුව රාවය පුවත්පතේත් ඉන්පසු 1999 දී ප‍්‍රකාශයට පත් වූ මගේ පළමු කෙටිකතා සංග‍්‍රහය වන ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහයේත් පළවිය. මේ ඒ කෙටිකතාවයි.


(නැවත ටයිප් කරන්නට කාලයක් නැති බැවින් රූප ලෙස ඉදිරිපත්කිරීම ගැන සමා වන්න)












Tuesday, July 19, 2016

අපේ කාලේ තාත්තලාගේ ආදරය....

අපේ පවුලේ දරුවන් පස් දෙනෙකි. වැඩිමලා අක්කා වන විට දෙවෙනියා අයියා විය. මම මද්දුමයා වෙමි. මගෙන් පසු ඉන්නේ මල්ලි ය. බාලයා නංගි ය. අක්කෙක් අයියෙක් මල්ලියෙක් සහ නංගියෙක් ලද මා වාසනාවන්තයෙකැයි නොසිතන්නට හේතුවක් නැත.


අද කාලයේ දරුවකු දෙදෙනකු හදන්නට දෙමාපියන් දරන වෑයම දකින විට දරුවන් පස් දෙනකු හදා වඩා ලොකු මහත් කරන්නට අපේ දෙමාපියන්ට යෝධ ශක්තිය තිබෙන්නට ඇතැයි සිතිය යුතු නැත. මට හිතෙන හැටියට ඒ කාලේ දෙමාපියන් දැන් කාලයේ වාගේ දරුවන් ගොඩනැගීම සිය ජීවිතයේ එකම ප්‍රොජෙක්ට් එක කර ගත්තේ නැති වීම මේ සියල්ල පිටුපස ඇති රහසයි.


ඒ කාලයේ එසේ කරන්නට අවශ්‍ය පරිසරය සමාජය විසින් සකස් ලැබ තිබුණ බවද අප අමතක කළ යුතු නැත.


තාත්තා මහත් වැර වෑයමින් සිය රැුකියාව හා ව්‍යාපාර කරගෙන ගියේය. ඔහුට අපේ පස්සෙන් දුවන්නට කිසිදු ඉඩක් තිබෙන බවක් අපටද නොපෙනුණි. පසු කලෙක ව්‍යාපාර වසා දමා රැුකියාව පමණක් (තාත්තා විශ‍්‍රාම යන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බැංකු කළමණාකාරවරයකු ලෙස ය) කරන කාලයේ පවා ඔහු අප ගැන සොයා බලමින් සිටි බවක් කිසි දිනෙක මම නොදුටුවෙමි.


ඔහු අපට ආදරය පෙන්නුවේ නැත. එහෙත් ආදරය හිත යට තිබෙන්නට ඇත. ඔහු යන්තමින් හෝ ප‍්‍රදර්ශනාත්මකව ආදරයක් පෙන්නුවේ අක්කාට පමණකි. එයද හුරතල් කිරීම් මගින් නොවේ. ”මැණීකේ” යන ආදර වදනකින් ඇය අමතමිනි. අපට අපේ තාත්තා පෙනුණේ ගලක් මෙන් තද මිනිසකු හැටියටය. ඉතා ඉක්මණින් කිපෙන තාත්තා ගෙදර නොසිටින විට අපට රජ මගුල් විය.


ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිහිටුවන්නට පෙර තිබූ ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ දිස්ත‍්‍රික් පරිපාලකයකු ලෙස ඔහු සේවය කරන කාලයේ ඔහු බොහෝ විට සිටියේ නිවසින් බැහැරවය. විවිධ ප‍්‍රදේශ වල කච්චේරි හා සම්බන්ධව තිබූ ඒ ව්‍යාපාරයේ කටයුතු නිසා ඔහුට විවිධ පළාත් වලට යන්නට සිදුව තිබූ හෙයිනි. ව්‍යාපාරයේ අවසන් කාලයේ ඔහු සිටියේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බව මට මතකය.


ගෙදර සිටින දිනවල උදේ පිටව යන්නට පෙර ඔහු අපට වැඩ පවරයි.


”අද පොල් අල්ලි දෙකක් උදළු ගාලා තියන්න  ඕනෙ”
” ඕවිටේ පාත්තිවල වල් පැල ගලවලා දාන්න  ඕනෙ”

හවසට එනවිට ඒ කාරිය කෙරී නොතිබුණොත් ගුටි මුරයකි.


ඔහුම අපට ගෙනැවිත් දී තිබු ආනයනිත අපූරු විකට් කණු හයත් ක‍්‍රිකට් පිත්තත් පොල් ගසක ගසා කඩා දැම්මේ එහෙම දවසකය.


මගේ ජීවිත කාලයේදී ඔහු මට කියා දුන්නේ එකම එක කතාවකි. කිසිදාක අමතක නොවන ඒ සුන්දර මොහොත මගේ මතකයේ ඇඳී ඇත්තේ සුන්දර සිහිනයක් සේ ය. එක්තරා දිනෙක සවසක ඔහු මා ළඟින් වාඩි කරවාගෙන සය වරක් පැරදී පළා ගොස් සත්වෙනි වතාවේ යුද්ධ කර ජයගත් සෙනෙවියා පිළිබඳ කතාව කියා දුන්නේ ය. එවන් වාසනාවක් ලද අපේ පවුලේ එකම දරුවා මා පමණක් වන්නට ඇතැයි මට සිතෙයි.


තාත්තා ඒ කතාව මටම කියා දුන්නේ අනාගතය මනසින් දැක වන්නට ඇතැයි මට දැන් සිතෙයි. අධ්‍යාපනය අතින් අද මා යම් තැනක සිටිනවා නම් ඒ පිටුපස ඇත්තේ සටනින් පැරදී අධෛර්යයට පත් නොවූ සෙන්පතියාගේ කතාවයි.


තාත්තා අප ගැන ඒ හැටි සොයා නොබැලූ දරදඬු රළු මිනිසකු ය යන්න කුඩා කාලයේ අපේ පිළිගැනීම හා අවබෝධය විය.


වසර හතරකට පෙර අම්මා අප හැර ගිය පසු ගේ දොර අස්පස් කරද්දී මට ඝණ කවරයකින් සමන්විත නෝට් පොතක් හමුවිය. එය තාත්තා අවුරුදු ගණනාවක් පවත්වාගෙන ගිය පොතකි. තාත්තා පිළිබඳව නැවත සිතන්නට ඒ නෝට් පොත මගේ සිත විවර කළේය.


මම එහි තාත්තා ඉංග‍්‍රීසියෙන් ලියා ඇති සටහන් කියවන්නට පටන් ගත්තෙමි. මගේ සිතේ ඇති වන්නේ මහත් විමතියකි.

අජිතා උඩහමුල්ලේ විජයාරාම මහා විද්‍යලයට ඇතුල් කළ දිනය........
කුමාර විද්‍යාකරයට ගිය දිනය....
ජගත් තලපත්පිටියේ පාසලට ඇතුල් කළ දිනය....
කුමාර ගේ සමාන්‍ය පෙළ ප‍්‍රතිඵලය.....
කුමාර නාලන්දාවට ඇතුල් කළ දිනය....
අජිතා බෞද්ධ කාන්තා විද්‍යාලයට ඇතුල් කළ දිනය....
ජගත් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් කළ දිනය...
ජගත් කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුල් කළ දිනය
මංගල ගේ ජාපොඅසප ප‍්‍රතිඵලය...
බුද්ධිකා ගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල .....

අප පස් දෙනාගේ ජීවිත වල සියලූ කඩඉම් පිළිබඳ සටහන් තාත්තාගේ නෝට් පොතේ සටහන්ව තිබුණි. මේ සටහන් කියා දෙන සත්‍යය නම් අප තාත්තා ගැන දැන සිටි ප‍්‍රමාණය ඉතා අල්පයකි යන්න ය.


අප තරුණ වියට එළැඹෙන තෙක්ම තාත්තා ඈතින් සිට අප දෙස කෙතරම් නිරීක්ෂණාත්මක බැල්මක් යොමා සිටියාද යන්න දැන් මට පැහැදිළිව වැටහෙයි. අප පස් දෙනාගේ ජීවිත වල සෑම වැදගත් අවස්ථාවක්ම තාත්තා අතපසු නොකර සිය පොතේ ලියා තිබුණේ සිය වගකීම මැනැවින් තේරුම් ගත් මිනිසකු ලෙස නොවේද? ඔහු අප පිටුපසින් අපට නොපෙනී යෝධයකු සේ අප ආවරණය කරගෙන සිටි ආකාරය දැන් මට මවා ගත හැකිය.


මම තාත්තාගේ සටහන් පොත තිබූ තැනම තබා ආපසු හැරුණෙමි. වෙනදාට වඩා වැඩි බරක් මගේ හිස මත තබා ඇති බවක් දැන් මට දැනෙයි.


අපේ කාලයේ තාත්තලාගේ ආදරය සැඟවුණ එකකි. එය දැන් කාලයේ අප අපේ දරුවනට පෙන්නන සිල්ලර ආදරයට වඩා බොහෝ වටියි.



Sunday, July 17, 2016

සිරිදාස නම් වූ රියැදුරු මහතා.....

හැමදෙනාම හිතන්නේ ආණ්ඩුව යනු රැකී රක්ෂා සපයන ඒජන්සියක් කියාය. අද ඊයේ පමණක්  නොව අතීතයේදීත් එය එසේම විය. රැකියා ඉල්ලමින් තමන් පසුපස එන ඡුන්දදායකයන්ගෙන් බේරෙන්නට මැති ඇමතිවරුද තමන්ට හැකි සෑම ආයතනයකටම මේ මිනිසුන් ගාල් කර ඇඟ බේරා ගන්නට වෙහෙසෙති. මෝටර් රථයක සුක්කානමවත් අල්ලන්නට හරි හැටි නොදත් සිරිදාස මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරකු ලෙස සේවයට එන්නේ ඒ ආකාරයටමය.


ආර් පේ‍්‍රමදාස මහතා මහා මාර්ග ඇමතිව සිටි කාලයේදීි පත්වීමක් ලබා ගත් නමුත් සිරිදාස අමුම අමු ශ‍්‍රී ලංකා කාරයකු විය. සැමවිටම සිය කමිස සාක්කුවේ දමාගෙන සිටි හතරට නැවූ ”දිනකර” පත්තරය ඒ බව ලොවටම කියා පෑවේය. (ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිිළ පුවත්පත වූ එය දැන් අභාවයට ගොස් ඇති බවක් පෙනෙයි)


වාහනයකක් පදවන්නට නොහැකි සිරිදාස යාන්ත‍්‍රික කම්හලට අනුයුක්ත කරන්නේ ”මෙන්න මේ යකාට ඩ‍්‍රයිවින් ටිකක් උගන්නලාා එවන්න” යනුවෙන් වූ යාන්ත‍්‍රික අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම අනුව ය.


ඉතා අහිංසක මිනිසකු වූ සිරිදාස ගේ වැදගත්ම දෛනික රාජකිය වූයේ කොතැනක හෝ මුල්ලකට වී ”දිනකර” පත්තරය කියවීමයි. සිරිදාස ගේ ඒ අපූරු පත්තරය කොයිතරම් කියවූවත් අවසන් නොවන ආකාරයේ එකක් විය.

අවුරුද්දක් හමාරක් කම්හලේ වාහන අතපත ගාමින් සිටි සිරිදාස යන්තමින් වාහනයක් පදවන්නට හැකියාව ලබාගත්තේය.


මේ කියන දවසේ සිරිදාස යම්කිසි කාර්යයක් සඳහා සිය ඩයිහට්සු වර්ගයේ වාහනය පදවාගෙන සෙත්සිරිපාය පැත්තේ සිට බත්තරමුල්ල පැත්තට යමින් සිටියේය. බත්තරමුල්ල හන්දියේ මහා වාහන තදබදයකි. සියලූම වාහන ගල් තිබ්බා සේ නැවතී ඇත. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සිරිදාස පාර මැදම වාහනය නවත්තා ”දිනකර” පත්තරය කියවන්නට පටන් ගත්තේ ය.

ඒ කතාවේ ඉතිරි කොටස කීවේ අධිකාරියේ සිවිල් අධිකාරිවරයෙකි.

”මං සෙත්සිරිපායෙන් එළියට බහිනකොට බත්තරමුල්ල හන්දිය පැත්තෙ ඉඳන් දිගටම වාහන බ්ලොක් වෙලා.. මං හිතුවෙ ඇක්සිඩන්ට් එකක් කියලා.. කොයිකටත් මං අඩිය ඉක්මන් කරලා බත්තරමුල්ල හන්දිය පැත්තට ආවා... හන්දිය මැද්දෙ සිරිදාසගේ වාහනේ නැවතිලා.. වාහන පේළිය පටන් අරන් තිබුණෙ එතන ඉඳළයි.. මං ළඟට ගිහින් බැලූවා කරදරයක් වත්ද කියලා.. මෙන්න මේ යකා පාර මැද වාහනේ නවත්තගෙන මෙළෝ සිහියක් නැතිුව ”දිනකර” පත්තරේ කියවනවා... මිනිහ දන්නෙ නැහැ ඉස්සරහින් තිබිච්ච වාහන ගිහිල්ලා කියලා”


00000000


වතාවක් සිරිදාස යාන්ත‍්‍රික අධ්‍යක්ෂවරයා හා තවත් නිළධාරියකුද සමගින් කුරුණෑගල යන්නට ගියේ ය.


”ජිනදාස එකෙන් තලගුලි ටිකක් ගන්න  ඕනෙ සිරිදාස” අධ්‍යක්ෂවරයා කල් ඇතිවම කීවේය. සිරිදාස අඹේපුස්සෙන් කුරුණෑගල දෙසට නොහරවා කෙළින්ම ඉදිරියට ගොස් ජිනදාස තලගුලි ආයතනය අසළින් යූ ටර්න් එකක් දමා වාහනය හරවා නැවැත්තුවේ ය. මහත්තුරු දෙන්නාම වාහනයෙන් බැස ගිය නමුත් සිරිදාස සිතුවේ බැස ගියේ අධ්‍යක්ෂවරයා පමණක්ය කියාය.  ඒ ගැන සොයා බලන්නට නොවෙහෙසුණ සිරිදාස සුපුරුදු පරිදි ”දිනකර” පත්තරය කියවීම ආරම්භ කළේ ය.


ටික වේලාවකට පසු වාහනයේ පසුපස දොර ඇරෙන හඬත් වැසෙන හඬත් සිරිදාසට ඇසුණි. වහාම පත්තරය අකුලා සාක්කුවට දමාගත් සිරිදාස ”ස්රූස්” ගා වාහනය ඉදිරියට පැදෙව්වේ ය. ඔහු දැන් හැටට හැටේ වේගයෙන් කුරුණෑගල දෙසට වාහනය පදවයි.

”සිරිදාස” පිටුපස ආසනයෙන් හඬක් නැගෙයි.

”ඇයි සර්” සිරිදාස පිටුපස නොබලාම අසයි.

”ඩිරේක්ටර් මහත්තයා නැග්ගෙ නැහැ සිරිදාස”


000000000


අධ්‍යක්ෂ යාන්ත‍්‍රික රණසිංහ මහත්තයාට සිගරට්ටුවක් නොබී සිටීම ඉතාම අපහසු කාරියකි. මේ කියන දවසේ සිගරට් වර්ජනයකි. කිසිම කඩයක සිගරට්ටුවක් සොයා ගන්නට නැත. සිගරට්ටුවක් බොන්නට නැතිව අධ්‍යක්ෂවරයා නොසන්සුන්ව සිටියි.

”බලනව අයිසෙ.. සිගරට් එකක් හොයා ගන්න නැහැනෙ” අධ්‍යක්ෂවරයාට වරින් වර කියවෙයි.

”අයියෝ සර්..  ඕකත් වැඩක්ද.. මං ගෙනත් දෙන්නං” සිරිදාස ස්වෙච්ඡුාවෙන්ම ඉදිරිපත් වෙයි ”.. මං දන්න සිගරට් ඒජන්සියක් තියෙනවා”

අධ්‍යක්ෂවරයාගේ ඉහේ මලක් පිපුණා වාගේය. සිරිදාස ලවා සිගරට් ගෙන්වා ගන්නට අතේ මාරු සල්ලිද නැන. සාක්කුවේ තිබුණේ දාහේ කොළයකි. (මේ අසූව දශකයේ අග භාගයේ බව සළකන්න) එය සිරිදාස අතට දුන්නේ ය. සිරිදාස ”රූං” ගා පිටව ගියේය.

පැයකට දෙකකට අධ්‍යක්ෂවරයාගේ කාමරයේ දොරට තට්ටු කරන්නෙකි.

”සර් මං සිරිදාස”

”එනවා ඇතුළට”

විශාල කාඞ්බෝඞ් පෙට්ටියක් කරේ තබාගත් සිරිදාස වදෙන් පොරෙන් කාමරයට ඇතුල්වෙයි.

”මොනාද අයිසෙ පෙට්ටියෙ?” අධ්‍යක්ෂවරයා විමතියෙන් අසයි.

”සර්ට සිගරට්” සිරිදාස කියන්නේ වීරයකු සේ ය.

අධ්‍යක්ෂවරයා හිසේ අත ගසා ගත්තේ ය.










Wednesday, July 13, 2016

හොඳ මිනිසුන් අතර සිට....

මෙලෝ වාසී සියල්ලෝම හොඳ මිනිස්සු වෙති. ඔවුන් තුළ අඩු වැඩි වශයෙන් නරක ද ඇත.


ඒ මට හිතෙන හැටිය. මිනිසුන්ගේ නරක අමතක කර හොඳ පමණක් දකින්නට මම සැමවිටම උත්සාහ කරන්නෙමි. එහෙත් එය සැම විටම සාර්ථක උත්සාහයක් නොවේ. සමහර මිනිසුන් තුළ ඇති නරක දිරවා ගත නොහැකි තරම් වූ විට ඉවසා සිටිය නොහැකි තරම් වූ විට ඔවුන් වෙතින් ඈත්ව සිටින්නට සිදුවූ අවස්ථාද නැත්තේ නොවේ. එවන් මිනිසුන් මට හමුවී ඇත්තේ අතළොස්සකි. එය සතුටකි. වැඩියෙන් ඇත්තේ හොඳ මිනිසුන් පිළිබඳ මතකයයි.


මම කලින් ලියූ ”තාර බැරල් කපාලා - ගල් රෝලෙන් තළාලා” සටහනට surangamlr විසින් ලියන ලද ”මිනිස්සුන්ට මනුස්සකමෙන් සැලකූ නිසා අදටත් ඔබ ගැන ඈත ගම්, කඳු මුදුන්, හෙල් මිටියාවත් වල මිනිස්සු කතාවෙනවා ඇත.” යනුවෙන් වූ අදහස මේ සටහන ලියන්නට මා පෙළඹවු සාධකකයි. ”හොඳ මිනිසුන්ගේ සිත් තුළ අප කළ දේ පිළිබඳ මතකය රැඳී ඇති බව අත්දැකීමෙන් දනිමි”යි මම ඔහුට පිළිතුරු දුන්නෙමි. ඒ ගැන ලියන්නට බොහෝ මතක සටහන් ඇතත් දෙකක් පමණක් ලියන්නට සිතුවෙමි.



ජාතික ආධුනිකත්ව මණ්ඩලය හා සාකච්ඡුා කර මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික කම්හලට කාර්මික හා විදුලි කාර්මික ආධුනිකයන් බඳවා ගන්නට අපි වරින් වර කටයුතු කළෙමු. එසේ බඳවාගත් තරුණයන් අතරින් එක් අයකු අපේ විශේෂ අවධානයට ලක්විය. ප‍්‍රධාන හේතුව ඔහු කම්හලට බාර දෙන්නට ආ ඔහුගේ සහෝදරයාය.


”සර් මං අසවල් ගීත රචකයා” ඔහු කෙළින්ම තමන් හඳුන්වා දුන්නේ ය. මම ඔහුගේ ගී පිළිබඳව දැන සිටියෙමි. ”මේ මගේ මල්ලි.. අපි අසවල් ව්‍යාපාරයට සම්බන්ධව වැඩ කරනවා. ඒත් අපි හිතුවා මේයා මොනවා හරි දෙයක් ඉගෙන ගෙන හිටියොත් හොඳයි කියලා. මේ ව්‍යාපාර අද තියෙනවා. හෙට නැති වෙනවා” ඔහු තමා සම්බන්ධව සිටින කලාත්මක නිර්මාණ බිහි කරන ව්‍යාපාරය පිළිබඳ විස්තරයක්ද කළේය. ”.. මෙයා වැඩිය තැළිලා පොඩි වෙලා නැහැ සර්” ඔහු කතාව අවසන් කළේ එසේය.

”බයවෙන්න එපා.. අපි හොඳින් එයා බලාගන්නම්” මම සහෝදරයා සනසනු වස් කීවෙමි.

තරුණයා බොහෝ උනන්දුවෙන් කම්ලේ පුහුණුව ලැබුවේය. මම ඔහු අමල් ලෙස හඳුන්වමි. ඒ ඔහුගේ නියම නම නොවේ. ඔහු ඉතා විනීත තරුණයෙක් විය. මම මට හැකි පමණින් ඔහුට අත දුන්නෙමි. කරුණාාවෙන් සැළකුවෙමි.


අමල් මුල් වසර එකහමාර ඉතා හොඳින් පුහුණුව ලද නමුත් එන්න එන්නම ඔහුගේ පැමිණිම අඩාල වෙමින් යන බව මට පෙනුණි.

”අමල් අයියලා එක්ක බිස්නස් වැඩ වලට යනවා සර්” අමල් පිළිබඳව විමසූ විට මගේ රියදුරා ව සිටි පියසේන කීවේ ය. මම කීපවතාවක් පියසේන යවා අමල් කම්හලට ගෙන්වා ගත්තෙමි.

”බිස්නස් කළාට කමක් නැහැ අමල්.. ඉස්සෙල්ල කෝස් එක ඉවර කරලා ඉන්න” මම ඔහුට අවවාද කළෙමි. ඒ හැම වතාවකට සතී කීපයක් පුහුණුවට පැමිණෙන තරුණයා යළි යළිත් පැමිණීම අතපසු කරන බවක් පෙනුණි.


”අපි යමු අමල්ගෙ ගෙදර” මම දිනෙක පියසේනට කීවෙමි. අපි මහරගම පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. තරුණයා ගෙදර සිටියේය. මගේ පැමිණීම ඔහු බලාපොරොත්තු නොවූවක් බව මට දැනුණි. ඔහුගේ පාඨමාලාවේ ඇති වැදගත් කමත් එය කෙසේ හෝ අවසන් කර සහතිකය අතට ගෙන තමන් කැමති රැකියාවක් කරන ලෙසත් මම ඔහුට අවවාද කළෙමි. ඔහු මගේ අවවාද සාවධානව අසා සිටියේය. ඊළඟ සතියේ යළි පහුණුවට වාර්තා කළේ ය.


මම ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණෙමි. වීඩියෝ කැසට් වලින් සහ පසුව සංගත තැටි වලින් මෙරටට එන ශ‍්‍රී ලංකාවේ රූපවාහිණි වැඩසටහන් මහත් උනන්දුවෙන් නරඹන මට අමල්ගේ නම නිතර පෙනෙයි.

”මේ මගේ වර්ක්ෂොප් ඒකේ ඉගෙනගත්ත දරුවෙක්” මම දන්නා හඳුනන අයට කියමි. අමල් සිය සහෝදරයින් සමගින් ඒ කලා ක්ෂේත‍්‍රයේ පරිපාලකයකු ලෙස ඉදිරියටම යමින් සිටින බව පෙනෙයි. අපූරුය.


වසර දොළහකට පමණ පසු ලංකාවට ගිය අවස්ථාවක මගේ මිත‍්‍ර කැලූම් පාලිත සවසක දුරකතන ඇමතුමක් දුන්නේ ය.

”අද හවසට අමල් මාත් එක්ක සෙට් වෙන්න එනවා..  මං එන්නං උඹව ගන්න”

අපි එක්තරා අවන් හලකදී හමුවීමු. එදා මගේ කම්හලේ සිටි කුඩා කොලූ ගැටයා උස් මහත්ව තරුණයකු වී සිටියේය. ඔහු සමග පැමිණි සේවකයන් කීපදෙනකු ඔහුගේ වාහනයේ සිටිනු මට පෙනුණි.

අපි මධුවිතක් තොළගාමින් ආ ගිය කතා කතා කළෙමු. සිසිල් බීම වීදුරුවක් තොල ගාමින් අමල් අප සමග එක්විය. තමන් නිරතව ඉන්නා ක්ෂෙත‍්‍රය පිළිබඳව ඔහු බොහෝ දේ කතා කළේ ය.

”මම සර්ව ගෙදරින් බස්සන්නම්”අප එන්නට පිටත් වන විට අමල් කැලූම්ට කීවේය. නුගේගොඩ අපේ මහ ගෙදර ඉදිරියේ පාර අයිනේ වාහනය නැවැත්තූ අමල් මට වාහනයෙන් බසින්නට දොර ඇරියේය. වාහනයෙන් බැස දොර වැසූ මම ඔහුගෙන් සමුගන්නට සැරසුණෙමි. මා යමක් කියන්නට පෙර තරුණයා මහ පාරේ දූලි ගොඩ මැද දණ ගසා මට වැන්දේය. මම මහත් කම්පණයෙන් ඔහු දෙවුරෙන් ඔසවා නැගිට්ටෙව්වෙමි. ඔහුගේ ඇසින් වට කඳුළක් කම්මුල් දිගේ රූරා ගලා යනු මම දුටුවෙමි.

”මං ගිහින් එන්නං සර්” මිමිණූ තරුණයා වාහනයට නැග්ගේය. ඔහුගේ වාහනය පාරේ ඈතින් නොපෙනී යන තෙක් මම ගේට්ටුව අසළ සිට බලා සිටියෙමි. හොඳ මිනිසුන්ගේ සිත් තුළ තැන්පත්ව ඇති හොඳ මතක කිසිදා නොමැකෙණ බව මම දනිමි.


දෙවන සිදුවීම එයට වඩා වෙනස් එකකි.


එය මාර්ග සංවර්ධන අධිකාරියේ වසර ගණනාවක සේවයෙන් පසු මම ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීම සඳහා මගේ ඉල්ලා අස්වීමේ ලියවිලි බාර දී තිබූ කාල වකවානුව විය.

අනතුරකට ලක්ව තිබූ අලූත්ම වාහනයක් රක්ෂණ සමාගම පැමිණ ගෙනයන තෙක් කම්හලේ පසෙක ගාල් කර තිබුණි. එක්තරා දිනෙක මේ වාහනයේ සවිකර තිබූ ඉතා වටිනා කැසට් වාදන යන්ත‍්‍රය කිසිවකු විසින් ගළවාගෙන ගොස් තිබුණි.

මට කළ හැකිව තිබූ පහසුම දෙය පොලීසියට එය පැමිණිළි කිරීමයි. ඉන්පසු සිදුවන පළමු දෙය පොලිසිය පැමිණ කම්හලේ මුරකාරයන් කුදලාගෙන ගොස් ගුටි ඇණ නැතිවූ භාණ්ඩය පිලිබඳ සොයා බැලීම බව මම දැන සිටියෙමි. එය මා දකින්නට කැමති දෙයක් නොවේ. ආයතනයේ නීති රෙගුලාසි පසෙක ලා වෙනස්ම පියවරක් ගන්නට මම සිතුවෙමි. මම කම්හලේ සියලූම සේවකයන් කාර්යාලයට කැඳෙව්වෙමි.

”මට ඔයගොල්ලන්ට කියන්න කාරණයක් තියෙනවා. අසුවල් වාහනයේ කැසට් එක කවුරු හරි ගලවගෙන ගිහින් තියෙනවා. ඒ වගේ එකකට  ඕනෙ කෙනෙකුට ආසා හිතෙනවා තමයි. ඒත් ඒක ගළවාගෙන යන එක වැරදි වැඩක්. මම මේ වර්ක්ෂොප් එකේ ඔයාල එක්ක අවුරුදු ගාණක් එකට හිටියා. ඔයාලගෙ දුක සැප බැලූවා. පාලකයෙක් වගේ නෙවෙයි. සහෝදරයෙක් වගේ මම ඔයාල එක්ක හිටියා. දැන් මම මෙතනින් යන්න යන වෙලාව. ඒ තිබි්ච්ච හොඳ හිත රැකගෙනම යන්න මම කැමතියි. හොඳ නිළධාරියෙක් හැටියට ආයතනයේ මට තිබිච්ච හොඳ නමත් රැකගෙන යන්න මම කැමතියි. ඒ නිසා මේ කැසට් එක නැවත වර්ක්ෂොප් එකට ලැබෙන්න  ඕනෙ. මේක ගත්තෙ ඔයාල අතරින් කෙනෙක්. ඒ කෙනා කවුද කියලා හොයා ගන්න මට අවශ්‍ය නැහැ. ගෙනිච්ච කෙනා කවුරු හරි කමක් නැහැ කැසට් එක නැවත ගෙනත් තියන්න. ගෙනිච්චා වගේම කාටවත් නොපෙනී ගෙනත් තියන්න. ගෙනත් තියලා යාලූවෙක් ලවා අපට කෝල් එකක් දෙන්න අන්න අහවල් තැන කැසට් එක තියෙනවා කියලා. එච්චරයි”

දින දෙකකට පසු නාඳුණන කටහඬකින් දුරකතන ඇමතුමක් ලැබුණි.

කැසට් ප්ලේයර් එක වර්ක්ෂොප් එකේ කන්ඩෙම් කරලා පැත්තක තියෙන ජීප් එකක සීට් එකක් යට තියෙනවා

මම මිනිසුන්ට ආදරය කරමි. එසේ නොකර සිටින්නට නොහැකි මෙවන් අත්දැකීම් මට අනන්තවත් ඇත. ඔබ සොයා යා යුතු වන්නේ හොඳ ය. එවිට ඔබට එය දකින්නට ලැබෙයි. ඔබ නරකම සොයා යන්නකු නම් ඔබට කිසිදා හොඳ දකින්නට නොලැබෙනු ඇත.

Monday, July 11, 2016

”අනේ අපේ පුතාට සිංහල බැහැනෙ” හරිම ආඩම්බරයි


විදෙස්ගත වන සමහර දෙමාපියන් කරන වරදක් පිළිබඳව දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish?  මැයෙන් රසිකලොජියේ ලියා ඇති සටහන හා බැඳෙන සටහනකි මේ. 


දරුවන් සමග ඉංග‍්‍රීසියෙන් කතා කරන විදෙස්ගත අපේ අය එසේ කරන්නේ හීනමානය නිසා වෙන්න පුලූවන්. තමන්ට හිමි කරගන්නට නොලැබුණ සිහිනයක් දරුවන් ලවා හිමි කරවා ගන්නට කරන උත්සාහයක් මේක.

මේ රටවල දරුවන් කොහොමත් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නවා. ඒත් ඔවුන්ට අමතක වන්නෙ සිංහල භාෂාවයි.

අපේ ගෙදර නීතිය ගෙදර ඇතුලෙදි ඉංග‍්‍රීසියෙන් කතා කිරීම තහනම් කියන එකයි. ඒනිසා තමයි  ඕස්ටේ‍්‍රලියාවෙදි ඉපදුණ මගේ පුංචි දුවට පවා ඉතා හොඳින් සිංහල කතා කරන්න පුලූවන් වෙලා තියෙන්නෙ. එහෙමයි කියලා ඇගේ ඉංග‍්‍රීසි පහලට බැහැලා නැහැ. සති කීපයකට ඉස්සෙල්ලත් පන්තියේ හොඳම ඉංග‍්‍රීසි රචනය ලිව්වෙ ඇයයි. ඒ රචනය කොයි තරම් හොඳඳ කියනවා නම් ළමයින්ට ඉදිරි කාල වලදි පෙන්නන්න ආදර්ශ රචනාවක් හැටියට ඒක පාවිච්චි කරන්න අවසරයත් ගුරුතුමිය දුවගෙන් අරගෙන තිබුණා.

මේ රටවල රජයේ අනුග‍්‍රහයෙන්ම සිංහල භාෂාව උගන්වන පාසල් රැුසක් තියෙනවා. සතියකට වරක් පැවැත්වෙන මේ පන්ති වලට විශාල වශයෙන් සිංහල දරුවන් සහභාගි වෙනවා. ඒත් ඒකත් සමහර අයට සෝබන වැඩක් විතරයි.

සිංහල පාසලක වාර්ශික තෑගි බෙදාදීමක ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවන්නට පසුගියදා මට සිදුවුනා. පාසල අසලට ගිහින් ඇතුළට නොයා මම වාහනයට වෙලා ටික වෙලාවක් හිටියා. අම්මලා තාත්තලා දරුවන් පාසලට ගෙන එනවා. සමහර අය සිංහල පාසලට එනගමන් පවා දරුවන් සමග කතා කරන්නෙ ඉංග‍්‍රීසියෙන්. සමහර අය කැඞ්ච්ච ඉංග‍්‍රීසියෙන් තටමමින් කරන කතාව අහගෙන ඉන්නකොට ඇතිවෙන්නෙ දුකක්.

” ඕක තමයි අපට තියෙන ප‍්‍රශ්නෙ.. මිනිස්සු හිතනවා මේ සිංහල ඉස්කෝලෙ ඇතුලෙ සතියකට ගත කරන පැය දෙක තුන ඇතුලෙදි දරුවන්ට සිංහල කතා කරවන්න අපට පුලූවන් කියලා. දෙමාපියන් ගෙදරදි කිසිම උනන්දුවන් නොදක්වලා අපෙන් විතරක් ඒක බලාපොරොත්තු වෙනවා” සිංහල පාසලේ සංවිධායක මහත්තයා මට කිව්වා.

මේකෙ තවත් පැත්තක් තියෙනවා. සමහර අපේ මිනිස්සු කැමතියි ලංකාවට ගියාම නෑදෑයන් ඉස්සරහ තමන්ගෙ දරුවට සිංහල බැහැ කියන එක පෙන්නන්න. ඒක ඒ අයට ආඩම්බරයක්.

”අනේ අපේ පුතාට සිංහල බැහැනෙ” මුණුබුරන් මිනිබිරියන් එක්ක බෑණලා ලේලිලා එක්ක කතා කරන්න ආසාවෙන් බලාඉන්න ඉංගිරිසි නොදත් අහිංසක නෑදෑයන් ඉදිරියෙදි එහෙම කියන්න ඒ අය හරිම ආසයි.

ඔය අතරේ මගේ හිතවතෙක් වන අරුණසිරි (නියම නම නොවෙයි) කිව්ව කතාවක් මතක් වෙනවා. ලංකාවෙ ඉතා ගම්බද පළාතක සිට කාර්මික අභ්‍යාස ආයතනයක පාඨමාලාව හදාරා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණ මගේ මිත‍්‍රයා දවසක් අපූරු කතාවක් කිව්වා.

”මං නං නිවාඩුවට ලංකාවට ගියාම පුතාට කියන්නෙ උඹ පුවන් තරම්ම ඉංග‍්‍රීසියෙන්ම කතා කරපං කියලයි. අපි ගමේ ඉන්න කාලෙ ගමේ එකක් වත් අපිව පයිසෙකට මායිම් කළේ නැහැ.. අපි බඩගින්නට හබරල කොල තම්බගෙන කනකොට උන් අහක බලාගෙන හිටියා. දැන් මට උන් ඉස්සරහ ඔලූව උස්සගෙන ආඩම්බරේට ඉන්ඩ  ඕනෙ.. ඒ නිසා මං කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් හරි උන් ඉස්සරහ පුතා එක්ක කතා කරන්නෙ ඉංග‍්‍රීසියෙන්මයි.. උන් අපි දිහා කට ඇරන් බලං ඉන්නකොට අම්මපා මට මාර සන්තෝසයි”

එහෙමත් වෙනවා......

පසු සටහන -  දරුවකුට කිසිදු අපහසුවකින් තොරව භාෂා කීපයක් එකවර ඉගෙන ගත හැකි බව විශේෂඥයන්ගේ මතයයි.

Experts say that kids should begin to learn a foreign language from a young age; the younger, the better. "A child is born with the ability to learn any language in the world," explains Caryn Antonini, "The older the child gets, certain windows close in terms of language acquisition, but so long as the child learns the language before puberty [age 12 or 13], the child should be able to speak with a native accent."

More - http://www.telegraph.co.uk/education/educationopinion/11151726/Children-should-start-learning-languages-at-age-three.html

Wednesday, July 6, 2016

තාර බැරල් කපාලා - ගල් රෝලෙන් තලාලා

ජීවිතයේ සුන්දරම කාලය මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ කාලය යයි සිතෙයි. අධිකාරියේ යාන්ත‍්‍රික කම්හල බාර ඉංජිනේරුවරයා ලෙස විවිධ මට්ටම් වල සේවක සේවිකාවන් එකසිය පනහකට වැඩි පිරිසකට සහ විවිධාකාර යන්ත‍්‍ර සූත‍්‍ර දෙතුන් සීයක ප‍්‍රමාණයකට මැදි වී ගෙවූ ඒ කාලය පිළිබඳ සුන්දර මතක සටහන් අපමණ ය. මෙයට පෙර කොතැනකවත් නොලියූ ඒ මතක සටහන් වරින් වර ලිවිය යුතු යයි මට සිතෙයි.

මාර්ග සංවර්ධන අධිකාරිය නම් වන ආයතනය බිහිවන්නේ මහාමාර්ග දෙපාර්තමේන්තුව වසා දැමීමෙන් පසුවය. අධිකාරියේ සේවය කළ බොහෝ අය දෙපාර්තමේන්තුවේ සිට අධිකාරියට අනුයුක්ත කළ අය විය. මේ විවිධ මට්ටම් වල සේවකයන් අතර විවිධ අධ්‍යාපන මට්ටම් වල අයද සිටියහ. විශේෂයෙන් යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන් අතර මේ අධ්‍යාපන වෙනස බොහෝ සේ දකින්ට හැකි විය.

අධිකාරියේ ගල් තලන යන්ත‍්‍ර ක‍්‍රියා කරවන්නන් මගේ දැඩි අනුකම්පාව දිනා ගත්තේ ඔවුන් කරමින් සිටි කාර්යයේ දැඩි කටුක බව නිසාත් ඔවුන් ගේ දුක්බර ජීවන ප‍්‍රවෘත්ති නිසාත් ය.

තාර බැරල් කපාලා
ගල් රෝලෙන් තලාලා
පේලියකට තියාල පොඩි
යුනිට් එකක් තනාලා
යුනිට් එකක් තනාලා

යයි කියැවෙන ගීයක් මේ සේවකයන් අතර ජනප‍්‍රියව තිබුණි. තමන්ගේ ගම් පළාත් වලින් දුර බැහැර නොදන්නනා ඉසව්වකට ගොස් පරණ තාර බැරල් දිග හැර ගල් රෝලකින් තලා ඒ තහඩු වලින් තනා ගත් කුඩා මඩුවක නැවතී තාර පාර හැදූ යුගය දැන් නිමා වී ඇති නමුත් ඒ සුන්දර සහ දුක්බර මතකය මේ මිනිසුන්ගේ සිත් වලින් බැහැර ගොස් නොතිබුණි.

මේ බොහෝ ගල්රෝල්කරුවෝ ඉතා අහිංසක මිනිස්සු වූහ. මාසයකට වතාවක් පඩි ගන්නට කම්හලට එන ගමනින් වැඩ අඩාල වන බැවින් ඔවුන් සේවය කරන තැන් වලටම ගොස් මාසික වැටුප ගෙවීමේ ක‍්‍රමයක් පවත්වාගෙන යන්නට වරක් අපි උත්සාහ කළෙමු. දුර බැහැර ගම්මාන වල අහුමුළු වල ඔවුන් සේවය කළ තැන් වලට අප යන විට ඔවුන්ගේ මුවේ ඇඳෙන අවිහිංසක සිනාව කෙතරම් අපූූරුදැයි දැනුත් මට සිතෙයි. මාසයක් සේවය කිරිමෙන් පසු ලැබෙන කුඩා වැටුප අත ළඟටම ලැබෙන විට දැනෙන සතුට කෙතරම් විය හැකිද?

”අපේ සර් ඇවිල්ලා” යි කියමින් ළඟ පාත කඩයකට දුව ගොස් බීම බෝතලයක් ගෙනැවිත් අපට සංග‍්‍රහ කරන්නට පවා ඔවුන්ට අමතක නොවෙයි. අවශ්‍යතාවක් නොතිබුණත් ඒ දුප්පත් සංග‍්‍රහය විඳ ගන්නේ ඔවුන්ගේ සිත් රිදවන්නට අකමැති නිසාම ය.

මේ කටුක දිවි පෙවෙත් ගෙවන මිනිසුන් අතරින් ඉඳ හිට සතුට දනවන පුවත්ද අසන්නට ලැබෙයි.

”පොඩි ගේ කෑල්ලක් හදා ගන්න අත්තිවාරමක් දාගත්ත සර්” කෙනෙකු කියන විට අපටද ඒ සතුට දැනෙයි.

මා වඩාත් සතුටට පත් පුවතක් ගල්රෝල් ක‍්‍රියාකරුවකු කී දිනය මට කිසිදා අමතක නොවේ.

”පුතා කටුබැද්දෙ ඉංජිනියරිං වලට තේරුණා සර්” කෙට්ටු සිරුරකින් හෙබි ඒ දුප්පත් මිනිසා කියන විට ඔහුගේ ඇස් දිළිසෙණු මම දුටුවෙමි. ඒ සතුටු කඳුළට මම ආදරය කළෙමි. මේ මගේ මිනිසුන්ය.

”හරිම සතුටුයි.. මොකක් හරි උදව්වක්  ඕනෙ වුණොත් කියන්න” මම කියමි.

යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන්ට මාසයකට වරක් ඒ මාසයේ ඒ ඒ දින වල තමන්ගේ යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කළ වැඩ පිළිබඳ සටහන් කරන්නට පත‍්‍රිකාවක් ලැබෙයි. මාසය අවසානයේදී සම්පූර්ණ කරන ලද මේ පත‍්‍රිකාව කාර්යාලයට ලැබිය යුතුය. යන්ත‍්‍ර සූත‍්‍ර පිළිබඳ ඉන්වොයිස් සකස් කෙරෙන්නේ මේ වාර්තාව පදනම් කරගෙනය. වැඩි උගත් කමක් නැති ක‍්‍රියාකරුවන් ගෙනෙන මේ කඩදාසි වල දහසකුත් එකක් වැරදි ඇත. සමහර මාසයක ක‍්‍රියාකරුවන් අතින් මේ වාර්තා නැතිවෙයි. ඒවා සාකච්ඡුා කර නිවැරදි කරගන්නට අදාල ඉන්වොයිස් සකස් කරන ලිපිකරුවන්ට මා උපදෙස් දී තිබුණේ මාසයක් තිස්සේ පාරවල අව්ව වැස්ස නොතකා කටුක ජීවිත ගෙවන ක‍්‍රියාකරුවන්ට දොස් තබන්නට මගේ සිතේ තිබූ අකැමැත්ත නිසාය.


ඉතා අහිංසක පෙනුමක් තිබූ ගල්රෝල් ක‍්‍රියාකරුවකු මගේ මතකයට එයි. මම ඔහු මර්වින් ලෙස හඳුන්වමි.  ඒ ඔහුගේ සැබෑ නම නොවේ.

ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වී අවුරුදු දෙකකට පසු පළමු වතාවට ලංකාවට ගිය විට මගේ පැරණි සේවා ස්ථානයේ සේවය කළ කීිප දෙනෙක් මා හමුවන්නට ආහ. ආගිය කතා අතර මැද මම ප‍්‍රශ්නයක් නැගුවෙමි.

”කොහොමද දැන් මර්වින් ලා එහෙම”

මද නිහැඬියාවකට පසු පිළිතුරක් ලැබුණි.

”මර්වින් එල්ලිලා මළා සර්”

එය මට අදහාගත නොහැකි පුවතකි.

”එල්ලිලා මළා? ඒ මොකද?”

”මිනිහ අතින් එක මාසෙක මාසික ධාවන සටහන නැතිවෙලා තිබුණා.. අලූතින් ආව ඉංජිනේරු මහත්තයා මිනිහට නොසෑහෙන්ඩ බැන්නා.. එදා ගෙදර ගිහින් මිනිහා එල්ලිලා මැරිලා තිබුණා”

මම නිහඬව අසා සිටිමි.

”අපේ සර් ඇවිල්ලා” යි කියමින් ගල් රෝලෙන් බිමට බැස බීම බෝතලයක් ගෙනෙන්නට කඩයට දුවන මර්වින් මගේ සිහියට නැගෙයි. ආයතන සංග‍්‍රහයේ කුමක් තිබුණද තමන්ගේ පරිපාලනය යටතේ සිටින මිනිසුන් තේරුම් නොගෙන කරන රාජකාරිය ගැන මට අවබෝධයක් නැත. මම වෙනස් මිනිසෙක්මි.

අප පාලනය කරන්නේ යන්ත‍්‍ර සූත‍්‍ර නොවේ. දහසක් ප‍්‍රශ්න වලින් පීඩිත වූ ලේ මස් ඇති මිනිසුන් ය. උන්ගේ ඇස්වල කඳුළු ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර වල කඳුළු නැත.

Thursday, June 30, 2016

තබ්ලාවාදකයෙක් වන්නට පෙරුම් පිරුවෙමිි

මා කුඩා අවදියේ සිටිතබ්ලා වාදකයන් අතර සෙල්ලදොරේ මාස්ටර් පෙරමුණේම සිටියේය. කහ පැහැ ගැහුණ ජාතික ඇඳුමකින් සැරසුණ ද්‍රවිඩ කෙට්ටු මිනිසෙකු වූ සෙල්ලදොරේ මාස්ටර් අත තබ්ලාව පණ ගැන්වුණ ආකාරය බලා සිටීම අපට අපමණ සතුටක් ගෙන දුන්නේ ය. අසා සිටිනවා සේම ඒ වාදනය බලා සිටීමද විස්මය දනවන්නක් විය.

තබ්ලා වාදකයකු විය යුතුයයි යන අදහස අපේ සිතේ ඇති වන්නේ සමහර විට සෙල්ලදොරේ මාස්ටර්ගේ තබ්ලාවට සිත බැඳීම නිසා විය යුතු යයි මට සිතෙයි.


සිතේ මෙවැනි ආසාවක් තිබුණද ඉතා කුලෑටි දරුවකු වූ මා ඒ බව කිසිවකුට කියූ බවක් නම් මතක නැත. අතට අසුවන හැම දෙයකටම තට්ටු කරමින් සිටි බව නම් මතක ඇත.


මේ කාලයේ අප පදිංචිව සිටියේ නුගේගොඩ මිරිහානේ දැන් ”බෝධිය පාර” නමින් හ\ුන්වන එදා ”මොරගහ පටුමග” යයි හැඳින්වූ ප‍්‍රදේශයේ ය. එක්තරා සැන්දෑවක සෙල්ලදොරේ මාස්ටර් අපේ මිරිහානේ නිවසට ආවේ ය. මා සිටියේ සාලයේ යමක් ලියමින් ය.  


‘‘තාත්තා ඉන්නවද පුතා..’’ ඔහු ඇසුවේය. එදා තාත්තා නිවසේ නොසිටියේ ය. මම ඒ බව ඔහුට කීවෙමි.

‘‘මෙහේ පුතෙකුට තබ්ලාව උගන්නන්න එන්න කියලා මහත්තයා මට කිව්වා.. මං එහෙනං වෙනිං දවසක එන්නංකෝ.. කියන්නකෝ මං ඇවිත් ගියා කියලා.’’ සෙල්ලදොරේ මාස්ටර් ජාතික ඇඳුමේ සාක්කුවෙන් ඇදගත් ලේන්සුවකින් දහඩිය පිස දමා ගනිමින් කීවේ ය.

ඔහු අපේ මිදුලේ පඩි පෙළ නැග ගිය හැටි තාමත් මතක ය. ඒ මා ඔහු දුටු අවසාන වතාවයි. එයින් දින කීපයකට පසු මාස්ටර් හෘදයාබාධයකින් මිය ගියේය.


විවිධ තබ්ලා වාදකයන් මෙල්බන් වේදිකා මත තබ්ලාව වයන විට මා ඔවුන් තුළින් දකින්නේ සෙල්ලදොරේ මාස්ටර් ය. මම සියල්ල අමතක කර ඔවුන් දෙස ඔවුන්ගේ අතැඟිලිදෙස බලා සිටින්නෙමි.


ජීවිතයේ ඉටු නොවූ තබ්ලා වාදකයකු වීමේ බලාපොරොත්තුව පිලිබඳව කණගාටුවක් වරින් වර සිත තුළ හොල්මන් කරයි.


”ඒ පුංචි කාලෙ තබ්ලා වාදනය ඉගෙනගත්තා නම් හොඳම වරලත් ඉංජිනේරු තබ්ලා වාදකයා වෙන්න උඹට ඉඩ තිබුණ නේද?” යි වරක් මගේ යහලූවෙක් ඇසූවේ විහිලූවටම නොවේ.


කෙසේ වුවද අනාගතයේ මතු දිනෙක තබ්ලා කුට්ටමක් මිලට ගත යුතු යයි දැනුත් සිත කියයි. මගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඒ තැනට ළඟාවීමම ඉතා අසීරු කරුණකි. පසුගිය වතාවක ලංකාවට ගිය විටෙක මරදානේ එල්ෆින්ස්ටන් ශාලාවට මායිම්ව පවත්වාගෙන යනි සංගීත භාණ්ඩ කඩයකින් ඩොල්කියක් අරගෙන ආවේ ඒ අඩුව මදක් හෝ පුරවා ගන්නටය.


සෙල්ලදොරේ මාස්ටර් හා බැඳුණ ඒ අතීත සිදුවීමට අදාල පැනයක් එදා සිට අද දක්වාම මගේ සිතේ ඇත. මා තබ්ලාව වයන්නට ඉගෙනගන්නට ආසාවෙන් සිටි බව අපේ තාත්තාට දැනුණේ කෙසේ ද යන පැනය මා තවමත් තාත්තාගෙන් අසා නැත.


Tuesday, June 28, 2016

අතීතයෙන් කතාවක් 2

ඇල් ඞී ඒ රත්නායක නම් මහතකු විසින් 1947 දී ලියන ලද ‘‘සංගීත ඉතිහාසය’’ හා ‘‘ටවර් හෝල් නාට්‍ය ඉතිහාසය’’ නම් පොත් දෙකෙහි සිංහල නූර්ති ඉතිහාසයේ නම රැුන්දූ ගුණතිලක පරම්පරාවේ නාට්‍ය
ඉතිහාසය සඳහන් වෙයි. මේ පරම්පරාෙවේ නූර්ති ආරම්භ වන්නේ දොන් විලියම් විජේසිංහ ගුණතිලක මහතා ගෙනි. අලූත්ගම මාලවනකන්ද වත්තේ වලව්වේ දොන් පිලිප් විජේසිංහ ගුණතිලක මුහන්දිරම් තුමා ගේ පුතා ලෙස 1847 දී උපත ලැබුවේ ය. 1907 දී ජන්මාන්ත ර ගත වූ දොන් විලියම් විජේසිංහ ගුණතිලක මහතා ද සිය පියා අනුව යමින් නූර්ති කලාවට අතගැසුවේය. කොළඹ ආදුරුප්පු වීදියේ ගෑස් ආලෝකයෙන් නිමකළ
රඟමඬලේ දී නූර්ති රඟ දැක් වූ ඔහු සිය නූර්ති දිවයිනේ විවිධ පළාත් වලට ගෙන ගියේ ය.


ඔහුගේ පුතා ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක නම් විය. උපන්නේ ක‍්‍රිව 1872 දී ය. පසු කළෙක විස්මකර්ම ගුරුතුමා ලෙස ප‍්‍රකට වූයේ ඔහු ය. ඔහු පිළිබඳව ඇල් ඞී ඒ රත්නායකයන් සිය ‘‘ටවර්හෝල් නාටක ඉතිහාසය’’ නම් පොතෙහි ලියා ඇත්තේ මෙසේ ය.

‘‘මේ බහුශ‍්‍රැත නාට්‍ය කතුවරයා උපන්නේ 1872 දීය. අලූත්ගම මාලවනකන්ද වත්තේ දොන් පිලිප් විජේසිංංහ ගුණතිලක මුහන්දිරම් මහතාගේ මුණූපුරෙක් වූ ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක වූ කලී පැරැුණි නාඩගමත් එම සංගීත වාද්‍ය හා වේදිකා සැකසුම් ආදියත් නව නැම්මකින් ඉදිරියට ගෙන ආ එහි පුරෝගාමියා වේ. එසේම මොහුගේ පියා වූ දොන් විලියම් විජේසිංහ ගුණතිලක මහතා ද පැරැුණි නාඩගම් ගත්කරුවෙකි.

(මෙකී ගුණතිලක පිය පුතු දෙදෙන එදවස නාඩගම් කරළියෙහි යෙදී සිට කරන ලද දස්කම් සියල්ලම අපගේ ‘‘සිංහළ නාඩගම් සාහිත්‍ය - ඉතිහාසය’’ නමැති ග‍්‍රන්ථයෙන් දක්නට ලැබේ. සී දොන් බස්තියන් හා නීතිඥ ජෝන් ද සිල්වා යන වියතුන් ඇසුරෙන් නාට්‍ය රචකයෙක් වූ ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක විදේශීය රටවල් කීපයකම ඇවිද විවිධ ජාතික නාට්‍ය සංගීත කලා ශාස්ත‍්‍ර හා අද්භූතාත්මක විස්කම් දේවල්ද ඉගෙන සංදර්ශනයන්හි යොදා දැක්වීමෙන් කිත් පැසසුම් ලැබුවෙක් ය. ළමා කල්හි සිය ගමෙහි පාසැලෙන් හා කොළඹට විත් සිය පියාගේ වෙළඳ කටයුතු වල යෙදෙමින්ම පිරුවෙන් අධයාපනයද ලැබගත් ගුණතිලක සිංහළ පාලි සංස්කෘත භාෂා කීපයක්ද දත්තෙකි. 1952 දී ටවර් හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාවේ සභාපති පදවිත් දරා සිටියදී මේ උසස් නාට්‍ය කතුවරයා හදිසියේම මිය ගියේ ය. ගුණතිලක ලියුවේ නාට්‍ය ග‍්‍රන්ථ 11 කි.

1 උත්තර රාම චරිතය (1909)
2 මුතු කුමාරි චරිතය (1909)
3 ලංකා මාතා හෙවත් ජාති දුක්ඛ ප‍්‍රකරණය (1918)
4 අභිනව දුෂ්චරිත භංග ප‍්‍රකරණය (1919)
5 චන්දන කුසුමා නාට්‍යය (1918)
6 සාම ජාතක නාට්‍යය (1919)
7 මහෞෂධ කුමාර චරිතය (1920)
8 අශෝකමාලා චරිතය (1920)
9 චූලර්ණ නාට්‍යය (1928)
10 මහා පදරංග ජාතක නාට්‍යය (1928)
11 මහා භාරත නාට්‍යය (1929)

මේ කෘතින්ට වඩා තවත් නාට්‍යය ලියන්නට ගුණතිලකට නොහැකි වූයේ ඔහුට නාඩගම් රචනා කිරීම සඳහා තම කාලයෙන් වැඩි හරියක් යොදවන්නට සිදුවූ හෙයිනි.’’

‘‘හෙතෙම ලිවූ පෙරකී නාට්‍ය කෘතින් පිළිබඳ සංක්ෂිප්ත විස්තරයකි මේ.


1 උත්තරාම චරිතය (1909)

සංස්කෘත උත්තර රාමයෙහි එන මේ කථාව අංක ජවනිකාවනට නොබෙදාම කතුවරයා සින්දු (34) කවි හා පද වාසගම් (15) වලින් නිමකර සංගීත නාට්‍යයක් ලෙසින් දක්වයි. ‘‘තෙළිඟු හා භාරත’’ නාට්‍ය සම්ප‍්‍රදායික සැලැස්මක ගෙතුණු මේ නාට්‍යයෙහි සින්දු වල රාග තාලත් කතෘගේම ය. බී ජේ පෙරේරාගේ ‘‘පැවිලියන්’’ හි හා ‘‘ටවර්හෝල්’’ හි නාට්‍ය සංගම් මගින් (1910 - 1913) මේ කාලය තුළදී 210 වාරයක් පමණ දක්වා ඇති මේ නාට්‍යය කර්තෘ විසින් පසු කාලයේදී නාඩගම් සම්ප‍්‍රදාය අනුව ගොතා ප‍්‍රදර්ශනය කරන ලදින් එය පිටු 16 ක පොතක් වශයෙන් මුද්‍රිතකර ඇත. 


2 මුතුකුමාරි චරිතය (1909)

කතුවරයා මෙය කළෙත් ඔහුගේ උත්තරාරාම චරිතය මෙන් මෙහි කථාවද සින්දු කවි පදවාසගම් වලින් නිමවන සංගීත නාට්‍යයක් ලෙසිනි. එදවස ජනකවි පොතක් වශයෙන් මුද්‍රණයෙන් පළව තිබූ ‘මුතු කුමාරිගේ කථාව’ වනාහි ප‍්‍රංශ සාහිත්‍යයෙහි එන්නකි. පැරිසියෙහි හැන්රි - වෙරෝනා - නේරංග - අස්නීසන් යනාදී කුමරුන් සත් දෙනට ටැබර්නි රට රජුගේ - ඤානේ - ගර්ලිනා යනාදී දූ කුමරියන් සත් දෙන සරණ බැඳ දීමේ මංගල්‍යයේදී වූ ගැටුමකින් සිත් කලකිරුණු ඇස්නීසන් කුමර තෙමේ තම සිතැඟි පරිදි වන වැදී එම අරුම පුදුම වූ මුතු කුමරිය සොයාගෙන සිය රටට එන ගමනේදී සිදුවූ වියවුල් විපත් සියල්ලම මේ නාටකයෙන් පෙන්නුම් කෙරෙයි. කතුවරයා මේ කථාවද පසුකාලයෙහි නාඩගම් ග‍්‍රන්ථයක් වශයෙන් මුද්‍රණයෙන් පළකර ඇත.


3 ශ‍්‍රී ලංකා මාතා හෙවත් ජාති දුක්ඛ ප‍්‍රකරණය (1918)

අංක 8 ජවනිකා 35 සින්දු 35 හා වාසගම් 290 කින්ද යුක්ත වේ. මේ නාටකයෙහි ඇති සින්දු සියල්ලම කතුවරයා දැන උගත් උර්දු හින්දු ද්‍රවිඩ රාග තාල අනුවම පබඳින ලද ඒවා ය. සිංහල නාටක ඉතිහාසයෙහි සඳහන් සමාජ නාටක අතරින් - බුදුරජුන් වදාළ ‘‘පටිච්ච සමුප්පාද ධර්මය’’ අනුව මිනිස් දිවිය වැළි කෙලියේ පටන් මරු සයනය දක්වා - අවුරුදු දශකයෙන් දශකයට වෙනස් වන ස්වභාවය ද - විවිධ චරිත කෙරෙන් විදහා දැක්වනු ලබන්නාවූ එකම එකම සමාජ නාටකය මෙය වේ. සිංහල සිරිත් හා සම්බුදු දහමද අමතක කර දුසිරිතට නැමී අදමිටු දිවියක් ගත කළ ‘‘වික්ටර් සිල්වා - කර්ලැයින් ‘‘ යනාදීන්ට වූ විපත්තීන් බුදු දහම පරිදි ගුණදහම් රැුක සිටි - ‘‘සිරිමාන්න හා සෙනෙහෙලතා’’ නම් යුවල අවසානයේ දොලොව සැපතට පත් වූ සැටිත් මෙම කථාවේ සාරය වේ. පී සී සිරිවර්ධනගේ ’’ශ‍්‍රී ලංකා මාතා නාට්‍ය සභාව’’ මගින් මෙහි පළමු දර්ශන දෙක 1918 දී ටවර්හෝල් හි දක්වන ලද අවස්ථාවේදී එය නැරඹනුවස් එහි පැමිණ සිටි දහස් ගණන් මහජන සභා මධ්‍යයෙහි වූ නීතිඥ ජෝන් ද සිල්වා හා සී දොන් බස්තියන් යනාදී වියතුන් ඇතුළු පුවත්පත් කතුවරුන් විසින් ද - මෙහි අගය වන මින් මෙම නාට්‍ය සභාව හිමි සිරිවර්ධන හා ගුණතිලක යන මහතුන්ට ද තුති පැසසුම් කරමින් කළ කථාවන් පිළිබඳ විස්තරයක් කිරීමට මෙහි ඉඩක් නොමැත.

342 වාරයක් දක්වා තිබෙන මෙම නාටකය පී සී සිරිවර්ධන විසින් 1922 දී පිටු 40ක පොතක් වශයෙන් කොළඹ පිටකොටුවේ පස් වැනි හරස් වීදියේ ග‍්‍රන්ථාලංකාර යන්ත‍්‍රාලයේ මුද්‍රණය කර බෙදාහරින ලදී.



4 අභිනව දුෂ්චරිත භංග ප‍්‍රකරණය (1919)


අංක (3) ජවනිකා (26) සින්දු (28) හා වාසගම් 264 කින් ද නිමවන මේ නාටකයේ සින්දු වල රාග තාලත් කර්තෘගේමය. එදා සිංහලයා තුළ වූ පරගැති කම් හා දුසුරිත් වලට මෙයින් පහර වැදේ. මේ නාටකයද 1919 දී
මුද්‍රණය කර බෙදා හැරිය බැව් මෙහි කතුවරයා දිනක් අප සමග කීය. 5 චන්දන කුසුමා නාට්‍යය (1918) කතුවරයා පෙරදී කවි පොකත් වශයෙන් පළකර තිබූ වන්දන කුසුමා නැමැති පතිදම්රැුකි ආදර්ශමත් ඉන්දීය
කුමරියකගේ කථාවකි- මෙහි එන්නේ.


5 චන්දන කුසුමා නාට්‍යය (1918)

කතුවරයා පෙරදී කවි පොකත් වශයෙන් පළකර තිබූ වන්දන කුසුමා නැමැති පතිදම්රැුකි ආදර්ශමත් ඉන්දීය
කුමරියකගේ කථාවකි- මෙහි එන්නේ.අංක (2) ජවනිකා (18) සින්දු (27) හා වාසගම් (145) කින් නිමවන මෙහි සින්දු වල රාගතාල සංගීතඥ කේ ඞී ජෝර්ජ් ජයරත්න ගේ ය. මෙයද 28 වාරයක් පමණ දක්වා තිබේ.



6 සාම ජාතක නාට්‍යය (1919)


අංක (2) ජවනිකා (19) සින්දු (28) හා වාසගම් (172) කින් ද නිමවන මෙහි සින්දු වල රාග තාලත් කර්තෘගේම ය. මහබෝසත් තුමා සාම කුමරුව ඉපිද තම අන්ද මව්පියන් රැුකි අයුරු මෙහි කථා සාරය වේ. 58 වාරයක් මෙයද වේදිකා ගතකර තිබේ. 



7 මහෞෂධ කුමාර චරිතය (1920) 

අංක (3) ජවනිකා (21) සින්දු (33) හා වසගම් (273) කින් ද යුක්ත වේ.... 15 වාරයක් පමණ පෙන්වා තිබේ. මේ නාටකයේ සින්දු පමණක් ඇතුළත් කර එය පොතක් වශයෙන් මුද්‍රණය කර


ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක - විස්මකර්ම ගුරුන්නාන්සේ මෙහි පළමු දර්ශන දෙක 1918 දී ටවර්හෝල් හි දක්වන ලද අවස්ථාවේදී එය නැරඹනුවස් එහි පැමිණ සිටි දහස් ගණන් මහජන සභා මධ්‍යයෙහි වූ නීතිඥ ජෝන් ද සිල්වා හා සී දොන් බස්තියන් යනාදී වියතුන් ඇතුළු පුවත්පත් කතුවරුන් විසින් ද - මෙහි අගය වනමින් මෙම නාට්‍ය සභාව හිමි සිරිවර්ධන හා ගුණතිලක යන මහතුන්ට ද තුති පැසසුම් කරමින් කළ කථාවන් පිළිබඳ විස්තරයක් කිරීමට මෙහි ඉඩක් නොමැත.


8 චූලර්ණ නාට්‍යය (1928)

කතුවරයා මෙය ලියුවේ එච් හීනටිගලගේ කොළඹ සිංහල නාට්‍ය සභාවට ය. අංක (3* ජවනිකා (32* සින්දු (29* හා වසගම් (218* කින් නිමවන මෙහි එන්නේ චූලනී බ‍්‍රහ්මදත්ත රජු තලතා දේවී ජබ්බ පුරෝහිතාදීන් පිළිබඳ පුවත් පැවසෙන උම්මග්ග ජාතකයේ අවසන් කථා කොටසයි. මේ නාටකය 65 වාරයක් පමණ දක්වා ඇත.


9 මහා පදරංග ජාතක නාට්‍යය (1928)

මෙහි වස්තුව වූයේ මහා භාරත ග‍්‍රන්ථයෙහි සඳහන් පංච පාණ්ඬ්‍යයන්ගේ යුධ කථාවය. පෙරදී නාඩගම් කරුවන් රාත‍්‍රී 12 ක් කොටස් වශයෙන් පෙන්වූ මේ කථාව සපුරා පැය 3 හමාරකින් මේ නාටකයෙන් පෙන්වනු ලැබේ. මෙයද 27 වාරයක් පමණ දක්වා තිබේ. මෙහි කථාවද කතුවරයා අංක (3) ජවනිකා (28) සින්දු (31) හා වසගම් (328) කින් නිමකරයි.


10 ශාලිය -අශෝකමාලා චරිතය (1920)


දුටු ගැමුණු රජු පුත් ශාලිය කුමරු හා අශෝකමාලාවන් අතර වූ පෙම් පුවත් හා ගැමුණු රජුගේ අවසන් කථා කොටසත් මෙයින් දැක්වේ. අංක (2) ජවනිකා (20) සින්දු (18) හා වසගම් (238) කින් නිමවන මේ නාටකයද 26 වාරයක්ම ප‍්‍රදර්ශනය කර ඇත. 

ගුණතිලකගේ අවසන් නාට්‍ය කෘතිය මේය.


11 මහා භාරත නාට්‍යය (1929)


ටවර්හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාවේ ප‍්‍රධාන ජී ඞී එඞ්මන්ඞ් සෙනෙවිරත්න මහතාගේ ඉල්ලීම පිට කතුවරයා කළ මේ නාට්‍යයෙන් දැක්වෙන්නේ මහා භාරත ග‍්‍රන්ථයෙහි එන ධර්ම බුද්ධි - වීම - අරුව්වන - නකුළ - සකාදේව යන පංච පාණ්ඩයන් පස්දෙනා හා ත‍්‍රීයෝදනාදීන් අතර වූ මහා යුද්ධ කථාවයි. අංක (3) ජවනිකා (24) සින්දු (27) හා වසගම් (273) කින් අවසන් කැරෙන මේ නාට්‍යය 158 වාරයක් පමණ දැක්වූ බැව්  ගුණතිලක මහතා කියයි. මෙකී නාට්‍ය වල සින්දු රාගතාල සියල්ලක්ම කර්තෘගේය.’’


ඇල් ඞී රත්නායකයන් සිය ‘‘ටවර්හෝල් නාටක ඉතිහාසය’’ පොතේ එසේ සඳහන් කරන ගුණතිලක නාට්‍ය පරම්පරාවේ ඞී ජේ ඩබ් ගුණතිලක මහතාගේ පුතා කලාශූරී ලයනල් ගුණතිලක ය. අපේ ළමා වියේ
සුන්දර මතක අතර නොමැකෙන මතකයක් වන්නේ ලයනල් මාමාගේ නිවසේ නිතර නිතර පැවැත්වූ සංගීත සාදයි. එවකට ලංකා ගුවන් විදුලියේ සංගීත අංශයේ පට්ටිආරච්චි, ඇම් ජී තුංගසේන අති දක්ෂ තබ්ලා වාදක
සෙල්ලදොරේ වැනි සංගීතඥයන් නිතර නිතර ලයනල් මාමාගේ නිවසේ රැුස්ව පැවැත්වූ ඉන්දීය ආභාශයක් ගත් සංගීත සැඳෑවනට සහභාගි වූ බව මතක ය. ෆුට් බැලෝ සර්පිනාවත් වයලීනයත් තබ්ලාවත් මැවූ සංගීත රසය කෙසේ නම් අමතක කරන්න ද?

Monday, June 27, 2016

අතීතයෙන් කතාවක්

සිහින් සංගීත නාදයක් නිකුත් වෙයි. තිරය ක‍්‍රමයෙන් විවර වෙයි. වේදිකාව මත නෙළුම් විලකි. දෙපසින් රූස්ස ගසින් සැදි මහා වනාන්තරයකි. විශාල නෙලූම් පොහොට්ටු දෙකක් වේදිකාවේ මැද කොටසට වන්නට පිපෙන්නට බලා සිටියි. පසුබිමෙන් ඈත කඳුයාය හා නිල් අහසයි. අහස හරහා සුදු පැහැති වළාකුළු පාව යමින් තිබෙයි.

ඩෝං...

පේ‍්‍රක්ෂකයා බලාපොරොත්තු නොවූ මොහොතක රතිඤ්ඤාවක් පිපිරෙන හඬක් සමගින් නෙලූම් මල් දෙක පිපෙයි. එතුළින් නැගිට එන නාට්‍යාංගනාවෝ දෙදෙනෙක් පසුබිම් සංගීතයට අනුව අපූරු
රංගනයක් ඉදිරිපත් කරති. ඔවුන් රංගනය අවසන් කරන්නේ අහස් කුස දෙසට වඳිමිනි.

ඩෝං...

නැවතත් පිරුම් හඬක්.

ඒ සමගින් නිල් අහස මත තරුවක් පහළ වෙයි. තරුව මැද රන් අබරණින් සැරසුණ දේවතාවෙකි. වැඳගත් දෑතින් පේ‍්‍රක්ෂකයන් දෙස බලා සිටින ඔහු ආරම්භක ගීය ගායනා කිරීම අරඹයි.

මේ මා ලිව්වේ ටවර් හෝල් යුගයේ විස්මකර්ම ගුරුතුමා නමින් හැඳින්වුණ ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක නූර්ති නිර්මාපකයාගේ පුත් ලයනල් ගුණතිලක ශූරීන්ගේ ශ‍්‍රී සංඝබෝධි නූර්තියේ ආරම්භක ජවනිකාවයි.

මා කුඩා කල - හැත්තෑව දශකයේ මුල් භාගයේ දී - ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක ගුරුතුමා ගේ පුත‍්‍රයා වන මගේ මාමා කෙනකු වන කලාභූෂණ ලයනල් ගුණතිලක ශූරීන් විසින් ප‍්‍රතිනිර්මාණය කරන ලද මේ විස්මිත නූර්තිය නැරඹීමේ භාග්‍යය ලද්දෙමි.

අප වඩාත් ආසා කළේ පේ‍්‍රක්ෂකයකු ලෙස අසුනක වාඩි වී නාට්‍යය නරඹන්නට නොවේ. වේදිකාව මත සිදුවන විස්මිත දේ කෙසේ සිදුවන්නේ දැයි වේදිකාවේ පසුපසට වී බලා සිටින්න ය.

මගේ අනිත් මාමා වූ චිත‍්‍රශිල්පි ස්ටීවන් ගුණතිලක ශූරීන් මේ නාට්‍යයේ අංග රචනා කළ අතර ඔහුට සහය වීම පිණිස මා වේදිකාව පිටුපසට කැඳවාගෙන ගිය බැවින් මම නිළ වශයෙන්ම ඒ අවස්ථාව ලද්දෙමි.

වේදිකාව මත සිදුවන මේ විස්මිත ක‍්‍රියා ඇස්බැන්දුම් බව අපි දැන සිටි නමුත් මේ ඇස්බැන්දුම් කෙසේ කරන්නේ දැයි දැක බලා ගැනීමේ මහා කුතුහලයකින් අපි පෙළුණෙමු.


  • වේදිකාවේ නෙළුම් මල් තුළ නාට්‍යාංගනාවන් සඟවා තැබීම
  • අහසේ තරුවක් පහළ වීම
  • මේ තරුව තුළ දේවියකු ගේ වෙස් ගත් මිනිසකු රැුඳවීම
  • අහසේ වළාකුළු පාව යාම
  • විදුලි කෙටීම
  • වේදිකාව මත වැස්සක් වැස්සවීම
  • පිහියෙන් ඇන රජෙකු මරා දැමීම
  • සිරිසඟබෝ රජතුමා හිස ගලවා දීම
  • මහල්ලා විසින් ගෝඨාභය රජු වෙත රැුගෙන එනු ලබන හිස මේසයක් මත තැබූ විට කතා කිරීම
  • ඒ හිස අහසට නැග ප‍්‍රාතිහාර්ය පෑම


මේ ආදී බොහෝ විස්මිත ඇස් බැන්දුම් වලින් පේ‍්‍රක්ෂකයන් මවිත නොවූවා නම් එය මහ ම පුදුමයකි.

(වේදිකාවේ අහසේ පෑයූ තරුවේ දේවතාවකු ලෙස සැරසී පිළිගැනීමේ ගීය ගායනා කළේ ලයනල් මාමාගේ පුතා වන මා හා සම වයසේ සිටි ශාන්ත අයියා ය. පේ‍්‍රක්ෂකයාට තරුව තුළින් උඩුකය පෙනෙන සේ ඔහු ඉතා උස ඉණිමගක නැග සිටියේ ය. ඒ ඉණිමග නොසෙල්වෙන සේ අල්ලාගෙන සිටි ලොකු මිනිසුන් අතරට වී යාන්තම් කොණකින් ඉණිමග අල්ලාගෙන සිටීමේ වරය ලැබීම එදා මට මහත් සතුටක් ගෙන දුන්නේ ය)

ශ‍්‍රී ලාංකේය වේදිකාවේ නූර්ති පිලිබඳ කතා බහ කෙරෙන විට සැම විටම අමතක කර දමා ඇති ගුණතිලක පරම්පරාව පිලිබඳ විස්තරයක් සහිත පැරණි පොත් දෙකක් කියවීමේ අවස්ථාව මට හිමි විය. ඇල් ඞී ඒ රත්නායක නම් මහතකු විසින් 1947 දී ලියන ලද මේ පොත් දෙක ‘‘සංගීත ඉතිහාසය’’ හා ‘‘ටවර් හෝල් නාට්‍ය ඉතිහාසය’’ නම් වෙයි.


සිංහල නූර්ති ඉතිහාසයේ නම රැුන්දූ ගුණතිලක පරම්පරාවේ නාට්‍ය ඉතිහාසය ආරම්භ වන්නේ දොන් විලියම් විජේසිංහ ගුණතිලක මහතා ගෙනි. අලූත්ගම මාලවනකන්ද වත්තේ වලව්වේ දොන් පිලිප් විජේසිංහ ගුණතිලක මුහන්දිරම් තුමා ගේ පුතා ලෙස 1847 දී උපත ලැබුවේ ය. දොන් විලියම් විජේසිංහ ගුණතිලක මහතා ප‍්‍රසිද්ධ කිවිවරයකු වූයේ ය. කර්ණාට සංගීතයට විශේෂ ඇල්මක් දැක් වූ ඔහු 1890 දී ‘‘කේසර සිංහයා හෙවත් පතිසුන්දර නාඩගම’’ රචනා කර කොළඹ ආදුරුප්පු වීදියේ ගෑස් ආලෝකයෙන් නිමකළ රඟමඬලේ දී රඟ දැක්වූයේ ය.

නැරඹු ප‍්‍රභූ වරුන් අතර ඉමහත් ප‍්‍රසාදය දිනාගත් මේ නාඩගම ඉන් පසු දිවයිනේ බොහෝ පළාත් වල ප‍්‍රදර්ශනය කරන්නට ඔහුට සිදුවිය. එතුමා 1907 දී ජන්මාන්තර ගත විය. ඔහුගේ පුතා ඞී ජේ ඩබ්ලිව් ගුණතිලක
නම් විය. උපන්නේ ක‍්‍රිව 1872 දී ය. පසු කළෙක විස්මකර්ම ගුරුතුමා ලෙස ප‍්‍රකට වූ යේ ඔහු ය.



මතු සම්බන්ධයි

Wednesday, June 22, 2016

අනුන් ලවා වැඩ කරවා ගැනිමේ විපාක

අප පාසලේ දී මුතුහර නමින් සඟරාවක් මුද්‍රණය කළ බව මම කලින් කතාවක කීවෙමි. එය හා බැඳුණ මේ කතාව සිහිපත් වූයේ කාලයකට පසුවය.

ඒ කාලයේ මා සිටියේ උසස්පෙළ පන්තියේය. ආනන්ද ශාස්ත‍්‍රාලය පිරිමි විද්‍යාලයයක් වුවත් උසස්පෙළ විද්‍යා පන්ති වල ශිෂ්‍යාවන් කීපදෙනෙකු සිටිය බවද මම ලිව්වෙමි. පසු කලෙක මගේ බිරිය වන්නට නියමිතව සිටි තරුණිය උසස්පෙළ කරන්නට අපේ පාසලට ඇතුල් වීම දෛවයේ සරදමක් ලෙස අදත් මට සිතෙයි. දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම් අපි පෙමින් බැඳුනෙමු.

අපේ පන්තිය බාරව සිටි ගුණතිලක මහත්මිය අපට මවක මෙන් වූවාය. අපේ සතුටට සිනාසුණා මෙන්ම අප කරදරයකට පත් වූවිට කඳුළක් සළන්නටත් ඇය සූදානම්ව සිටියාය. අපිද ඇයට මහත් සේ ආදරය කළෙමු. අපට එක්තරා විෂයයක් උගන්වන්නට ආ රූමත් ගුරුවරියක සිටියා ය. පන්තියේ කැපි පෙනෙන ළමයකු වූ මට ඇය බොහෝ ලෙන්ගතු වූවා ය. කරුණාවන්ත වූවාය. මේ නිසා අපේ කොල්ලෝ ඇයත් මාත් සම්බන්ධ කර විහිළු තහලූ කියන්නට පුරුදුව සිටියහ. ඉස්කෝල වල කොල්ලන්ගේ හැටි එහෙමය. කතාව ඉදිරියට ගෙනයන්නට අවශ්‍ය නිසා ඇය ”මිස් සුනීතා” යි හඳුන්වමි.

මිස් සුනීතා ඉගැන්වූ විෂයයට මා තරමක් දක්ෂ වූ නිසා ඇය බොහෝ විට ප‍්‍රශ්නයක් පවා ඇසුවේ මගෙනි. ඉතා කරුණාවන්ත සහ දක්ෂ ගුරුවරියක වූ ඇය මේ විහිලූ තහලූ පිළිබඳව හාංකවිසියක් වත් දැන නොසිටි බව මම දනිමි.

මගේ ආදරය දිනාගත් තරුණිය සිටියේ අපට වඩා පන්තියක් පහළින් ය. අපේ සඟරාව මුද්‍රණය කර පාසලට ගෙන ආ පසු එයින් පිටපතක් ඇයට දෙන්නට මට අවශ්‍ය විය. ඒ වගකීම ස්වෙච්ඡුාවෙන් බාරගත්තේ අපේ කල්ලියේ ජයන්ත ය. (ඔහු අද ජීවතුන් අතර නැත . යම්කිසි රෝගයකට ගොදුරුව මියගියේ පාසලෙන් ඉවත්ව වසර දහයකට පමණ පසුවය)

මම මගේ පෙම්වතියට ලියූ කුඩා සටහනක් සඟරාවක් තුළට දමා ඔහුට දුන්නෙමි. වැඩි පරිස්සමට ඒ සටහනේ ඇගේ නම නොලිව්වෙමි. අවාසනාවට එය කියවන  ඕනෑම කෙනෙකු එය තමන්ට ලියූවක් ලෙස සිතාගන්නට බොහෝ ඉඩ කඩ විය.

”කිසි දේකට බයවෙන්න එපා.. මං කෙල්ල අතටම සඟරාව දෙන්නං” ඔහු කීවේය. පාසල පුරා සඟරා බෙදා හැරියේ ඔවුන් ය. පන්තිවලට ගෙන යන සඟරා මිටි අතර මගේ සුවිශේෂ සඟරාව වෙනම තබාගෙන යන්නට ඔහු පරිස්සම් වූයේ යයි මම සිතුවෙමි.

පන්ති ගානේ ගොස් සඟරා බෙදා හැරීමෙන් පසු අපේ කල්ලිය නැවත පන්තියට ආවේ පාසල ඇරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.

”වැඬේ හරිද?” මම ඇසුවෙමි.

”හරියටම හරි” ජයන්ත කීවේය.

පාසල ඇරුණ පසු මගේ පෙම්වතිය හමුවුණ නමුත් ඇය සඟරාව තුළ වූ සටහන ගැන කිසිවක් නොකීම මගේ සිතේ ඇති කළේ කුතුහලයකි. එහෙත් ඇය පසුව ඒ ගැන කතා කරනු ඇතැයි මම සිතුවෙමි.

පසුවදා  පන්තියේ නම් රෙජිස්ටරය ලකුණු කළ අපේ පන්ති බාර ගුරුතුමිය පන්තියෙන් පිටව යන්නට පැමිණ මා අසළ නැවතුණා ය.

”ජගත්.. අවවාදයක් දෙන්නම්.. කාට හරි මොකක් හරි දෙන්න  ඕනෙ වුනාම ඒක තමන්ම කරනවා විනා වෙන එක එක අය ලවා කරවාගන්න එපා..” ඇය කීවේ ආයාසයෙන් වළක්වාගත් සිනාවකින් යුක්තවය. මම විමතියෙන් බලා සිටියෙමි. ”.. අර ඔයාගෙ සඟරාව ජයන්ත ගිහිල්ල දීල තියෙන්නෙ සුනීතා ටීච අතට” ඇය වෙනත් යමක් නොකියාම පන්තියෙන් පිටවූයේ සිනාසෙමින් ය.


පසු සටහන්

තමන් අතින් කිසිදු වරදක් නොවූ බව ජයන්ත සහතික කොට කීවේය.

පසුවදා පන්තියට ආ සුනිතා මිස් මා දෙස නොබලා මැඬගත් සිනාවකින් යුක්තව කලූලෑල්ල දෙසම බලාගෙන පාඩම කියාදුන් හැටි මට තවම මතකය.

මගේ පෙම්වතිය අර සඟරාව තුළ දමා මා දෙන්නට හැදූ තුණ්ඩු කැබැල්ලේ ලියා තිබූ දෙය කිසිදා දැනගත්තේ නැත .


Thursday, June 16, 2016

ගමනක සටහන් 2

පොත් මුද්‍රණය කිරීමේ අදහස යටපත්ව ගිය නමුත් මම දිගටම පුවත්පත් වලට ලිපි ලියූ බව කීවෙමි. ඒ නිසා පුවත්පත් හා බැඳීමේ කතාව කෙටියෙන් ලියන්නට මෙය වේලාව යයි සිතෙයි.

මුලින්ම මා ලියූ යමක් පුවත්පක පළවන්නේ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයෙන් පළ කළ රූපරේඛා පුවත්පතේ ආ ”ළපටි පෙළ” අතිරේකයේ ය. බොහෝ අය නොදත් නමුත් ”රූපරේඛා” ලංකාවේ පළ වූ පළමු චිත‍්‍රකතා පත්තරයයි. එය පළ වූයේ සතුට පුවත්පතට පෙර ය. මුල් කාලයේ ”ළපටි පෙළ” අතිරේකය පළ වූයේ ”වනිතා විත්ති” පුවත් පතේ ය. වනිතා විත්තිය වැඩිහිටියන්ට සුදුසු ලිපි පළකරන්නට පටන්ගත් පසු ළපටි පෙළ අලූතෙන් ආරම්භ කළ රූපරේඛා වට පැවරිණි.

ළපටි පෙළට මා ලියූ

මලක් මලක් මත පිපී තිබෙන්නේ
එමල නෙළන්නට මගෙ අත යන්නේ
පුදුමෙකි ඒ මල අහසට නැගුණේ
මලක් නොවේ සමණළයෙක් වන්නේ

යන කවිය පුවත්පතක පළ වූ මා ලියු පළමු නිර්මාණයයි. ඒ 1973 දී ය.

(මේ අරුතම ඇති

මහ පුදුමෙකි
මලක මලෙකි
නෑ ඒ සකි
සමනළයෙකි

යන කවිය මා ඒ කාලයේ දැන සිටියේ යයි මම නොසිතමි)


ඉන් පසු කාලයේ මගේ නිර්මාණ සඳහා ඉඩක් ලැබුනේ නවයුගය පුවත්පතේ ය. ඒ සමගාමීව මිහිර පුවත්පතේ ය. මා ඇඳි කාටුන් මිහිරේ පළ විය. අතුල මහවලගේ ඇඳි කාටුන්ද ඒ කාලයේ මිහිරේ පළ වූ බව මට මතකය. මගේ හැම වැඩක්ම දඩි බිඩි වැඩ ය. කාටුන් ඇන්දේද ඒ ආකාරයටමය.

ඉන්පසු මගේ අවධානය යොමු කරගත්තේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පළ කළ නුවන සඟරාවයි. මම නුවනට ලිපි ගණනාවක්ම ලීවෙමි. ඒවා ඉතා ඉහළ පිළිගැනීමක් ඇතිව පළ විය. පසුගිය කළාප ගෙන්වා ගන්නැයි නුවනේ පළ වූ දැන්වීම් වල පවා මගේ ලිපි පිළිබඳව සඳහන් වීම මට මහත් සතුටක් ගෙන දුන්නේ ය.

විජය පුවත් පතට විද්‍යා ලිපි ලියන්නට මට හැකි විය. ඒ කාලයේ විද්‍යා ලේඛකයන් වශයෙන් ප‍්‍රසිද්ධව සිටියේ කේ ආරියසිංහ ජෝසප් ඩැනිස්ටර් කුරේ ඇතුළු ලේඛකයන් කීපදෙනෙකි. (ජෝසප් ඩැනිස්ටර් කුරේ මහතා අප විසින් සංස්කරණය කරන ලද ”විද්‍යාව” පුවත්පතටද ලිපි ලිව්වේය) විද්‍යාව සිංහලෙන් රසවත්ව ලියන්නට මම මේ කාලයේ උත්සාහ ගනිමින් සිටියෙමි. ඒ නිසාම ලිපි කීපයක් ලියාගෙන හුණුපිටිය හරස්පාරේ විජය කාර්යාලයට ගියෙමි. ගියේ අයියාගේ යහළුවකුගේ ඇඳුනුම්කමක් හරහා ය. මගේ ලිපි කියවූ කතුවරයා ඒවා පළකරන්නට සුදුසු යයි තෝරාගත් අතර දිගටම ලියන්නැයි ද කීවේ ය. විජයට මා විද්‍යා ලිපි කීපයක් ලියූ නමුත් බොහෝ මොළය වෙහෙසවා වෙනත් කිසිවකු විසින් නොලියන ලද කරුණු ඇතුළත් කර මා යැවූ එක් ලිපියක් විජයටම ලිපි ලියූ එක්තරා ප‍්‍රසිද්ධ විද්‍යා ලේඛකයකු විසින් සොරා ගනු ලැබ තිබීමෙන් කළකිරීමට පත් මම විජය පුවත්පතට ලිවීම නවතා දැම්මෙමි.

මල්ටිපැක්ස් ආයතනය පල කළ ළමා පුවත්පත වූ ”හපනා” (නම නිවැරදි යයි සිතමි) මා ඉන්පසු විද්‍යා ලිපි ලියූ පුවත්පතයි. මා එක් ලිපියක් ලියා යැවූ පසු පුවත්පතේ කර්කෘවරයා වූ තලංගම පේ‍්‍රමදාස (?) මහතා මට ලිපියක් එව්වේය. ”ඔබේ විද්‍යා ලිපි ඉතා රසවත්. දිගටම ලියන්න” ඔහු ලියා එව්වේ ය.

ඒ කාලයේ අපේ තාත්තාට අයිති වෙළඳ ව්‍යාපාරයක් විය. එනිසා වෙළඳපලට එන සියලූම පුවත්පත් කියවීමේ වාසනාව අපට ලැබුණි. ජනසතිය පුවත්පතේ ළමා පිටුවට මා ලියන්නට පටන්ගත්තේ ද එනිසාමය. එහි මගේ ලිපි නිතර පළවූ අතර වතාවක් මා ළමා පිටුවට ලියා යැවූ කෙටිකතාව පුවපත්තේ ප‍්‍රධාන කෙටිකතාව ලෙස පළවී තිබුණි. එය මට ඒ යුගයේ මා සිටි තැන පිළිබඳ අවබෝධයක් ගන්නට අවස්ථාව සළසා දුන්නේ ය. ඉන්පසු මා ලියූ කෙටිකතා කීපයක්ම එහි පළවිය.

යමක් ඉවසිල්ලෙන් කරන්නටත්, කාලයක් කරගෙන යන්නටත් නොහැකි මොකක්දෝ ගතිගුණයක් නිසා මේ බොහෝ දේ එක දිගට කාලයක් කරගෙන යන්නට මට නොහැකි වීම අභාග්‍යයක් විය. එසේ වුවද පාසලේ ලේඛකයා ලෙස මට විශාල පිළිගැනීමක් ලැබි තිබුණි. සෑම සතියකම පාසලට මගේ රසික රසිකාවන්ගෙන් ලියුම් මිටියක් ලැබෙයි. ඒ බොහෝ අය සිතා ඉන්නට ඇත්තේ මා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයේ ගුරුවරයකු කියා ය. පෙම් හසුන් පවා ආවේ ඒ නිසා විය හැකිය. පාසලට ශිෂ්‍යයන්ගේ නමට ලැබෙන ලිපි එම ශිෂ්‍යයන්ට ලැබෙන්නේ උප විදුහල්පතිතුමා විසින් කඩා කියවා බැලීමෙන් අනතුරුවය. එහෙත් මගේ ලිපි මිටිය කාර්යාල කාර්ය සහායකයකු අත කෙළින්ම අපේ පන්තියටම ලැබුණේ කිසිදු කියවා බැලීමකින් තොරවය. (නොකියවූ එක නම් මගේ වාසනාවකි)

ළමා පුවත්පත් යුගය හමාර කරමින් මා ඉන්පසු යොමු වූයේ දිවයින, ලක්බිම හා රාවය පුවත්පත් වලටය. මා ලියූ කවි, කෙටිකතා සහ වෙනත් ලිපි මේ පුවත්පත් වල නොකඩවා පළ විය.

පුවත්පතකට නවකතාවක් ලිවීමේ කැමැත්ත මගේ සිතේ ඇතිවන්නේ මේ යුගයේ දී ය. මේ කාලයේ අලූතෙන් ආරම්භ වූ ඉරිදා ලක්බිම පුවත්පත මගේ කැමැත්ත දිනා සිටියේ ය. ලක්බිම රිද්ම අතිරේකයට නිහාල් පීරිස් මහතා ලියමින් සිටි පළමු නවකතාව අවසානය කරා එළැඹෙමින් සිටි බව මට පෙනුණි. මම නවකතාවක මුල් කොටස් කීපය ලියාගෙන ලක්බිම පුවත්පතේ කර්තෘ බන්දුල පද්මකුමාර මහතා හමුවීමි. දැන් කොහොම වුවද ඒ කාලයේ ඔහු අපේ ආදරය දිනා සිටි පුවත්පත් කලාවේදියකු විය. ඔහු මා නිහාල් පීරිස් මහතා වෙත පැමිණෙව්වේය. මා ආ කරුණ කෙරෙහි නිහාල් ගේ වැඩි අවධානයක් යොමු නොවුණ බව පෙනුණි. කෙසේ වුවද මම ලියූ කොටස් කීපය ඔහුට දී ආපසු ආවෙමි.

(මෑත දිනෙක අන්තර්ජාලයේදී නිහාල් හමුවූ මොහොතක මේ අතීත කතාව මම ඔහුට කීවෙමි. ඒ සිදුවීම ඔහුට අමතකව ඇතත් එදා මගේ අවශ්‍යතාව ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳ තමා දැන් සංවේගයට පත් වන බව ඔහු ඉතා නිහතමාණීව කීවේ ය)

ඉන්පසුව නවකතාවක් ලියන්නට මට අවස්ථාව දෙන්නේ ගාමිණී සමරසිංහ සොයුරා ය. ඔහු ලේක්හවුසියෙන් ඉවත් වූ පසු ආරම්භ කළ ”දියණි” සඟරාවට නවකතාවක් ලියන්නැයි ඔහු මට ආරාධනා කළේ නොසිතූ අවස්ථාවකය. මාස කීපයක් පමණක් පළ වූ ”දියණි” සඟරාවට මම ”කටු” නවකතාව ලිව්වෙමි. එය අවසන් කරන්නට නොහැකි වූයේ සඟරාව අතරමග නැවතුණ බැවින් ය.

අප තරුණ අවදියේ සෑම සතිපතා පුවත්පතක්ම නවකතාව සඳහා ඉහළ තැනක් ලබා දී තිබුණි. ඒ කාලයේ පුවත්පත් වල පළවූ ”ගංගා සහ නිශ්ශංක” වැනි නවකතා අදටත් අපට මතක ඒ නිසා ය. අද බොහෝ සතිපතා පුවත්පත් වල නවකතාවට දී ඇත්තේ කුඩම්මාගේ සැළකිල්ලකි. පුවත්පතේ කොහේ හෝ මුල්ලක පළවන නවකතාව කිසිවිටෙක පාඨක අවධානයට පත් නොවෙයි. එය අභාග්‍යයකි. නවකතාවට සැළකිල්ලක් ලැබී ඇත්තේ කාන්තා පුවත්පත් වල සහ සරසවිය පුවත්පතේ පමණක් යයි මට සිිතෙයි. ඒ ඒවා ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ පුවත්පත් වීම නිසා විය හැකිය.

Monday, June 13, 2016

ගමනක සටහන් 1

මම කුඩා කාලයේ මා කියවන පොත් පිළිබඳ ලේඛණයක් පවත්වාගෙන ගියෙමි. පොතේ නමත් කතුවරගේ නමත් පොත කියවූ දිනයත් එහි සටහන් කළෙමි. හයේ පන්තිය අවසන් වන විට මා පොත් 600 ඉක්මවා කියවා තිබුණ බව මගේ ලේඛණය කියා පෑ බව මට මතකය. මේ කාලයේ තරම් බහුල ලෙස පොත පත මුද්‍රණය නොවූ ඒ කාලයේ පොත් 600 ක් යනු ඒ වන විට නිකුත්ව තිබූ සිංහල පොත් වලින් බාගයකට වඩා වැඩි ප‍්‍රමාණයක් විය හැකිව තිබුණ බව මට සිතෙයි.


ඉදින් මේ තරම් පොත් කියවූ මා නිහඬව සිටින්නේ කුමටද? දැන් ඉතින් මා ද පොතක් ලිවිය යුතුය. ලිව්වෙමි. ඒ මාරක කතාවකි. වඩාත් නිවැරදිව කිව්වොත් රහස් පරීක්ෂක කතාවකි. ඞීමන් ආනන්ද තමාගේම වූ රහස් පරීක්ෂකයකු නිර්මාණය කරගෙන සිටියේය. ඔහු ”ඩිකී වීරකෝන්” ය. මටද අවශ්‍ය වූයේ එවන් රහස් පරීක්ෂකයකු නිර්මාණය කරගන්නටය. අවාසනාවට මා නිර්මාණය කළ රහස් පරීක්ෂකයාගේ නම දැන් මට මතක නැත.


මගේ දෙවන නවකතාව ලියවෙන්නේද හයේ පන්තියේදීම ය. එහි නම ”ලන්දේගම” නම් විය. එය ඒ යුගයේ ඉතා ජනප‍්‍රියව තිබූ මුදලිනායක සෝමරත්න මහතා ලියූ මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය අනුගමනය කරමින් ලියන ලද්දකි. මුවන්පැලැස්සේ වීරයා කදිරා වෙද්දී ලන්දේගම වීරයා ටිකිරා විය. මුවන්පැලැස්සේ ආරච්චිල වෙනුවට එහි සිටියේ රටේ මහත්තයෙකි.


තුන්වන නවකතාව එයිට වඩා මදක් ඉදිරියට ගිය එකකි. එය ලන්දේගම දෙවන කොටස විය. නම ”අලූත් ඉරක් පායලා” ය. ගමෙන් අතුරුදන් වන ටිකිරා වසර ගණනාවකට පසු ගමට පැමිණෙන්නේ සිංහල උගතකු ලෙසය. ගමේ පාසලක් පටන් ගන්නට ඔහුට අවශ්‍ය වෙයි. ඔහු ඒ වෙනුවෙන් ගමේ හයිකාරයන් හා කරන සටන සහ අවසානයේ සියලූ සතුරන් පරදවා පාසල පටන් ගන්නා ආකාරයත් මගේ කතාව විය. (මේ කාලයේ මා හය වන පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටි බවත්  ”ගුරු ගීතය” කියවා නොතිබුණ බවත් මතකයේ තබා ගැනිම සුදුසු යයි සිතමි)


එයින් පසුව මා අතින් නවකතාවක් ලියවෙන්නේ උසස්පෙළ ඉගෙනුම ලබද්දී ය. එහි නම මතක නැත. ආදරය පිළිබඳ නැවුම් අද්දැකීම් ලබමින් සිටි ඒ කාලයේ ලියවුණේ ආදර කතාවකි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුණ කතාව මගේ සිත් ගත් බැවින් මුද්‍රණය කරගන්නට ආසාවක් ඇතිවිය. මා ලියන්නේ ගෙදරට හොරා බැවින් තාත්තාගෙන් ඒ සඳහා ආධාරයක් ලබාගන්නටත් නොහැකිය.


මේ කාලයේ මාතර ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන නම් ශිෂ්‍යාවක සිය නිර්මාණ එකතු කර ”අණබෙර ගසා කියන වගයි” නමින් පොතක් නිකුත් කර තිබුණි. මම නුගේගොඩ සරසවි පොත් හලින් (ඒ කාලයේ තිබුණේ නුගේගොඩ තැපැල් කාර්යාලය අසළ වූ කුඩා සරසවි පොත් හලකි) ඒ පොත මිලට ගතිමි. පොත ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබණේ ප‍්‍රදීප ප‍්‍රකාශකයන් විසිනි. මම මගේ පොතක් මුද්‍රණය කර දිය හැකිදැයි විමසමින් ඔවුන්ට ලිපියක් යැව්වෙමි.

”අපි ආධුනිකයන්ගේ නිර්මාණ ප‍්‍රකාශය සඳහා බාර නොගනිමු” යයි හැරෙන තැපෑලෙන් පිලිතුරු ලැබුණි.


ජයකොඩි සෙනෙවිරත්න ශූරීන්ගේ ”මල් මැණීකේ” නවකතාව මුද්‍රණයෙන් පිටවන්නේ මේ කාලයේදී ය. දයාවංශ ජයකොඩි සමාගමෙන් නිකුත්වන සෑම නවකතාවක්ම පාහේ මිලට ගන්නට පුරුදුව සිටි මම මේ නවකතාවද මිලට ගතිමි. නවකතාවේ අගට සෙනෙවිරත්න ශූරීන් විසින් ලියන ලද විශේෂ සටහනක් ද විය. තමන් ආධුනිකයන් ගණනාවකට අත දුන් ආකාරය එහි සටහන් විය. අහා.. මේ මා වෙනුවෙන්ම ලියූ සටහනකි.. මම මගේ නවකතාව ගැන කියා සෙනෙවිරත්න ශූරීන්ට ලිපියක් යැව්වෙමි. නවකතාව එවන්නැයි ඔහු ලියා එව්වේ ය. මම එය තැපැල් කර යැව්වෙමි. පැමිණ තමා හමුවන්නැයි ඉල්ලීමක් ඇති ලිපියක් ඔහු එව්වේ ය. මම නුගේගොඩින් පානදුර බසයේ නැග වලානේ බුදු පිලිමය ළඟින් බැස සුහද මාවත දිගේ ගොස් ජයකොඩි සෙනෙවිරත්න ශූරීන් හමුවීමි.


”ජගත්ගෙ භාෂාව හොඳයි. මං ඒකට කැමතියි. ඒත් ඉතින් තවමත් ඔයා පොඩි ළමයෙක්නෙ.. දැන්ම පොත් අච්චුගහන්න මහන්සිවෙන්නෙ නැතිව දිගටම ලියන්න” ඔහු කීවේය.



පොත් අච්චුගැසීම පිළිබඳ ආසාව මගෙන් ගිලිහී ගියේය. එහෙත් ලිවීම පිළිබඳව වූ ආසාව නමි ගිලිහී ගියේ නැත. නොකඩවා පුවත්පත් වලට ලිව්වෙමි.



මගේ පළමු පොත මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කියූ සිදුවීම් වලින් වසර විස්සකට පමණ පසුවය. ඒ පොත 1999 දී ආචාර්ය රෝලන්ඞ් අබේපාල මහතාගේ කාරුණික අනුග‍්‍රහයෙන් සාර ප‍්‍රකාශනයක් ලෙස නිකුත් වූ ”කන්ද උඩ මාලිගාව” නම් වන කෙටිකතා සංග‍්‍රහයයි.


දොඩමලු වන අපේ ඇත්තෝ


මේ ලියවිල්ල මෙතෙක් ලියාගෙන ආ කාරණා වලට වඩා වෙනස් එකකි. මේ කෙටි සටහන දිනපතා අපේ ගුවන් විදුලි ඔස්සේ ඇසෙන විවිධාකාර අපබ‍්‍රංස යෙදුම් අතරින් එකක් ගැන කතා කරන්නටය.

මා සිංහල භාෂාවට ආදරය කරන්නකු විනා භාෂා විශාරදයකු නොවන බව පළමුව කිව යුතුය. මෙය ලියන්නේ නිවැරදි සිංහල ලියන්නට නිතරම උත්සාහ කරන්නකු ලෙසය. නොදන්නා තැන් පිළිබඳව දන්නා අයගෙන් අසා ඉගෙන ගන්නා අයකු ලෙස ය.

මේ කතාව පළමුව ලිවිය යුතුය.

දොස්තර නන්දදාස කෝදාගොඩ ශූරීන් බොහෝ දෙනෙකුට තවම අමතක නැතැයි සිතමි. ගුවන්විදුලිය ඔස්සේත් ඉන්පසුව රූපවාහිනිය ඔස්සේත් සරළ සිංහලෙන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු අපට ඉදිරිපත් කළ මේ වියත් දොස්තරවරයා නිවැරදි සිංහල භාවිතාව හේතුවෙන් මහත් පැසසුම් ලද්දේය. 

මේ කියන දවසේත් දොස්තර මහතා ගුවන්විදුලියේ වෛද්‍ය සාකච්ඡුාවකට ඇරයුම් ලැබ සිටියේය. නියමිත වේලාව එනෙතෙක් ගුවන්විදුලියේ දන්නා අඳුනන නිලධාරියකුගේ කාමරයට වී කතා බහේ යෙදෙමින් සිටි දොස්තර මහතාට ඒ මොහොතේ නිවේදිකාව කරමින් සිටි නිවේදනය ඇසෙයි.

”වෛද්‍ය සාකච්ඡුාව සඳහා අදත් අප සමග දොඩමලු වන්නේ වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහතායි”

සාමාන්‍යයෙන් ඉතා තැන්පත් මිනිසකු වන කෝදාගොඩ මහතාට අසූහාරදාහට කේන්ති ගියේය. ඔහු වහා නිවේදිකාව වෙත ගියේ ය.

”දොඩමලු වෙන්න ඔහේ හිතන්නෙ මං පිස්සෙක් හරි බේබද්දෙක් හරි කියලද?” ඔහු නිවේදකාවගෙන් ඇසුවේ ය.

මේ ප‍්‍රසිද්ධ කතාව නිතරම සිහිපත් කර දෙන්නේ අපේ ගුවන්විදුලි වල කතා කරන ඇත්තන්ය. ඇත්තියන් ය.


දොඩමලු වීම යනු සිහියක් පතක් නැතිව කරන කතාව යි. එලෙස කතා කරන්නේ පිස්සන් සහ බේබද්දන් පමණකි. පිස්සන් සහ බේබද්දන් සමග කරන සාකච්ඡුා අසන්නට ගුවන්විදුලියක් කුමටද?

Sunday, June 5, 2016

චිත‍්‍රපට පිස්සෝ 2

සිනමා තිරනාටකයක් ලියන හැටි අසා ගන්නට චිත‍්‍රපට සංස්ථාවට යන්නට උදයත් මමත් තීරණය කළෙමු. පසුවදා පාසලින් කට්ටි පැන්න අපි තරංගනියේ පිහිටි චිත‍්‍රපට සංස්ථා කාර්යාලයට ගොඩවැදුනෙමු. දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා අපේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලූවේය.

”අපට චිත‍්‍රපට තිරනාටකයක් ලියන හැටි ගැන දැනගන්න  ඕනෙ..” අපි කීවෙමු. ඔහු සිනාසුණේය. ඉන්පසුව කාර්යාලය තුළට අප කැඳවා ගොස් එක්තරා නිලධාරියකු ඉදිරියට අප පැමිණෙව්වේය.

”සර් මේ ළමයින්ට ස්ක‍්‍රිප්ට් එකක් ලියන හැටි දැනගන්න  ඕනෙලූ” ආරක්ෂක නිලධාරියා අප වෙනුවෙන් කතා කළේ ය. මේ වතාවේ සිනාසුණේ අර නිලධාරියාය. ඔහු අපට වාඩි වන ලෙස සන් කළේය. අපි ඔහු ඉදිරියේ වාඩි වීමු.

”මොකටද ස්ක‍්‍රිප්ට් ලියන්න ඉගෙනගන්න හදන්නෙ?” ඔහු ඇසුවේය.

”අපි ෆිල්ම් එකක් හදන්න හිතනවා” උදය කීවේ ය.

නැවත වතාවක් සිනාවක් මුවට නගාගත් නිලධාරියා අසළ වූ අල්මාරියක් ඇර විශාල පොතක් ගෙන අප ඉදිරියේ තැබුවේ ය.

”මේක ෆිල්ම් එකක ස්ක‍්‍රිප්ට එකක්.. හෙමින් සැරේ කියවලා බලන්න” ඔහු කීවේ ය. අපි ඔහුගේ මේසය මත තිබෙද්දීම ඒ තිරනාටකයේ පිටූ කීපයක් පෙරළා බැලූවෙමු. මට අවශ්‍ය වූයේ එපමණකි. මා අනුමාන කළ සියල්ල නිවැරදි ය.

රූප විස්තරය හා හඬ විස්තරය වෙන් වෙන්ව පිටුවේ දෙපස ලියන ආකාරය හැරෙන්නට දර්ශන වෙන් කෙරුණ ආකාරය අංක ගත කෙරුණ ආකාරය වෙනත් තාක්ෂණික විස්තර සටහන් කර තිබූ ආකාරය ඉතා ඉක්මණින්ම මනසේ සටහන් කරගන්නට මට හැකි විය. පැය බාගයකින් අපි පොත ආපසු බාරදී ආපසු ආවෙමු. කාර්යාලයේ දොරටුව අසළදී ආපසු හැරී බැලූවෙමු. අර නිලධාරියා තවමත් සිනාසෙමින් අප දෙස බලා සිටියි. ඒ සිනාවේ ගැබ්ව තිබූ අරුත තවමත් මට තේරුම් ගන්නට නොහැකිය.

මම ඉන් අනතුරුව ගෙවුණ මාසයක පමණ කාලයක් තුළ දී තිර නාටකය ලියා අවසන් කළෙමි. අපේ ස්ටීවන් මාමාගේ පුතා වූ ධම්මික මල්ලී ඒ තිරනාටකය කාටදෝ කියා ටයිප් කර ගෙනැත් දුන්නේ ය. පරිගණක නොතිබුණ ඒ කාලයේ එය විශාල කාර්යයක් විය.

තිරනාටකයේ මා ලියූ අවසන් දර්ශන කීපය මට තවමත් මතකය.

සිය තාත්තා සුද්දන් විසින් අල්ලාගෙන යනු බූටෑවේ රටේ රාළගේ පුතා කඳු ගැටයක් මතට වී බලා සිටියි. ඔහු වනය හරහා ගෙදර දුව එයි. බිත්තියේ ගසා ඇති කඩු දෙකින් එකක් අතට ගන්නට ඔහු අත දිගු කරයි. ”සටන අවසන් නැත” තිරය මත දර්ශනය වෙයි.

මේ චරිතය රඟපාන්නට අප තෝරා ගත්තේ අපේ කල්ලියේ (පාසලේ ගුරුවරු අපේ කල්ලිය හැඳින් වූයේ ”ගැන්ග් ඔෆ් සෙවන්” කියාය. එය වෙනම කතාවකි) පාලිත ය. ඔහුට තේ වතු හිමි ධනවත් මාමා කෙනෙක් සිටියේ ය. අපේ නිෂ්පාදකයා වීමේ භාග්‍යය මේ මාමාට දෙන්නට අපි තීරණය කළෙමු.

තකහනියක් ගාලූ ගිය පාලිත මාමාගේ කැමැත්ත ද ගෙන ආවේය. මාමාගේ කොන්දේසිය වූයේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය පතිරාජ එල් එස් දයානන්ද ප‍්‍රවීණ කලාකරුවාට බාර දිය යුතුය යන්නය. අපි එකඟ වීමු. මාමා තිරනාටකය ගෙන්වා ගත්තේ එය දයානන්ද මහතාට දී ඒ පිළිබඳව සාකච්ඡුා කරන බවද දන්වමිනි. තිරනාටකය දයානන්ද මහතා අතට පත් කළ බව පසුව ඔහු අපට දන්වා එවුවේ ය.

අපේ චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව එය විය.


පසු කතා

පසු කලෙක පතිරාජ එල් එස් දයානන්ද මහතා (1987 දී) ”කිවුලේගෙදර මොහොට්ටාල” නමින් ඓතිහාසික කතාවක් සිනමාවට නැගූවේය. ඒ සඳහා ඔහු උත්තේජනය ලැබුවේ මගේ තිරනාටකයෙන් යයි මගේ සිත කියයි.

පාලිතගේ මාමා ද ඔහු සමගින් ”තුත්තිරි මල්” (1983) නමින් අතිශය අසාර්ථක සිනමා පටයක් නිෂ්පාදනය කළේ ය. ඉන් අවුරුදු කීපයකට පසු පාලිතගේ මාමා හෘදයාබාධයකින් මිය ගිය බව දැනගන්නට ලැබුණි. 2010 වසරේ පෙබරවාරි මාසයේදී පතිරාජ එල් එස් දයානන්ද කලාකරුවා ද මෙලොව හැර ගියේ ය. මිය යන විට ඔහු හැට හතරවන වියේ සිටියේ ය.


පාලිත පාසල් අධ්‍යාපනයෙන් පසු විවිධ ව්‍යාපාර කරමින් කෝටිපතියකු බවට පත් විය. මා ලංකාවට යන එන විට සුදු පැහැති බෙන්ස් කාරයකින් මා බලන්නට ඔහු ආවේය. බ්ලූම්ෆීල්ඩ් සමාජශාලාවේදී මධුවිතක් තොලගාමින් අතීත කතා ඇද බෑවේ ය. සිය නොසැළකිලිමත් දිවි පෙවෙත නිසා සියල්ල අහිමි කරගත් ඔහු අද කොහේ හෝ තැනක සැඟවුණ ජීවිතයක් ගෙවයි.

උදය නවසීලන්තයට සංක‍්‍රමණය විය.

”උඹ තාමත් චිත‍්‍රපටි හදන්න හිතනවද?” පසුගිය වසරක මෙල්බනයේදී මා හමුවූ විටෙක උදය ඇසුවේ අපේ අතීත කතා ස්මරණයෙන් පසුවය.

”මං මැරෙනකම් ජගත්ම තමයි බං” මම කීවෙමි. මේ මගේ ඉරණමයි. ඒ තුළ ජීවත් වන්නට මම කැමැත්තෙමි.

පසුගිය දිනෙක මෙල්බනයේදී හමුවූ විටෙක වසන්ත විට්ටච්චි සොහොයුරා අපූරු කතාවක් කීවේය.

”උඹයි මායි ලැමිනේට් කළ මිනිස්සු දෙන්නෙක්.. වෙනස් වෙන්නෙ නැහැ”



Saturday, June 4, 2016

චිත‍්‍රපට පිස්සෝ 1


මේ සටහන ලියන 2016 ජූනි 4 වන දා අපේ ”ශනිදා සාදය” ගුවන් විදුලි වැඩ සටහනේ දී උදය  මගෙන් ප‍්‍රශ්නයක් ඇසුවේ ය.

”ඔබ පාසල් වියේ දී චිත‍්‍රපට තිරනාටකයක් ලිව්වා නේද? ඒ ගැන කතා කරමුද?” ඔහු ඇසුවේය.

”ඒක දිග කතාවක්.. අපි වෙනත් වෙලාවක ඒ ගැන කතා කරමු” මම කීවෙමි.

විනාඩි දෙක තුනකින් කියා නිම කළ නොහැකි ඒ කතාවයි මේ.

සිනමාවට අප මේ තරම් ඇලූම් කරන්නට පටන් ගත්තේ ඇයිදැයි කල්පනා කරන විට මගේ මතකයට පළමුව එන්නේ මගේ මාමා ය - ස්ටීවන් ගුණතිලක යි. අම්මාගේ එකම සොහොයුරා වූ මාමා ජී එස් ප‍්‍රනාන්දු සිත්තරා ගේ ගෝලයෙක් යයි මම අසා ඇත්තෙමි. ඔහු සුසිල් පේ‍්‍රමරත්න ශූරීන් සමගින් ජී එස් ප‍්‍රනාන්දු මාස්ටර් වෙතින් චිත‍්‍රශිල්පය උගත් බව ඒ මතකය කියයි.

කෙසේ වුවද මාමා වඩා ප‍්‍රසිද්ධ වූයේ සිනමා කලා අධ්‍යක්ෂවරයකු ලෙස ය. ඇල් ඇම් පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර මහ නිධානය, හතර කේන්දරේ, හතර පෙරළිය වැනි සියලූම චිත‍්‍රපට වලත් කේ ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ බහුතරයක් චිත‍්‍රපට වලත් කලා අධ්‍යක්ෂකවරයා වූයේ ඔහු ය. මේ චිත‍්‍රපට සඳහා ඔහු නිපදවූ දැවැන්ත පසුතල මට තවමත් මතකය. ඩිජිටල් මුද්‍රණ නොතිබුණ ඒ කාලයේ විවිධ චිත‍්‍රපට වල දැවැන්ත කටවුට් ඔහු අතින් ඇඳෙනු මම බලා සිට ඇත්තෙමි. ඉතා කුඩා කලූ සුදු සේයාරුවක් දෙතුන් සිය ගුණයක් විශාල කර වර්ණයෙන් නිමවන මේ දැවැන්ත කටවුට් මගේ කුඩා සිතේ ඇති කළේ මහත් විස්මයකි.

මාමා සිනමාවට සම්බන්ධ බැවින් ඒ කාලයේ ඔහුගේ නිවසට ආ ගිය නලූ නිළියෝ රැසක් වූහ. මාමාගේ නිවස වූයේ අපේ අල්ලපු වැටේ බැවින් මේ සිනමා තාරකා දැක ගන්නට අපටද හැකි විය. ඒ කාලය අපූරුය.

මා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ උසස් පෙළ හදාරන කාලයේ මගේ පන්ති සගයා දෙවනුවට සිහිපත් වෙයි. ඔහු උදය ලක්ෂ්මන් ය. සිනමා අධ්‍යක්ෂකවරයකු හා අති දක්ෂ කැමරා ශිල්පියකු වූ එම් එස් ආනන්ද ඔහුගේ  අම්මාගේ සොහොයුරකු විය. සිනමා නිළි ශ්‍යාමා ආනන්ද ඔහුගේ නෑනා විය. එම් එස් ආනන්ද ”චණ්ඩි ශ්‍යාමා” චිත‍්‍රපටය නිමවන්නේ මා මේ කියන කාලයේ ය. උදය එහි විවිධ වැඩ කටයුතු වලට සහභාගි වූ අතර එහි කුඩා චරිතයක්ද රඟපෑවේ ය. යුනියන් පෙදෙසේ තිබූ එම් එස් ආනන්ද ගේ වින්ජය මෝටර්ස් ආයතනයේ උඩු මහලේ තිබූ ඔවුන්ගේ නිවසට කීප වතාවක් උදය සමගින් ගිය ආකාරය මට තවම මතකය. එතැනින් නොනැවතී කිරුළපන තිබූ සිලෝන් ස්ටුඩියෝවටද උදය මා කැටුව ගියේය. එහිදී වාලම්පූරි චිත‍්‍රපටයට හඬ කැවෙන හැටි බලා සිටිහැටිද තවමත් මතකය. සිනමා පට සංස්කරණය වන ආකාරය බලා සිටියෙමි. සංස්කරණ ශිල්පියා සංස්කරණ මේසය ඉදිරියේ වාඩි වී සිනමා පටයේ කොටස් කපමින් අලවමින් කරන හරඹය අපට විස්මයක් විය.

ඉතින් අපටද චිත‍්‍රපටයක් තනන්නට අවශ්‍ය විය. නිකම්ම චිත‍්‍රපටයක් නොව ”සංදේශය” වැනි ඉතිහාස කතාවක් හදන්නට අපට අවශ්‍ය විය. එපමණක්ද? අපේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ගාමිණී ෆොන්සේකා නම් මහා රංග ශිල්පියා යොදා ගන්නටද අපට අවශ්‍ය විය. චණ්ඩි ශ්‍යාමා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟ පෑ ගාමිණී ෆොන්සේකා සමග යම් තරමක හිතවත් කමක් උදයට වී යයි මගේ මතකය කියයි.

සියල්ලට පළමුව ගාමිණි ෆොන්සේකාට ගැලපෙන ඓතිහාසික චරිතයක් සොයා ගත යුතු විය. ජයසේන ජයකොඩි ශූරින්ගේ ”පරසතුරෝ” නවකතාවෙන් අප හඳුනා ගත් බූටෑවේ රටේ රාළ ගේ චරිතය ඇසුරින් තිර නාටකය ලියන්නට අපි තීරණය කළෙමු. සුදු පාලනයට එරෙහිව සටන් වැදුණ බූටෑවේ රටේ රාළ ගේ චරිතයට ගාමිණී තරම් ගැළපෙන වෙනත් රංග ශිල්පියකු සිතා ගන්නටවත් අපට නොහැකි විය. මේ සඳහා ගාමිණී කැමති කරවා ගැනීම පිළිබඳ උදයට නම් කිසිදු සැකයක් නොවී ය.

ඉතින් දැන් මගේ වාරයයි. මේ තිරනාටකය ලිවීම මගේ වගකීමයි. මම පළමුව ජයසේන ජයකොඩි මහතාට ලිපියක් යවමින් ”පරසතුරෝ” පොත ඇසුරින් තිරනාටකය ලියන්නට අවසර ඉල්ලා සිටියෙමි. ඒ වන විටත් ඒ පොත සිනමාවට නැගීමට කතා බහක් ඇති බැවින් අවසර ලබා දිය නොහැකි බවට හැරෙන තැපෑලෙන් මට පිළිතුරු ලැබුණි. එනිසා ”පරසතුරෝ” මත නොඉඳ බූටෑවේ රටේ රාළ ගේ චරිතය ඇසුරු කර ගනිමින් තිරනාටකය ලියන්නට අපි තීරණය කළෙමු.

සිනමා තිර නාටකයක් යනු නාට්‍යයක පෙළ ලියනවාට වඩා වෙනස් දෙයක් යයි මා අසා තිබුණි. කොළය දෙකට බෙදා එක් පසෙක රූප විස්තරයත් අනෙක් පසෙහි හඬ විස්තරයත් ලිවිය යුතු බව මා අසා තිබූ නමුත් දෑසින් දකින තෙක් එවැන්නක් ලියන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකි බවක් මට දැනුණි.

මා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ පන්ති ආරම්භ වන තෙක් වූ සංක‍්‍රාන්ති සමයේ දී චිත‍්‍රපට සංස්ථාව විසින් මෙහෙයවූ සිනමා තිරනාටක පාඨමාලාවට ඇතුල්වන්නට අයැදුම් පතක් සකස් කරගෙන ඒ සඳහා අවශ්‍ය චරිත සහතිකයක් ලබා ගන්නට එවකට අපේ පන්තිය බාරව සිටි ගුරුවරිය හමුවීමි. පාසල අවසන්ව පාසලේ බැට්මින්ටන් පිටියේ ක‍්‍රීඩා කරමින් සිටි කලූබෝවිල නම් ඒ උද්ධච්ඡු ගුරුවරියට මගේ ඉල්ලීම මහා කරදරයක් සේ දැනෙන්නට ඇත. ඈ මට චරිත සහතිකයක් ලියා දීම ප‍්‍රතික්ෂෙප කළාය.  තිරනාටක පාඨමාලාවට ඉල්ලූම් කිරීමේ අදහස අතහැර දමන්නට මට සිදුව තිබුණි.

සිනමා තිරනාටකයක් ලියන්නේ කෙසේද? එය සොයා ගත යුතුය. දැන් මෙන් අන්තර්ජාලය නොතිබුණ ඒ යුගයේ නව දැනුම සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. උදයත් මාත් පත්ව සිටියේ බරපතල ප‍්‍රශ්නයකටය.

”අපි චිත‍්‍රපටි සංස්ථාවට ගිහින් අහමු” ඒ අපේ අවසාන විසඳුමයි.

එතැන් සිට කතාව තවත් දින දෙකක් ගතවූ තැන ඔබට කියන්නට අවසර ඉල්ලමින් අදට නවතින්නේ හෙට සිදුවන අපේ පොත් එළි දැක්වීමේ උළෙල ගැන හිත යොදන්නට තිබෙන නිසා ය.

Monday, May 23, 2016

විද්‍යාව - අපේ පත්තරය

අධ්‍යාපනික පුවත්පතක් පිළිබඳ අදහස සිරිනිමල් සහ මා සාකච්චා කරමින් සිටිය කාලයේ එවැන්නක් බිහිවී නොතිබුණි. සාකච්ඡුා කරමින් සිටියද එවැන්නක් ආරම්භ කරන්නට ආර්ථික හයියක් අප දෙදෙනාටම නොවීය. ඒ හයිය ලැබෙන කාලය වන විට ”සතර” පුවත්පත බිහිවී තිබුණි. එනිසා අපේ පුවත්පත විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට අපි තීරණය කළෙමු.

අපි ”විද්‍යාව” නමින් අපේ පුවත්පත නම් කළෙමු. පුවත්පතේ නම ලියාපදිංචි කරන්නට ගිය විට එනමින් මෙයට පෙර පුවත්පතක් තිබුණ බව දැනගන්නට ලැබුණ හෙයින් නමේ අගට ”හය හත අට නවය දහය” කියා එක් කළෙමු. ”විද්‍යාව” නමින් මා ඇඳ තිබූ හෙඞ්පීස් එකට යටින් පටියක්  ලෙස මේ අකුරු පේළිය එක් කළෙමු.


පුවත්පතේ සංස්කරණය සඳහා අප දෙදෙනාට අමතරව සුමිත් කරුණාරත්න සහ දයාවංශ ලියනගේ යන හිතවතුන්ද එක් කර ගත්තෙමු. එවකට ජනප‍්‍රියව තිබූ සිත්තර පුවත්පතේ ප‍්‍රමාණයට අපේ පුවත්පත නිර්මාණය කළෙමු. වෙනම අනන්‍යතාවක් ඇති කර ගැනීම සඳහා පිට කවරය සඳහා කහ පැහැති කඩදාසියක් යොදා ගත්තෙමු. මුද්‍රණය සඳහා නැදිමාල පැත්තේ පිහිටි කුඩා මුද්‍රණාලයක් අපේ මිතුරන් විසින් සොයාගනු ලැබ තිබුණි. එහි තිබූ පැරණි රොටරි මුද්‍රණ යන්ත‍්‍රය අපේ කාර්යයට හොඳින්ම සෑහුණි. ”විද්‍යාව” මංගල කළාපය එම මුද්‍රණාලයේ මුද්‍රණය කළ නමුත් ඉන් අනතුරුව අභාවප‍්‍රාප්ත සිසිර කුමාර මාණික්කආරච්චි මහතාට අයත්ව තිබූ විජේරාම හන්දියේ මුද්‍රණායලට පත්තරය ගෙන යන්නට අපට සිදුවිය.


නැදිමාලේ මුද්‍රණාලයේ විද්‍යාව මංගල කළාපය මුද්‍රණය කළ දා රැු එළි වන තෙක් කහට තේ බොමින් මුද්‍රණ යන්ත‍්‍රය අසළ නිදි වැරූ හැටි අද කල්පනා කරන විට පවා සුන්දර මතක සටහනක් ලෙස දැනෙයි.


පත්තර බෙදා හැරුණේ අමුතුම ආකාරයකටය. දයාවංශත් මගේ මල්ලි මංගලත් පත්තර පුරවා ගත් මලූ එල්ලා ගෙන පාසලෙන් පාසලට යමින් ඒ පාසල් වලට පත්තර හඳුන්වාදෙමින් පාසල් නියෝජිතයන් බඳවා ගත්හ. පත්තරය වඩාත් ජනප‍්‍රියවත්ම දුර බැහැර පාසල් වලින් ඇනවුම් ලැබුණි. අපි වරකට පත්තර 15000 ක් මුද්‍රණය කළෙමු. ඒ සියල්ලම පාහේ විකිණුන අතර අපි ලාභය යොදවාගෙන අපේම අකුරු අමුණන (වර්ණ සංයෝජන) අංශයක් ආරම්භ කළෙමු.


මේ සඳහා අවශ්‍ය ඊයම් අකුරු සහ ඒවා දමන්නට ලී තට්ටු අපි මිලට ගත්තෙමු. අපේ ගෙදර නාන කාමරයක් සඳහා වෙන් කර තිබූ කුඩා කාමරය මේ සඳහා වෙන් කර ගත්තෙමු. අකුරු අමුණා පත්තර පිටු සැකසීමේ කාර්යය වැටුණේ මගේ කරපිටටය.



අකුරු ඇමිණීම ඉතා අපහසු කාර්යයකි. සිංහල භාෂාවේ සෑම අකුරක්ම වෙනුවෙන් කුඩා කොටු වෙන් කෙරුණ අකුරු රාක්කයෙන් නියමිත අකුර බැගින් ගෙන අමුණා පිටුවක් සකස් කිරීමේ අපහසුව දැන් පරිගණකයෙන් අකුරු අමුණන මේ මොහොතේ පවා මට දැනෙයි. කොළමෙන් කොළම අකුරු අමුණා ඒ කොළම් එකතු කර පිටු සකස් කර ඒ පිටු පරිස්සමින් මුද්‍රණාලයට ගෙනගොස් පත්තරය මුද්‍රණය කරගෙන ඒ පිටු ගෙදර ගෙනැවිත් නවා පත්තර සකස් කිරීමේ කාර්රය අපේ අතින්ම සිදුවිය. වඩාත්ම අපහසු කාර්යය වූයේ මුද්‍රණයෙන් පසු ඒ ඊයම් අකුරු එකින් එක ගලවා නැවත අර රාක්කවල නියමිත කොටු වලට දැමීමය. මුද්‍රණ භාෂාවෙන් මේ කාර්යයට කීවේ ”ඩිෂ් කිරීම” කියා ය.

අපේ පත්තරය ඉතා ජනප‍්‍රිය විය. දිවයිනේ දුර බැහැර පාසල් වලට පවා පුවත්පත යැවුණි. සමහර ගුරුවරුන් පැමිණ අපේ නිවසින්ම පත්තර මිටි රැුගෙන ගිය හැටි මට තාම මතකය.


”විද්‍යාව උසස් පෙළ” නමින් පත්තරයක් අරඹන්නටද අපි සැළසුම් කළෙමු.


පත්තර 15000 ක් විකිණුනද අපට ලැබුණ ලාභය ඉතා කුඩා එකක් විය. සිත්තර පත්තරයක් රුපියල් 2.25 ත් වූ ඒ කාලයේ ඒ හා සමානම පත්තරයක් රුපියලකට විකුණන්නට අප ගත් අනුවණ තීරණයේ ප‍්‍රතිඵල ඉක්මණින්ම ලැබුණි. වසරක් යන විට අපට පත්තරය පවත්වාගෙන යන්නට නොහැකි තරමට ලාභය අඩුවිය. මුද්‍රණ ගාස්තු බ්ලොක් සෑදීමේ ගාස්තු බෙදාහැරීමේ ගාස්තු ආදී මෙකී නොකී වියදම් එක්වන විට අපට තවදුරටත් පුවත්පත පවත්වාගෙන යන්නට නොහැකි තත්වයක් උද්ගත විය.


ඒ සමගාමීව සිරිනිමල් ජවිපෙ කටයුතු වලට පූර්ණකාලීනව යොමුවීමද බලපෑවේය. අපි පත්තරය නවත්වා දැමුවෙමු. එක්තරා දිනෙක වාහනයකින් පැමිණි සිරිනිමල් අපේ ගෙදර තිබූ අකුරු කේස් දෙක පටවාගෙන ගියේය.


පසු කලෙක සුමිත් යම්කිසි නගර සභාවක සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස පත්වීමක් ලද බව දැනගත් නමුත් දයාවංශ පිළිබඳ කිසිදු තෙිාරතුරක් ආරංචි නොවීය. සිරිනිමල් අකාලයේ අප හැර ගියේය.


මේ සියල්ල මතක සටහන් ලෙස මම තවමත් විඳිිමින් සිටින්නෙමි.

Saturday, May 21, 2016

ඔහු මගේ හොඳම මිත‍්‍රයා විය

අප මුණ ගැසුණේ හයේ පන්තියේ දී ය. මොනයම් හේතුවක් නිසා හෝ ඔහු මගේ හිත දිනා ගත්තේය. අපි හොඳම යහළුවන් වීමු. ඔහු සිරිනිමල් ය.

මම ඒ කාලයේ ද නවකතා කෙටිකතා කවි ලියමින් සිටියෙමි. සිරිනිමල්ද ලිවීමේ දක්ෂතාවක් තිබූ ශිෂ්‍යයකු විය.

අපි වඩාත් ළං වූයේ කො/ද උඩහමුල්ල තලපත්පිටිය බෞද්ධ කණිටු විදුහලේ ළමා පුවත්පතක් පටන් ගැනීම නිසාය. මේ ගැන කලින් ලිව්වෙමි. මා හතේ පන්තියට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට ඇතුල්වීමෙන් පසුවද අපේ ඇසුර නොනැවතුණි.

මම පුරුද්දක් ලෙස ඉඳ හිට තලපත්පිටියේ දැන් ජයවර්ධනපුර රෝහල ඉදි කර ඇති ප‍්‍රදේශයේ තිබූ සිරිනිමල්ගේ නිවසට ආ ගියෙමි. වෙනෙකක් තබා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ උසස්පෙළ ගණිත පන්තියේ සිටියදී හොරෙන් හොරෙන් මා දෙස බැලූ, එසේ බලමින් සිට මා පාසල් නොගිය සතියක පිරිමි නමකින් මට ලිපියක් එවූ අපේ පාසලේ ලස්සන කෙල්ලගේ ලිපියට පිලිතුරක් යවමින් මා ලියා යැව්වේ සිරිනිමල්ගේ ලිපිනයම ය. මගේ ඉඟිය තේරුම් ගත් ඒ තරුණිය ඇගේ නියම නමින්ම ලියූ ආදර හසුන මට සුරැකිව ගෙනැත් දුන්නේද සිරිනිමල්ම ය.

තරුණ කාලයේ මගේ පෙම්වතිය දැඩි ලෙස රෝගාතුරව කොළඹ මහ රෝහලේ නවත්වා සිටි සමයේ ඇගේ පවුලේ අයට හොරා ඇය බලන්නට යාමේ වික‍්‍රමයට මට හවුල් වූයේ සිරිනිමල් ය. ඒ බලා, එහි සිට මගේ වේදනාව බෙදා ගනිමින්, පේ‍්‍රමය ගැන කතා කරමින්, විග‍්‍රහ කරමින්, නුගේ්ගොඩ දක්වා පා ගමනින් ආවේද සිරිනිමල්ය.


උසස් පෙළින් පසු සිරිනිමල් ඔහුගේ ඥාතියෙකුගේ බ්ලොක් මේකිං ආයතනයක රැුකියාවට ගියේය. අප තවත් යහලූවන් දෙදෙනකු හා සමගින් ”විද්‍යාව” පත්තරය පටන් ගත්තේ ඒ කාලයේ ය. මේ කාලයේ ඔහු ජීව විද්‍යා අංශයෙන් බාහිර උපාධිය හදාරමින් සිටියේ ය.


සිරිනිමල්ට තිබුණේ අතිශය කොමියුනිස්ට් විරෝධී දේශපාලන දැක්මකි. කොමියුනිස්ට් ක‍්‍රමය තුළ මිනිසුන්ගේ පුද්ගලික නිදහස අතිශයින් සීමා වන බවත් මිනිසුන්ගේ ජීවිත පාලකයන්ගේ අවශ්‍යතාව පරිද්දි හැසිරවෙන බවත් ඔහු තරයේ විශ්වාස කළේ ය. මොස්කව්හි ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික ශිය්‍යයන්ට ලංකාවෙන් ලැබෙන ලිපි පවා ඔවුන් අතට පත් වන්නේ ඒවා කඩා විවෘත කර කියවා බැලීමන් අනතුරුව යයි ඔහු විශ්වාස කළේ ය. ඔහුගේ සියලූම දේශපාලන තර්ක ගොඩ නැගී තිබුණේ කොමියුනිස්ට් විරෝධය ඔස්සේය. ඒ නිසාම ඔහු දැඩි ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධකාරයෙක් විය. ඒ විරෝධය තහවුරු කරන්නට ඔහු මා සමග වරු ගණන් තර්ක කළේය.

එක්තරා දෛවෝපගත දිනෙක ඔහු සිය ජීවිතය තීරණය කෙරෙන තීරණයකට එළැඹ සිටියේය. ඒ තීරණය මට කියූ දිනය මට තාම මතකය. අප කතා කරමින් සිටියේ අපේ නිවසින් පාගොඩ පාරට ගොඩවෙන තැනකය.

”හැමදාම ජේවීපී එකට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ ජගත්.. මට හිතුණා කෙළින්ම ඒ අය එක්ක කතා කරන්න..” ඔහු කීවේය.

ඒ කී ලෙසම ඔහු ඒ සතියේම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයකට ගොඩ වී එහි සිටි අයෙකුට සිය අවශ්‍යතාව කියා සාකච්ඡුාවක් ඉල්ලාගෙන තිබුණි. ඒ සාකච්ඡුාවෙන් අනතුරුව සිරිනිමල් ජනතා විමුක්ති පෙරමුණේ සුප‍්‍රකට පන්ති පහට සහභාගි විය. දේශපාලන කඳුවුරු වලට සහභාගි විය.

කුමරියක් වෙලා ඔබ සඳ දිලූණ ඒ ?යේ
මගේ සිතුවිලි ගොමුව අතර මැද සැඟවුණේ

යයි පෙම් කවි ලියූ ඔහු සිය පෙම්වතියත් කරමින් සිටි රැුකියාවත් බාහිර උපාධියත් අතහැර දමා ජවිපෙ පූර්ණකාලිකයකු විය. ඉන්පසු ජවිපෙ ඔහුගේ ජීවිතය විය.


ඔහුුට තිබුණේ තර්ක කිරීමේ අපූරු හැකියාවකි. ඉගැන්වීමේ අපූරු හැකියාවකි. සිය මතය රසවත්ව ඉදිරිපත්කිරීමේ අපූරු හැකියාවකි. ඒ සියල්ලටම වඩා සිය කාර්යයට අවංකව කැපවීමේ ගුණය අඩු නැතිව ඔහු තුළ විය. ඔහු ජවිපෙ අධ්‍යාපන අශයේ කටයුතු කළ බවක් මට දැනගන්නට ලැබුණි.


83 දී ජේආර් ගේ ආණ්ඩුව අසාධාරණ ලෙස ජවිපෙ තහනම් කරන විට ඔහු පන්නිපිටියේ පන්තියක විද්‍යාව උගන්වමින් සිටියේ ය. මම ද ඒ පන්තියේම සාමාන්‍ය පෙළ විද්‍යාවත් උසස් පෙළට ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතයත් උගන්වමින් සිටියෙමි. පක්ෂ තහනමත් සමගම සිරිනිමල් සැඟවුණේ ය. රහස් පොලිසියෙන් ඔවුන්ගේ පන්පිටියේ නිවසට පැන ඔහු සොයාගිය බව මට දැනගන්නට ලැබුණි. ඒ පවුලේ අය, ඒ වන විට ගොඩනැගෙමින් තිබූ රෝහල නිසා අධීක ඉල්ලූමක් තිබූ සිය දේපළ විකුණා වෙනත් ප‍්‍රදේශයක පදිංචියට ගිය බව ආරංචි විය.


සැඟව දේශපාලනය කළ සමයේ සිරිනිමල් ඉඳ හිට අපේ නිවසට ගොඩ වන්නට අමතක නොකළේ ය. බෝහෝ විට ඔහු ආවේ ”බඩගිණියි අම්මේ” යයි අපේ අම්මාට කියමින් ය. අපේ නිවසින් කෑම කන ඔහු තාත්තා සමග දේශපාලන වාද වලට පැටලෙයි. සැමට සම තැන ලැබෙන අනාගත කොමියුනිස්ට් රාජ්‍යය ගැන ඔහුගේ සිහිනය ඔහු අප ඉදිරියේ දිගහරියි.

ජවිපෙට එරෙහි මර්ධනය දැඩි වත්ම ඔහුගේ පැමිණිම අඩු විය. අවසන් වරට ඔහු ආ දවසේ ඔහු මගෙන් සපත්තු දෙකක් ඉල්ලා ගත්තේය.

”අපි ආයෙ හමුවෙයිද දන්නෙ නැහැ” අපේ නිවසේ ගේට්ටුව අසළදී ඔහු කීවේය. ඔහුගේ ඇස්වල කඳුළු තිබුණි. යමක් කියන්නට ධෛර්යයක් මට නොවීය. මම නිහඬව බලා සිටියෙමි. ඔහු ගාටමින් පාගොඩ පාර දිගේ යන හැටි මම බලා සිටියෙමි. ඒ අවසන් දැක්මයි.


එයින් මාස කීපයකට පසු මේ අපූරු හිතහොඳ අවංක තරුණයාගේ සිරුර බෙල්ලන්විල පන්සල අසළ දමා පුලූස්සා තිබුණේ යයි ආරංචි විය.


මට ඔහු වෙනුවෙන් තවමත් හඬන්නට හැකිය


සපත්තු දෙක




”තියෙනවනං වැඩිපුර
සපත්දෙකක් දීපං මට”
අඩිය ගෙවුණ සපත්තු දෙක
ගෙයි දොරකඩ එළිපත මත
ගැලවූ පසු නුඹ කී හැටි..

ගිය සුමානෙ මං අරගත්
අලූත්ම රට සපත්තු දෙක
දාගෙන නුඹ වෙන්වුණ හැටි..
පාගොඩ මහ පාර දිගේ
උකුසු රකුසු ඇස් මගහැර
බිම බලාන නුඹ ගිය හැටි..
කිසිම දිනෙක හමු නොවන්න
යන්නම යන්නට ගිය හැටි...
රට ගිනිගත් හැන්දෑවක..


බෙල්ලන්විල
වෙළ අද්දර
කුණු ගොඩ ළඟ
ගිනි ගොඩ මැද
නුඹ හිටියලූ
එක උදයක
මල් පුදන්න පන්සල් ආ
සැදැහැතියන් ඒ දුටුවලූ..


හිත් දොර ළඟ
එළිපත මත
නුඹ අතහැරි
අඩිය ගෙවුණ
සපත්තු දෙක
වද දෙනවා
තාමත් මට...



(”වියෝලය දරාගත් මිනිසා” කාව්‍ය සංග‍්‍රහය)


Monday, May 16, 2016

ජීවිතය තීරණය කරන කුරුබිලිය


මේ දිනවල තිස්ස අබේසේකරගේ ”අයාලේ ගිය සටහන්” පොත නැවත කියවමින් සිටින්නෙමි. අප අතර සිටි ශාස්ත‍්‍රාල සහතික නොලත් බුද්ධිමතකු ලෙස අපේ මහත් ගෞරවයට පාත‍්‍ර වන තිස්ස අබේසේකර මහතා පිලිබඳ සටහනක් ලියමින් ලියනගේ අමරකීර්ති පසුගිය දා පවසා තිබුණේ නොගියා නම් හොඳ යයි සිතෙන මිනිසුන් අතර තිස්සද සිටින බව ය. එය අපද පිලිගන්නා සත්‍යයකි.

තිස්ස අබේසේකර හමුවී කතා බහ කරන්නට අවකාශයක් මට කිසිදා නොලැබුණි. ලංකාවේ සිටි කාලයේදී මගේ ලොකු දුව පාසලෙන් ගන්නට කාන්තා විද්‍යාලයේ ගේට්ටුව ඉදිරියේ සිටිනා විට තිස්ස ද ඔහුගේ දුව ගන්නට පැමිණ සිටිනු මම නිතර දැක ඇත්තෙමි. ළඟට ගොස් කතා කරන්නට ආසාවක් තිබුණද වට පිට නොබලා ආඩම්බරකාර සෙයියාවකින් සිටිනා මේ දැවැන්තයා ඉදිරියේ පසුබා සිටියෙමි.

බොහෝ කාලයක් සිනමාවේ සිටියද පළමු වරට ඔහු මගේ හදවත දිනා ගන්නේ වැලිකතර චිත‍්‍රපටය ඔස්සේය. වැලිකතරට තිස්ස ලියූ තිරනාටකය අපට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේ ය.

ගාමිණී (වික‍්‍රම රන්දෙණිය පොලිස් පරීක්ෂකවරයා අලූත් පොලිසියේ රාජකාරියට යාමට පෙර නිල ඇඳුමින් සැරසී සිය බිරිය ඉදිරියේ සිටගෙන)  - රජ දැක්මට අවසරද
ස්විනීතා - අවසරයි

තිස්ස පිළිබඳ මේ කතාව ලියන්නට පටන් ගත්තේ මේ විස්තර ලියන්නට නොවේ. එහෙත් ලියැවුණි.

ශාස්ත‍්‍රාල බුද්ධිමතුන් පරදන විශිෂ්ට දැනුමක් තිබූ මේ බුද්ධිමතා වතාවක් ශාස්ත‍්‍රපති උපාධියකට ලියාපදිංචි වීමට අයැදුම් කළේ ය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයෙන් යයි මගේ මතකය කියයි. තිස්සට ප‍්‍රථම උපාධියක් නැතැයි කියා ඒ අයැදුම්පත ප‍්‍රතික්ෂෙප විය. මෙය අපේ රටේ මුග්ධ අධ්‍යාපන ක‍්‍රියාවලිය මනාව පිලිබිඹු කරන සිදුවීමක් යයි මට සිතෙයි.

උසස් පෙළ නැත්නම් ප‍්‍රථම උපාධිය කළ නොහැකිය
ප‍්‍රථම උපාධිය නැත්නම් පශ්චාත් උපාධියක් කළ නොහැකිය
වැනි දැඩි නීති රීති පනවාගෙන සිටින්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබ අධ්‍යාපන පරිපාලනයේ සිටින්නවුන්ගේ කුහක පිළිවෙත් නිසා යයි මට සිතෙයි.

ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වන මා දන්නා දියණියක හදිසියේම පාසල් යාම නවතා දැමුවේ පාසලේදී සිදුවන හිංසන වලට මුහුණ දෙන්නට ඇයට නොහැකි යයි කියමිනි. පසුව ටේෆ් කොලිජියකට (ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක වන තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියකි) ඇතුල් වූ ඇය එහි අධ්‍යාපනය ලබා ඒ සුදුසුකම් මත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූවාය. ඇයට උසස් පෙළ සහතිකය තිබේදැයි විශ්ව විද්‍යාලය ඇසුවේ නැත.

උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුල් වන්නට තරම් ලකුණු නොලද මගේ යෙහෙළියක ජාතික තාක්ෂණ ඩිප්ලෝමා (එන්ඞීටී) පාඨමාලාව හදාරා ඒ සුදුසුකම් ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූවාය. ඔස්ටේ‍්‍රලියාවේදී විශ්ව විද්‍යාලයකට ඇතුල් වූ ඇය ඉන් පිට වූයේ ආචාර්ය උපාධියක් ලබාගෙනය. අද ඇය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි.  උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය තරම් ලකුණු ලබා ගන්නට නොහැකිවන්නෝ මෝඩයෝ නොවෙති.


මෙවැනි උදාහරණ අනන්තවත් පෙන්වා දිය හැකිය. එහෙත් වැඩි වැල්වටාරම් නැතිව කියනවා නම් උසස් අධ්‍යාපනය හදාරන්නට කැමැත්ත ඇත්තවුන්ට ඉදිරියට යාමට විකල්ප මාර්ග සකස් කරදීමේ වගකීම අද දියුණු යයි සම්මත සෑම රටකට අධ්‍යාපනඥයන් පිළිගෙන ඇති බව නොදන්නේ ශ‍්‍රී ලංකාවේ බක පණ්ඩිතයන් පමණකි.

ලංකාවේ පාසල් දරුවකුගේ අනාගතය උසස්පෙළ සහතිකය නමැති කඩදාසි කැබැල්ලට තීරණය කරන්නට ඉඩ දී තිබීම අහම්බයක් නොවේ. හිතා මතා කරගෙන යනු ලබන සාහසික අපරාධයකි.

නොදන්නා කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඒ අපරාධයට උඩ ගෙඩි දෙන්නට දැන් විශ්වවිද්‍යාල වල සිටින තරුණ තරුණියන් පෙළඹී සිටිනු දැකීම අවාසනාවකි.