Friday, April 29, 2016

වියෝලය දරාගත් මිනිසා"හැරෙන්නේ කොයිබටද?

මගේ ”වියෝලය දරාගත් මිනිසා” කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව කපි එම් ගමගේ සොයුරා ලක්බිම ප‍්‍රතිභා පිටුවට ලියූ සටහන.

"වියෝලය දරාගත් මිනිසා"හැරෙන්නේ කොයිබටද?
___________________________________
කවියෙකුට සිය භාව ප්‍රකාශනය ආකාර කිහිපයක්ට ඉදිරිපත් කළහැකිය. ඇතැම් කවීන් සිය අනුභූතින් කාව්‍යෝක්තීන් බවට පත්කිරීමේදී ඒවා මනෝවිද්‍යාත්මක තලයක දා ඉදිරිපත් කරණු ලබයි. දාර්ශනික කාව්‍ය ප්‍රකාශණයන් (Philosophical Poetry) ලෙස ඒවා ගැනීම වඩාත් යුක්ති සහගත වේ. ඇතැම් කවීන් වඩාත් නැඹුරු වන්නේ සිය අත්දැකීම් සමාජ තලයන් හා චරිත හරහා ඉදිරිපත් කිරීමටයි. මේ ආරේ කවි සමාජ විද්‍යාත්මක කාව්‍ය (Sociological Poetry) ලෙස වෙන්කර හඳුනාගත හැකිය. නමුත් බොහෝ කවීන් මේ ආකාර දෙකටම තමන්ගේ භාව ප්‍රකාශණයන් කාව්‍ය ලෙසින් ඉදිරිපත් කිරීම දැකිය හැකිය. එසේ වුවද ඒ අතරින් තමන්ගේ රුචිය මතුවී තමන් වඩාත් ඇලුම් කරන ආරේ කවි බහුල වශයෙන් ලියවෙන්නේ කවියාට ද නොදැනීමය. මේ කුමන කාව්‍ය ප්‍රකාශණ විධියකින් වුව කවියා විසින් කරණු ලබන්නේ සිය රසික සමාජය පොදුවේ නොදකින, නොසිතන ජීවිතයේ විවිධ ඉසව් වෙත ආලෝක ධාරාවක් එල්ල කර ජීවිතය යනු මෙය යැයි පෙන්වාදෙමින් ඔවුන්ගේ ජීවිත පරිඥාණය වඩාත් පුලුල් කිරීමයි.
ජගත් ජේ. එදිරිසිංහ යනු දීර්ඝ කාලයක් පුරා විවිධ සාහිත්‍ය ශානරයන් ඔස්සේ සිය අත්දැකිම් පාඨක සමාජය වෙත මුදාහරින සාහිත්‍යකරුවෙකි. නවකතා, කෙටිකතා, යොවුන් කතා හා කාව්‍ය යන සාහිත්‍යාංග ඔහු සිය ආත්ම ප්‍රකාශණ මාධ්‍යයන් ලෙස භාවිතා කරණු ලබයි. කවියෙකු ලෙස ඔහුගේ තුන්වන කාව්‍ය සංග්‍රහය වන්නේ "වියෝලය දරාගත් මිනිසා" කාව්‍ය සංග්‍රහයයි. මීට ප්‍රථම "සිසිරයේ පිපුණ මල" හා "රාජාලි පියාපත" ඔහු විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ දෙකයි. ප්‍රථම කාව්‍ය ග්‍රන්ථ දෙකට වඩා පරිනත වීමේ ලක්ෂණ පෙන්නුම් කරන "වියෝලය දරාගත් මිනිසා" කාව්‍ය ග්‍රන්ථය තුල බහුල වශයෙන් දැකිය හැක්කේ මුලින් සඳහන් කල මනෝ විද්‍යාත්මක තලයෙහි මානව චෛතසිකයන් විශ්ලේශණය වන කාව්‍ය නිර්මාණ රැසකි. ඊට අමතරව සමාජයීය තලයෙහි සංසිද්ධීන් විග්‍රහ කෙරෙන කාව්‍ය නිර්මාණ කිහිපයක් ද මෙයට සංගෘහිත වේ. 

ජගත් සිය කාව්‍ය ග්‍රන්ථය අරඹන කවිය "විකල්" තුලින් ඔහු ශ්‍රී ලාංකීය තරුණයා දේශපාලනිකව හා සමාජයීය වශයෙන් තලා පෙලා දැමූ භීම සමයක් වෙත අප රැගෙන යයි.
"පිළී ගඳ රුහිරු වැගිරුණ බිම් පෙතක
දිලී නොපිපේය රතුමල් එක රැයෙක
ඇලී මෙබිම වැතිරෙන එක හදවතක
සැලීම ද රැඳේවිය ගිණි අවි තුඩෙක"
එක් සමයෙක් මෙබිම ගලා ගියේ තරුණ සිරුරු වලින් ගලාගිය රුධිර ගංගාවන්ය. එය එසේ වූවද අද ඉතිරිව ඇත්තේ කුමක් ද? ඒ දිවි පිදුමට සමාජ දේශපාලන අරුතක් එකව තිබේද?
"තවරලා අම මිහිර පුදකරන ඵල පෙනී
රැවටිලා රැඳෙනු කෙලෙසකද හිතකිනී
හිත පෙලා දවන දුක් කඳුල පෙනි පෙනී
නියඟලා මල් කොහිද අල මිසක සකියනී"
තව දුරටත් තරුණ දේශපාලනයට සිදුවන්නේ රැවටීම බසට මුලාවී හිඳීමටද? සත්‍ය පෙනි පෙනී සත්‍ය වසන් කෙරෙන කාලයක සත්‍ය නොසලකා හැර සිටීමටද? එය තමන් විසින්ම තමන් සිදුකරගන්න සිය දිවි හානි කර ගැනීමක් ද? ජගත් ප්‍රශ්න කර සිටින්නේ එයයි. මේ කවිය පුරාම කාව්‍යමය භාෂා භාවිතය කවියක අර්ථ සෞන්දර්ය ඉහළ නංවන ආකාරය මනාව කැපී පෙනේ. එම භාෂා භාවිතය නිසාම කවිය වාච්‍යාර්ථය ඉක්මවා ගොස් ගැඹුරු දේශපාලන අරුතක් සන්නිවේදනය කරයි. නමුත් එවැනිම දේශපාලන අරුතක් රැගත් "යදම් බැඳුනු මිනිස්සු" නිර්මාණය ජගත් අතින් හුදු වාගාලාපයක් ලෙස පමණක් නිර්මාණය වන්නේ. එය භාෂාවේ ඕජෝ ගුණය කැටිකරගත් භාෂා භාවිතයකට හසු නොවන නිසාය.
"විවර කවුළු දොර අතරින්
ලේ රතු දෑස යොමමින්
බලා සිටියා රහසින්
පායාදැයි තරුව විගසින්
යතුර උන් අතය සැඟවුණ
කිසිදා යළිදු නොදකින
කටුව සහ කිණිහිර ගෙන
පැමිණිය යුතුය විගසින"
ජගත් ගේ කවිත්වය මනාව කුළුගැන්වෙන නිර්මාණ දෙකක් මේ කවි එකතුවේ එයි. ඒ "බෝ ගසක මතකය" කාව්‍ය හා "සපත්තු දෙක" කාව්‍යයයි. "බෝ ගසක මතකය" කාව්‍ය අතීතකාමි නොස්ටැල්ජියානු කවියෙකුගේ පරිකල්පනීය සුන්දරත්වය මනාව කැටිකර ගත්තකි.
"පාගොඩ ගුරුපාර කන්දේ බැස ආ
සාමෙල් ගෙ කරත්තය නැවැත්තුව
නුගේ අහිමිව ගිය නුගේගොඩ
පාලුවට පැළවුණු අඳුරු කාක බෝධිය
අම්බලන්වත්තේ පොලට පොල් ගෙනා
සිසිලියානා පවා පහන් දැල්වුව"
ජගත් මේ පවසන්නේ ඉතා අතීතයේදී නුගේගොඩ බෝධිය මිනිසුන්ගේ අවධානයට ලක්වූ අයුරුයි. බෝධිය කාක බෝධියක් වුව පොලට පොල් වෙළඳාමට එන සිසිලියානාගේ පවා පුද සත්කාරයට බඳුන් වේ.
"හූ හඬ තලන රේල්ලුව
දිහාවත් ඇස් ඇර නොබැලුව
යෝධයෙක් වගේ හිස ඔසවාන
සිටි ආඩම්බරකාර තරුණ බෝධිය"
බෝධිය තරුණ කල එසේය. කිසිදු දෙයක් ගණන් නොගෙන විරාජමානව පුද සත්කාරයට බඳුන් විය. නමුත් දැන් බෝධිය වියපත්ය. නුගේගොඩ වෙනස් වී ඇත. කවුරුත් බෝධියට අවධානයක් නොදක්වයි.
"ගුවන් පාලම මුවාවේ
පාලුවට ගිය සිව්මංසලේ
මහල්ලෙකු සේ කේඩෑරි වී ගිය
දෑත් ඔසවා අසරණව
නොවැදගත් නෑයෙකු ලෙසින්"
එදා සිසිලියානාලාට වැදගත් වුවද අද කිසිවෙකු නොවැදගත් නෑයෙකු බඳුවූ බෝධිය අතීතාවර්ජනයේ නියැලෙන්නේදැයි කවියා අසයි.
"කාක බෝධියක් බව සැබැයි
පාපයක් නෑ ඒත් වැන්දට
බෝම දුක් කරදර වින්දටම නොවෙයි
නුගේගොඩ වියවුල දෙස බලා
මේ තරම් කාලයක් හිටියට"
කවියා අවසානයේ පවසන්නේ බෝධියට පුදසත්කාර කළයුත්තේ බොහෝ දුක් ගැහැට වින්දාට නොව මේ අවුල් වියවුල් සමසිතින් විඳදරාගෙන මෙතෙක් කලක් ජීවත් වූවාට බවයි. මෙය කිසියම් ආකාරයක ජීවන දර්ශනයක් මතු කරන කවියකි. පුද්ගල චරිතයක් වුව තරුණ කලදී අනෙකාගේ අවධානයට ලක්වුවද වයස් ගතවන විට ඒ අවධානයෙන් ගිලිහෙයි. නමුත් වයසගත වූවෙක් කාල විපර්යාශයන් දෙස බලන්නේ මැදහත් සිතිනි. ඔවුන් පූජනීය වන්නේ එබැවිනි.
"සපත්තු දෙක" නිර්මාණය ඉහත කාව්‍යටත් වඩා අපූරු සමාජ දේශපාලන අරුතක් කැටි කර ගත්තකි.
"තියෙනවනං වැඩිපුර
සපත්දෙකක් දීපං මට
අඩිය ගෙවුනු සපත්තු දෙක
ගෙයි දොරකඩ එළිපත මත
ගැලවූ පසු නුඹ කී හැටි"
නිවසට ගොඩ වෙන මිතුරා කවියාගෙන් ඉල්ලන්නේ සපත්තු කුට්ටමකි. ඔහු භාවිතා කරන සපත්තු යුගල ගෙවී ඇත. එය ගෙවී ගොස් ඇත්තේ ඇයි දැයි අපට වැටහෙන්නේ අනතුරුවය. හේ තමන් ඇදහූ දේශපාලනයක් වෙනුවෙන් කුසට අහරක් නොකා, ගතට සළුපිළි නොලා, පයට මිරිවැඩි නැතිව රට පුරා දේශපාලන කටයුතු වෙනුවෙන් ඇවිද ගිය තරුණයකි. මිතුරාගෙන් ඉල්ලාගත් සපත්තු දෙක පය ලාගත් තරුණයා ආපසු සිය දේශපාලන කටයුතු උදෙසා නික්ම යයි. නමුත් පසුව ඔහු මරා දමා ඇති බව සැලවේ.
"බෙල්ලන්විල
වෙළ අද්දර
කුණු ගොඩ ලඟ
ගිනි ගොඩ මැද
නුඹ හිටියලු
එක උදයක
මල් පුදන්න පන්සල් ආ
සැදැහැතියන් ඒ දුටුවලු"
ජගත් මෙතනදී අප තුල මනස් චිත්‍රයක් අඳියි. ඔහුගේ භාෂාව සරලය. උපමා රූපක වලින් තොරය. ව්‍යංගයෙන් බැහැරය. හරියටම ආටෝප සාටෝපයන්ගෙන් තොර තරුණයාගේ දේශපාලන ජීවිතය බඳුය. නමුත් වදන් පින්සල් පහර රිදුම් චිත්‍රයක් අප තුල අඳියි. කවිය අවසන ඔහු අප ඇසට කඳුලක් ද, සිතට සුසුමක් ද එක් කරයි.
"හිත් දොර ලඟ
එළිපත මත
අඩිය ගෙවුණ
සපත්තු දෙක
වද දෙනවා තවමත් මට"
"පිළිලයක්" නිර්මාණය ව්‍යංගය ඉතා අපූරුවට කැටිකොට වාච්‍යාර්ථය විනිවිදින තවත් අපූරු නිර්මාණයකි. බුදු දහම හා සාසනය වෙලා ගත් දේශපාලනය එයම දිනෙක විනාශ කරණ බෝධියක පැළවූ පිළිලයක් බඳු බව රචකයා ව්‍යංගයෙන් පවසයි. ජගත් ගේ කවිත්වය වඩාත් මිණිමුතුව නැගෙන්නේ ඔහු සමාජ කාරණා පදනම් කරගත් සමාජ විද්‍යාත්මක කාව්‍ය රචනයේ දී බව මේ කෘතිය තුලින් මනාව පැහැදිලි වේ. "වියෝලය දරාගත් මිනිසා" කෘතියේ එන "රතුපස්වල අම්මා", "ඉටිපන්දමක් අරන් එන්න", "නුඹ එන තෙක්" වැනි කාව්‍ය ඔහුගේ දාර්ශනික තලයේ කවි වලට වඩා කැපී පෙනේ. විශේෂයෙන් තමන්ගේ ඇතුලාන්තය හා බැඳුන අත්දැකීම් ප්‍රකාශයේදී ඒවායේ ඇති හෘදය සංවේදී බවට බාධා පමුණුවන්නේ ජගත් ඒ සඳහා භාවිතා කරන භාෂාවයි. භාෂාවේ ඇති ද්වණිගුණය භාවිතා කිරීමට ඔහු එහිදී අපොහොසත් වේ. මේ නිසා එබඳු කවි රාශියක් වාච්‍යාර්ථය ඉක්මවා යාමට අපොහොසත්ව දුබලව ඇදවැටෙන ආකාරය මේ කෘතියේ දැකිය හැකිය. නමුත් සමාජ සංසිද්ධීන් කවියට නැගීමේදී ජගත් වඩාත් සවිමත් කවියෙකු ලෙස නැගී සිටී. ඒ නිසා ජගත් ගේ අවධානය සමාජ සංසිදීන් හඹා යෑමට යොමුකරන්නේ නම් අනාගතයේ ඔහු අතින් අපූර්වත්වයෙන් පිරිපුන් කාව්‍ය නිර්මාණයන් බිහිවෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.
කපිල එම්. ගමගේ
2016 අප්‍රේල් 28, බ්‍රහස්පතින්දා, ලක්බිම "ප්‍රතිභා"

Monday, April 25, 2016

වර්ග කර රසවිඳිමේ කලාව

ජීවත්ව හිටිය කාලෙදි අපට ජෝතිපාල පෙන්නන්න බැහැ. අපේ තරුණ කාලෙ අපේ ඔලූ වලට දාලා තිබුණෙ ඔහු ප‍්‍රබුද්ධ ගායකයෙක් නොවේ ඒ නිසා ඔහු දෙස ඇස ඇර නොබැලිය යුතුය කියන අදහස. ඒ නිසා ගායකයකු ලෙස ඔහු දැක්වූ ප‍්‍රතිභාව දෙස අපි බලා හිටියෙ අන්ධ වෙච්ච ඇස් වලින්. ජෝති ජීවත්ව හිටිය කාලෙ ඔහු රස වින්දනය කරන්න අපට බැරි වීම ගැන මගේ හිතේ තියෙන්නෙ විශාල දුකක්. මිය ගිහින් අවුරුදු 30ක් ගතවෙලත් අදත් ජෝතිපාල ජනප‍්‍රියයි.


ඒ වගේම තමයි විජය. තුෂාරා චිත‍්‍රපටයෙ විජය රඟපාන කාලෙ විජය හැඳින්නුවෙ සෙවල නලූවෙක් කියලයි. ඉතින් ප‍්‍රබුද්ධයින් එහෙම කියනකොට කොලූ ගැටයන් වෙලා හිටිය අපි ඒව ඉස්මුදුණින් පිළිඅරගන්නවා. අපටත් විජය පෙන්නන්න බැහැ. අපිත් ගිරව් වගේ අරවම කියවනවා. මොනයම් හේතුවක් නිසා හෝ විජය වමට බර දේශපාලනයට හැරුණ නිසා අර ”සෙවළ” කෑල්ල විජයගෙන් ගලවලා දාන්න අපේ ප‍්‍රබුද්ධයින් කටයුතු කළාය කියලයි මට දැන් ආපහු හැරිලා බලනොට පේන්නෙ. විජයගේ අන්තිම කාලෙ වෙනකොට ඔහුට රටේ විශාල ප‍්‍රතිරූපයක් ගොඩනැගෙන්නෙ ඔහුගෙ දේශපාලන ක‍්‍රියාවලිය නිසායි. (අපි හිතන ආකාරයේ මොකක් හෝ වරදක් තියෙනවාය කියන කාරණය තරුණ කාලෙ මගේ හිතට වැදුණෙ විජය නිසයි. ඒ ඔහු රඟ පෑ එක්තරා චිත‍්‍රපටයක් නැරඹුවයින් පස්සෙ. ඒ කතාව පසුව)


ඞීමන් ආනන්ද
එච් ආර් ජෝතිපාල
විජය කුමාරණතුංග
ගාමිණී ෆොන්සේකා
කරුණාසේන ජයලත්
කුමාර කරුනාරත්න

මේ ලැයිස්තුව බොහොම දිගයි. මේ හැමෝටම වගේ ජීවත්ව සිටිය කාලෙද එක් එක් යුග වලදි ඒ අයට ලැබිය යුතුව තිබුණ පිළිගැනීම නොලැබුණ අය. ඒ අය යෙදී හිටිය දේශපාලනය ආදී කරුණු කාරණා නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ ඒ යුග වලදි මේ කලාකරුවන් ගැරහීමට ලක් කළා මිසක් අගය කරන්නට පෙළඹුන ප‍්‍රබුද්ධයන් විදග්ධයන් හිටියෙ නැති තරම්.


පැවතිය යුත්තේ විදග්ධ කලාව පමණකැයි කියන මුළාව තරුණ කාලෙ අපේ හිත් වල තැන්පත් කළ පණ්ඩිතයන් ඒ කළේ කොයි තරම් අනුවණ කාර්යයක්ද කියලා මට හිතෙන්නෙ මේ වයසට ආවට පස්සෙ. විවිධ අය විසින් මතුරණු ලැබීමෙන් පසුව කට පාඩම් කරගත් කොයියෝ, මාකේස් ආදි නම් වැලක් ගිරවුන් ලෙසින් මුමුණන, ලෝකයේ තියෙන හොඳම පොත ”ගුරු ගීතය” යයි සිතන, අපේ තරුණයින් ගැන මට ඇත්තෙ කණගාටුවක්. ඔවුන් හිතා ඉන්නෙ බටහිර පොත් සාප්පුවල රාක්ක පිරී තිබෙන්නෙ මේ පොත් වලින්ය කියලයි. විශාල ලෙස පොත පත කියවන තරුණ තරුණියන් ඉන්න ඔස්ටේ‍්‍රලියාව වගේ රටක මේ වගේ වර්ග කිරීමක් ඇහෙන්නෙවත් නැහැ.  ඕස්ටේ‍්‍රලියාව වැනි රටක පොත පත කියවන තරුණ තරුණියන්ගේ රසඥතාව පහළ මට්ටමක ඇති බවක් මෙයින් කියැවෙනවාද?


මහත්වරුණි. අපි කැමති වුණත් නැති වුණත් ඔබේ වර්ග කිරීම් අනුව උසස් යයි පහත් යයි සැළකෙන සියලූම මට්ටම් වල කලාංග මේ ලෝකයේ පවතිනවා. ඉදිරියටත් පවතින බව සහතිකයි. ඒ සියල්ල ලෝක වාසීන් රස විඳින බවත් සත්තයි.

Friday, April 22, 2016

ඌණ පූරණ

කරගෙන ගිය කතාව ටිකකට නවත්තලා පසුගිය සටහන් දෙකකට ඌණ පූරණ කරන්න අවශ්‍යයි. ”මානව” බ්ලොග් එක කියවපු මගේ අයියා - පුෂ්ප කුමාර් ජේ එදිරිසිංහ - ඊයේ ඊමේල් එකක් එවලා තිබුණා මට අමතකව ගිය තැන් කීපයක් සිහිපත් කරමින්.


බජරි හටන


බජරි හටන පත්තරේ හෙඞ් පීස් එක ළඟ තිබ්බ කවිය මම ලියලා තිබුණේ අසම්පූර්ණවයි. එහි තිබූ සම්පූර්ණ කවිය අයියා ලියලා එවලා තිබුණා.


බජරි හටන අපි දිගටම ගෙනියනවා
බජරි වලින් මුලූ දිවයින පුරවනවා
බජරි කාපු අය ඔක්කොම අලි වෙනවා
බජරි පාටියේ ලොක්කා රට කනවා


කවියේ අවසන් පදය ඒ ඒ කාලයට ගැලපෙන සේ වෙනස් කළ බවත් අයියා කියනවා.


බජරි හටන පත්තරයට ලයනල් සරත් ලියූ තවත් හාස්‍ය ගීයක් අයියාට මතකයි. ඒ කාලයේ අධ්‍යාපන ඇමතික හිටිය අයි එම් ආර් ඒ ඊරියගොල්ල මහතා පද රචනය කළ ලෝකෙන්  උතුම් රට ලංකාවයි - ලංකාවයි සිරි ලංකාවයි ගීතයේ තනුව අනුව ලයනල් සරත් බජරි හටනට ලියූ ගීතයේ පද මෙහෙමයි.


ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි බැරි ලංකාවයි
අපෙ කෙළි භූමිය ලංකාවයි

මීට වැඩිය හොඳ හවායි දූවයි
මිහිබට සුරලොව ඒ රටදෝ
එහි කෙල්ලන්ගේ දෙකකුල් මහතයි
ඉන් සැප දෙයි නිබඳේ නිබඳේ


ද්විත්ව අරුත් ඇති දෙපිට කැපෙන භාෂාවකින් ලියා බජරි හටන පත්තරේ පළවූ සමහර ලිපි නිසා සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ට මේ ටැබ්ලොයිඞ් පත්තරය කියවන්නට නුදුන් බවත් අයියාගේ මතකයයි.


වතාවක් බජරි හටන කාර්යාලයට සීඅයිඞීයෙන් පනිනවා. ඒ කඩා පැනීම බජරි හටන පත්තරේ ලියැවුණේ රහස් පොලීසිය බජරි හටනට කඩා පැන්න නමුත් සොයාගත හැකි වූයේ අර්තාපල් අල දෙකකුත් මිරිස් කරළකුත් පමණක් බවයි.

Wednesday, April 20, 2016

ඞීමන් ආනන්ද - තව දුරටත්

ඞීමන් ආනන්ද - තව දුරටත්


නාලක සිය ලිපියේ තැනක මෙහෙම ලියනවා.


ඞීමන් ආනන්ද මාරක කථා කියැවීම හරහා සාහිත්‍ය ලෝකයට පිවිස, පසුව එහි ලොකු හපන්කම් කළ සිංහල භාෂා මහාචාර්යවරයකු මේ සතියේ මා සමග කීවේ මෙයයි.  ”බොහෝ රටවල ජනප‍්‍රිය හා සම්භාව්‍ය සාහිත්‍යය සමාන්තරව පවතිනවා. අපේ අවාසනාව නම් ජනප‍්‍රිය සාහිත්‍යයට මෙරට හිස ඔසවන්නට ඉඩක් නොදීම”


මේ ප‍්‍රකාශය ඉතා වැදගත්. අපේ රටේ ජනප‍්‍රිය සාහිත්‍යයට හෝ වෙනයම් ජනප‍්‍රිය කලාංගයකට හෝ හිස ඔසවන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ. හේතුව මොකක් වුණත් ජනප‍්‍රිය කලාව ගැන කතා කරන්නවත් අපේ විදග්ධ සමාජයේ ඉඩක් නැහැ.


මම මේ පිළිබඳව කතිකාවක් ගොඩනගා ගන්නට දෙවතාවක් උත්සාහ කළා. විදග්ධ ප‍්‍රබුද්ධ සම්භාව්‍ය ඔය වගේ මෙකී නොකී ඉහළ පන්නයේ තල වල ඉන්න සාහිත්‍යකාරයන් සාහිත්‍ය සේවනය කරන්නන් අතරදි. ඒ දෙවතාවෙම මං ඒක කළේ ප‍්‍රධානවශයෙන්ම මේ සංසිද්ධිය හමුවේ මේ අයගෙ හැසිරීම දැකගන්න අවශ්‍ය නිසයි. පර්යේෂණයක් හැටියට කිව්වොත් වඩා නිවැරදියි.


මගේ ප‍්‍රවිශ්ටය මෙහෙමයි.

”අපි ඒ කාලෙ ඞීමන් ආනන්දගේ පොත් කියවපු පිරිසක්. අවර ගණයේ සාහිත්‍යයක් කියලා සමාජයෙන් මහා ඝෝෂාවක් නැගෙද්දි තමයි අපි ඒවා කියෙව්වෙ. එහෙම කියවපු මිනිස්සු සාහිත්‍යායේ ඉහළ ඉසව් කරා ගියා. අද ඒ අය ඞීමන් ආනන්දට ස්තුති කරනවා. දවසක සුජීව ප‍්‍රසන්න ආරච්චි ගැනත් මිනිස්සු එහෙම නොකියයිද?”

සුජීව ප‍්‍රසන්නආරච්චි කියන නම ඉවර කරන්නත් කලින්ම අපේ ප‍්‍රබුද්ධ සමාජය පරළ වෙනවා.

” ඕකා ගෑනුන්ට පොත් ලියන එකෙක්. කළාපෙ එවුන්ටයි මැදපෙරදිග එවුන්ටයි ආදර කතා ලියලා හම්බකරගන්න එකෙන්. මුන් ගැන කතා කරන්නවත් වටින්නෙ නැහැ. සාහිත්‍යය විකූණගෙන කනවා.” ඔය වගේ දාහක් කාරණා මේ අය අවේගශීලීව මතුකරනවා. මොන බුද්ධිමය සාකච්ඡුාවක්ද?

මම කතා කරන්නෙ ඞීමන්ගෙ සාහිත්‍යයේ උසස් බවක් ගැනවත් සූජීවගෙ සාහිත්‍යයේ උසස් බවක් ගැනවත් නෙවෙයි. මම කියන්නෙ මොන මගුලක් ලියලා හරි මේ මිනිස්සු දෙන්නා කියවන සමාජයක් බිහිකරලා තියෙනවා කියන කාරණයයි. පොත් කියවන මිනිස්සු. 


”ඞීමන් ආනන්ද එදා නොහිටියා නම් අද මේ පොත් කියවන මිනිස්සුගෙන් බාගයක්ම නැහැ” අද මේ සටහන ලියන්න මොහොතකට කලින් අසෝක සුබසිංහ අතිශයෝක්තියෙන් කියපු කාරණයත් අමතක කරන්න බැහැ.


සූජීවලා කැන්දාගෙන එක මේ පොත් කියවන මිනිස්සුන්ව එතනින් උඩට ගන්න එක අපේ සම්භාව්‍ය ලේඛකයන්ගෙ වගකීමක්. එහෙම නැතුව සූජීවට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. මෙහෙම දෙයක් සිදුවෙමින් පවතිනවා කියන සත්‍යය නොදැක්කා වගේ කුහකවතින් අහක බලාගෙන ඉඳලත් වැඩක් නැහැ. කළ යුතු දේ සුජීව අපේ සාහිත්‍ය ලෝකයට පොත් කියවන්නන් දහස් ගණනින් ඇදගෙන එන බව පිළිඅරගෙන ඒ ඇදී එන පිරිසට මෙන්න මෙහෙම උසස් සාහිත්‍යයකුත් තියෙනවා කියලා පෙන්වා දෙන්න උත්සාහ කරන එකයි. එය කළ හැකි වන්නේ කෙසේද යන්න වෙනමම සාකච්ඡුා කළ යුතු දෙයක්.


සුජීව ප‍්‍රසන්නආරච්චි මා  පුද්ගලිකව හඳුනන්නෙක් නොවේ. ඔහු ලියන දේ පිළිබඳ කිසිදු ආකාරයක තක්සේරුවක්ද මට නැත. කොටින්ම ඔහුගේ අහංකාරපරවශ ජීවන රටාව පවා මට අප‍්‍රසන්නය. එහෙත් පොත් කියවන මිනිසුන් බිහිකිරීම ගැන ඔහුට ප‍්‍රශංසා කරන්නට ඒ කිසිවක් බාධාවක් නොවේ.


ජනප‍්‍රිය සාහිත්‍යය සහ ජනප‍්‍රිය කලාව පිළිබඳ තවත් යමක් කියන්නට ඉතිරිව තියෙනවා. එය පසුවට.

Monday, April 18, 2016

ඞීමන් ආනන්ද

ඞීමන් ආනන්ද 


නාලක ගුණවර්ධන ඞීමන් ආනන්ද ගැන ලියූ ලිපිය නැවත කියෙව්වා මේ ලියවිල්ල හරහා නාලක මතුකරන්නෙ මාත් එකඟ වන අදහස්. ඒ නිසා ඒ ගැන මගේ මතකය අවදි කරන්න හිතුවා.


බොහෝ විට අද පරපුරේ අය නොදැන සිටියත් 70 දශකයෙදි හෝ 80 දශකය මුළ හරියෙ පාසල් අධ්‍යාපනය ලබපු අපේ පරපුරේ අයට ඞීමන් ආනන්ද පිළිබඳ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ කියල හිතනවා.


මං ඞීමන් ආනන්දගෙ පොත් කියවන්න ගත්තෙ හයේ පන්තියෙ ඉන්නකාලෙ කියලා හොඳටම මතකයි. ඒ කාලෙ මට හිටියා චන්ද්‍රසිරි කියලා යාලූවෙක්. ඉස්කෝලෙ ඇරිලා තලපත්පිටියෙ ඉඳන් මිරිහානට පයින් එන අතරේ ඞීමන් ආනන්දගෙ පොත් වල තියෙන කතා මට කියන්න චන්ද්‍රසිරි පුරුදුවෙලා හිටියා. ඉන්පස්සෙ ඔහු මට වරින් වර ඞීමන් ආනන්දගෙ පොතුත් ගෙනත් දුන්නා. ඒත් මං ඞීමන් ආනන්දගෙ පොත් වැඩියෙන්ම කියෙව්වෙ අපේ පුංචි ආච්චිගෙ ට‍්‍රන්ක පෙට්ටියෙන්. ඒ කතාව රසවත්.


අපේ අම්මගෙ අම්මට - අපේ ආච්චිට - බාල සහෝදරියන් දෙන්නයි.  එක් බාල සහෝදරියක් දේශපානඥයන් වන නන්දිසේන කුරේ සහ සිරිසේන කුරේ මාමලාගේ අම්මා. අනෙක් බාල සහෝදරිය ජීවත්වුණේ ඇඹුල්දෙණියෙ හන්දියෙම තිබුණ ඇගේ දුවගෙ ගෙදර. මේ කියන පුංචි ආච්චි කතන්දර කියන්න අති දක්ෂයා. අපේ ආච්චිත් කතන්දර කිව්වා. උන්දැ කිව්වෙ රජ කතා රාක්ෂයන්ගෙ කුමාරවරුන්ගෙ කතා. ඒත් පුංචි ආච්චි කිව්වෙ නූතන කතා. ගාමිණී මාලිනීගෙ පික්චර් කතා. ඞීමන් ආනන්දගෙ කතන්දර පොත්වල කතා. (ඒ විදිහට රසවත් ලෙස කතා කියන්න පුලූවන් ආච්චිලා අනේ දැන් කෝ..?)


මේ පුංචි ආච්චි ළඟ විශාල ලෝහ ට‍්‍රන්ක් පෙට්ටියක් පුරවලා නවකතා තිබුණා. හැබැයි ඒ පොත් කාටවත් අල්ලන්නවත් තහනම්. පොත් පෙට්ටියේ අනෙකුත් නවකතා එක්කම ඞීමන් ආනන්දගෙ නවකතා මං හිතන්නෙ දෙතුන් සීයක්වත් තිබුණා.


පුංදි ආච්චිට තේ සාදා දීම සහ බුලත් කොටා දීම වැනි ආවතේව කර කොහොම හරි එක නවකතාවක් ඉල්ලා ගන්නට මට පුලූවන් වුණා. මං ඒක කියවලා ඒකට පිටකවරයක් එහෙම දාලා නවකතාවෙ දර්ශනයක් එහෙම කවරයේ ඇඳලා පුංචි ආච්ච්ට ගිහින් දුන්නා. උන්දැට හරිම සතුටුයි. එදා ඉඳලා මට ඇගෙන් පොත් ඉල්ලා ගන්න එක ඒ හැටි අමාරු වුණේ නැහැ. ඒත් එක වතාවකට එක පොතයි.


ඔය අතරේ මොක්දෝ හේතුවක් නිසා පුංචි ආච්චි අපේ මිරිහානෙ ගෙදර ඇනෙක්ස් එකට පදිංචියට එනවා. අපි පුංචි ආච්චි නැතිවෙලාවට ඇනෙක්ස් එකට හොරන් රිංගලා ඇගේ ට‍්‍රන්ක් පෙට්ටියෙන් පොත් ගෙනත් කියවන්න පුරුදු වෙලා හිටියා.


ඒ බොහොමයක් පොත් වල පිටු තිබුනෙ 72 යි. පොතක් ශත 75 යි. ලොකු පොතුත් තිබුණා.


ඞීමන් ආනන්දගෙ පොත් කියවීම බාලයන්ට නුසුදුසු දෙයකැයි කියන මතයක් සමාජයේ තිබීම නිසා අපි මේවා කියෙව්වෙ වැඩිහිටියන්ට හොරෙන්. නාලක කියනවා වගේ මේ පොත් වල ලිංගිකත්වයට බර දේ තිබ්බෙ නැහැ. ඉඳහිට තැනක වැඩිම උණෙත් සිප ගැනීමක් වගේ දෙයක් තියෙන්න ඇති. ඔහුගෙ ”ඩොක්ටර් ඉසෙඞ්” නවකතාවෙ ලිංගිකත්වය පිළිබඳ ශේෂයක් තිබුණා. අද දවසේ නවකතාවල අපි කියවන ඇඟ හිරිවැටෙන ලිංගික ජවනිකා එක්ක බලනකොට ඒව මොනාද?


ඞීමන්ගෙ කතා වල ඔහු නිර්මාණය කරපු ප‍්‍රධාන චරිත දෙකක් තිබුණා. එකක් බටහිර ජේම්ස් බොන්ඞ් නමින් හදාගත්ත ජේමිස් බණ්ඩා නම් රහස් පරීක්ෂකයා. දෙවැන්න ඔහුම නිර්මාණය කළ රහස් පරීක්ෂකයා. ඩිකී වීරකෝන්. සමහර පොත්වල පිට කවරයෙ ඩිකී වීරකෝන් වෙනුවෙන් පෙනී හිටියෙ යුරෝපීය ඇඳුමින් සැරසුණ ඞීමන් ම තමයි.


ඉතින් ඞීමන් ආනන්දගෙ කතා කියවමින් හිටිය මම හතේ පන්තියෙදි නවකතාවක් ලියනවා. පිටු අසූවෙ එක්සයිස් පොතක මාරක කතාවක්.  මං හිතන්නෙ ඒ මං ලිව්ව පළමු හෝ දෙවන නවකතාව.


අපි පුංචි කාලෙ ඞීමන් ආනන්දගෙ පොත් කියවලා එතනින් නැවතුණේ නැහැ. අතට අහුවෙන හැම පොතක්ම කියවමින් ඉස්සරහටම ගියා. එහෙම යන්න ඞීමන් ආනන්ද කළ පෙළඹවීම අමතක කරන්න බැහැ. මං මේ බව වතාවක් ඞීමන් ආන්නද මහ්තතයට කිව්වා.


මෙයට අවුරුදු දහයකට විතර කලින් දවසක මං දයාවංශ ජයකොඩි මහත්තයා එකක් කතා කරමින් ඉන්න වෙලාවක එතැනට ආවා තවත් ලේඛකයෙක්. කරුණාරත්න ඞී ෆිලිප්. ඔහුගෙ ඉල්ලීම පරිදි මං ඔහුත් සමග මරදානෙ ඔහුගෙ පත්තර කාර්යාලයට ගියා. ඔහුගෙ සඟරාවක් සඳහා සම්මුඛ සාකච්චාවකට.  අපි කතා කරමින් ඉන්දැද්දි කොහොමින් හරි ඞීමන් ආනන්ද ගැන කතාවට ආවා. ඒ වෙලාවෙන ෆිලිප් මහත්තයා දුරකතන ඇමතුමක් ගත්තා ඞීමන් ආනන්දට. ඞීමන් ඒ වනකොටත් හිටියෙ අසනීපයෙන්. ඒත් ඔහු මා සමග කතා කළේ හරිම සතුටකින්.


”මගේ පොත් කියවපු ආචාර්ය මහාචාර්යවරු මට පිටරට ඉඳන් කතා කරලා තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. කවුරු මොනා කීවත් මං මොකක් හරි සේවයක් කරලා තියෙනවා කියලා පිළිගන්න අය ඉන්න එක මට සතුටක්” ඔහු කිව්වා.


අපේ සන්නස පත්තරයට ඉන්ටවිව් එකක් දෙන්න ඞීමන් ආනන්ද මහත්තයා ඉතාමත් කැමැත්තෙන් එකඟ වුණා. ඒත් ඒ ඉන්ටවිව් එක කරගන්න කලින් ඔහු අප හැර ගියා.


ඞීමන් ආනන්ද මහත්තයා මහා සම්භාව්‍ය සාහිත්‍යයක් ගොඩ නැගුවෙ නැහැ. ඒත් ඔහු පොත් කියවන මිනිස්සු බිහි කළා. ඒ පොත් කියවන මිනිස්සු තවත් ඉස්සරහට යමින් සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කළා. මහා ගංගාවක් වුණාට පස්සෙ පුංචි උල්පත් අමතක කරන්න නරකයි.


මේ කතාව මෙතනින් නවත්තන්න බැහැ. නාලකගෙ ලිපිය හරහා මතුවන තවත් කතාවක් තියෙනවා. ඒක පසුව ලියමු.

Sunday, April 17, 2016

ස්තුතියි


බ්ලොග් එකක් ලියන්න පෙළඹවීම දුන්න මිත‍්‍රයන් දෙන්නෙක් ඉන්නවා. අසෝක සුබසිංහ - සන්නස පුවත්පතේ සම සංස්කාරක සහ රසික සූරියආරච්චි කියන බ්ලොග් ලෝකයේ පුරෝගාමියා.


අසෝක හිතේ ගොජ දමන අදහස් ලියාගන්න බැරිව දුක්වෙන - අතට අහුවෙන හැම බ්ලොග් එකක්ම කියවන - ඒව ගැන මා එකක් කතා කරන - උද්‍යොගිමත් මනුස්සයෙක්. අනෙක් අතින් මා ඇතුළු ආධුනික බ්ලොග්කරුවන් උනන්දු කරවමින් රසික කරන්නෙ වෙනස්ම කාර්යයක්. බ්ලොග් ලෝකයට ආගන්තුක මට බොහෝ උපදෙස් දෙන රසිකගෙ මෙහෙය ඉතා විශාලයි.

රසිකගෙ මේ අදහස් වලටත් ස්තුතියි.


ඒ එක්කම මා ධෛර්යමත් කරන්න අදහස් ලියූ ඔබ සැමටත් ස්තුතියි.


අපි යමු මෙහෙම.

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද? 2

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?
 2


”පප්පගෙ උැස් වල කඳුළු දැක්කම මට ඉහිලූම් නැතිවුණා” තාත්තා කියනවා.


පසුවදාම කොළඹ රැුකී රක්ෂා කාර්යාලයට යන එදිරිසිංහ තරුණයා රැුකියාවක් සඳහා එහි ලියාපදිංචි වෙයි. ඔහුගේ සුදුස්කම් අනුව ඉක්මණින්ම රැුකියාවක් ලැබෙයි. ඒ ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ ව්‍යාප්ති නිලධාරියකු ලෙසය. පත්වීම හම්බන්තොට කච්චේරියටය.

 හුංගම ප‍්‍රදේශයෙන් කුඩා නිවසක් සොයා ගන්නා එදිරිසිංහ තරුණයා සිය බිරිඳත් දුවත් පුතාත් සමගින් එහි පදිංචියට යයි. හම්බන්තොට කච්චේරියේ රැුකියාව කරන අතරතුරදී කොළඹ කතරගම මාර්ගයේ බටඅත වෙල්යායට මායිම්ව කුඩා ඉඩමක් මිලට ගන්නා ඔහු එහි කුඩා ගොඩ නැගිල්ලක් ඉදි කරයි. ඔහු ”බටඅත බීඩි කර්මාන්තශාලාව” අරඹන්නේ එහිය. බිත්තියේ අඳින ලද මේ දැන්වීම් පුවරුව සහිතව බටඅත වෙල්්යාය අයිනේ පිහිටි මේ ගොඩනැගිල්ල ඒ කාලයේ කතරගම ගිය බොහෝ අයට අමතක වන්නට හේතුවක් නැත .


(මේ මෑත කාලයේ තාත්තා මේ ඉඩම ඔහු එය මිලට ගත් පුද්ගලයන්ටම නැවත නොමිලේම ලියා දුන්නේ ඉතා ඉහළ මිලකට ගන්නට ගැණුම්කරුවන් ඉදිරිපත්ව සිටියදීය.


”මං ඒ මිනිහගෙන් ඉඩම ගන්නකොට පොරොන්දු වුණා ආපහු ඉඩම විකුණනවා නම් ඒ අයටම දෙනවා කියලා.. මට වචන වෙනස් කරන්න බැහැ.. දැන් ඒ ඉඩම ගන්න ඒ මිනිස්සු අතේ සල්ලි නැහැ.. ඒ නිසා මං ඉඩම නිකම් ලියලා දුන්නා”  අපේ තාත්තා කියයි. ඒ ඔහුගේ හැටි ය. වචනයක් කිව්වොත් ගලේ කෙටුවා වාගේය. කෝටියක් පාඩු වුණත් වචනය වචනයමය. අපට ඇත්තේත් ඒ නරක පුරුද්දමය.)


තාත්තා හම්බන්තොට සේවය කළ කාලයේ සමස්ථ දකුණම එකම රතු රාජ්‍යයකි. වාමාංශික බලකොටුවකි. කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික‍්‍රමසිංහ හඳුනාගන්නා තාත්තා කොමියුනිස්ට් පක්ෂයට සමීපවීම ඇරඹෙන්නේ මෙහිදීය.


හම්බන්තොටින් පසු බදුල්ල ආදී විවිධ ප‍්‍රදේශවලට මාරුවී යන්නට ඔහුට සිදුවෙයි. දැන් දරුවන් හතර දෙනෙකි. මේ ගමන උන්ට කරදරයකි. තාත්තා සිය පවුල නුගේගොඩ ස්තිර පදිංචියට පත්කර තනිවම ගොස් රාජකාරිය කරන්නට පටන් ගනියි.


1970 සමගි පෙරමුණු රජය බලයට එන්නේ මේ කාලයේදී ය. ශ‍්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ එක්වී පිහිටවූ රජය වාමාංශිකයනට මහත් ආශ්වාදයක්ම විය.


බීඩි ව්‍යාපාරය රජයේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යා යුතු යයි සවිස්තර වාර්තාවක් තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික‍්‍රමසිංහ මහතාට බාර දෙයි. ඒ වාර්තාව රජය පිළිගනියි. රජයේ මැදිහත්වීමෙන් දුම්කොල සංස්ථාව බිහිවෙයි. දුම්කොල සංස්ථාව ජනතා බීඩි නිෂ්පාදනය  ආරම්භ කරයි. ඒ සමගින්ම තාත්තා සිය බීඩි ව්‍යාපාරය නවත්වා දමයි.


”එස් ඒ වික‍්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරිපත් කළ වාර්තාව ලිව්වෙ මමයි කියල කදරුත් දන්නෙ නැහැ” තාත්තා කියයි.


දුම්කොළ සංස්තාව බිහිකරන්නට තුඩු දුන් වාර්තාව කොමියුනිස්ට් පක්ෂයට බාරෙදෙන විට එයින් තම ව්‍යාපාරයට පහරක් වැදෙන බව තාත්තා හොඳීන් දැන සිටියේය. එසේ වුවද එය තමාගෙන් රටට සිදුවන යුතුකමක් යයි ඔහු තරයේ සිතන්නට ඇත.


අනෙක් අතින් කොමියුනිස්ට්කාරයෙකුට ව්‍යාපාරිකයකු ලෙස පැවතෙන්නට නොහැකියයි ඔහු පසක් කරගත්තා විය හැකිය.


අදින් වසර 35 කට පමණ පෙර තාත්තා විශ‍්‍රාම ගියේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමණාකරුවකු ලෙසය.


අදත් ඔහු අභිමානයෙන් හිස කෙළින් තබාගෙන ජීවත් වන අදීන මිනිසෙක්.

Saturday, April 16, 2016

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?  


මේ බ්ලොග් එකේ කලින් කියාගෙන ආව කතා කීපය තාත්තා ගැන තව තවත් දේ කල්පනා කරන්න මාව පෙළඹුවා. මං කලින් කිව්වා එක කාලෙක අපේ තාත්තා සාර්ථක ව්‍යාපාරිකයකුව සිටිය බව. තාත්තා වයාපාරිකයකු වුණ කතාවත් ස්වකැමැත්තෙන් ඒ ව්‍යාපාරයෙන් අයින් වුණ කතාවත් කොතනින් පටන් අරන් කොහොම ලියන්නද මන්දා.

මගේ ඇස්තමේන්තුව නිවැරදි නම් කුලියාපිටියෙ උපනගරාධිපතිගෙ ලොකු පුතා වෙච්ච අපේ තාත්තා කොළඹ විශ්ව විද්‍යාලයට එන්නෙ 40 දශකයෙ අග හරියෙ. ඉගෙන ගන්න දස්සසා. ඉංග‍්‍රීසි වතුර වගේ කතා කරන්න පුලූවන්. කොළඹ ඇවිත් නවතින්නෙ නුගේගොඩ නෑදෑ ගෙදරක. ?ට කෑම කන්න ගියේ ළඟ පාත තිබුණ ගෙදරකට. ඒ ගෙදර තමයි අපේ අම්ම වෙන්න නියමිතව හිටිය කෙල්ල හිටියෙ. කෑම කන්න දිනපතා මේ ගෙදරට ගිය අපේ තාත්තා තරුණයා මේ කෙල්ල එක්ක හාද වෙනවා. තරුණිය හිටියෙ හොඳ ආර්ථික තත්වයක නෙවෙයි. චිත‍්‍රශිල්පියෙක්ව හිටිය ඇගේ පියා හදිසියෙම මිය යනවා. ඒ නිසාම වගේ මේ පවුලේ බර කරට ගන්නට අපේ තාත්තා තරුණයාට සිදුවෙනවා.

මේ හිතුවක්කාර විවාහයට තාත්තගෙ පාර්ශවය දැඩි සේ විරුද්ධ වෙනවා.

මේක හරිම පුදුම ලෝකයකි. සීයා කුලියාපිටියට යන්න වුණේ හිතුවක්කාරෙට ආච්චිව කසාද බැඳගැනීම නිසයි. ඒ ගමන නිසා නුගේගොඩ සීයගෙ තාත්තට අයිතිවෙලා තිබුණ විශාල ඉඩ කඩම් යායම සීයට අහිමි වෙනවා. සීයගෙ තාත්තා ඒ දේපළ සියල්ලම සීයගෙ මල්ලිට ලියනවා. ආදරේ නාමයෙන් ඒ වස්තු සම්පත් අතඇරපු සීයලා තමන්ගෙ පුතාගෙ විවාහටය විරුද්ධ වෙනවා.

තාත්තා ගුරුපත්වීමක් ලබාගෙන සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට උගන්නන්න යනවා තමන්ගෙ බිරිඳත් සමගින්. ඔහු දක්ෂ ගුරුවරයෙක්.

සඳලංකාවෙදි සහෝදර ගුරුවරයෙකුට යම් අසාධාරණයක් වෙනවා. තාත්තා මිත‍්‍රයා වෙනුවෙන් ඉස්කෝලෙ ස්ට‍්‍රයික් එකක් මෙහෙයවනවා. ඒ නිසාම තාත්තගෙ වැඩ තහනම් වෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් තියනවා.

”ඉන්ක්වයාරි එකට මං වෙනුවෙන් සාක්කි දෙන්න මගේ යාලූවාවත් ආවෙ නැහැ පුතා” තාත්තා තාම කියනවා ”යාලූවො මත්තෙ ජීවත් වෙන්න එපා.. අවශ්‍ය වෙලාවෙදි ඒ අය ළඟට එන්නෙ නැහැ... හැමෝම ආත්මාර්ථකාමීයි”

රස්සාව අහිමි වෙච්ච එදිරිසිංහ තරුණයා නැවත නුගේගොඩටම එනවා. බිරිඳගෙ පැත්තෙන් ලැබුණ ඉඩම් කෑල්ලක තමන්ගෙම මහන්සියෙන් කටු මැටි ගෙයක් හදනවා. මේ කාලෙ වෙනකොට පවුලට පුංචි දියණියකත් එකතුවෙලා.  ජීවත්වෙන්න ආදායමක් අවශ්‍යයි. ඔහු පොල් ගෝනියක් අරගෙන මහරගම පොළට යනවා. ලාබයක් තියාගෙන පොල් විකුණනවා.

”මහරගම පොලේ ඉංග‍්‍රීසියෙන් කෑ ගහලා පොල් වික්ක එකම මිනිහා මමයි” තාත්තා අදත් ආඩම්බරයෙන් කියනවා. මේ උත්සාහවන්ත මිනිහා එතනින් නවතින්නෙ නැහැ.

පිටකොටුවෙ එක්තරා පාරක් තිබුණා දෙමළ බීඩි සුරුට්ටු ව්‍යාපාරිකයන් අරක්ගත්ත. එදිරිසිංහ තරුණයා උදෙන්ම ගිහින් මේ පාරෙ තැන් තැන් වලට වෙලා ඉන්නවා. බීඩි සුරුට්ටු ඔතන හැටි බලා ඉන්නවා. ගෙදර ඇවිත් මේ වැඬේ කරන්න උත්සාහ කරනවා. (මේ කියන කාලෙ බීඩි වලින් සුරුට්ටු සිගරට් වලින් පිළිකා හැදෙන බවක් කවුරුත් දැනගෙන හිටියෙ නැහැ* මාස ගාණක් උත්සාහ කරලා වැඬේ අල්ලා ගන්නවා. ඉන්දියාවෙන් ලංකාවට බීඩි කොල ගෙන්නන්න පර්මිට් එකක් කොහොම හරි ඔහු ලබා ගන්නවා. ඒත් ඒ බඩු ගේන්න විශාල සල්ලියක්  ඕනෙ. තාත්තා ළඟ සල්ලි නැහැ.


”මගේ බීඩි කොල නැවක් ළබන මාසෙ එනවා. කැමති නම් ඇඞ්වාන්ස් එකක් දීලා වෙන් කරගන්න” තාත්තා දෙමළ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට කියනවා. මේ කාලයේ බීඩි කොල හිඟයක් තිබුණෙ. හැමෝම ඉදිරිපත්වෙනවා මේ බීඩි කොල තොගය ගන්න. ඒ අය දුන්න ඇඞ්වාන්ස් එකෙන්ම තාත්තා ඉන්දියාවෙන් බීඩි කොල ගේනවා. ”බියුටි බීඩි” නමින් ඇරඹුණ ව්‍යාපාරය බලා හිටිද්දි නැගලා යනවා. තාත්තාගෙ අත මිට සරු වෙනවා.


”ඒ කාලෙ බීඩි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම තිබුණෙ දෙමළ මිනිස්සු අතේ.. මායි මරවනාගොඩයි විතරයි සිංහල මිනිස්සුන්ට හිටියෙ” තාත්තා කියනවා.


ඔය අතරේ දවසක් තාත්තාගෙ තාත්තා - අපේ සීයා - නුගේගොඩ මිරිහානෙ තාත්තගෙ ගෙදරට එනවා. සීයගෙ ඇස් වල කඳුළු. ඔහු කතා නැතුව තාත්තා දිහා බලා ඉන්නවා.


”විකී මං උඹට මෙච්චර ඉහළට ඉගැන්නුවෙ බිස්නස්කාරයක් කරන්න නෙවෙයි” සීයා කඳුළු අතරින්ම කියනවා. මේ කතාව තාත්තගෙ හදවතේ පතුළටම වැදෙනවා. ඔහු තීරණයක් ගන්නවා.


ඉතිරි හරිය පසුව කියන්නම්

Wednesday, April 13, 2016

මහින්ද මහත්තයා ආ දා

මහින්ද මහත්තයා ආ දා


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපට ආගන්තුක පක්ෂයක් නෙවෙයි. අපේ සීයා - ඒ කිව්වෙ තාත්තගෙ තාත්තා - එස් බඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහත්තය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන්න ක‍්‍රයා කළ පුරෝගාමී ශ‍්‍රී ලංකා කාරයෙක්. කුලියාපිටියේ උප නගරාධිපති වෙලා හිටිය සීයා - ෆ‍්‍රැන්සිස් පී ජේ එදිරිසිංහ - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් සාමාජිකයන් පහළොස්දෙනාගෙන් කෙනෙක්. ඒ පක්ෂය පිහිටුවපු දා බණ්ඩාරනායක මහත්තය එක්ක ඒ පහළොස්දෙනා එකට ඉඳලා ගත්ත ඡුායාරූපයක් කුලියාපිටියේ තාත්තාගේ මහගෙදර තිබුණා. තවමත් තියෙනවද දන්නෙ නැහැ.


ඒත් අපේ තාත්තා තරුණ වියට එළැඹෙත්ම ඇදී ගිහින් තිබුණෙ එස් ඒ වික‍්‍රමසිංහ මහත්තයගෙ කොමියුනිස්ට් පක්ෂයටයි. ජාතික ඉතිරිකිරීමේ සේවයේ ව්‍යාප්ති නිලධාරියකු ලෙස ලංකාවේ එක් එක් පළාත්වල කච්චේරි වලට මාරු වෙච්ච තාත්තා හම්බන්තොට කච්චේරියේ සේවය කරන කාලෙ තමයි මං හිතන්නෙ එස් ඒ වික‍්‍රමසිංහ අඳුනාගන්නෙත් කොමියුනිස්ට් පක්ෂයට සමීප වෙන්නෙත්.  (ඔය කාලෙම තමයි මං, හුංගම තාත්තා පදිංචි වෙලා හිටිය ගෙදරදි ත්, මල්ලි මාතර රෝහලේදි ත් උපත ලබන්නෙ. මේ කියන කාලෙ අපි හිටියෙ හුංගම බටඅත කියන වල් අලි හිටිය කැලෑවට මුහුණ දාලා තිබුණ කොළඹ කතරගම පාරෙ ගෙදරක. ඒ කතාව පස්සෙ ලියන්නම්)


තාත්තා කාලෙකට පස්සෙ ගමට - නුගේගොඩට - ස්ථිර පදිංචියට ආවා. ඒ කාලෙ එයා බොහාම ක‍්‍රියාකාරී ලෙස දේශපාලනයේ යෙදුණා. මට මතකයි තාත්තගෙ ”මෝටගසි” මොා්ටසයිකලයේ රතු කොඩියක් ගහගෙන අපේ ලයනල් මාමා එක්ක කොමියුනිස්ට් පක්ෂයේ මැයි පෙළපාලිවල ගිය හැටි. ඒ උද්‍යෝගිමත් කොමියුනිස්ට්කාරයා ටික කාලෙකට පස්සෙ ඒ දේශපානයෙන් අයින් වුණා. හේතුවක් මං දන්නෙ නැහැ. මං ඇහුවෙත් නැහැ. ඊළඟ පාර ලංකාවට ගියාම තාත්තගෙන් ඒ ගැන අහන්න  ඕනෙ.


දේශපාලනයෙන් අයින් වෙලා හිටියත් තාත්තා වාමාංශික දේශපාලන ව්‍යාපාර වලට හැකි පමණින් උපකාර කළ බව මට මතකයි. ජවිපෙ ප‍්‍රභල සාමාජිකයකුව සිටි, ඒ නිසාම දේපළ පවා අහිමි කරගත්ත, පසු කලෙක ජවිපෙ අතින්ම වෙඩි කා මිය ගිය දේව බණ්ඩාර සේනාරත්න 77 මැතිවරණයෙදි පළමු වතාවට කෝට්ටෙ ඡුන්ද කොට්ඨාශයෙන් (?* ඡුන්දයකට ඉදිරිපත් වෙච්ච වෙලාවෙ ඔහුට තාත්තා මුදලින් ආධාර කළ බව මට මතකයි.


අසූව දශකයේ මුල එක්තරා දවසක ලයනල් සරත් මාමා අපේ මහගෙදරට ගොඩ වුණා. ගෙදර හිටියෙ තාත්තයි මායි විතරයි. ලයනල් සරත් මාමා එක්කම තවත් උස මහත තරුණයෙක් ගෙට ගොඩ වුණා. ඔහු මහින්ද රාජපක්ෂ. විපක්ෂයේ ජනප‍්‍රියම දේශපාලනඥයා.


සාලෙ වාඩි වෙලා ආගිය කතා වලින් පස්සෙ ලයනල් සරත් මාමා ආව කාරණේට බැස්සා.


”විකී අපි පත්තරයක් පටන් ගන්න යනවා. අරමුණ මහින්ද මහත්තයගෙ දේශපාලන වයාපාරයට සහයෝගයක් දෙන එක. විකීට පුලූවන්ද මේකට මුදලක් දාන්න?”


තාත්තා හරි උත්තරයක් දුන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් මේ කාලය වන විට තාත්තට දේශපාලනය තිත්ත වෙලා තිබුණෙ. අනෙක් අතින් මේ නාලය වෙනකොට තාත්තගෙ ව්‍යාපාර සේරම නැවතිලා තිබුණෙ. මතුපිටින් ලොකු කමට පේන්න හිටියට මේ කාලෙ අපට තිබුණ එකම ආදායම තාත්තගෙ පඩිය විතරයි.


මහින්ද මහත්තයා අර සුපුරුදු ආකර්ශනීය සිනාවෙන් බලා හිටියා තාත්තගෙන් උත්තරයක් එනතෙක්.


”මං ටිකක් කල්පනා කරලා කියන්නම් සරත්” තාත්තා කිව්වා.


ලයනල් සරත් මාමා ඒ ගැන නැවත තාත්තගෙන් ඇහුවෙ නැහැ. මං හිතන්නෙ එහෙම පත්තරයක් පටන් ගැනුණෙත් නැහැ.


ඒත් අපේ තාත්තා තාමත් මහින්ද මහත්තයට ආදරෙයි.


”තමන්ට පත්තරයක් ගහගන්න තරම් වත්කම්ක් නොතිබුණ මහින්ද මහත්තය අද කෝටි ප‍්‍රකෝටිපතියෙක් වුණේ කොහොමද තාත්තෙ?” කියලා මං පහුගියදාක තාත්තගෙන් ඇහුවා.


”ඒ මිනිහ මගෙන් සල්ලි ඉල්ලූව එකක් නැහැ” තාත්තා කිව්වා.


”ඇයි නැත්තෙ? මාත් එතන හිටියනෙ තාත්තෙ” මං කිව්වා. තාත්ත නිශ්ෂබ්ද වුණා.


අපේ ප‍්‍රශ්න වලට උත්තර හොයනවට වඩා මහින්ද මහත්තයට ආදරේ කරමින් ඉන්න එක සහනයක් කියලා තාත්තා හිතනවා ඇති. බරපතල කොමියුනිස්ට්කාරයෙක් වෙලා හිටිය අපේ තාත්තාත් මහින්ද මහත්තයගෙ වරදක් දකින්න අකැමැති නම් මහින්ද මහත්තයට බඩ බැඳගෙන ආදරේ කරගෙන ඉන්න හැමෝම එහෙම වෙන එක පුදුමයක් නැහැ.

ලංකාවේ පළමුවන විකල්ප පුවත්පත

ලංකාවේ පළමුවන විකල්ප පුවත්පත


ලංකාවෙ පළමුවෙනි විකල්ප පත්තරය හැටියට මගේ මතකයට එන්නෙ 65- 70 යූඑන්පී ආණ්ඩුව කාලෙ පළවෙච්ච බජරි හටන පත්තරයයි. කාටවත් මේ පත්තරය මතක නැතුව ඇති. ඒත් විශේෂ කාරණයක් නිසා මට ඒ පත්තරය මතකයි.

මේ පත්තරයෙ සංස්කාරකවරයා වුණේ ලයනල් සරත් නමින් ලේඛණයේ යෙදුණ ලයනල් සරත් එදිරිසිංහ. ඔහු අපේ ආච්චිගෙ පැත්තෙන් අපේ මාමා කෙනෙක් වුණා.  (අපේ සීයාත් ආච්චිත් දෙන්නම ජේ එදිරිසිංහ ලා. සීයා ජෙරොනිමස් එදිරිසිංහ පරම්පරාවෙ ආච්චි ජෝරිස් එදිරිසිංහ පරම්පරාවෙ. දෙන්නගෙම ගම නුගේගොඩ. පහුකාලෙක සමහරු මේ ”ජේ” කෑල්ල අතඇරලා දැම්මා. ජේ කෑල්ල තියෙන අන්තිම පරම්පරාව අපි. ඔය ජේ කෑල්ල නිසා ඉස්කෝලෙ කාලෙදි වෙච්ච අලකලංචි මතක්වෙන නිසා මගේ දරුවන්ට ජේ කෑල්ල නොදමන්න මම තීරණය කළා) ලයනල් සරත් මාමා ප‍්‍රසිද්ධ වාමාංශිකයෙක්. සමසමාජ කාරයෙක්. අපේ තාත්තා හිටියෙ කොමියුනිස්ට් පක්ෂයට ලැදිව.

වෘත්තියෙන් ගුරුවරයකු වුණ ලයනල් සරත් වාමාංශික ක්‍‍්‍රියාකාරිකයකුවීම නිසා යූඑන්පී රජයෙන් විශාල ලෙස බැට කෑවා. ඔහුව වරින් වර ඉතාම අසාධාරණ අන්දමින් දුෂ්කර ප‍්‍රදේශ වලට මාරු කර යැව්වා. මේ නිසාම යූඑන්පිය කෙරහි ඔහුගෙ සිතේ තිබුණ තද බල විරසකයක්. ඔහු බජරි හටන පත්තරේ පටන් ගන්නෙ මේ කාලෙ තමයි. මේ කියන කාලයේ අපේ තාත්තට යහමින් මුදල් හදල් තිබුණා. ඒ නිසාම බජරි හටන පත්තරයට තාත්තාත් මුදල් ආයෝජනය කලා. ආයෝජනයක් කීවාට ප‍්‍රතිලාභයක් බලාගෙන කළ දෙයක් නෙවෙයි.

බජරි හටන පත්තරේ හෙඞ්පීස් එක ළඟින්ම කවියක් තිබුණා.


බජරි හටන අපි දිගටම ගෙනියනවා
බජරි පාටියේ ලොක්කා රට කවා


තවත් පද දෙකක් තිබුණා. දැන් මතක නැහැ. යූඑන්පියට ඒ කාලෙ බජරි පාටිය කියලා කිව්වා.. මිනිස්සුන්ට ආහාර හිඟයට බජරි වැනි ධාන්‍ය වර්ග වලට යොමුකෙරෙන යම් බලපෑමක් තිබුණ නිසා කියලයි මගේ මතකය..

මට මතක හැටියට ජනප‍්‍රිය සිංහල සින්දු වලට වෙත් වචන යොදා හාස්‍යෝත්පාදක සින්දු නිර්මාණයේ පුරෝගාමී සේවය කළෙත් බජරි හටන තමයි. සීටී ප‍්‍රනාන්දුගෙ ඒ  කාලෙ ජනප‍්‍රිය ගීතයක් වෙච්ච ”පියුමෙහි පැණි බොති වන බමරු” ගීතයට අනුව හදලා පත්තේර් පළවෙලාතිබ්බ ගීතයක් මෙහෙමයි


පියුමෙයි පැණි බොති වන බමරු
මල මත නොරඳති කලූ දෙබරු
කාටත් පෙන්නූ දවල් තරු
බජරි ආණ්ඩුව මරේ මරු

බඩගිනි හැදුනට බත්ම නොකව්
හාල්පොත් සේරම අපට දියව්
අපි රට කන හැටි බලා සිටිව්
තොපටත් හැකි නම් එලෙස කරව්


මගේ මතකයට එන්නේ එපමණයි.


බජරි හටන අවුරුද්දක් විතර ගිහින් නැවතුණා. සිරිමා බන්ඩාරනායක 70 දි දින්නට පස්සෙ මං හිතන්නෙ. ලයනල් සරත් මාමා ලූම්බිණියෙ විදුහල්පති වුණා. ඔහු විශා‍්‍රම ගියෙත් එහිදිමයි.

මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ළඟම හිතවතෙක් වෙලා හිටිය ඔහුව මහින්ද ජනාධිපති වුණාට පස්සෙ උපදේශකවරයෙක් ලෙස පත්කරගත්තා. අර හැට හුටහමාරක් උපදේශකවරුන් අතරින් කෙනෙක්.මිය යන විටත් ඔහු හිටියෙ එම තනතුරේ.

බජරි හටන නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තය වතාවක් අපේ මහගෙදරට එන්නේ. ඒ අසූව දශකයෙදි. ඒ කතාව පස්සෙ කියන්නම්.

Wednesday, April 6, 2016

සම්මාන ගැන කතාවක්

සම්මාන ගැන කතාව ආයෙම ඔලූවට ආවෙ නෙලූම්යාය සම්මාන ගැන සයිබරයේ ඇතිවෙච්ච උනන්දුව නිසාමයි. මහන්සි නොබලා සයිබර් බිත්තියේ අදහස් කොටන සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන දීම වැදගත් දෙයක් හැටියට මම සළකනවා. විශේෂයෙන් පුරෝගාමී සිංහල බ්ලොග් රචකයන් වන රසික සූරියආරච්චිත් නාලක ගුණවර්ධනත් සම්මානයෙන් අගැයීම ගැන අපටත් සතුටුයි. පිදිය යුත්තෝ පිදුම් ලැබියයුත්තෝ ය.

ඒ කොහොම වුණත් සම්මානවලට අපේ සිත් තුළ තියෙන මහා ආශාව (කෑදරකම කියන වචනය නොලියා ඉන්න හිතුවා) ආයෙම වතාවක් පෙනුණා මේ සම්මාන ගැන වන කතා බස් වලින්.

කවුරු මොන පොර ටෝක් දුන්නත් හැමෝම වගේ සම්මාන වලට කැමතියි. ඒකනෙ විදේශ ගත වෙලා ඉන්න අපේ සිංහල බ්ලොග් රචකයන් තකහනියෙම ටිකට්ස් බුක් කරගෙන ලංකාවට සැපත්වෙන්නෙ සම්මානය ගන්න. නෑ නෑ... වරදවා වටහාගන්න එපා.. මං මේ ඒ ගමනේ වැරැුද්දක් කියනවා හෙම නෙවෙයි. අතට වැටුණ සම්මානය නොගෙන ඉන්නෙ මොන එකකටද?

සම්මාන ගැන මගේ අත්දැකීම අප‍්‍රසන්නයි. 2010 අවුරුද්දෙ ගොඩගේ සම්මාන උළෙලේදි මගේ ”රාජාලි පියාපත” කවිපොත අවසන් පොත් පහ අතරට තේරෙනවා. ඒක හිතට සතුටක් ගෙනාවා. කවුරු හරි අපි ලියන දේ ගැන අවධානයක් යොමු කර තියෙනවා කියන කාරණය නිසා. ඒත් අන්තිමේ වුණේ පොළොව පළාගෙන ගිහින් හැංගෙන්ඩ තරම් ලජ්ජාවක් ඇති කළ දෙයක්. අවසාන විනිශ්චයෙදි එක කවි පොතකටවත් සම්මාන නැහැ. ”මේ කිසිදු කවි පොතක් සම්මානයට සුදුසු නැත” ඒක තමයි විනිශ්චය. සම්මානටය සුදුසු නැති කවි පොත් පහක් අන්තිම වටයට තෝරාගත්තෙ මොන රෙද්දටද එහෙනම්. සම්මාන පිළිබඳ මගේ හිතේ තිබුණ ආසාව - තෘෂ්ණාව - එදා මම අයින් කරගත්තා. සම්මානයක් ලැබුණොත් බෝනස් - නොලැබුණත් කමක් නැහැ කියන තැනට මං ආවා. එහෙම ඉන්න එක ලේසියි.

එයින් පස්සේ මගේ ”පිනි” නවකතාව දයාවංශ ජයකොඩි වාර්ශික නවකතා තරගයෙදි හොඳම නවකතාව කියලා තෝරාගෙන තිබුණා. උන්හිටි ගමන් ලංකාවට යන්න මගේ අතේ සල්ලියක් නැහැ. ට‍්‍රැවල් ඒජන්සියක් කරන හිතවතෙක් ටිකට් එකක් දුන්නා ”ගිහින් වරෙන්” කියලා. මං ගියා.

”මං පොතක් ලියාගෙන යනවා විජේවර්ධන සම්මානෙට තියන්න හිතාගෙන” අභාවප‍්‍රාප්ත වියත් සුප‍්‍රකට දැවැන්ත පෞරුෂයක් තිබුණ කලාකරුවකු වරක් මා සමග කිව්වා. ඔහුට විජේවර්ධන සම්මානය ලැබෙන බවට ලොකු විශ්වාසයක් ඔහුගෙ හිතේ තිබුණා. ඒත් ලැබුණෙ නැහැ. ඒ කතාවම මගේ හද බැඳ ගත්ත - මගේ හිතවතකු වන අතිදක්ෂ තරුණ (?) ලේඛකයකුත් කිව්වා. ඔහුගේ පොත පිළිබඳ ලොකු කතා බහක් සමාජයේ ගියත් සම්මානය ලැබුණෙ නැහැ. සම්මාන දිහා බලාගෙන පොත් ලියන එක ගැන මගේ හිතේ තියෙන්නෙ විසාල අපැහැදීමක්. එහෙම ලියන්නෙ කොහොමද කියලා මං දන්නෙ නැහැ. ප‍්‍රවීණයන් වියතුන් අති දක්ෂයන් සම්මාන ගැන මේ තරම් ලොල් වෙන්න  ඕනෙ නැහැ කියන එකයි මගේ අදහස. මං අර කලින් කිව්වා වගේ ලැබුණොත් බෝනස්- නැත්නම් ඒත් කමක් නැහැ කියලා හිටියා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.