Tuesday, January 17, 2017

ලොක්කන්ගේ පොඩි වැඩ

මේ සටහන කවදාක හෝ කොතැනක හෝ ලියා තබන්නට මට අවශ්‍යව තිබූ සටහනකි. ජීවිතය දෙස ආපසු හැරී බලන විට මේ සිදුවීම් කීපය නොමැකෙන ලෙස සිතේ ඇඳී ඇත්තේ එක විට දැනෙන කළකිරීමක් සහ සතුටක්ද සමගින් ය.


මේ 1996 වසරයි.


පිටරටක අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබීම රජයේ ආයතන වල සේවය කළ අපට විශාල සිහිනයක් වූ බව නොරහසකි. සමහර ආයතන වල එකම නිලධාරීන් පිරිසක් වරින් වර මේ වරප‍්‍රසාදය ලබා ගනිද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ඉහළ නිළධාරීන් ඉතා වැදගත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඔවුනට ගෞරවයක් ලෙස සටහන් කළ යුතුය. විදේශ වාරිකාවක අවස්ථාවක් ලැබුණ විට සැම විටකම මෙයට පෙර විදෙස්ගත නොවූ නිලධාරීන් තෝරා ගැනීම ඒ පිළිවෙතයි.


මේ කියන අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ කම්කරු ආයතනය (ILO - International Labour Organization)  ඉතාලියේ තුන් මස් නේවාසික පාඨමාලාවක් සඳහා යාන්ත‍්‍රික ඉංජිනේරුවන් දෙදෙනකුට අවස්ථාව ලබාදීම සඳහා මාසංඅධිකාරියේ යාන්ත‍්‍රික අංශයෙන් නාමයෝජනා  කැඳවා තිබුණි. අපේ අංශය විසින් පවත්වාගෙන යනු ලබන ලැයිස්තුවට අනුව අපේ සල්ගාදු සහ මා මේ සඳහා තෝරා ගැනුණි. අපේ නම් දෙක අනුමැතිය සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් වෙත යවනු ලැබිණි.


දවස් සති ගණන් ගතවෙයි. දැන් වීසා ලබා ගත යුතු අවසන් දවස් ද ළං ළං වෙයි. තවමත් ලිපි ගොණුව ලේකම් ළඟය.  ඔහු හිතා මතාම අත්සන් කිරීම පමා කරයි. ඔහුගේ කාර්යාලයේ සේවය කළ ලිපිකාරිණියක අපට මේ බව තහවුරු කළා ය. ”සෙකටි‍්‍ර චෙයාමන් එක්ක හිත යටින් තරහයි.. ඒකයි හේතුව”


”මේක හරියන්නෙ නැහැ එදිරි.. අපි යමු ලේකම් ළඟට” සල්ගාදු අවසන් දවසේ උෑදෑසන කීවේ ය. එදා වීසා ගන්නට නොලැබුණොත් මේ ගමන යන්නට ඉඩක් නැත. අදාල දවසේ සවස 4ට පෙර අදාල ලිපි ලදහොත් එදිනම වීසා ලබා දීමට හැකි බව තානාපති කාර්යාලයේ කාරුණික නිලධාරියා කියා තිබුණි.


අපි සෙත්සිරිපායේම පිහිටි ලේකම්ගේ කාර්යායට ගොඩ වැදුනෙමු. ඒ ගරු ගාම්භීර නිලධාරියාට කාරණය කිව්වෙමු. ඔහු මේසය මත වූ ලිපි ගොණු අතරින් අපේ ලිපිගොණුව අතට ගත්තේ නොසැළකිළිමත් ලෙසටය.


”තමුසෙල පැනගෙන ලෑස්තිවුණාට මෙහෙම පිටරට යවන්ඩ කොහෙද අයිසෙ ආණ්ඩුවට සල්ලි තියෙන්නෙ?” ඔහු ගොරහැඩි ලෙස කීවේ ය. ”මට මේකට අනුමැතිය දෙන්ඩ බැහැ”


අපි ආපසු ආවෙමු.


”වෙයාමන්ට කියමු” ඒ අපේ අවසාන උත්සාහයයි.


අපි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිගේ කාර්යාලයට ගියෙමු. එවකට සභාපතිවරයා එම් බී එස් ප‍්‍රනාන්දු මහතා විය. ඔහු දක්ෂ නිලධාරියෙකි. වැඩ නොකරන්නට නොව වැඩ කරන්නට හැකි ආකාරය නිතරම සොයා බලන නිලධාරියකු විය.


”ආයතන සංග‍්‍රහයේ මොකක් තිබුණත් ආයතනයේ යහපත වෙනුවන් ඔබ ගත් තීරණයක් වැරදී ගියොත් මම ඔබ ආරක්ෂා කරනවා.. ඒ නිසා බය නැතිව වැඩ කරන්න” වරක් ඉංජිනේරුවන් වෙනුවෙන් පැවැත්වුණ රැස්වීමකදී ඔහු කී හැටි මට මතකය. ඒ සහතිකය පිළිබඳ සැකයක් ඇති කර ගත යුතු නැත. ඔහු ජනාධිපති පේ‍්‍රමදාසගේ කාලයේ සිටම ශක්තිමත් ලෙස සේවය කළ නිලධාරියෙකි.


”අපට අවශ්‍ය මේ වගේ ඉංජිනේරුවන්” යනුවෙන් පේ‍්‍රමදාස මහතාගෙන්ද බව්තීස්මය ලබා තිබුනි. ඒ කාලයේත් අපේ ආයතනයේ සභාපති ඔහු ය.


ඒකත් අපූරු කතාවකි.


පල්ලෙකැලේ ගම් උදාව සඳහා මහනුවර රෝහල අසලින් අලූත් පාරක් තැනුණි. ගම් උදාවට දින දෙකක් තිබියදී පාරේ වැඩ සියල්ල අවසන්ව තිබුණත් රෝහළ අසළ මඩ ගොහොරුවක් නිසා පාර එතැන නිසි ලෙස සකසන්නට නොහැකි විය. කෙසේ හෝ පාර දින දෙකකින් අවසන් කළ යුතු විය. මඩ ගොහොරුව යටින් උනන උල්දිය නිසා ඉංජිනේරුවන් මුහුණ දී සිටියේ බරපතළ ප‍්‍රශ්නයකටය. පාලමක් වැනි බරසාර වැඩක් කරන්නට වේලාවක් ද නැත. අනෙක් පැත්තෙන් පේ‍්‍රමදාස මහතා අසූ හාරදාහට කේන්තියෙනි. වෙනත් කරන්නට දෙයක් නැති තැන ලොරි ගණනාවක් අමු සිමෙන්ති මඩ ගොහොරුව මත දමා ඒ මතින් පාර සකස් කෙරුණි. වියදම මොකක්ද? පාරේ වැඩ අවසන් ය.


පේ‍්‍රමදාස මහතාට හරිම සතුටුය. ”අපට අවශ්‍ය මේ වගේ ඉංජිනේරුවන්” යය් ඔහු සභාපතිතුමාට බෞතීස්මය ලබා දුන්නේ එදා ය.


අපි දැන් සභාපතිවරයාගේ  කාර්යාලයේ ය. ඔහු බර වැඩකය. එහෙත් එය නවතා අපට සවන් දුන්නේ ය.


”එහෙම කොහොමද..? අපිට සල්ලි තියෙන නිසානෙ අපි දෙන්නෙක් නොමිනේට් කෙරුවෙ.. මම දැන් ඇමතිතුමා හමුවෙන්න යනවා.. ඔයාල සෙකටි‍්‍රගෙන් ෆයිල් එක ඉල්ලගෙන ඇමතිතුමාගෙ ඔෆිස් එකට එන්න” ඔහු කීවේ ය.


අපි ආපසු ලේකම්වරයා වෙත ගොස් ලිපි ගොණුව ඉල්ලාගතිමු. අපට ලිපිගොණුව දෙන්නට පෙර ඔහු ”ප‍්‍රතිපාදන නැත.... අනුමැතිය දිය නොහැකිය” කියා අත්සන් කර අවසන් ඇණයද ගැසුවේ ය.


අපි ලිපිගොණුවද සමගින් පිම්මේ ඇමතිකාර්යාලයට ගියෙමු. එවකට මහාමාර්ග ඇමතිවරයා ඒ එච් එම් ෆවුසි මහතා විය.


ඇමතිවරයාගේ කාර්යාලය මීමැසි පොදියක් මෙන් මිනිසුන්ගෙන් පිරී තිබුණි. අපි මිදුලේ කෙළවරක වූ පෝලිමේ අගිස්සට එක්වුණෙමු. කාලය වේගයෙන් ගතවෙයි.


”සර්ල මොකද මේ පෝලිමට වෙලා..?” ප‍්‍රශ්නය නැගුවේ කොහේ දෝ සිට පාත් වූ අමාත්‍යාංශයට නිදහස් කර සිටි අධිකාරියේ රියැදුරු මහත්වරු කීපදෙනෙකි. ඒ අය අතරින් පත්මසිරි මට තවමත් මතකය. ”මේ පෝලිම අද ඉවර වෙන්නෙ නෑ.. සර්ල මෙහෙන් එන්න”


අප යමක් කියන්නටත් පෙරම ඔහු ගොඩනැගිල්ලේ වෙනත් දොරකින් අප ඇතුළට ගෙන ගියේ ය. මුරකරුවන් සිටි දොර කපොලූ හතරක් පහක් ගිය තැන අප නොදැනුවත්වම නැවතුණේ ඇමතිවරයාගේ ගරු ගාම්භීර කාර්යාල කාමරය තුළ ය. එතුළ ද පනහක හැටක පිරිසකි. සභාපති එම්බීඑස් ප‍්‍රනාන්දු මහතා ඇමතිවරයාගේ මේසය අසළමය.


අප දුටු සැණින් ඔහු ළඟට එන ලෙස හිසින් සන් කළේ ය. අපි ඔහු අසළට ගියෙමු. ඔහු ලිපි ගොණුව අප අතින් ගත්තේ ය. ”අනුමැතිය නොදෙමි කියලයි සෙකටි‍්‍ර අත්සන් කළේ ” අපි කීවෙමු.


”ඒකට කමක් නැහැ”  සභාපතිවරයා කීවේ ය. ඔහු ඇමතිවරයා වෙත ගොස් ලිපිගොණුව ඇමතිවරයා අතට දුන්නේ ය. එය කියවා බැලූ ඇමතිවරයා හිස ඔසවා අප දෙස බැලූවේ ය.


”අනුමැතිය නොදෙමි කියලනෙ තියෙන්නෙ.. සල්ලි නැහැලූ නේද?”


”සර්... සල්ලි තියෙනවා සර්...  සල්ලි තියෙනවද නැද්ද කියල අපෙන් අහල බලල නේද ඔහොම මිනිට් එකක් ගහන්න  ඕනෙ.. අපි ගාව ඇති තරම් සල්ලි තියෙනව සර්.. "..........." ප්‍රොජෙක්ට් එකෙන් අපි මිලියන් 10 කට වැඩිය ඉතුරු කරලා තියෙනවා "...." ප්‍රොජකේට් එකෙන් මිලියන් විස්සකට වැඩියි” සභාපතිවරයා ලාභ ලද ව්‍යාපෘති ගණනාවක විස්තර කියයි. ”ඉතින් කොහොමද සල්ලි නැහැ කියන්නෙ.. අනික මේ ඉංජිනියර්ස්ල දෙන්නගෙ ටිකට්ස් වලට යන සල්ලි විතරයි අපට වියදම් වෙන්නෙ.. අනිත් වියදම් ILO එකෙන් දරන්නෙ”


මේ කතාවේ වඩාත්ම වැදගත් කතාව සභාපතිවරයා කීවේ ඉන් පසුවය. ඔහු ඉංග‍්‍රීසියෙන් කියූ වදන් මම මේ ලෙස සිංහලට හරවමි.


”ඒ සල්ලි මොකක් නැති වුණත් සර් මේ ස්කොල් එකට අපට දරන්න වෙන වියදම වගේ සිය දහස් ගාණක මුදලක් මේ ඉංජිනේරුවො රෑ  දවල් නොබලා වැඩ කරලා ආයතනයට ඉතිරි කරලා දීල තියෙනවා....  අපට යුතුකමක් තියෙනවා සර් මේ මිනිස්සුන්ට මේ අවස්ථාව දෙන්න”


ඇමතිවරයා සිනාසුණේ ය. ඔහු ලේකම්වරයාගේ සටහන යටින් මෙලෙස ලියා ලිපිගොණුව නැවත දුන්නේ ය.
”ප‍්‍රතිපාදන ඇත..  අනුමත කරමි”


ඊළඟ පැය බාගය ඇතුළත අපි නැවත මහාමාර්ග ලේකම්වරයා ඉදිරියේ පෙනී සිටියෙමු. ඇමතිවරයාගේ සටහන කියවා බැලූ ඔහු කරබාගෙන ”අනුමැතිය දෙමි” යි යටින් ලියා අත්සන් කළේ ය.


ඒ වන විට වේලාව සවස  පහ ය


පසු සටහන


අපට නියමිත වේලාවට වීසා ගන්නට නොහැකි විය. එසේ වුවද අප දෙදෙනාගේ නම් ඊළඟ වසරේ මැද ඉතාලියේම පැවැත්වෙන මිළඟ වැඩසටහනට ඇතුල් කර ඇති බවත් නැවත අනුමැතියක් අවශ්‍ය නැති බවත් අදාල ආයතනයෙන් පසුව දන්වා එවීය.


මම 1996 දෙසැම්බරයේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා අස්වී 1997 ජනවාරියේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණෙමි.


සල්ගාදු වෙනත් ඉංජිනේරුවරයෙකු සමගින් ඒ වසරේ මැද ඉතාලියට ගිය බව දැනගතිමි.


මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා අස්වූ පසු එම් බී එස් ප‍්‍රනාන්දු මහතා ගැන යමක් මට දැනගන්නට නොහැකි විය. මිනිසකුගේ දක්ෂතා අගයන්නට පැකිළෙන මේ කුහක සමාජයේ මගේ ජීවිතයට අමතක නොවන පැසසුමක් ප‍්‍රසිද්ධියේ කළ ඒ මහතාට මගේ ගෞරවය හිමිවෙයි.


ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වී වසර විස්සකට පසුවත් ඉතාලියට යාමේ සිහිනය මගේ සිතේ තවමත් හොල්මන් කරමින් තිබේ. මගේ අවශ්‍යතා ලැයිස්තුවේ ඒ අයිතමය ඇත්තේ ඉතා පහළින් ය.

9 comments:

  1. සර්ව බලධාරී සෙක්‍රටරි තුමාලා තවමත් ඉන්නවා මගේ හිතේ....වැඩක් කරන අයට තමයි ඔක්කොම ලෙඩ.

    ReplyDelete
    Replies
    1. මහන්සිවෙලා වැඩකරන මිනිස්සු කළකිරවන්නෙ ඒ අය තමය්

      Delete
  2. එක ඇත්ත නිලධාරීවාදයෙන් ඔලුව උදුම්මවා ගත් සැහෙන දෙනෙක් රාජ්‍ය සේවයේ තවමත් ඉන්නවා.වතාවක් පැරා කියලා තිබ්බා "අපි දේශපාලකයින්ට බනිනවා උන් දුෂිතයි කියලා.එත් ඇතැම් විට රජයේ නිලධාරිනුත් ඒ දේශපාලකයින් තරමට හෝ ඊටත් වැඩියෙන් දුෂිතයි" කියලා.

    ReplyDelete
  3. මිනිසකුගේ දක්ෂතා අගයන්නට පැකිළෙන මේ කුහක සමාජයේ මගේ ජීවිතයට අමතක නොවන පැසසුමක් ප‍්‍රසිද්ධියේ කළ ඒ මහතාට මගේ ගෞරවය හිමිවෙ /////// +++++++

    ReplyDelete
  4. //අනෙක් පැත්තෙන් පේ‍්‍රමදාස මහතා අසූ හාරදාහට කේන්තියෙනි. වෙනත් කරන්නට දෙයක් නැති තැන ලොරි ගණනාවක් අමු සිමෙන්ති මඩ ගොහොරුව මත දමා ඒ මතින් පාර සකස් කෙරුණි. වියදම මොකක්ද? පාරේ වැඩ අවසන් ය.
    //
    ප්‍රේමදාසගෙ හරක් වැඩ කියන්න ගියොත් ඉවරයක් නෑ...අම්මපා ජනාධිපති කෙනෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට ප්‍රේමදාස සියඹලා ගෙනාවෙම නැද්ද?

      Delete
  5. එම් බී එස් ප‍්‍රනාන්දු මහත්තය දකුණු පැත්තේ මාතර වෙනකන් හදපු අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා හිටිය මේ ලඟක් වෙනකන්ම

    ReplyDelete