Friday, July 21, 2017

ඞීබී සහ මම 6 - එකම ඉරණමක?

ඞීබී ගේ ජීවිතයේ සැඟවූ යමක් නොවී ය. ඒ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම ඔහු වරින් වර ලියූ චරිතාපදාන වල සඳහන්ව ඇත. සිය දිවි මග අකුරු බවට පෙරළමින් ඔහු අතින් ලියවුණ සැන්දෑවට පායන හිරු, පිතු හදක ඇත සිඟිති හිදැසක්, සැඳෑ  තරු එළියේ කිමිදෙන හිරු වැනි පොත් කොපමණ වාරයක් නම් මගේ ඇස් වලට කඳුලූ නංවන්නට ඇද්ද? ඒ චරිතයට මා සංවේදී වන්නට හේතු තිබුණි. අප දෙදෙනාම යමින් සිටියේ එකම ඉරණම්කාර ගමනක ය.


ඞීබී සිටියේ තනිවම ඇනෙක්සියකය. මා සිටියේද තනිව ඇනෙක්සියකය. අප දෙදෙනාටම දූවරුන් දෙදෙනෙකි. අප දෙදෙනාටම ඒ දූවරුන් උණුසුමට තුරුලූ කරගෙන නිදන්නට වාසනාව නොතිබුණි. මගේ දූවරුන් නිතර නිතර හමුවීමේ වාසනාව මට තිබුණි. ඒ වාසනාව ඩීබීට නොවී ය. දූවරුන් ළඟ නොසිටීමේ වේදනාට ඞීබී මහත් සේ වින්දේ ය. එ වේදනාව ඞීබී අකුරු වලට පෙරළන විට ඒ අකුරු කියවා මම රහසින් කඳුළු සැලූවෙමි. ඒ මට ඞීබීගේ වේදනාව දැනෙන නිසා ය. ඒ වේදනාවේ දිග පළල මා හොඳින් දන්නා නිසා ය.


2016 සැප් 23 - ඩීබී ගේ අවසන් පොත් එළිදැක්වීමේ දී ඩීබි සහ මම
ඒ කාලයේ අපේ කතාවේ තිබු එකම වැදගත් වෙනස අපේ වයස් මට්ටම පමණක් විය. ඒ නිසාම සිය වේදනාව පසෙක තබා ඔහු මගේ යහලූවන් අතේ මට පණිවුඩ එවුවේ ය.


”මට මේක ඒ මිනිහට කියන්න බෑ.. තමුසෙලාවත් ගිහින් කියනවකො ඔහොම ඉන්නෙ නැතුව මොකක් හරි පිලිවෙලක් වෙන්න කියල.. අන්තිමේ මට වෙච්ච දේ තමයි මිනිහටත් වෙන්නෙ” ඔහු කියා තිබුණේ එසේ ය.


”එවූ පණිවුඩය ලැබුණා.. ඒ ගැන හිතා බලන්නම්” මම ලියා යැවුවෙමි.


බුලීන්හි කිත්සිරි ගේ ඇනෙක්සියේ තනිවම සිටි කුරුප්පු මහතාගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් තිබුණි. දිවා කාලයේ නිවසේ සිටියේ කුරුප්පු මහතා පමණකි. එක් දිනක් ඔහු කාමරයේ වැටී නැගිටගන්නට බැරිව සිටියේ ය. දිනපතා ඔහුට දුරකතන ඇමතුමක් දෙන්නට පුරුදුව සිටි අපේ හිතවතකු වන ගාමිණී පැළෑඳ එදා දුරකතන ඇමතුම දෙන විට ඞීබී සිටියේ බිම ය. හොඳ වේලාවට දුරකතනය අත ළඟ තිබුණි. එදා ඞීබී ගාමිණීට කතා කළේ බිම වැටීගත්වනම ය. හිතේ තද කමට තමන් කතා කරන්නේ බිම සිට බව ඞීබී නොකීවේ ය. ඒ කාරණය හිතවතුන් දැනගත්තේ පසුව ය. තවදුරටත් ඞීබී තනිවම තැබිය නොහැකි බව තේරුම් ගත් හිතවත්තු (විශේෂයෙන් බන්දු දිසානායක - හිටපු මෙල්බන් කොන්සල්) ඞීබී වැඩිහිටි නිවාසයක පදිංචි කරවන්නට සමත් වූහ. ඞීබී එහි ගියේත් එහි සිටියේත් සතුටින් නොවේ.


වැඩිහිටි නිවාසයේ සිට ලියූ සිය ”සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු” පොතේ ඞීබී ලියූ අවසන් වගන්ති දෙක මෙසේ ය.

”මට තව ඉදිරියට ගමනක් නැත .
මට දැන් ඉතිරිව ඇත්තේ මගේ ජනේලයෙන් පෙනෙන දර්ශනය හා අතීතාවර්ජනය පමණි. දෙක ම මට මිහිරි ය”

”මිහිරි ය” කියන්නේ වේදනාව සඟවාගන්නට බව මම දනිමි.


එහෙත් සියල්ල ඉක්මණින් වෙනස් වෙයි. අප සැමගේ සිත් වලට මහත් සැනසීමක් ගෙනදෙෙමින් ඞීබී ගේ බාල දියණිය (ඞීබී ගේ වැඩිමල් දියණිය පදිංචිව සිටියේ ඇමරිකාවේ ය) නිවසක් මිලට ගෙන තාත්තා තමා ළඟට ගත්තා ය. ඞීබී එතැන් සිට ගත කළේ මහත් සැනසීමකින් සතුටකින් යුතු දිවියකි.


”චූටි පුතා” ළඟ ගෙවන දිවිය ගැන ඔහු  කතා කරන විට දීප්තිමත් වන ඔහුගේ ඇස් මට මතක ය.


ඔහු ජීවත්ව සිටියදීම මම මගේ ඉරණම වෙනස් කරගතිමි. ඩීබී තරම් ඒ ගැන සතුටු වූ පුද්ගලයකු නොසිටින්නට ඇත.


පසු සටහන - ඞීබී පිලිබඳ මා ලියමින් සිටින මේ ලිපි පෙළ මා ලියන්නේ මගේ මතකය මත පදනම්ව ය. එහෙත් අපේ එකම ඉරණම පිලිබඳ මේ සටහන ලියන්නට පටන් ගත් පසු ඔහුගේ ජීවිතය ගැන ලියූ පොත් කීපයක් නැවත පෙරළා බැලූවෙමි. ඒ සටහන් නැවත නැවතත් මගේ ඇස් වලට කඳුලූ ගෙන එයි. ඒ වේදනාව කටුක ය. එනිසා ඒ පොත් නැවත රාක්කයේම තබමි. අපේ ඉරණම්කාර ගමන පිලිබඳ මා ලියන්නට සිටි සියල්ල නොලියා මේ සටහන මෙතැනින් නවත්වමි. 


මතු සම්බන්ධයි

Wednesday, July 19, 2017

ඩීබී සහ මම 5 - රාජාලි පියාපත ඩීබී ට

ඩිබී කුරුප්පු මහතා තරම් කැපවීමෙන් ලේඛණයේ යෙදුණ තවත් ලේඛකයකු මා දන්නේ නැත. ඔහු ලිව්වේ පුදුමාකාර වේගයකිනි. ඔහුට සතුව තිබුණේ පුදුමාකාර ස්මරණ ශක්තියකි. අවුරුදු තිහ හතලිහකට නොව අවුරුදු පනහකට එහා සිදුවූ සිදුවීමක් දින වකවානු සහිතව කියන්නට හැකියාවක් ඔහුට විය. ඒ සමගම සිංහල භාෂාව පිලිබඳව ද ඔහුට තිබුණේ විශාල දැනුම් සම්භාරයකි. යමක් පැහැදිලි කරගන්නට අවශ්‍ය වූූ විට අපට සිටි දැනුම් ගබඩාව ඔහු විය. නිවැරදි වචනයක් සොයා ගන්නට ව්‍යාකරණයක ගැටලූවක් විසඳා ගන්නට ඔහු අපේ අත ළඟම සිටියේ ය. මේ මහා පුරුෂයාට මගේ කෘතවේදිත්වය දැක්වීම සඳහා මගක් මම සොයමින් සිටියෙමි. මගේ දෙවන කාව්‍ය සංග‍්‍රහය වූ ”රාජාලි පියාපත” ඔහුට පුදන්නට මම සිතුවෙමි. එනමුදු එය රහසක් වශයෙන් රැකගන්නට මට අවශ්‍ය විය.

2010 වසරේ ජනවාරි 9 වන දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී මගේ පොත් එළි දැක්වීමක් සිදුවිය. ”රාජාලි පියාපත” ට අමතරව මගේ යොවුන් නවකතාවක් වූ ”ඉස්කෝලෙ කාලෙ” හා සන්නසේ කොටස් වශයෙන් පළ කළ ”තාරකා විජිතය” නවකතාව එළිදැක්වීමද එදින සිදුවිය.

මේ උත්සවය සංවිධානය කළේ තරංග ජයසේන ප‍්‍රමුඛ බූන්දි කණ්ඩායමයි. යම්කිසි වෙනස් ආකාරය වැඩ සටහනක් සකස් කරන්නට ඔවුහු මහත් උත්සාහයක් ගත්හ. උත්සවය පෙරදා අපි (ඩෝසන් ප‍්‍රීති, සංඛ,අමිලඇතුලූ කණ්ඩායම) තරංග ගේ කැන්දලියද්දපාලූවේ නිවසේ රැය ගත කළ අන්දම මට අමතක නොවේ. එදා රැ තුන් තිස් පැයක් ගතවන තෙක් මා ගැන වීඩියෝවක් හදන්නට ඔවුහු වෙහෙස වූහ.

පසුදා පැවති උත්සවයේදී මම රාජාලි පියාපත මගේ සාහිත්‍ය වීරයා වූ ඞී බ කුරුප්පු මහතාට පුද කළෙමි. ”මේ ශ්‍රේෂ්ට ලේඛකයාට මගේ කෘතවේදීත්වය පුද කරනු වස් මේ පොත ඔහුට පුද කරමි” යයි මම එහිදී කීවෙමි. ඞීබී වෙනුවෙන් පොත බාරගත්තේ වරුණ සාවින්ද ය.


ඒ අවස්ථාවේ වීඩියෝව.


සම්පූර්ණ උත්සවය පිළිබඳ වීඩියෝවක් අවශ්‍ය නම් මෙතැනින් බලන්න.

ලංකාවේදී මා මෙවැන්නක් කළ බවක් ඞීබී දැන සිටියේ නැත. ඔහුට මේ බව කියා ලකුණු දමාගන්නට අවශ්‍යතාවක්ද මට නොවී ය. වෙන කිසිවකු නොකියන්නටද ඇත. ඞීබී කුරුප්පු නම් වන සාහිත්‍යකරුවාට මා අතින් සිදුවුණ බොහෝ දේ මෙන්ම මෙයද මියයන තෙක්ම ඞීබී එය නොදැන සිටින්නටද ඇත. මම ඔහු පිලිබඳ මගේ කෘතවේදීත්වය එසේ ප‍්‍රකාශ කර මගේ සිතේ වූ බර සැහැල්ලූ කර ගෙන නිහඬව සිටියෙමි. ඒ සැනසීම මට ප‍්‍රමාණවත් ය.

නැවත මෙල්බනයට ගිය පසුව මම ඒ කාලයේ ඞීබීගේ නවාතැන වූ බුලීන්හි ඇනෙක්සියට ගොස් ඔහුට පොත පිළිගැන්නුවෙමි. මගේ කවි පොත ඔහුට පිළිගන්වා ඇති බව දුටු ඞීබී මහත් සතුටට පත්විය.

”මෙතෙක් කාලෙකට මට පොතක් පිළිගන්වලා තියෙන්නෙ එකම එක මිනිහයි. ඒ ලංකාවෙදි. මේ තමයි මට කවුරු හරි පොතක් පිලිගන්වපු දෙවන අවස්ථාව.” ඔහු කිවේ ය.

මා ඞීබී ගේ ඇනෙක්සියේදී ඔහුට පොත පිළිගන්වන අවස්ථාවේදී ගත් මේ සේයාරුවේ පිටපතක් මම පසුව ඔහුට දුන්නෙමි. ඔහු බුලීන් නිවසින් යන තෙක්ම ඒ සේයාරුව ඒ කුඩා සාලයේ කාටත් පෙනෙන තැනක තබාගෙන සිටියේ ය.

ඒ සේයාරුව ඔහුගේ අවමංගල උත්සවයේදී ඔහුගේ දේහය බහා තිබූ තැනට ඔබ්බෙන් වූ තිරයේ ප‍්‍රදර්ශනය වූ සෑම අවස්තාවකදීම මට එදා පොත පිළිගැන්වූ අවස්ථාවේ ඞීබීගේ ඇස්වල තිබූ සතුට මුහුණේ ඇඳුණ සිනාව නැවත නැවතත් සිහිපත් විය.

Monday, July 17, 2017

ඩීබී සහ මම 4 - කුරුප්පු මහත්තයාට වෙඞ්ඩා හමු වූ දවස

ඩීබී කුරුප්ප සහ මංජුල වෙඩිවර්ධන ඒ ඓතිහාසික සාකච්ඡුාව කරමින්

”ලංකාවෙ පත්තරයකින් ආව කෙනෙක් ජගත්ව හොයනවා..”  දුරකතන පනිවුඩය ආවේ සන්නසේ අසෝක සුබසිංහ ගෙනි. 

මේ මෙල්බන් කොමන්වෙල්ත් ක‍්‍රීඩා තරග සමයයි. හරියටම කියන්නේ නම් 2006 අවුරුද්දේ මාර්තු මාසයයි. තරගාවලිය වාර්තාකිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ විවිධ පුවත්පත් වලින් ක‍්‍රීඩා වාර්තාකරුවන් රැසක් පැමිණ සිටින බව මම දැන සිටියෙමි. එහෙත් තකහනියක් මා සොයන මේ ලේඛකයා කවුරුන් විය හැකිද?


”නම දන්නවද?”

”මංජුල කියල කෙනෙක්.. ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා.. කතා කරන්න..”

මම ඒ අංකයට කතා කළෙමි. අනෙක් පසින් හෘදයංගම කටහඩක් ඇසෙයි.

”ජගත්.. මචං මං මංජුල වෙඩිවර්ධන...”

රාවයේ වෙඞ්ඩා නොහඳුනන කෙනකු සිටිය හැකිද? මම මහත් සතුටට පත්වීමි.


”විශ්වාස කරපං මං ලංකාවෙන් එනකොටම කියල ආවෙ මෙල්බන් වල කවි ලියන අපේ එකෙක් ඉන්නවා.. මම කොහොම හරි ඌව හමුවෙලා තමයි එන්නෙ කියල ..” වෙඞ්ඩා කියයි. ඌ කොහොමත් හෘදයංගම එකෙකි.


වෙඞ්ඩා හිටියේ මෙල්බන් නගරයේ කොහේදෝ පාරකය.


”උඹ ඔතනම හිටපං.. මං කෙනෙක් එවනවා උඹව ගන්න..” මම කියමි. වෙඞ්ඩා ගැනීමේ කාර්යය කැමැත්තෙන්ම බාර ගන්නේ අප මිත‍්‍ර දසුන් ගජමන් ය. දසුන්ට මෙල්බන් නගරයේ පාරවල් පුරුදු ය.


”මට ඞීබී කුරුප්පු මහත්තයා මුණ ගැහෙන්නත් ආසාවක් තියෙනවා..” ඒ අතරේ වෙඞ්ඩා කියයි.

”හොඳයි.. මං ඒක ලෑස්ති කරන්නං..”


දසුන් මෙල්බන් සිට වෙඞ්ඩා කැඳවාගෙන එනතෙක් මම ඞීබී කුරුප්පු මහතා ඒ කාලයේ පදිංචිව සිටි බුලීන් හි කිත්සිරි ගේ නිවසට ගොස් ඔහු කැටුව ආවෙමි. වැඩි පෙරැත්තයකින් තොරවම මා සමග එන්නට කුරුප්පු මහතා කැමති වීම භාග්‍යයක් විය.


අපේ හමුවීමේ ස්ථානය ලෙස අප තෝරා ගත්තේ ඒ දිනවල ශ‍්‍රීනාත් මද්දුමගේ කුලියට ගෙන සිටි මිල්පාක් වල නිවසයි. ඒ ශ‍්‍රීනාත් ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ අලූතම ය. මාත් කුරුප්පු මහතාත් ශ‍්‍රීනාත් ගේ නිවසේ සිට වෙඞ්ඩා එනතෙක් බලා සිටියෙමු. දසුන්ගේ වාහනයේ වෙඞ්ඩා සමග දිනමිණේ සම්පත් බණ්ඩාරද පැමිණියේ ය. අපි මහත් සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකා වැළඳ ගත්තෙමු.


ආ ගිය කතා අතරේ මධු සාදය හීනියට ආරම්භවෙද්දී වෙඞ්ඩා කුරුප්පු මහතා සමග සංවාදය පටන් ගත්තේ ය. මගේ මතකයේ හැටියට වෙඞ්ඩා ඒ සංවාදය පටිගත කර ගත්තේ ය. ඞීබී කුරුප්පු නම් වන සාහිත්‍යවේදියා ගේ නිර්මාණ පිලිබඳව බොහෝ දේ වෙඞ්ඩා ගේ පිලිසඳරට ඇතුල් විය. සිය ”අර්ධනාරි” පරිවර්තනය ගැන කතා කරමින් කුරුප්පු මහතා කී මේ කතාව මගේ සිතේ ඉතා තදින් තැන්පත් විය.


”පරිවර්තනයක් කියන්නෙ සාමාන්‍යයෙන් ලියනවට වඩා අමාරු දෙයක්. පරිවර්තනයකින් කෙරෙන්නෙ කතාවක්, ප‍්‍රවෘත්තියක් කියන එක නෙවෙයි. සාහිත්‍ය කෘතියක තියෙන්නෙ ගැඹුරින් විදාරණය වන හැඟීම් සමුදායක්. ඒක මතු කෙරෙන විදියට පොතක් පරිවර්තනය කරන එක ලේසි නෑ. මේක මට හොඳටම දැණුනා, ”අර්ධනාරී” කරන කොට...  

ඉස්සර පරිවර්තන එක සැරෙන් ලිව්වා. තව සැරයක් බැලූවා. එච්චරයි. මේකෙදි තුන් හතර සැරේ මේකත් එක්කම ඔට්ටු වුණා. තව තව කියවමින් සකස් කළා. මට ඒකෙදි ලොකු තෘප්තියකුත් ඇතිවුණා. මුල් අදහස හුඟක් දුරට ආරක්ෂා කරගන්න හැකි වුණ නිසා. මුල් කෘතිය තුළ පාඨකයාට ලැබුණු වින්දනය සංවේදනය පුළුවන් තරම් ආරක්ෂා කරලා දීම තමයි පරිවර්තනයක වැදගත්කම. අර මහා ලේඛකයාගේ පොත, අර මහා සාහිත්‍ය කෘතිය සිංහලට දැම්මනෙ කියලා වැඩක් නෑ. වැඬේ හරියට කෙරෙන්නයි  ඕනෙ.”
වෙඩ්ඩා, මම, සම්පත් බණ්ඩාර


දිග කතාවක කෙටියෙන් කියනවා නම් එදා අපේ මධු සාදයෙන් පසු රාති‍්‍රය වෙඞ්ඩාත් සම්පත් බණ්ඩාරත් ගතකළේ අපේ බ්‍රෝඞ්මෙඩෝස් නිවහනේ ය. පසුදා උදෑසන වෙන්ව යන්නට පෙර වෙඞ්ඩා ශපථ කලේ ලංකාවට ගිය වහාම කුරුප්පු මහතා සමග කළ සංවාදය රාවයට ලියන බවය. ඔහු ඒ පොරොන්දුව ඒ හැටියටම ඉටු කළේ ය. මා දන්නා පරිදි කුරුප්පු මහතා සමග පත්තරයකින් කළ එකම සාහිත්‍ය සංවාදය එය විය හැකිය.


වෙඞ්ඩා.. ඒ උත්තම මිනිසා ගැන යමක් ලියන්නට සිතූ උඹට ස්තුතියි.. එය ඓතිහාසික සාකච්ඡුාවකි.


මංජුල වෙඩිවර්ධන ඞීබී කුරුප්පු සමග රාවය වෙනුවෙන් කළ සංවාදය මෙතැනින් කියවන්න

Friday, July 14, 2017

ඞීබී සහ මම 3

ඞීබී ගේ අවමංගල උත්සවයෙන් පසු චාරිත‍්‍රාණුකූල මළ බතට සහභාගි වූ අපි වරුණ සාවින්දගේ නිවසට එක්වුණෙමු. "අපි" යයි කීවේ කල්පනා ඇම්බ්‍රෝස්, දිළිණි ඊරියවල, නිරාශ ගුණසේකර, මාලන් බණ්ඩාර කපුවත්ත,  චතු පත්බේරිය සහ මට ය. තරුණ කවියනට කිවිඳියනට ඞීබී ගැන කතා කරන්නට එසේත් නොවේ නම් ඞීබී ගේ නිර්මාණ ගැන ආවර්ජනයක යෙදෙන්නට අවශ්‍යව තිබුණි. ඔවුන්ගේ කතා බහේ දී මතුවුණ ප‍්‍රධාන කාරණය වුයේ ස්වතන්ත‍්‍ර නිර්මාණකාරයකු ලෙස ඞීබී සාර්ථක ද යන්නය.

ඞීබී ලියූ එකම නවකතාව ”එක්තරා පේ‍්‍රම කතාවක්” ය. කෙටි නමුත් එය හොඳ නවකතාවක්ය යන්න මගේ පිළිගැනීමයි. එයට අමතරව ඔහු ලියූ ”විප්ලවය ආවොත්” ”කලූ හිල සහ නාරා වල” වැනි කෙටිකතා සංග‍්‍රහ කීපයක්ම වෙයි.

ස්වතන්ත‍්‍ර කෙටිකතාකරුවකු ලෙස ඞීබී සාර්ථක නොවූ බව මම ද පිළිගනිමි. එහෙත් ඒ සමගම ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයා ලංකාවේ කිසිදු පරිවර්තකයකුට දෙවෙනි නොවන බවද මගේ පිළිගැනීමයි. ”දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම්” ”මැංචෝසන්ගේ චාරිකා” වැනි පරිවර්තන වලින් ඇරඹුණ ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයාගේ ගමන් මග ඉතා ආශ්වාද ජනක එකක් බව මට වඩාත් පසක් වන්නේ ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ පරිවර්තන පිළිබඳව සමාජ ජාල වල කෙරුණ කතා බහ නිරීක්ෂණය කරන විට ය. සූර පරිවර්තකයකු ලෙස ඔහු පාඨකයන්ගේ සිත් තුළ පැලපදියම්ව සිටිනු මම දුටුවෙමි. පරිවර්තනයක් පරිවර්තනයක් යයි නොහැෙඟන තරමට සුමට සිංහලෙන් ලියන්නට ඞීබී ට තිබූ හපන්කම විශිෂ්ටය. ඒ පරිවර්තකයා පිලිබඳ නිසි අගැයීමක් කෙරුණිද යන්න කතා කළ යුතු මාතෘකාවකි.

සත්‍යය නම්, ඞීබී ගොලූ හදවතේ ජයග‍්‍රාහී පෙම්වතාව දම්මිගේ ආදරය දිනාගෙන සිටි බව කියවෙන රසවත්  ඕපාදූපය රස කර කතා කරන්නට කැමති වූ ලංකාවේ පුවත්පත් ඞීබී නම් වන පරිවර්තකයා අමතක කරදමා සිටි බව ය. ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයා පිළිබඳව ලංකාවේ මාධ්‍ය කතා නොකළ තරම් ය. සමහර විට ඔහු  ඕස්ටේ‍්‍රලියාව වැනි දුර බැහැරක වාසය කිරීම එයට හේතුව වන්නට ඇත.

1963 සිට ඇරඹෙන පරිවර්තන චාරිකාවේ ඞීබී අතින් සිදුවුණ මේ පරිවර්තන අමතක කර දමන්නට පාඨකයනට හැකියාවක් තිබේද?

  •    මැංචෝසන්ගේ චාරිකා
  •    හෝචිමිංගේ සිරගෙයි දිනපොත
  •    පිළිකා සුවය ඔබ අතමය
  •    කයිරෝව කුඩා නගරයකි
  •    අන්තිම උපන්දින සාදය
  •    සංගම්කාරයාගේ මලගම
  •    අර්ධනාරි
  •    නිර්මාණ චිත්තරූප
  •    දැත්තා හඳට යයි
  •    හිරෝෂිමා දිනපොත
  •    අන්තර්භවය
  •    ටික්කාගේ වික‍්‍රමය
  •    අර්බත් දරුවෝ 1 සිට 7


සිංහල බසින් සිදුකෙරුණ දැවැන්ත පරිවර්තනයක් වන කාණ්ඩ හතකින් යුත් අර්බත් දරුවෝ පිලිබඳව හෝ කතා කරන්නට ලංකාවේ කිසිදු මාධ්‍යයක් නොවී ය.

ඞීබී ගේ පරිවර්තනයක් පිළිබඳව ලංකාවේ පුවත්පතක් කළ එකම විචාරය ඔහු ගේ ”අර්ධනාරි” පරිවර්තනය පිළිබඳව රාවයේ පළ වූ හරවත් විචාරය පමණක් ය යන්න මගේ මතකයයි. එයට මැදිහත් වන්නට ලැබීම අදත් මට මහත් සැනසීමක් ගෙන දෙන්නකි.

මගේ රසවින්දනයේ දිග පළල අනුව ඞීබී ගේ පරිවර්තන අතරින් හොඳම පරිවර්තනය අර්ධනාරි වෙයි. අර්ධනාරි නිකුත් වූ වසරේ එය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර නොවූයේ මන්ද යන්න අදටත් මට ගැටළුවකි. සමහර විට ප‍්‍රකාශකයන් ඒ පොත විනිශ්චය සඳහා නොයැව්වා වන්නට පුළුවන. යැව්වා නම් අර්ධනාරි පරිවර්තනයට අහලකටවත් ළගින් කියන්නට බැරි පොතකට හොඳම පරිවර්තනය සඳහා වන සාහිත්‍ය සම්මානය හිමිවන්නට හේතුවක් නැත. අර්ධනාරි පරිවර්තනයට නිසි අගැයීමක් නොලැබීම පිළිබඳව ඞීබී සිටියේද කණස්සල්ලෙනි.

ඞීබී ගේ අර්ධනාරි කියැවූ වහාම මම ඒ පොතින් පිටපතක් එවකට රාවයේ සිටි හිතවත් විමලනාත් වීරරත්නට යැව්වෙමි. කුඩා සටහනක්ද සමගින්ය.

”හිතවත් විමලේ... ඞීබී කුරුප්පු මහත්තයාගේ මේ පොත කියවා සාධාරණයක් කරන්න”

විමලනාත් අර්ධනාරි කියවා ඉතා විශිෂ්ට ලිපියක් රාවයට ලිව්වේ ය. එය කියවා කුරුප්පු මහතා මහත් සතුටට පත්විය. ඒ සතුට කෙතරම්ද යත් ලිපිය ලියූ විමල්ටත් මැදිහත් වූ මටත් ස්තුති කරන සටහන් ඔහුගේ පුවත්පත් ලිපි කීපයකත් සමහර පොත් වලත් ලියා තිබුණි.

ඞීබී ගැනත් අර්ධනාරි ගැනත් පොදුවේ පරිවර්තන ගැනත් කෙරුණ දෙවන සාකච්චාව කළේ අප මිත‍්‍ර මංජුල වෙඩිවර්ධන ය. මෙල්බනයේදී ය. ඒ කතාවේ කෙළවරකත් මා සිටින බැවින් එය ඊළගට ලියමි.

Wednesday, July 12, 2017

ඞීබී සහ මම 2

ඞී බී ගේ ජීවිතයේ මා දුටු උත්තම ලක්ෂණය තමාත් සමග ඉදිරියට යන පරපුරක් ගොඩනගා ගන්නට ඔහුට තිබූ උනන්දුව සහ ඒ වෙනුවෙන් දැරූ උත්සාහයයි. ඒ පිලිබඳ උදාහරණ  ඕනෑ තරම්ය.

අපි 2003 අපේ‍්‍රල් මාසයේදී පහන සගරාව ආරම්භ කළෙමු. ඞීබී එහි වැදගත් කොටස්කාරයකු විය. පහන මෙහෙයවීමෙන් සාහිත්‍ය තරගාවලියක් පවත්වන්නට අපට අවශ්‍ය විය. යෝජනාව ඉදිරිපත් වූ තැන් සිට ඞීබී ඉතා උනන්දුවෙන් ඒ වෙනුවෙන් මහන්සි වූ ආකාරය මට අද ද මතක ය. කෙටිකතා සහ කවි යන අංශ දෙකෙන් පැවැත්වූ තරගාවලියට අප ලද නිර්මාණ විනිශ්චය කරන්නට පමණක් නොව ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සමග සම්බන්ධතා ඇති කරගන්නටත් ඔහු වෙහෙස විය. තරගාවලිය හරහා අප හඳුනාගත් ලේඛක ලේඛිකාවන් ඉදිරියට ගන්නට ඔහුට මහත්  ඕනෑකමක් විය.

ආචාර්ය විද්‍යානි මනතුංග, හේමමාලා හේරත් වැනි ලේඛිකාවන් ඔහුගේ වැඩි අවධානයක් දිනාගත් බව මට මතක ය. විද්‍යානි කැන්බරා සිට සිය පවුලම සමගින් කුරුප්පු මහත්තයාගේ අවසන් මොහොතට පැමිණ සිටියේ ඒ කෘතවේදීත්වයට බව මම දනිමි.

”මේ ළමය හරිම දක්ෂ විදිහට ලියනවනෙ ජගත්... අපි එයාව ඉස්සරහට ගන්න  ඕනෙ” ආධුනික ලේඛක ලේඛිකාවන් සම්බන්ධයෙන් ඔහු කී වතාවක් නම් මා සමග කියා ඇත්ද?

ඔස්ටේ‍්‍රලියාවේ සිට සිංහලෙන් ලියන සියලූම ලේඛක ලේඛිකාවන් පිළිබඳ විස්තර ඔහු රැුස්කරගෙන සිටියේය. මේ විගාමික ලේඛක ලේඛිකාවන් කෙරෙහි මව්බිමේ සිටින සාහිත්‍යවේදීන් කිසිදු අවධානයක් යොමු නොකරන්නේ යයි ඔහු නිතරම මැසිවිලි නැගුවේ ය. කෝප ගත්තේ ය. ඒ ගැන ලිව්වේ ය.

”අන්න අහවල් ලේඛකයා ලංකාවෙ ඉඳන් ඇවිත් මෙල්බන් වල බුක් ලෝන්ච් එකක් කරන්න යනවා... ඔයාට කතා කළා ද?” ඔහු වරෙක අසයි.

එහෙම එන බොහෝ ලේඛකයන් අපට කතා කරන්නේ නැත. අප ඉන්නා බවක් වත් ඔවුන් දන්නේ නැත. බොහෝ විට එවැනි පොත් එළිදැක්වීමක් මේ දේශයේ සිදුවූ බව අප දැනගන්නේ ලංකාවේ පත්තරයක ඒ බව පළ වූ විට ය. ලංකාවේ පම්පෝරිය ගසන්නේ සමස්ථ  ඕස්ටේ‍්‍රලියාවම සහභාගි වූ පොත් එළිදැක්වීමක් හැටියට ය. මේ මිනිසුන් කෙරෙහි ඞීබීගේ සිතේ තිබුණේ පුදුමාකාර අප‍්‍රසාදයකි.

”මෙහෙ ඉඳන් ලියන එක මිනිහෙක් ගැන වචනයක් ලියන්නෙ නැති එවුන් මෙහෙ කාව හරි අල්ලගෙන මෙහෙ ඇවිත් සන්දර්ශන දාලා යන එක තමයි මට ඉවසන්න බැරි...”  ඔහු කීපවතාවක් ඒ අදහස මා සමග කීවේ ය. කීවා පමණක් නොව එවැනි සන්දර්ශනකාර ලේඛකයන් ගැන සැර ලිපි ද ලිව්වේ ය. එවන් ලිපියක් පළකිරීමෙන් හිත රිදවාගත් අයෙක් අපට නඩු දමන්නටද සැරසුණහ. අපට කාගේවත් හිත් රිදවන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් පහන වෙනුවෙන් බන්දු දිසානායකත් සන්නස වෙනුවෙන් මාත් පාදයක් පසුපසට ගෙන ආරක්ෂාකාරී පහර එල්ල කළත් කුරුප්පු මහත්තයාට  ඕනෑ වුයේම හයේ පාරවල් ගහන්නටම ය.

”මුං මෙහේ ඉන්න එක ලේඛකයෙකුටවත් ආරාධනා කරන්නෙ නැතුව මෙහෙ ඇවිත් පොත් එළිදැක්වීම් කරලා ගිහින් ලංකාවේ පත්තරවල පම්පෝරි ගහනවා...  ඔය එකෙකුටවත් මං බය නෑ.. මං නඩු කියන්න ලෑස්තියි.. මා එක්ක නඩු කිව්ව දවසට තමයි උං ඉගෙන ගන්නෙ..” ඔහු ආවේගවත්ව කියයි. ඞීබී යකාටවත් බය නැත. වයසට ගියත් ඔහු තරුණය.

2006 අවුරුද්දේ සන්නස පුවත්පත් ඔස්සේ අප පැවැත්වූ කෙටිකතා තරගාවලියටද ඞීබී ගෙන් ලද සහය අපමණ විය. අවසාන වටයට තේරෙන කෙටිකතා දහය පොතක් ලෙස මුද‍්‍රණය කරන්නට අපි කතිකා කරගෙන සිටියෙමු. පොත සකස් කළත් ලංකාවේ මුද්‍රණය කළත් එය ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වාගන්නට තරම් මුදලක් අප අතේ නොවී ය. සන්නසේ අප මුදල් හම්බ කරන අය නොවූ නිසා ය. වැඬේ පමා වන විට නොසන්සුන් වූයේ කුරුප්පු මහත්තයා ය. ඔහු වරින් වර දුරකතන ඇමතුම් දෙමින් ප‍්‍රමාදය ගැන විමසනවිට ඇත්ත නොකියා සිටින්නට මට නොහැකි විය.

”ඇයි ඉතින්  ඕක කලින් නොකීවෙ?” ඔහු ඇසුවේ ය. ”මං සල්ලි දෙන්නම්.. පොත් ටික ගෙන්නගෙන උත්සවේ තියන්න..”

සන්නස කෙටිකතා තරගාවලියේ අවසන් කෙටිකතා දහය ඇතුල්කර මුද‍්‍රණය කළ ”පළමුවැනි  තෑග්ග” කෙටිකතා සංග‍්‍රහය ඔස්ටේ‍්‍රලියාවට සැපත් වූයේ ඞීබී කුරුප්පු මහතා දුන් මුදලින්ය යන්න බොහෝ දෙනෙක් නොදැන සිටියේ ඒ බව හෙළි කිරීම අපට තහනම් කොට තිබූ හෙයිනි. ආණ්ඩුවෙන් ලැබෙන මුදලින් සහ හිතවතුන්ගේ සහයෝගයෙන් ජීවිතය ගැටගසාගත් ඞීබී අලූත් පරපුරක් ඉදිරියට ගන්නට තමන් අත තිබූ තුට්ටුදෙක වියදම් කරන්නට පසුබට නොවී ය.


ඞීබී හා බැඳුන කතා  අපමණය. ඒවායින් එකක් මේ සටහනටම ලියන්නට මට සිතෙයි. 

ඞීබී ද්විභාෂා උගතෙකි. සිංහල ඉංගිරිසි දෙබසම ව්‍යක්ත ලෙස හසුරුවන්නට ඔහුට හැකියාව තිබුණි. පහනට ඔහු ඉංගිරිසි ලිපිය ලීවේ Leoroo යන ආරූඪ නමිනි. සන්නසට ඉංගිරිසි ලිපිය ලිව්වේ The Defector යන නමිනි. පහනෙන් පසු සන්නස ආරම්භ කළ යුගයේ මගේ අතින් වරදක් සිදුවිය. ඒ වන විටත් "පහන" මානසිකත්වයෙන් සිටි මම සන්නසට ඞීබී ලියූ ඉංගිරිසි ලිපියට රචකයාගේ නම Leoroo ලෙස යෙදුවෙමි. හිතාමතා කළ දෙයක් නොවේ. පෙර පුරුද්දට සිදුවූ අත්වැරැද්දකි.

ඞීබී ට අසූහාරදාහට කේන්ති ගියේය.

”මේක හිතා මතා කළ දෙයක්.. මේකෙන් මේ ලිපිය ලියන්නෙ කවුද කියල එළිදරව්වෙනවා.. මං ආයෙ සන්නසට ලියන්නෙ නෑ..” ඞීබී කෝපයෙන් කෑගැසුවේ ය. ඒ කේන්තියෙන්ම ඔහු සන්නසට ලිපි ලිවීම නැවැත්තුවේ ය. මම මාස දෙකක් පමණ දහ අතේ කනිපින්දම් ගසමින් සිදුවුණ වරදට සමාව ඉල්ලමින් ඔහු පස්සේ ගියෙමි.

මාස දෙකක් පමණ යන විට ඔහුගේ හිත ලිහිල් විය.

”ඔන්න මම ලිපියක් තැපැල් කළා” ඔහු එක් දිනක් දුරකතනයෙන් කීවේ ය. මම සතුටින් පිනා ගියෙමි.

කොච්චර කේන්ති ගියත් ඞීබී කියන්නේ හිත හොඳ මිනිහෙකි.



මතු සම්බන්ධයි    

Tuesday, July 11, 2017

ඞීබී සහ මම 1

ඞී බී කුරුප්පු වියත් ලේඛකයා  අප හැර යන්නේ ජූනි 23 වනදා ය. මා සිටියේ මෙල්බන් සිට කිලෝමීටර් එකසිය හැත්තෑවක් පමණ දුරින් පිහිටි කුඩා නගරයකය. රාජකාරි කටයුත්තක් සඳහා මම සතියක් එහි නැවතී සිටියෙමි. ඞීබී අවසන් හුස්ම හෙළා විනාඩි කීපයක් ඇතුළත ඒ කණගාටුදායක ආරංවිය මට ගෙන ආවේ බන්දු (බන්දු දිසානායක) අයියා ය.

”ඞීබී ගියා මල්ලි” ඒ උදෑසන ඒ මොහොත මට කිසිදා අමතක නොවනු ඇත. මම වචන එක්කරගත නොහැකිව බලා සිටියෙමි. සෙවණැල්ල මෙන් අපට සමීපව සිටි දැවැන්තයා යන්නට ගියාය කියා කෙසේ අදහා ගන්නද?

ඔහු මියගිය දින සිට අද දක්වා ඔහු ගැන ලියන්නට වරින්වර උත්සාහ කළත් ඒ වෙනුවෙන් හිත එකළස් කරගන්නට මට නොහැකි විය. ඊයේ සවස මම ඔහුගේ නිසල දේහය දෙස නොබලාම ඔහු වෙනුවෙන් මට කියන්නට තිබූ දේ සංක්ශිප්ත කොට විනාඩි පහකින් කියා ආපසු ආවෙමි. මගේ මතකයේ තවමත් රැඳී ඉන්නේ ජීවමාන ඞීබී කුරුප්පු නම් වන වියපත් තරුණයා ය. එය මට සතුටකි. (මෙතැනින් කියවන්න)

පසුගිය දින කීපය පුරා විවිධ අය ඞීබී පිළිබඳ බොහෝ දේ කියනු ඇසුවෙමි. ලියනු දුටුවෙමි. ඒ බොහෝ කරුණු එහෙන් මෙහෙන් අහුළා ගත් වැරදි කරුණු කාරණා ය. ගොලූ හදවත පොත කියවනවා තියා අතින්වත් නොඇල්ලූ සමහර අය ලියා තිබූ වැරදි හැකි පමණින් නිවැරදි කළෙමි. නිවැරදි කරන්නට නොහැකි වූ තැන් බොහෝ ය.

මගේ ළමා වියේ මා කියැවූ බොහෝ පොත් අතර ”දැත්තාගේ හපන්කම්” තවමත් මගේ මතකයේ රැඳී තිබෙයි. ඒ එම චරිත ඇසුරු කරගනිමින් මා ද කතාවක් ලියූ හෙයිනි. ”දැත්තාගේ හපන්කම්” සිංහලයට පරිවර්තනය කළ ඞී බී කුරුප්පු නම් වන ලේඛකයා එයින් දශක ගණනාවකට පසු දිනකදී මෙල්බන් නගරයට උතුරින් පිහිටි රෙසවෝ පළාතේ ශ‍්‍රී ලංකික වෙළඳ සලකදී හමුවේ යයි මා කෙසේ නම් සිතන්නද?

”කුරුප්පු අංකල්.. මේ ජගත්.. එයත් කෙටිකතා පොතක් ලියලා තියෙනවා” කඬේ සිටි ඔල්ගා කරව්දෙණිය මා හඳුන්වා දුන්නේ එසේ ය.

කුරුප්පු අංකල් මා දෙස  ඕනෑවට එපාවට බැලූවේ ය. මමද එවැනිම බැල්මක් හෙලූවෙමි. එපමණකි.

පසු කලෙක ඞීබී ඒ අවස්ථාව සිහිපත් කරමින් ඇති තරම් සිනාසුණේ ය.

”මං ජගත්ව ගණන් ගත්තෙත් නෑ.. ජගත් මාව ගණන් ගත්තෙත් නෑ” ඔහු සිය සුපුරුදු සිනාව මහ හඬින් නගමින් කීවේ ය. මොනවා කරන්නද? අපේ පළමු හමුවීම එසේවීම එක අතකින් හොඳ ය. ඒ හමුව අප දෙදෙනාටම අප දෙදෙනා පිළිබඳ තක්සේරුවක් කරගන්නට ඉඩ ප‍්‍රස්ථාව ලබාදුන්නේ යයි අද මට සිතෙයි.

ඉන්පසු ගතවුණ කාලය තුළ වරින් වර මා අතට පත් වූ ඔහුගේ පොත් කියවන්නටත් ඒ පොත් කිරා මැන බලන්නටත් මම උත්සාහ ගනිමින් සිටියෙමි. ඔහුගේ ස්වතන්ත‍්‍ර කෙටිකතා පිළිබඳ මගේ පැහැදීමක් නොවී ය. ඒවා හුදු විත්ති කතා වලින් ඔබ්බට නොගිය ලියවිලි බව මම දුටුවෙමි. ඔහුට සමාජයේ හමුවූ විවිධ පුද්ගලයන් පිලිබඳ සටහන් ඒවායේ විය.

”අප්පෝ කුරුප්පු අංකල් එක්ක කතා කරනකොට පරිස්සම් වෙන්න  ඕනෙ.. නැත්නම් එයාගෙ ඊළඟ පොතේ අපේ නමත් ලියැවෙයි” සමහර අය කියනු මම අසා සිටියෙමි. එවන් ප‍්‍රකාශ පවා මගේ සිත් නොගත්තේ ය. අපට හමුවන මිනිසුන් පිලිබඳව ගෙඩි පිටින් ලියා කෙටිකතා නිර්මාණය කළ හැකිද යන්න ඒ වන විට කෙටිකතාව පිළිබඳව මහත් ඇල්මකින් හදාරමින් සිටි මට සිතුණි.

ඔහුගේ දෙවන පොත් එළි දැක්වීමේ දී ඔහුගේ කෙටිකතා පොත් දෙකක් පිළිබඳව අදහස් දැක්වීමක් කරන්නැයි මට ආරාධනාවක් එන්නේ මේ අතරදී ය. ”විප්ලවය ආවොත්” සහ ”කලූ හිල සහ නාරාවල” ඒ පොත් දෙකයි.

”නිදහස් අදහස් වලට ඉඩ දෙනවාද?” මම ආරාධනාව රැගෙන ආ වරුණ සාවින්දගෙන් ඇසුවෙමි.

”ඔව්.. කුරුප්පු අංකල් විශේෂයෙන්ම කිව්වා නිදහස් අවංක අදහස් වලට අවසර තියෙනවාය කියලා”

මම ආරාධනාව පිළිගතිමි.

පොත් දෙකෙන් එක පොතක් පිළිබඳව මගේ කිසිදු පැහැදීමක් නොවීය. කෙටිකතා ලෙස හැඳින්වුවද එහි වූ සියලූම කතා කෙටිකතා ලෙස පරිපූර්ණත්වය පත් නොවූ හුදු විත්ති කතා ම විය.  අනෙක් පොතට ලකුණු 75 ක් දෙන්නට මගේ සිත ඉඩ දුන්නේ ය.

ඒ පොත් එළිදැක්වීමට විශාල පිරිසක් සහභාගිව සිටි බව මට මතක ය. මම පොත් දෙක පිළිබඳ මගේ අවංක අදහස් ඉදිරිපත් කළෙමි.

”හොඳ නිර්මාණයක් හැමවිටම කියවන්නා තුළ මොනයම්ම හෝ කම්පනයක් ඇති කරනවා. ඒත් මේ කතා කියවන විට එවැනි කම්පනයක් අපේ හිතේ ඇතිවන්නෙ නැහැ” මම කීවෙමි. ”මේ කතා කෙටිකතා ලෙස හඳුන්වනවාට වඩා විත්ති කතා ලෙස හැඳීන්වීමට මම කැමතියි. තත්කාලීන සමාජය පිළිබඳ දේශපාලනය පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ දී විත්ති කතා වලට ඉහළ තැනක් ලැබෙනවා. ඒ නිසා විත්ති කතා අවතක්සේරු කරන්න මම කැමති නැහැ. ඒවාට කෙටිකතා වලට නොමැති ආකාරයේ වෙනත් වටිනාකමක් තිබෙනවා” මගේ කතාවේ සාරාංශය එබඳු විය.

එය ඒ සා කාලයක් පැවති හොඳ නරක හැම දෙයටම හොඳයි හොඳයි කීමේ පුරුද්ද බිඳ දැමූ අවස්ථාවක් වූයේ යයි මට දැන් සිතෙයි. විශේෂයෙන් ඒ වන විටත් මෙල්බන් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි වියත් ලේඛකයකුගේ නිර්මාණයක් වයස තිස් ගාණක අංකුර නිර්මාණකරුවකු අතින් ප‍්‍රහාරයකට ලක්වීම විමතියක් ඇතිකරවන සිදුවීමක් වූ බව නම් නිසැක ය. මගේ අව්‍යාජ අදහස් දැක්වීම සිනාසෙමින් අසා සිටියත් කුරුප්පු මහතා සතුටට පත් නොවූ බව මම තේරුම් ගතිමි. මා නිවැරදි බව ඔහු පසුව ඒ ගැන කළ සඳහන් වලින් හෙළි දරව් වෙයි.

”ජගත් ගේ අදහස් දැක්වීම මගේ සතුටට හේතු නොවී ය” ඔහු ඔහුගේ පොත් කීපයකම ලිව්වේය. පසු කලෙක ඔහු මට කිව් ලෙස ඒ පොත් එළිදැක්වීමෙන් පසුව ඔහු සිය පොත තවත් ලේඛක ලේඛිිකාවන් කීපදෙනෙකුටම පෙන්වා ඔවුන්ගේ අදහස් ගන්නට උත්සාහ කළේ මගේ අදහස නිෂේධ කරදමන්නට ය. එනමුදු ඒ උත්සාහය අසාර්ථක වූයේ යයි ඔහු පසු කලෙක කීවේ සිනාසෙමින් ය.

Monday, July 3, 2017

ඞී බී කුරුප්පු

ඞී බී කුරුප්පු අදීන සාහිත්‍යවේදියා ජූනි 23 වන දා අප හැර යනවා. සාහිත්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔහු හා සමීපවම සිටි මම ඔහු ගැන යමක් ලියන්න  ඕනෙ. ඒත් ලියන්න පරිගණකය ඉදිරියෙ වාඩිවුන දහ දොළොස් වතාවම මම කිසිවක් නොලියා නැගිට්ටා. එක එක අය ඔහු වෙනුවෙන් ලියන දේ කියවමින් හිටියා විනා යමක් ලියන්නට තරම් මානසික තත්වයක මම හිටියෙ නැහැ.

ඊයෙ - ජූලි 1 - ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරුණා. පහතින් පළවෙන්නෙ මම ඔහු වෙනුවෙන් පැවැත්වූ කතාවයි. ඊයෙ අවමංගල්‍යයෙන් පසුව මාලතී කල්පනා, දිලිනි ඊරියවල, මාලන් බණ්ඩාර සුරවීර, නිරාශ ගුණසේකර සහ මම වරුණ සාවින්දගෙ ගෙදරදි හමුවුණා. අපි කතා කළේ කුරුප්පු අංකල් ගැනයි. ඊයෙ ගෙදර ඇවිත් මම කුරුප්පු අංකල් සහ මා ගැන ලියන්න පටන් ගත්තා. ඒ ලියවිල්ල ඉදිරියෙදි මේ බ්ලොග් එකට දාන්නම්. එතෙක් මේ මං ඊයේ පැවැත්වූ කතාව කැමති නම් කියවන්න.

"මෙයට අවුරුදු 16 කට පමණ ඉස්සර දවසක ඞීබී කුරුප්පු මහතාගේ පොත් එළිදැක්වීමක අදහස් දක්වන්න මට ආරාධනා ලැබුණා. එදා මම කතාව පටන්ගත්තෙ මේක අලියකු පිළිබඳව කූඹියකු කරන විග‍්‍රහයක් කියලා. අදත් මගේ හිතේ තියෙන්නෙ ඒ හැඟීමමයි.

ඞීබී කුරුප්පු මහතා පිළිබඳව බොහෝ දේ මෙහි පැවැත්වෙන කතාවලින් ඔබ අසාවි. ඒ බොහෝ කරුණු කාරනා ඔබ දැනටමත් දන්නා දේ. අපේ සමාජයේ කෙනෙක් මියයාම පුදුමයට / සන්තාපයට / විස්සෝපයට කාරණයක් නෙවෙයි. නමුත් අපේ සමාජයේ දැවැන්තයන්ව සිටි අය මියයාම අපේ හිතේ ඇති කරන්නෙ විශාල කම්පනයක්. මොකද ඒ දැවැන්තයන් තබා යන විශාල හිස්තැන / රික්තය පුරවන්නට සමතුන් බිහි නොවන නිසා. උදාහරණ  ඕනෑ තරම් දෙන්න පුලූවන්. ඞීබී නිතව සිටි සාහිත්‍ය ක්ෂෙත‍්‍රය ගත්තත් මාර්ටින් වික‍්‍රමසිංහ ගේ හිට ජී බී සේනානායක හරහා සයිමන් නවගත්තේගම දක්වා සාහිත්‍ය දැවැන්තයන් තබා ගිය හිස්තැන් තවමත් හෙමම තියෙනවා. ඞීබී අද මේ තබා යන්නෙත් එවැනිම දැවැන්ත හිස්තැනක්. ඒ හිස්තැන පුරවන්නට සමතෙක් කවදාවත් බිහිවන්නෙ නැහැ.

ඞීබී කුරුප්පු සූරීන් සහ මා අතර සම්බන්ධය අවුරුදු 19ක පමණ කාල පරාසයක විහිදී යන එකක්. ඔහුගේත් මගේත් සාහිත්‍ය ගනුදෙනුව ඇරඹුන දා සිට ඔහුගේ දැවැන්ත සෙවනැල්ල යට මම වැඩුණා. අප සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු කරන කාලයේ සිට පහන පුවත්පත ආරම්භකරන කරන කාලයේත් ඉන්පසුව සන්නස පුවත්පත දක්වාත් ඔහු මගේ ගුරුවරයාව මගේ මග පෙන්වන්නාව මගේ ගුරු තරුව ලෙස හිටියා. පත්තර කරන හැටි ඔහුගෙන් මම ඉගෙන ගත්තා. "පත්තරයක් පතෝල මාලූවක් වගේ එළොවටත් නැතිව මෙළොවටත් නැතුව හදන්න එපා. පත්තරයක් මිරිස් මාලූ හොද්දක් වගේ දැවිල්ලට හදන්න. කෑවට පස්සෙ මිනිස්සුන්ට මතක හිටින්නෙ පතෝල මාලූ නෙවෙයි. මිරිස් මාලූ." ඔහු එහෙමයි කියල දුන්නෙ. කියලදුන්නා විතරක් නෙවෙයි. ක‍්‍රියාත්මකත් වුණා. ඔහු ලියූ කට දන ලිපි පළකිරීම නිසා අපි ඉතා අපහසුවට පත්වුණ වාර අනන්තයි. ඒත් මේ දැවැන්තයා කිසිම විටෙක සැලූණේ නැහැ.  "මම ලියන හැම වචනයකම වගකීම මම ගන්නවා ජගත්."  ඔහු මන්තරයක් වගේ හැමවිටම කිව්වා. ඔහු අපේ කොඳුනාරටිය වගේ අපට ශක්තිය දුන්නා. 

පත්තර වලදි විතරක් නෙවෙයි. 2000 වසරෙ අපි අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් 3zzzරේඩියෝව බාරගන්නා විටත් අප පිටුපසින් සිට උපදෙස් දුන්න අප පිටුපසින් තිබූ දැවැන්ත සෙවණැල්ලත් ඔහුයි. 

ඔහුත් මාත් අතර තිබුණෙ ඉතා ගෞරවාන්විත ඇසුරක්. ඔහු පිලිබඳ ඉතා ඉහළ ගෞරවයක් මගේ හිතේ තිබුණා. හැමවිටම ඔහු හා සම මට්ටමේ නොසිට අඩියක් පහළින් ඉන්නට මම වගබලාගත්තා. ඒ ඞීබී කුරුප්පු නම් වන දැවැන්තයා පිළිබඳ මගේ ගොඩනැගී තිබූ ප‍්‍රතිරූපය නිසයි. ඔහුගේ හිතෙත් මා පිළිබඳව ඉතා ඉහළ හැඟීමක් තිබූ බව මම දැන සිටියා. මේ  ඕස්ටේ‍්‍රලියාවේ ඞීබී කුරුප්පු කියන දැවැන්ත ලේඛකයාගෙන් නියත විවරණ ලද එකම ලේඛකයා වීමේ නිහතමානී සතුට මගේ හිතේ තියෙනවා. ඔහුගේ මුද්‍රිත පොත් ගාමිණී පැළෑඳ ලංකාවේ සිට වරින් වර ඔහුට ගෙනැත් දෙන විට ඔහු එවායින් පළමුවෙනිම පොත වෙන්කරන්නේ මට බව ගාමීණි අදත් කියනවා. ඞීබී මගෙන් බලාපොරොත්තු වූ සාහිත්‍ය ගමනක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු කිරීමේ වගකීම මහා බරක් විදිහට මගේ හිතේ තියෙනවා. ඞීබී අංකල්.. ඔබ මගෙන් යමක් බලාපොරොත්තුවූවා නම් ඒ බලාපොරොත්තුව මම ඉටුකරනවාය කියන පොරොන්දුව අද මම ඔබ ඉදිරියේ අවසන් වතාවට කියනවා.

දශක දෙකක පමණ ඇසුරකින් අප අතර ඉතිරිවුණ බොහෝ මතක සටහන් මගේ හිතේ තියෙනවා. ඒ මතක සටහන් සියල්ල ජීවිත කාලය පුරාවටම මා රිදවාවි.

ජීවත්ව සිටියදී මියගියා මෙන් ඉන්න බොහෝ මිනිසුන් අතර මිය ගිය පසුත් ජීවත්වන මිනිසුන් අතළොස්සක් ඉන්නවා. ඞීබී කුරුප්පු කියන්නෙ ඒව ගේ අමරණීය මිනිසෙක්. මිය ගිය පසුත් ජීවත් වන මිනිසෙක්. එවන් අමරණීය මිනිසකු ඇසුරේ ජීවත්වන්නට ලැබීම අප ලද භාග්‍යයක්.

අද අපේ ගුරු තරුව නිවී ගිහින්. අපි අතරමං වෙලා බලා ඉන්නවා. මෙතැනින් ඔබ්බට යන්නෙ කොහොමද? ඒ සඳහා අවශ්‍ය ශක්තිය කොයින්ද? ඞී බී කුරුප්පු... මගේ ආදරණීය පෙරටුගාමියාණනි.. මාර්ගෝපදේශකයාණනි .. මේ සමුගැනීමක් නොවන බව කියා තබන්නට මම කැමතියි.

මම අද ඔබේ නිසල සිරුර දෙස නොබලාම යන්නට යනවා. ඒ ඔබ පිලිබඳ ජීවමාන මතකය මගේ හිතේ රඳවාගන්නට මම කැමති නිසයි. අද උදේ ශනිදා සාදයේ මා කියූ මේ කවිය ඔබ පාමුල තියා යන්නට අවසර දෙන්න.

තරු විසුළ අහස මැද හිස් තැනක් ඇයි තාම
ගුරු තරුව බැස ගිහින් කාටවත් නොකියාම
හුරු පුරුදු ගුණ සුවඳ හදවතෙහි රැඳුණාම
දුර වුණත් අපි ළඟයි ගුරුතුමනි හැමදාම   "