Monday, July 11, 2016

”අනේ අපේ පුතාට සිංහල බැහැනෙ” හරිම ආඩම්බරයි


විදෙස්ගත වන සමහර දෙමාපියන් කරන වරදක් පිළිබඳව දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish?  මැයෙන් රසිකලොජියේ ලියා ඇති සටහන හා බැඳෙන සටහනකි මේ. 


දරුවන් සමග ඉංග‍්‍රීසියෙන් කතා කරන විදෙස්ගත අපේ අය එසේ කරන්නේ හීනමානය නිසා වෙන්න පුලූවන්. තමන්ට හිමි කරගන්නට නොලැබුණ සිහිනයක් දරුවන් ලවා හිමි කරවා ගන්නට කරන උත්සාහයක් මේක.

මේ රටවල දරුවන් කොහොමත් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නවා. ඒත් ඔවුන්ට අමතක වන්නෙ සිංහල භාෂාවයි.

අපේ ගෙදර නීතිය ගෙදර ඇතුලෙදි ඉංග‍්‍රීසියෙන් කතා කිරීම තහනම් කියන එකයි. ඒනිසා තමයි  ඕස්ටේ‍්‍රලියාවෙදි ඉපදුණ මගේ පුංචි දුවට පවා ඉතා හොඳින් සිංහල කතා කරන්න පුලූවන් වෙලා තියෙන්නෙ. එහෙමයි කියලා ඇගේ ඉංග‍්‍රීසි පහලට බැහැලා නැහැ. සති කීපයකට ඉස්සෙල්ලත් පන්තියේ හොඳම ඉංග‍්‍රීසි රචනය ලිව්වෙ ඇයයි. ඒ රචනය කොයි තරම් හොඳඳ කියනවා නම් ළමයින්ට ඉදිරි කාල වලදි පෙන්නන්න ආදර්ශ රචනාවක් හැටියට ඒක පාවිච්චි කරන්න අවසරයත් ගුරුතුමිය දුවගෙන් අරගෙන තිබුණා.

මේ රටවල රජයේ අනුග‍්‍රහයෙන්ම සිංහල භාෂාව උගන්වන පාසල් රැුසක් තියෙනවා. සතියකට වරක් පැවැත්වෙන මේ පන්ති වලට විශාල වශයෙන් සිංහල දරුවන් සහභාගි වෙනවා. ඒත් ඒකත් සමහර අයට සෝබන වැඩක් විතරයි.

සිංහල පාසලක වාර්ශික තෑගි බෙදාදීමක ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවන්නට පසුගියදා මට සිදුවුනා. පාසල අසලට ගිහින් ඇතුළට නොයා මම වාහනයට වෙලා ටික වෙලාවක් හිටියා. අම්මලා තාත්තලා දරුවන් පාසලට ගෙන එනවා. සමහර අය සිංහල පාසලට එනගමන් පවා දරුවන් සමග කතා කරන්නෙ ඉංග‍්‍රීසියෙන්. සමහර අය කැඞ්ච්ච ඉංග‍්‍රීසියෙන් තටමමින් කරන කතාව අහගෙන ඉන්නකොට ඇතිවෙන්නෙ දුකක්.

” ඕක තමයි අපට තියෙන ප‍්‍රශ්නෙ.. මිනිස්සු හිතනවා මේ සිංහල ඉස්කෝලෙ ඇතුලෙ සතියකට ගත කරන පැය දෙක තුන ඇතුලෙදි දරුවන්ට සිංහල කතා කරවන්න අපට පුලූවන් කියලා. දෙමාපියන් ගෙදරදි කිසිම උනන්දුවන් නොදක්වලා අපෙන් විතරක් ඒක බලාපොරොත්තු වෙනවා” සිංහල පාසලේ සංවිධායක මහත්තයා මට කිව්වා.

මේකෙ තවත් පැත්තක් තියෙනවා. සමහර අපේ මිනිස්සු කැමතියි ලංකාවට ගියාම නෑදෑයන් ඉස්සරහ තමන්ගෙ දරුවට සිංහල බැහැ කියන එක පෙන්නන්න. ඒක ඒ අයට ආඩම්බරයක්.

”අනේ අපේ පුතාට සිංහල බැහැනෙ” මුණුබුරන් මිනිබිරියන් එක්ක බෑණලා ලේලිලා එක්ක කතා කරන්න ආසාවෙන් බලාඉන්න ඉංගිරිසි නොදත් අහිංසක නෑදෑයන් ඉදිරියෙදි එහෙම කියන්න ඒ අය හරිම ආසයි.

ඔය අතරේ මගේ හිතවතෙක් වන අරුණසිරි (නියම නම නොවෙයි) කිව්ව කතාවක් මතක් වෙනවා. ලංකාවෙ ඉතා ගම්බද පළාතක සිට කාර්මික අභ්‍යාස ආයතනයක පාඨමාලාව හදාරා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණ මගේ මිත‍්‍රයා දවසක් අපූරු කතාවක් කිව්වා.

”මං නං නිවාඩුවට ලංකාවට ගියාම පුතාට කියන්නෙ උඹ පුවන් තරම්ම ඉංග‍්‍රීසියෙන්ම කතා කරපං කියලයි. අපි ගමේ ඉන්න කාලෙ ගමේ එකක් වත් අපිව පයිසෙකට මායිම් කළේ නැහැ.. අපි බඩගින්නට හබරල කොල තම්බගෙන කනකොට උන් අහක බලාගෙන හිටියා. දැන් මට උන් ඉස්සරහ ඔලූව උස්සගෙන ආඩම්බරේට ඉන්ඩ  ඕනෙ.. ඒ නිසා මං කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් හරි උන් ඉස්සරහ පුතා එක්ක කතා කරන්නෙ ඉංග‍්‍රීසියෙන්මයි.. උන් අපි දිහා කට ඇරන් බලං ඉන්නකොට අම්මපා මට මාර සන්තෝසයි”

එහෙමත් වෙනවා......

පසු සටහන -  දරුවකුට කිසිදු අපහසුවකින් තොරව භාෂා කීපයක් එකවර ඉගෙන ගත හැකි බව විශේෂඥයන්ගේ මතයයි.

Experts say that kids should begin to learn a foreign language from a young age; the younger, the better. "A child is born with the ability to learn any language in the world," explains Caryn Antonini, "The older the child gets, certain windows close in terms of language acquisition, but so long as the child learns the language before puberty [age 12 or 13], the child should be able to speak with a native accent."

More - http://www.telegraph.co.uk/education/educationopinion/11151726/Children-should-start-learning-languages-at-age-three.html

20 comments:

  1. මගේ ළමයි 4 දෙනා ලැබුනේ පිටරට මං ළමයි එක්ක කතා කරන්නේ දෙමළන්. එන්ග්ලිෂ් වලින් කථා කරන්න ගියාම expression එලියට් දාන්න ළමයි ට බැහැ. මොකද මගේ english දැනුම සිමිතය්. හනික ළමයිගේ හුරතල් කමත් නැතිවෙනවා. අතේ හිදුල් හෝද ගන්න වගේ වචන මං දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම මොහමඩ් කියන දේ අනුමත කරනව..

      Delete
  2. මේ හා සම්බන්ධ කාරණා ගැන මගේ තව ලිපි කිහිපයක්ම පළ වීමට නියමිතයි, ජගත්.

    මා නම් දරුවන් සිංහල පාසලට ගෙන ගියේ සමාජ ආශ්‍රය පිණිසයි. මගේත්, ඔවුන්ගේත්. සතියකට පැය දෙක තුනකින් සිංහල ඉගෙන ගන්න බෑ තමයි.

    ReplyDelete
  3. අපේ පුතාට මම සිංහල කවි සින්දු එහෙම පුරුදු කරේ වයස තුන හතර වෙද්දී. එයා භාෂා දෙකම චතුර ලෙස කතා කරනවා .. යු ටියුබ් එකට සින්දු කිහිපයකුත් දැම්මා සිංහලෙන් කියන. එයා ලංකාවෙන් පිටත් වෙන කොට වයස මාස පහයි..

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ළමයින්ට තමන්ගෙ මව් බස පුරුදු කරන එක දෙමාපියන්ගෙ වගකීමක්.. මේ රටේ අවුරුදු 50ක් හිටියත් අපව ඔසියන් හැටියට ගණන් ගන්නෙ නැහැ.. ඒක දැන් මෙහෙ අවුරුදු 20ක් හිටිය මට හොඳටම දැනෙනවා. මිනිස්සුන් අපි දිහා බලන්නෙම අපි විදේශිකයන්ය කියන ඇහින්.. අන්තිමේ ඉතුරුවෙන්නෙ තමන්ගෙ මව් භාෂාවෙ වචනයක් වත් බැරි ලාංකිකයනුත් නොවන ඔසියනුත් නොවන අමුතුම ජන කොට්ඨාශයක්..

      Delete
  4. අපි ඉන්න පැත්තේ සිංහල පන්තියක් පටන් ගත්තා ලඟදි. ඒකෙත් අම්මලා තාත්තලා ලොකු කමට කඩුව වනනවා ඇහෙනවා . හිරිකිතේ බෑ...

    ReplyDelete
    Replies
    1. මගේ හිතවතියක වන මුස්ලිම් ජාතික වෛද්‍යවරියක් කවිඳු ඔය කියන ජාතියේ අයට කියන්නෙ ”සෝබනකාරයෝ” කියලයි.. ”අපි ඉගෙන ගත්තෙ සිංහලෙන්.. එහෙම සිංහල අමතකවෙන්නෙ කොහොමද?” ඇය මගෙන් අහනවා..

      Delete
  5. විදේශයක ඉන්නකොට ළමයින්ට සිංහල ඉගැන්වීම සම්බන්ධ මගේ අත්දැකීම්...

    - ගෙදරදී සිංහලෙන් කතා කිරීම අනිවාර්යයකි.
    - ළමයා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හෝ පාසල් යාමට පටන් ගැනීමෙන් පසු සිංහල කතා කිරීම අඩු වේ.
    - දහවල් දවසේ නිවසින් පිට සිටින නිසා, ළමයින්ට යම් යම් දේ පැහැදිලි කිරීමට දෙමාව්පියන් ඉංග්‍රීසියෙන් ළමයි සමග කතා කිරීමට පෙළඹෙයි.
    - සාමාන්‍ය කතා බහ සිංහලෙන් සිදුවන නිවෙස් වල පාසල් වයසේ ළමයින්ට හොඳින් සිංහල තේරුම් ගැනීමට හැකිය. නමුත් පිළිතුරු දීම සඳහා ඉංග්‍රීසි භාවිතා කිරීමට ඇති ඉඩ වැඩිය.
    - ආච්චි, සීයා නිවසේ සිටී නම් සහ ඔවුන් සිටින කාල වලදී ළමයා වැඩියෙන් සිංහලෙන් කතා කිරීමට පෙළඹෙයි.
    - දෙවෙනි සහ පසුව උපදින ළමයි සිංහල කතා කිරීමේ ප්‍රවනතාව තරමක් අඩුය. ඔවුන් බොහෝ විට සහෝදර සහෝදරියන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමට පෙළඹේ.
    - හැම ළමයාටම භාෂා කීපයක් ඉගෙනීමේ හැකියාව නැත. සමහර ළමයින් පිටතදී ඇසෙන ඉංග්‍රීසියත්, ගෙදරදී ඇසෙන සිංහලත් නිසා භාෂා තෝරා බේරා ගත නොහැකි තත්වයකට පත්වී එක භාෂාවක් හෝ කතා කිරීම ඉතා අඩු කරයි. කාලයකට පසු යථා තත්වයට පත්වේ.
    - පාසලේ මුල් වසර දෙක තුන තුල ඉගැන්වෙන ඉංග්‍රීසි උච්ඡාරණය පිළිබඳ ක්‍රමවේදයන් සහ දුටු පමණින් හඳුනා ගත යුතු වචන ආදිය, පාසලේ වැඩ කටයුතු හොඳින් කරගෙන යෑම සඳහා බෙහෙවින් බලපාන බැවින්, ළමයින්ට තව භාෂාවක් එම කාලය තුලදීම ආයාසයෙන් ඉගැන්වීම තරමක ප්‍රායෝගික වශයෙන් අපහසු කටයුත්තක් විය හැක. කලින් කී ආකාරයට, සෑම ළමයාම මේ සම්බන්ධව එක ලෙස දස්කම් දක්වන්නේ නැත.

    මා නිරීක්ෂණය කර ඇති දේ පමණි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර...

      Delete
    2. තිසර මිත්‍රයා සදහන් කර ඇති ආකාරයේ අවස්ථා මා විසින් ද නිරීක්ෂණ කර තිබේ.

      එකක් නම්, පියා ප්‍රංශ භාෂාව මවු භාෂාව කරගත් (නීගර් ජාතිකයෙකු) සහ මව චීන භාෂාව මවු භාෂාව කරගත් ජපානයේ ඉපදුන දරුවෙකු ගැන මෙවන් කණගාටු දායක අත්දැකීමක් මම දැක තිබේ. වසර කිහිපයක කෙටි කාලයක් තුල දෙමවුපියන් කිහිප වතාවක්ම නීගර්, එක්සත් ජනපදය, චීනය සහ ජපානය රට වල වාසය කිරීම මාරු කිරීම හේතුවෙන් දරුවා කම්පනයට පත්ව එක භාෂාවක් කතා කිරීම අත හැර දමා තිබුනා. අවසානයේදී, මහාචාර්යවරකුගේ බිරිඳක් වන වන කනිෂ්ඨ පාසැලක ගුරුවරියකව සිට විශ්‍රාම ලබා සිටි ජපන් ජාතික කාන්තාවක් ඉතා අසීරුවෙන් දරුවට ජපන් භාෂාව කතා කිරීම නැවත මුල සිට පහුණු කළා.

      දරුවන්ට භාෂාව ගැන තහංචි දැමීම ඔවුන්ගේ ස්වාධීනත්වය සහ නිර්මාණශීලීත්වය මොට්ට කරදැමීමට හේතුවක් විය හැකි බව මගේ අදහසයි. දරුවන් යනු දෙමව්පියන්ගේ අපේක්ෂා ඉටු කිරීමට යොදාගත නොයුතු බවත්, ඔවුනුත් අප වැනිම මිනිසුන් බවත් අමතක නොකළ යුතු බව මගේ අදහසයි. දරුන්වන් උසස් අධ්‍යාපනය ලැබිය යුතු ක්ෂේස්ත්රයද, දරුවන් විවාහ කරගත යුතු අන්දමද, දරුවන්ට දරුවන් ලැබිය යුතු වකවනුවද, දරුවන් විසින් ලැබිය යුතු දරුවන් ගණන ද පමණක් නොව දරුවන් ගේ දරුවන්ගේ අනාගතයද තමුන් තීරණය කිරීම තමුන් සතු අයිතියක් ලෙස සලකන අපේ රටේ සමහර උගත් දෙමවුපියන්ගේ සමහර බලපෑම් ඉතා කණගාටුදායක බව ප්‍රකාශ කිරීමටද මැලි නොවෙමි.

      Delete
    3. "වසර කිහිපයක කෙටි කාලයක් තුල දෙමවුපියන් කිහිප වතාවක්ම නීගර්, එක්සත් ජනපදය, චීනය සහ ජපානය රට වල වාසය කිරීම මාරු කිරීම හේතුවෙන් දරුවා කම්පනයට පත්ව එක භාෂාවක්වත් කතා කිරීම අත හැර දමා තිබුනා." ..... ලෙස නිවැරදි විය යුතුයි!

      Delete
  6. අයියෝ මානව, මොනවද මේ කතා ? මම ඉගෙන ගත්තෙ ලංකාවෙ රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ, අපි ප්‍රාථමිකයෙ හැමෝම කතා කළේ ඉංග්‍රීසියෙන් තමයි. ඉංග්‍රීසි කතා කරපු හැමෝම ගෙදර ඉංග්‍රීසි කතා කරපු නිසා තමයි ඒ විධියට ඉංග්‍රීසියෙන් කථා කර කර සිංහලෙන් ඉගෙන ගත්තෙ. ශිෂ්‍යත්වෙ සමත්වෙලා ගමෙන් ආපු ළමයි ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසි බෑ,මොකද ගෙවල්වල ඒ ළමයි ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නැති නිසා. ඔබ හිතන විධියට කැඩිච්ච ඉංග්‍රීසි කවුරුත් කතා කළේ නෑ. අනිත් එක අපිට සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම හොඳට පුළුවන්. හැබැයි ඉංග්‍රීසි රටවලට migrate වෙච්ච , පස්සෙ ඉංග්‍රීසි ඉගෙන ගත්තු උගත්තු තුළ ඔය හීනමානය මම දැක්කා. පොඩි කාලෙ භාෂා දෙකම හොඳින් කථා කරන්න ඉගෙන ගන්න අපිට පුළුවන් වුණානම්, අලුත් පරපුරට බැරි වෙන්න විධියක් නෑනෙ. අනික ඔය සුද්දන්ට ඉංග්‍රීසි උගන්වනවා කියන සමහර උගත්තු, තමන්ගෙ ළමයි එක්ක ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නැත්තෙ, සිංහලවලට ආදරේ හින්ද නෙවෙයි. ඒගොල්ලන්ගෙ English accent එක ඒ රටේ විධියට (උදා:American accent, British accent)නැති නිසා, තමන්ගෙ ළමයි වුණත් තමන්ගෙ ඉංග්‍රීසි වැරදියි කියල කට්ටිය ඉස්සරහ කියන නිසා. ඕක මට මුලින්ම කිව්වෙ මට උගන්නපු විදෙස් මහාචාර්‍ය කෙනෙක්. එයා තමන්ගෙ දරුවත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනකොට, ඒ දරුවා කියනවලු ඩැඩී ඒක උච්චාරණය වැරදියි, ඒක කියන්නෙ මෙහෙමයි කියලා. ඒ මහාචාර්‍යතුමා අපිට එහෙම කිව්වෙ, පොඩි ළමයි කුඩාකාලෙ ඉඳල යම් රටක හැදෙන වැඩෙනකොට, ඒ රටේ English accent එක අල්ල ගත්තත්, පස්සෙ ඒ රටට ආපු වැඩිහිටියන්ට කොච්චර කාලයක් හිටියත් ඒ English accent එක ලබා ගන්න අමාරු නිසා. මේ විදෙස් මහාචාර්‍යතුමත් අවුරුදු 15ක් හිටියත්, තාම බැරිවෙලා තියෙනවා ඒ accent එක අල්ලගන්න. හැබැයි English accent එක වැදගත් නෑ, හරියට ඉංග්‍රීසි කතා කරනවනම් එච්චරයි.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ජගත්, මම භාෂා ගැන ලියූ ලිපියක් http://godayage-adaviya.blogspot.com හි තිබෙනවා. ඒක මේ කතිකාවට වැදගත් වෙවි කියා හිතෙනවා.

      Delete
    2. ඒ ලිපිය කියෙව්වා. වැදගත් ලියවිල්ලක් ප‍්‍රභාත්.. මේ ලිපිය සන්නස පුවත්පතට උපුටා ගන්නට අවසරයිද?

      Delete
    3. උපුටා පළ කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.අැත්තටම මේ අදහස් වඩ වඩාත් අපේ මිනිසුන් අතරට යා යුතුයි. මගේ අනෙක් බ්ලොගය http://patayakagepituwa.blogspot.com මෙහි ලිපි වුනත් ඔබට අවශ්‍ය නම් උපුටා පළකරන්න.සන්නස පුවත්පතට සුබපැතුම් !

      Delete
  8. මගේ නෝනාගේ තාත්තා ගැමිපව්ලක අයෙක් නමුත් ඒකාලේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් නිසා " රුජිනගේ ඉංගිරිසිය හොඳටම දන්නවා විතරක් නෙව් කතාකරන්නත් පුළුවන් නමුත් ඔහුගේ දරුවන් අපිවගේම 56 න් පස්සේ සිංහලෙන් ඉස්කෝලේ ඉගෙන ගත්ත අය. ඒක නිසා කඩ්ඩ අප්සැට්. එයාක තාත්තාට දැන් බනිනවා අපිට ගෙදරදී ඉංගිරිසියෙන් තකාකොරා නම් මෙහෙම වෙන්නේ නෑ කියල, එත් එයා කියන්නේ අපේ දෙමව්පියෙ දන්න ඉංගිරිසියක් නෑ. අපි ඉංගිරිසි ඉගෙන ගත්තේ ඉස්කෝලෙන් කියල.

    ReplyDelete
  9. . සමහර අපේ මිනිස්සු කැමතියි ලංකාවට ගියාම නෑදෑයන් ඉස්සරහ තමන්ගෙ දරුවට සිංහල බැහැ කියන එක පෙන්නන්න. ඒක ඒ අයට ආඩම්බරයක්.

    //”අනේ අපේ පුතාට සිංහල බැහැනෙ” මුණුබුරන් මිනිබිරියන් එක්ක බෑණලා ලේලිලා එක්ක කතා කරන්න ආසාවෙන් බලාඉන්න ඉංගිරිසි නොදත් අහිංසක නෑදෑයන් ඉදිරියෙදි එහෙම කියන්න ඒ අය හරිම ආසයි.//
    මේක මාත් හොඳින් අත්වින්දා..කැඩිච්චි ඉංගිරිස් කතා කරන දෙමාපියන් තමන්ගෙ දරුවන්ට සිංහල බෑ කියල ආඩම්බරෙන් කියද්දි මට හිරිකිතයක් දැනුණ වාර අපමණයි..

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete