Monday, July 2, 2018

ආචාර්ය හෙන්රි ජයසේන සූරීන් වෙනුවෙනි

මේ මතක සටහන ආචාර්ය හෙන්රි ජයසේන සූරීන් වෙනුවෙනි.


ශ‍්‍රී ලාංකේය වේදිකාවේ මහත් පෙරළියක් කළ ඔහු නිමැවූ වේදිකා නාට්‍ය කිසිදා අමතක නොවන ඒවා ය. පව්කාරයෝ (1958) ජනේලය (1962) කුවේණි (1963) තවත් උදෑසනක් (1964) මනරංජන වැඩවර්ජන (1965) අහස් මාලිගා (1966) හුණුවටයේ කතාව (1967) අපට පුතේ මගක් නැතේ (1968) දිරිය මව (1972) මකරා (1973) සරණ සියොත් සේ පුතුනි හඹා යන (1975) ඔහු අපට දායාද කළ වේදිකා නාට්‍යයි. හුණුවටයේ ඔහු ජීවමාන කළ අසඩක් ගේ චරිතය සදානුස්මරණීය චරිතයකි.


ගම්පෙරළිය, අවුරුදුදා, ගැහැනු ගැට, දහසක් සිතුවිලි, සීගිරි කාෂ්‍යප, සුහද සොහොයුරෝ, වෙන ස්වර්ගයක් කුමටද, හෙට ප‍්‍රමාද වැඩියි, බද්දේගම, අම්මයි දුවයි, සඳකඩපහන, සොල්දාදු උන්නැහේ, හංස විලක්, කළියුගය ඔහු රඟපෑ සිනමා පට අතර වෙයි. රූපවාහිනියේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ සුදු සීයා ගේ චරිතය අති මහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනාගත්තේ ය.
ගම්පෙරළියේ පියල් ලෙස


ඔහු කලක් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ද රඟ පෑ නමුත් පසුව එයින් ඉවත් විය. ඒ ගැන ඔහු කීවේ ”දවසක් එළමහන් රගං පීඨයක මනමේ කරද්දි හඳ පායලා තිබුණා. මං ඒ දිහාට අත දික්කළා  කියල කව්ද කෙනෙක් සරච්චන්ද්‍ර මහත්තට කේළමක් කියල මං මනමේ එකේදි චිත‍්‍රපටි කෑලි දානව කියල” කියා ය.


වේදිකාවේත් සිනමාවේත් සාහිත්‍යයේත් විසල් පුරෝගාමී මෙහෙවරක් කළ ඔහු හා මා අතර මිත‍්‍රත්වය ඇතිවන්නේ ඉතා සරළ සිදුවීමක් නිසා ය. එක්තරා යුගයක ඔහු වේදිකාවට සම්බන්ධ සිය ජීවිත කතාව කොටස් වශයෙන් ලියමින් සිටියේ ය. ඒ කරළියෙන් කතාවක් 1, 2 සහ නොනිමි කතාවක් ලෙස මගේ මතකයේ තිබේ. (පසුව ඔහු ”මිනිසුන් වූ දරුවන්” නමින් සිය ජීවිත කතාව ලිව්වේ ය.) ඒ සියලූ පොත් මහත් අභිරුචියකින් කියමින් සිටි මට ඔහු හපන්කම් පෑ එක්තරා කලා ක්ෂෙත‍්‍රයක් පිළිබඳව සටහන් කරන්නට ඔහුට අතපසු වී ඇති බව පෙනී ගියෙන් ඒ පිළිබඳව දන්වා ඔහුට ලිපියක් යැව්වෙමි.


සතුට චිත‍්‍රකතා පුවත්පතේ ඞී සී කරුණාරත්න මහතාගේ අපූරු චිත‍්‍ර වලින් සමන්විතව ”හාවුන් හඳේ අල්ලං අල්ලං” නමින් ළමයින් ඉලක්ක කරගත් කාටුන් චිත‍්‍රකතා පෙළක් පළවිය. අපි මහත් ආශාවකින් කියැවූ ඒ චිත‍්‍රකතා පෙළ ලිව්වේ හෙන්රි ජයසේන සූරින් බව බොහෝ දෙනෙකුට දැන් මතක නැතැයි සිතමි. එදා මා ඔහුට සිහිපත් කරදුන්නේ ඒ චිත‍්‍රකතා ලියූ යුගය පිළිබඳවය. මගේ ලිපියට ස්තුති කරමින් ලිපියක් එවූ ඔහු සිය ඉදිරි කෘතියකදී ඒ යුගය පිළිබඳව ලියන බවත් දැන්වූයේ ය. ඔහු හා මා අතර හිතවත් කමක් ගොඩ නැගුණේ ඉන් පසුව ය. අප හමු වූයේ කීප වතාවක් වුව ද ඔහු දිගටම මට ලිපි ලිව්වේ ය.


මේ යුගයේ ඔහු ”ලාසරස්” පොත ලියමින් සිටියේ ය. තමා ලාසරස් ලියන්නේ ඞී ආර් විජේවර්ධන නවකතා තරගයට ඉදිරිපත් කිරීම සඳහා බව ඔහු මා හා පැවසුවේ ය. ලාසරස් පසුව ඉංග‍්‍රීසියටද පරිවර්තනය කෙරුණ අතර අවාසනාවට ඒ ඉංග‍්‍රීසි පරිවර්තනය එළි දැක්වුණේ ඔහුගේ අභාවයෙන් පසුව ය.



මගේ පළමු මුද්‍රිත ග‍්‍රන්ථය වූ ”සිසිරයේ පිපුණ මල” කාව්‍ය සංග‍්‍රහයට ඔහු පසුවදනක් ලිව්වේ ය. මගේ දෙවන පොත වූ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහය මම ඔහුට පුද කළෙමි. ඒ වෙනුවෙන් නුගේගොඩ ඔහුගේ නිවසට අප ගිය දා මානෙල් ජයසේන මහත්මිය කිරිබත් සෑදුවා ය.




”අද හොඳ දවසක් නිසා ඔන්න මං කිරිබත් ඉව්වා” එතුමිය  එදා සිනාමුසු මුහුණින් කියූ අයුරු මගේ මතකයෙන් කිසිදා බැහැර නොවේ.


මේ එදා පොත පිළිගැන්වූ මොහොත මගේ අයියා කුමාර විසින් සේයාරුවට නංවන ලද ආකාරයයි.



1931 ජූලි 6 වන දා උපත ලැබ 2009 නොවැම්බර් 11 වන දින අප හැර ගිය ආචාර්ය හෙන්රි ජයසේන සූරීහු සදා කල් අප සිතේ ජීවත්වෙති.







පසු සටහන

”හාවුන් හඳේ අල්ලං අල්ලං” කතාවට අපූරු කාටුන් චරිිත කීපයක් එක් කළ ඞී සී කරුණාරත්න මහතා සිංහල සිනමාවේ පළමු ළමා චිත‍්‍රපටය ලෙස හැඳින්විය හැකි කුවේණියගේ දරුවන්ගේ කතාව අළලා නිපැදවුණ  ”අතීතයෙන් කතාවක්” චිත‍්‍රපටය වෙනුවෙන්ද සජීවීකරණ චිත‍්‍ර පෙළක් ඇන්ද බව මගේ මතකය කියයි.

10 comments:

  1. ”හාවුන් හඳේ අල්ලං අල්ලං" යන්තම් මතකයි වගේ.

    ReplyDelete
  2. ඔහු සිය ජීවිත කතාව මිනිසුන් වූ දරුවන් යන කෘතියෙන් හෙලි කලා

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි.. එය එකවරම මගේ මතකයට ආවෙ නැහැ.. ඔහුගෙ ජීවිත කතාව හරිම කටුක එකක්.. විශේෂයෙන්ම ඔහුගෙ පියා විසින් ඔහුව මවගෙන් වෙන්කරගනු ලැබීම.. ඇසට කඳුළක් නැංවූ පොතක් ඒක..

      Delete
  3. හුනුවටයෙන් උපන් අඩසක්
    නොමියෙන මතක දහසක්
    නික්ම ගිය කල නුඹ දවසක්
    කලාලොව ඇති උනා හිඩැසක්

    ReplyDelete
  4. ඉතාම ආසාවෙන් කියෙව්වා! හරබර ලිපියක්!

    ReplyDelete
  5. 1975න් පස්සෙ අලුත් වේදිකා නාට්‍ය කලේ නැද්ද?

    ReplyDelete
  6. බ්ලොගය අද තමයි ඇහැ ගැටුනේ.. හරවත් රසවත් ලිපි බොහොමයක් තියෙන නිසා මුල ඉඳන්ම කියවන්න වෙනවා..

    ReplyDelete
  7. ඔබේ ලියවිලි එක දිගට කියවාගෙන යන්න පුළුවන්. කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ දින නැති දිනපොත කෙටිකතාවට කොටස් ගන්න පුළුවන්ද ? අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ මගේ යොමුවට දන්වන්න . ඔබේ අවසරය බලාගෙන ඉන්නවා .

    ReplyDelete