Monday, February 6, 2017

කම්හලක් හැදුවෙමි - 2 කොටස

අපට තිබුණේ ඉතාමත් සීමිත සම්පත් ප‍්‍රමාණයකි. ලිපිකාරිණියට යතුරු ලියනයක් නැත. ප‍්‍රධාන කාර්යාලයේ පාවිච්චියෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික් යතුරු ලියනයක් තිබූ බව මට මතකය. අලූත්ම එකකි. යම්කිසි දෝෂයක් නිසා ක‍්‍රියා නොකරයි. අලූත්වැඩියාකරවා ගන්නට කිසිවකුට උනන්දුවක් නැති නිසා පාවිච්චියෙන් ඉවත් කර ඇත. මම එය ඉල්ලා ගතිමි. මෙට්‍රොපොලිටන් ආයතනයට යවා අලූත්වැඩියා කර ගත්තෙමි.


කාර්මිකයනට ආයුධ ඇත්තේද සීමාසහිතවය. තිබෙන ආයුධ දෙකට බෙදා සේවා කණ්ඩායම් දෙකක් හැදුවෙමි. සෑම උදෑසනකම අවශ්‍යකරන තෙල් වර්ග සහ අමතර කොටස් පටවා ගන්නා කණ්ඩායම් දෙක දෙපසකට පිටත් කර හරින්නෙමි. රට පුරා විවිධාකාර යන්ත‍්‍ර තිබූ බැවින් ඇති තරම් වැඩ තිබුණි. එහෙත් මෙය තෘප්තියක් ලැබෙන වැඩක් නොවේ. මටත් වඩා අතෘප්තිමත්ව සිටියේ මා සමග පැමිණ සිටි කාර්මිකයන්ය.


”මෙහෙම ඔයිල් මාරු කර කර ඉඳලා වැඩක් නැහැ සර්.. එන්ජින්  ඕවරෝල් එකක් වගේ ටිකක් ඇඟට දැනෙන වැඩක් කරමුකො.. සර් බය නැතුව  ඕනෙ වැඩක් බාර ගන්න.. අපි දෙන්නම් තිතට”


මගේ කාර්මිකයන්ගේ දක්ෂතා ගැන මම හොඳින්ම දනිමි. ඔවුහු මා අතින් අල්ලා තෝරාගත් වැඩකාරයෝ ය. වැඩ කරන්නටම ඉපදුණ දක්ෂයෝ ය. ඔවුන්ට අවශ්‍ය එන්ජිමක් ගලවා සවි කරන්නටය. ගියර් පෙට්ටියක් දෙපළු කරන්නටය. ටෝක් කන්වර්ටරයක් ගලවන්නටය. විසල් යන්ත‍්‍රයක හයිඩ්‍රොලික් සිලින්ඩර අලූත්වැඩියා කරන්නටය. හරියාකාර ඇඟට දැනෙන වැඩක් නැති කල ඔවුන් නළියන බව මම දනිමි. එහෙත් මෙය සේවා ඒකකයක් බවත් කම්හලක් නොවන බවත් ඔවුන්ට තේරුම් කර දෙන්නේ කෙසේද?


ඉහළ නිලධාරීන්ටගෙන් යමක් ඉල්ලා ගන්නට නියමිත වේලාවක් ඇත. මම අවස්ථාව එළැඹෙන තෙක් කල්බලමින් සිටියෙමි.


මාර්ග සති යන්ත‍්‍ර ප‍්‍රවාහණයට යොදාගෙන තිබූ 26 ශ‍්‍රී 9060 ලොරිය අබලන් වන්නේ මේ අවස්ථාව මට උදාකර දෙමින් ය. මාර්ග සති වැඩ සටහන අඩාල වන කිසිදු දෙයක් සිදුවිය නොහැකිය. ප‍්‍රමුඛතාව මාර්ග සතියට ය. ලොරිය අබලන් වීමෙන් යන්ත‍්‍ර ප‍්‍රවාහණය කරන්නට නොහැකි වීම ඇඟට දැනෙන බරපතළ තත්වයකි.


”ලොරිය කොම්පැණියට යවලා රෙපයාර් කරගනිමු” ප‍්‍රධාන කාර්යාලයෙන් නියෝගය ලැබුණි.


මම අධ්‍යක්ෂ (යාන්ත‍්‍රික) රණසිංහ මහතා හමුවීමි. මගේ සහයට ඉංජිනේරු ජයතිලක මහතාද විය.


”ලොරිය කොම්පැණියට යැව්වොත් මාස ගාණක් යයි එලියට ගන්න.. සර්ට පුලූවන් නම් මට ස්පෙයා පාට්ස් ටික අරගෙන දෙන්න.. මම අපේ මිකැනික්ලට කියල ලොරිය හදන්නම්” මම කීවෙමි.


රණසිංහ මහතා කල්පනා කරමින් සිටියේ ය.


”කොච්චර කාලයක් යයිද හදන්න?” ඔහු ඇසුවේ ය. මාර්ග සතිය සම්බන්ධ ප‍්‍රශ්න වලදී කාලය යනු ප‍්‍රධානම සාධකයකි. ඒ බව මම දනිමි.


”ස්පෙයා පාට්ස් ටික ලැබිලා සතියක් ඇතුළත මම ලොරිය දෙන්නම්” මම කීවෙමි. සතියක් යනු ආණ්ඩුවේ ආයතනයකට ඉතා කෙටි කාලයකි. මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිම යාන්ත‍්‍රික කම්හලකින් මෙවැනි අලූත්වැඩියා කිරීමක් සතියකින් අවසන් කර නැත. මෙය අවම වශයෙන් මාස තුන හතරක් ගන්නා වැඩකි.


රණසිංහ මහතා කල්පනා කරමින් සිටියේ ය. අවසන ඔහු අර සුන්දර සිනාවෙන් ජයතිලක මහතා දෙස බැලූවේ ය.


”එදිරිට බඩු ටික අරගෙන දෙන්න” ඔහු කීවේ ය.


ඊළඟ සතියේ අවශ්‍ය අමතර කොටස් ලැබුණි. මගේ ගෝලයෝ දවස් තුනක් රෑ දවල් නොබලා වැඩ කර ලොරිය ගොඩ දැමූහ. හතරවන දවසේ උදෑසන මම ඒ බව රණසිංහ මහතාට දන්වා සිටියෙමි.
”මාර්ග සංවර්ධන අධිකාරියට යාන්ත‍්‍රික කම්හලක් අවශ්‍ය නැත” යයි යම් කිසිවකු ගෙන තිබූ තීරණය විසින් බඳින ලද බැම්ම බිඳ වැටීම ඇරඹුණේ එසේය. දැන් වතුර කාන්දු වෙමින් තිබෙයි. ඉක්මණින්ම මේ බැම්ම සම්පූර්ණයෙන්ම බිමට වැටෙන බව මට දැනෙයි.


”මිස්ටර් එදිරිසිංහ.. මගේ කාර් එකේ ක්ලච් එක ගිහිල්ල .. කොම්පැණියට දැම්මොත් සතියක්වත් ගනියි.. බැරිද මොකවත් කරන්න?” සෙත්සිරිපායේ පඩි පෙළේදී හමු වූ අධ්‍යක්ෂ (විගණක) අසයි. මම පැය දෙකකින් ඔහුගේ වාහනය අලූත්වැඩියා කර ආපසු සෙත්සිරිපායට යවමි. එය මාර්ග සංවර්ධන අධිකාරියේ අතීීතයේ තිබූ කම්හලක අවම වශයෙන් සතියක් දෙකක් ගන්නා වැඩකි.


අපේ ලොක්කෝ වාහන වලට දැඩි ලෙස ආදරය කරන අය වෙති. ලංකාවේ කොයි ලොක්කාත් එසේමය. නිලරථ වලට ඔවුන්ගේ ඇත්තේ දැඩි ඇල්මකි. ඔවුන්ට අවශ්‍ය ඉතා ඉක්මණින් සිය වාහනය අලූත්වැඩි කර ගත හැකි ක‍්‍රමයකි. ප‍්‍රධාන කාර්යාලයේ වාහන අලූත්වැඩියා සඳහා නොකඩවා මරදාන කම්හලට එන්නට පටන් ගත්තේ එසේ ය.


මරදාන දැන් තව දුරටත් සේවා ඒකකයක් නොවේ.  ඕනෑම ප‍්‍රධාන අලූත්වැඩියාවක් පැය කීපයකින් හෝ දින කීපයකින් හෝ නිම කිරීමට සමත් වැඩකාරයන් පිරිසක් සිටිනා ඉතා ක‍්‍රියාකාරී යාන්ති‍්‍රක කම්හලකි. මේ ප‍්‍රසාරණය මුහුණ දෙන්නට මට තවත් සේනාව අවශ්‍යය.


කම්හලට අලූතින් කාර්මිකයන් හතර දෙනක් සහ විදුලි කාර්මිකයකු අනුයුක්ත කෙරුණි. වැඩ බලන්නට යාන්ත‍්‍රික අධිකාරිවරුන් දෙදෙනෙකුද අලූතෙන්ම බඳවාගන්නා ලදී.  තවත් ලිපිකරුවෝ දෙදෙනෙක්ද ඒ සමගම පත්වීම් ලදහ. අවුරුද්දක් දෙකක් යන විට මරදාන කම්හලට අනුයුක්තව විවිධ ශ්‍රේණි වල සේවකයෝ සියයක් පමණ සිටියහ.


තිබෙන වැඩ පරිමාව සපුරන්නට තවත් කාර්මිකයන් අවශ්‍යය. මම ජාතික ආධුනිකත්ව මණ්ඩලය සමග සාකච්ඡුා කර ආධුනිකයන් හතරදෙනකු ඉල්ලා ගත්තෙමි.


මම සේවක කාමරයේ වහලයට තිබූ කොන්ක‍්‍රීට් තට්ටුව මත තවත් කාමරයක් තැනුවෙමි. අවශ්‍ය සිමෙන්ති ගල් ආදිය විවිධ වැඩ බිම් වලින් ඉල්ලා ගත්තෙමි. සේවකයෝ ස්වෙච්ඡුාවෙන් ගඩොල් බැන්දහ. කපරාරු කළහ. ඒ කාමරයේ ඇඳන් කීපයක් දමා රෑ බෝවී එන සේවකයන්ට නිදාගන්නට පහසුකම් සළසා දුන්නෙමි. රූපවාහිනී යන්ත‍්‍රයක්ද එහි සවිකළෙමි. මගේ කම්හලේ කිසිදු සේවකයකු අසතුටින් නොසිටි බව මට විශ්වාස ය.


මාර්ග සති සේවා වලට යොදවා තිබූ යන්ත‍්‍ර වලට අමතරවමාර්ග සංවර්ධන අධිකාරියට මිලට ගත් තවත් බර යන්ත‍්‍ර ගණනාවක්ම අපේ යන්ත‍්‍ර හමුදාවට එක්වෙයි. ඒවා රටපුරා සේවයට යොදවා ඇත. මසකට වරක්වත් ඒ තැන්වලට ගොස් මේ යන්ත‍්‍ර පරීක්ෂා කරන මෙන් මට උපදෙස් ලැබී ඇත. ගාල්ල මාතර බණ්ඩාරවෙල නුවරඑළිය මහියංගනය අනුරාධපුර ආදී ප‍්‍රදේශවලට මාස දෙකකට වතාවක් හෝ යන්නට මට සිදුවිය. ඒ හැරෙන්නට මාර්ග සති සංවිධානය කිරීමේ රැුස්වීම් වලටද මගේ සහභාගිත්වය අවශ්‍ය වූයේ ඒ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර සැපයීම මගේ වගකීමක් වූ නිසා ය.


මගේ 31ශ‍්‍රී 5380 දරණ පරණ මිට්සුබිෂී ජීප් රථය වෙනුවට අලූතෙන්ම මිලට ගත් මිට්සුබිෂි බඩල්කැබ් රථයක් ලබා දෙන්නට තරම් ප‍්‍රසාදයක් ඉහළ නිලධාරීන්ගේ සිත් වල ඇති කරන්නට මට හැකිවී තිබුණි.


අපි රැයක් දවාලක් නොබලා ඉමහත් තෘප්තියකින් වැඩ කළෙමු.


අධ්‍යක්ෂ (යාන්ත‍්‍රික) රණසිංහ මහතා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නේ මේ අතරදී ය.


අලූතින් නිලධාරීහු පත්ව එති. මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නිලධාරීහු වෙන වෙනම මා හමුවන්නට එති.


”මේ වැඬේට අපි ඉඩ දෙන්නෙ නැහැ.. අපි දන්නවා එදිරිසිංහ මහත්තයා මේ වර්ක් ෂොප් එක ගොඩනගන්න වෙච්ච මහන්සිය..” ඔවුන්ගේ කතා වල සාරාංශය එසේ විය. මම නිහඬව සිටිමි. මොනයම් ක‍්‍රමයකින් හෝ මා වෙනුවෙට වෙනත් අයකු පත්කිරීමේ අදහස යටවී යයි. එසේ වුවද සිතේ ඇති වූ කළකිරීම පහව නොයයි. ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ගත් තීරණයට ඒ කළකිරීම මහත් උත්තේජනයක් සැපයූ බව මම දනිමි.


මා මාර්ග සංවර්ධන අධිකාරියෙන් අස්ව එන දා මගේ දුප්පත් සේවකයෝ තමන්ට හැකි පමණින් සාදයක් සංවිධානය කළහ. ඔවුන් මා වැළඳගෙන හඬාවැටුණ අයුරු සිහිපත් වන විට අදත් මගේ ඇස් වලට කඳුළු පිරෙයි.



ජීවිතයේ එක් පරිච්ඡෙදයක් නිමා වූයේ එලෙස ය.


කාලය අප බොහෝ දුර ගෙනගොස් ඇත.


පසු සටහන


මරදාන කම්හල දැන් එතැන නැත. එය රත්මලානට ගෙන ගිය බව දැනගන්නට ලැබුණි. පසුගිය වසරක දිනෙක මම මගේ මිත‍්‍ර කැලූම් පාලිත මහීරත්න සමග ටවර් රඟහලේ නාට්‍යයක් බැලීමට ගියෙමි. අපේ වාහනය නවත්වන්නට තැනක් නොවීය.


”මගේ වර්ක්ෂොප් එක තිබෙුණ පාරෙන් එහා පැත්තෙ. අපි එතෙන්ට ගිහිල්ල බලමු. කවුරු හරි  හිටියොත් වාහනේ එතන නවත්තන්න පුලූවන්” මම කීවෙමි. අපි එල්පින්ස්ටන් රඟහල ඉදිරියෙන් පල්ලමට ගොස් කම්හලේ ගේට්ටුව අසළ වාහනය නැවැත්තුවෙමු. පාලූවට ගොස් ඇති කම්හල් බිම මගේ සිතේ මහත් සංවේගයක් ඇති කරයි. එක් කලෙක මෙය කඩි ගුලක් මෙක් කඩිසරව තිබූ තැනකි. මම වාහනයෙන් බැස්සෙමි. ගේටුට්වේ මුරට සිටි මා නොහඳුනන කොලූ ගැටයෙක් වාහනය අසළට දුවගෙන එයි.


”සර් එදිරිසිංහ මහත්තය නේද?” ඔහු අසයි.

”ඔයා කොහොමද දන්නෙ? ඔයා මං හිටපු කාලෙ හිටියෙ නැහැනෙ” මම අසමි.

”ඉස්සර වර්ක්ෂොප් එකේ සර්ගෙ පින්තූරයක් එල්ලලා තිබුණා.” තරුණයා කියයි.


මා අමතක නොකළ එක් අයෙකු හෝ සිටින බව දැන් සහතික ය.

21 comments:

  1. කතාව ඇහුවම ඇඬේනවා. ලංකාව බල්ලට ගිහිල්ල තියෙන්නෙ මොකද කියලා පෙන්වන තවත් කතාවක්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම නවතින්නේ පිටරට.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වැඩ කරන්න හරිම අමාරුයි. ප‍්‍රශ්න එලෝකෝටියයි. කකුලෙන් අදින මිනිස්සු අනන්තයි. ඒත් වැඩක් කරන්න ඔ්නෙම නම් ඒකට ක‍්‍රම හොයාගන්නත් පුලුවන්. ඒත් එහෙම ගමනක් යන්න නම් දැඩි ආත්ම ශක්තියක් අවශ්‍යයි. පසුබට නොවී හැම බාධකයටම මුහුණ දෙන්න ශක්තියක් අවශ්‍යයි.

      Delete
  2. මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. /////////////////// කාලකන්නි දේශපාලනය නිසා වැඩක් කරන මිනිසාටද වැඩ කිරීම එපාවේ .3rd world attitude

    ReplyDelete
  3. මම මගේ අයියත් එක්ක මරදානේ වර්ක්ෂොප් එකට බොහොම වතාවක් ඇවිල්ල තියෙනවා.
    5380 ජීප් එක මට තාම මතකයි, පන්සල පාරේ (බෝධිය පාරේ?) කන්ද උඩම ගෙදර ළඟ නවත්තලා තියෙනවා.
    ඩිසල් ලාන්සර් එකක් එහෙම මතකද?

    ReplyDelete
    Replies
    1. බෝදිය පාරේ කන්ද උඩම තිබුණෙ මගේ ගේ. ඉඩම දුන්නේ අපේ තාත්තා. ගේ හැදුවෙත් ඒ ගෙට පහළින් තියෙන තාත්තා දුන්න අනිත් ඉඩමෙ කොටස් කීපයක්ම විකුණලා.. දැන් හුග’ක් කල් ගිහින් නිසා මට ඩීසල් ලාන්සර් එක නම් මතක නැහැ... ඒත් ඔබේ නම කිව්වොත් මතක් වෙයි.. කොහොමත් මිරිහානෙ බෝධිය පාරට මං තාම ආසයි... අපි පුංචිම කාලෙ ඔය පාරෙ නම මොරගහ පටුමග.. බොරළු පාර.. තලපත්පිටිය කණිශ්ට විද්‍යාලයට පයින් ගියේ ඒ බොරළු පාර දිගේ ගිහින් වෙලෙන් පැනලා...

      Delete
  4. මරදානේ වරක්ෂොප් එකක් තිබුණු බව මා දැන ගත්තේ මේ සටහන් නිසායි. අඟුලානේ, පල්ලෙකැලේ, අනුරාධපුර (පැත්තේ) කම්හල් ගැන නම් අහලා තියෙනවා. ඒ මගේ මිතුරන් වන ලලිත්, සනත්, ප්‍රේමලාල්, කපිල වගේ අය වැඩ කළ නිසා!

    ReplyDelete
    Replies
    1. මරදාන කම්හලේ කතාව පටන් ගන්නේ මාසංඅධිකාරිය සතුව තිබූ පල්ලෙකැලේ අනුරාධපුර මඩකළපුව කුරුවිට වැනි සියලු කම්හල් ඉංජිනේරුවන් ඇතුළු සියලු සේවකයන්ද සමගින්පලාත් සභා වලට පවරාදීමෙන් පසුවයි. මේ කියන කාලයේ ඔය කියන කම්හල් එකක්වත් මාසංඅධිකාරියට හිමිවී නොතිබුණි. මේ කියන කාලය වන විට අගුලාන මාසංහානි සමාගමට (RCDC) අයත්ව තිබූ කම්හලයි.

      Delete
  5. /* මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. .......
    .............
    මොනයම් ක‍්‍රමයකින් හෝ මා වෙනුවෙට වෙනත් අයකු පත්කිරීමේ අදහස යටවී යයි. එසේ වුවද සිතේ ඇති වූ කළකිරීම පහව නොයයි. ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ගත් තීරණයට ඒ කළකිරීම මහත් උත්තේජනයක් සැපයූ බව මම දනිමි. */

    ජගත්ට ඇති වූ කළකිරීම නම් මට වටහා ගන්න අමාරුයි. ඔබේ අරමුණ විය යුතුව තිවුණේ, ඒ වර්ක්ෂොප් එකට වී සැඟදා සිටීම නොවේ. අර රණසිංහ දැරූ තනතුර වගේ එකකට උසස්වීමක් ගන්නයි.

    ReplyDelete
    Replies
    1. ඒ වර්ක්ෂොප් එකට වී සැමදා සිටීීමේ අරමුණක් කිසිදා මගේ සිතේ නොවීය. නමුත් මට අවශ්‍යව තිබුණේ මා ආරම්භ කළ කටයුතු නිමාවක් කර යන්නටය.

      Delete
  6. ජගත් අයියගේ සටහනට ඇස් වලට කඳුළුත් ආවා. ඇත්තටම ලංකාවෙන් ගිහින් තියෙන්නේ ලංකාවේ හොඳම ස්ප්‍රිට් එක වෙන්න ඕනේ....

    ReplyDelete
  7. අපිට පුතේ මගක් නැතේ...

    ReplyDelete
  8. වැඩක් කරන්න ඕනකම,පුළුවන්කම තියෙන එකාට වැඩක් කරන්න දෙන්නේ නැති රටක් මේක.මේ විදියට වැඩක් කිරීමෙන් ඔබ ලද තෘප්තිය අනෙකුත් රජයේ සේවකයන්ට,නිලධාරීන්ට ලබන්න පුළුවන් නම් අපේ රාජ්‍ය සේවය මිට වඩා හොඳ වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවකයන් තෘප්තිමත් නම් හොඳ සේවයක් ලැබෙයි.. තෘප්තිමත් බව ඇති කිරීම ඉහළ නිලධාරීන්ගේ වගකීමයි..

      Delete
  9. ආංඩුවෙ ආයතනවල ගොඩක් අය ඔහොම වැඩ කරන්නෙ නෑ. කළොත් වැඩිකල් රටේ ඉන්නත් නෑ.

    ReplyDelete
  10. ලිපිකාරිණියට යතුරු ලියනයක් නැත.- දැන් ලියන්න වෙන්නේ කොම්පියුටරය නැත කියල. තවම "මගේ වර්ක්ෂොප්" කියල කියන නිසා කොපමණ ආදරයකින් ඒක බලා ගත්තද කියල තේරෙනවා. :)

    ReplyDelete