Friday, July 21, 2017

ඞීබී සහ මම 6 - එකම ඉරණමක?

ඞීබී ගේ ජීවිතයේ සැඟවූ යමක් නොවී ය. ඒ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම ඔහු වරින් වර ලියූ චරිතාපදාන වල සඳහන්ව ඇත. සිය දිවි මග අකුරු බවට පෙරළමින් ඔහු අතින් ලියවුණ සැන්දෑවට පායන හිරු, පිතු හදක ඇත සිඟිති හිදැසක්, සැඳෑ  තරු එළියේ කිමිදෙන හිරු වැනි පොත් කොපමණ වාරයක් නම් මගේ ඇස් වලට කඳුලූ නංවන්නට ඇද්ද? ඒ චරිතයට මා සංවේදී වන්නට හේතු තිබුණි. අප දෙදෙනාම යමින් සිටියේ එකම ඉරණම්කාර ගමනක ය.


ඞීබී සිටියේ තනිවම ඇනෙක්සියකය. මා සිටියේද තනිව ඇනෙක්සියකය. අප දෙදෙනාටම දූවරුන් දෙදෙනෙකි. අප දෙදෙනාටම ඒ දූවරුන් උණුසුමට තුරුලූ කරගෙන නිදන්නට වාසනාව නොතිබුණි. මගේ දූවරුන් නිතර නිතර හමුවීමේ වාසනාව මට තිබුණි. ඒ වාසනාව ඩීබීට නොවී ය. දූවරුන් ළඟ නොසිටීමේ වේදනාට ඞීබී මහත් සේ වින්දේ ය. එ වේදනාව ඞීබී අකුරු වලට පෙරළන විට ඒ අකුරු කියවා මම රහසින් කඳුළු සැලූවෙමි. ඒ මට ඞීබීගේ වේදනාව දැනෙන නිසා ය. ඒ වේදනාවේ දිග පළල මා හොඳින් දන්නා නිසා ය.


2016 සැප් 23 - ඩීබී ගේ අවසන් පොත් එළිදැක්වීමේ දී ඩීබි සහ මම
ඒ කාලයේ අපේ කතාවේ තිබු එකම වැදගත් වෙනස අපේ වයස් මට්ටම පමණක් විය. ඒ නිසාම සිය වේදනාව පසෙක තබා ඔහු මගේ යහලූවන් අතේ මට පණිවුඩ එවුවේ ය.


”මට මේක ඒ මිනිහට කියන්න බෑ.. තමුසෙලාවත් ගිහින් කියනවකො ඔහොම ඉන්නෙ නැතුව මොකක් හරි පිලිවෙලක් වෙන්න කියල.. අන්තිමේ මට වෙච්ච දේ තමයි මිනිහටත් වෙන්නෙ” ඔහු කියා තිබුණේ එසේ ය.


”එවූ පණිවුඩය ලැබුණා.. ඒ ගැන හිතා බලන්නම්” මම ලියා යැවුවෙමි.


බුලීන්හි කිත්සිරි ගේ ඇනෙක්සියේ තනිවම සිටි කුරුප්පු මහතාගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් තිබුණි. දිවා කාලයේ නිවසේ සිටියේ කුරුප්පු මහතා පමණකි. එක් දිනක් ඔහු කාමරයේ වැටී නැගිටගන්නට බැරිව සිටියේ ය. දිනපතා ඔහුට දුරකතන ඇමතුමක් දෙන්නට පුරුදුව සිටි අපේ හිතවතකු වන ගාමිණී පැළෑඳ එදා දුරකතන ඇමතුම දෙන විට ඞීබී සිටියේ බිම ය. හොඳ වේලාවට දුරකතනය අත ළඟ තිබුණි. එදා ඞීබී ගාමිණීට කතා කළේ බිම වැටීගත්වනම ය. හිතේ තද කමට තමන් කතා කරන්නේ බිම සිට බව ඞීබී නොකීවේ ය. ඒ කාරණය හිතවතුන් දැනගත්තේ පසුව ය. තවදුරටත් ඞීබී තනිවම තැබිය නොහැකි බව තේරුම් ගත් හිතවත්තු (විශේෂයෙන් බන්දු දිසානායක - හිටපු මෙල්බන් කොන්සල්) ඞීබී වැඩිහිටි නිවාසයක පදිංචි කරවන්නට සමත් වූහ. ඞීබී එහි ගියේත් එහි සිටියේත් සතුටින් නොවේ.


වැඩිහිටි නිවාසයේ සිට ලියූ සිය ”සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු” පොතේ ඞීබී ලියූ අවසන් වගන්ති දෙක මෙසේ ය.

”මට තව ඉදිරියට ගමනක් නැත .
මට දැන් ඉතිරිව ඇත්තේ මගේ ජනේලයෙන් පෙනෙන දර්ශනය හා අතීතාවර්ජනය පමණි. දෙක ම මට මිහිරි ය”

”මිහිරි ය” කියන්නේ වේදනාව සඟවාගන්නට බව මම දනිමි.


එහෙත් සියල්ල ඉක්මණින් වෙනස් වෙයි. අප සැමගේ සිත් වලට මහත් සැනසීමක් ගෙනදෙෙමින් ඞීබී ගේ බාල දියණිය (ඞීබී ගේ වැඩිමල් දියණිය පදිංචිව සිටියේ ඇමරිකාවේ ය) නිවසක් මිලට ගෙන තාත්තා තමා ළඟට ගත්තා ය. ඞීබී එතැන් සිට ගත කළේ මහත් සැනසීමකින් සතුටකින් යුතු දිවියකි.


”චූටි පුතා” ළඟ ගෙවන දිවිය ගැන ඔහු  කතා කරන විට දීප්තිමත් වන ඔහුගේ ඇස් මට මතක ය.


ඔහු ජීවත්ව සිටියදීම මම මගේ ඉරණම වෙනස් කරගතිමි. ඩීබී තරම් ඒ ගැන සතුටු වූ පුද්ගලයකු නොසිටින්නට ඇත.


පසු සටහන - ඞීබී පිලිබඳ මා ලියමින් සිටින මේ ලිපි පෙළ මා ලියන්නේ මගේ මතකය මත පදනම්ව ය. එහෙත් අපේ එකම ඉරණම පිලිබඳ මේ සටහන ලියන්නට පටන් ගත් පසු ඔහුගේ ජීවිතය ගැන ලියූ පොත් කීපයක් නැවත පෙරළා බැලූවෙමි. ඒ සටහන් නැවත නැවතත් මගේ ඇස් වලට කඳුලූ ගෙන එයි. ඒ වේදනාව කටුක ය. එනිසා ඒ පොත් නැවත රාක්කයේම තබමි. අපේ ඉරණම්කාර ගමන පිලිබඳ මා ලියන්නට සිටි සියල්ල නොලියා මේ සටහන මෙතැනින් නවත්වමි. 


මතු සම්බන්ධයි

Wednesday, July 19, 2017

ඩීබී සහ මම 5 - රාජාලි පියාපත ඩීබී ට

ඩිබී කුරුප්පු මහතා තරම් කැපවීමෙන් ලේඛණයේ යෙදුණ තවත් ලේඛකයකු මා දන්නේ නැත. ඔහු ලිව්වේ පුදුමාකාර වේගයකිනි. ඔහුට සතුව තිබුණේ පුදුමාකාර ස්මරණ ශක්තියකි. අවුරුදු තිහ හතලිහකට නොව අවුරුදු පනහකට එහා සිදුවූ සිදුවීමක් දින වකවානු සහිතව කියන්නට හැකියාවක් ඔහුට විය. ඒ සමගම සිංහල භාෂාව පිලිබඳව ද ඔහුට තිබුණේ විශාල දැනුම් සම්භාරයකි. යමක් පැහැදිලි කරගන්නට අවශ්‍ය වූූ විට අපට සිටි දැනුම් ගබඩාව ඔහු විය. නිවැරදි වචනයක් සොයා ගන්නට ව්‍යාකරණයක ගැටලූවක් විසඳා ගන්නට ඔහු අපේ අත ළඟම සිටියේ ය. මේ මහා පුරුෂයාට මගේ කෘතවේදිත්වය දැක්වීම සඳහා මගක් මම සොයමින් සිටියෙමි. මගේ දෙවන කාව්‍ය සංග‍්‍රහය වූ ”රාජාලි පියාපත” ඔහුට පුදන්නට මම සිතුවෙමි. එනමුදු එය රහසක් වශයෙන් රැකගන්නට මට අවශ්‍ය විය.

2010 වසරේ ජනවාරි 9 වන දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී මගේ පොත් එළි දැක්වීමක් සිදුවිය. ”රාජාලි පියාපත” ට අමතරව මගේ යොවුන් නවකතාවක් වූ ”ඉස්කෝලෙ කාලෙ” හා සන්නසේ කොටස් වශයෙන් පළ කළ ”තාරකා විජිතය” නවකතාව එළිදැක්වීමද එදින සිදුවිය.

මේ උත්සවය සංවිධානය කළේ තරංග ජයසේන ප‍්‍රමුඛ බූන්දි කණ්ඩායමයි. යම්කිසි වෙනස් ආකාරය වැඩ සටහනක් සකස් කරන්නට ඔවුහු මහත් උත්සාහයක් ගත්හ. උත්සවය පෙරදා අපි (ඩෝසන් ප‍්‍රීති, සංඛ,අමිලඇතුලූ කණ්ඩායම) තරංග ගේ කැන්දලියද්දපාලූවේ නිවසේ රැය ගත කළ අන්දම මට අමතක නොවේ. එදා රැ තුන් තිස් පැයක් ගතවන තෙක් මා ගැන වීඩියෝවක් හදන්නට ඔවුහු වෙහෙස වූහ.

පසුදා පැවති උත්සවයේදී මම රාජාලි පියාපත මගේ සාහිත්‍ය වීරයා වූ ඞී බ කුරුප්පු මහතාට පුද කළෙමි. ”මේ ශ්‍රේෂ්ට ලේඛකයාට මගේ කෘතවේදීත්වය පුද කරනු වස් මේ පොත ඔහුට පුද කරමි” යයි මම එහිදී කීවෙමි. ඞීබී වෙනුවෙන් පොත බාරගත්තේ වරුණ සාවින්ද ය.


ඒ අවස්ථාවේ වීඩියෝව.


සම්පූර්ණ උත්සවය පිළිබඳ වීඩියෝවක් අවශ්‍ය නම් මෙතැනින් බලන්න.

ලංකාවේදී මා මෙවැන්නක් කළ බවක් ඞීබී දැන සිටියේ නැත. ඔහුට මේ බව කියා ලකුණු දමාගන්නට අවශ්‍යතාවක්ද මට නොවී ය. වෙන කිසිවකු නොකියන්නටද ඇත. ඞීබී කුරුප්පු නම් වන සාහිත්‍යකරුවාට මා අතින් සිදුවුණ බොහෝ දේ මෙන්ම මෙයද මියයන තෙක්ම ඞීබී එය නොදැන සිටින්නටද ඇත. මම ඔහු පිලිබඳ මගේ කෘතවේදීත්වය එසේ ප‍්‍රකාශ කර මගේ සිතේ වූ බර සැහැල්ලූ කර ගෙන නිහඬව සිටියෙමි. ඒ සැනසීම මට ප‍්‍රමාණවත් ය.

නැවත මෙල්බනයට ගිය පසුව මම ඒ කාලයේ ඞීබීගේ නවාතැන වූ බුලීන්හි ඇනෙක්සියට ගොස් ඔහුට පොත පිළිගැන්නුවෙමි. මගේ කවි පොත ඔහුට පිළිගන්වා ඇති බව දුටු ඞීබී මහත් සතුටට පත්විය.

”මෙතෙක් කාලෙකට මට පොතක් පිළිගන්වලා තියෙන්නෙ එකම එක මිනිහයි. ඒ ලංකාවෙදි. මේ තමයි මට කවුරු හරි පොතක් පිලිගන්වපු දෙවන අවස්ථාව.” ඔහු කිවේ ය.

මා ඞීබී ගේ ඇනෙක්සියේදී ඔහුට පොත පිළිගන්වන අවස්ථාවේදී ගත් මේ සේයාරුවේ පිටපතක් මම පසුව ඔහුට දුන්නෙමි. ඔහු බුලීන් නිවසින් යන තෙක්ම ඒ සේයාරුව ඒ කුඩා සාලයේ කාටත් පෙනෙන තැනක තබාගෙන සිටියේ ය.

ඒ සේයාරුව ඔහුගේ අවමංගල උත්සවයේදී ඔහුගේ දේහය බහා තිබූ තැනට ඔබ්බෙන් වූ තිරයේ ප‍්‍රදර්ශනය වූ සෑම අවස්තාවකදීම මට එදා පොත පිළිගැන්වූ අවස්ථාවේ ඞීබීගේ ඇස්වල තිබූ සතුට මුහුණේ ඇඳුණ සිනාව නැවත නැවතත් සිහිපත් විය.

Monday, July 17, 2017

ඩීබී සහ මම 4 - කුරුප්පු මහත්තයාට වෙඞ්ඩා හමු වූ දවස

ඩීබී කුරුප්ප සහ මංජුල වෙඩිවර්ධන ඒ ඓතිහාසික සාකච්ඡුාව කරමින්

”ලංකාවෙ පත්තරයකින් ආව කෙනෙක් ජගත්ව හොයනවා..”  දුරකතන පනිවුඩය ආවේ සන්නසේ අසෝක සුබසිංහ ගෙනි. 

මේ මෙල්බන් කොමන්වෙල්ත් ක‍්‍රීඩා තරග සමයයි. හරියටම කියන්නේ නම් 2006 අවුරුද්දේ මාර්තු මාසයයි. තරගාවලිය වාර්තාකිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ විවිධ පුවත්පත් වලින් ක‍්‍රීඩා වාර්තාකරුවන් රැසක් පැමිණ සිටින බව මම දැන සිටියෙමි. එහෙත් තකහනියක් මා සොයන මේ ලේඛකයා කවුරුන් විය හැකිද?


”නම දන්නවද?”

”මංජුල කියල කෙනෙක්.. ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා.. කතා කරන්න..”

මම ඒ අංකයට කතා කළෙමි. අනෙක් පසින් හෘදයංගම කටහඩක් ඇසෙයි.

”ජගත්.. මචං මං මංජුල වෙඩිවර්ධන...”

රාවයේ වෙඞ්ඩා නොහඳුනන කෙනකු සිටිය හැකිද? මම මහත් සතුටට පත්වීමි.


”විශ්වාස කරපං මං ලංකාවෙන් එනකොටම කියල ආවෙ මෙල්බන් වල කවි ලියන අපේ එකෙක් ඉන්නවා.. මම කොහොම හරි ඌව හමුවෙලා තමයි එන්නෙ කියල ..” වෙඞ්ඩා කියයි. ඌ කොහොමත් හෘදයංගම එකෙකි.


වෙඞ්ඩා හිටියේ මෙල්බන් නගරයේ කොහේදෝ පාරකය.


”උඹ ඔතනම හිටපං.. මං කෙනෙක් එවනවා උඹව ගන්න..” මම කියමි. වෙඞ්ඩා ගැනීමේ කාර්යය කැමැත්තෙන්ම බාර ගන්නේ අප මිත‍්‍ර දසුන් ගජමන් ය. දසුන්ට මෙල්බන් නගරයේ පාරවල් පුරුදු ය.


”මට ඞීබී කුරුප්පු මහත්තයා මුණ ගැහෙන්නත් ආසාවක් තියෙනවා..” ඒ අතරේ වෙඞ්ඩා කියයි.

”හොඳයි.. මං ඒක ලෑස්ති කරන්නං..”


දසුන් මෙල්බන් සිට වෙඞ්ඩා කැඳවාගෙන එනතෙක් මම ඞීබී කුරුප්පු මහතා ඒ කාලයේ පදිංචිව සිටි බුලීන් හි කිත්සිරි ගේ නිවසට ගොස් ඔහු කැටුව ආවෙමි. වැඩි පෙරැත්තයකින් තොරවම මා සමග එන්නට කුරුප්පු මහතා කැමති වීම භාග්‍යයක් විය.


අපේ හමුවීමේ ස්ථානය ලෙස අප තෝරා ගත්තේ ඒ දිනවල ශ‍්‍රීනාත් මද්දුමගේ කුලියට ගෙන සිටි මිල්පාක් වල නිවසයි. ඒ ශ‍්‍රීනාත් ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ අලූතම ය. මාත් කුරුප්පු මහතාත් ශ‍්‍රීනාත් ගේ නිවසේ සිට වෙඞ්ඩා එනතෙක් බලා සිටියෙමු. දසුන්ගේ වාහනයේ වෙඞ්ඩා සමග දිනමිණේ සම්පත් බණ්ඩාරද පැමිණියේ ය. අපි මහත් සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකා වැළඳ ගත්තෙමු.


ආ ගිය කතා අතරේ මධු සාදය හීනියට ආරම්භවෙද්දී වෙඞ්ඩා කුරුප්පු මහතා සමග සංවාදය පටන් ගත්තේ ය. මගේ මතකයේ හැටියට වෙඞ්ඩා ඒ සංවාදය පටිගත කර ගත්තේ ය. ඞීබී කුරුප්පු නම් වන සාහිත්‍යවේදියා ගේ නිර්මාණ පිලිබඳව බොහෝ දේ වෙඞ්ඩා ගේ පිලිසඳරට ඇතුල් විය. සිය ”අර්ධනාරි” පරිවර්තනය ගැන කතා කරමින් කුරුප්පු මහතා කී මේ කතාව මගේ සිතේ ඉතා තදින් තැන්පත් විය.


”පරිවර්තනයක් කියන්නෙ සාමාන්‍යයෙන් ලියනවට වඩා අමාරු දෙයක්. පරිවර්තනයකින් කෙරෙන්නෙ කතාවක්, ප‍්‍රවෘත්තියක් කියන එක නෙවෙයි. සාහිත්‍ය කෘතියක තියෙන්නෙ ගැඹුරින් විදාරණය වන හැඟීම් සමුදායක්. ඒක මතු කෙරෙන විදියට පොතක් පරිවර්තනය කරන එක ලේසි නෑ. මේක මට හොඳටම දැණුනා, ”අර්ධනාරී” කරන කොට...  

ඉස්සර පරිවර්තන එක සැරෙන් ලිව්වා. තව සැරයක් බැලූවා. එච්චරයි. මේකෙදි තුන් හතර සැරේ මේකත් එක්කම ඔට්ටු වුණා. තව තව කියවමින් සකස් කළා. මට ඒකෙදි ලොකු තෘප්තියකුත් ඇතිවුණා. මුල් අදහස හුඟක් දුරට ආරක්ෂා කරගන්න හැකි වුණ නිසා. මුල් කෘතිය තුළ පාඨකයාට ලැබුණු වින්දනය සංවේදනය පුළුවන් තරම් ආරක්ෂා කරලා දීම තමයි පරිවර්තනයක වැදගත්කම. අර මහා ලේඛකයාගේ පොත, අර මහා සාහිත්‍ය කෘතිය සිංහලට දැම්මනෙ කියලා වැඩක් නෑ. වැඬේ හරියට කෙරෙන්නයි  ඕනෙ.”
වෙඩ්ඩා, මම, සම්පත් බණ්ඩාර


දිග කතාවක කෙටියෙන් කියනවා නම් එදා අපේ මධු සාදයෙන් පසු රාති‍්‍රය වෙඞ්ඩාත් සම්පත් බණ්ඩාරත් ගතකළේ අපේ බ්‍රෝඞ්මෙඩෝස් නිවහනේ ය. පසුදා උදෑසන වෙන්ව යන්නට පෙර වෙඞ්ඩා ශපථ කලේ ලංකාවට ගිය වහාම කුරුප්පු මහතා සමග කළ සංවාදය රාවයට ලියන බවය. ඔහු ඒ පොරොන්දුව ඒ හැටියටම ඉටු කළේ ය. මා දන්නා පරිදි කුරුප්පු මහතා සමග පත්තරයකින් කළ එකම සාහිත්‍ය සංවාදය එය විය හැකිය.


වෙඞ්ඩා.. ඒ උත්තම මිනිසා ගැන යමක් ලියන්නට සිතූ උඹට ස්තුතියි.. එය ඓතිහාසික සාකච්ඡුාවකි.


මංජුල වෙඩිවර්ධන ඞීබී කුරුප්පු සමග රාවය වෙනුවෙන් කළ සංවාදය මෙතැනින් කියවන්න

Friday, July 14, 2017

ඞීබී සහ මම 3

ඞීබී ගේ අවමංගල උත්සවයෙන් පසු චාරිත‍්‍රාණුකූල මළ බතට සහභාගි වූ අපි වරුණ සාවින්දගේ නිවසට එක්වුණෙමු. "අපි" යයි කීවේ කල්පනා ඇම්බ්‍රෝස්, දිළිණි ඊරියවල, නිරාශ ගුණසේකර, මාලන් බණ්ඩාර කපුවත්ත,  චතු පත්බේරිය සහ මට ය. තරුණ කවියනට කිවිඳියනට ඞීබී ගැන කතා කරන්නට එසේත් නොවේ නම් ඞීබී ගේ නිර්මාණ ගැන ආවර්ජනයක යෙදෙන්නට අවශ්‍යව තිබුණි. ඔවුන්ගේ කතා බහේ දී මතුවුණ ප‍්‍රධාන කාරණය වුයේ ස්වතන්ත‍්‍ර නිර්මාණකාරයකු ලෙස ඞීබී සාර්ථක ද යන්නය.

ඞීබී ලියූ එකම නවකතාව ”එක්තරා පේ‍්‍රම කතාවක්” ය. කෙටි නමුත් එය හොඳ නවකතාවක්ය යන්න මගේ පිළිගැනීමයි. එයට අමතරව ඔහු ලියූ ”විප්ලවය ආවොත්” ”කලූ හිල සහ නාරා වල” වැනි කෙටිකතා සංග‍්‍රහ කීපයක්ම වෙයි.

ස්වතන්ත‍්‍ර කෙටිකතාකරුවකු ලෙස ඞීබී සාර්ථක නොවූ බව මම ද පිළිගනිමි. එහෙත් ඒ සමගම ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයා ලංකාවේ කිසිදු පරිවර්තකයකුට දෙවෙනි නොවන බවද මගේ පිළිගැනීමයි. ”දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම්” ”මැංචෝසන්ගේ චාරිකා” වැනි පරිවර්තන වලින් ඇරඹුණ ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයාගේ ගමන් මග ඉතා ආශ්වාද ජනක එකක් බව මට වඩාත් පසක් වන්නේ ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ පරිවර්තන පිළිබඳව සමාජ ජාල වල කෙරුණ කතා බහ නිරීක්ෂණය කරන විට ය. සූර පරිවර්තකයකු ලෙස ඔහු පාඨකයන්ගේ සිත් තුළ පැලපදියම්ව සිටිනු මම දුටුවෙමි. පරිවර්තනයක් පරිවර්තනයක් යයි නොහැෙඟන තරමට සුමට සිංහලෙන් ලියන්නට ඞීබී ට තිබූ හපන්කම විශිෂ්ටය. ඒ පරිවර්තකයා පිලිබඳ නිසි අගැයීමක් කෙරුණිද යන්න කතා කළ යුතු මාතෘකාවකි.

සත්‍යය නම්, ඞීබී ගොලූ හදවතේ ජයග‍්‍රාහී පෙම්වතාව දම්මිගේ ආදරය දිනාගෙන සිටි බව කියවෙන රසවත්  ඕපාදූපය රස කර කතා කරන්නට කැමති වූ ලංකාවේ පුවත්පත් ඞීබී නම් වන පරිවර්තකයා අමතක කරදමා සිටි බව ය. ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයා පිළිබඳව ලංකාවේ මාධ්‍ය කතා නොකළ තරම් ය. සමහර විට ඔහු  ඕස්ටේ‍්‍රලියාව වැනි දුර බැහැරක වාසය කිරීම එයට හේතුව වන්නට ඇත.

1963 සිට ඇරඹෙන පරිවර්තන චාරිකාවේ ඞීබී අතින් සිදුවුණ මේ පරිවර්තන අමතක කර දමන්නට පාඨකයනට හැකියාවක් තිබේද?

  •    මැංචෝසන්ගේ චාරිකා
  •    හෝචිමිංගේ සිරගෙයි දිනපොත
  •    පිළිකා සුවය ඔබ අතමය
  •    කයිරෝව කුඩා නගරයකි
  •    අන්තිම උපන්දින සාදය
  •    සංගම්කාරයාගේ මලගම
  •    අර්ධනාරි
  •    නිර්මාණ චිත්තරූප
  •    දැත්තා හඳට යයි
  •    හිරෝෂිමා දිනපොත
  •    අන්තර්භවය
  •    ටික්කාගේ වික‍්‍රමය
  •    අර්බත් දරුවෝ 1 සිට 7


සිංහල බසින් සිදුකෙරුණ දැවැන්ත පරිවර්තනයක් වන කාණ්ඩ හතකින් යුත් අර්බත් දරුවෝ පිලිබඳව හෝ කතා කරන්නට ලංකාවේ කිසිදු මාධ්‍යයක් නොවී ය.

ඞීබී ගේ පරිවර්තනයක් පිළිබඳව ලංකාවේ පුවත්පතක් කළ එකම විචාරය ඔහු ගේ ”අර්ධනාරි” පරිවර්තනය පිළිබඳව රාවයේ පළ වූ හරවත් විචාරය පමණක් ය යන්න මගේ මතකයයි. එයට මැදිහත් වන්නට ලැබීම අදත් මට මහත් සැනසීමක් ගෙන දෙන්නකි.

මගේ රසවින්දනයේ දිග පළල අනුව ඞීබී ගේ පරිවර්තන අතරින් හොඳම පරිවර්තනය අර්ධනාරි වෙයි. අර්ධනාරි නිකුත් වූ වසරේ එය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර නොවූයේ මන්ද යන්න අදටත් මට ගැටළුවකි. සමහර විට ප‍්‍රකාශකයන් ඒ පොත විනිශ්චය සඳහා නොයැව්වා වන්නට පුළුවන. යැව්වා නම් අර්ධනාරි පරිවර්තනයට අහලකටවත් ළගින් කියන්නට බැරි පොතකට හොඳම පරිවර්තනය සඳහා වන සාහිත්‍ය සම්මානය හිමිවන්නට හේතුවක් නැත. අර්ධනාරි පරිවර්තනයට නිසි අගැයීමක් නොලැබීම පිළිබඳව ඞීබී සිටියේද කණස්සල්ලෙනි.

ඞීබී ගේ අර්ධනාරි කියැවූ වහාම මම ඒ පොතින් පිටපතක් එවකට රාවයේ සිටි හිතවත් විමලනාත් වීරරත්නට යැව්වෙමි. කුඩා සටහනක්ද සමගින්ය.

”හිතවත් විමලේ... ඞීබී කුරුප්පු මහත්තයාගේ මේ පොත කියවා සාධාරණයක් කරන්න”

විමලනාත් අර්ධනාරි කියවා ඉතා විශිෂ්ට ලිපියක් රාවයට ලිව්වේ ය. එය කියවා කුරුප්පු මහතා මහත් සතුටට පත්විය. ඒ සතුට කෙතරම්ද යත් ලිපිය ලියූ විමල්ටත් මැදිහත් වූ මටත් ස්තුති කරන සටහන් ඔහුගේ පුවත්පත් ලිපි කීපයකත් සමහර පොත් වලත් ලියා තිබුණි.

ඞීබී ගැනත් අර්ධනාරි ගැනත් පොදුවේ පරිවර්තන ගැනත් කෙරුණ දෙවන සාකච්චාව කළේ අප මිත‍්‍ර මංජුල වෙඩිවර්ධන ය. මෙල්බනයේදී ය. ඒ කතාවේ කෙළවරකත් මා සිටින බැවින් එය ඊළගට ලියමි.

Wednesday, July 12, 2017

ඞීබී සහ මම 2

ඞී බී ගේ ජීවිතයේ මා දුටු උත්තම ලක්ෂණය තමාත් සමග ඉදිරියට යන පරපුරක් ගොඩනගා ගන්නට ඔහුට තිබූ උනන්දුව සහ ඒ වෙනුවෙන් දැරූ උත්සාහයයි. ඒ පිලිබඳ උදාහරණ  ඕනෑ තරම්ය.

අපි 2003 අපේ‍්‍රල් මාසයේදී පහන සගරාව ආරම්භ කළෙමු. ඞීබී එහි වැදගත් කොටස්කාරයකු විය. පහන මෙහෙයවීමෙන් සාහිත්‍ය තරගාවලියක් පවත්වන්නට අපට අවශ්‍ය විය. යෝජනාව ඉදිරිපත් වූ තැන් සිට ඞීබී ඉතා උනන්දුවෙන් ඒ වෙනුවෙන් මහන්සි වූ ආකාරය මට අද ද මතක ය. කෙටිකතා සහ කවි යන අංශ දෙකෙන් පැවැත්වූ තරගාවලියට අප ලද නිර්මාණ විනිශ්චය කරන්නට පමණක් නොව ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සමග සම්බන්ධතා ඇති කරගන්නටත් ඔහු වෙහෙස විය. තරගාවලිය හරහා අප හඳුනාගත් ලේඛක ලේඛිකාවන් ඉදිරියට ගන්නට ඔහුට මහත්  ඕනෑකමක් විය.

ආචාර්ය විද්‍යානි මනතුංග, හේමමාලා හේරත් වැනි ලේඛිකාවන් ඔහුගේ වැඩි අවධානයක් දිනාගත් බව මට මතක ය. විද්‍යානි කැන්බරා සිට සිය පවුලම සමගින් කුරුප්පු මහත්තයාගේ අවසන් මොහොතට පැමිණ සිටියේ ඒ කෘතවේදීත්වයට බව මම දනිමි.

”මේ ළමය හරිම දක්ෂ විදිහට ලියනවනෙ ජගත්... අපි එයාව ඉස්සරහට ගන්න  ඕනෙ” ආධුනික ලේඛක ලේඛිකාවන් සම්බන්ධයෙන් ඔහු කී වතාවක් නම් මා සමග කියා ඇත්ද?

ඔස්ටේ‍්‍රලියාවේ සිට සිංහලෙන් ලියන සියලූම ලේඛක ලේඛිකාවන් පිළිබඳ විස්තර ඔහු රැුස්කරගෙන සිටියේය. මේ විගාමික ලේඛක ලේඛිකාවන් කෙරෙහි මව්බිමේ සිටින සාහිත්‍යවේදීන් කිසිදු අවධානයක් යොමු නොකරන්නේ යයි ඔහු නිතරම මැසිවිලි නැගුවේ ය. කෝප ගත්තේ ය. ඒ ගැන ලිව්වේ ය.

”අන්න අහවල් ලේඛකයා ලංකාවෙ ඉඳන් ඇවිත් මෙල්බන් වල බුක් ලෝන්ච් එකක් කරන්න යනවා... ඔයාට කතා කළා ද?” ඔහු වරෙක අසයි.

එහෙම එන බොහෝ ලේඛකයන් අපට කතා කරන්නේ නැත. අප ඉන්නා බවක් වත් ඔවුන් දන්නේ නැත. බොහෝ විට එවැනි පොත් එළිදැක්වීමක් මේ දේශයේ සිදුවූ බව අප දැනගන්නේ ලංකාවේ පත්තරයක ඒ බව පළ වූ විට ය. ලංකාවේ පම්පෝරිය ගසන්නේ සමස්ථ  ඕස්ටේ‍්‍රලියාවම සහභාගි වූ පොත් එළිදැක්වීමක් හැටියට ය. මේ මිනිසුන් කෙරෙහි ඞීබීගේ සිතේ තිබුණේ පුදුමාකාර අප‍්‍රසාදයකි.

”මෙහෙ ඉඳන් ලියන එක මිනිහෙක් ගැන වචනයක් ලියන්නෙ නැති එවුන් මෙහෙ කාව හරි අල්ලගෙන මෙහෙ ඇවිත් සන්දර්ශන දාලා යන එක තමයි මට ඉවසන්න බැරි...”  ඔහු කීපවතාවක් ඒ අදහස මා සමග කීවේ ය. කීවා පමණක් නොව එවැනි සන්දර්ශනකාර ලේඛකයන් ගැන සැර ලිපි ද ලිව්වේ ය. එවන් ලිපියක් පළකිරීමෙන් හිත රිදවාගත් අයෙක් අපට නඩු දමන්නටද සැරසුණහ. අපට කාගේවත් හිත් රිදවන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් පහන වෙනුවෙන් බන්දු දිසානායකත් සන්නස වෙනුවෙන් මාත් පාදයක් පසුපසට ගෙන ආරක්ෂාකාරී පහර එල්ල කළත් කුරුප්පු මහත්තයාට  ඕනෑ වුයේම හයේ පාරවල් ගහන්නටම ය.

”මුං මෙහේ ඉන්න එක ලේඛකයෙකුටවත් ආරාධනා කරන්නෙ නැතුව මෙහෙ ඇවිත් පොත් එළිදැක්වීම් කරලා ගිහින් ලංකාවේ පත්තරවල පම්පෝරි ගහනවා...  ඔය එකෙකුටවත් මං බය නෑ.. මං නඩු කියන්න ලෑස්තියි.. මා එක්ක නඩු කිව්ව දවසට තමයි උං ඉගෙන ගන්නෙ..” ඔහු ආවේගවත්ව කියයි. ඞීබී යකාටවත් බය නැත. වයසට ගියත් ඔහු තරුණය.

2006 අවුරුද්දේ සන්නස පුවත්පත් ඔස්සේ අප පැවැත්වූ කෙටිකතා තරගාවලියටද ඞීබී ගෙන් ලද සහය අපමණ විය. අවසාන වටයට තේරෙන කෙටිකතා දහය පොතක් ලෙස මුද‍්‍රණය කරන්නට අපි කතිකා කරගෙන සිටියෙමු. පොත සකස් කළත් ලංකාවේ මුද්‍රණය කළත් එය ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වාගන්නට තරම් මුදලක් අප අතේ නොවී ය. සන්නසේ අප මුදල් හම්බ කරන අය නොවූ නිසා ය. වැඬේ පමා වන විට නොසන්සුන් වූයේ කුරුප්පු මහත්තයා ය. ඔහු වරින් වර දුරකතන ඇමතුම් දෙමින් ප‍්‍රමාදය ගැන විමසනවිට ඇත්ත නොකියා සිටින්නට මට නොහැකි විය.

”ඇයි ඉතින්  ඕක කලින් නොකීවෙ?” ඔහු ඇසුවේ ය. ”මං සල්ලි දෙන්නම්.. පොත් ටික ගෙන්නගෙන උත්සවේ තියන්න..”

සන්නස කෙටිකතා තරගාවලියේ අවසන් කෙටිකතා දහය ඇතුල්කර මුද‍්‍රණය කළ ”පළමුවැනි  තෑග්ග” කෙටිකතා සංග‍්‍රහය ඔස්ටේ‍්‍රලියාවට සැපත් වූයේ ඞීබී කුරුප්පු මහතා දුන් මුදලින්ය යන්න බොහෝ දෙනෙක් නොදැන සිටියේ ඒ බව හෙළි කිරීම අපට තහනම් කොට තිබූ හෙයිනි. ආණ්ඩුවෙන් ලැබෙන මුදලින් සහ හිතවතුන්ගේ සහයෝගයෙන් ජීවිතය ගැටගසාගත් ඞීබී අලූත් පරපුරක් ඉදිරියට ගන්නට තමන් අත තිබූ තුට්ටුදෙක වියදම් කරන්නට පසුබට නොවී ය.


ඞීබී හා බැඳුන කතා  අපමණය. ඒවායින් එකක් මේ සටහනටම ලියන්නට මට සිතෙයි. 

ඞීබී ද්විභාෂා උගතෙකි. සිංහල ඉංගිරිසි දෙබසම ව්‍යක්ත ලෙස හසුරුවන්නට ඔහුට හැකියාව තිබුණි. පහනට ඔහු ඉංගිරිසි ලිපිය ලීවේ Leoroo යන ආරූඪ නමිනි. සන්නසට ඉංගිරිසි ලිපිය ලිව්වේ The Defector යන නමිනි. පහනෙන් පසු සන්නස ආරම්භ කළ යුගයේ මගේ අතින් වරදක් සිදුවිය. ඒ වන විටත් "පහන" මානසිකත්වයෙන් සිටි මම සන්නසට ඞීබී ලියූ ඉංගිරිසි ලිපියට රචකයාගේ නම Leoroo ලෙස යෙදුවෙමි. හිතාමතා කළ දෙයක් නොවේ. පෙර පුරුද්දට සිදුවූ අත්වැරැද්දකි.

ඞීබී ට අසූහාරදාහට කේන්ති ගියේය.

”මේක හිතා මතා කළ දෙයක්.. මේකෙන් මේ ලිපිය ලියන්නෙ කවුද කියල එළිදරව්වෙනවා.. මං ආයෙ සන්නසට ලියන්නෙ නෑ..” ඞීබී කෝපයෙන් කෑගැසුවේ ය. ඒ කේන්තියෙන්ම ඔහු සන්නසට ලිපි ලිවීම නැවැත්තුවේ ය. මම මාස දෙකක් පමණ දහ අතේ කනිපින්දම් ගසමින් සිදුවුණ වරදට සමාව ඉල්ලමින් ඔහු පස්සේ ගියෙමි.

මාස දෙකක් පමණ යන විට ඔහුගේ හිත ලිහිල් විය.

”ඔන්න මම ලිපියක් තැපැල් කළා” ඔහු එක් දිනක් දුරකතනයෙන් කීවේ ය. මම සතුටින් පිනා ගියෙමි.

කොච්චර කේන්ති ගියත් ඞීබී කියන්නේ හිත හොඳ මිනිහෙකි.



මතු සම්බන්ධයි    

Tuesday, July 11, 2017

ඞීබී සහ මම 1

ඞී බී කුරුප්පු වියත් ලේඛකයා  අප හැර යන්නේ ජූනි 23 වනදා ය. මා සිටියේ මෙල්බන් සිට කිලෝමීටර් එකසිය හැත්තෑවක් පමණ දුරින් පිහිටි කුඩා නගරයකය. රාජකාරි කටයුත්තක් සඳහා මම සතියක් එහි නැවතී සිටියෙමි. ඞීබී අවසන් හුස්ම හෙළා විනාඩි කීපයක් ඇතුළත ඒ කණගාටුදායක ආරංවිය මට ගෙන ආවේ බන්දු (බන්දු දිසානායක) අයියා ය.

”ඞීබී ගියා මල්ලි” ඒ උදෑසන ඒ මොහොත මට කිසිදා අමතක නොවනු ඇත. මම වචන එක්කරගත නොහැකිව බලා සිටියෙමි. සෙවණැල්ල මෙන් අපට සමීපව සිටි දැවැන්තයා යන්නට ගියාය කියා කෙසේ අදහා ගන්නද?

ඔහු මියගිය දින සිට අද දක්වා ඔහු ගැන ලියන්නට වරින්වර උත්සාහ කළත් ඒ වෙනුවෙන් හිත එකළස් කරගන්නට මට නොහැකි විය. ඊයේ සවස මම ඔහුගේ නිසල දේහය දෙස නොබලාම ඔහු වෙනුවෙන් මට කියන්නට තිබූ දේ සංක්ශිප්ත කොට විනාඩි පහකින් කියා ආපසු ආවෙමි. මගේ මතකයේ තවමත් රැඳී ඉන්නේ ජීවමාන ඞීබී කුරුප්පු නම් වන වියපත් තරුණයා ය. එය මට සතුටකි. (මෙතැනින් කියවන්න)

පසුගිය දින කීපය පුරා විවිධ අය ඞීබී පිළිබඳ බොහෝ දේ කියනු ඇසුවෙමි. ලියනු දුටුවෙමි. ඒ බොහෝ කරුණු එහෙන් මෙහෙන් අහුළා ගත් වැරදි කරුණු කාරණා ය. ගොලූ හදවත පොත කියවනවා තියා අතින්වත් නොඇල්ලූ සමහර අය ලියා තිබූ වැරදි හැකි පමණින් නිවැරදි කළෙමි. නිවැරදි කරන්නට නොහැකි වූ තැන් බොහෝ ය.

මගේ ළමා වියේ මා කියැවූ බොහෝ පොත් අතර ”දැත්තාගේ හපන්කම්” තවමත් මගේ මතකයේ රැඳී තිබෙයි. ඒ එම චරිත ඇසුරු කරගනිමින් මා ද කතාවක් ලියූ හෙයිනි. ”දැත්තාගේ හපන්කම්” සිංහලයට පරිවර්තනය කළ ඞී බී කුරුප්පු නම් වන ලේඛකයා එයින් දශක ගණනාවකට පසු දිනකදී මෙල්බන් නගරයට උතුරින් පිහිටි රෙසවෝ පළාතේ ශ‍්‍රී ලංකික වෙළඳ සලකදී හමුවේ යයි මා කෙසේ නම් සිතන්නද?

”කුරුප්පු අංකල්.. මේ ජගත්.. එයත් කෙටිකතා පොතක් ලියලා තියෙනවා” කඬේ සිටි ඔල්ගා කරව්දෙණිය මා හඳුන්වා දුන්නේ එසේ ය.

කුරුප්පු අංකල් මා දෙස  ඕනෑවට එපාවට බැලූවේ ය. මමද එවැනිම බැල්මක් හෙලූවෙමි. එපමණකි.

පසු කලෙක ඞීබී ඒ අවස්ථාව සිහිපත් කරමින් ඇති තරම් සිනාසුණේ ය.

”මං ජගත්ව ගණන් ගත්තෙත් නෑ.. ජගත් මාව ගණන් ගත්තෙත් නෑ” ඔහු සිය සුපුරුදු සිනාව මහ හඬින් නගමින් කීවේ ය. මොනවා කරන්නද? අපේ පළමු හමුවීම එසේවීම එක අතකින් හොඳ ය. ඒ හමුව අප දෙදෙනාටම අප දෙදෙනා පිළිබඳ තක්සේරුවක් කරගන්නට ඉඩ ප‍්‍රස්ථාව ලබාදුන්නේ යයි අද මට සිතෙයි.

ඉන්පසු ගතවුණ කාලය තුළ වරින් වර මා අතට පත් වූ ඔහුගේ පොත් කියවන්නටත් ඒ පොත් කිරා මැන බලන්නටත් මම උත්සාහ ගනිමින් සිටියෙමි. ඔහුගේ ස්වතන්ත‍්‍ර කෙටිකතා පිළිබඳ මගේ පැහැදීමක් නොවී ය. ඒවා හුදු විත්ති කතා වලින් ඔබ්බට නොගිය ලියවිලි බව මම දුටුවෙමි. ඔහුට සමාජයේ හමුවූ විවිධ පුද්ගලයන් පිලිබඳ සටහන් ඒවායේ විය.

”අප්පෝ කුරුප්පු අංකල් එක්ක කතා කරනකොට පරිස්සම් වෙන්න  ඕනෙ.. නැත්නම් එයාගෙ ඊළඟ පොතේ අපේ නමත් ලියැවෙයි” සමහර අය කියනු මම අසා සිටියෙමි. එවන් ප‍්‍රකාශ පවා මගේ සිත් නොගත්තේ ය. අපට හමුවන මිනිසුන් පිලිබඳව ගෙඩි පිටින් ලියා කෙටිකතා නිර්මාණය කළ හැකිද යන්න ඒ වන විට කෙටිකතාව පිළිබඳව මහත් ඇල්මකින් හදාරමින් සිටි මට සිතුණි.

ඔහුගේ දෙවන පොත් එළි දැක්වීමේ දී ඔහුගේ කෙටිකතා පොත් දෙකක් පිළිබඳව අදහස් දැක්වීමක් කරන්නැයි මට ආරාධනාවක් එන්නේ මේ අතරදී ය. ”විප්ලවය ආවොත්” සහ ”කලූ හිල සහ නාරාවල” ඒ පොත් දෙකයි.

”නිදහස් අදහස් වලට ඉඩ දෙනවාද?” මම ආරාධනාව රැගෙන ආ වරුණ සාවින්දගෙන් ඇසුවෙමි.

”ඔව්.. කුරුප්පු අංකල් විශේෂයෙන්ම කිව්වා නිදහස් අවංක අදහස් වලට අවසර තියෙනවාය කියලා”

මම ආරාධනාව පිළිගතිමි.

පොත් දෙකෙන් එක පොතක් පිළිබඳව මගේ කිසිදු පැහැදීමක් නොවීය. කෙටිකතා ලෙස හැඳින්වුවද එහි වූ සියලූම කතා කෙටිකතා ලෙස පරිපූර්ණත්වය පත් නොවූ හුදු විත්ති කතා ම විය.  අනෙක් පොතට ලකුණු 75 ක් දෙන්නට මගේ සිත ඉඩ දුන්නේ ය.

ඒ පොත් එළිදැක්වීමට විශාල පිරිසක් සහභාගිව සිටි බව මට මතක ය. මම පොත් දෙක පිළිබඳ මගේ අවංක අදහස් ඉදිරිපත් කළෙමි.

”හොඳ නිර්මාණයක් හැමවිටම කියවන්නා තුළ මොනයම්ම හෝ කම්පනයක් ඇති කරනවා. ඒත් මේ කතා කියවන විට එවැනි කම්පනයක් අපේ හිතේ ඇතිවන්නෙ නැහැ” මම කීවෙමි. ”මේ කතා කෙටිකතා ලෙස හඳුන්වනවාට වඩා විත්ති කතා ලෙස හැඳීන්වීමට මම කැමතියි. තත්කාලීන සමාජය පිළිබඳ දේශපාලනය පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ දී විත්ති කතා වලට ඉහළ තැනක් ලැබෙනවා. ඒ නිසා විත්ති කතා අවතක්සේරු කරන්න මම කැමති නැහැ. ඒවාට කෙටිකතා වලට නොමැති ආකාරයේ වෙනත් වටිනාකමක් තිබෙනවා” මගේ කතාවේ සාරාංශය එබඳු විය.

එය ඒ සා කාලයක් පැවති හොඳ නරක හැම දෙයටම හොඳයි හොඳයි කීමේ පුරුද්ද බිඳ දැමූ අවස්ථාවක් වූයේ යයි මට දැන් සිතෙයි. විශේෂයෙන් ඒ වන විටත් මෙල්බන් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි වියත් ලේඛකයකුගේ නිර්මාණයක් වයස තිස් ගාණක අංකුර නිර්මාණකරුවකු අතින් ප‍්‍රහාරයකට ලක්වීම විමතියක් ඇතිකරවන සිදුවීමක් වූ බව නම් නිසැක ය. මගේ අව්‍යාජ අදහස් දැක්වීම සිනාසෙමින් අසා සිටියත් කුරුප්පු මහතා සතුටට පත් නොවූ බව මම තේරුම් ගතිමි. මා නිවැරදි බව ඔහු පසුව ඒ ගැන කළ සඳහන් වලින් හෙළි දරව් වෙයි.

”ජගත් ගේ අදහස් දැක්වීම මගේ සතුටට හේතු නොවී ය” ඔහු ඔහුගේ පොත් කීපයකම ලිව්වේය. පසු කලෙක ඔහු මට කිව් ලෙස ඒ පොත් එළිදැක්වීමෙන් පසුව ඔහු සිය පොත තවත් ලේඛක ලේඛිිකාවන් කීපදෙනෙකුටම පෙන්වා ඔවුන්ගේ අදහස් ගන්නට උත්සාහ කළේ මගේ අදහස නිෂේධ කරදමන්නට ය. එනමුදු ඒ උත්සාහය අසාර්ථක වූයේ යයි ඔහු පසු කලෙක කීවේ සිනාසෙමින් ය.

Monday, July 3, 2017

ඞී බී කුරුප්පු

ඞී බී කුරුප්පු අදීන සාහිත්‍යවේදියා ජූනි 23 වන දා අප හැර යනවා. සාහිත්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔහු හා සමීපවම සිටි මම ඔහු ගැන යමක් ලියන්න  ඕනෙ. ඒත් ලියන්න පරිගණකය ඉදිරියෙ වාඩිවුන දහ දොළොස් වතාවම මම කිසිවක් නොලියා නැගිට්ටා. එක එක අය ඔහු වෙනුවෙන් ලියන දේ කියවමින් හිටියා විනා යමක් ලියන්නට තරම් මානසික තත්වයක මම හිටියෙ නැහැ.

ඊයෙ - ජූලි 1 - ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරුණා. පහතින් පළවෙන්නෙ මම ඔහු වෙනුවෙන් පැවැත්වූ කතාවයි. ඊයෙ අවමංගල්‍යයෙන් පසුව මාලතී කල්පනා, දිලිනි ඊරියවල, මාලන් බණ්ඩාර සුරවීර, නිරාශ ගුණසේකර සහ මම වරුණ සාවින්දගෙ ගෙදරදි හමුවුණා. අපි කතා කළේ කුරුප්පු අංකල් ගැනයි. ඊයෙ ගෙදර ඇවිත් මම කුරුප්පු අංකල් සහ මා ගැන ලියන්න පටන් ගත්තා. ඒ ලියවිල්ල ඉදිරියෙදි මේ බ්ලොග් එකට දාන්නම්. එතෙක් මේ මං ඊයේ පැවැත්වූ කතාව කැමති නම් කියවන්න.

"මෙයට අවුරුදු 16 කට පමණ ඉස්සර දවසක ඞීබී කුරුප්පු මහතාගේ පොත් එළිදැක්වීමක අදහස් දක්වන්න මට ආරාධනා ලැබුණා. එදා මම කතාව පටන්ගත්තෙ මේක අලියකු පිළිබඳව කූඹියකු කරන විග‍්‍රහයක් කියලා. අදත් මගේ හිතේ තියෙන්නෙ ඒ හැඟීමමයි.

ඞීබී කුරුප්පු මහතා පිළිබඳව බොහෝ දේ මෙහි පැවැත්වෙන කතාවලින් ඔබ අසාවි. ඒ බොහෝ කරුණු කාරනා ඔබ දැනටමත් දන්නා දේ. අපේ සමාජයේ කෙනෙක් මියයාම පුදුමයට / සන්තාපයට / විස්සෝපයට කාරණයක් නෙවෙයි. නමුත් අපේ සමාජයේ දැවැන්තයන්ව සිටි අය මියයාම අපේ හිතේ ඇති කරන්නෙ විශාල කම්පනයක්. මොකද ඒ දැවැන්තයන් තබා යන විශාල හිස්තැන / රික්තය පුරවන්නට සමතුන් බිහි නොවන නිසා. උදාහරණ  ඕනෑ තරම් දෙන්න පුලූවන්. ඞීබී නිතව සිටි සාහිත්‍ය ක්ෂෙත‍්‍රය ගත්තත් මාර්ටින් වික‍්‍රමසිංහ ගේ හිට ජී බී සේනානායක හරහා සයිමන් නවගත්තේගම දක්වා සාහිත්‍ය දැවැන්තයන් තබා ගිය හිස්තැන් තවමත් හෙමම තියෙනවා. ඞීබී අද මේ තබා යන්නෙත් එවැනිම දැවැන්ත හිස්තැනක්. ඒ හිස්තැන පුරවන්නට සමතෙක් කවදාවත් බිහිවන්නෙ නැහැ.

ඞීබී කුරුප්පු සූරීන් සහ මා අතර සම්බන්ධය අවුරුදු 19ක පමණ කාල පරාසයක විහිදී යන එකක්. ඔහුගේත් මගේත් සාහිත්‍ය ගනුදෙනුව ඇරඹුන දා සිට ඔහුගේ දැවැන්ත සෙවනැල්ල යට මම වැඩුණා. අප සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු කරන කාලයේ සිට පහන පුවත්පත ආරම්භකරන කරන කාලයේත් ඉන්පසුව සන්නස පුවත්පත දක්වාත් ඔහු මගේ ගුරුවරයාව මගේ මග පෙන්වන්නාව මගේ ගුරු තරුව ලෙස හිටියා. පත්තර කරන හැටි ඔහුගෙන් මම ඉගෙන ගත්තා. "පත්තරයක් පතෝල මාලූවක් වගේ එළොවටත් නැතිව මෙළොවටත් නැතුව හදන්න එපා. පත්තරයක් මිරිස් මාලූ හොද්දක් වගේ දැවිල්ලට හදන්න. කෑවට පස්සෙ මිනිස්සුන්ට මතක හිටින්නෙ පතෝල මාලූ නෙවෙයි. මිරිස් මාලූ." ඔහු එහෙමයි කියල දුන්නෙ. කියලදුන්නා විතරක් නෙවෙයි. ක‍්‍රියාත්මකත් වුණා. ඔහු ලියූ කට දන ලිපි පළකිරීම නිසා අපි ඉතා අපහසුවට පත්වුණ වාර අනන්තයි. ඒත් මේ දැවැන්තයා කිසිම විටෙක සැලූණේ නැහැ.  "මම ලියන හැම වචනයකම වගකීම මම ගන්නවා ජගත්."  ඔහු මන්තරයක් වගේ හැමවිටම කිව්වා. ඔහු අපේ කොඳුනාරටිය වගේ අපට ශක්තිය දුන්නා. 

පත්තර වලදි විතරක් නෙවෙයි. 2000 වසරෙ අපි අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් 3zzzරේඩියෝව බාරගන්නා විටත් අප පිටුපසින් සිට උපදෙස් දුන්න අප පිටුපසින් තිබූ දැවැන්ත සෙවණැල්ලත් ඔහුයි. 

ඔහුත් මාත් අතර තිබුණෙ ඉතා ගෞරවාන්විත ඇසුරක්. ඔහු පිලිබඳ ඉතා ඉහළ ගෞරවයක් මගේ හිතේ තිබුණා. හැමවිටම ඔහු හා සම මට්ටමේ නොසිට අඩියක් පහළින් ඉන්නට මම වගබලාගත්තා. ඒ ඞීබී කුරුප්පු නම් වන දැවැන්තයා පිළිබඳ මගේ ගොඩනැගී තිබූ ප‍්‍රතිරූපය නිසයි. ඔහුගේ හිතෙත් මා පිළිබඳව ඉතා ඉහළ හැඟීමක් තිබූ බව මම දැන සිටියා. මේ  ඕස්ටේ‍්‍රලියාවේ ඞීබී කුරුප්පු කියන දැවැන්ත ලේඛකයාගෙන් නියත විවරණ ලද එකම ලේඛකයා වීමේ නිහතමානී සතුට මගේ හිතේ තියෙනවා. ඔහුගේ මුද්‍රිත පොත් ගාමිණී පැළෑඳ ලංකාවේ සිට වරින් වර ඔහුට ගෙනැත් දෙන විට ඔහු එවායින් පළමුවෙනිම පොත වෙන්කරන්නේ මට බව ගාමීණි අදත් කියනවා. ඞීබී මගෙන් බලාපොරොත්තු වූ සාහිත්‍ය ගමනක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු කිරීමේ වගකීම මහා බරක් විදිහට මගේ හිතේ තියෙනවා. ඞීබී අංකල්.. ඔබ මගෙන් යමක් බලාපොරොත්තුවූවා නම් ඒ බලාපොරොත්තුව මම ඉටුකරනවාය කියන පොරොන්දුව අද මම ඔබ ඉදිරියේ අවසන් වතාවට කියනවා.

දශක දෙකක පමණ ඇසුරකින් අප අතර ඉතිරිවුණ බොහෝ මතක සටහන් මගේ හිතේ තියෙනවා. ඒ මතක සටහන් සියල්ල ජීවිත කාලය පුරාවටම මා රිදවාවි.

ජීවත්ව සිටියදී මියගියා මෙන් ඉන්න බොහෝ මිනිසුන් අතර මිය ගිය පසුත් ජීවත්වන මිනිසුන් අතළොස්සක් ඉන්නවා. ඞීබී කුරුප්පු කියන්නෙ ඒව ගේ අමරණීය මිනිසෙක්. මිය ගිය පසුත් ජීවත් වන මිනිසෙක්. එවන් අමරණීය මිනිසකු ඇසුරේ ජීවත්වන්නට ලැබීම අප ලද භාග්‍යයක්.

අද අපේ ගුරු තරුව නිවී ගිහින්. අපි අතරමං වෙලා බලා ඉන්නවා. මෙතැනින් ඔබ්බට යන්නෙ කොහොමද? ඒ සඳහා අවශ්‍ය ශක්තිය කොයින්ද? ඞී බී කුරුප්පු... මගේ ආදරණීය පෙරටුගාමියාණනි.. මාර්ගෝපදේශකයාණනි .. මේ සමුගැනීමක් නොවන බව කියා තබන්නට මම කැමතියි.

මම අද ඔබේ නිසල සිරුර දෙස නොබලාම යන්නට යනවා. ඒ ඔබ පිලිබඳ ජීවමාන මතකය මගේ හිතේ රඳවාගන්නට මම කැමති නිසයි. අද උදේ ශනිදා සාදයේ මා කියූ මේ කවිය ඔබ පාමුල තියා යන්නට අවසර දෙන්න.

තරු විසුළ අහස මැද හිස් තැනක් ඇයි තාම
ගුරු තරුව බැස ගිහින් කාටවත් නොකියාම
හුරු පුරුදු ගුණ සුවඳ හදවතෙහි රැඳුණාම
දුර වුණත් අපි ළඟයි ගුරුතුමනි හැමදාම   "

  

Thursday, June 8, 2017

හැබෑව නොවෙන්නම්.

වසර කීපයකට පෙර දිනෙක මෙල්බන් නගරයේ උතුරු පලාතේ පිහිටි එක්තරා ශාලාවක පැවති ශ‍්‍රී ලාංකික උත්සවයක් සඳහා ආරාධනා ලැබුවෙමි. මා සමග සිටි අනෙක් ආරාධිත අමුත්තා වූයේ උස සිරුරකට හිමිකම් කියන ප‍්‍රසිද්ධ වයෝවෘධ කලාකරුවෙකි. විවිධ ක්ෂෙත‍්‍රයන්හි දස්කම් පෑ ඔහු මෙල්බන් නගරයට පැමිණ සිටියේ නිවාඩුවකට ය. රට ජාතිය ආගම ගැන ඉතා ඉහළින් කතා කරන ඔහු මා සමග එක මේසයේ වාඩි විය. උත්සවය ආරම්භ වන්නට නියමිත වේලාවට කලින් පැමිණ සිටියේ අප දෙදෙනා සහ තවත් කීප දෙනකුත් පමණකි. නියමිත වේලාව පසුවී පැය බාගයක් ගත වී තිබුණත් උත්සවය ආරම්භ වන පාටක් නැත.

”ලෝකෙ කොතැන ගියත් අපේ මිනිස්සුන්ගෙ මේ නොහැදුණ කම නැති කරන්න නම් බැහැ..” ඔහු මා සමග කියයි ”.. බලන්න .. තවම මේක පටන් ගත්තෙ නැහැ.. මේක උත්සවයකට වෙලාවට සහභාගි වන අයට කරන අපහාසයක්”

ඒ කතාව ඇත්තය. මමද ඔහුට එකඟ වීමි.

එපමණකින් නොනැවතුන අප ප‍්‍රවීණ කලාකරුවා ශ‍්‍රී ලාංකික සමාජයේ සාමාජිකයන් අතර ඇති නොහැදියාව පිලිබඳව උත්සවය ආරම්භ වන තුරුම මා සමග බොහෝ කරුණු කාරණා කීවේ ය. ඔහුගේ දේශනයේදී ද ඒ කරුණු ඉදිරිපත් කළේ ය.

එදා මා ගෙදර ආවේ මේ කලාකරුවා පිළිබඳ ඉතා පැහැදුණ සිතිනි.

මෙයට වසර කීපයකට පෙර මා ලංකාවට ගිය අවස්ථාවක හිතවත් රංග ශිල්පි නිශ්ශංක දිද්දෙණිය මහතා නව නිශ්පාදනයක් ලෙස එළි දක්වන ”පරාස්ස” නාට්‍යයේ මංගල දර්ශනයට සහභාගි වන්නැයි මට ආරාධනා පත් දෙකක් එව්වේ ය. මම ද මගේ හිතවතකු සමගින් ජෝන් ද සිල්වා සමරු රඟහලට ගියෙමි. නාට්‍ය දර්ශනය ආරම්භ වන්නට පෙරම මා පෙර කියූ ප‍්‍රවීණ කලාකරුවා වේදිකාව ආසන්නයේම යම් යම් දේ කරමින් සිටුනු දුටුවෙමි. ඔහු ද මේ දර්ශනය සංවිධානය කරන කණ්ඩායමට අයත්ව සිටින්නට ඇතැයි මම සිතමි.

විවේක කාලයේදී පිපාසයට යමක් බීම සඳහා ජෝන් ද සිල්වා රංග ශාලා පරිශ‍්‍රයේ පිහිටි කුඩා කැන්ටිමට ගියෙමි. (ඔබට මේ කැන්ටිම මතක ඇතැයි සිතමි) එහි මහ සෙනගකි. එහෙත් හැමෝම ඉතා සංවරව පෝලිමක සිටගෙන සිටියේ තම තමන්ගේ වාරය එන තුරුය. මමද පෝලිමට එකතු වී ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට යමින් සිටියෙමි. හදිසියේම මගේ උරහිසට උඩින් අතක් පාත් විය.

”ළමයා මට ඔය බීම බෝතල් දෙකක් දෙනවා” අපේ කතානායක ප‍්‍රවීණ කලා කරුවාගේ හඬ මම හොඳින් හඳුනමි. ඔහු අප දෙතුන් දෙනෙකුට පිටුපසින් සිට අපට උඩින් අත දමා බීම බෝතල් දෙකක් රැගෙන යන්නට ගියේ ය.

මට මෙල්බන් නගරයේදී ඔහු කියූ කතාව මතක් විය.

හැබෑව නොවෙන්නම්. ශ‍්‍රී ලාංකිකයන් කියන්නේ කිසිම හැදියාවක් නැති ජාතියක් නෙව.

Saturday, May 20, 2017

දේශපාලන අසහනකාරයෝ

මොකක්දෝ චිත‍්‍රපටයක ප‍්‍රචාරක පුවරුවේ නිලියකගේ පිට පැත්ත පේනවා යයි කියා එය ඉවත් කරන්නට නියෝග කළ ඇමතියකු පිළිබඳ කතාවක් මේ දවස්වල බුකියේ කරකැවෙයි. ශ‍්‍රී ලංකාව මේ ගමන් කරමින් තිබෙන්නේ තවත් තලේබාන් දේශයක් දෙසට නොවේදැයි සිතෙන්නේ මේවා අහන විට ය.

නිළියකගේ නිරුවත් පිට ප‍්‍රදර්ශක පුවරුවක අප දැක ගත් පළමු අවස්ථාව මෙය නොවේ.  1982 දී තිරගත වූ සුනිල් ආරියරත්න ගේ ”බඹර ගීතය” චිත‍්‍රපටයේ රඟපෑ අපේ නිළි රැුජන මාලිනී ෆොන්සේකා ගේ නිරුවත් පිට සහිත දැවැන්ත කටවුට් රට පුරා ප‍්‍රදර්ශනය කළ බවත් එයින් කාටවත් කිසිදු හානියක් නොවූ බවත් නොදන්නේ කවුද?

චන්ද්‍රරත්න මාපිටිගමගේ ”බඹරු නොදුටු මල්” චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිලියගේ උඩුකය නිරුවත් රුවක් දැක්වෙන කටවුට් එකක් මහරගම නැෂනල් සිනමා හල ඉදිරියේ ප‍්‍රදර්ශනය වූ බව අමතක කරන්නෙ කෙසේ ද? එවන්ම කටවුට් 1979 අපේ‍්‍රල් මාසයේ දී තිරගත වූ වසන්ත ඔබේසේකරගේ ”පළගැටියෝ” සිනමා පටය වෙනුවෙන් ප‍්‍රදර්ශනය කෙරුණ බව රහසක්ද? මේ කිසිදු පුවරුවක් නිසා කාටවත් මොකක් හෝ වුණ බවක් හෝ මාර්ග අනතුරු වැඩි වූ බවක් හෝ අපි කිසිදා නෑසුවෙමු.

එසේනම් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? පැහැදිළිවම මේ සිදුවෙන්නේ අන්තවාදී අදහස් දරන කීපදෙනෙකුගේ උවමනාකම් අනුව නැටවෙන දේශපාලන නාඩගම් පමණකි. මේ අන්තවාදයට තව තවත් යට වෙමින් රට ආගමික තලේබාන් දේශයක් කරා ගෙනයනවාද යන්න තීරණය කිරීම රටවැසියන් සතු කාර්යයකි. 

ශෘංගාරාත්මක කලා නිර්මාණ දෙස කලාත්මක ඇසින් බලන්නට සමාජය පොළඹවනවා විනා ඒවා දෙස ජාගර ඇසින් අශ්ලීල ඇසින් බලන්නට පොළඹවන මේ ප‍්‍රවණතාව විනාශකාරී එකකි. වැඩි කල් නොගොස්ම මේ අන්තවාදීන්ට අනුව නැටවෙන දේශපාලන පඹයන් සීගිරි ලලනාවන්ටත් උඩුකය ඇඳුම් අන්දවනවා නිසැක ය.

පොදුජන හදවත නොහඳුණන ගමනක්

සිය පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකට දික්කර ගන්නට 1982 දෙසැම්බර් 22 වන දා පැවැත් වූ කුප‍්‍රකට අතිශය දූෂිත ජනමත විචාරණ ඡුන්දයේ දී ජේආර් ගේ ආණ්ඩුව උතුරු නැගෙනහිර හැරෙන්නට අනෙකුත් සියළු දිස්ත‍්‍රික්ක ජයගත්තත් ආසන ගණනාවකින් පරාජය විය. රට කපටියකු වූ ජේආර් තමාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව පෙන්වීම සඳහා මේ ආසන වලට අතුරු මැතිවරණ පවත්වන්නට තීරණය කළේ ය. මේ වන විට රට පුරා ආණ්ඩු විරෝධී ජන මතයක් ගොඩ නැගෙමින් තිබුණ අතර යූඑන්පී විරෝධී සන්ධානයක් හරහා ඒ අතුරු මැතිවරණ පැවැත්වූ ආසන වැඩි ගණනක් දිනාගැනීමේ අවස්ථාව විපක්ෂයට තිබුණි.


විජේවීරගේ ජවිපෙයත් සිරිමා ගේ ශ‍්‍රීලංනිපයත් අතර මේ වෙනුවෙන් එකඟතාවක්  ගොඩ නැගිය යුතු බවට මතයක්ද විය. ඒ සඳහා සාකච්ඡුාද ආරම්භ විය.


සාකච්ඡුාව ඉදිරියට යමින් තිබියදී දෙපාර්ශවය අතර එකඟතාවකට මග පෑදෙමින් තිබුණ බවද පෙනුණි. මගේ මතකයේ හැටියට ඒ කාලයේ ජවිපෙට විශාල බලයක් තිබුණ තංගල්ල ඇතුළුව ආසන හතරක් සඳහා ජවිපෙට ශ‍්‍රීලංනිපයේ සහයෝගය ඇතිව තනිව තරග කරන්නට අවස්ථාව ලබා දීමටද එකඟතාවකට පැමිණ තිබුණි. එහෙත් එක්වරම ජවිපෙ අපූරු කරණමක් ගැසුවේ ය. මේ සන්ධානය සඳහා ශ‍්‍රීලංනිපය ”අත” ලකුණ පැත්තකට දැමිය යුතුය යන ඉල්ලීමක් ඔවුහු එකවරම කරළියට ගෙනආහ. ඒ යුගයේ ශ‍්‍රීලංනිපය එය කිසිසේත්ම කරන්නට සූදානම් වූ දෙයක් නෙවේ. එබැවින් සාකච්ඡුාව අතරමග කඩා වැටුණි.


ඒ යුගයේ තිබූ වාතාවරණය අනුව ජවිපෙ කළ ඒ ඉල්ලීම පැහැදිලිවම අනවශ්‍ය එකක් විය.. එවන් ඉල්ලීමක් ඉල්ලා සාකච්ඡුා වලින් බැහැර වීම පොදු ජනතාව කිසි සේත් අපේක්ෂා කළ තත්වයක් නොවීය.. එජාපය දරුණු මර්ධනකාරී පාලනයක් ගෙන යමින් සිටියි.. යම්කිසි ක‍්‍රමයකින් එජාපයේ මේ ගමන වැළැක්විය යුතු ය..

1982 ජනපතිවරණයේ දී

අවසානයේ පක්ෂ දෙකම වෙන වෙනම ඡුන්දය ඉල්ලූ අතර ජවිපෙට එක ආසනයක් හෝ දිනාගත නොහැකි විය. නමුත් ජවිපෙ හා ශ‍්‍රීලංනිප ඡන්ද එකට එක් කළ විට සෑම ආසනයකින්ම පාහේ යූඑන්පිය පරාජය වී තිබෙන බවක් පෙනුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මග ඔස්සේ ජනතාව අතර තහවුරු වන්නට ජවිපෙට තිබූ තවත් අවස්තාවක් ඔවුන් නැති කර ගත්තේ එසේ ය.

එසේම එදා බලවත්ව සිටි එජාපය දණගස්සන්නට බැරිනම් අවම වශයෙන් තැතිගන්වන්නට තිබූ අනගි අවස්ථාවද ඔවුහු පැහැර හැරිය හ. ජනතාව පීඩාවට පත්කරමින් සිටි පාලනයකට ජවිපෙ අනියමින් සහය නුදුන්නා යයි කෙසේ කිව හැකිද?


අපූරු කතාව එය නොවේ.


ශ‍්‍රීලංනිපය අත ලකුණ අයින් නොකරන බව පැහැදිළිව පෙනෙද්දි ඒ ඉල්ලීමේම දැඩිව එල්ලී සිටියේ ඇයි දැයි මේ සාකච්ඡුාව බිඳ වැටෙද්දී සාකච්ඡුාවට සම්බන්ධව සිටි සහ මට ඉතා සමීපව සිටි ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකුගෙන් ඇසුවෙමි.


”එයාල ඒකට කැමති නොවන බව දන්න නිසා තමයි අපි ඒකම ඉල්ලූවෙ” ඔහු කීවේ ය


එය අවංක ප‍්‍රකාශයකි. ජවිපෙට අවශ්‍ය වූයේ සාකච්ඡුාව බිඳවට්ටවා ගන්නටම ය.


ජවිපෙ හැමදාම කළේ ඔහොම දේවල්ම ය.


එදා එහෙම නොවූවා නම් ජවිපෙ නායකයන් ඇතුළු තරුණ ජීවිත දහස් ගණනක් මරණයෙන් ගැළවෙනවා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයකට නොවැටෙන්නටත් හොඳටම ඉඩ තිබුණි.


යම්කිසිවකු මුහුණු පොතේ කියා තිබුණාක් මෙන් ජවිපෙ කවදාවත් පොදු ජන හදවත් හඳුනාගෙන නොසිටියේය. එදත් එහෙමය. අදත් එහෙමය.

Monday, May 15, 2017

චිත්තරපටි විස්තරය



අපේ තාත්තා ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ ක්ෂෙත‍්‍ර නිලධාරියකුව සිටි කාලයේ අපට ලංකාවේ තැනින් තැන පදිංචිව සිටින්නට සිදුවිය. ඉතිරිකිරීමේ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වුණේ කච්වේරි හරහා වීම නිසා තාත්තාට වරින් වර ලංකාවේ විවිධ කච්චේරි වලට මාරුවන්නට සිදුවිය. තාත්තා ඉතිරිකිරීමේ  ව්‍යාපාරයට බැඳුණ කතාව පසුව කියන්නට සිතමි.

මා ඉපදුණේ තාත්තා හම්බන්තොට කච්චේරියේ සිටි කාලයේදී ය. ඒ කාලයේ තාත්තා පදිංචිව සිට ඇත්තේ හුංගම බටඅත ය. මා කලින් කියා ඇති පරිදි බටඅත වෙල්යාය අවසන් වන තැන කොළඹ කතරගම පාර අයිනේ පිහිටි තාත්තා හැදූ කුඩා ගෙය බොහෝ දෙනෙකුට මතක ඇත්තේ ”බටඅත බීඩි කර්මාන්ත ශාලාව” යයි ලොකු අකුරින් එහි බිත්තියක ලියා තිබූ බැවින් ය. මා ඉපදුනේ ඒ කුඩා ගෙය හදන්නට පෙර ඒ කිට්ටුව තිබූ වෙනත් ගෙදරක බව මම අසා ඇත්තෙමි. මගේ උප්පැන්නයේ උපන් ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ බටඅත - හුංගම ලෙසයි.

ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ
රජත ජයන්තිය වෙනුවෙන්
1969 දී නිකුත් කළ මුද්දරය
මේ කාලයේ බටඅත යනු අලි වාසයක් වූ මහා කැලෑවකි.

”බටඅත කැලයෙන් ගෙනාපු රිලා හාමියේ නටපන් රිලා හාමියේ” කියන ගීතයක්ද ලංකා ගුවන් විදුලියේ ප‍්‍රචාරය වූයේ ඒ කැලෑවේ විශාලත්වය නිසාම ය. රාත‍්‍රි කාලයට අපේ ගේ වටේ ද අලි ගැවසුණ බව මම අසා ඇත්තෙමි.

මෙයින් වසර කීපයකට පසු මල්ලී ඉපදුණේ මාතර ඉස්පිරිතාලයේ ය.


අක්කාත් අයියාත් ඉපදී තිබුණේ තාත්තා ඉතිරිකිරීමේ ව්‍යාපාරයට බැඳෙන්නට පෙර නිසා ඔවුන්ගේ උප්පැන්න ලියවුණේ නුගේගොඩ මිරිහානේ අපේ ගමේදී ම ය. තාත්තා අම්මාත් මල්ලීත් මාත් නුගේගොඩ මිරිහානේ නවතා අයියාත් අක්කාත් සමගින් බදුල්ල ට පදිංචියට යන්නේ ඔහුට බදුල්ල කච්චේරියට ස්ථාන මාරුවක් ලැබෙන නිසාය. ඉතින් වසර ගණනාවක දුෂ්කර සේවයෙන් පසු තාත්තා නැවතත් කොළඹ හතේ ඇතුලත මල් පාරේ පිහිටි ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයට මාරුවන්නේ අපි සියලූ දෙනාටම එකම තැනක පදිංචිවන්නට වාසනාව ගෙන දෙමිනි. අපි නැවතත් අපේ මිරිහානේ මහගෙදරට එක්වූයෙමු.


මට කියන්නට  ඕනෑ වූ හැබෑ විස්තරය පටන් ගන්නේ මේ වැල් වටාරම් වලින් පසුව දැන් ය.


ඒ කාලයේ නුගේගොඩ මිරිහානේ දැන් ”බෝධිය පාර” යයි හඳුන්වන මොරගහ පටුමගේ අපේ මහගෙදර ඉතා කුඩා එකක් විය. ව්‍යාපාර දියුණු වීමෙන් පසු එතැනම තාත්තා තැනූ දෙමහල්  නිවස ඉන්පසු අපේ නිවහන වුවත් ඒ කාලයේත් මේ පාර මොරගහ පටුමග ම විය. ඇඹුල්දෙණියෙන් හැරී තලවතුගොඩට දිවෙන මහපාරෙන් වමට හැරෙන මොරගහ පටුමග බොරළු පාරක් විය. පාර පටන්ගන්නා තැන සිටම කන්ද ය. පාරේ වම්පැත්තේ පිහිටි තරමක් ලොකු පොල් ඉඩමේ පාරට පේන මානයේ සෙක්කුවක් විය. ඒ නිසා ඒ ඉඩමේ තිබූ නිවස සෙක්කු ගෙදර විය. එතැනම දකුණු පැත්තේ පන්සල ය. බෝ ගහක් සංඝාවාසයක් බණ මඩුවක් හැර වෙනත් ඉදිකිරීමක් එහි නොවීය. අඩුම වශයෙන් පන්සල වටා තාප්පයක් වත් නොවී ය.

වැඩි කල එලියක් නොතිබුණත් පන්සල අපේ ජීවිත වලට බොහෝ සෙයින් බලපෑවේ ය. ඒ බලපෑම් වලින් මා වඩාත් සතුටට පත්වන මතකය නම් පන්සල් බිමේ වාඩි වී නැරඹූ වාර්තා චිත‍්‍රපට පිළිබඳ මතක යයි.

මේ කාලයේ එක් එක් තානාපති කාර්යාල වලින් සිය මව් රටවල කටයුතු ප‍්‍රචාරය කරන්නට තරගයක් තිබුණා යය මට සිතෙයි. මේ අතරින් රුසියානු ඇමරිකානු චීන තානාපති කාර්යාල කැපී පෙනුණි. නැගෙනහිර හා බටහිර වශයෙන් දෙකට බෙදී තිබූ ජර්මන් තානාපති කාර්යාල දෙකද මේ තරගයේ සිටි බව මතක ය. ඒ අතරටම අපේ රටේ රජයේ වාර්තා චිත‍්‍රපට අංශයද විය.

චිත‍්‍රපටයක් පෙන්වන්නට සතියකට දෙකකට පෙර පන්සල් බිමේ තැනක පාරට පෙනෙනෙ ලෙස පෝස්ටරයකන් ඇලවෙයි. අහවල් තානාපති කාර්යාලයෙන් හෝ රජයේ චිත‍්‍රපට අංශයෙන් හෝ චිත‍්‍රපටයක් අහවල් දින සවස ප‍්‍රදර්ශනය කෙරන බව එයින් කියැවෙයි. අපි අදාල දිනයේ කල් ඇතිව පන්සලට පැමිණෙන්නෙමු. චිත‍්‍රපටය පෙන්වන්නට බඩුමුට්ටු පටවාගත් වෑන් රිය කල් ඇතිවම පැමිණ තිබෙයි. නමුත් සමහර දිනවල වෑන් රථය එනතෙක් බලා සිටින්නටද සිදුවෙයි.

අප බලා සිටියදී වෑන් රථයෙන් බඩු මුට්ටු බිමට බෑවෙයි. තරමක් විශාල තිරයක් ගසක හෝ ඔවුන් ගෙන එන ආධාරක මත හෝ එල්ලෙයි. ප්‍රොජෙක්ටර් ක‍්‍රියාකරු වහ වහා ප්‍රොජක්ටරය සවි කරයි. ඒ කාලයේ අපේ ගමට විදුලිය නොතිබුණේ ය. වෑන් රථයේ ගෙන එන කුඩා විදුලි ජනක යන්ත‍්‍රයෙන් ප්‍රොජෙක්ටරයට විදුලිය ලැබෙයි. අපි මැජික් මෙන් බලා සිටියදී ප්‍රොජෙක්ටර් ක‍්‍රියාකරු චිත‍්‍රපට රීල් සවිකර ප්‍රොජෙක්ටරය නිසි ලෙස තිරයට එල්ල කර සකස් කරයි.

අපි නොයිවසිල්ලන් බලා සිටිමු. පළමු ආලෝක කදම්බය තිරය මත පතිත වත්ම සැවොම කඩිමුඩියේ බිම තණකොල බිස්සේ වාඩි වෙති. චිත‍්‍රපටය ඇරඹෙයි.

සමහර දිනෙක විදෙස් රටක නිපදවූ කාටුන් චිත‍්‍රපටයකි. ඒ අතරට බොහෝ විට ඒ රටවල කටයුතු විස්තර කෙරෙන වාර්තා චිත‍්‍රපට ය. ඒවා අපට නිරස නොවෙයි. අපි මහත් ඇල්මෙන් බලා සිටිමු. ඇත්තම කිව්වොත් තිරය මත රූප පතිත වන මොකක් පෙන්නුවත් අපි සතුටු වීමු.

රජයේ චිත‍්‍රපට අංශයෙන් පෙන්වන්නේ රජයේ වැඩ කටයුතු පිළිබඳ විස්තර සහිත චිත‍්‍රපට ය. ඒකාලයේ තිබුණේ ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුව ය. ඉන්පසු සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ය. මේ දෙකෙන්ම පෙන්වූ වාර්තා චිත‍්‍රපට අපි නරඹා ඇත්තෙමු. වගා සංග‍්‍රාමය නිදහස් උත්සවය කර්මාන්ත ප‍්‍රදර්ශනය වැනි නොයෙකුත් පුවත් මේ චිත‍්‍රපට වලින් අපට දකින්නට ලැබෙයි. සමහර දිනෙක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ චිත‍්‍රපටයකිි. යම්කිසි සෞඛ්‍ය ප‍්‍රශ්නයක් පිලිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නිපද වූ චිත‍්‍රපට ඒ අතර වෙයි. එය අපූරු සන්නිවේදන ක‍්‍රියාවලියකි. රූපවාහිනී ඇති මේ යුගයේදීවත් ඒ තරම් මිනිසුන්ගේ සිත් වලට කා වදින සන්නිවේදනයක් නොකෙරේ යයි මට සිතෙයි.

ඩඞ්ලි සේනානායක රජයේ වගා සංග‍්‍රාමය වෙනුවෙන් නිපදවූ රන්වන් කරල් අර්ධ වාර්තාමය වෘත්තාන්ත චිත‍්‍රපටය අප නැරඹුවේ මිරිහානේ පන්සල් බිමේ වාඩිවීගෙන ය.

රන්වන් කරල් වගේ 
මූණේ සිනා ඇගේ 
දුටුවම සිත මාගේ
බැඳුණෙ ආදරේ
ආලෙ බැන්ද මාගෙ පණේ
සෝමාවතී
මගේ සෝමාවතී

1968 දී තිරගත වූ රන්වන් කරල් ආචාර්ය සිරි ගුණසිංහ ගේ අධ්‍යක්ෂණයක් යයි මගේ මතකය කියයි. සංගීතවත් කළේ සෝමදාස ඇල්විටිගල විය යුතු ය. ප‍්‍රධාන නිළිය වූයේ පුණ්‍යා හීන්දෙනිය යි

පන්සල් බිමේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ඉතා සුමට සුගම එකක් නොවී ය. සමහර විටෙක ශබ්දය නෑසී යයි. තවත් සමහර විටෙක චිත‍්‍රපට රීලය කැඩෙයි. විදුලි උත්පාදන යන්ත‍්‍රය නැවතෙයි. ඒ ඒ අවස්ථා නිසි ලෙස කළමණාකරනය කරගන්නට ප‍්‍රක්ෂෙපන යන්ත‍්‍රයේ ක‍්‍රියාකරු සමත් ය. ඒවා ඔහුට හොඳහැටි පුරුදු අලකලංචි ය.

රාත‍්‍රී නවය දහය වන විට චිත‍්‍රපට දර්ශනය අවසන් වෙයි. අපි කතා බස්වලින් කලූවරේම නිවෙස් බලා යන්නෙමු. ගමෙන් කාලක් වත් පන්සල් බිමේ සිටිය නිසා පාලූවක් දැනෙන්නේ නැත. මග දිගට කතා කරන්නට බොහෝ දේ ඒ කුඩා වාර්තා චිත‍්‍රපට අපේ සිත් තුළ ඉතිරි කර ඇත.

දැන් මම ආපසු හැරී බලමි. චිත‍්‍රපට පිළිබඳ අපේ ඇල්ම බැල්ම පිස්සුව මුළින්ම ඇවිලූවේ මේ වාර්තා චිත‍්‍රපට නොවේදැයි මට සිතෙයි.

ජීවිත ඇරඹෙන්නේ මේ කුඩා දියපහරවලින් ය. 
ඒවා මහා ගංගා වීම හෝ නොවීම හෝ පසුව අප මුහුණ දෙන සමාජ සංසිද්ධින් විසින් තීරණය කරනු ලබන්නකි.


Tuesday, April 18, 2017

අනාගතය ගැන සිතමු...

මීතොටමුල්ලෙ කුණු කන්ද නාය යාමෙන් සිදුවූ විනාශය පිලිබඳ අදහස් සැම අතින්ම ඇසෙයි. වැඩි වශයෙන් එකිනෙකාට කරගන්නා චෝදනා ය. විනාශයට මුළ මේ කුණු කන්ද ආරම්භ කළවුන් සහ මේ තාක් කාලයක් එය පවත්වාගෙන ගියවුන්ය යන්න අවිවාදිත ය. ඒ පිළිබඳව රජය වෙනුවෙන් සමාව ඉල්ලන බව සාගල රත්නායක ඇමතිවරයා කියා තිබෙනුද දුටුවෙමි. එයද හොඳ ප‍්‍රවණතාවකි. මෙයට පෙර කිසිම දිනෙක ඇමතිවරයකු සමාව ඉල්ලා සිටිනු මම දැක නැත්තෙමි. 


දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ මේ බැණ අඬා ගැසීම් නවත්වා මෙවන් විපතක් ඉදිරියේදී සිදු නොවීම පිලිබඳව අපට ගත හැකි පියවර මොනවාදැයි සාකච්ඡා කිරීමයි. ඒ සාකච්චාවෙන් මතුවෙන අදහස් ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන්ට බල කීරීමයි.


මේ සම්බන්ධයෙන් වටිනා අදහසක් නදී වාසලමුදලිආරච්චි සොයුරිය ලියා තිබෙණු දුටුවෙමි. මෙවැනි අවදානම් සහගත ස්ථාන රට පුරා තිබේ නම් ඒවා ලේඛණ ගත කර ප‍්‍රසිද්ධ කිරීම සුදුසු යයි ඇය යෝජනා කරයි. එය ඉතා වැදගත් පියවරකි.  සියලු රටවැසියන්ට මේ ක‍්‍රියාවට දායක විය හැකිය. 


ඒ සමගම ලංකාවේ කුණු ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයා ගත යුතුය. මේ ප‍්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එදා මෙයට විසඳුමක් සොයන්නට උනන්දුවූවානම් අද මෙවන් විපතක් සිදු නොවනු ඇති බව විශ්වාසය.



මේ 1997 දී මවිසින් දිවයින පුවත්පතට ලියූ අදහස් දැක්වීමකි. 





එදා සුළු පරිමානයෙන් හෝ මේ කටයුත්ත ආරම්භ කළා නම් අත වන විට මෙවන් විපතක් සිදුනොවනු ඇතැයි මට සිතෙයි. නියපොත්තතෙන් කඩන්නට හැකිව තිබූ ගහ මහා රුකක් වනතුරු බලා සිටීමේ විපාකයයි මේ.

කසළ ප‍්‍රතිචක‍්‍රී කරණය පිළිබඳ විශේෂඥ දැනුමැති විද්වත්තු අපේ සමාජයේ අපමණ සිටිති. ආචාර්ය සමුද‍්‍රා ජයලත් වැනි විද්වතුන් විදෙස් ගතව සිටියද ඔවුන්ගේ සේවය ලංකාවට ලබාගත නොහැකිවන්නේ නැති බව මට විශ්වාස ය. අවශ්‍යවන්නේ අවංක අදහසින් ක‍්‍රියාත්මක වන්නට උනන්දුව ඇති දේශපාලන නායකත්වයක් පමණකි. එකිනෙකා කඹ ඇදගන්නේ නැතිව, චෝදනා කරගනිමින් සිටින්නේ නැතිව, පක්ෂ භේද පසෙක ලා එක්සත්ව මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගත යුතුය. 


දැන් අප හමුවේ ඇත්තේ ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. නැවත මෙවන් විපතක් සිදුනොවන්නට ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. .  

Sunday, February 26, 2017

කම්හලක් හැදුවෙමි - පින්තූර

කම්හලක් හැදුවෙමි කතාවට අදාල වෙන පින්තූර ටිකක් හමුවුණා..

මරදාන යාන්ත‍්‍රික කම්හල

මරදාන යාන්ත‍්‍රික කම්හල

මරදාන යාන්ත‍්‍රික කම්හල

හොර්ටන් තැන්නේ යන්ත‍්‍ර පරීක්ෂාවකට ගිය අවස්ථාවක

හොර්ටන් තැන්නේ යන්ත‍්‍ර පරීක්ෂාවකට ගිය අවස්ථාවක 
මගේ නිල රථයේ රියැදුරු පියසේන සහ ටිපර් රියැදුරු වික‍්‍රම මහත්වරුන් 

මාර්ග සති රැස්වීමකට ගිය අවස්ථාවක

මාර්ග සති රැස්වීමකට ගිය අවස්ථාවක







Monday, February 6, 2017

කම්හලක් හැදුවෙමි - 2 කොටස

අපට තිබුණේ ඉතාමත් සීමිත සම්පත් ප‍්‍රමාණයකි. ලිපිකාරිණියට යතුරු ලියනයක් නැත. ප‍්‍රධාන කාර්යාලයේ පාවිච්චියෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික් යතුරු ලියනයක් තිබූ බව මට මතකය. අලූත්ම එකකි. යම්කිසි දෝෂයක් නිසා ක‍්‍රියා නොකරයි. අලූත්වැඩියාකරවා ගන්නට කිසිවකුට උනන්දුවක් නැති නිසා පාවිච්චියෙන් ඉවත් කර ඇත. මම එය ඉල්ලා ගතිමි. මෙට්‍රොපොලිටන් ආයතනයට යවා අලූත්වැඩියා කර ගත්තෙමි.


කාර්මිකයනට ආයුධ ඇත්තේද සීමාසහිතවය. තිබෙන ආයුධ දෙකට බෙදා සේවා කණ්ඩායම් දෙකක් හැදුවෙමි. සෑම උදෑසනකම අවශ්‍යකරන තෙල් වර්ග සහ අමතර කොටස් පටවා ගන්නා කණ්ඩායම් දෙක දෙපසකට පිටත් කර හරින්නෙමි. රට පුරා විවිධාකාර යන්ත‍්‍ර තිබූ බැවින් ඇති තරම් වැඩ තිබුණි. එහෙත් මෙය තෘප්තියක් ලැබෙන වැඩක් නොවේ. මටත් වඩා අතෘප්තිමත්ව සිටියේ මා සමග පැමිණ සිටි කාර්මිකයන්ය.


”මෙහෙම ඔයිල් මාරු කර කර ඉඳලා වැඩක් නැහැ සර්.. එන්ජින්  ඕවරෝල් එකක් වගේ ටිකක් ඇඟට දැනෙන වැඩක් කරමුකො.. සර් බය නැතුව  ඕනෙ වැඩක් බාර ගන්න.. අපි දෙන්නම් තිතට”


මගේ කාර්මිකයන්ගේ දක්ෂතා ගැන මම හොඳින්ම දනිමි. ඔවුහු මා අතින් අල්ලා තෝරාගත් වැඩකාරයෝ ය. වැඩ කරන්නටම ඉපදුණ දක්ෂයෝ ය. ඔවුන්ට අවශ්‍ය එන්ජිමක් ගලවා සවි කරන්නටය. ගියර් පෙට්ටියක් දෙපළු කරන්නටය. ටෝක් කන්වර්ටරයක් ගලවන්නටය. විසල් යන්ත‍්‍රයක හයිඩ්‍රොලික් සිලින්ඩර අලූත්වැඩියා කරන්නටය. හරියාකාර ඇඟට දැනෙන වැඩක් නැති කල ඔවුන් නළියන බව මම දනිමි. එහෙත් මෙය සේවා ඒකකයක් බවත් කම්හලක් නොවන බවත් ඔවුන්ට තේරුම් කර දෙන්නේ කෙසේද?


ඉහළ නිලධාරීන්ටගෙන් යමක් ඉල්ලා ගන්නට නියමිත වේලාවක් ඇත. මම අවස්ථාව එළැඹෙන තෙක් කල්බලමින් සිටියෙමි.


මාර්ග සති යන්ත‍්‍ර ප‍්‍රවාහණයට යොදාගෙන තිබූ 26 ශ‍්‍රී 9060 ලොරිය අබලන් වන්නේ මේ අවස්ථාව මට උදාකර දෙමින් ය. මාර්ග සති වැඩ සටහන අඩාල වන කිසිදු දෙයක් සිදුවිය නොහැකිය. ප‍්‍රමුඛතාව මාර්ග සතියට ය. ලොරිය අබලන් වීමෙන් යන්ත‍්‍ර ප‍්‍රවාහණය කරන්නට නොහැකි වීම ඇඟට දැනෙන බරපතළ තත්වයකි.


”ලොරිය කොම්පැණියට යවලා රෙපයාර් කරගනිමු” ප‍්‍රධාන කාර්යාලයෙන් නියෝගය ලැබුණි.


මම අධ්‍යක්ෂ (යාන්ත‍්‍රික) රණසිංහ මහතා හමුවීමි. මගේ සහයට ඉංජිනේරු ජයතිලක මහතාද විය.


”ලොරිය කොම්පැණියට යැව්වොත් මාස ගාණක් යයි එලියට ගන්න.. සර්ට පුලූවන් නම් මට ස්පෙයා පාට්ස් ටික අරගෙන දෙන්න.. මම අපේ මිකැනික්ලට කියල ලොරිය හදන්නම්” මම කීවෙමි.


රණසිංහ මහතා කල්පනා කරමින් සිටියේ ය.


”කොච්චර කාලයක් යයිද හදන්න?” ඔහු ඇසුවේ ය. මාර්ග සතිය සම්බන්ධ ප‍්‍රශ්න වලදී කාලය යනු ප‍්‍රධානම සාධකයකි. ඒ බව මම දනිමි.


”ස්පෙයා පාට්ස් ටික ලැබිලා සතියක් ඇතුළත මම ලොරිය දෙන්නම්” මම කීවෙමි. සතියක් යනු ආණ්ඩුවේ ආයතනයකට ඉතා කෙටි කාලයකි. මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිම යාන්ත‍්‍රික කම්හලකින් මෙවැනි අලූත්වැඩියා කිරීමක් සතියකින් අවසන් කර නැත. මෙය අවම වශයෙන් මාස තුන හතරක් ගන්නා වැඩකි.


රණසිංහ මහතා කල්පනා කරමින් සිටියේ ය. අවසන ඔහු අර සුන්දර සිනාවෙන් ජයතිලක මහතා දෙස බැලූවේ ය.


”එදිරිට බඩු ටික අරගෙන දෙන්න” ඔහු කීවේ ය.


ඊළඟ සතියේ අවශ්‍ය අමතර කොටස් ලැබුණි. මගේ ගෝලයෝ දවස් තුනක් රෑ දවල් නොබලා වැඩ කර ලොරිය ගොඩ දැමූහ. හතරවන දවසේ උදෑසන මම ඒ බව රණසිංහ මහතාට දන්වා සිටියෙමි.
”මාර්ග සංවර්ධන අධිකාරියට යාන්ත‍්‍රික කම්හලක් අවශ්‍ය නැත” යයි යම් කිසිවකු ගෙන තිබූ තීරණය විසින් බඳින ලද බැම්ම බිඳ වැටීම ඇරඹුණේ එසේය. දැන් වතුර කාන්දු වෙමින් තිබෙයි. ඉක්මණින්ම මේ බැම්ම සම්පූර්ණයෙන්ම බිමට වැටෙන බව මට දැනෙයි.


”මිස්ටර් එදිරිසිංහ.. මගේ කාර් එකේ ක්ලච් එක ගිහිල්ල .. කොම්පැණියට දැම්මොත් සතියක්වත් ගනියි.. බැරිද මොකවත් කරන්න?” සෙත්සිරිපායේ පඩි පෙළේදී හමු වූ අධ්‍යක්ෂ (විගණක) අසයි. මම පැය දෙකකින් ඔහුගේ වාහනය අලූත්වැඩියා කර ආපසු සෙත්සිරිපායට යවමි. එය මාර්ග සංවර්ධන අධිකාරියේ අතීීතයේ තිබූ කම්හලක අවම වශයෙන් සතියක් දෙකක් ගන්නා වැඩකි.


අපේ ලොක්කෝ වාහන වලට දැඩි ලෙස ආදරය කරන අය වෙති. ලංකාවේ කොයි ලොක්කාත් එසේමය. නිලරථ වලට ඔවුන්ගේ ඇත්තේ දැඩි ඇල්මකි. ඔවුන්ට අවශ්‍ය ඉතා ඉක්මණින් සිය වාහනය අලූත්වැඩි කර ගත හැකි ක‍්‍රමයකි. ප‍්‍රධාන කාර්යාලයේ වාහන අලූත්වැඩියා සඳහා නොකඩවා මරදාන කම්හලට එන්නට පටන් ගත්තේ එසේ ය.


මරදාන දැන් තව දුරටත් සේවා ඒකකයක් නොවේ.  ඕනෑම ප‍්‍රධාන අලූත්වැඩියාවක් පැය කීපයකින් හෝ දින කීපයකින් හෝ නිම කිරීමට සමත් වැඩකාරයන් පිරිසක් සිටිනා ඉතා ක‍්‍රියාකාරී යාන්ති‍්‍රක කම්හලකි. මේ ප‍්‍රසාරණය මුහුණ දෙන්නට මට තවත් සේනාව අවශ්‍යය.


කම්හලට අලූතින් කාර්මිකයන් හතර දෙනක් සහ විදුලි කාර්මිකයකු අනුයුක්ත කෙරුණි. වැඩ බලන්නට යාන්ත‍්‍රික අධිකාරිවරුන් දෙදෙනෙකුද අලූතෙන්ම බඳවාගන්නා ලදී.  තවත් ලිපිකරුවෝ දෙදෙනෙක්ද ඒ සමගම පත්වීම් ලදහ. අවුරුද්දක් දෙකක් යන විට මරදාන කම්හලට අනුයුක්තව විවිධ ශ්‍රේණි වල සේවකයෝ සියයක් පමණ සිටියහ.


තිබෙන වැඩ පරිමාව සපුරන්නට තවත් කාර්මිකයන් අවශ්‍යය. මම ජාතික ආධුනිකත්ව මණ්ඩලය සමග සාකච්ඡුා කර ආධුනිකයන් හතරදෙනකු ඉල්ලා ගත්තෙමි.


මම සේවක කාමරයේ වහලයට තිබූ කොන්ක‍්‍රීට් තට්ටුව මත තවත් කාමරයක් තැනුවෙමි. අවශ්‍ය සිමෙන්ති ගල් ආදිය විවිධ වැඩ බිම් වලින් ඉල්ලා ගත්තෙමි. සේවකයෝ ස්වෙච්ඡුාවෙන් ගඩොල් බැන්දහ. කපරාරු කළහ. ඒ කාමරයේ ඇඳන් කීපයක් දමා රෑ බෝවී එන සේවකයන්ට නිදාගන්නට පහසුකම් සළසා දුන්නෙමි. රූපවාහිනී යන්ත‍්‍රයක්ද එහි සවිකළෙමි. මගේ කම්හලේ කිසිදු සේවකයකු අසතුටින් නොසිටි බව මට විශ්වාස ය.


මාර්ග සති සේවා වලට යොදවා තිබූ යන්ත‍්‍ර වලට අමතරවමාර්ග සංවර්ධන අධිකාරියට මිලට ගත් තවත් බර යන්ත‍්‍ර ගණනාවක්ම අපේ යන්ත‍්‍ර හමුදාවට එක්වෙයි. ඒවා රටපුරා සේවයට යොදවා ඇත. මසකට වරක්වත් ඒ තැන්වලට ගොස් මේ යන්ත‍්‍ර පරීක්ෂා කරන මෙන් මට උපදෙස් ලැබී ඇත. ගාල්ල මාතර බණ්ඩාරවෙල නුවරඑළිය මහියංගනය අනුරාධපුර ආදී ප‍්‍රදේශවලට මාස දෙකකට වතාවක් හෝ යන්නට මට සිදුවිය. ඒ හැරෙන්නට මාර්ග සති සංවිධානය කිරීමේ රැුස්වීම් වලටද මගේ සහභාගිත්වය අවශ්‍ය වූයේ ඒ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර සැපයීම මගේ වගකීමක් වූ නිසා ය.


මගේ 31ශ‍්‍රී 5380 දරණ පරණ මිට්සුබිෂී ජීප් රථය වෙනුවට අලූතෙන්ම මිලට ගත් මිට්සුබිෂි බඩල්කැබ් රථයක් ලබා දෙන්නට තරම් ප‍්‍රසාදයක් ඉහළ නිලධාරීන්ගේ සිත් වල ඇති කරන්නට මට හැකිවී තිබුණි.


අපි රැයක් දවාලක් නොබලා ඉමහත් තෘප්තියකින් වැඩ කළෙමු.


අධ්‍යක්ෂ (යාන්ත‍්‍රික) රණසිංහ මහතා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නේ මේ අතරදී ය.


අලූතින් නිලධාරීහු පත්ව එති. මා වෙනුවට ඔවුන්ගේ ගෝලයකු කම්හලට පත් කරන්නට ඔවුනට අවශ්‍ය වෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නිලධාරීහු වෙන වෙනම මා හමුවන්නට එති.


”මේ වැඬේට අපි ඉඩ දෙන්නෙ නැහැ.. අපි දන්නවා එදිරිසිංහ මහත්තයා මේ වර්ක් ෂොප් එක ගොඩනගන්න වෙච්ච මහන්සිය..” ඔවුන්ගේ කතා වල සාරාංශය එසේ විය. මම නිහඬව සිටිමි. මොනයම් ක‍්‍රමයකින් හෝ මා වෙනුවෙට වෙනත් අයකු පත්කිරීමේ අදහස යටවී යයි. එසේ වුවද සිතේ ඇති වූ කළකිරීම පහව නොයයි. ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ගත් තීරණයට ඒ කළකිරීම මහත් උත්තේජනයක් සැපයූ බව මම දනිමි.


මා මාර්ග සංවර්ධන අධිකාරියෙන් අස්ව එන දා මගේ දුප්පත් සේවකයෝ තමන්ට හැකි පමණින් සාදයක් සංවිධානය කළහ. ඔවුන් මා වැළඳගෙන හඬාවැටුණ අයුරු සිහිපත් වන විට අදත් මගේ ඇස් වලට කඳුළු පිරෙයි.



ජීවිතයේ එක් පරිච්ඡෙදයක් නිමා වූයේ එලෙස ය.


කාලය අප බොහෝ දුර ගෙනගොස් ඇත.


පසු සටහන


මරදාන කම්හල දැන් එතැන නැත. එය රත්මලානට ගෙන ගිය බව දැනගන්නට ලැබුණි. පසුගිය වසරක දිනෙක මම මගේ මිත‍්‍ර කැලූම් පාලිත මහීරත්න සමග ටවර් රඟහලේ නාට්‍යයක් බැලීමට ගියෙමි. අපේ වාහනය නවත්වන්නට තැනක් නොවීය.


”මගේ වර්ක්ෂොප් එක තිබෙුණ පාරෙන් එහා පැත්තෙ. අපි එතෙන්ට ගිහිල්ල බලමු. කවුරු හරි  හිටියොත් වාහනේ එතන නවත්තන්න පුලූවන්” මම කීවෙමි. අපි එල්පින්ස්ටන් රඟහල ඉදිරියෙන් පල්ලමට ගොස් කම්හලේ ගේට්ටුව අසළ වාහනය නැවැත්තුවෙමු. පාලූවට ගොස් ඇති කම්හල් බිම මගේ සිතේ මහත් සංවේගයක් ඇති කරයි. එක් කලෙක මෙය කඩි ගුලක් මෙක් කඩිසරව තිබූ තැනකි. මම වාහනයෙන් බැස්සෙමි. ගේටුට්වේ මුරට සිටි මා නොහඳුනන කොලූ ගැටයෙක් වාහනය අසළට දුවගෙන එයි.


”සර් එදිරිසිංහ මහත්තය නේද?” ඔහු අසයි.

”ඔයා කොහොමද දන්නෙ? ඔයා මං හිටපු කාලෙ හිටියෙ නැහැනෙ” මම අසමි.

”ඉස්සර වර්ක්ෂොප් එකේ සර්ගෙ පින්තූරයක් එල්ලලා තිබුණා.” තරුණයා කියයි.


මා අමතක නොකළ එක් අයෙකු හෝ සිටින බව දැන් සහතික ය.

Monday, January 30, 2017

කම්හලක් හැදුවෙමි - 1 කොටස

විවිධ පළාත්වලට පත්ව යන නිලධාරීන් විවිධාකාර ආයතන ගොඩ නගන්නට කරන කැපවීම් අපි විටින් විට කියවන්නෙමු. ලංකාවේ එහෙම වැඩ කරන මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන අපහසුතාවන් අපමණය. එක පැත්තකින් ආයතන නීති රීතිය. ආයතන සංග‍්‍රහය  සහ මුදල් සංග‍්‍රහය අතේ තබාගත් ලොක්කෝ දැමිය හැකි හැම බාධාවක්ම දමති. ඉරිසියාවෙන් හා කුහක කමින් හිස් පුරවාගත් නිලධාරීන් ය. ඒ මදිවාට වැඩක් කරන්නා දෙස වපරැහින් බලන්නන් ය. වැඩක් කළ යුතුවන්නේ මේ සියල්ලන් ගෙන්ම ගැලවීගෙන ය.


කුප‍්‍රකට ජේ ආර් රජීව් ගාන්ධි ගිවිසුමෙන් පසු අද රටට ගැළවී ගත නොහැකි හෙණයක් වී ඇති පළාත් සභා නම් ආයතන බිහිවිය. එකම ඒකකයක්ව තිබූ මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ පළාත් වල තිබූ කාර්යාල පළාත් සභා වලට පැවරෙමින් තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික අංශයට අයත්ව තිබූ ප‍්‍රාදේශීය කම්හල් සියල්ලම ඒ ඒ පළාත් සභා වලට පැවරීමේ කටයුතු ඇරඹුනි.


පල්ලෙකැලේ කුරුණෑගල කුරුවිට බණ්ඩාරවෙල ආදී ප‍්‍රදේශවල තිබුණ කම්හල් සේවකයන් සහ නිලධාරීන් සමගම පළාත් සභා වලට පැවරුණි. බස්නාහිර පළාතට අයත්ව තිබූූ කොළඹ තත්වය මදක් වෙනස් විය.


”එදිරි ඉක්මණින් හෙඞ්ඔෆිස් එකට ඇවිත් මාව හමුවෙන්න” පණිවුඩය ආවේ යාන්ත‍්‍රික අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි වරලත් ඉංජිනේරු ෂෙල්ටන් රණසිංහ මහතාගෙනි.


මම උදයෙන්ම සෙත්සිරිපායේ ප‍්‍රධාන කාර්යාලයට ගියෙමි. රණසිංහ මහතා සමග ඉංජිනේරු ජයතිලක මහතාද විය.


”වෙස්ටර්න් රීජනල් වර්ක්ෂොප් එක බස්නාහිර පළාත් සභාවට දෙනවා” රණසිංහ මහතා කෙළින්ම කතාව පටන් ගත්තේ ය. ”අපේ ඔක්කොම් මැෂින් ඒකට දෙන්න වෙනවා.. ආර්එම්ඊ (RME - Regional Mechanical Engineer) ඇතුළුව ඔක්කොම වැඩ කරන අයත් එක්කම.. ඒත් අපට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.. මාර්ග සති ෆ්ලීට් එක අපට ඉතුරු වෙනවා.. අපි ඒක මේන්ටේන් කරන්න  ඕනෙ.. අපි එදිරිව ආර්ඞීඒ (RDA - Road Development Authority) එකට තියා ගන්නවා... රෝඞ්වීක් ෆ්ලීට් එක මේන්ටේන්කරන වැඬේ අපි ඔයාට බාර දෙනවා..” ඔහු කීවේ ය. මම අසා සිටියෙමි.


”ආර්එම්ඊ ගාව දැන් තියෙන 31ශ‍්‍රී 5380 ජීප් එක අපි ඔයාට දෙනවා. ඒකෙ ඩ‍්‍රයිවරුත් එක්ක. දැනට තියෙන වර්ක්ෂොප් එකේ දැන් ඉන්න මිකැනික්ලගෙන් ඔයා කැමතිම හතර දෙනා තෝරාගෙන මට නම් ටික කියන්න.. හෙට ඉඳන් සර්විස් යුනිට් එකක් දාන්න සුදුසු තැනක් හොයන්න”


යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා මා පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටින බව මම දනිමි. මම අභියෝග වලට කැමැත්තෙමි. මේ නම් කිසිවකුට නොලැබෙන අවස්ථාවකි. අනෙක් අතින් පළාත් සභාවට නොගොස් මාර්ග සංවර්ධන අධිකාරියේ දිගටම සේවය කරන්නට අවස්ථාව ලැබීම භාග්‍යයකි.


(මේ  සිදුවීම් වලින් වසර කීපයකට පසු වරලත් ඉංජිනේරුවරයකු ලෙස සුදුසුකම් ලබන්නට මා ඉදිරිපත් කළ ප්‍රොෆෙෂනල් රිවිව් වාර්තාවට අත්සන් කළ එක් වරලත් ඉංජිනේරුවරයකු වූයේ ෂෙල්ටන් රණසිංහ මහතා ය. මට පෙර ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ ඒ මහතා ඉන්පසුව ඇමරිකාවට ගිය බව දැනගතිමි. මේ අතිදක්ෂ හොඳ නිලධාරියා පිලිබඳ කිසිදු තොරතුරක් මට ඉන්පසු සොයාගත නොහැකි විය. මගේ වාර්තාවට අත්සන් කළ අනෙක් වරලත් ඉංජිනේරුවරයා දැන් කැනඩාවේ වාසය කරන ධනකාන්ත පීරිස් සොයුරා බවද සටහන් කර තබමි)


මම පසුදා සිටම වැඩට බැස්සෙමි. මගේ රියැදුරා පියසේන ය. ඔහු මට අනුයුක්ත කළ දින සිට මා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන තෙක්ම මගේ රියැදුරාව සිටියේ ය. හක්මණ පදිංචිකාරයකු වූ පියසේන නැවතී සිටයේ බත්තරමුල්ලේය. රාත‍්‍රියේ 12ට එන්නට කීවත් ඔහු එයි.


පැරණි කම්හලෙන් මා තෝරාගත් කාර්මිකයන් කීපදෙනාත් සමගින් ඒ සතියම බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සියලූම ඉඩම් වලට ගියේ අපේ නව සේවා ඒකකයට සුදුසු තැනක් සොයාගන්නටය. කඩුවෙල සහ නුගේගොඩ දෙතැනේ වඩා ඉඩ කඩ ඇති ඉඩම් දෙකක් තිබුණත් අපේ අවධානය වැඩියෙන්ම යොමු වුණේ මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට යාබදව පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ලොරි නැවැත්වීමට යොදා ගත් කුඩා ඉඩමයි. නුගේගොඩ ඉඩම තිබුණේ අපේ මහගෙදර සිට පයින් ඇවිද යන දුරකිනි. එනමුදු මරදාන ඉඩම කම්හලට වඩාත් සුදුසු තැන ලෙස මම තේරුම් ගත්තෙමි. එල්පින්ස්ටන් රඟහල ඉදිරියෙන් පහළට යනවිට තිබෙන මේ ඉඩමේ ගොඩනැගිල්ලක්ද වීම අපේ කටයුත්ත වඩාත් පහසු කරනු ඇතැයි මම සිතුවෙමි. යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා කැඳවාගෙන විත් තැන පෙන්වූ විට ඔහුද එයට එකවරම කැමති විය.


ඊළඟ සතියේම කාර්යාල කාමරයක් ගබඩා කාමරයක් සේවක කාමරයක් මුර කාමරයක් ගොඩ නැගුණි. සේවක කාමරයේ වහලයට කොන්ක‍්‍රීට් එකක් දම්මවා ගත්තේ අනාගතය ගැන සිතා ය. මේ ඉඩම කුඩාය. ගොඩනැගිලි තනන්නට ඇත්තේ කුඩා ඉඩකඩකි. මේ සීමිත ඉඩෙන් උපරිම ප‍්‍රයෝජනය ගතයුතු ය. යම් දිනෙක මම මේ කොන්ක‍්‍රීට් තට්ටුව උඩ තවත් කාමරයක් තනන්නෙමි. එය කරන්නේ කෙසේ දැයි අද මට නොවැටහේ. එනමුදු දිනෙක මම එය කරන්නෙමි.


ගබඩාබාරකරුවකු ලිපිකාරිනියක සහ මුරකරුවන් දෙදෙනෙකු ද අනුයුක්ත කෙරුණි. කාර්මිකයන් හතර දෙනෙකි. රියැදුරන් තුන්දෙනෙකි. මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ෆෝමන්වරයකු ලෙස සේවය කළ සෝමසිරි මහත්තයාද අපට එක් වී සිටියි. මාර්ග සති යන්ත‍්‍ර කට්ටලයේ ක‍්‍රියාකරුවන් දහ දෙනෙක් පමණ සිටින්නට ඇත. සටන ගෙනයන්නට මට ලැබුණ හමුදාවයි මේ.


”එදිරි මේක සර්විස් යුනිට් එකක් විතරයි... වර්ක්ෂොප් එකක් නෙවෙයි” වැඩ පටන්ගත් දා යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා නැවත අවධාරණය කළේ ය.


මම එකඟතාව පෙන්වමින් හිස සළමි.


මට  ඕනෑ කොතැනකින් හෝ පටන් ගන්නටය.


අපි වැඩ පටන් ගත්තෙමු.

(ඉතිරි කොටස පසුව කියවමු)
,

Tuesday, January 24, 2017

ආමීර් ඛාන් ගේ Dangal චිත‍්‍රපටය හින්දි සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳියි

මම සිනමා විචාරකයෙක් නොවෙමි. එහෙත් සිනමාව පිළිබඳ කුඩා කල සිටම ඇති උන්මාදයකින් පෙළෙන්නෙක්මි. 


මා පළමු වතාවට බැලූ හින්දි චිත‍්‍රපටය පවුලේ අයත් සමග බොරැුල්ලේ ලිඩෝ හිිදී නැරඹූ ”මධුමතී” නම් වන හින්දි චිත‍්‍රපටයයි. එය හොල්මන් කතාවකි. එයින් පසු හින්දි චිත‍්‍රපට නැරඹුවේ ඉතාම අඩුවෙනි. තරුණ කාලයේ එම්පයර් සිනමා හලේ පැල් බැූඳගෙන දිවූ රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවෙන් ගෙන්වා පෙන්වූ ගීත් අභිමාන් වැනි කීපයක් පමණක් වරින් වර බැලූ බව මතක ය. 


එ‘ කාලයේ මම හින්දි චිත‍්‍රපට විරෝධියෙක් වීමි. එවන් විරෝධයක් ඇති කර ගත්තේ මන්දැයි  පැහැදිළි හේතුවක් දැන් කල්පනා කරන විට පවා මට සිතා ගත නොහැකිය. ජනප‍්‍රිය හැම දේටම විරුද්ධ වීම තරුණ කාලයේ ගතියක් යයි මට සිතෙයි. අප ප‍්‍රබුද්ධයන් වීමට පෙරුම් පුරනා නිසා විය හැකි ය.


නැවත හින්දි චිත‍්‍රපට බලන්නට පෙළඹුනේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ආසන්නයේ ”සාජන්” චිත‍්‍රපටය නැරඹීමෙන් පසුවය. සන්ජේ දත් සහ මධුරි ඩික්සිත් ගේ රංගනය මගේ සිත ඇද ගන්නට සමත් විය. මට ඒ ආදරය විඳගන්නට හැකිය. ඔබ එයට කියන්නේ බොළඳ කම කියා නම් ඒ බොළඳ කමට මම කැමැත්තෙමි. සමස්ථ සමාජය සම්භාව්‍ය කිරීමේ සිහිනයක් මට ද විය. දැන් මම ඒ සිහිනයෙන් මිදෙමින් සිටිනෙමි. (සමාජවාදී සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් තිබූ සිහිනය සේම)


(සාජන් චිත‍්‍රපටයේ ගීයක් නරඹන්නට කැමති නම් මෙතැනට යන්න..)




ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමෙන් පසු පහසුවෙන් හින්දි චිත‍්‍රපට ලැබෙන්නට පටන් ගැනීමත් සමගම ඒ බොහෝ ඒවා බලන්නට මට හැකි විය.


අපේ සිනමාව දවසින් දවස කඩා වැටෙන්නේත් හින්දි සිනමාව දවසින් දවස ඉදිරියටම යන්නෙත් ඇයිදැයි යන්න මේ සෑම විටකම මගේ සිතේ හොල්මන් කළ ප‍්‍රශ්නයක් විය. 


හින්දි සිනමාව මේ හැටි ඉදිරියට යන්නට බොහෝ කාරණා බල පෑවද ඒ කාරණා වලින් ඉදිරියෙන්ෙ තිබෙන්නේ ඒවායේ තිර නාටක වල ප‍්‍රභල බව ය යන්න මගේ අදහසය. 


ආමීර් ඛාන් ගේ Dangal අපට පෙන්වා දෙන්නේ ද ඒ කාරණයමය.





පසුගිය සතියේ ප්‍රෙස්ටන් හි විලේජ් සිනමා හලේ Dangal නැරඹුවෙමි. චිත‍්‍රපටය අවසන් වන විට ඉන්දියන් කාරයන් සිටියේ සිටගෙන ය. සිටගත්තා නොව ඔවුන් නිරායාසයෙන් දෙපයින් සිටුවන්නට සිනමාකරුවා සමත් වී තිබුණි. ඉන්දියන්කාරයකු නොවන මාද මගේ ඇසින් වට කඳුළු සඟවාගෙන සිටියේ මහත් ආයාසයෙනි. මට ඒ සංවේදනය ඒ තරමින් දැනේ නම් ඉන්දියන්කාරයන්ට කෙසේ දැනෙනවා ඇද්ද?


මේ හින්දි සිනමාකාරයාගේ දක්ෂතාවයි. උන්ට බනිමින් ඉන්නේ නැතිව උන්ගෙන් යමක් ඉගෙන ගත්තොත් නරකද?


හින්දි සිනමාවේ දී සිදුවීම් අතිශයෝක්තියට නැංවෙයි. එහි ඇති වරද කුමක්ද? ආසියානුවන් වන අපේ කතා රටාවම අතිශයෝක්තියෙන් පිරී නැත්ද? ජාතක කතා වල සිට ජන කතා දක්වා ත් ඉතිහාස කතා හරහාත් අපි කුඩා අවදියේ සිට වැඩිහිටියා දක්වාම අතිශයෝක්තිය රස කර විඳ නැත්ද? සිනමාවේදී පමණක් යථාර්ථවාදී බව බලාපොරොත්තු වන්නේ කුමකටද? 


ආමීර් ඛාන්ගේ Dangal සිනමා පටයේ ආදර කතාවක් නැත. සමනල නලූ නිළියන්ද නැත. ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ය. ගැහැනුන් ය. 


තමාගේ පුතා මල්ලවපොර ශූරයකු කරන්නට සිහින දකින තාත්තා කෙනකුගේ ඇත්ත කතාවක් පාදක කර ගනිමින් තිර නාටකය ගොඩනගා ඇති ආකාරය අපූරුය. පුුතෙකු වෙනුවට දියණියන් දෙදෙනකු ලබන තාත්තා අවසානයේදී දියණියන් දෙදෙනා මල්ලවපොර සඳහා යොමු කිරීම දක්වා යන ගමනේ නාටකීය සිදුවීම් ගොඩනගා ඇති ආකාරයත් දෙබස් රචනා කර ඇති ආකාරයත් නියම කතාකාරයන්ගේ හපන්කම් ය. කඩිමුඩියේ එහෙන් මෙහෙන් ගැට ගසා ගන්නා කතා වලින් සිනමා නිර්මාණ කර අතින් පාඩු කරගන්නා සිංහල සිනමාවේ කතා රචකයන් මේවා ගැන කල්පනා කළ යුතුය.


සම්භාව්‍ය සිනමාවකින් පමණක් සිනමාව කර්මාන්තයක් ලෙස රැකෙන්නේ නැත. සිනමාව කර්මාන්තයක් ලෙස රැකගන්නට නම් මිනිසුන්ගේ හදවත් දිනාගන්නා මිනිසුන් වැළඳගන්නා නිර්මාණ ද බිහි විය යුතුය. ඒ අතින් හින්දි සිනමාව දෙස බැලීමේ වරදක් මට නොපෙනේ.    


ආමීර් ඛාන් අපට පෙන්වා දෙන්නේ ඒ සත්‍යයයි. Dangal හින්දි සිනමාවේ ආදායම් වාර්තා බිඳීම පිළිබඳ මම පුදුම නොවන්නෙමි. පුදුමවන්නේ එසේ නොවුණා නම් පමණකි.    

Sunday, January 22, 2017

මෝටගේ‍්‍රඩරයට යටවෙන්නට ගිය ක‍්‍රියාකරු

මෝටගේ‍්‍රඩරයක් යනු කුමන ආකාරයක යන්ත‍්‍රයක් දැයි ඔබ නොදැන සිටින්නට හේතුවක් නැත. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් දැවැන්ත මෝටගේ‍්‍රඩර දෙකක් මේ කියන කාලයේ බටහිර යාන්ත‍්‍රික කම්හලට අයත්ව තිබුණි. මේ මා මාර්ග සංවර්ධන අධීකාරියේ රැකියාවට ගිය අලූතය. මගේ ලොක්කා  වරලත් යාන්ත‍්‍රික ඉංජිනේරු දේවේන්ද්‍ර මහත්තයා ය.




මොටගේ‍්‍රඩර් යන්ත‍්‍ර ප‍්‍රමාණයෙන් විශාල නිසා ඒවායේ ක‍්‍රියාකරුවන්ද පොඩි පහේ අධිමානසිකත්වයකින් සිටින්නට ඇතැයි අද කල්පනා කරන විට මට හිතෙයි. එක් යන්ත‍්‍රයක ක‍්‍රියාකරු මෙරිල් ය. අනෙකේ උඩවත්ත ය. දෙදෙනාටම ගෝලයන් දෙදෙනක්ද අනුයුක්තව සිටියේ යන්ත‍්‍රයේ නඩත්තුව තනිවම කළ නොහැකි නිසා ය.


මේ පේ‍්‍රමදාස මහත්තයා අගමැතිව සිටි කාලයයි.


කොහේදෝ වැඩකට යවා තිබූ උඩවත්තගේ  HDMG.... මෝටගේ‍්‍රඩර ය දහවල් දොළහට පමණ කම්හලට පැමිණියේ ය. යම්කිසි අලූත්වැඩියාවක් කරගෙන නැවත යන්නට ය. ඒ කාලයේ කම්හල තිබුණේ බත්තරමුල්ලේ පාලම් තුන නමින් හැඳින්වුණ තැන ඇලට මායිම්ව බත්තරමුල්ල පැත්තේ සිට පැමිණෙන විට දකුණු පැත්තේ ගොඩ කළ බිමේ ය.



(ජේ ආර්, රජීව් ගාන්ධි සමග පරිප්පු ගිවිසුම අත්සන් කළ දා මේ කම්හල වාහන විශාල සංඛ්‍යාවක්ද සමග දේශපේ‍්‍රමීන් විසින් ගිනි තබන ලද බව ද එදා මා පාවිච්චි කළ 31 ශ‍්‍රී 3928 මිට්සුබිෂී ජීප් රථය ද ඒ සමග ගිනිබත් වූ බව ද ලියා තබන්නේ මහත් සංවේගයෙනි)


බත්තරමුල්ල පැලවත්ත පාර ඒ කාලයේ ඉතා පටු පාරක් විය. උඩවත්ත මෝටගේ‍්‍රඩරය පදවාගෙන ආවේ පැලවත්ත පැත්තේ සිට ය. ඒ පැමිණ විනාඩි දහයක් යන්නටත් පෙර ප‍්‍රධාන කාර්යාලයෙන් දුරකතන ඇමතුමකි.


”HDMG.... මොටගේ්‍්‍රඩරය අමාත්‍යංශයේ ලේකම්ගේ නිල රථයට ඉස්සර කරන්නට ඉඩ නොදී වේගයෙන් ධාවනය කර ඇති හෙයින් වහාම මේ ගැන පරීක්ෂණයක් කර වාර්තා කරන්න”


මට මතක හැටියට අමාත්‍යංශයේ ලේකම් පාස්කරලිංගම් ය. ආණ්ඩුවේ බලසම්පන්න චරිතයකි. එහෙව් උත්තමයෙකුගේ වාහනයට ඉස්සර කරන්නට ඉඩ නොදී මෝටර් ගේ‍්‍රඩරයක් ධාවනය කළ එහි ක‍්‍රියාකරු දැන් දඬුකඳේ ගැසිය යුතු ය.


”පැලවත්ත පාරෙ මොටගේ‍්‍රඩරේ අයින් කරලා වෙනින් වාහනයකට ඉස්සර කරන්න ඉඩ දෙන්න තැනක් කොහෙද තියෙන්නෙ සර්. මං දැක්කා ලොක්කෙකුගෙ වාහනයක් පිටිපස්සෙන් එනවා. ලොක්කෙක් තියා සොක්කෙක් ආවත් මොනා කරන්නද? පාර ඉඩ තියෙන එකක්යැ.. මං ඉතින් පාගලා ආවා” ඒ උඩවත්තගේ පැහැදිළි කිරීමයි.


පටු පාරක තමන්ට ඉස්සර කරන්නට ඉඩ නොදී ධාවනය කළ මෝටර් ගේ‍්‍රඩරයක් පිළිබඳව ඉහළට පැමිනිළි කරන්නටත් ඒ අහිංසක සේවකයාට එරෙහිව ක‍්‍රියා කළ යුතුයයි අදහස් කරන්නටත් තරම් උද්ධච්ච මානසිකත්වයකින් යුතු ලොක්කෝ ඒ කාලයේත් සිටියහ.


සේවකයාට තදින් අවවාද කළ බවත් මෝටගේ‍්‍රඩරයෙන් ඔහු ඉවත් කළ බවත් ඉහළට ලියා යවා වැඬේ ගොඩින් බේරා ගන්නට හැකි විය. එහෙම ලිව්වාට උඩවත්ත ඒ මෝටගේ‍්‍රඩරයේ දිගටම සේවය කළේ ය.


පළපුරුදු මෝටගේ්‍්‍රඩර් කි‍්‍රයාකරුවකුගේ වටිනාකම ලොක්කන් නොදන්නවාට ඉංජිනේරුවෝ දනිති.

Tuesday, January 17, 2017

ලොක්කන්ගේ පොඩි වැඩ

මේ සටහන කවදාක හෝ කොතැනක හෝ ලියා තබන්නට මට අවශ්‍යව තිබූ සටහනකි. ජීවිතය දෙස ආපසු හැරී බලන විට මේ සිදුවීම් කීපය නොමැකෙන ලෙස සිතේ ඇඳී ඇත්තේ එක විට දැනෙන කළකිරීමක් සහ සතුටක්ද සමගින් ය.


මේ 1996 වසරයි.


පිටරටක අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබීම රජයේ ආයතන වල සේවය කළ අපට විශාල සිහිනයක් වූ බව නොරහසකි. සමහර ආයතන වල එකම නිලධාරීන් පිරිසක් වරින් වර මේ වරප‍්‍රසාදය ලබා ගනිද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ඉහළ නිළධාරීන් ඉතා වැදගත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඔවුනට ගෞරවයක් ලෙස සටහන් කළ යුතුය. විදේශ වාරිකාවක අවස්ථාවක් ලැබුණ විට සැම විටකම මෙයට පෙර විදෙස්ගත නොවූ නිලධාරීන් තෝරා ගැනීම ඒ පිළිවෙතයි.


මේ කියන අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ කම්කරු ආයතනය (ILO - International Labour Organization)  ඉතාලියේ තුන් මස් නේවාසික පාඨමාලාවක් සඳහා යාන්ත‍්‍රික ඉංජිනේරුවන් දෙදෙනකුට අවස්ථාව ලබාදීම සඳහා මාසංඅධිකාරියේ යාන්ත‍්‍රික අංශයෙන් නාමයෝජනා  කැඳවා තිබුණි. අපේ අංශය විසින් පවත්වාගෙන යනු ලබන ලැයිස්තුවට අනුව අපේ සල්ගාදු සහ මා මේ සඳහා තෝරා ගැනුණි. අපේ නම් දෙක අනුමැතිය සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් වෙත යවනු ලැබිණි.


දවස් සති ගණන් ගතවෙයි. දැන් වීසා ලබා ගත යුතු අවසන් දවස් ද ළං ළං වෙයි. තවමත් ලිපි ගොණුව ලේකම් ළඟය.  ඔහු හිතා මතාම අත්සන් කිරීම පමා කරයි. ඔහුගේ කාර්යාලයේ සේවය කළ ලිපිකාරිණියක අපට මේ බව තහවුරු කළා ය. ”සෙකටි‍්‍ර චෙයාමන් එක්ක හිත යටින් තරහයි.. ඒකයි හේතුව”


”මේක හරියන්නෙ නැහැ එදිරි.. අපි යමු ලේකම් ළඟට” සල්ගාදු අවසන් දවසේ උෑදෑසන කීවේ ය. එදා වීසා ගන්නට නොලැබුණොත් මේ ගමන යන්නට ඉඩක් නැත. අදාල දවසේ සවස 4ට පෙර අදාල ලිපි ලදහොත් එදිනම වීසා ලබා දීමට හැකි බව තානාපති කාර්යාලයේ කාරුණික නිලධාරියා කියා තිබුණි.


අපි සෙත්සිරිපායේම පිහිටි ලේකම්ගේ කාර්යායට ගොඩ වැදුනෙමු. ඒ ගරු ගාම්භීර නිලධාරියාට කාරණය කිව්වෙමු. ඔහු මේසය මත වූ ලිපි ගොණු අතරින් අපේ ලිපිගොණුව අතට ගත්තේ නොසැළකිළිමත් ලෙසටය.


”තමුසෙල පැනගෙන ලෑස්තිවුණාට මෙහෙම පිටරට යවන්ඩ කොහෙද අයිසෙ ආණ්ඩුවට සල්ලි තියෙන්නෙ?” ඔහු ගොරහැඩි ලෙස කීවේ ය. ”මට මේකට අනුමැතිය දෙන්ඩ බැහැ”


අපි ආපසු ආවෙමු.


”වෙයාමන්ට කියමු” ඒ අපේ අවසාන උත්සාහයයි.


අපි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිගේ කාර්යාලයට ගියෙමු. එවකට සභාපතිවරයා එම් බී එස් ප‍්‍රනාන්දු මහතා විය. ඔහු දක්ෂ නිලධාරියෙකි. වැඩ නොකරන්නට නොව වැඩ කරන්නට හැකි ආකාරය නිතරම සොයා බලන නිලධාරියකු විය.


”ආයතන සංග‍්‍රහයේ මොකක් තිබුණත් ආයතනයේ යහපත වෙනුවන් ඔබ ගත් තීරණයක් වැරදී ගියොත් මම ඔබ ආරක්ෂා කරනවා.. ඒ නිසා බය නැතිව වැඩ කරන්න” වරක් ඉංජිනේරුවන් වෙනුවෙන් පැවැත්වුණ රැස්වීමකදී ඔහු කී හැටි මට මතකය. ඒ සහතිකය පිළිබඳ සැකයක් ඇති කර ගත යුතු නැත. ඔහු ජනාධිපති පේ‍්‍රමදාසගේ කාලයේ සිටම ශක්තිමත් ලෙස සේවය කළ නිලධාරියෙකි.


”අපට අවශ්‍ය මේ වගේ ඉංජිනේරුවන්” යනුවෙන් පේ‍්‍රමදාස මහතාගෙන්ද බව්තීස්මය ලබා තිබුනි. ඒ කාලයේත් අපේ ආයතනයේ සභාපති ඔහු ය.


ඒකත් අපූරු කතාවකි.


පල්ලෙකැලේ ගම් උදාව සඳහා මහනුවර රෝහල අසලින් අලූත් පාරක් තැනුණි. ගම් උදාවට දින දෙකක් තිබියදී පාරේ වැඩ සියල්ල අවසන්ව තිබුණත් රෝහළ අසළ මඩ ගොහොරුවක් නිසා පාර එතැන නිසි ලෙස සකසන්නට නොහැකි විය. කෙසේ හෝ පාර දින දෙකකින් අවසන් කළ යුතු විය. මඩ ගොහොරුව යටින් උනන උල්දිය නිසා ඉංජිනේරුවන් මුහුණ දී සිටියේ බරපතළ ප‍්‍රශ්නයකටය. පාලමක් වැනි බරසාර වැඩක් කරන්නට වේලාවක් ද නැත. අනෙක් පැත්තෙන් පේ‍්‍රමදාස මහතා අසූ හාරදාහට කේන්තියෙනි. වෙනත් කරන්නට දෙයක් නැති තැන ලොරි ගණනාවක් අමු සිමෙන්ති මඩ ගොහොරුව මත දමා ඒ මතින් පාර සකස් කෙරුණි. වියදම මොකක්ද? පාරේ වැඩ අවසන් ය.


පේ‍්‍රමදාස මහතාට හරිම සතුටුය. ”අපට අවශ්‍ය මේ වගේ ඉංජිනේරුවන්” යය් ඔහු සභාපතිතුමාට බෞතීස්මය ලබා දුන්නේ එදා ය.


අපි දැන් සභාපතිවරයාගේ  කාර්යාලයේ ය. ඔහු බර වැඩකය. එහෙත් එය නවතා අපට සවන් දුන්නේ ය.


”එහෙම කොහොමද..? අපිට සල්ලි තියෙන නිසානෙ අපි දෙන්නෙක් නොමිනේට් කෙරුවෙ.. මම දැන් ඇමතිතුමා හමුවෙන්න යනවා.. ඔයාල සෙකටි‍්‍රගෙන් ෆයිල් එක ඉල්ලගෙන ඇමතිතුමාගෙ ඔෆිස් එකට එන්න” ඔහු කීවේ ය.


අපි ආපසු ලේකම්වරයා වෙත ගොස් ලිපි ගොණුව ඉල්ලාගතිමු. අපට ලිපිගොණුව දෙන්නට පෙර ඔහු ”ප‍්‍රතිපාදන නැත.... අනුමැතිය දිය නොහැකිය” කියා අත්සන් කර අවසන් ඇණයද ගැසුවේ ය.


අපි ලිපිගොණුවද සමගින් පිම්මේ ඇමතිකාර්යාලයට ගියෙමු. එවකට මහාමාර්ග ඇමතිවරයා ඒ එච් එම් ෆවුසි මහතා විය.


ඇමතිවරයාගේ කාර්යාලය මීමැසි පොදියක් මෙන් මිනිසුන්ගෙන් පිරී තිබුණි. අපි මිදුලේ කෙළවරක වූ පෝලිමේ අගිස්සට එක්වුණෙමු. කාලය වේගයෙන් ගතවෙයි.


”සර්ල මොකද මේ පෝලිමට වෙලා..?” ප‍්‍රශ්නය නැගුවේ කොහේ දෝ සිට පාත් වූ අමාත්‍යාංශයට නිදහස් කර සිටි අධිකාරියේ රියැදුරු මහත්වරු කීපදෙනෙකි. ඒ අය අතරින් පත්මසිරි මට තවමත් මතකය. ”මේ පෝලිම අද ඉවර වෙන්නෙ නෑ.. සර්ල මෙහෙන් එන්න”


අප යමක් කියන්නටත් පෙරම ඔහු ගොඩනැගිල්ලේ වෙනත් දොරකින් අප ඇතුළට ගෙන ගියේ ය. මුරකරුවන් සිටි දොර කපොලූ හතරක් පහක් ගිය තැන අප නොදැනුවත්වම නැවතුණේ ඇමතිවරයාගේ ගරු ගාම්භීර කාර්යාල කාමරය තුළ ය. එතුළ ද පනහක හැටක පිරිසකි. සභාපති එම්බීඑස් ප‍්‍රනාන්දු මහතා ඇමතිවරයාගේ මේසය අසළමය.


අප දුටු සැණින් ඔහු ළඟට එන ලෙස හිසින් සන් කළේ ය. අපි ඔහු අසළට ගියෙමු. ඔහු ලිපි ගොණුව අප අතින් ගත්තේ ය. ”අනුමැතිය නොදෙමි කියලයි සෙකටි‍්‍ර අත්සන් කළේ ” අපි කීවෙමු.


”ඒකට කමක් නැහැ”  සභාපතිවරයා කීවේ ය. ඔහු ඇමතිවරයා වෙත ගොස් ලිපිගොණුව ඇමතිවරයා අතට දුන්නේ ය. එය කියවා බැලූ ඇමතිවරයා හිස ඔසවා අප දෙස බැලූවේ ය.


”අනුමැතිය නොදෙමි කියලනෙ තියෙන්නෙ.. සල්ලි නැහැලූ නේද?”


”සර්... සල්ලි තියෙනවා සර්...  සල්ලි තියෙනවද නැද්ද කියල අපෙන් අහල බලල නේද ඔහොම මිනිට් එකක් ගහන්න  ඕනෙ.. අපි ගාව ඇති තරම් සල්ලි තියෙනව සර්.. "..........." ප්‍රොජෙක්ට් එකෙන් අපි මිලියන් 10 කට වැඩිය ඉතුරු කරලා තියෙනවා "...." ප්‍රොජකේට් එකෙන් මිලියන් විස්සකට වැඩියි” සභාපතිවරයා ලාභ ලද ව්‍යාපෘති ගණනාවක විස්තර කියයි. ”ඉතින් කොහොමද සල්ලි නැහැ කියන්නෙ.. අනික මේ ඉංජිනියර්ස්ල දෙන්නගෙ ටිකට්ස් වලට යන සල්ලි විතරයි අපට වියදම් වෙන්නෙ.. අනිත් වියදම් ILO එකෙන් දරන්නෙ”


මේ කතාවේ වඩාත්ම වැදගත් කතාව සභාපතිවරයා කීවේ ඉන් පසුවය. ඔහු ඉංග‍්‍රීසියෙන් කියූ වදන් මම මේ ලෙස සිංහලට හරවමි.


”ඒ සල්ලි මොකක් නැති වුණත් සර් මේ ස්කොල් එකට අපට දරන්න වෙන වියදම වගේ සිය දහස් ගාණක මුදලක් මේ ඉංජිනේරුවො රෑ  දවල් නොබලා වැඩ කරලා ආයතනයට ඉතිරි කරලා දීල තියෙනවා....  අපට යුතුකමක් තියෙනවා සර් මේ මිනිස්සුන්ට මේ අවස්ථාව දෙන්න”


ඇමතිවරයා සිනාසුණේ ය. ඔහු ලේකම්වරයාගේ සටහන යටින් මෙලෙස ලියා ලිපිගොණුව නැවත දුන්නේ ය.
”ප‍්‍රතිපාදන ඇත..  අනුමත කරමි”


ඊළඟ පැය බාගය ඇතුළත අපි නැවත මහාමාර්ග ලේකම්වරයා ඉදිරියේ පෙනී සිටියෙමු. ඇමතිවරයාගේ සටහන කියවා බැලූ ඔහු කරබාගෙන ”අනුමැතිය දෙමි” යි යටින් ලියා අත්සන් කළේ ය.


ඒ වන විට වේලාව සවස  පහ ය


පසු සටහන


අපට නියමිත වේලාවට වීසා ගන්නට නොහැකි විය. එසේ වුවද අප දෙදෙනාගේ නම් ඊළඟ වසරේ මැද ඉතාලියේම පැවැත්වෙන මිළඟ වැඩසටහනට ඇතුල් කර ඇති බවත් නැවත අනුමැතියක් අවශ්‍ය නැති බවත් අදාල ආයතනයෙන් පසුව දන්වා එවීය.


මම 1996 දෙසැම්බරයේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා අස්වී 1997 ජනවාරියේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණෙමි.


සල්ගාදු වෙනත් ඉංජිනේරුවරයෙකු සමගින් ඒ වසරේ මැද ඉතාලියට ගිය බව දැනගතිමි.


මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා අස්වූ පසු එම් බී එස් ප‍්‍රනාන්දු මහතා ගැන යමක් මට දැනගන්නට නොහැකි විය. මිනිසකුගේ දක්ෂතා අගයන්නට පැකිළෙන මේ කුහක සමාජයේ මගේ ජීවිතයට අමතක නොවන පැසසුමක් ප‍්‍රසිද්ධියේ කළ ඒ මහතාට මගේ ගෞරවය හිමිවෙයි.


ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වී වසර විස්සකට පසුවත් ඉතාලියට යාමේ සිහිනය මගේ සිතේ තවමත් හොල්මන් කරමින් තිබේ. මගේ අවශ්‍යතා ලැයිස්තුවේ ඒ අයිතමය ඇත්තේ ඉතා පහළින් ය.