Wednesday, July 6, 2016

තාර බැරල් කපාලා - ගල් රෝලෙන් තලාලා

ජීවිතයේ සුන්දරම කාලය මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ කාලය යයි සිතෙයි. අධිකාරියේ යාන්ත‍්‍රික කම්හල බාර ඉංජිනේරුවරයා ලෙස විවිධ මට්ටම් වල සේවක සේවිකාවන් එකසිය පනහකට වැඩි පිරිසකට සහ විවිධාකාර යන්ත‍්‍ර සූත‍්‍ර දෙතුන් සීයක ප‍්‍රමාණයකට මැදි වී ගෙවූ ඒ කාලය පිළිබඳ සුන්දර මතක සටහන් අපමණ ය. මෙයට පෙර කොතැනකවත් නොලියූ ඒ මතක සටහන් වරින් වර ලිවිය යුතු යයි මට සිතෙයි.

මාර්ග සංවර්ධන අධිකාරිය නම් වන ආයතනය බිහිවන්නේ මහාමාර්ග දෙපාර්තමේන්තුව වසා දැමීමෙන් පසුවය. අධිකාරියේ සේවය කළ බොහෝ අය දෙපාර්තමේන්තුවේ සිට අධිකාරියට අනුයුක්ත කළ අය විය. මේ විවිධ මට්ටම් වල සේවකයන් අතර විවිධ අධ්‍යාපන මට්ටම් වල අයද සිටියහ. විශේෂයෙන් යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන් අතර මේ අධ්‍යාපන වෙනස බොහෝ සේ දකින්ට හැකි විය.

අධිකාරියේ ගල් තලන යන්ත‍්‍ර ක‍්‍රියා කරවන්නන් මගේ දැඩි අනුකම්පාව දිනා ගත්තේ ඔවුන් කරමින් සිටි කාර්යයේ දැඩි කටුක බව නිසාත් ඔවුන් ගේ දුක්බර ජීවන ප‍්‍රවෘත්ති නිසාත් ය.

තාර බැරල් කපාලා
ගල් රෝලෙන් තලාලා
පේලියකට තියාල පොඩි
යුනිට් එකක් තනාලා
යුනිට් එකක් තනාලා

යයි කියැවෙන ගීයක් මේ සේවකයන් අතර ජනප‍්‍රියව තිබුණි. තමන්ගේ ගම් පළාත් වලින් දුර බැහැර නොදන්නනා ඉසව්වකට ගොස් පරණ තාර බැරල් දිග හැර ගල් රෝලකින් තලා ඒ තහඩු වලින් තනා ගත් කුඩා මඩුවක නැවතී තාර පාර හැදූ යුගය දැන් නිමා වී ඇති නමුත් ඒ සුන්දර සහ දුක්බර මතකය මේ මිනිසුන්ගේ සිත් වලින් බැහැර ගොස් නොතිබුණි.

මේ බොහෝ ගල්රෝල්කරුවෝ ඉතා අහිංසක මිනිස්සු වූහ. මාසයකට වතාවක් පඩි ගන්නට කම්හලට එන ගමනින් වැඩ අඩාල වන බැවින් ඔවුන් සේවය කරන තැන් වලටම ගොස් මාසික වැටුප ගෙවීමේ ක‍්‍රමයක් පවත්වාගෙන යන්නට වරක් අපි උත්සාහ කළෙමු. දුර බැහැර ගම්මාන වල අහුමුළු වල ඔවුන් සේවය කළ තැන් වලට අප යන විට ඔවුන්ගේ මුවේ ඇඳෙන අවිහිංසක සිනාව කෙතරම් අපූූරුදැයි දැනුත් මට සිතෙයි. මාසයක් සේවය කිරිමෙන් පසු ලැබෙන කුඩා වැටුප අත ළඟටම ලැබෙන විට දැනෙන සතුට කෙතරම් විය හැකිද?

”අපේ සර් ඇවිල්ලා” යි කියමින් ළඟ පාත කඩයකට දුව ගොස් බීම බෝතලයක් ගෙනැවිත් අපට සංග‍්‍රහ කරන්නට පවා ඔවුන්ට අමතක නොවෙයි. අවශ්‍යතාවක් නොතිබුණත් ඒ දුප්පත් සංග‍්‍රහය විඳ ගන්නේ ඔවුන්ගේ සිත් රිදවන්නට අකමැති නිසාම ය.

මේ කටුක දිවි පෙවෙත් ගෙවන මිනිසුන් අතරින් ඉඳ හිට සතුට දනවන පුවත්ද අසන්නට ලැබෙයි.

”පොඩි ගේ කෑල්ලක් හදා ගන්න අත්තිවාරමක් දාගත්ත සර්” කෙනෙකු කියන විට අපටද ඒ සතුට දැනෙයි.

මා වඩාත් සතුටට පත් පුවතක් ගල්රෝල් ක‍්‍රියාකරුවකු කී දිනය මට කිසිදා අමතක නොවේ.

”පුතා කටුබැද්දෙ ඉංජිනියරිං වලට තේරුණා සර්” කෙට්ටු සිරුරකින් හෙබි ඒ දුප්පත් මිනිසා කියන විට ඔහුගේ ඇස් දිළිසෙණු මම දුටුවෙමි. ඒ සතුටු කඳුළට මම ආදරය කළෙමි. මේ මගේ මිනිසුන්ය.

”හරිම සතුටුයි.. මොකක් හරි උදව්වක්  ඕනෙ වුණොත් කියන්න” මම කියමි.

යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන්ට මාසයකට වරක් ඒ මාසයේ ඒ ඒ දින වල තමන්ගේ යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කළ වැඩ පිළිබඳ සටහන් කරන්නට පත‍්‍රිකාවක් ලැබෙයි. මාසය අවසානයේදී සම්පූර්ණ කරන ලද මේ පත‍්‍රිකාව කාර්යාලයට ලැබිය යුතුය. යන්ත‍්‍ර සූත‍්‍ර පිළිබඳ ඉන්වොයිස් සකස් කෙරෙන්නේ මේ වාර්තාව පදනම් කරගෙනය. වැඩි උගත් කමක් නැති ක‍්‍රියාකරුවන් ගෙනෙන මේ කඩදාසි වල දහසකුත් එකක් වැරදි ඇත. සමහර මාසයක ක‍්‍රියාකරුවන් අතින් මේ වාර්තා නැතිවෙයි. ඒවා සාකච්ඡුා කර නිවැරදි කරගන්නට අදාල ඉන්වොයිස් සකස් කරන ලිපිකරුවන්ට මා උපදෙස් දී තිබුණේ මාසයක් තිස්සේ පාරවල අව්ව වැස්ස නොතකා කටුක ජීවිත ගෙවන ක‍්‍රියාකරුවන්ට දොස් තබන්නට මගේ සිතේ තිබූ අකැමැත්ත නිසාය.


ඉතා අහිංසක පෙනුමක් තිබූ ගල්රෝල් ක‍්‍රියාකරුවකු මගේ මතකයට එයි. මම ඔහු මර්වින් ලෙස හඳුන්වමි.  ඒ ඔහුගේ සැබෑ නම නොවේ.

ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වී අවුරුදු දෙකකට පසු පළමු වතාවට ලංකාවට ගිය විට මගේ පැරණි සේවා ස්ථානයේ සේවය කළ කීිප දෙනෙක් මා හමුවන්නට ආහ. ආගිය කතා අතර මැද මම ප‍්‍රශ්නයක් නැගුවෙමි.

”කොහොමද දැන් මර්වින් ලා එහෙම”

මද නිහැඬියාවකට පසු පිළිතුරක් ලැබුණි.

”මර්වින් එල්ලිලා මළා සර්”

එය මට අදහාගත නොහැකි පුවතකි.

”එල්ලිලා මළා? ඒ මොකද?”

”මිනිහ අතින් එක මාසෙක මාසික ධාවන සටහන නැතිවෙලා තිබුණා.. අලූතින් ආව ඉංජිනේරු මහත්තයා මිනිහට නොසෑහෙන්ඩ බැන්නා.. එදා ගෙදර ගිහින් මිනිහා එල්ලිලා මැරිලා තිබුණා”

මම නිහඬව අසා සිටිමි.

”අපේ සර් ඇවිල්ලා” යි කියමින් ගල් රෝලෙන් බිමට බැස බීම බෝතලයක් ගෙනෙන්නට කඩයට දුවන මර්වින් මගේ සිහියට නැගෙයි. ආයතන සංග‍්‍රහයේ කුමක් තිබුණද තමන්ගේ පරිපාලනය යටතේ සිටින මිනිසුන් තේරුම් නොගෙන කරන රාජකාරිය ගැන මට අවබෝධයක් නැත. මම වෙනස් මිනිසෙක්මි.

අප පාලනය කරන්නේ යන්ත‍්‍ර සූත‍්‍ර නොවේ. දහසක් ප‍්‍රශ්න වලින් පීඩිත වූ ලේ මස් ඇති මිනිසුන් ය. උන්ගේ ඇස්වල කඳුළු ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර වල කඳුළු නැත.

10 comments:

  1. අප පාලනය කරන්නේ යන්ත‍්‍ර සූත‍්‍ර නොවේ. දහසක් ප‍්‍රශ්න වලින් පීඩිත වූ ලේ මස් ඇති මිනිසුන් ය. උන්ගේ ඇස්වල කඳුළු ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර වල කඳුළු නැත.///// athha

    ReplyDelete
  2. සංවේදී සටහනකි.

    ReplyDelete
  3. පාර හදන වාඩියක් කොළඹ - නුවර මාර්ගයේ මොලගොඩ හරියේ තිබුණා මතකයි 1960 ගණන්වල.

    ReplyDelete
  4. හිතට දැනෙන සටහනක්.

    ඒ මිනිස්සු බොහොම හොඳින් වැඩ කරයි ඒ අයගේ සිතුම්,පැතුම් තේරුම් ගන්න පුළුවන් පාලකයින් ගාව.මේ විදියට ආයතන සංග්‍රහා,චක්‍ර ලේඛන වලින් ඒ මිනිස්සුන්ව අනවශ්‍ය විදියට ආණ්ඩුමට්ටු කරන්න ගියොත් උපරිම කර්යක්ෂමතාවයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නත් බැරි වේවි.

    ReplyDelete
  5. සංවේදී සටහනක්. මම කැමතිම ලිවීම් රටාවක් !!! ජයවේවා !!

    ReplyDelete
  6. මිනිස්සුන්ට මනුස්සකමෙන් සැලකූ නිසා අදටත් ඔබ ගැන ඈත ගම් , කඳු මුදුන්, හෙල් මිටියාවත් වල මිනිස්සු කතාවෙනවා ඇත.

    ReplyDelete
    Replies
    1. ගුණ දත් මිනිසුන්ගෙ හදවත් තුළ අප කළ දේ පිළිබඳ මතකය රැඳී තිබෙන බව අත්දැකීමෙන් දනිමි.. ඒ ගැන සටහනක් මතුවට ලියමි..

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. wedakarana minissunge duka hema palakeyekutama denena lokayaka innata risiyemi. Jagath mahathanenei oba usas manussayeki

    ReplyDelete