Wednesday, August 30, 2017

චීන යුවතියන් තිදෙනෙකුගෙන් පාඩම් තුනක්

ක්වින්ෂියා නම් වූ චීන යුවතිය මට මුණ ගැසුණේ මා මෙල්බන්හි ස්වින්බර්න් විශ්ව විදයාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරමින් සිටියදී ය. චීනයට ආවේනික වූ දිග ඇඳුමක් ඇඳ සිටි ඈ සුන්දර යුවතියක වූවා ය. අප දෙදෙනාම එකම කණ්ඩායමක සිටි නිසා නිතර නිතර අපට හමුුවන්නට කතාකරන්නට  සිදුවිය.


විශ්ව විද්‍යාලය ආසන්නයේ කාමරයක් කුලියට ගෙන සිටි ඇය බොහෝ දේ විවෘතව මා හා කතා කළා ය. උපාධිය හොඳින් නිමකර ආපසු සිය රටට යාම ඇගේ සිහිනය විය.


”මගේ තාත්ත මා වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා” ඈ කීවා ය. ”.. තාත්තට සල්ලි තියෙන නිසා හොඳයි”


”චීනය කියන්නෙ සමාජවාදී රටක්නෙ.. ඉතින් කොහොමද ඔයාගෙ තාත්තාට අනික් අයට වඩා සල්ලි තියෙන්නෙ?”


ඈ මගේ ප‍්‍රශ්නය නොතේරුණා සේ සිනාසුණා ය.


”තාත්තට කම්හල් තියෙනවා.. ඒවායෙ මිනිස්සු වැඩ කරනවා.. තාත්තා ඒ අයට පඩි ගෙවනවා.. ඒ ව්‍යාපාර වලින් තාත්තට සල්ලි ලැබෙනවා” ක්වින්ෂියා විස්තර කළා ය.


චීනය නම් වන සමාජවාදී රාජ්‍යයේ ක්වින්ෂියාගේ පියා වැනි කම්හල් හිමි ධනවතුන්ද සිටින බව දන්නේ කීයෙන් කීදෙනාද? කම්හල් හිමියන් ධනවතුන් සමාජය හූරා කන්නන් යයි ඔවුන්ට වෛර කරන ලංකාවේ සමාජවාදීන් චීනය යනු සැබෑ සමාජවාදී රටක් නොවන බවට තර්ක කරනු ඇත. සැබෑ සමාජවාදී රටක් මේ මිහිමත කිසිදා බිහි නොවන බව ඔවුන් ඉක්මණින් තේරුම් ගත යුතු ය.


දෙවන චීන යුවති යමට හමුවන්නේ මගේ උපාධිය හමාර කර ඔස්ටේලියා රජයේ පර්යේෂණායතනයක් වන සීඑස්අයිආර්ඕ CSIRO ආයතනයේ පරිගණක ආකෘති නිමවන්නකු හා ක‍්‍රම ලේඛකයකු ලෙස සේවය කරමින් සිටියදී ය. අපේ කාර්යාලය පිහිටුවා තිබුණේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ පහළ කෙළවරේ පිහිටි ”වග වගා” Wagga Wagga නම් නගරයේ පිහිටි චාල්ස් ස්ටර්ට් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ඒ භූමියේ ම ය. (වග වගා යනු  ඕස්ටේ‍්‍රලියාවේ රට අභ්‍යාන්තරයේ පිහිටි විශාලම නගරය යයි අසා ඇත්තෙමි) ඇය පැමිණ සිටියේ ඇගේ ආචාර්ය උපාධිය සඳහා ය. ඒ සඳහා මගේ ප‍්‍රධානියා වූ මහාචාර්ය ඛාන් යටතේ ඈ පර්යේෂණ කරමින් සිටියා ය. ඇයට අසුන්ගන්නට ලැබුණේ මගේ මේසයට යාබද මේසයේ වූ නිසා අපි මිතුරන් වීමු. චීනය සම්බන්ධව දෙවන පාඩම ඇය කියා දුන්නේ ඒ අතර ය.


”උඹල හිතා ඉන්නෙ චීනෙ කියන්නෙ අලූපාට රළු ඇඳුම් ඇඳගෙන උල් තොප්පි දාගෙන හැමතිස්සෙම බයිසිකල් පැදගෙන යන නොදියුණු ජාතියක් හැටියටනෙ.. එහෙමනෙ උඹලගෙ මාධ්‍ය උඹලට කියා දීල තියෙන්නෙ.. ඒත් මං උඹට මෙහෙම කියන්නං.. වෙන කතා  ඕනෙ නැහැ... අපේ රටේ තියන එක මහපාරකට සමාන කරන්න පුලූවන් ඒ තරම් දියුණු ඒ තරම් විශාල එකම එක පාරක් වත් උඹලගේ මේ ඔස්ටේ‍්‍රලියාවෙ නෑ..”


චීනය යනු අද ලෝකය හොල්ලන්නට හැකි ආර්ථික ශක්තියකින් හෙබි රටක් යයි නොළිගන්නා අය දැන් සිටිතැයි මම නොසිතමි. අවශ්‍ය නම් ඇමරිකාව වුද දවසකින් දණ ගස්සන්නට තරම් හැකියාවක් චීනයට ඇතැයි මම කියවා ඇත්තෙමි.  ඇමරිකාවේ අරමුදල් වල ආයෝජනය කර ඇති චීන මුදල් ආපසු ඇද ගත්තොත් ඇමරිකාව හාන්සි වන බව ඒ සටහන් කියයි.


තෙවන චීීන යුවතිය කියා දුන්නේ ඒවාට වඩා හාත්පසින්ම වෙනත් පාඩමකි. ඈ මට හමුවන්නේ  දැන් මා සේවය කරන ආයතනයේදීය. ඇය හමුවූ මුල් දවසේම, ශ‍්‍රී ලාංකිකයන්, හමුවන හමුවන අයගෙන් අසන සම්ප‍්‍රදායික ගොන් ප‍්‍රශ්නයක්  මමද ඇගෙන් ඇසුවෙමි. (ඇත්තමට මා ඒ ප‍්‍රශ්නය ඇසුවේ කුමක් හෝ යමක් අසන්නට අවශ්‍යවූ නිසාම ය. ඒ ඇසුවා ඇසුවාමය.. ආපසු කිසිම දිනෙක ඒ ප‍්‍රශ්නය කිසිවකුගෙන් නාසන්නෙමැයි මම මටම පොරොන්දුවක් දීගත්තෙමි)


”ඔබ බෞද්ධයෙක්ද?”


මගේ ප‍්‍රශ්නය හමුවේ යුවතිය මදක් අපහසුවට පත්වූ බවක් පෙනුණි.


”කෙනෙකුට ආගමක් අවශ්‍යමද?” ඈ මගෙන් පෙරළා ඇසුවා ය. මම නිරුත්තරව බලා සිටියෙමි. ”.. මට ආගමක් නැහැ..” ඉන්පසු ඈ කීවා ය.


ආගමක් නැති අය ගස් ගල් වැනි හිත් පිත් නැති අය යයි සිතන අපේ ඇත්තන්ට මම ඇය පෙන්වා දෙන්නට කැමැත්තෙමි. ඇය තරම් සංවේදී කාන්තාවක මම දැක නැත්තෙමි. ඈ ශක්තිමත් හිතක් ඇත්තියකි. කරුණාවන්තය. දුකේදී කඳුළු සළන්නීය. සතුටේදී සිනාසෙන්නීය. අනෙකාගේ ප‍්‍රශ්න වලදී සංවේදී ය. දුක වේදනාව හඳුනන්නීය. ප‍්‍රදර්ශනාත්මකව ආගම් අදහන්නවුන්ට වඩා මිනිස්කමක් මම ඇය වෙතින් දකින්නෙමි.


”ආගමක් යනු අත්‍යවශ්‍ය දෙයක් ය” යනුවෙන් තිබූ පිළිගැනීම තවදුරටත් මගේ සිතේ නැත.

5 comments:

  1. ජගත් මෙ සටහන බලා මා පුදුම වුනා කීවොත් නිවැරදියි.

    මා අනුමාන කරන විදියට මුල් සිදුවීම 2000 පමණ, දෙවැන්න 2003 පමණ සහ තුන්වැන්න මේ මෑතකදී විය යුතුයි.

    ඒ එක් එක් කාලය වන තුරු සහ ඒ අතර ඔබ සිටියේ කොහේද කියා තමයි මට මුලින් ම අහන්නට තියෙන්නේ!

    මාවෝගේ මරණයෙන් පසු ඩෙං ෂියා ඕ පිං යටතේ චීනයේ සිදුවුණු වෙනස්කම් ගැන ඔබ දන්නේ නැතිද? අනික ඉන්ටර්නෙට් ගැන පොතක් පවා ලියා ඇති ඔබ චීනයේ දැන් දශක දෙක තුනක සිට කෙරෙන මහා ඉඳිකිරීම් ගැන කියවා, දැක නැති ද? චීනයේ බහුතරයක් කොන්ෆියුසියස්, තාඕ සහ වෙනත් සම්ප්‍රාදායානුකූල ආගම් අදහන්නන් බව අප පොඩි කාලේ සිටම අසා තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. :) මේ කිසිවක් මා නොදැන සිටි දේ නොවෙයි.. මට අවශ්‍යවන්නේ තවමත් ඒ සියල්ල නොදැන සිටින අයට යමක් පෙන්වා දීමයි... ඒ සඳහා මේ සිදුවීම් තුන යොදා ගත්තා පමණයි...

      Delete
  2. නැවක සේවයකරද්දි හමුවු චින ජාතික කැඩෙට් කෙනෙකුගෙන් ඔබ ඇසු පැනයම මමත් ඇසුවා. ඔහු කිවේ ඔහුටත් ආගමක් නැති බවයි. ඇත්තටම ආගම් වශයෙන් බෙදිලා කුලල්කාගන්නවාට වඩා රටක් දියුණු කරන්නට ආගම් නැති කරලා දැමිම හොදබවයි මට හිතෙන්නේ.

    ReplyDelete
  3. මම රජයේ සේවයේ සිටි කාලයේ 1978 දි මම චීනයට සති 6 ක එ. ජා. ආධාර යටතේ පාඨමාලාවක් සදහා පිකිං හරහා නැන්කින්ග් වලට ගියෙමි. පසුව පාඨමාලාවේම අංගයක් ලෙස ප්‍රධාන නගර බොහෝමයකම සංචාරය කෙලෙමි. එකල චීනය පිටස්තර ලෝකයට වි‍‌වුර්ත කල මුල් අවදියයි. ඒකල සෑම ස්ථානයක කාර්ය මණ්ඩලයම හා ප්‍රධානින් ද,, සෑම විදියකම්, මහ පාරකමම, සැම තැනකම මෙන්ම, අපට ඉගෙන්වු අචාර්ය, මහාචාර්ය වරු පවා ඇද සිටියේ ඔබ පළමු චීන යුවතිය කී ඇදුම්ය. යුරෝපිය ඇදුමෙන් සැරසුණු කිසිවෙකු දක්නට නොලැබින. රටේම තිබුනේ එම තත්යවයි. පාරේ තිබුනේ අසීමිත බයිසිකල් පමණි, කාර් නොතිබූ තරම්ය, තිබුනේ බඩු ප්‍රවාහයන කරන ඒකාකාරී ලොරි , හා ට්‍රක් පමණි. රෙදි මීටර දෙකක් වර්ෂයට ලැබින. බයිසිකලයක් හා බොහෝ දේ ගැනීමට පොරොත්තු ලේඛනයක රැදී සිටිය යුතු විය.
    පිටකොටුවේ නාට්ටාමි ලා ඇදගෙන යන කරත්ත වාගේ ප්‍රමාණයෙන් විසල් කරත්ත වල බදු පටවා නළලේ රැදවූ දිග පටියෙකින් ඒවා අසීරුවෙන් ඇදගෙන යන පිරිස් වලින් විදි පිරි තිබුණි.
    එසේම 2002 දිද, නැවත වරක් මට චීනයට යෑමට අවස්ථාවක් ලැබින. එ වරත් ප්‍රධාන නගර කිහිපයකම ඇවිදීමට අවස්තාව ලැබින. එහිදී මා දැක්කේ ඔබගේ සටහනේ දෙවන යුවතිය සදහන් කරන චීනයයි. සුවිසාල, අහස සිඕන ගොඩනැගිලි, විසල් මහා මාර්ග, පොලොව යට සාප්පු මන් පෙත් ආදිය යි. විසල් වෙනසකී. ඕනෑම බටහිර අගනුවරකට වඩා දියුණු බව ක් පෙනින.

    ReplyDelete