Saturday, May 20, 2017

දේශපාලන අසහනකාරයෝ

මොකක්දෝ චිත‍්‍රපටයක ප‍්‍රචාරක පුවරුවේ නිලියකගේ පිට පැත්ත පේනවා යයි කියා එය ඉවත් කරන්නට නියෝග කළ ඇමතියකු පිළිබඳ කතාවක් මේ දවස්වල බුකියේ කරකැවෙයි. ශ‍්‍රී ලංකාව මේ ගමන් කරමින් තිබෙන්නේ තවත් තලේබාන් දේශයක් දෙසට නොවේදැයි සිතෙන්නේ මේවා අහන විට ය.

නිළියකගේ නිරුවත් පිට ප‍්‍රදර්ශක පුවරුවක අප දැක ගත් පළමු අවස්ථාව මෙය නොවේ.  1982 දී තිරගත වූ සුනිල් ආරියරත්න ගේ ”බඹර ගීතය” චිත‍්‍රපටයේ රඟපෑ අපේ නිළි රැුජන මාලිනී ෆොන්සේකා ගේ නිරුවත් පිට සහිත දැවැන්ත කටවුට් රට පුරා ප‍්‍රදර්ශනය කළ බවත් එයින් කාටවත් කිසිදු හානියක් නොවූ බවත් නොදන්නේ කවුද?

චන්ද්‍රරත්න මාපිටිගමගේ ”බඹරු නොදුටු මල්” චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිලියගේ උඩුකය නිරුවත් රුවක් දැක්වෙන කටවුට් එකක් මහරගම නැෂනල් සිනමා හල ඉදිරියේ ප‍්‍රදර්ශනය වූ බව අමතක කරන්නෙ කෙසේ ද? එවන්ම කටවුට් 1979 අපේ‍්‍රල් මාසයේ දී තිරගත වූ වසන්ත ඔබේසේකරගේ ”පළගැටියෝ” සිනමා පටය වෙනුවෙන් ප‍්‍රදර්ශනය කෙරුණ බව රහසක්ද? මේ කිසිදු පුවරුවක් නිසා කාටවත් මොකක් හෝ වුණ බවක් හෝ මාර්ග අනතුරු වැඩි වූ බවක් හෝ අපි කිසිදා නෑසුවෙමු.

එසේනම් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? පැහැදිළිවම මේ සිදුවෙන්නේ අන්තවාදී අදහස් දරන කීපදෙනෙකුගේ උවමනාකම් අනුව නැටවෙන දේශපාලන නාඩගම් පමණකි. මේ අන්තවාදයට තව තවත් යට වෙමින් රට ආගමික තලේබාන් දේශයක් කරා ගෙනයනවාද යන්න තීරණය කිරීම රටවැසියන් සතු කාර්යයකි. 

ශෘංගාරාත්මක කලා නිර්මාණ දෙස කලාත්මක ඇසින් බලන්නට සමාජය පොළඹවනවා විනා ඒවා දෙස ජාගර ඇසින් අශ්ලීල ඇසින් බලන්නට පොළඹවන මේ ප‍්‍රවණතාව විනාශකාරී එකකි. වැඩි කල් නොගොස්ම මේ අන්තවාදීන්ට අනුව නැටවෙන දේශපාලන පඹයන් සීගිරි ලලනාවන්ටත් උඩුකය ඇඳුම් අන්දවනවා නිසැක ය.

8 comments:

  1. නොදකින් මෙවැනි බයියෝ!

    මුං මේ හදන්නේ චීප් පබ්ලිසිටි ගන්නයි. "මඩු වලිගෙන්" ගහන්න හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. රසික මොකද ජගත්ට බයියා කියන්නේ.
      ජගත් කිසිම වැරැද්දක් කියල නැහැ නේ මෙතන.

      Delete
  2. අර 70 දශකේ ඇෆ්ගනිස්ථානෙ ගෑනු කොටගවුම් ඇන්දය දැං බුර්කා අඳිනවය, ලංකාවෙ මුස්ලිම් ගෑනු 70 දශකේ සාරි ඇන්දය දැං බුර්කා අඳිනවය, කිය කිය අනුන්ගේ අන්තවාදෙට ඇඟිලි දික්කරන අපේ සංස්කෘතික අන්තවාදීන්ගෙ වික්ටෝරියානු සුචරිතවාදී හෙළුව තමා ඔය!

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙ අපේ අක්කලා මිනි ගවුම් ඇන්දා.. හිප්ස්ටර් සාරි ඇන්දා.. දැන් එහෙම එව්වා ඇන්දොත් මේ පිස්සන් මොනවා කියාවිද? අපි යමින් ඉන්නෙත් ඉස්ලාම් අන්තවාදයට එහා අන්තවාදයකට.. :)

      Delete
    2. මට මතකයි 1968 පලවූ කාන්තා පත්තරයක (පත්තරයේ නම මට මතක් වෙන්නේ නැහැ) තිබුනා එවකට විපක්ෂ නායකව සිටි සිරිමාවෝ මැතිනියගේ දුව සුනේත්‍රා බණ්ඩාරනායක මෙනෙවිය මිනි ගවුමක් ඇඳ සාප්පු සවාරි යනහැටි. දැන් දේශපාලන පවුලක දියණියක් එවන් ඇඳුමක් ඇඳගෙන පාරේ ගියානම් මොනවගේ කතා අහන්න ලැබේවිද?

      Delete
  3. මෙරට ප්‍රථම වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදුණු චිත්‍රපටිය වසන්ත ඔබේසේකරගේ ”පළගැටියෝ” ද ?

    ඉස්සර දිනපතා පුවත්පත් වල විශේෂයෙන්ම "ලංකාදීප" වැනි පුවත්පත් වල ඇතුල් පිටුවේ ප්‍රදර්ශනය වෙන චිත්‍රපට ගැන ඇති දැන්වීම් නමාවලියේ ඔය චිත්‍රපටි වල මුද්දර සයිස් එකේ වගේ පින්තුරත් පල වුනා.නමුත් ඒ අතරේ පලවෙන සමහර කුඩා පින්තුර සුදුසු නැහැ කියලා පසුව ඒවා වාරණයට ලක් වුනා.ඒ වගේම චිත්‍රපට ශාලා වල ඉදිරිපිට තිබු දැන්වීම් පුවරුවල ඒ වගේ ඇලවුණු පින්තුර පවා වාරණයට ලක් වුනා.මේ දේවල් වුනේ මහින්දගේ ආණ්ඩුව කාලේ බවයි මතක.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදුණ මුල්ම සිංහල චිත‍්‍රපටය පළගැටියෝ නොවේ..

      Delete
  4. ලිබරල් 60/70 ගණන් වලට වඩා සංස්කෘතික අන්තවාදයක් දැන් තියනවයි කියලා පේනවා. ඒක ඇත්තද? මේ රටේ විතරද? හේතුව? යුද්ධය නිසා අන්තවාදී අදහස් හැම තැනටම පැතිරුනාද?

    ReplyDelete