මුලින්ම මා ලියූ යමක් පුවත්පක පළවන්නේ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයෙන් පළ කළ රූපරේඛා පුවත්පතේ ආ ”ළපටි පෙළ” අතිරේකයේ ය. බොහෝ අය නොදත් නමුත් ”රූපරේඛා” ලංකාවේ පළ වූ පළමු චිත‍්‍රකතා පත්තරයයි. එය පළ වූයේ සතුට පුවත්පතට පෙර ය. මුල් කාලයේ ”ළපටි පෙළ” අතිරේකය පළ වූයේ ”වනිතා විත්ති” පුවත් පතේ ය. වනිතා විත්තිය වැඩිහිටියන්ට සුදුසු ලිපි පළකරන්නට පටන්ගත් පසු ළපටි පෙළ අලූතෙන් ආරම්භ කළ රූපරේඛා වට පැවරිණි.
ළපටි පෙළට මා ලියූ
මලක් මලක් මත පිපී තිබෙන්නේ
එමල නෙළන්නට මගෙ අත යන්නේ
පුදුමෙකි ඒ මල අහසට නැගුණේ
මලක් නොවේ සමණළයෙක් වන්නේ
යන කවිය පුවත්පතක පළ වූ මා ලියු පළමු නිර්මාණයයි. ඒ 1973 දී ය.
(මේ අරුතම ඇති
මහ පුදුමෙකි
මලක මලෙකි
නෑ ඒ සකි
සමනළයෙකි
යන කවිය මා ඒ කාලයේ දැන සිටියේ යයි මම නොසිතමි)
ඉන් පසු කාලයේ මගේ නිර්මාණ සඳහා ඉඩක් ලැබුනේ නවයුගය පුවත්පතේ ය. ඒ සමගාමීව මිහිර පුවත්පතේ ය. මා ඇඳි කාටුන් මිහිරේ පළ විය. අතුල මහවලගේ ඇඳි කාටුන්ද ඒ කාලයේ මිහිරේ පළ වූ බව මට මතකය. මගේ හැම වැඩක්ම දඩි බිඩි වැඩ ය. කාටුන් ඇන්දේද ඒ ආකාරයටමය.
ඉන්පසු මගේ අවධානය යොමු කරගත්තේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පළ කළ නුවන සඟරාවයි. මම නුවනට ලිපි ගණනාවක්ම ලීවෙමි. ඒවා ඉතා ඉහළ පිළිගැනීමක් ඇතිව පළ විය. පසුගිය කළාප ගෙන්වා ගන්නැයි නුවනේ පළ වූ දැන්වීම් වල පවා මගේ ලිපි පිළිබඳව සඳහන් වීම මට මහත් සතුටක් ගෙන දුන්නේ ය.
විජය පුවත් පතට විද්‍යා ලිපි ලියන්නට මට හැකි විය. ඒ කාලයේ විද්‍යා ලේඛකයන් වශයෙන් ප‍්‍රසිද්ධව සිටියේ කේ ආරියසිංහ ජෝසප් ඩැනිස්ටර් කුරේ ඇතුළු ලේඛකයන් කීපදෙනෙකි. (ජෝසප් ඩැනිස්ටර් කුරේ මහතා අප විසින් සංස්කරණය කරන ලද ”විද්‍යාව” පුවත්පතටද ලිපි ලිව්වේය) විද්‍යාව සිංහලෙන් රසවත්ව ලියන්නට මම මේ කාලයේ උත්සාහ ගනිමින් සිටියෙමි. ඒ නිසාම ලිපි කීපයක් ලියාගෙන හුණුපිටිය හරස්පාරේ විජය කාර්යාලයට ගියෙමි. ගියේ අයියාගේ යහළුවකුගේ ඇඳුනුම්කමක් හරහා ය. මගේ ලිපි කියවූ කතුවරයා ඒවා පළකරන්නට සුදුසු යයි තෝරාගත් අතර දිගටම ලියන්නැයි ද කීවේ ය. විජයට මා විද්‍යා ලිපි කීපයක් ලියූ නමුත් බොහෝ මොළය වෙහෙසවා වෙනත් කිසිවකු විසින් නොලියන ලද කරුණු ඇතුළත් කර මා යැවූ එක් ලිපියක් විජයටම ලිපි ලියූ එක්තරා ප‍්‍රසිද්ධ විද්‍යා ලේඛකයකු විසින් සොරා ගනු ලැබ තිබීමෙන් කළකිරීමට පත් මම විජය පුවත්පතට ලිවීම නවතා දැම්මෙමි.
මල්ටිපැක්ස් ආයතනය පල කළ ළමා පුවත්පත වූ ”හපනා” (නම නිවැරදි යයි සිතමි) මා ඉන්පසු විද්‍යා ලිපි ලියූ පුවත්පතයි. මා එක් ලිපියක් ලියා යැවූ පසු පුවත්පතේ කර්කෘවරයා වූ තලංගම පේ‍්‍රමදාස (?) මහතා මට ලිපියක් එව්වේය. ”ඔබේ විද්‍යා ලිපි ඉතා රසවත්. දිගටම ලියන්න” ඔහු ලියා එව්වේ ය.
ඒ කාලයේ අපේ තාත්තාට අයිති වෙළඳ ව්‍යාපාරයක් විය. එනිසා වෙළඳපලට එන සියලූම පුවත්පත් කියවීමේ වාසනාව අපට ලැබුණි. ජනසතිය පුවත්පතේ ළමා පිටුවට මා ලියන්නට පටන්ගත්තේ ද එනිසාමය. එහි මගේ ලිපි නිතර පළවූ අතර වතාවක් මා ළමා පිටුවට ලියා යැවූ කෙටිකතාව පුවපත්තේ ප‍්‍රධාන කෙටිකතාව ලෙස පළවී තිබුණි. එය මට ඒ යුගයේ මා සිටි තැන පිළිබඳ අවබෝධයක් ගන්නට අවස්ථාව සළසා දුන්නේ ය. ඉන්පසු මා ලියූ කෙටිකතා කීපයක්ම එහි පළවිය.
යමක් ඉවසිල්ලෙන් කරන්නටත්, කාලයක් කරගෙන යන්නටත් නොහැකි මොකක්දෝ ගතිගුණයක් නිසා මේ බොහෝ දේ එක දිගට කාලයක් කරගෙන යන්නට මට නොහැකි වීම අභාග්‍යයක් විය. එසේ වුවද පාසලේ ලේඛකයා ලෙස මට විශාල පිළිගැනීමක් ලැබි තිබුණි. සෑම සතියකම පාසලට මගේ රසික රසිකාවන්ගෙන් ලියුම් මිටියක් ලැබෙයි. ඒ බොහෝ අය සිතා ඉන්නට ඇත්තේ මා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයේ ගුරුවරයකු කියා ය. පෙම් හසුන් පවා ආවේ ඒ නිසා විය හැකිය. පාසලට ශිෂ්‍යයන්ගේ නමට ලැබෙන ලිපි එම ශිෂ්‍යයන්ට ලැබෙන්නේ උප විදුහල්පතිතුමා විසින් කඩා කියවා බැලීමෙන් අනතුරුවය. එහෙත් මගේ ලිපි මිටිය කාර්යාල කාර්ය සහායකයකු අත කෙළින්ම අපේ පන්තියටම ලැබුණේ කිසිදු කියවා බැලීමකින් තොරවය. (නොකියවූ එක නම් මගේ වාසනාවකි)
ළමා පුවත්පත් යුගය හමාර කරමින් මා ඉන්පසු යොමු වූයේ දිවයින, ලක්බිම හා රාවය පුවත්පත් වලටය. මා ලියූ කවි, කෙටිකතා සහ වෙනත් ලිපි මේ පුවත්පත් වල නොකඩවා පළ විය.
පුවත්පතකට නවකතාවක් ලිවීමේ කැමැත්ත මගේ සිතේ ඇතිවන්නේ මේ යුගයේ දී ය. මේ කාලයේ අලූතෙන් ආරම්භ වූ ඉරිදා ලක්බිම පුවත්පත මගේ කැමැත්ත දිනා සිටියේ ය. ලක්බිම රිද්ම අතිරේකයට නිහාල් පීරිස් මහතා ලියමින් සිටි පළමු නවකතාව අවසානය කරා එළැඹෙමින් සිටි බව මට පෙනුණි. මම නවකතාවක මුල් කොටස් කීපය ලියාගෙන ලක්බිම පුවත්පතේ කර්තෘ බන්දුල පද්මකුමාර මහතා හමුවීමි. දැන් කොහොම වුවද ඒ කාලයේ ඔහු අපේ ආදරය දිනා සිටි පුවත්පත් කලාවේදියකු විය. ඔහු මා නිහාල් පීරිස් මහතා වෙත පැමිණෙව්වේය. මා ආ කරුණ කෙරෙහි නිහාල් ගේ වැඩි අවධානයක් යොමු නොවුණ බව පෙනුණි. කෙසේ වුවද මම ලියූ කොටස් කීපය ඔහුට දී ආපසු ආවෙමි.
(මෑත දිනෙක අන්තර්ජාලයේදී නිහාල් හමුවූ මොහොතක මේ අතීත කතාව මම ඔහුට කීවෙමි. ඒ සිදුවීම ඔහුට අමතකව ඇතත් එදා මගේ අවශ්‍යතාව ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳ තමා දැන් සංවේගයට පත් වන බව ඔහු ඉතා නිහතමාණීව කීවේ ය)
ඉන්පසුව නවකතාවක් ලියන්නට මට අවස්ථාව දෙන්නේ ගාමිණී සමරසිංහ සොයුරා ය. ඔහු ලේක්හවුසියෙන් ඉවත් වූ පසු ආරම්භ කළ ”දියණි” සඟරාවට නවකතාවක් ලියන්නැයි ඔහු මට ආරාධනා කළේ නොසිතූ අවස්ථාවකය. මාස කීපයක් පමණක් පළ වූ ”දියණි” සඟරාවට මම ”කටු” නවකතාව ලිව්වෙමි. එය අවසන් කරන්නට නොහැකි වූයේ සඟරාව අතරමග නැවතුණ බැවින් ය.
අප තරුණ අවදියේ සෑම සතිපතා පුවත්පතක්ම නවකතාව සඳහා ඉහළ තැනක් ලබා දී තිබුණි. ඒ කාලයේ පුවත්පත් වල පළවූ ”ගංගා සහ නිශ්ශංක” වැනි නවකතා අදටත් අපට මතක ඒ නිසා ය. අද බොහෝ සතිපතා පුවත්පත් වල නවකතාවට දී ඇත්තේ කුඩම්මාගේ සැළකිල්ලකි. පුවත්පතේ කොහේ හෝ මුල්ලක පළවන නවකතාව කිසිවිටෙක පාඨක අවධානයට පත් නොවෙයි. එය අභාග්‍යයකි. නවකතාවට සැළකිල්ලක් ලැබී ඇත්තේ කාන්තා පුවත්පත් වල සහ සරසවිය පුවත්පතේ පමණක් යයි මට සිිතෙයි. ඒ ඒවා ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ පුවත්පත් වීම නිසා විය හැකිය.
ලිපි එම ශිෂ්‍යයන්ට ලැබෙන්නේ උප විදුහල්පතිතුමා විසින් කඩා කියවා බැලීමෙන් අනතුරුවය. එහෙත් මගේ ලිපි මිටිය කාර්යාල කාර්ය සහායකයකු අත කෙළින්ම අපේ පන්තියටම ලැබුණේ කිසිදු කියවා බැලීමකින් තොරවය.//////
ReplyDeleteමේ උප විදුහල්පති තුමා සමරකෝන් සර් නේද ශ්‍රී ලලිතා පොත්හල අසලින් ඇති ගුරු පාරේ පදිංචිව සිටි
ඔබ නිවැරදියි. සමරකෝන් සර් තමයි.
Deleteමමත් පුවත්පත් වල කොටස් වශයෙන් යන නවකතා බලන්නේම නැහැ.එත් කෙටි කතා නම් බලනවා.ඉස්සර සත්සිරි පත්තරේ අපේ ගෙදර වරදින්නේ නැහැ.තාත්තා මල්ටිපැක්ස් ආයතනයේ සේවය කරපු නිසා ඔය "පුංචි"වගේ පත්තර අපිට වරදින්නේ නැහැ.
ReplyDeleteඋඹ වාසනාවන්තයි
Delete