Friday, July 14, 2017

ඞීබී සහ මම 3

ඞීබී ගේ අවමංගල උත්සවයෙන් පසු චාරිත‍්‍රාණුකූල මළ බතට සහභාගි වූ අපි වරුණ සාවින්දගේ නිවසට එක්වුණෙමු. "අපි" යයි කීවේ කල්පනා ඇම්බ්‍රෝස්, දිළිණි ඊරියවල, නිරාශ ගුණසේකර, මාලන් බණ්ඩාර කපුවත්ත,  චතු පත්බේරිය සහ මට ය. තරුණ කවියනට කිවිඳියනට ඞීබී ගැන කතා කරන්නට එසේත් නොවේ නම් ඞීබී ගේ නිර්මාණ ගැන ආවර්ජනයක යෙදෙන්නට අවශ්‍යව තිබුණි. ඔවුන්ගේ කතා බහේ දී මතුවුණ ප‍්‍රධාන කාරණය වුයේ ස්වතන්ත‍්‍ර නිර්මාණකාරයකු ලෙස ඞීබී සාර්ථක ද යන්නය.

ඞීබී ලියූ එකම නවකතාව ”එක්තරා පේ‍්‍රම කතාවක්” ය. කෙටි නමුත් එය හොඳ නවකතාවක්ය යන්න මගේ පිළිගැනීමයි. එයට අමතරව ඔහු ලියූ ”විප්ලවය ආවොත්” ”කලූ හිල සහ නාරා වල” වැනි කෙටිකතා සංග‍්‍රහ කීපයක්ම වෙයි.

ස්වතන්ත‍්‍ර කෙටිකතාකරුවකු ලෙස ඞීබී සාර්ථක නොවූ බව මම ද පිළිගනිමි. එහෙත් ඒ සමගම ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයා ලංකාවේ කිසිදු පරිවර්තකයකුට දෙවෙනි නොවන බවද මගේ පිළිගැනීමයි. ”දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම්” ”මැංචෝසන්ගේ චාරිකා” වැනි පරිවර්තන වලින් ඇරඹුණ ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයාගේ ගමන් මග ඉතා ආශ්වාද ජනක එකක් බව මට වඩාත් පසක් වන්නේ ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ පරිවර්තන පිළිබඳව සමාජ ජාල වල කෙරුණ කතා බහ නිරීක්ෂණය කරන විට ය. සූර පරිවර්තකයකු ලෙස ඔහු පාඨකයන්ගේ සිත් තුළ පැලපදියම්ව සිටිනු මම දුටුවෙමි. පරිවර්තනයක් පරිවර්තනයක් යයි නොහැෙඟන තරමට සුමට සිංහලෙන් ලියන්නට ඞීබී ට තිබූ හපන්කම විශිෂ්ටය. ඒ පරිවර්තකයා පිලිබඳ නිසි අගැයීමක් කෙරුණිද යන්න කතා කළ යුතු මාතෘකාවකි.

සත්‍යය නම්, ඞීබී ගොලූ හදවතේ ජයග‍්‍රාහී පෙම්වතාව දම්මිගේ ආදරය දිනාගෙන සිටි බව කියවෙන රසවත්  ඕපාදූපය රස කර කතා කරන්නට කැමති වූ ලංකාවේ පුවත්පත් ඞීබී නම් වන පරිවර්තකයා අමතක කරදමා සිටි බව ය. ඞීබී කුරුප්පු නම් වන පරිවර්තකයා පිළිබඳව ලංකාවේ මාධ්‍ය කතා නොකළ තරම් ය. සමහර විට ඔහු  ඕස්ටේ‍්‍රලියාව වැනි දුර බැහැරක වාසය කිරීම එයට හේතුව වන්නට ඇත.

1963 සිට ඇරඹෙන පරිවර්තන චාරිකාවේ ඞීබී අතින් සිදුවුණ මේ පරිවර්තන අමතක කර දමන්නට පාඨකයනට හැකියාවක් තිබේද?

  •    මැංචෝසන්ගේ චාරිකා
  •    හෝචිමිංගේ සිරගෙයි දිනපොත
  •    පිළිකා සුවය ඔබ අතමය
  •    කයිරෝව කුඩා නගරයකි
  •    අන්තිම උපන්දින සාදය
  •    සංගම්කාරයාගේ මලගම
  •    අර්ධනාරි
  •    නිර්මාණ චිත්තරූප
  •    දැත්තා හඳට යයි
  •    හිරෝෂිමා දිනපොත
  •    අන්තර්භවය
  •    ටික්කාගේ වික‍්‍රමය
  •    අර්බත් දරුවෝ 1 සිට 7


සිංහල බසින් සිදුකෙරුණ දැවැන්ත පරිවර්තනයක් වන කාණ්ඩ හතකින් යුත් අර්බත් දරුවෝ පිලිබඳව හෝ කතා කරන්නට ලංකාවේ කිසිදු මාධ්‍යයක් නොවී ය.

ඞීබී ගේ පරිවර්තනයක් පිළිබඳව ලංකාවේ පුවත්පතක් කළ එකම විචාරය ඔහු ගේ ”අර්ධනාරි” පරිවර්තනය පිළිබඳව රාවයේ පළ වූ හරවත් විචාරය පමණක් ය යන්න මගේ මතකයයි. එයට මැදිහත් වන්නට ලැබීම අදත් මට මහත් සැනසීමක් ගෙන දෙන්නකි.

මගේ රසවින්දනයේ දිග පළල අනුව ඞීබී ගේ පරිවර්තන අතරින් හොඳම පරිවර්තනය අර්ධනාරි වෙයි. අර්ධනාරි නිකුත් වූ වසරේ එය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර නොවූයේ මන්ද යන්න අදටත් මට ගැටළුවකි. සමහර විට ප‍්‍රකාශකයන් ඒ පොත විනිශ්චය සඳහා නොයැව්වා වන්නට පුළුවන. යැව්වා නම් අර්ධනාරි පරිවර්තනයට අහලකටවත් ළගින් කියන්නට බැරි පොතකට හොඳම පරිවර්තනය සඳහා වන සාහිත්‍ය සම්මානය හිමිවන්නට හේතුවක් නැත. අර්ධනාරි පරිවර්තනයට නිසි අගැයීමක් නොලැබීම පිළිබඳව ඞීබී සිටියේද කණස්සල්ලෙනි.

ඞීබී ගේ අර්ධනාරි කියැවූ වහාම මම ඒ පොතින් පිටපතක් එවකට රාවයේ සිටි හිතවත් විමලනාත් වීරරත්නට යැව්වෙමි. කුඩා සටහනක්ද සමගින්ය.

”හිතවත් විමලේ... ඞීබී කුරුප්පු මහත්තයාගේ මේ පොත කියවා සාධාරණයක් කරන්න”

විමලනාත් අර්ධනාරි කියවා ඉතා විශිෂ්ට ලිපියක් රාවයට ලිව්වේ ය. එය කියවා කුරුප්පු මහතා මහත් සතුටට පත්විය. ඒ සතුට කෙතරම්ද යත් ලිපිය ලියූ විමල්ටත් මැදිහත් වූ මටත් ස්තුති කරන සටහන් ඔහුගේ පුවත්පත් ලිපි කීපයකත් සමහර පොත් වලත් ලියා තිබුණි.

ඞීබී ගැනත් අර්ධනාරි ගැනත් පොදුවේ පරිවර්තන ගැනත් කෙරුණ දෙවන සාකච්චාව කළේ අප මිත‍්‍ර මංජුල වෙඩිවර්ධන ය. මෙල්බනයේදී ය. ඒ කතාවේ කෙළවරකත් මා සිටින බැවින් එය ඊළගට ලියමි.

1 comment:

  1. ඩීබී ගේ කෘති කිහිපයක් කියවා තියෙනවා. ඒත් අර්ධනාරී කියවා නැහැ.. පරිවර්තනයකදි මාත් හිත්නනේ ඒක ඒ විදියටම අදහසකින් තොරව පරිවර්තනය විකාරයක් කියලයි. ඒක අනුවර්තනයක් වුවත් මුල් ලේඛකයා අදහස් කල දේ පරිවර්තනයේදීම සාධාරණ අයුරින් ඉදිරිපත් කරන්න හැකිනම් එයයි සාර්ථක පරිවර්ථනය..

    ReplyDelete