Monday, July 3, 2017

ඞී බී කුරුප්පු

ඞී බී කුරුප්පු අදීන සාහිත්‍යවේදියා ජූනි 23 වන දා අප හැර යනවා. සාහිත්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔහු හා සමීපවම සිටි මම ඔහු ගැන යමක් ලියන්න  ඕනෙ. ඒත් ලියන්න පරිගණකය ඉදිරියෙ වාඩිවුන දහ දොළොස් වතාවම මම කිසිවක් නොලියා නැගිට්ටා. එක එක අය ඔහු වෙනුවෙන් ලියන දේ කියවමින් හිටියා විනා යමක් ලියන්නට තරම් මානසික තත්වයක මම හිටියෙ නැහැ.

ඊයෙ - ජූලි 1 - ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරුණා. පහතින් පළවෙන්නෙ මම ඔහු වෙනුවෙන් පැවැත්වූ කතාවයි. ඊයෙ අවමංගල්‍යයෙන් පසුව මාලතී කල්පනා, දිලිනි ඊරියවල, මාලන් බණ්ඩාර සුරවීර, නිරාශ ගුණසේකර සහ මම වරුණ සාවින්දගෙ ගෙදරදි හමුවුණා. අපි කතා කළේ කුරුප්පු අංකල් ගැනයි. ඊයෙ ගෙදර ඇවිත් මම කුරුප්පු අංකල් සහ මා ගැන ලියන්න පටන් ගත්තා. ඒ ලියවිල්ල ඉදිරියෙදි මේ බ්ලොග් එකට දාන්නම්. එතෙක් මේ මං ඊයේ පැවැත්වූ කතාව කැමති නම් කියවන්න.

"මෙයට අවුරුදු 16 කට පමණ ඉස්සර දවසක ඞීබී කුරුප්පු මහතාගේ පොත් එළිදැක්වීමක අදහස් දක්වන්න මට ආරාධනා ලැබුණා. එදා මම කතාව පටන්ගත්තෙ මේක අලියකු පිළිබඳව කූඹියකු කරන විග‍්‍රහයක් කියලා. අදත් මගේ හිතේ තියෙන්නෙ ඒ හැඟීමමයි.

ඞීබී කුරුප්පු මහතා පිළිබඳව බොහෝ දේ මෙහි පැවැත්වෙන කතාවලින් ඔබ අසාවි. ඒ බොහෝ කරුණු කාරනා ඔබ දැනටමත් දන්නා දේ. අපේ සමාජයේ කෙනෙක් මියයාම පුදුමයට / සන්තාපයට / විස්සෝපයට කාරණයක් නෙවෙයි. නමුත් අපේ සමාජයේ දැවැන්තයන්ව සිටි අය මියයාම අපේ හිතේ ඇති කරන්නෙ විශාල කම්පනයක්. මොකද ඒ දැවැන්තයන් තබා යන විශාල හිස්තැන / රික්තය පුරවන්නට සමතුන් බිහි නොවන නිසා. උදාහරණ  ඕනෑ තරම් දෙන්න පුලූවන්. ඞීබී නිතව සිටි සාහිත්‍ය ක්ෂෙත‍්‍රය ගත්තත් මාර්ටින් වික‍්‍රමසිංහ ගේ හිට ජී බී සේනානායක හරහා සයිමන් නවගත්තේගම දක්වා සාහිත්‍ය දැවැන්තයන් තබා ගිය හිස්තැන් තවමත් හෙමම තියෙනවා. ඞීබී අද මේ තබා යන්නෙත් එවැනිම දැවැන්ත හිස්තැනක්. ඒ හිස්තැන පුරවන්නට සමතෙක් කවදාවත් බිහිවන්නෙ නැහැ.

ඞීබී කුරුප්පු සූරීන් සහ මා අතර සම්බන්ධය අවුරුදු 19ක පමණ කාල පරාසයක විහිදී යන එකක්. ඔහුගේත් මගේත් සාහිත්‍ය ගනුදෙනුව ඇරඹුන දා සිට ඔහුගේ දැවැන්ත සෙවනැල්ල යට මම වැඩුණා. අප සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු කරන කාලයේ සිට පහන පුවත්පත ආරම්භකරන කරන කාලයේත් ඉන්පසුව සන්නස පුවත්පත දක්වාත් ඔහු මගේ ගුරුවරයාව මගේ මග පෙන්වන්නාව මගේ ගුරු තරුව ලෙස හිටියා. පත්තර කරන හැටි ඔහුගෙන් මම ඉගෙන ගත්තා. "පත්තරයක් පතෝල මාලූවක් වගේ එළොවටත් නැතිව මෙළොවටත් නැතුව හදන්න එපා. පත්තරයක් මිරිස් මාලූ හොද්දක් වගේ දැවිල්ලට හදන්න. කෑවට පස්සෙ මිනිස්සුන්ට මතක හිටින්නෙ පතෝල මාලූ නෙවෙයි. මිරිස් මාලූ." ඔහු එහෙමයි කියල දුන්නෙ. කියලදුන්නා විතරක් නෙවෙයි. ක‍්‍රියාත්මකත් වුණා. ඔහු ලියූ කට දන ලිපි පළකිරීම නිසා අපි ඉතා අපහසුවට පත්වුණ වාර අනන්තයි. ඒත් මේ දැවැන්තයා කිසිම විටෙක සැලූණේ නැහැ.  "මම ලියන හැම වචනයකම වගකීම මම ගන්නවා ජගත්."  ඔහු මන්තරයක් වගේ හැමවිටම කිව්වා. ඔහු අපේ කොඳුනාරටිය වගේ අපට ශක්තිය දුන්නා. 

පත්තර වලදි විතරක් නෙවෙයි. 2000 වසරෙ අපි අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් 3zzzරේඩියෝව බාරගන්නා විටත් අප පිටුපසින් සිට උපදෙස් දුන්න අප පිටුපසින් තිබූ දැවැන්ත සෙවණැල්ලත් ඔහුයි. 

ඔහුත් මාත් අතර තිබුණෙ ඉතා ගෞරවාන්විත ඇසුරක්. ඔහු පිලිබඳ ඉතා ඉහළ ගෞරවයක් මගේ හිතේ තිබුණා. හැමවිටම ඔහු හා සම මට්ටමේ නොසිට අඩියක් පහළින් ඉන්නට මම වගබලාගත්තා. ඒ ඞීබී කුරුප්පු නම් වන දැවැන්තයා පිළිබඳ මගේ ගොඩනැගී තිබූ ප‍්‍රතිරූපය නිසයි. ඔහුගේ හිතෙත් මා පිළිබඳව ඉතා ඉහළ හැඟීමක් තිබූ බව මම දැන සිටියා. මේ  ඕස්ටේ‍්‍රලියාවේ ඞීබී කුරුප්පු කියන දැවැන්ත ලේඛකයාගෙන් නියත විවරණ ලද එකම ලේඛකයා වීමේ නිහතමානී සතුට මගේ හිතේ තියෙනවා. ඔහුගේ මුද්‍රිත පොත් ගාමිණී පැළෑඳ ලංකාවේ සිට වරින් වර ඔහුට ගෙනැත් දෙන විට ඔහු එවායින් පළමුවෙනිම පොත වෙන්කරන්නේ මට බව ගාමීණි අදත් කියනවා. ඞීබී මගෙන් බලාපොරොත්තු වූ සාහිත්‍ය ගමනක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු කිරීමේ වගකීම මහා බරක් විදිහට මගේ හිතේ තියෙනවා. ඞීබී අංකල්.. ඔබ මගෙන් යමක් බලාපොරොත්තුවූවා නම් ඒ බලාපොරොත්තුව මම ඉටුකරනවාය කියන පොරොන්දුව අද මම ඔබ ඉදිරියේ අවසන් වතාවට කියනවා.

දශක දෙකක පමණ ඇසුරකින් අප අතර ඉතිරිවුණ බොහෝ මතක සටහන් මගේ හිතේ තියෙනවා. ඒ මතක සටහන් සියල්ල ජීවිත කාලය පුරාවටම මා රිදවාවි.

ජීවත්ව සිටියදී මියගියා මෙන් ඉන්න බොහෝ මිනිසුන් අතර මිය ගිය පසුත් ජීවත්වන මිනිසුන් අතළොස්සක් ඉන්නවා. ඞීබී කුරුප්පු කියන්නෙ ඒව ගේ අමරණීය මිනිසෙක්. මිය ගිය පසුත් ජීවත් වන මිනිසෙක්. එවන් අමරණීය මිනිසකු ඇසුරේ ජීවත්වන්නට ලැබීම අප ලද භාග්‍යයක්.

අද අපේ ගුරු තරුව නිවී ගිහින්. අපි අතරමං වෙලා බලා ඉන්නවා. මෙතැනින් ඔබ්බට යන්නෙ කොහොමද? ඒ සඳහා අවශ්‍ය ශක්තිය කොයින්ද? ඞී බී කුරුප්පු... මගේ ආදරණීය පෙරටුගාමියාණනි.. මාර්ගෝපදේශකයාණනි .. මේ සමුගැනීමක් නොවන බව කියා තබන්නට මම කැමතියි.

මම අද ඔබේ නිසල සිරුර දෙස නොබලාම යන්නට යනවා. ඒ ඔබ පිලිබඳ ජීවමාන මතකය මගේ හිතේ රඳවාගන්නට මම කැමති නිසයි. අද උදේ ශනිදා සාදයේ මා කියූ මේ කවිය ඔබ පාමුල තියා යන්නට අවසර දෙන්න.

තරු විසුළ අහස මැද හිස් තැනක් ඇයි තාම
ගුරු තරුව බැස ගිහින් කාටවත් නොකියාම
හුරු පුරුදු ගුණ සුවඳ හදවතෙහි රැඳුණාම
දුර වුණත් අපි ළඟයි ගුරුතුමනි හැමදාම   "

  

4 comments:

  1. පත්තර කලාව ගැන කියල තියෙන කතාව මං හිතන්නෙ ඒ ගැන දෙන්න පුළුවන් හොඳම නිර්වචනයක්... පත්තර කලාව ගැන විතරක්ම නෙවෙයි, සාහිත්‍යයට වුණත් ගැළපෙනවා.

    දැවැන්තයන් නික්ම යනවා. ඒ හිස්තැන් එහෙමමයි. එය ඇත්ත.

    ReplyDelete
  2. /* ඞීබී මගෙන් බලාපොරොත්තු වූ සාහිත්‍ය ගමනක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු කිරීමේ වගකීම මහා බරක් විදිහට මගේ හිතේ තියෙනවා. */

    එළ!

    ReplyDelete
  3. නිකොලායි නොසොව් ගේ නිස්නායිකා හෙවත් The Adventures of Dunno and His Friends (1953–1954) පොත සිංහලයට පරිවර්තනය කලේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ලංකාවේ ළමුන්ට තේරුම් යන පරිදි සංස්කෘතික සලකුණු තබමින් මේ පොත පරිවර්තනය කිරීමට ඩී.බී. කුරුප්පු මහතා සමත් වීම දැත්තා පොත ජනප්‍රිය වීමට තවත් හේතුවකි.

    ReplyDelete
  4. සුභ ගමන් ඩීබී මහත්තයා

    ReplyDelete