Wednesday, September 13, 2017

වැඩසිටි කන්දේ මතකය

කතරගම වැඩිහිටිකන්ද (වැඩසිටිකන්ද) මුදුනට මිනිසුන් ගෙන යන වාහනයක් පෙරළීමෙන් සිදුවුණ අනතුරක් ගැන වාර්තාවක් පසුගිය දවසක කියවන්නට ලැබුණි. මෙයට වසර කීපයකට පෙර අපත් මෙවැනිම වාහනයකින් වැඩිහිටිකන්ද මුදුනට ගිය දිනයේ මේ ගමන අනතුරුදායක බව මම තේරුම් ගතිමි. දුහුවිලි කාගෙන වාහනයකින් කන්ද නැගීමේ අත්දැකීමේ කිසිදු සොඳුරු මතකයක්ද ඉතිරි නොවී ය.

සොඳුරු මතකය ඇත්තේ අප කුඩා අවදියේ ය. ඒ මතකය සොයා යමි.


අප කුඩා අවදියේ වසරකට වරක් වැඩිහිට කන්දට දානයක් දීමේ පුරුද්දක් අපේ තාත්තාට විය. තාත්තා ඒ සඳහා ලියාපදිංචි වී සිටි අතර වසරකට වරක් තාත්තාගේ දිනය දන්වා ලිපියක් ලැබුණ බව මගේ මතකය කියයි. ඒ නියමිත දවස පුරා වැඩසිටිකන්ද නැගීමට පැමිණෙන සියලූම සැදැහැතියන්ට දානය සැපයීමෙන් තාත්තා මහත් සතුටක් ලැබුවේ ය.


නියමිත දිනයට දිනකට දෙකකට පෙර ලොරියක හාල් පොල් එළවලූ ඇතුළු සියලූ කළමනා පටවාගන්නා තාත්තා දානයට උපකාරවන පිරිසත් අපත් තවත් වාහනයක නංවාගෙන කතරගම වැඩසිටි කන්ද බලා යයි. ලොකු මිනිසුන් දානය සකස් කරන අතර කඩා අපි වැඩසිටිකන්ද නැගීමට පටන් ගනිමු.


එදවස මේ කන්ද නැගීමට පඩි පෙළක් හෝ නොවී ය. තිබුණේ මිනිසුන්ගේ ගමන නිසා ඇතිවුණ අඩි පාරක් පමණකි. කන්ද ආරම්භවන තැන ගසක් වටා හැරමිටි ලෙස පාව්ච්චි කළ හැකි ලී දඬු විශාල ප‍්‍රමාණයක් තබා තිබුණි. කන්ද නගින්නන් පහසුව සඳහා මේ ලී දණ්ඩක් රැුගෙන යති. රළු මගෙහි උඩට යන්නට ඒ ලී දඬු මහත් පහසුවක් විය. කන්ද මුදුනට යන තෙක්ම මග දෙපස කැලෑව ය. අපි කැළැවේ ගඩා ගෙඩි කඩා කමින් කන්ද නගිමු.


කන්ද නගින දෙමළ මිනිසුන් අනුකරණය කරමින් ”හරෝ හරා..” යයි කෑ ගසමින් කන්ද නැගීමෙන් ලැබුණ සතුට අපමණ ය. ”හරෝ හරා... අරූ හොරා..” යයි වරෙක කෑ ගැසූ මල්ලිට තරවටුවක් ලැබුණ අයුරුද මට මතක ය.


ඒ කාලයේ අපේ ගෙදර මේසයක් මත කුඩා ලී පෙට්ටියක් විය. ගමනක් ගොස් ගෙදරට එන තාත්තා තමාගේ සාක්කුවේ තිබෙන සියලූම මාරුකාසි මේ පෙට්ටියට දමයි. වසරක් යනවිට පෙට්ටිය පිරෙන්නට මාරු කාසි ය. වැඩිහිටි කන්දේ දානයට යන විට මේ ලී පෙට්ටියද ගෙන යන්නට තාත්තා අමතක නොකරයි. කඳු පාමුළ දී තාත්තා ඒ ලී පෙට්ටිය අපට දෙයි. සිඟන්නන්ට කාසි බෙදන්නටය. අපි අතට අසුවන ප‍්‍රමාණයක් කාසි ගෙන සිඟන්නන්ට බෙදන්නෙමු.


සවස් වන විට අපි අවම වශයෙන් දෙවතාවක් වත් කන්ද උඩහ පහළට නැග බැස අවසන් කළෙමු. කන්ද මුදුණේ දැන් මෙන් ගොඩනැගිළි නොතිබුණි. කුඩා දේවාලයක් වැනි මඩුවක් පමණක් තිබූ බව මගේ මතකය කියයි.


ඒ සියල්ල ඉතා සරළ ය. නිස්කලංක ය. සුන්දර ය.


දුක් මහන්සියෙන් බොරළු අඩි පාර දිගේ කන්ද තරණය කර අප එදා ලැබූ සතුට අද වාහනයකින් කන්ද නගින විට හෝ පඩි නැග කන්ද නගින විට හෝ නොදැනෙයි. අද මේ කන්ද නගින මිනිසුන් දකින විට මසිතට දුකක් ඇතිවන්නේ ඒ නිසා ය.


පසු සටහන

තාත්තා වසරක් පාසා වැඩසිටි කන්දට දානයක් දෙන්නට යම් හේතුවක් තිබෙන්නට ඇතැයි අද මට සිතෙයි. එය එක්තරා පේ‍්‍රමකතාවක කොටසකි. ඒ කතන්දරය ලියම්දෝ නොලියම්දෝයි සිතමින් සිටින්නේ ඒ කතාවට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින්නන් අපහසුවකට පත්කරන්නට සිතේ ඇති අකැමැත්ත නිසා ය.  

 

17 comments:

  1. පුලුවන්නම් ලියන්න..... පුද්ගලනාම කුමක් හෝ වෙනසක් ඇතුව

    ReplyDelete
    Replies
    1. තාම ඒ ගැන හිතනවා.. මට වෙලාවකට හිතෙනවා ඒ කතාව නවකතාවකට හොඳ වස්තුබීජයක් කියලා.. ඒ නිසා දවසක ඒක නවකතාවක් හැටියට ලියන එක හොඳයි නේද?

      Delete
  2. ඒ කතාව ලියන්නට ඕනෑ, තාත්තා ම නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය ලියන්න තාත්තා කැමතිවන එකක් නැහැ..

      Delete
  3. //ඒ කතන්දරය ලියම්දෝ නොලියම්දෝයි සිතමින් සිටින්නේ ඒ කතාවට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින්නන් අපහසුවකට පත්කරන්නට සිතේ ඇති අකැමැත්ත නිසා ය.//

    අනේ ඒ කතාවත් ලියන්න. ඕනෑනම් නියම නම නැතිව ලියන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. තාම ඒ ගැන හිතනවා.. මට වෙලාවකට හිතෙනවා ඒ කතාව නවකතාවකට හොඳ වස්තුබීජයක් කියලා.. ඒ නිසා දවසක ඒක නවකතාවක් හැටියට ලියන එක හොඳයි නේද?

      Delete
  4. මරු.... ඒ කතාවත් ලියන්න

    ReplyDelete
    Replies
    1. තාම ඒ ගැන හිතනවා.. මට වෙලාවකට හිතෙනවා ඒ කතාව නවකතාවකට හොඳ වස්තුබීජයක් කියලා.. ඒ නිසා දවසක ඒක නවකතාවක් හැටියට ලියන එක හොඳයි නේද?

      Delete
  5. ඒ කතාව ලියන්න එපා ජගත් මල්ලි. හොද නැහැ නේද අසම්මත ප්‍රේම කතාවක් නිසා.

    ReplyDelete
  6. මාත් පොඩි කාලේ ගියා. ඒ කාලේ වාහනයක් යන්න බෑ කන්දට.. එකම කරදරේ වදුරන්ගෙන් තමා..

    ReplyDelete
    Replies
    1. සොඳුරු අත්දැකීම්..

      Delete
  7. නවකතා ලියන්නට පුළුවන්වුනාට ප‍්‍රකාශකයෝ පස්සේ යන එක තරම් වදයක් ලොවෙත් නෑ. අන්තිමේදි කතෘභාගේ වත් ලැබෙන්නේ නෑ. තමාම ප‍්‍රකාශයට පත්කරගන්න එකයි හොද.

    ReplyDelete
  8. මමත් එක වතාවක් ගිහි තියෙනවා.ඒ වෙනකොට පාර කපනවා වෙන්න ඕනේ.

    ReplyDelete
  9. මම කතරගම ගියොත් අනිවාර්යෙන් යන තැනක් තමයි වැඩැහිටි කන්ද. ඔය පාර කැපුවට පස්සෙත් කීප පාරක් ගියත් කවදාවත් වාහනේකින් ගිහිල්ල නෑ. මහන්සියෙන් පයින් ගිහිල්ල ගන්න සතුට වාහනේකින් ගියාට ගන්න බෑ.

    ReplyDelete
  10. වැඩසිටි කන්ද නැගල නෑ.. අර කතාවට සම්භන්ද හැමෝම දැන් වැඩිහිටියෝ නිසා එහෙම අවුලක් වෙන එකක් නෑ.. සුන්දර කතාවක් වෙයි.. :)

    ReplyDelete