Friday, September 29, 2017

ජයකොඩි සෙනෙවිරත්න සූරීන්ට බැතියෙන් ලියමි

මේ ලියන්නට යන කතාව වරින් වර විවිධ තැන් වල මම ලියා ඇත්තෙමි. එහෙත් නැවතත් ඒ කතාව සිහිපත් කරන්නට හේතුවක් මතුවී ඇත. එබැවින් වඩාත් සවිස්තරව ලියන්නෙමි.


උසස් පෙළ පන්තියට එව විට මා අතින් නවකතා හතරක් ලියැවී තිබුණි. මොනිටර් අභ්‍යාස පොත් වල අතින් ලියූ මේ කතා ඉතා ප‍්‍රාථමික මට්ටමේ තිබෙන්නට ඇතැයි අද මට සිතෙයි. පළමු නවකතාව රහස්පරීක්ෂක නවකතාවකි. ඞීමන් ආනන්දගේ ඩිකී වීරකෝන් රහස් පරීක්ෂකයා අනුකරණය කරමින් මවිසින් නිර්මාණය කරගත් රන්දෙණිය නම් වූ රහස් පරීක්ෂකයකු වටා මේ කතාව ලිව්වෙමි. එවකට මා සිටියේ හතේ පන්තියේ යයි සිතමි. ඉන්පසුව ලිව්වේ ”ලන්දෙගම” නම් වූ නවකතාවයි. කැලෑවෙන් වටවී ගත් ගමක කතාවකි. එය කියවන විට කෙනෙකුට මුදලිනායක සෝමරත්න මහතාගේ මුවන්පැලැස්ස සිහිපත් නොවුණානම් පුදුමයකි. තෙවෙනුව ලිව්වේ ලන්දෙගම කතාවේ දෙවන කොටසයි. එය ”අලූත් ඉරක් පායලා” නම් විය. එය නම් මගේම යයි කට පුරා කිව හැකි ස්වතන්ත‍්‍ර නිර්මාණයකි. ලන්දෙගම වීරයා වූ ටිකිරා ගමට පාසලක් හදන්නට ගත් මහන්සිය මේ කතාවේ කියැවිණි. මේ කතාව ලියන විට මා සිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ විය යුතුය. දැන් මම ගැටවර වියට එළැඹෙමින් සිටින්නෙමි. ආදර කතාවක් ලියන්නට සුදුසුම සහ අවශ්‍යතාව තිබූ කාලයයි. ඉතින් මම ලිව්වෙමි. කතාවේ නම මතක නැත.


කතාව ගෙතුණේ සංගීත කණ්ඩායමක් වටා ය. මේ වන විට රුසියාවේ ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටි මගේ අයියා කුමාර් නිවාඩුවට ආ වෙලාවක බොක්ස් ගිටාරයක් ගෙනැවිත් තිබුණි. ඔහු එහි ශ‍්‍රී ලාංකික සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා විය. අපි ඒ ගිටාරයට වහ වැටී සිටියෙමු. තවත් මිතුරන් කීප දෙනෙකු සමගින් ”සමර් නයිට්ස්” නමින් සංගීත කණ්ඩායමක් පිහිවුටා ගත්තේ මේ කාලයේ දී ය. පසුව යුද හමුදා බටහිර සංගීත කණ්ඩායමට එක් වූ අපේ මිතුරා කිත්සිරි ගුණතිලක අපේ ගිටාර් ගුරුවරයා විය. (අදත් අප ගයන සමහර ගීත අප පළමු වරට ඇසුවේ කිත්සිරි ගෙනි. ඒ නිසා ඒ සමහර ගීත අදත් අප ගයන්නේ මුල් ගායකයාගේ ශෛලියට නොව කිත්සිරිගේ ඌරුවටය. හොඳම උදාහරණය වික්ටර් රත්නායක සූරීන්ගේ ”සඳකැන් වැටිලා” ගීතයයි) අපේ බර්ගර් මිත‍්‍රයකු වූ ටෙ‍්‍රවෝ ඩ‍්‍රම්ස් වාදනය කළ අතර අපේ මල්ලී - මංගල - ගායකයා විය. මම කොහොමින් කොහොමින් හෝ රිදම් ගිටාර් වාදකයා වීමි. අපටය කියා විද්‍යුත් සංගීත භාණ්ඩ නොවී ය. අපි මාසයකට සැරයක් පමණ බම්බලපිටියේ පිහිටි ස්ටුඩියෝවක් පැය ගාණට වෙන් කරවාගෙන විද්‍යුත් සංගීත භාණ්ඩ පුහුණුව ලද්දෙමු. තවමත් අධ්‍යාපනය ලබන රැකියා විරහිත තරුණයන් වූ අපට මේ වියදම දැරිය නොහැකි තරම් විශාල එකක් විය.


මේ අත්දැකීම් පාදක කර ගනිමින් මම මගේ හතරවන නවකතාව ලිව්වෙමි. ඒ කතාව ඒ කාලයේ මගේ හිතටද ටිකක් අල්ලලා ගිය කතාවක් විය. 😊


නවකතා කියවන්නට තරයේ ඇබ්බැහි වී සිටි මගේ අතට ජයකොඩි සෙනෙවිරත්න සූරින්ගේ ”මල් මැණීකේ” නවකතාව ලැබෙන්නේ මේ කාලයේ ය. මට වැදගත් වූයේ කතාවට වඩා කතාවේ අගට තිබූ පසුවදන ය. තමා දයාවංශ ජයකොඩි මහතාගේ සහයෝගයෙන් ආධුනික නවකතාකරුවනට දුන් සහය පිලිබඳව සටහනක් සෙනෙවිරත්න මහතා එහි ලියා තිබුණි. එහි තිබූ ලිපිනයට මම ලිපියක් ලියා යැව්වෙමි. මා නවකතාවක් ලියා ඇති බවත් එය මුද්‍රණය කරවාගන්නට අවශ්‍ය බවත් මම ලිව්වෙමි. සෙනෙවිරත්න මහතා මට හැරෙන තැපෑලෙනි පිලිතුරු ලිපියක් එව්වේය. පොත කියවා බලන්නට තමන්ට එවන්නැයි ඔහු ඉල්ලා තිබුණි. මම මගේ නවකතාව එතුමන්ට තැපැල් කර යැව්වෙමි. තවත් සතියකට දෙකකට පසු නැවතත් ලිපියක් ලැබුණි. පොත කියවා බැලූ බවත් පැමිණ තමන් හමුවන ලෙසත් මට දන්වා තිබුණි. ඒ කාලයේ එතුමන් පදිංචිව සිටියේ පානදුර වලානේය.


නුගේගොඩ සිට පානදුරට යාම අපහසු නැත. 183 බසය යන්නේ නුගේගොඩ සිට පානදුරට ය. එක්තරා දවසක මම එම බසයේ නැගී මේ මහා සාහිත්‍යවේදීයා සොයා ගියෙමි. පෙරේරා ඇන්ඞ් සන්ස් චොක්ලට් රෝලක්ද තෑගි ලෙස ගෙන ගියෙමි.


පානදුර ගාලූපාරේ වලාන බුදු පිලිමය අසළින් බසයෙන් බැස සුහද මාවතේ පිහිටි සෙනෙවිරත්න මහතාගේ නිවසට යනවිට දහවල් වී තිබුණි. මා සාදරයෙන් පිලිගත් එතුමන් මා සාලයේ වාඩි කරවා ගෙන මගේ පොත ගැන අදහස් දක්වන්නට විය. ඔහු කියූ එක් අදහසක් අදත් මම නිතර නිතර සිහිපත් කරමි. ”ජගත් ලියන භාෂාවට මං කැමතියි” අපූරුය.. එය ආධුනික ලේඛකයකු වූ මට විශාල ජවයක් ලබාදුන් අදහසක් විය.


පැයක පමණ අදහස් දැක්වීමකින් පසු එතුමා තමන්ගේ නිගමනය දුන්නේ ය.


”ඉක්මණින් පොත් අච්චුගහන්න මහන්සි වෙන්න එපා ජගත්.. දිගටම ලියන්න.. ඔයාට තව  ඕනෙ තරම් කාලය ඉස්සරහට තියෙනවා”


ආධුනික ගැටවර ලේඛකයකුගේ නවකතාවක් කියවා ප‍්‍රවීණ සාහිත්‍යධරයකුට එසේ නොසිතුනානම් පුදුමය එයයි. එතුමන්ගේ අදහස ගැන මට කණගාටුවක් නොවීය. මා සිටියේ සතුටින් බව මට අදත් මතක ය. සමහර විට එතුමා මගේ නවකතාව එකහෙළා බැහැර නොකර එහි සාධණීය ලක්ෂණ ඉදිරිපත් කර මා දිරි ගැන්වූ නිසා විය හැකි ය. ඒ අතරවාරයේ මගේ අඩුපාඩු ද පෙන්වා දෙන්නට ද එතුමා නොපැකිලූණේ ය. ඒ අවංක බවට මම කැමැත්තෙමි.


ඉක්මණින් පොතක් අච්චුගසා ලේඛකයකු ලෙස සලූවෙන්නට මගේ සිතේ තිබූ මහා අභිප‍්‍රාය මම යටපත් කර ගත්තෙමි. දිගින් දිගටම පුවත්පත් වලට සඟරාවලට ලියමින් සිටියා විනා පොතත් මුද්‍රණයෙන් එළිදක්වාගන්නට උනන්දුවක් තව දුරටත් මගේ සිතේ නොවී ය.


මුද්‍රණයෙන් නිකුත් වූ මගේ පළමු පොත - ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහය - නිකුත්වන්නේ මේ සිදුවීමෙන් වසර විස්සකට පමණ පසුව ය.



ජයකොඩි සෙනෙවිරත්න මහතා වැනි ආධුනිකයනට අත දෙන නිර්මාණකරුවන් අපේ රටේ විරල ය. අපේ සමාජයෙන් නිසි අගැයීමක් නොලද මේ මහා ලේඛකයා පිළිබඳ මගේ කතාවට සමාන කතා බොහෝ තිබෙන බව මම දනිමි. එතුමන්ගේ නවකතා ශෛලිය ලියනගේ අමරකීර්ති ලේඛකයා හඳුන්වා දී තිබුණේ ”අධිවිධග්ධ නොවන අති සරලද නොවන කතා කලාවක්” ලෙස ය. සිංහල නවකතා ක්ෂෙත‍්‍රයට කියවන්නන් කැඳවගෙන ආවෝ මේ ශෛලියෙන් ලියූ ජයකොඩි සෙනෙවිරත්න, කරුණාසේන ජයලත්, කරුණාරත්න සපුතන්ත‍්‍රී, කුමාර කරුණාරත්න, ජයසේන ජයකොඩි, එඞ්වඞ් මල්ලවාරච්චි (මේ නම් වැළ තවත් දිගය) වැනි ලේඛකයෝ වෙති. අවාසනාවට අපේ විදග්ධ සමාජය මේ ලේඛකයන් දෙස ඇස හැර බලන්නටවත් අකැමැති ය. කල්පනාවෙන් බලන විට පෙනී යන්නේ මේ විදග්ධ සමාජයමේ අපූරු ලේඛකයන් හා ඔවුන්ගේ රසවත් නිර්මාණ පිලිබඳව කතා කිරීම පවා තමන්ගේ තත්වයට නොගැළපෙන මට්ටමේ දෙයක් ලෙස සළකන බවකි. එසේ වුවද සිංහල සාහිත්‍ය කෘති කියවන පාඨක පිරිස දහස් ගණනින් කැඳවාගෙන ආවේ කැඳවාගෙන එමින් සිටින්නේ මේ දක්ෂ නිර්මාණකරුවන් ය යන්න සැඟවිය නොහැකි සත්‍යයකි.


ජයකොඩි සෙනෙවිරත්න සූරීන් වෙනුවෙන් අගැයීමේ අළෙලක් සංවිධානය කිරීම අපට මහත් සතුටක් ගෙන දෙයි. ඔබ සාහිත්‍යයට ආදරය කරන අයෙක් නම් ඔක්තෝබර් 10 වන දා සවස 3 ට මහවැලි කේන්ද්‍රයට යන මෙන් මම ඉල්ලා සිටිමි. එය අපේ යුතුකමකි.

ජයකොඩි සෙනෙවිරත්න සූරීනි.. ඔබට දීර්ඝායුවේවා..

9 comments:

  1. අයිය ලියන භාෂාවට අපිත් කැමතියි. මිහිරි අතීතාවර්ජනා මේ විදිහට අපි එක්ක බෙදාගන්න, අයිය ලියන මේ ලිපි මම කියවන්නෙ ගොඩක් ආසාවෙන්.

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි මුතු.....

      Delete
  2. ජයකොඩි සෙනෙවිරත්න නේද අමා වැස්ස පොත ලිව්වේ ?

    ReplyDelete
  3. පොඩිකාලේ ඉඳලාම කියවීමට ඇබ්බැහිවුන මම හතේ අටේ පංතිවලදී පරිවර්තන කෘතීන් කියවීමට පුරුදුවුනා. ඒත් කරුණාතිලකයන් , අනගිරත්නයන්, අභය හේවාවසම් වගේ පරිවර්තකයන්ගේ සමුගැනීමත් එක්ක ඔලුව සැහැල්ලුකරගන්න කියවන පොත් ප්‍රමානය අඩුවුනා. අන්න ඒ කාලෙදි තමයි මම ජයකොඩි සෙනවිරත්නයන්ට ඇබ්බැහිවුනේ. ඒ කාලේ පොත් දහයක් ගත්තොත් අටක්ම එතුමගේ. ඒ පොත් ඔස්සේ කලුගං මිටියාවතට මමත් ආදරය කරන්න පටන්ගත්තා. මතකවිදිහට ඉස්සල්ලම කියෙවුවේ රණතිසරු. ඉස්කෝලේ තුනේ පන්තියේදි වගේ. ඒ තමයි මම කියවපු පළවෙනි නවකතාව. ඒත් හරියටම කතාව මතක්වුනේ විප්‍රවාසි වෙන්න අවුරුද්දකට විතර කලින් දයාවංශ එකෙන් ආපහු රණතිසරු අරගන කියෙවුවහමයි. අර ඔබ ලිපියේ සදහන්කරපු ලේඛක ලැයිස්තුවේ සිටින්නන්ගෙන් මට ජයකොඩි සෙනවිරත්නයන් විශේෂ වෙන්නේ , ඒ අතර සිටි සැහැල්ලු භාශාවෙන් ලේඛන කටයුතු සිදුකල යතාර්තවාදී ලේඛකයෙක් වීමයි. ( අනිත් බහුතරයකගේ කතා තුල ජීවත්වුන ලස්සනම, හොඳම, දක්ශම , කඩවසම්ම ගැහැණු පිරිමිනැති සාමාන්‍ය ජීවිතේ චරිත මේ පොත්වලින් දැකපු නිසා). චෝදනා නැත්තෙමත් නෑ. සහෝදරයෝ, සුදුහාමිනේ කියන පොත් අභිබවා යන කෘතියක් මම ඔහුගෙන් දැක්කෙම නෑ ඊටපස්සේ . ඒත් පොදුවේ ගත්කල ඔහු අපේ පරම්පරාවේ මිනිස්සුන්ට කියවීම පුරුදුකරපු "අපේ ලේඛකයෙක් ". ඔහුව ඇගයීමේ උත්සහයට සුභාශීංසන පුදකරන ගමන්ම ඒ මහතාට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  4. මම ඔය නම් කරපු හැමෝගෙම පොත් කියවල තියනවා. හොඳයි . ඔයාගේ පොතත් අරගෙන බලන්නම්.

    ReplyDelete