Monday, June 11, 2018

අමතක නොවන චරිත

ජීවිතය දෙස ආපසු හැරී බලන විට යම් යම් ආකාර වලින් අපේ මගට බලපෑම් කළ පුද්ගලයන් වරින් වර සිහිවෙයි.



අප කුඩා කාලයේ පොත පත ලියන පිරිස ඉතා අල්ප විය. පොත් බිහි වුණේද ඉතා අඩුවෙනි. ඒ නිසා මේ යුගයේ බිහිවුණ සියලූම පොත් පාහේ අප කියවා තිබුණි. මා මේ කියන තරුණයා අපේ තාත්තාගේ ව්‍යාපාරයක සේවයට එන්නේ අප කුඩා දරුවන් වූ මෙවන් වකවානුවකය. ඔහු තිලකරත්න පෙතියාගොඩ නම් විය. තාත්තාගේ ව්‍යාපාරවල සේවය කළ සේවකයන් නවාතැන්ගත් අපේ නිවසට අල්ලා ඉදිකර තිබූ කුඩා නිවාස පේලියේ ඔහු නවාතැන් ගෙන සිටියේ ය.



ඉතා කඩවසම් තරුණයකු වූ තිලකරත්න අපට ඉතා ඉක්මණින් සමීප වූයේ ඔහුගේ තිබූ සුහද ගති පැවතුම් නිසා ය. හැම විටම පොත පත කියවූ තිලකරත්න මගේ සිත් ගත්තේ ඔහු ලේඛකයකු වූ නිසා ය.



ඔහු මොනිටර් එක්සයිස් පොත් වල නවකතා ලිව්වේ ය. සමහර ඒවා ආදර කතා විය. ඒ යුගයේ භයානක දුම්රිය අනතුරක් සිදුවිය. මීරිගමදී ය. මීරිගම දුම්රිය අනතුර පාදක කරගනිමින් ඔහු ලියූ නවකතාව ඉතා අපූරු එකක් විය. එහි නම මට හරියටම මතක නැත . ”බදුල්ල එක්ස්ප‍්‍රස්” යයි සිතමි. ”වී කිරිල්ලී යයි ඉගිල්ලී ” නමින් ඔහු ලියා තිබූ නවකතාව ආදර කතාවක් විය. ඔහු ලිව්වේ තිලක් පෙතියාගොඩ නමින් ය. ඔහු ලියන ආකාරය දකින මමද මොනිටර් එක්සයිස් පොත් ගෙනැවිත් නවකතා ලියන්නට උත්සාහ ගත්තෙමි.



1970 දී පමණ ගමේ ගිය තිලකරත්න ආපසු ආවේ නැත. ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි අපි සිතුවෙමු. 1971 යනු තරුණයන්ට මහත් පීඩා ගෙන දුන් වසරක් විය. මේ තරුණයාද ඒ කරදර වලට හසුවන්නට ඇතැයි අපේ වැඩිහිටියන් සිතූ බව මට මතකය. ඔහුගේ නොපැමිණීම මගේ සිතේ ඇති කළේ විසල් කණගාටුවකි.



ඉන් වසර ගණනාවකට පසු තිලකරත්න නැවත අපේ නිවසට එයි. රැකියාවක් ඉල්ලා ගන්නටය. මේ වන විට අපේ ව්‍යාපාර නැවතී තිබුණ නමුත් තාත්තා මිරිහානේ පොලීසිය කිට්ටුවෙන් ඔහුට තේ කඩයක් දමා දුන්නේ "පුලූවන් නම් මේකෙන් දියුණු වෙන්න බලනවා" කියාය. පාසල ඇරුණ පසු මමද සමහර දිනවල ඔහුගේ සහයට ඒ තේ කඩයට වී සිටියෙමි.



තමන් 71 කැරැල්ලට අත්අඩංගුවට පත් වූ බවත් පුනරුත්තාපන කඳවුරක අවුරුදු ගණනාවක් සිටි බවත් තිලකරත්න කීවේ ය. පුනරුත්ථාපන කඳවුරේදී ඔහු අලූතෙන් ලියූ නවකතා සහිත මොනිටර් අභයාස පොත් දහයක් පමණ ඔහු මට කියවන්නට දුන්නේ ය. යම්කිසි ප‍්‍රකාශක ආයතනයක් මේ පොත් මුද්‍රණය කළා නම් තිලක් පෙතියාගෙඩ යන නම අද පාඨක ලෝකයේ නිතර කියැවෙන නමක් වන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවට ඒ පොත් මුද්‍රණය කරන්නට හෝ අදහසක් තිලකරත්නට නොවී ය.



දෙවන ආගමනයෙන් අවුරුදු කීපයකට පසු ඔහු නැවතත් යන්නට ගියේ ය. එසේ යන්නට සිදුවූයේ අපේ නැන්දා කෙනකු සමග ඇති වූ පෙම් සබඳතාවක් නිසා බව මට මතක ය. ඒ ගියායින් පසු ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් අපට දැනගන්නට නොලැබුණි. ඔහුගේ ඇසුරින් උත්තේජන ලබා මා ලියන්නට පටන් ගත් සමහර නවකතා අවසන් කළ නමුත් ඒවාද අස්තාන ගතවී ගියේ ය.



ලියන්නට උත්තේජනයක් ලබාදුන් මගේ අයියා කුමාර, මගේ මාමා ලයනල් සරත් සේම තිලක් පෙතියාගොඩද මගේ සිතේ තවමත් ජීවත්වෙයි.


No comments:

Post a Comment