Monday, May 17, 2021

සඟරාවක මතකයක්

 









පසුගියදාක ලංකාවේ සිටින මිතුරියක් මැසෙන්ජර් පනිවුඩයකින් පින්තූර කීපයක් එවා තිබුණා. ඈ එවූ පින්තූර කීපය පහතින් මුළින්ම තියෙනවා.

ඒ සමගම ඇය ප‍්‍රශ්නයක් අසා තිබුණා. ”මේ ගැන ඔබේ මතකය කොහොමද? 1977.7.7”

මේ පින්තූර මා පුදුමයට පත්කළා. 

”මම ඊ්යෙ යාලූවෙකුගෙ ගෙදර ගියා. ඒ යාලූවා ළඟ මේ සඟරාව තිබුණා” මගේ මිතුරිය ලියා එව්වා. 


මා පාසල් වියේ සංස්කරණය කළ සඟරාවක් අවුරුදු 34කට පසුව ලංකාවේ කිසිවකු අත තවමත් තිබෙනවාය කියන පුවත මගේ සිතේ ඇති කළේ වචනයෙන් කියන්න බැරි සතුටක්.


”මුතුහර” කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රලයයේ සිසුවකුව සිටියදි මම සංස්කරණය කළ සඟරාව. ඒකට පසුබිම් කතාවක් තියෙනවා. 


අපි හිටියෙ විද්‍යා අංශයෙ. ඒත් ඔලූවෙ තිබුණෙම සාහිත්‍යය. කලා අංශයේ ශිෂ්‍යයන් බලය තියාගත්ත සිංහල සාහිත්‍ය සංගමයක් තිබුණා. ඒකෙන් කළ කිසිම වැඩක් නැහැ. මට එදා ඉඳලම තිබුණෙ සාහිත්‍ය වැඩ කිරීමේ පිස්සුවක්. ඒ පිස්සුව හොඳ කරගන්න මං තෝරගත්තෙ විද්‍යා ශිෂ්‍ය සංගමය. ”මුතුහර” සඟරාව මම සංස්කරණය කළේ විද්‍යා ශිෂ්‍ය සංගමය වෙනුවෙන්. මුතුහර කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය ඉතිහාසයේ බිහිවුණ දෙවන මුද්‍රිත සඟරාව. (එයිට කලින් විද්වාන් නමින් සඟරාවක් මුද්‍රණය වෙලා තිබුණා* මුතුහරේදි මං උත්සාහ කළේ කාටත් එකසේ රස විඳිය හැකි සඟරාවක් බිහිකිරීම.




මේ සඟරාව සඳහා වෙළඳ දැන්වීම් හොයන්න මගේ මිත‍්‍රයා උදය ලක්ෂ්මන් සහ මං වින්ද දුක හරිම රසවත් මතකයක්. සඟරාව සඳහා වෙළඳදැන්වීම් දිමෙන් අනුග‍්‍රහය දක්වන ලෙස එවකට වෙළඳ ඇමති ටී බී ඉලංගරත්න මහතාම සිය අත්සන සහිතව නිකුත් කළ ලිපියක් අප ළඟ තිබුණා. වෙළඳ දැන්වීම් විශාල ප‍්‍රමාණයක් ලැබුණා. සඟරාව ලාබයකුත් ලැබුවා.


මුද්‍රණය කළේ නාවල තිබුණ ශ‍්‍රී කාන්ති කියන පුංචි මුද්‍රණාලයේ. ඔවුන් ඉතා අලංකාර ලෙස වැඬේ කළා. මම හැම පිටුවක්ම එකිනෙකට වෙනස් ආකාරයට ලේ අවුට් කරන්න උත්සාහ කළා. ඒත් මට අවශ්‍යම තැනේදි වැඬේ වැරදුණා. තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුව තමයි මට සඟරාවෙ වැදගත්ම පිටුව. ඒ පිටුව මුද්‍රණය කරන්න සූදානම් වෙච්ච දවසෙ මම නාවලට එමින් සිටියදී අතරමගදි අපේ පන්තියේ හිටිය යාලූවෙක් නුගේගොඩදි හමුවුණා. 

”දැන් යන්න  ඕනෙ නෑ මචං.. මං පෘෆ් කියවලා ඇපෲව් කරළා ආවෙ” ඔහු කිව්වා. මට තරු විසිවුණා.

”මොන පිටුද ඇපෲව් කළේ?”

”තුන්වෙනි පිටුව” ඔහු කිව්වා. ඒ වෙලාවෙ මට දැනිච්ච දුක අදත් මට දැනෙනවා. මේ තියෙන්නෙ මගේ මිත‍්‍රයාගේ අවශ්‍යතාව අනුව මුද්‍රණය වෙච්ච තුන්වෙනි පිටුව. මේ මට අවශ්‍ය වුණ ආකාරයේ තුන්වෙනි පිටුව නම් නෙවෙයි. 


සඟරාවට අමතරව පාසලේ විද්‍යා ශිෂ්‍ය සංගමය හරහා අපි සාහිත්‍ය තරගාවලියක් තිබ්බා. කවි කෙටිකතා සහ රචනා අංශ වලින්. ඒ තමයි මං සංවිධානය කළ පළමු තරගය. ඉන්පස්සෙ මං සාහිත්‍ය තරග හතරක් කරලා තියෙනවා.

පහන සඟරාව මගින් කළ සාහිත්‍ය තරගය

සන්නස සඟරාව මගින් කළ සාහිත්‍ය තරගය

ඞීබී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගය 2018

ඞීබී කුරුප්පු අනුස්මරණ කෙටකතා තරගය 2020


පුලූවන් වුණොත් තව ඉස්සරහටත් සාහිත්‍යය වෙනුවෙන් යමක් කරනවා. ඒ උණ තාම තියෙනවා.


මුතුහර කාලෙ වෙච්ච ඇබැද්දියක් මගේ මානව බ්ලොග් එකේ ලිව්වා. කැමති නම් කියවලා බලන්න.

1 comment: