Sunday, June 5, 2016

චිත‍්‍රපට පිස්සෝ 2

සිනමා තිරනාටකයක් ලියන හැටි අසා ගන්නට චිත‍්‍රපට සංස්ථාවට යන්නට උදයත් මමත් තීරණය කළෙමු. පසුවදා පාසලින් කට්ටි පැන්න අපි තරංගනියේ පිහිටි චිත‍්‍රපට සංස්ථා කාර්යාලයට ගොඩවැදුනෙමු. දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා අපේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලූවේය.

”අපට චිත‍්‍රපට තිරනාටකයක් ලියන හැටි ගැන දැනගන්න  ඕනෙ..” අපි කීවෙමු. ඔහු සිනාසුණේය. ඉන්පසුව කාර්යාලය තුළට අප කැඳවා ගොස් එක්තරා නිලධාරියකු ඉදිරියට අප පැමිණෙව්වේය.

”සර් මේ ළමයින්ට ස්ක‍්‍රිප්ට් එකක් ලියන හැටි දැනගන්න  ඕනෙලූ” ආරක්ෂක නිලධාරියා අප වෙනුවෙන් කතා කළේ ය. මේ වතාවේ සිනාසුණේ අර නිලධාරියාය. ඔහු අපට වාඩි වන ලෙස සන් කළේය. අපි ඔහු ඉදිරියේ වාඩි වීමු.

”මොකටද ස්ක‍්‍රිප්ට් ලියන්න ඉගෙනගන්න හදන්නෙ?” ඔහු ඇසුවේය.

”අපි ෆිල්ම් එකක් හදන්න හිතනවා” උදය කීවේ ය.

නැවත වතාවක් සිනාවක් මුවට නගාගත් නිලධාරියා අසළ වූ අල්මාරියක් ඇර විශාල පොතක් ගෙන අප ඉදිරියේ තැබුවේ ය.

”මේක ෆිල්ම් එකක ස්ක‍්‍රිප්ට එකක්.. හෙමින් සැරේ කියවලා බලන්න” ඔහු කීවේ ය. අපි ඔහුගේ මේසය මත තිබෙද්දීම ඒ තිරනාටකයේ පිටූ කීපයක් පෙරළා බැලූවෙමු. මට අවශ්‍ය වූයේ එපමණකි. මා අනුමාන කළ සියල්ල නිවැරදි ය.

රූප විස්තරය හා හඬ විස්තරය වෙන් වෙන්ව පිටුවේ දෙපස ලියන ආකාරය හැරෙන්නට දර්ශන වෙන් කෙරුණ ආකාරය අංක ගත කෙරුණ ආකාරය වෙනත් තාක්ෂණික විස්තර සටහන් කර තිබූ ආකාරය ඉතා ඉක්මණින්ම මනසේ සටහන් කරගන්නට මට හැකි විය. පැය බාගයකින් අපි පොත ආපසු බාරදී ආපසු ආවෙමු. කාර්යාලයේ දොරටුව අසළදී ආපසු හැරී බැලූවෙමු. අර නිලධාරියා තවමත් සිනාසෙමින් අප දෙස බලා සිටියි. ඒ සිනාවේ ගැබ්ව තිබූ අරුත තවමත් මට තේරුම් ගන්නට නොහැකිය.

මම ඉන් අනතුරුව ගෙවුණ මාසයක පමණ කාලයක් තුළ දී තිර නාටකය ලියා අවසන් කළෙමි. අපේ ස්ටීවන් මාමාගේ පුතා වූ ධම්මික මල්ලී ඒ තිරනාටකය කාටදෝ කියා ටයිප් කර ගෙනැත් දුන්නේ ය. පරිගණක නොතිබුණ ඒ කාලයේ එය විශාල කාර්යයක් විය.

තිරනාටකයේ මා ලියූ අවසන් දර්ශන කීපය මට තවමත් මතකය.

සිය තාත්තා සුද්දන් විසින් අල්ලාගෙන යනු බූටෑවේ රටේ රාළගේ පුතා කඳු ගැටයක් මතට වී බලා සිටියි. ඔහු වනය හරහා ගෙදර දුව එයි. බිත්තියේ ගසා ඇති කඩු දෙකින් එකක් අතට ගන්නට ඔහු අත දිගු කරයි. ”සටන අවසන් නැත” තිරය මත දර්ශනය වෙයි.

මේ චරිතය රඟපාන්නට අප තෝරා ගත්තේ අපේ කල්ලියේ (පාසලේ ගුරුවරු අපේ කල්ලිය හැඳින් වූයේ ”ගැන්ග් ඔෆ් සෙවන්” කියාය. එය වෙනම කතාවකි) පාලිත ය. ඔහුට තේ වතු හිමි ධනවත් මාමා කෙනෙක් සිටියේ ය. අපේ නිෂ්පාදකයා වීමේ භාග්‍යය මේ මාමාට දෙන්නට අපි තීරණය කළෙමු.

තකහනියක් ගාලූ ගිය පාලිත මාමාගේ කැමැත්ත ද ගෙන ආවේය. මාමාගේ කොන්දේසිය වූයේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය පතිරාජ එල් එස් දයානන්ද ප‍්‍රවීණ කලාකරුවාට බාර දිය යුතුය යන්නය. අපි එකඟ වීමු. මාමා තිරනාටකය ගෙන්වා ගත්තේ එය දයානන්ද මහතාට දී ඒ පිළිබඳව සාකච්ඡුා කරන බවද දන්වමිනි. තිරනාටකය දයානන්ද මහතා අතට පත් කළ බව පසුව ඔහු අපට දන්වා එවුවේ ය.

අපේ චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව එය විය.


පසු කතා

පසු කලෙක පතිරාජ එල් එස් දයානන්ද මහතා (1987 දී) ”කිවුලේගෙදර මොහොට්ටාල” නමින් ඓතිහාසික කතාවක් සිනමාවට නැගූවේය. ඒ සඳහා ඔහු උත්තේජනය ලැබුවේ මගේ තිරනාටකයෙන් යයි මගේ සිත කියයි.

පාලිතගේ මාමා ද ඔහු සමගින් ”තුත්තිරි මල්” (1983) නමින් අතිශය අසාර්ථක සිනමා පටයක් නිෂ්පාදනය කළේ ය. ඉන් අවුරුදු කීපයකට පසු පාලිතගේ මාමා හෘදයාබාධයකින් මිය ගිය බව දැනගන්නට ලැබුණි. 2010 වසරේ පෙබරවාරි මාසයේදී පතිරාජ එල් එස් දයානන්ද කලාකරුවා ද මෙලොව හැර ගියේ ය. මිය යන විට ඔහු හැට හතරවන වියේ සිටියේ ය.


පාලිත පාසල් අධ්‍යාපනයෙන් පසු විවිධ ව්‍යාපාර කරමින් කෝටිපතියකු බවට පත් විය. මා ලංකාවට යන එන විට සුදු පැහැති බෙන්ස් කාරයකින් මා බලන්නට ඔහු ආවේය. බ්ලූම්ෆීල්ඩ් සමාජශාලාවේදී මධුවිතක් තොලගාමින් අතීත කතා ඇද බෑවේ ය. සිය නොසැළකිලිමත් දිවි පෙවෙත නිසා සියල්ල අහිමි කරගත් ඔහු අද කොහේ හෝ තැනක සැඟවුණ ජීවිතයක් ගෙවයි.

උදය නවසීලන්තයට සංක‍්‍රමණය විය.

”උඹ තාමත් චිත‍්‍රපටි හදන්න හිතනවද?” පසුගිය වසරක මෙල්බනයේදී මා හමුවූ විටෙක උදය ඇසුවේ අපේ අතීත කතා ස්මරණයෙන් පසුවය.

”මං මැරෙනකම් ජගත්ම තමයි බං” මම කීවෙමි. මේ මගේ ඉරණමයි. ඒ තුළ ජීවත් වන්නට මම කැමැත්තෙමි.

පසුගිය දිනෙක මෙල්බනයේදී හමුවූ විටෙක වසන්ත විට්ටච්චි සොහොයුරා අපූරු කතාවක් කීවේය.

”උඹයි මායි ලැමිනේට් කළ මිනිස්සු දෙන්නෙක්.. වෙනස් වෙන්නෙ නැහැ”



10 comments:

  1. හිනා වෙවී වුනත් සංසථා නිලධාරියා ඔබව අධෛර්‍යමත් නොකර උදව් කළ හැටි අපූරුයි. ඒ වුනාට, පතිරාජ දයානන්ද වැනි අයෙකු තිර පිටපත ගැන කිසිම ෆීඩ් බැක් එකක්වත් නොදුන්න එක නම් ඉතා වැරදියි.

    ReplyDelete
    Replies
    1. රසික හරි.. ඔහුට අපට කතා කරන්නට තිබුණා.. තිර පිටපතේ ප‍්‍රශ්නයක් තිබුණා නම් අපට එය කතා බහ කර විසඳාගන්න තිබුණා..

      Delete
    2. අර නිලධාරියා ගැන තවමත් මගේ හිතේ තියෙන්නෙ ගෞරවයක්..

      Delete
  2. ඔය පතිරාජ දයානන්ද වැනි අයෙකු ගේ චිත්‍රපටයක් ගනේමුල්ලේ දී තිරගත කෙරුණා. එහි රඟපෑ දර්ශනය වුනේ නිලියක් කෝච්චියට පනින්න යන විට බේරා ගැනීමයි.

    එකම දර්ශනය විවිධ කෝනවලින් සිනමාගත කළ යුතුබව මට වැටහුනේ එය දැකයි. ඒ කියන්නේ එක ටේක් එකක, නිලිය ගේ රෝල් එක කළේ කැමරාව අතින් ගත් කැමරාකරු. ඒ බේරා ගන්නා මිනිසා ගේ ක්ලෝස් අප් ගන්නයි.

    ReplyDelete
  3. පාලිතගේ මාමා ද ඔහු සමගින් ”තුත්තිරි මල්” (1983) නමින් අතිශය අසාර්ථක සිනමා පටයක් නිෂ්පාදනය කළේ ය. මොහු ගේ කෝට්ටේ නිවසට ඔබ ගොඩවැදි නැද්ද

    ReplyDelete
  4. පාලිතගේ කෝට්ටේ නිවහන නම් අපට අපේ ගෙදර වගේ පුරුදුයි.. පාලිතගේ මාමාට අයත්ව කෝට්ටේ නිවසක් තිබූූ බවට යම් මතකයක් ඇතත් එහි ගිය වගක් මතකයට එන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔහු සිටියේ පිට කෝට්ටේ ගල් අම්බලම ඉදරියේ ඇති පොත්ගුල පැත්තෙන් ඇති කුඩා පටුමගේ කෙලවර ඇති එකම ගෙදරයි 80 දශකයේ අගබාගේ ඔවුන් එය මිලයටගෙන පදිංචියට පැමිණි අයක්

      Delete
    2. මතකය අලුත් කළාට ස්තුතියි

      Delete
  5. පිටපත අවුල් න්සාද නැත්තං හොද නිසාද දන්නෑ ප්‍රතික්ෂේප වුණේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. හොඳ වැඩි ඇති.. :)

      Delete