Tuesday, July 11, 2017

ඞීබී සහ මම 1

ඞී බී කුරුප්පු වියත් ලේඛකයා  අප හැර යන්නේ ජූනි 23 වනදා ය. මා සිටියේ මෙල්බන් සිට කිලෝමීටර් එකසිය හැත්තෑවක් පමණ දුරින් පිහිටි කුඩා නගරයකය. රාජකාරි කටයුත්තක් සඳහා මම සතියක් එහි නැවතී සිටියෙමි. ඞීබී අවසන් හුස්ම හෙළා විනාඩි කීපයක් ඇතුළත ඒ කණගාටුදායක ආරංවිය මට ගෙන ආවේ බන්දු (බන්දු දිසානායක) අයියා ය.

”ඞීබී ගියා මල්ලි” ඒ උදෑසන ඒ මොහොත මට කිසිදා අමතක නොවනු ඇත. මම වචන එක්කරගත නොහැකිව බලා සිටියෙමි. සෙවණැල්ල මෙන් අපට සමීපව සිටි දැවැන්තයා යන්නට ගියාය කියා කෙසේ අදහා ගන්නද?

ඔහු මියගිය දින සිට අද දක්වා ඔහු ගැන ලියන්නට වරින්වර උත්සාහ කළත් ඒ වෙනුවෙන් හිත එකළස් කරගන්නට මට නොහැකි විය. ඊයේ සවස මම ඔහුගේ නිසල දේහය දෙස නොබලාම ඔහු වෙනුවෙන් මට කියන්නට තිබූ දේ සංක්ශිප්ත කොට විනාඩි පහකින් කියා ආපසු ආවෙමි. මගේ මතකයේ තවමත් රැඳී ඉන්නේ ජීවමාන ඞීබී කුරුප්පු නම් වන වියපත් තරුණයා ය. එය මට සතුටකි. (මෙතැනින් කියවන්න)

පසුගිය දින කීපය පුරා විවිධ අය ඞීබී පිළිබඳ බොහෝ දේ කියනු ඇසුවෙමි. ලියනු දුටුවෙමි. ඒ බොහෝ කරුණු එහෙන් මෙහෙන් අහුළා ගත් වැරදි කරුණු කාරණා ය. ගොලූ හදවත පොත කියවනවා තියා අතින්වත් නොඇල්ලූ සමහර අය ලියා තිබූ වැරදි හැකි පමණින් නිවැරදි කළෙමි. නිවැරදි කරන්නට නොහැකි වූ තැන් බොහෝ ය.

මගේ ළමා වියේ මා කියැවූ බොහෝ පොත් අතර ”දැත්තාගේ හපන්කම්” තවමත් මගේ මතකයේ රැඳී තිබෙයි. ඒ එම චරිත ඇසුරු කරගනිමින් මා ද කතාවක් ලියූ හෙයිනි. ”දැත්තාගේ හපන්කම්” සිංහලයට පරිවර්තනය කළ ඞී බී කුරුප්පු නම් වන ලේඛකයා එයින් දශක ගණනාවකට පසු දිනකදී මෙල්බන් නගරයට උතුරින් පිහිටි රෙසවෝ පළාතේ ශ‍්‍රී ලංකික වෙළඳ සලකදී හමුවේ යයි මා කෙසේ නම් සිතන්නද?

”කුරුප්පු අංකල්.. මේ ජගත්.. එයත් කෙටිකතා පොතක් ලියලා තියෙනවා” කඬේ සිටි ඔල්ගා කරව්දෙණිය මා හඳුන්වා දුන්නේ එසේ ය.

කුරුප්පු අංකල් මා දෙස  ඕනෑවට එපාවට බැලූවේ ය. මමද එවැනිම බැල්මක් හෙලූවෙමි. එපමණකි.

පසු කලෙක ඞීබී ඒ අවස්ථාව සිහිපත් කරමින් ඇති තරම් සිනාසුණේ ය.

”මං ජගත්ව ගණන් ගත්තෙත් නෑ.. ජගත් මාව ගණන් ගත්තෙත් නෑ” ඔහු සිය සුපුරුදු සිනාව මහ හඬින් නගමින් කීවේ ය. මොනවා කරන්නද? අපේ පළමු හමුවීම එසේවීම එක අතකින් හොඳ ය. ඒ හමුව අප දෙදෙනාටම අප දෙදෙනා පිළිබඳ තක්සේරුවක් කරගන්නට ඉඩ ප‍්‍රස්ථාව ලබාදුන්නේ යයි අද මට සිතෙයි.

ඉන්පසු ගතවුණ කාලය තුළ වරින් වර මා අතට පත් වූ ඔහුගේ පොත් කියවන්නටත් ඒ පොත් කිරා මැන බලන්නටත් මම උත්සාහ ගනිමින් සිටියෙමි. ඔහුගේ ස්වතන්ත‍්‍ර කෙටිකතා පිළිබඳ මගේ පැහැදීමක් නොවී ය. ඒවා හුදු විත්ති කතා වලින් ඔබ්බට නොගිය ලියවිලි බව මම දුටුවෙමි. ඔහුට සමාජයේ හමුවූ විවිධ පුද්ගලයන් පිලිබඳ සටහන් ඒවායේ විය.

”අප්පෝ කුරුප්පු අංකල් එක්ක කතා කරනකොට පරිස්සම් වෙන්න  ඕනෙ.. නැත්නම් එයාගෙ ඊළඟ පොතේ අපේ නමත් ලියැවෙයි” සමහර අය කියනු මම අසා සිටියෙමි. එවන් ප‍්‍රකාශ පවා මගේ සිත් නොගත්තේ ය. අපට හමුවන මිනිසුන් පිලිබඳව ගෙඩි පිටින් ලියා කෙටිකතා නිර්මාණය කළ හැකිද යන්න ඒ වන විට කෙටිකතාව පිළිබඳව මහත් ඇල්මකින් හදාරමින් සිටි මට සිතුණි.

ඔහුගේ දෙවන පොත් එළි දැක්වීමේ දී ඔහුගේ කෙටිකතා පොත් දෙකක් පිළිබඳව අදහස් දැක්වීමක් කරන්නැයි මට ආරාධනාවක් එන්නේ මේ අතරදී ය. ”විප්ලවය ආවොත්” සහ ”කලූ හිල සහ නාරාවල” ඒ පොත් දෙකයි.

”නිදහස් අදහස් වලට ඉඩ දෙනවාද?” මම ආරාධනාව රැගෙන ආ වරුණ සාවින්දගෙන් ඇසුවෙමි.

”ඔව්.. කුරුප්පු අංකල් විශේෂයෙන්ම කිව්වා නිදහස් අවංක අදහස් වලට අවසර තියෙනවාය කියලා”

මම ආරාධනාව පිළිගතිමි.

පොත් දෙකෙන් එක පොතක් පිළිබඳව මගේ කිසිදු පැහැදීමක් නොවීය. කෙටිකතා ලෙස හැඳින්වුවද එහි වූ සියලූම කතා කෙටිකතා ලෙස පරිපූර්ණත්වය පත් නොවූ හුදු විත්ති කතා ම විය.  අනෙක් පොතට ලකුණු 75 ක් දෙන්නට මගේ සිත ඉඩ දුන්නේ ය.

ඒ පොත් එළිදැක්වීමට විශාල පිරිසක් සහභාගිව සිටි බව මට මතක ය. මම පොත් දෙක පිළිබඳ මගේ අවංක අදහස් ඉදිරිපත් කළෙමි.

”හොඳ නිර්මාණයක් හැමවිටම කියවන්නා තුළ මොනයම්ම හෝ කම්පනයක් ඇති කරනවා. ඒත් මේ කතා කියවන විට එවැනි කම්පනයක් අපේ හිතේ ඇතිවන්නෙ නැහැ” මම කීවෙමි. ”මේ කතා කෙටිකතා ලෙස හඳුන්වනවාට වඩා විත්ති කතා ලෙස හැඳීන්වීමට මම කැමතියි. තත්කාලීන සමාජය පිළිබඳ දේශපාලනය පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ දී විත්ති කතා වලට ඉහළ තැනක් ලැබෙනවා. ඒ නිසා විත්ති කතා අවතක්සේරු කරන්න මම කැමති නැහැ. ඒවාට කෙටිකතා වලට නොමැති ආකාරයේ වෙනත් වටිනාකමක් තිබෙනවා” මගේ කතාවේ සාරාංශය එබඳු විය.

එය ඒ සා කාලයක් පැවති හොඳ නරක හැම දෙයටම හොඳයි හොඳයි කීමේ පුරුද්ද බිඳ දැමූ අවස්ථාවක් වූයේ යයි මට දැන් සිතෙයි. විශේෂයෙන් ඒ වන විටත් මෙල්බන් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි වියත් ලේඛකයකුගේ නිර්මාණයක් වයස තිස් ගාණක අංකුර නිර්මාණකරුවකු අතින් ප‍්‍රහාරයකට ලක්වීම විමතියක් ඇතිකරවන සිදුවීමක් වූ බව නම් නිසැක ය. මගේ අව්‍යාජ අදහස් දැක්වීම සිනාසෙමින් අසා සිටියත් කුරුප්පු මහතා සතුටට පත් නොවූ බව මම තේරුම් ගතිමි. මා නිවැරදි බව ඔහු පසුව ඒ ගැන කළ සඳහන් වලින් හෙළි දරව් වෙයි.

”ජගත් ගේ අදහස් දැක්වීම මගේ සතුටට හේතු නොවී ය” ඔහු ඔහුගේ පොත් කීපයකම ලිව්වේය. පසු කලෙක ඔහු මට කිව් ලෙස ඒ පොත් එළිදැක්වීමෙන් පසුව ඔහු සිය පොත තවත් ලේඛක ලේඛිිකාවන් කීපදෙනෙකුටම පෙන්වා ඔවුන්ගේ අදහස් ගන්නට උත්සාහ කළේ මගේ අදහස නිෂේධ කරදමන්නට ය. එනමුදු ඒ උත්සාහය අසාර්ථක වූයේ යයි ඔහු පසු කලෙක කීවේ සිනාසෙමින් ය.

2 comments:

  1. "විප්ලවය ආවොත්" නම් මා කියවා නෑ.

    "කලු හිල සහ නරාවල" කියවා මටත් ඒවා කෙටිකතා ලෙස හිතුණේ නෑ. ඒ පොත මං ලංකාවෙන් ගත්තාද, ඩීබී කුරුප්පු මට එව්වා ද කියා නම් මතක නෑ, නමුත්, මං මගේ අදහස කියද්දී ඔහු කීවේ කිහිප දෙනෙකුම ඒ බව ඔහුට කියා ඇති බවයි.

    ReplyDelete
  2. පොත් එළිදැක්වීම් නම් දැන් තනිකර පිට කැසීම්

    ReplyDelete