Wednesday, April 13, 2016

ලංකාවේ පළමුවන විකල්ප පුවත්පත

ලංකාවේ පළමුවන විකල්ප පුවත්පත


ලංකාවෙ පළමුවෙනි විකල්ප පත්තරය හැටියට මගේ මතකයට එන්නෙ 65- 70 යූඑන්පී ආණ්ඩුව කාලෙ පළවෙච්ච බජරි හටන පත්තරයයි. කාටවත් මේ පත්තරය මතක නැතුව ඇති. ඒත් විශේෂ කාරණයක් නිසා මට ඒ පත්තරය මතකයි.

මේ පත්තරයෙ සංස්කාරකවරයා වුණේ ලයනල් සරත් නමින් ලේඛණයේ යෙදුණ ලයනල් සරත් එදිරිසිංහ. ඔහු අපේ ආච්චිගෙ පැත්තෙන් අපේ මාමා කෙනෙක් වුණා.  (අපේ සීයාත් ආච්චිත් දෙන්නම ජේ එදිරිසිංහ ලා. සීයා ජෙරොනිමස් එදිරිසිංහ පරම්පරාවෙ ආච්චි ජෝරිස් එදිරිසිංහ පරම්පරාවෙ. දෙන්නගෙම ගම නුගේගොඩ. පහුකාලෙක සමහරු මේ ”ජේ” කෑල්ල අතඇරලා දැම්මා. ජේ කෑල්ල තියෙන අන්තිම පරම්පරාව අපි. ඔය ජේ කෑල්ල නිසා ඉස්කෝලෙ කාලෙදි වෙච්ච අලකලංචි මතක්වෙන නිසා මගේ දරුවන්ට ජේ කෑල්ල නොදමන්න මම තීරණය කළා) ලයනල් සරත් මාමා ප‍්‍රසිද්ධ වාමාංශිකයෙක්. සමසමාජ කාරයෙක්. අපේ තාත්තා හිටියෙ කොමියුනිස්ට් පක්ෂයට ලැදිව.

වෘත්තියෙන් ගුරුවරයකු වුණ ලයනල් සරත් වාමාංශික ක්‍‍්‍රියාකාරිකයකුවීම නිසා යූඑන්පී රජයෙන් විශාල ලෙස බැට කෑවා. ඔහුව වරින් වර ඉතාම අසාධාරණ අන්දමින් දුෂ්කර ප‍්‍රදේශ වලට මාරු කර යැව්වා. මේ නිසාම යූඑන්පිය කෙරහි ඔහුගෙ සිතේ තිබුණ තද බල විරසකයක්. ඔහු බජරි හටන පත්තරේ පටන් ගන්නෙ මේ කාලෙ තමයි. මේ කියන කාලයේ අපේ තාත්තට යහමින් මුදල් හදල් තිබුණා. ඒ නිසාම බජරි හටන පත්තරයට තාත්තාත් මුදල් ආයෝජනය කලා. ආයෝජනයක් කීවාට ප‍්‍රතිලාභයක් බලාගෙන කළ දෙයක් නෙවෙයි.

බජරි හටන පත්තරේ හෙඞ්පීස් එක ළඟින්ම කවියක් තිබුණා.


බජරි හටන අපි දිගටම ගෙනියනවා
බජරි පාටියේ ලොක්කා රට කවා


තවත් පද දෙකක් තිබුණා. දැන් මතක නැහැ. යූඑන්පියට ඒ කාලෙ බජරි පාටිය කියලා කිව්වා.. මිනිස්සුන්ට ආහාර හිඟයට බජරි වැනි ධාන්‍ය වර්ග වලට යොමුකෙරෙන යම් බලපෑමක් තිබුණ නිසා කියලයි මගේ මතකය..

මට මතක හැටියට ජනප‍්‍රිය සිංහල සින්දු වලට වෙත් වචන යොදා හාස්‍යෝත්පාදක සින්දු නිර්මාණයේ පුරෝගාමී සේවය කළෙත් බජරි හටන තමයි. සීටී ප‍්‍රනාන්දුගෙ ඒ  කාලෙ ජනප‍්‍රිය ගීතයක් වෙච්ච ”පියුමෙහි පැණි බොති වන බමරු” ගීතයට අනුව හදලා පත්තේර් පළවෙලාතිබ්බ ගීතයක් මෙහෙමයි


පියුමෙයි පැණි බොති වන බමරු
මල මත නොරඳති කලූ දෙබරු
කාටත් පෙන්නූ දවල් තරු
බජරි ආණ්ඩුව මරේ මරු

බඩගිනි හැදුනට බත්ම නොකව්
හාල්පොත් සේරම අපට දියව්
අපි රට කන හැටි බලා සිටිව්
තොපටත් හැකි නම් එලෙස කරව්


මගේ මතකයට එන්නේ එපමණයි.


බජරි හටන අවුරුද්දක් විතර ගිහින් නැවතුණා. සිරිමා බන්ඩාරනායක 70 දි දින්නට පස්සෙ මං හිතන්නෙ. ලයනල් සරත් මාමා ලූම්බිණියෙ විදුහල්පති වුණා. ඔහු විශා‍්‍රම ගියෙත් එහිදිමයි.

මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ළඟම හිතවතෙක් වෙලා හිටිය ඔහුව මහින්ද ජනාධිපති වුණාට පස්සෙ උපදේශකවරයෙක් ලෙස පත්කරගත්තා. අර හැට හුටහමාරක් උපදේශකවරුන් අතරින් කෙනෙක්.මිය යන විටත් ඔහු හිටියෙ එම තනතුරේ.

බජරි හටන නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තය වතාවක් අපේ මහගෙදරට එන්නේ. ඒ අසූව දශකයෙදි. ඒ කතාව පස්සෙ කියන්නම්.

7 comments:

  1. දෙල්කඳ අපේ මහගෙදරට එහා ගෙදර අපේ පවුලේ ලඟම හිතවතුන් ජෝරිස් එදිරිසිංහ. රූබන් ජෝරිස් එදිරිසිංහ (අපි කිව්වේ රූබන් මාමා කියලා )ඒ කාලෙම මියගියා. එයාගේ පුත්තු අපේ බඩවැල කඩාගත්තා වගේ යාලුවෝ. නිහාල් ජෝරිස්, රන්ජිත් ජෝරිස්, ආනන්ද ජෝරිස් මියගියා. මහින්ද ජෝරිස් එදිරිසිංහ තවමත් දෙල්කඳ ඉන්නවා. Aru.

    ReplyDelete
  2. අදමයි ආවෙ.. ඔක්කොම ටික කියෝගෙන කියෝගෙන යන ගමන්...
    ජයවේවා..!!

    ReplyDelete
  3. වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ (1963 කාලයේදී) හා ඉන් පසු නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි දොන් ජෝරිස් එදිරිසිංහ මහතාත් ඔබගේ නෑදෑයෙක් වන්නට පුළුවන්.

    ReplyDelete
  4. //යූඑන්පියට ඒ කාලෙ බජරි පාටිය කියලා කිව්වෙ මිනිස්සුන්ට ආහාර හිඟයට බජරි කියන ධාන්‍යය කන්න බලකිරීමක් තිබුණ නිසයි. බජරි කිව්වෙ අස්සයන්ට කන්න දෙන ධාන්‍යයක්//

    වැරදියි. බලකිරීමක් තිබුනේ නැහැ. දෙවැනි ලෝක යුද්ධ කාලෙආහාර හිගයක් ආවා. එහි බලපෑම දිගටම තිබුන නිසා අඩුමිල විකල්ප ආහාර වර්ග හඳුන්වා දුන්නා. ඒ නිසයි බජිරි ආවේ.

    බජිරි කියන්නේ අශ්වයන්ට දෙන කෑමක් නෙවෙයි. සුරතලයට ඇතිකරන කුරුල්ලන්ට දෙන කෑමක්.

    http://www.silumina.lk/2010/04/18/_art.asp?fn=ay1004181

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිවැරදි කරන්නම්..

      Delete
  5. පත්තරයක් විකල්ප කියල හඳුන්වන්නෙ කවර පදනමකින්ද..?
    පවතින ආංඩුවට එරෙහි වීමද?
    මතවාදීව සමාජයේ සම්මත අගයන්, වටිනාකම් ප්‍රශ්න කිරීමද?
    පත්තරේ ප්‍රමාණයෙන් සම්මත පත්තර වලට වඩා වෙනස් වීමද?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete