Monday, July 24, 2017

ඩීබී සහ මම 7 - කපුටන්ට ආප්ප අරන් දීම

ඞීබී ලියන්නේ ගින්දර මෙන් උණුසුම් ලිපි ය. සමහර පුවත්පත් වලට ඒවා පළ කරන්නට තරම් දිරියක් නොතිබුණ බව ඞීබී කීවේ වරක් දෙවරක් නොවේ. ඔහු ලියූ ලිපි සියල්ලම පළ කළ එකම සංස්කාරකවරයා මා යයි ඔහු වරක් ලියා තිබුණි. සැබැවින්ම කියනවා නම් ඔහුගේ සමහර ලිපි පළ කිරීම අවදානමට අත වනනවා වැනි වැඩක් විය. එනමුදු ඒ අවදානම ගන්නට සන්නසේ අපි සූදානම්ව සිටියෙමු.


ඞීබීගේ ලිපි පළකිරීම නිසා අප කරදරයේ වැටුණේ එක අවස්ථාවක් දෙකක් නම් නොවේ. එහෙත් ඔහු ලියූ ”කපුටන්ට ආප්ප අරන් දීම” නම් ලිපිය නිසා අපට මුහුණ දෙන්නට සිදුවූ අපහසුව නම් නොලියාම නොහැකි ය. ඒ කතාවට එන්නට පෙර කිව යුතු යමක් ද වෙයි.


Sannasa
සන්නස සැමවිටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් තමන් නිවැරදි යයි අදහන දේශපාලනය වෙනුවෙනි. හැංගි හැංගී වෙස් බැඳීමක් නැත. සන්නස කිසිම දේශපාලකයකු වන්දනාමාන කරන්නේ නැත. ඒ ඒ කාලයට කළ යුතු දේ කරනවා විනා කිසිදු දේශපාලන පක්ෂයක් කරපින්නා ගත්තේ ද නැත. ඒ සමගම සන්නස සැමදාම කිවයුතු දේ කෙළින්ම කියන්නට පසුබට නොවූ ප‍්‍රකාශනයක් විය. තිස් අවුරුදු යුද්ධය අවසානයේ ශ‍්‍රී ලංකාව සම්පූර්ණයෙන් කණපිට හරවා නිවැරදි මගට ගත හැකි ශක්‍යතාව තිබූ නායකයා ලෙස අපි මහින්ද රාජපක්ෂට එළිපිට සහයෝගය දුන්නෙමු. ලිපි ලීවෙමු. නොමිලේ දැන්වීම් පළකළෙමු. ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ප‍්‍රධාන පොරොන්දුව ඇතුළුව පොරොන්දු මල්ලක් රැගෙන ආ මහින්ද ඉතා සූක්ෂම ලෙස ඒවා මගහරිමින් තමන්, තමන්ගේ පවුල සහ හෙංචයියන් ගේ සාක්කු පුරවාගැනීමේ අප‍්‍රසන්න දේශපාලනයක යෙදෙන අයුරු අප බලා සිටියේ මහත් කළකිරීමෙනි. ඒ සමගම ඝාතන සංස්කෘතියද කළ එළි බැස්සේ ය. අපි බොහෝ වාරයක් මේ ගැන සන්නසේ ලිව්වෙමු. මහින්ද ඔබ පමා නැත නිවැරදි මගට පැමිණ රට ගොඩ නගන්නැයි අපි ලිව්වෙමු. මහින්දගේ රැස් වළල්ලෙන් වශීවී නොසිට, ඔබ වැරදි පාරක යමින් සිටින්නේ යයි කියන්නට අපට ශක්තියක් විය.


මේ අතරවාරයේ ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රීලංකාවේ  මහකොමසාරිස් ලෙස හමුදා ලොක්කෙකු පත්ව එයි. අපි සන්නස වෙනුවෙන් ඔහු සමග සාකච්ඡුාවක් ද කළෙමු. මෙල්බනයට අලූතින් කොන්සල් වරයකුද පත්ව එයි.


මෙල්බන් කොන්සල් කාර්යාලය පිහිටුවීම අති විශාල මුදල් නාස්තියක් ලෙස ඞීබී දැක්කේ ය. විශාල කුලියක් ගෙවමින් මෙල්බන් නගරයේ තැනක ගොඩනැගිල්ලක් ගැනීමේ සිට කාර්යාලයට සේවකයන් ලංකාවෙන් ගෙන්වාගැනීම දක්වාම සිදුවුණ මුදල් නාස්තිය විශාල ය. ඞීබී කියූ ලෙස එය මාසයකට රුපියල් ලක්ෂ පනහක හැටක වියදමකි. ඒ මදිවාට ඔස්ටේ‍්‍රලියාවේ ම පදිංචිව සිටින ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෙල්බන් ශාඛාවේ නිලධාරියකුටද කොන්සල් කාර්යාලයේ රස්සාව දී තිබුණි. අපි ඔහුගේ නම සරත් යයි කියමු.


මේ දක්වා මෙල්බන් නගරයේ සිටියේ ගරු කොන්සල්වරයෙකි. ඔහුට නීතිමය බලතල නොතිබුණි. ඔහු සිය වියදමින් කාර්යාලයක් පවත්වාගෙන යමින් තමන්ට ලැබී තිබුණ නීතිමය වපසරිය තුළ යමක් කරමින් සිටියේ ය. ඔහු බන්දු දිසානායක ය.


ඞීබී ”කපුටන්ට ආප්ප අරන් දීම” ලිපිය සන්නස පුවත්පතට ලියන්නේ මේ අතර ය. මෙල්බන්හි කොන්සල් කාර්යාලයක් අරඹා ශ‍්‍රී ලංකා රජය කපුටන්ට ආප්ප අරන්දීම වැනි වැඩක් කරන්නේ යයි ඔහු ලිව්වේ ය. එය කුඩා ලිපියකි. මෙතැනින් කියවන්න.


ලිපිය පළ වී මාසයකට පමණ පසු කොන්සල් කාර්යාලයට අනුබද්ධව සිටි මෙල්බන් ශ‍්‍රී ලාංකිකයා ගෙන් සන්නසට දුරකතන ඇමතුමක් ලැබෙයි. නව මෙල්බන් කොන්සල්වරයා සන්නස සමග සාකච්ඡුාවක් කරන්නට කැමති බව එයින් කියැවිණි. දුරකතන පණිවුඩය ගත්තේ සන්නසේ අසෝක සුබසිංහ ය. ඔහු සාමාන්‍යයෙන් එළියට ගන්නට අපහසු හිතවතෙකි. ඒ නිසා සාකච්ඡුාව කරගෙන එන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේ ය.


කුරුප්පු මහතා සිය ලිපියෙන් කර ඇති චෝදනා පිළිබඳව කොන්සල් වරයාගේ අදහස් දැන ගැනීමට අපිද කැමති වූයෙමු. සාකච්ඡුාව සඳහා එන්නේ මා බව අසෝක සරත්ට දැන්නුවේය. සරත් වහා මට කතා කළේ ය


”ජගත්ම එන එක හොඳයි.. සිටි එකේ කොන්සල් කාර්යාලයට හරි බ්ලැක්බර්න් වල බන්දුගෙ ඔෆිස් එකට හරි එන්න”


බන්දුගේ කාර්යාලයට ඒම මට වඩා පහසුය. මම එතැන තෝරා ගතිමි. මා එන මග අතරදී සරත් නැවතත් මට දුරකතන ඇමතුමක් දෙයි.


”ජගත්.. හයි කමිෂනරුත් ඇවිත් ඉන්නවා.. එයත් කැමතියි ඔයාල එක්ක කතා කරන්න”

එය අලූත් ආරංචියකි. ඒ කීව ආකාරය මගේ සිත ගත්තේ නැත. මම වාහනයය පාරේ අයින් කර නවතා සරත්ට කතා කළෙමි.


”සරත් .. අපි ගිය මාසෙ හයි කමිෂනර්  එක්ක සාකච්ඡුාවක් කළා.. ඒ නීසා නැවත වතාවක් කතා කරන්න දෙයක් නැහැ.. සාකච්ඡුාව හයි කමිෂනර් එක්ක නං මං ආපහු හැරෙන්නම්..” මම කීවෙමි.


”නෑ .. නෑ.. ඔයා එන්නකො.. සාකච්ඡුාව කොන්සල් එකක් තමයි.. හයි කමිෂනර් නිකම් එතන ඉඳියි..” ඔහු කියයි.


මම ඉන් පැය බාගයකට පමණ පසු බන්දුගේ කාර්යාලයේ පෙනී සිටියෙමි. මහකොමසාරිස්, මෙල්බන් කොන්සල්, සරත් සහ බන්දු දිසානායක එහි විය. මා ගිය පමණින් මහ කොමසාරිස් ඉතිරිවෙද්දී අනික් සියලූම දෙනා මග හැර ගියහ. කාර්යාලයේ තිබූ දිග මේසයේ කෙළවරක මහ කොමසාරිස් වාඩි වී සිටි අතර මම ඔහුට දකුණු පසින් වාඩි වීමි.


ඉතා සුහද ලෙස කතාව ඇරඹු මහකොමසාරිස් එක් වරම හමුදා වේශය ගත්තේ ය.


”මොකද මේ අපේ ආණ්ඩුවට විරුද්ධව පත්තරේ ලිපි පළ කරනවා කියන්නෙ?” ඔහු කෙළින්ම ඇසුවේ ය.  ඒ වන විට ඔහුගේ අතේ සන්නස පුවත්පතට කුරුප්පු මහතා ලියූ ”කපුටන්ට ආප්ප අරන් දීම” ලිපියේ පිටපතක්ද විය.


”මේ රටේ අදහස් ප‍්‍රකාශනයට නිදහස තියෙනවනෙ.. ඒ නිසා යම් දෙයක් ගැන කෙනෙක් යම් මතයක් ලිව්වම අපි ඒක සුදුසු නම් පළ කරනවා..” මම කියන්නට පටන් ගතිමි..


මහකොමසාරිස්ව සිටින හමුදා ලොක්කා අත එසෙව්වේ ය.


”කතා කරන්න අවශ්‍ය නැහැ.. මෙතන කතා කරන්නෙ මම විතරයි.. ඔයාට තියෙන්නෙ අහගෙන ඉන්න විතරයි.. තේරුණාද..?” ඔහු දැඩි ස්වරයෙන් කියයි. මම තුෂ්නිම්තභූව බලා සිටිමි.


”මුන්ගෙ රෙද්දෙ නිදහස.. මුන් කෙළවගන්නෙත් මේ මීඩියා ෆ‍්‍රීඩම් එකෙන් තමයි..” ඔහු පැයක් පමණ වූ දීර්ඝ දේශනය පටන් ගත්තේ එසේ ය.


රාජපක්ෂ යනු දේවතාවකු වැනි මිනිසකු බවත් ඔහුට එරෙහි කිසිවක් පුවත්පත් වල පළ විය යුතු නැති බවත් ඔහු කීවේ ය.


”අපි කොන්සල් කාර්යාල පටන් ගන්නෙ අපිට  ඕනෙ විදිහට.. අපි ඒවට දාන්නෙ අපිට  ඕනෙ මිනිස්සුු.. අපිට පක්ෂ මිනිස්සු..  නැතුව සරත් ෆොන්සේකා දාන්න කියලද අපිට කියන්නෙ?”  ඔහු ඇසුවේය. මෙතැනට සරත් ෆොන්සේකා නම කොහෙන් ආවාදැයි අදත් මට නොවැටහෙයි. සමහර විට කවුරු හරි එවැනි ලනුවක් ඔහුට දී තිබෙන්නට ඇත.


”මොකාද මේ ඞීබී කුරුප්පු කියන්නෙ? මොනාද මේ මිනිහ මේ ලියන්නෙ?”


”අපි මේ කොන්සල් කාර්යාල පටන්ගන්නෙ ඉතා හොඳට කල්පනා කරලා.. ලොකු අරමුණු ඇතිව. එහෙම නැතුව මෙහෙ ඉන්න එවුන් රැ තිස්සෙ පාටි වලට ගහින් ගෙදර ඇවිත් පාස්පෝට් එක පිටින් කලිසම වොෂින් මැෂින් එකේ දාලා ඒක විනාස කරගත්තම උන්ට අලූත් පාස් පෝට් අරන් දෙන්න නෙවෙයි. අපි මේ කොන්සල් කාර්යාල දාල තියෙන්නෙ කොටින්ට උත්තර දෙන්න. අපේ ආණ්ඩුවට විරුද්ධව ලියල මේ පත්තර කරන්නෙ කොටින්ට සපෝට් කරන එක. නමුසෙල ලියන්න  ඕනෙ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපාර ගැන. ආණ්ඩුවෙන් කෙරෙන හොඳ වැඩ ගැන. මේ විදිහට දිගටම ලියන්න ගියොත් අපි නිකං ඉන්නෙ නැහැ.. ඒ ගැන පියවරක් ගන්න වෙනවා..”


ඔහු පැයක් පමණ කළ කතාවේ සාරාංශය එය විය.


කතාවේ අවසාන කොටසේ දී බන්දු දිසානායකද කාමරයට ආවේ ය. ඔහු ඞීබී කුරුප්පු මහතාගේ අතිජාත මිත‍්‍රයාය. කුරුප්පු මහතාට හමුදා ලොක්කා කරමින් සිටින අපහාසය විඳදරා ගන්නට ඔහුට නොහැකි වන්නට ඇත


”මෙහෙමයි (හමුදා ලොක්කාගේ නම) .. ඞීබී කියන්නෙ ලංකාවෙම ප‍්‍රසිද්ධ ප‍්‍රවීණ ලේඛකයෙක්.. ඉතා ඉහළ සාහිත්‍ය දැණුමක් තියෙන ලේඛකයෙක්..” බන්දු කීවේ ය.


”ඌ සාහිත්‍ය කාරයෙක් නං සාහිත්‍යය ලියාගෙන ඉන්ඩ කියන්ඩ.. දේශපාලනය ගැන කතා කරන්න එන්නැතුව.. දේශපාලනේ අපි කරගන්නං.. උන්ට තියෙන්නෙ සාහිත්‍යය ලියන්න.. නවකතා ලියන්න...”


ඔහු කතාව අවසන් කරන විට මේතාක් කාලයක් මගහැරගොස් සිටි පිරිසද පැමිණියහ.


”මිස්ටර් .......... දැන් අපි මොකක් කරන්න  ඕනෙ කියලද කියන්නෙ.. කුරුප්පු මහත්තයගෙ ලිපියෙ තියෙන කරුණු වැරදි නම් ඒ බව දන්වල පැහැදිලි කිරීමක් එව්වොත් අපට ඒක පළ කරන්න පුලූවන්..” මම කීවෙමි.


”අපි මොකටද පැහැදිළි කිරීම් එවන්නෙ.. මේ ලිපිය ගැන සමාව ඉල්ලලා ලිපියක් වහාම දාන්න  ඕනෙ..” ඉන්පසු ඔහු කොන්සල් දෙසට හැරුනේ ය ”... මේ ගැන කිසිම දෙයක් ලියන්න අවශ්‍ය නැහැ ..ඒ ගොල්ලො වැරැුද්ද කළා නම් ඒගොල්ලො ඒක හදන්න  ඕනෙ..”


”එහෙමයි සර්.. සර් කියන දෙයක් තමයි අපි කරන්නෙ..” එහෙම කිව්වේ සරත් ය.


ඉන්පසු මහ කොමසාරිස්ව සිටින හමුදා නිලධාරියා මදෙසට හැරුණේය.


”ළබන මාසෙම පත්තරේ නිවැරදි කිරීමක් දාන්න  ඕනෙ..” ඔහු ඉංගිරිසියෙන් නියෝග කළේ ය.


”මට කරන්න පුලුවන් එක දෙයයි.. මම දැන් මිස්ටර් ........... ගෙ පණිවුඩය සන්නසේ සංස්කාරකට පාස් කරන්නම්.. මොකද මම මේ පත්තරේ සංස්කාරක නෙවෙයි. උපදේශක සංස්කාරක විතරයි. සංස්කාරක තීරණය කරයි කළ යුතු දේ..” මම ඉංග‍්‍රීසියෙන් උත්තර දුන්නෙමි.


මහකොමසාරිස්ට අසූ හාරදාහට කේන්තිගියේ ය. ඔහු සරත් දෙසට හැරුණේ ය.


”මොකක්ද  ඕයි තමුසෙ මේ කළ වැඬේ.. මං කිව්වේ එඩිටර් ගේන්න කියල නේද?” ඔහු කෑගැසුවේ ය.


”මේ සර්... නෑ සර්.. ජගත් තමයි මේකෙ එඩිටර්..” සරත් ගොත  ගැසුවේ ය. (ඒකාලේ මා සන්නස සංස්කාරක ධුරයෙන් ඉවත් වී සිටි බවත් සන්නස කණ්ඩායමේ ඉල්ලීම පරිදි උපදේශක සංස්කාරක ලෙස ගරු තරතුරක් දරමින් සිටි බවත් ඔහු නොදැන සිටින්නට ඇත)


සරත් තව මොන මොනවාදෝ කියමින් මහ කොමසාරිස් ඉඳිරියේ වැඳ වැටෙමින් සිටියදී මම එතැනින් පිටව ආවෙමි.


ලංකාවෙන් පිටත ප‍්‍රකාශයට පත්වන සන්නස වැනි කුඩා ප‍්‍රකාශනයක පළ වූ කුඩා ලිපියක් සම්බන්ධයෙන් මේ තරම් තර්ජනයක් විඳින්නට අපට සිදුවුණා නම් ලංකාවේ පුවත්පත් මේ යුගයේ කොයි තරම් පීඩනයකින් සිටිනවා ඇතිද යන්න ඒ එන අතරේ මගේ සිතට ආ පැනය විය.


රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් යම්තම් හෝ ලිහිලක් අපේ සිතේ වී නම් එදා ඒ මොහොතේ එය අපි ඉවත් කර ගත්තෙමු.


කුරුප්පු මහතාට ඇති තරම් අපහාස කළ ඒ හමුදා නිලධාරියා අතින් අතීතයේ දිනෙක කුරුප්පු මහතාට සම්මානයක් දුන් ආකාරය මහත් උත්කර්ශයට නංවා කුරුප්පු මහතාගේ අවමල්‍යයේදී කියවෙනු අසා මම කම්පාවට පත්වුණෙමි. ඒ සම්මානය දුන් හමුදාකාරයාම කුරුප්පු මහතාට කළ අපහාස උපහාස කාට අමතක කළ හැකි වුවත් මට අමතක නොවෙයි. හොඳ වේලාවට කුරුප්පු මහත්තයා සිටියේ අර පෙට්ටියේ වැතිරිලාය. යත්නම් පණක් තිබුනා නම් ඒ කතාව කියූ අයට හොඳවායින් දෙකක් අහගන්නට සිදුවෙන බව මට සහතික ය.



පසු සටහන

සන්නසට තර්ජනය කළ හමුදා ලොක්කා මෛත‍්‍රී රජය පත්වූ වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලදී . තමන්ගේ සහෝදර ප‍්‍රකාශනයකට හමුදාකාරයකු තර්ජනය කිරීම මෙල්බන් නුවර කිසිදු ප‍්‍රකාශනයකට වැදගක් කරුණක් නොවූූයේ ය. ඒ ගැන අපෙන් විමසන්නට තරම්වත් මාධ්‍ය සහයෝගයක් තිබුනේ චරිත දිසානායක හා සාලිය ගලප්පත්ති යන මාධ්‍යකරුවන් දෙදෙනාට පමණකි.  යහපාලන ආණ්ඩුව පත්වූවාට පසුවත් අර හමුදා ලොක්කා ඔස්ටේ‍්‍රලියාවේම තියාගන්නට පෙත්සම් අත්සන් කරන්නට තැත් කළ පිරිසක්ද වූහ. මේ සමාජයේ කිසිවකුට අනෙකකුට සිදුවන වේදනාව දැනෙන්නේ නැත. දැනෙන්නට නම් තමන්ගේ කම්මුලටම පහර වැදෙන්නටම  ඕනෑ ය. 


මේ සිදුවීම සම්බන්ධයෙන් යමක් ලියූ එකම ලේඛකයා වන රසික සූරියආරච්චි ලියූ බ්ලොග් සටහන් 

1. තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් - All them kings men (and women)!

2. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist




16 comments:

  1. ජගත් එතැන පැයක් හිටිය බව මට නම් ලොකු ප්‍රවෘත්තියක්! ඇයි ඒ?

    අනික ජගත් ඇයි ඔය ගැන පොලිසියට පැමිණිලි නොකළේ?

    අවශ්‍ය වුනොත් සන්නස පත්තර මිටි පිටන් කඩවලින් අරගෙන ගිනි තියනවා කියා තර්ජනය කළා ද?

    ReplyDelete
    Replies
    1. මම කළයුත්තක් සිතා ගන්නට නොහැකිව තුෂ්නිම්භූතව බලාගෙන සිටියා. මෙහෙම දෙයක් මං බලාපොරොත්තුවුණේම නැහැ.. සරත් කියන්නෙ ඩීබී අංකල් අපි ඔක්කොම හොඳට දන්න අඳුනන මිනිහෙක්. ඒ මිනිහ පක්ෂ දේශපාලනය කරට අරගෙන මෙහෙම දෙයක් කරයි කියල අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ..

      පොලීසියට පැමිනිලි කලා නම් මේක මහ විශාල ප‍්‍රශ්නයක් වෙන්න තිබුණා. විදේශ තානාපති සේවයේ නිලධාරියෙක් ඔස්ටේ‍්‍රලියාවේ නිදහස් පුවත්පතකට තර්ජනය කළාය කියන එක ලොකු ඊෂූ එකක් වෙනවා.. අනික ඒ කාලයේ රාජපක්ෂ ආණ්ඩුවට අන්තර්ජාතිකව තිබුණෙ ඉතා පහත් පි’ළිගැනීමක්. මේ වගේ ප‍්‍රවෘත්තියකින් අපේ රටට තවත් අපකීර්තියක් වෙන්න පුලුවන් කියන මතය ඉදිරිපත් වුණා.. තවත් බොහෝ දේ සාකච්ඡුා වුණා.. දන්නවනෙ ඒ කාලෙ ගැන.. අමුතුවෙන් කියන්න ඔ්නෙ නැහැනෙ.. :)

      Delete
  2. මේ සිදුවීම සම්බන්ධයෙන් යමක් ලියූ එකම ලේඛකයා වන රසික සූරියආරච්චි....

    ජගත් අයියේ මෙයා ඔසී රටේ චන්ඩි පොරක්ද ? නැතිනම් බජාර් එකේ හොඳ කරෙක් ද

    ReplyDelete
    Replies
    1. රසික කියන්නෙ ඉතිහාසගතවෙන පොරක් තමයි... :)

      Delete
    2. සිඩ්නි හන්දියට ඇවිල්ලා ඕනැ කෙනෙකුගෙන් අහන්න රසික බොස් ගැන.
      බජාරෙකම සලිත වෙනව නම ඇහුණම!

      Delete
  3. ඕකට සම් බන්ධ නිලධාරියා තිසර (පට) සමරසිංහ නේ ඇයි කෙලින්ම නම කියලා ලියන්නේ නැත්තේ සත්‍ය සිදුවීමක් ගැන ?

    ReplyDelete
    Replies
    1. ඒකයි මා ලියූ ලිපිවල මාතෘකා මෙතන දැම්මේ.

      ඒ විතරක් නොවෙයි, සරත් යනු කවුද කියාත් ලියා නෑ!

      Delete
  4. හමුදා තානපතිවරයා ගැන කියන කොටම මේ තිසර බව වැටහුණා.රසිකගේ ලිපි දෙකම කියවා තිබෙනවා.
    දැන් උනත් තානාපති පත් කිරීම්වල ලොකු වෙනසක් නැහැ.ඉස්සර මිලිටරි තානාපතිලා වෙනුවට දැන් ජෝකර්ලවත් තානාපති සේවයට යවා තිබෙනවා.හොඳම උදාහරණයක් තමයි කටාරයේ තානාපති වශයෙන් පත් කර ඇති කලින් මහින්ද රජයේ නයිජිරියානු තානාපතිව සිටි ඒ.එස්.පි ලියනගේ.කාටර්වල ලාංකිකයන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා.විශාල විදේශ විනිමයක් ඒ ශ්‍රමිකයන් ඔස්සේ මෙරටට එනවා.එත් එහෙම තැනක ඉන්න තානාපති විහිළු කාරයෙක්.

    ReplyDelete
  5. මගේ ලිපියේ මෙසේ සඳහන් ය.

    /* ඒ තර්ජනය කිරීම ගැන තමන් එදා වික්ටෝරියානු පොලීසියට පැමිණිලි නොකලේ එමගින් පොදුවේ ශ්‍රී ලංකාවට යම් අගරුවක් සිදුවේ යැයි සිතා බවත්, නමුත් මේ වන විට තිසර සමරසිංහගේ පත්වීම අවලංගු කරන නියෝගයක් නිකුත් කර ඇතැයි ප්‍රවෘත්තියක් ඇති මෙහොතේ එසේ නොකරන්න යැයි පෙත්සමක් අත්සන් කිරීමක් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සිදුවෙමින් පවතින නිසා තව දුරටත් නිහඬව නොසිටීමට සිතූ බවත්, සන්නස ඩොට් නෙට් පුවතින් ජගත් ජේ එදිරිසිංහ වැඩි දුරටත් පවසා ඇත.

    ජගත් ඒ පුවත් විශ්ලේෂණය අවසන් කරන්නේ මේ වැකියෙනි.

    "රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිව්ල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

    -රසිකොලොජිස්ට්

    ප/ලි:
    මෙන්න ඒ පුවතට දිගුව නැවතත්.
    http://www.sannasa.net/sinhala/?p=3400

    */

    ජගත් ඔබ ලියූ

    "රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිව්ල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

    යන වැදගත් වැකිය ඇති ඒ sannasa.net ලිපිය දැන් කෝ?

    ReplyDelete
    Replies
    1. වෙබ් අඩවියට සිදුවු හැකරු ප‍්‍රහාරයෙන් පසුව අලුත්වැඩියාවේදී එම පැරණි ප‍්‍රවෘත්ති සහිත දත්ත ගඩබාව අපට අහිමි වුණා..

      Delete
    2. I found it republished in LankaeNews

      මරාවාදී තිසර ඕස්ට්‍රේලියාවෙන් පන්නා දමනවා මිස තියාගන්න පෙත්සම් අත්සන් එකතු කරන්න පිස්සුද?

      (ලංකා ඊ නිව්ස් -2015.ජන.31, ප.ව.5.25) ඕස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරමින් සිටි තිසර සමරසිංහ රාජ්‍ය තාන්ත‍්‍රිකයකුට වඩා දේශපාලන ගැත්තකු ලෙස සේවය කළ බව නොදන්නා මරාවාදීන් පිරිසක් තිසර ඕස්ට්‍රේලියාවේම තබා ගැනීම සඳහා පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

      දැඩි මරාවාදියකු ලෙස හා මෛත‍්‍රී විරෝධියකු ලෙස ප‍්‍රසිද්ධියේ කටයුතු කළ තිසර වෙනුවෙන් මේ හඬා වැටීම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආරක්ෂාකර ගැනීම සඳහා කළ හඬා වැටීමේම තවත් එක් ජවනිකාවකි .

      තිසර කෙතරම් මරාවාදියකුද යන්න දන්නේ ඔහුගේ සැඟවුණ ක‍්‍රියාකාරකම් දන්නා අයයි. ඕස්ටේ‍්‍රලියාවේ සිට පළවන සන්නස පුවත්පතේ මහින්ද රාජපක්ෂ රජය විවේචනය කරන ලිපියක් පළවූවා යයි කියමින් එම පුවත්පතට තර්ජන කළේ වෙන කිසිවකු නොව මේ තිසර සමරසිංහ ය. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අබමල් රේණුවක හෝ තැකීමක් නැති මේ හමුදා නිළධාරීයාගේ තර්ජනය පිළිබඳ සන්නස පිරිවර ඕස්ටේ‍්‍රලියා පොලිසියට පැමිණිළි නොකළේ ශ‍්‍රී ලංකා රජයට එයින් අන්තර්ජාතිකව සිදුවන අපකීර්තිය සැළකිල්ලට ගනිමින් ය.

      අභ්‍යන්තර තොරතුරු නොදන්නා ශ‍්‍රී ලාංකිකයන් මුළා කරමින් ගෙනයන මේ පෙත්සම් ව්‍යාපාරය පිළිබඳව දැනටමත් ශ‍්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බැවින් මහින්ද අකුලාගෙන ගියා සේම තිසරටද අකුලාගෙන යාමට සිදුවීම නොවැළැක්විය හැකිය.

      මහින්ද ගෙදර ගිය විට රට ගෙනියන්නට කෙනෙක් නැතැයි හඬා වැටුණ පිරිසට මහින්දගෙන් පසුවත් රට ගෙනයන්නට දක්ෂයින් සිටින බව දැන්වත් පෙනීයනු ඇත. තිසරගෙන් පසුවද තවත් දක්ෂ සුදුසුකම් ලත් සිවිල් රාජ්‍යතාන්ත‍්‍රිකයන් මහකොමසාරිස්වරුන් ලෙස පත්වී එනු ඇත. රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිවිල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ.

      -ජගත්-

      http://lankaenews.com/news/1241/si

      !!!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete