අපේ පවුලේ දරුවන් පස් දෙනෙකි. වැඩිමලා අක්කා වන විට දෙවෙනියා අයියා විය. මම මද්දුමයා වෙමි. මගෙන් පසු ඉන්නේ මල්ලි ය. බාලයා නංගි ය. අක්කෙක් අයියෙක් මල්ලියෙක් සහ නංගියෙක් ලද මා වාසනාවන්තයෙකැයි නොසිතන්නට හේතුවක් නැත.
අද කාලයේ දරුවකු දෙදෙනකු හදන්නට දෙමාපියන් දරන වෑයම දකින විට දරුවන් පස් දෙනකු හදා වඩා ලොකු මහත් කරන්නට අපේ දෙමාපියන්ට යෝධ ශක්තිය තිබෙන්නට ඇතැයි සිතිය යුතු නැත. මට හිතෙන හැටියට ඒ කාලේ දෙමාපියන් දැන් කාලයේ වාගේ දරුවන් ගොඩනැගීම සිය ජීවිතයේ එකම ප්‍රොජෙක්ට් එක කර ගත්තේ නැති වීම මේ සියල්ල පිටුපස ඇති රහසයි.
ඒ කාලයේ එසේ කරන්නට අවශ්‍ය පරිසරය සමාජය විසින් සකස් ලැබ තිබුණ බවද අප අමතක කළ යුතු නැත.
තාත්තා මහත් වැර වෑයමින් සිය රැුකියාව හා ව්‍යාපාර කරගෙන ගියේය. ඔහුට අපේ පස්සෙන් දුවන්නට කිසිදු ඉඩක් තිබෙන බවක් අපටද නොපෙනුණි. පසු කලෙක ව්‍යාපාර වසා දමා රැුකියාව පමණක් (තාත්තා විශ‍්‍රාම යන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බැංකු කළමණාකාරවරයකු ලෙස ය) කරන කාලයේ පවා ඔහු අප ගැන සොයා බලමින් සිටි බවක් කිසි දිනෙක මම නොදුටුවෙමි.
ඔහු අපට ආදරය පෙන්නුවේ නැත. එහෙත් ආදරය හිත යට තිබෙන්නට ඇත. ඔහු යන්තමින් හෝ ප‍්‍රදර්ශනාත්මකව ආදරයක් පෙන්නුවේ අක්කාට පමණකි. එයද හුරතල් කිරීම් මගින් නොවේ. ”මැණීකේ” යන ආදර වදනකින් ඇය අමතමිනි. අපට අපේ තාත්තා පෙනුණේ ගලක් මෙන් තද මිනිසකු හැටියටය. ඉතා ඉක්මණින් කිපෙන තාත්තා ගෙදර නොසිටින විට අපට රජ මගුල් විය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිහිටුවන්නට පෙර තිබූ ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ දිස්ත‍්‍රික් පරිපාලකයකු ලෙස ඔහු සේවය කරන කාලයේ ඔහු බොහෝ විට සිටියේ නිවසින් බැහැරවය. විවිධ ප‍්‍රදේශ වල කච්චේරි හා සම්බන්ධව තිබූ ඒ ව්‍යාපාරයේ කටයුතු නිසා ඔහුට විවිධ පළාත් වලට යන්නට සිදුව තිබූ හෙයිනි. ව්‍යාපාරයේ අවසන් කාලයේ ඔහු සිටියේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බව මට මතකය.
ගෙදර සිටින දිනවල උදේ පිටව යන්නට පෙර ඔහු අපට වැඩ පවරයි.
”අද පොල් අල්ලි දෙකක් උදළු ගාලා තියන්න ඕනෙ”
” ඕවිටේ පාත්තිවල වල් පැල ගලවලා දාන්න ඕනෙ”
හවසට එනවිට ඒ කාරිය කෙරී නොතිබුණොත් ගුටි මුරයකි.
ඔහුම අපට ගෙනැවිත් දී තිබු ආනයනිත අපූරු විකට් කණු හයත් ක‍්‍රිකට් පිත්තත් පොල් ගසක ගසා කඩා දැම්මේ එහෙම දවසකය.
මගේ ජීවිත කාලයේදී ඔහු මට කියා දුන්නේ එකම එක කතාවකි. කිසිදාක අමතක නොවන ඒ සුන්දර මොහොත මගේ මතකයේ ඇඳී ඇත්තේ සුන්දර සිහිනයක් සේ ය. එක්තරා දිනෙක සවසක ඔහු මා ළඟින් වාඩි කරවාගෙන සය වරක් පැරදී පළා ගොස් සත්වෙනි වතාවේ යුද්ධ කර ජයගත් සෙනෙවියා පිළිබඳ කතාව කියා දුන්නේ ය. එවන් වාසනාවක් ලද අපේ පවුලේ එකම දරුවා මා පමණක් වන්නට ඇතැයි මට සිතෙයි.
තාත්තා ඒ කතාව මටම කියා දුන්නේ අනාගතය මනසින් දැක වන්නට ඇතැයි මට දැන් සිතෙයි. අධ්‍යාපනය අතින් අද මා යම් තැනක සිටිනවා නම් ඒ පිටුපස ඇත්තේ සටනින් පැරදී අධෛර්යයට පත් නොවූ සෙන්පතියාගේ කතාවයි.
තාත්තා අප ගැන ඒ හැටි සොයා නොබැලූ දරදඬු රළු මිනිසකු ය යන්න කුඩා කාලයේ අපේ පිළිගැනීම හා අවබෝධය විය.
වසර හතරකට පෙර අම්මා අප හැර ගිය පසු ගේ දොර අස්පස් කරද්දී මට ඝණ කවරයකින් සමන්විත නෝට් පොතක් හමුවිය. එය තාත්තා අවුරුදු ගණනාවක් පවත්වාගෙන ගිය පොතකි. තාත්තා පිළිබඳව නැවත සිතන්නට ඒ නෝට් පොත මගේ සිත විවර කළේය.
මම එහි තාත්තා ඉංග‍්‍රීසියෙන් ලියා ඇති සටහන් කියවන්නට පටන් ගත්තෙමි. මගේ සිතේ ඇති වන්නේ මහත් විමතියකි.
අජිතා උඩහමුල්ලේ විජයාරාම මහා විද්‍යලයට ඇතුල් කළ දිනය........
කුමාර විද්‍යාකරයට ගිය දිනය....
ජගත් තලපත්පිටියේ පාසලට ඇතුල් කළ දිනය....
කුමාර ගේ සමාන්‍ය පෙළ ප‍්‍රතිඵලය.....
කුමාර නාලන්දාවට ඇතුල් කළ දිනය....
අජිතා බෞද්ධ කාන්තා විද්‍යාලයට ඇතුල් කළ දිනය....
ජගත් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් කළ දිනය...
ජගත් කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුල් කළ දිනය
මංගල ගේ ජාපොඅසප ප‍්‍රතිඵලය...
බුද්ධිකා ගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල .....
අප පස් දෙනාගේ ජීවිත වල සියලූ කඩඉම් පිළිබඳ සටහන් තාත්තාගේ නෝට් පොතේ සටහන්ව තිබුණි. මේ සටහන් කියා දෙන සත්‍යය නම් අප තාත්තා ගැන දැන සිටි ප‍්‍රමාණය ඉතා අල්පයකි යන්න ය.
අප තරුණ වියට එළැඹෙන තෙක්ම තාත්තා ඈතින් සිට අප දෙස කෙතරම් නිරීක්ෂණාත්මක බැල්මක් යොමා සිටියාද යන්න දැන් මට පැහැදිළිව වැටහෙයි. අප පස් දෙනාගේ ජීවිත වල සෑම වැදගත් අවස්ථාවක්ම තාත්තා අතපසු නොකර සිය පොතේ ලියා තිබුණේ සිය වගකීම මැනැවින් තේරුම් ගත් මිනිසකු ලෙස නොවේද? ඔහු අප පිටුපසින් අපට නොපෙනී යෝධයකු සේ අප ආවරණය කරගෙන සිටි ආකාරය දැන් මට මවා ගත හැකිය.
මම තාත්තාගේ සටහන් පොත තිබූ තැනම තබා ආපසු හැරුණෙමි. වෙනදාට වඩා වැඩි බරක් මගේ හිස මත තබා ඇති බවක් දැන් මට දැනෙයි.
අපේ කාලයේ තාත්තලාගේ ආදරය සැඟවුණ එකකි. එය දැන් කාලයේ අප අපේ දරුවනට පෙන්නන සිල්ලර ආදරයට වඩා බොහෝ වටියි.