Saturday, June 8, 2019

අතීතයෙන් බිඳක්.....

මේ සටහන කිසිවකුටවත් ප‍්‍රයෝජනයක් වෙන සටහනක් යයි නොසිතමි. ප‍්‍රයෝජනයක් ඇත්තේ මට පමණක් යයිද සිතමි. කමත්වා...

පසුගිය දිනෙක ගෙදර අස්පස් කරද්දී රාක්කයක තිබූ පරණ සමරු කලාප රැසක් හමුවිය. ඒ මා අතින් මෙල්බනයේදී නිමැවුණ සමරු කලාප අතරින් කොටසකි. ඉතිරිව ඇති සමරු කළාප පිටකවර කීපය මේ සටහනට එක් කර තබන්නේ සංරක්ෂණය සඳහා ය. මගේ මතු ප‍්‍රයෝජනය සඳහා ය.






















































































Friday, June 7, 2019

පුරෝගාමියකු පිළිබඳ මිහිරි මතක ය ඔස්සේ.....

මේ කතාව මෙල්බනයට සම්බන්ධ කතාවක් වුවද ආරම්භ කළ යුතු වන්නේ ලංකාවෙන් ය. අවුරුද්ද 1999 ය. මගේ පළමු කෙටිකතා සංග‍්‍රහය වූ ”කන්ද උඩ මාළිගාව” කොට්ටාවේ පිහිටි, රෝලන්ඞ් අබේපාල මහතාගේ සාර ප‍්‍රකාශන ආයතනයේ මුද්‍රණය වෙමින් තිබුණි. එහි ප‍්‍රගතිය පිලිබඳව සොයා බලන්නට කොට්ටාවට ගිය සවසකි මේ.


”අපි යමු පිට කවරෙ හදන තැනට” රෝලන්ඞ් අබේපාල මහතා මා ද කැටුව එක්තරා තරුණයකු ගේ නිවසට ගියේ ය. තරුණයා සිය පරිගණකයේ ෆොටෝෂොප් මෘදුකාංගය ක‍්‍රියාත්මක කර තමා නිමවමින් සිටි මගේ කෙටිකතා පොතේ පිටකවරය අපට පෙන්නුවේ ය. අබේපාල මහතා එහි යම් යම් වෙනස්කම් කීපයක් කරන්නට උපදෙස් දුන් අතර තරුණයා අදාල වෙනස් කම් අප ඉදිරියේදීම කළේ ය. මා එදා ආපසු ආවේ ෆොටෝෂොප් පිළිබඳ ඇතිකරගත් මහත් ඇල්මක් ඇතිව ය.


ලංකාවේ සිටියදීම මම පරිගණයකට පෙම් බැඳගත්තෙක්මි. එනිසාම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන අතරතුරදී එන්අයිබීඑම් ආයතනයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ කෙටි පාඨමාලාවක්ද හැදෑරුවෙමි. ඒ කාලයේ පරිගණකයක් අතපත ගාන්නටවත් ඉඩක් ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට ය.


ලංකාවෙන් පිටව එන විට ඒ කාලයේ හැටියට විශාල මුදලක් වියදම් කර තිබස් නමින් වූ පරිගණකයේ සිංහලෙන් ලියන අකුරු කට්ටලය මිලට ගෙන ආවෙමි. ඒ 1997 දී ය. එදා සිට අද දක්වා මා සිංහලෙන් ලියන්නේ පරිගණකයේ ය. ඉතින් 1999 දී ෆොටෝෂොප් වැඩසටහනට පෙම්බැඳගැනීම අහම්බයක්ම වූයේ නැත. එයින් පසු මගේ දෙවන කෘතිය වූ ”සිසිරයේ පිපුණ මල” කාව්‍ය සංග‍්‍රහයේ පිටකවරය මම ම නිර්මාණය කර ගතිමි. එය ඉතා ආධුනික නිර්මාණයක් බව අද මට පෙනෙයි. එය වෙනම කතාවකි. එතැන් සිට මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු කරද්දී මගේ ෆොටෝෂොප් දැණුම මුවහත් කරගන්නට වෙහෙසුණෙමි. මේ සියල්ල බලා සිටි මෙල්බනයේ ප‍්‍රවීණ ගායකයකු ලෙස නමක් දිනා සිටින රෝහණ කරුණාරත්න සොහොයුරා ”විහඟ සර” නම් වූ සිය ඒක පුද්ගල ප‍්‍රසංගයේ සමරු කලාපය සහ ”මල් යහනේ” සංගත තැටි කවරය නිර්මාණය කරන්නට මට බාර දුන්නේ ය. එය මා මෙල්බනයේදී නිම කළ ප‍්‍රථම සමරුවයි. ඒ කාලය හරියාකාර සිංහල පරිගණක අකුරක්වත් නොතිබුණ යුයගක් විය. ”මල් යහනේ” අකුරු මම අතින් ඇඳගත් අතර බොහෝ අපහසුතා මැද බාරගත් කටයුත්ත නිම කළෙමි.


මේ අතරතුර දී රෝහණ අපූරු යෝජනාවක් කළේ ය.

”මං කැමතියි මත් ද්‍රව්‍ය උවදුර ගැන කවි පෙළක් ගායනා කරන්න.. ජගත්ට පුලූවන්ද ඒක ලියල දෙන්න?”

මම සතියකට පමණ පසු රෝහණට මගේ කවි පෙළ ලබා දුන්නෙමි.

තුමුල කඳු සිරස පායන හිරු නුඹය
උදුල රන් කිරණ විසුලණ සඳ නුඹය
දිදුල මුතු සිහින විසි කෙරුවේ නුඹය
සසළ සිත නිසළ කර ගත යුතු නුඹය


මුල් කවිය එසේ වූ ඒ කවි පන්තියේ කවි 4 ක් වූ අතර එයින් තුනක් තෝරාගන්නා ලෙස මම ඔහුට කීවෙමි.


”එකක්වත් අහක දාන්න බෑ.. මම 4ම කියනවා” රෝහණ කීවේ ය.


”තුමුල කඳු සිරස නමින්” ආරම්භ වන මේ කවි පෙළට තනුවක් නිර්මාණය කළේ එදා සිට මෙල්බනයේ නමක් දිනූ සංගීතඥයකු වන කැමරන් කොළඹගේ ය. එය මා ලියා පටිගත කළ පළමු ගීතය වූවා පමණක් නොව කැමරන් මෙල්බන් ගායකයකු වෙනුවෙන් නිර්මාණය කළ පළමු සංගීත නිර්මාණය ද විය. අනෙක් අතින් එය සියයට සීයක්ම මෙල්බනයේ නිපදවුණ පළමු ගීතය හෝ පළමු ගීත කීපයෙන් එකක් වූ බවද මට මතක ය.


ගීතය මෙතැනින් අසන්න...


එදා රෝහණගේ ”විහඟසර” ප‍්‍රසංගයේදී රෝහණ පළමු වතාවට ඒ ගීතය ගායනා කළේ ය. එකළ ඉතා ගැටවර වියේ සිටි කළිඳු වීරසිංහ සොයුරා ඒ වේදිකාවේ දී වාදනයෙන් සහ ගායනයෙන් රෝහණ සමගින් ඒ ගීතය රසවත් කළ හැටි මගේ මතකයෙන් කිසිදා බැහැර නොයයි.


මේ වැල්වටාරම් සහිත කතන්දරය මගේ සිතට ආවේ පසුගිය අපේ‍්‍රල් 28 වන දා Rivergum Performing Art Center ශාලාවේදී කැමරන් කොළඹගේ සංගීතඥයාගේ නිර්මාණ ඇතුළත් ”දසමස ඔබ මා” ප‍්‍රසංගය නරඹමින් සිටිය දී ය. ඒ ප‍්‍රසංගයේදී මගේ ”තුමුල කඳු සිරස” ගීතය ගායනා වන බව මම එතැනට යන තෙක්ම නොදැන සිටියෙමි. දශක දෙකක පමණ වන අතීතය කෙතරම් සොඳුරුදැයි මම එදා ඒ ශාලාවේ වාඩි වී සිතමින් සිටියෙමි.


දශක දෙකක් ඉක්මවන මෙල්බන් ජීවිතයේ බොහෝ රස පිරුණ තැන් ගැන නැවත ස්මරණය කරන්නට ඇවැසි තරම් සහයක් කැමරන් ගේ ප‍්‍රසංගයේදී ලද බව සටහන් කර තැබිය යුතුය. ඔහු එදා ඉදරිපත් කළ ගී නිර්මාණ බොහෝ ගණනක උත්පත්තිය පිළිබඳ මතකයක් මට ඇත. රෝහණ කරුණාරත්න, නාලක වීරකෝන්, වාසනා වීරකෝන්, ක‍්‍රිස්ටි අමරනාත්, සිල්වානා කොළඹගේ, රුක්මන් විමලසූරිය, අසුන්තා කරුණාරත්න, හේමන්ත ඩයස්, දිනෙල්කා දර්ශණ,ී පුෂ්පා තිසේරා, තුසිත කුලසේකර, නන්දන ඇතුලත්මුදලි, සරනි දිසානායක, ෂෙහාරා රොඩි‍්‍රගෝ ඒ වේදිකාව මත රස නොනසා කළ විශිෂ්ට ඉදිරිපත් කිරීම් පැසසුම් කටයුතු ය. කැමරන් කොළඹගේ නම් වන සංගීතවේදියා ගේ නිර්මාණ දිවියේ සුවිසල් පරාසය පිළිබිඹු කළ කැඩපතකි එය.


කැමරන් කොළඹගේ, නාලක වීරකෝන්, තුසිත කුලසේකර, රෝහිත උඩවෙල එක්ව ඉදිරියට ගෙන ආ ”තරංගා” සංගීත කණඩායම ඒ යුගයේ කළ පුරෝගාමී මෙහෙය අමතක කළ නොහැකිය. ඒ යුගයේ ඔවුන් විඳි දුක් ගැහැට අපි දැන සිටියෙමු.


මේ සමාජයේ බොහෝ කටයුතු වෙනුවෙන් පුරෝගාමී වු බොහෝ අය අද පරම්පාරව නොදනියි. එසේත් නැත්නම් ඒ පුරෝගාමීන් අද අමතක කර දමා ඇත. අමතක වී ඇත. ඒ අය පිළිබඳ ආවර්ජනයක් කරන්නටද කැමරන්ගේ මේ වේදිකාව අපට පිහිට වෙයි.


මෙල්බන් ශ‍්‍රී ලාංකික රේඩියෝ කලාවේ පුරෝගාමීන් වූ උපා උපදාස සහ බන්දු දිසානායක දෙදෙනා විසින් කැමරන් අගයනු ලැබීම ඉතා විශිෂ්ට කටයුත්තක් විය. එසේම තවත් එවැනි පුරෝගාමියකු වන රංජිත් වික‍්‍රමසිංහ පිලිබඳ සඳහන් වීමද වැදගත් ය. අපට හමුවූ මෙපුර පුරෝගාමී ගීත රචිකාව සිල්වානා කොළඹගේ අතින් කීර්ති පැස්කුවල්ට ලියැවුණ ”දසමස ඔබ මා” ගීතය මෙපුර ලියැවුණ පළමු ගීත අතර වෙයි. මෙපුර සංගීතය, ගායනය, මාධ්‍ය සහ වෙනත් සමාජ මෙහෙවර වලට පුරෝගාමී වූ පිරිස අද බොහෝ නිහඬව සිටියද ඔවුන් පිළිබඳව කොතැනකදී හෝ සිහිපත් කිරීම යුතුකම් දන්නා සමාජයක, කෙළෙහිගුණ දන්නා සමාජයක මෙහෙයක් විය යුතුය.


කැමරන්ගේ මෙහෙය අගය කිරීම සඳහා ඉදිරිපත් වූ ඉන්ද්‍රජිත් මිරිහානගේ ඇතුළු පිරිසට අපේ කෘතවේදීත්වය හිමිවෙයි. ඒ වෙනුවෙන් වෙහෙස වූ සිසිර දිසානායක, සහන් වීරසේකර ඇතුළු විශාල පිරිසටද අපි ආචාර කරමු. ඒ කැපවීම විශිෂ්ට ය.


සමාජ ප‍්‍රගමණය වෙනුවෙන් දායක වන්නන් එසේ කරන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතය පරදුවට තබමින් ය. ඔවුනට අහිමිව යන දෑ බොහෝ ය. එහෙත් ඔවුන් සමාජයට දායාද කර දෙන පුරුෂාර්ථ අති මහත් ය. ඔවුන් සමාජය හමුවේ ඉතිරි කර යන දෑ අති මහත් ය. සමාජයක් ගොඩ නැගෙන්නේ සමාජයක් ඉදිරියට යන්නේත්  ඔවුන් ගොඩනගන ලද ඒ අතිතිවාරම් මත ය. ඒ කරුණ නැවත නැවත මෙනෙහි කිරීම අපේ වගකීමකි. 



සන්නස පුවත්පතට ලියන ලද ලිපියකි..ය මෙතැනින් කියවිය හැකිය..