Friday, June 4, 2021

අමතක නොවන චරිත දෙකක්

 ඒ වසර 1971 යයි සිතමි. කුඩා පාසල් දරුවන් වූ අප ගෙදර යන්නේ මිරිහානේ බෝධිය පාර දිගේ ය. ඒ කාලයේ මේ පාරේ නම මොරගහ පටුමග නම් විය. මේ පාරේ මඳක් දුර එන විට වංගුවකදී ශාලාව පාර හමුවෙයි. ඒ වංගුව පසුකර වමට ඇති ඊළඟ වංගුව පසු කළ විට වම් පැත්තේ අලුතින් දැමූ තවත් කුඩා පාරක් හමුවෙයි.


මේ කුඩා පාරේ වම් පැත්තේ අලුත තැනූ එකවාගේ නිවාස දෙකක් විය. මේ කියන දවසේ අප පාසල ඇරී නිවසට ඇවිද එන විට ඒ එක ගෙයක් ගිනි ගනිමින් තිබුණි. ඒ ගෙය ගිනි තබා තිබුණේ පොලිසියෙනි.


ඒ ගෙදර පදිංචිව සිටි තරුණයන් දෙදෙනා චේ ගුවේරා කාරයන් යයි අපට කවුරුන් හෝ කියා තිබුණි. මේ පරසන්න තරුණයන් දෙදෙනා නමින් වික්ටර් බණ්ඩාර සේනාරත්න සහ දේව බණ්ඩාර සේනාරත්න නම් වූහ. (සිසිල් බණ්ඩාර සේනාරත්න නම් තවත් සොහොයුරකු සිටි බව මගේ මතකය කියයි. එහෙත් අප දැන සිටියේ වික්ටර් සහ දේව බණ්ඩාර පමණකි)
71 කැරැුල්ලට මේ තරුණයන් දෙදෙනාම අත්අඩංගුවට පත්වූ බව අපි අසා ඇත්තෙමු. එයින් කලකට පසු නිදහස ලබා එන ඔවුහු අපේ පියා හා බොහෝ කුළුපග වූහ. එයින් වික්ටර් කෙළින්ම දේශපාලනය සම්බන්ධ වූ බවක් මට මතක නැත. නමුත් දේව බණ්ඩාර 77 මැතිවරණයේද’ අපේ පළාතෙන් ස්වාධීනව ඡන්දය ඉල්ලුවේ ය. ව්යාපාරිකයකු වූ අපේ තාත්තා ඔහුට මුදලින් ආධාර කළ බව මම දැන සිටියෙමි. සමහර සැන්දෑ කාල වලදී ඔහු අපේ තාත්තා සමග කතා කරමින් සිටි ආකාරය මට තවම මතක ය.


ඒ දේව බණ්ඩාර පසුව විජය කුමාරණතුංගයන් සමග මහජන පක්ෂය පිහිටුවාගත් අතර දේශපාලන රැස්වීමකදී අවාසනාවන්ත ලෙස වෙඩි වැදී මිය ගියේ ය. වෙඩි තැබුවේ ජවිපෙ යයි කියැවේ. (පින්තූරයේ විජය සමග සිටින්නේ දේව බණ්ඩාරයි)

වික්ටර් බණ්ඩාර සේනාරත්න වෙල්ලස්සේ වෙඩි හඬ නම් වූ වේදිකා නාට්යය නිෂ්පාදනය කර එය රට වටා ගෙන ගියේ ය. මෑත කාලයේ ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අපට දැනගන්නට නොලැබුණි.

අද මේ සටහන ලිව්වේ ඒ වික්ටර් බණ්ඩාර සේනාරත්න සිය දිවිසැරිය නිමා කළ බව දැනගත් නිසා ය.

අපේ ළමා වියේ අපෙ ආදරය කළ මේ පරසන්න තරුණයන් දෙදෙනා ගැන මතකය අපේ සිත් තුළ සදා පවතිනු ඇත. සිය තාරුණ්යය තමා ඇදහූ දේශපානය වෙනුවෙන්ම කැප කළ, දේශපාලනයෙන් හරිහම්බකර නොගත් මේ අවංක තරුණයන් වැනි දේශපානඥයන් අද දකින්නට නොලැබීම රටේ අවාසනාවකි.