”මේ නාස්තිවන කාලයෙන් ප්‍රයෝජන අරගෙන තව ටිකක් ඉගෙන ගත්තනම් නරකද? තව ඉගෙනගන්න කොයි තරම් අවස්ථා තියෙනවද? චාටඞ් එකවුන්ටන්සි කරන්න කැමති නැද්ද?” මගේ යෝජනාව ඇගේ සිතේ කෝපයක් ඇති කරයි. ඇයට උපාධියක් ඇත. ඒ ඇති ය. විශ්ව විද්‍යාලයේ ඊනියා වාමාංශික දේශපාලනය ඇයට උගන්වා ඇත්තේ උපාධිධාරියකු නම් ආණ්ඩුවෙන් රස්සාවක් දිය යුතුය කියාය. ඒ නිසා ලබාගෙන ඇති උපාධිය හොඳටම ඇති ය. තව දුරටත් මහන්සිවන්නට අවශ්‍ය නැත. රස්සාවක් නොලැබෙන්නේ ආණ්ඩුවේ වරද නිසා ය.
මගේ දියනිය ඇගේ ප්‍රථම උපාධිය අවසන් කළේ මෙයට වසර පහකට පමණ පෙරදී ය. තමා උගත් අංශයෙන් ඇය පුද්ගලික ආයතනයක රැකියාවට ගියා ය. (ඔස්ටේ්රලියා රජය උපාධිධාරීන්ට රස්සා දෙන ජොබ් ඒජන්සියක් නොවේ) ඒ අතර පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද සම්පූර්ණ කළා ය.
”මට ලෝ කරන්න ඕනෙ” වසර කීපයකට පෙර දිනෙක ඈ මට කීවා ය.
”කරන්න.. මට පුලූවන් විදිහට උදව් කරන්නම්” මම කීවෙමි.
ඈ රැකියාවෙන් ඉවත් වී නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල් වූවා ය. පසුගිය සතියේ ඈ නීති උපාධිය හමාර කළාය.
තව මාස කීපයකින් ඇය නීතිඥවරියක ලෙස දිව්රුම් දෙනු ඇත. ඉන්පසු අදාල ක්ෂෙත්රයේ රැකියාවක් සොයා ගත යුතුය. විවිධ සුදුසුකම් රැසක් ඇති ඇයට එය අපහසු නොවනු ඇත.
2000 වසරේදී මා මගේ විද්‍යාපති උපාධිය (Masters) හමාර කළ පසු මින් ඉදිරියට ඉගෙනගන්නේ නැතැයි තීරණය කළෙමි. ආචාර්ය උපාධියක් වැනි ආභරණයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්නට මගේ කැමැත්තක් නැති බැවිනි. එහෙත් වසර කීපයකට පසු රැකියාව වෙනස් කරන්නට මට අවශ්‍ය විය. මම ඩිප්ලෝමාවක් සඳහා නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූයෙමි. එය හමාර කර ඒ අංශයෙන් රැකියාවකට ගිය පසු දැන් ඉගෙනගත්තා ඇතැයි නැවත සිතුවෙමි. වසර පහක් රැකියාව කළෙමි. මේ රැකියාවේ ස්ථාවරත්වයක් ලබා ගන්නට නම් මේ ක්ෂෙත්රයේ උපාධියක් ලබාගත යුතු බව මට දැන් වැටහෙයි. දිග කල්පනාවකින් පසු නැවත උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුල් වූයෙමි. එළැඹෙන සඳුදා සිට මම ඒ උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නට නැවත විශ්ව විද්‍යාලයට යමි.
භාෂා උපාධියක් අතැතිව වසර හතර පහක් තිස්සේ ආණ්ඩුවෙන් රස්සාවක් දෙනතෙක් බලා සිටිනා මගේ නැගනිය මට සිහිවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්නා තරුණ තරුණියන්ගේ මානසිකත්වය මට නොවැටහෙයි. උන්ගේ සිත්වලට විෂබීජ ඇතුල් කර උන් දක්කාගෙන යන දේශපාලන බලවේග කෙරෙහි මට ඇත්තේ කෝපයකි. උන් මේ විනාශ කරමින් සිටින්නේ ජාතියක ජීවනාලිය වන් උගත් තරුණ පරපුරේ මනස ය.
රිසි ලෙස අධ්‍යාපනය ලබන්නට අවසර ඇති මා ජීවත් වන මේ පරිසරට මා ණයගැතිය. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට එරෙහිව පෙළපාලි යන පටු අදහස් ඇති මිනිසුන් මේ රටේ නැති වීම කොයි තරම් දෙයක්ද?