”ලෝකෙ කොතැන ගියත් අපේ මිනිස්සුන්ගෙ මේ නොහැදුණ කම නැති කරන්න නම් බැහැ..” ඔහු මා සමග කියයි ”.. බලන්න .. තවම මේක පටන් ගත්තෙ නැහැ.. මේක උත්සවයකට වෙලාවට සහභාගි වන අයට කරන අපහාසයක්”
ඒ කතාව ඇත්තය. මමද ඔහුට එකඟ වීමි.
එපමණකින් නොනැවතුන අප ප්‍රවීණ කලාකරුවා ශ්‍රී ලාංකික සමාජයේ සාමාජිකයන් අතර ඇති නොහැදියාව පිලිබඳව උත්සවය ආරම්භ වන තුරුම මා සමග බොහෝ කරුණු කාරණා කීවේ ය. ඔහුගේ දේශනයේදී ද ඒ කරුණු ඉදිරිපත් කළේ ය.
එදා මා ගෙදර ආවේ මේ කලාකරුවා පිළිබඳ ඉතා පැහැදුණ සිතිනි.
මෙයට වසර කීපයකට පෙර මා ලංකාවට ගිය අවස්ථාවක හිතවත් රංග ශිල්පි නිශ්ශංක දිද්දෙණිය මහතා නව නිශ්පාදනයක් ලෙස එළි දක්වන ”පරාස්ස” නාට්‍යයේ මංගල දර්ශනයට සහභාගි වන්නැයි මට ආරාධනා පත් දෙකක් එව්වේ ය. මම ද මගේ හිතවතකු සමගින් ජෝන් ද සිල්වා සමරු රඟහලට ගියෙමි. නාට්‍ය දර්ශනය ආරම්භ වන්නට පෙරම මා පෙර කියූ ප්‍රවීණ කලාකරුවා වේදිකාව ආසන්නයේම යම් යම් දේ කරමින් සිටුනු දුටුවෙමි. ඔහු ද මේ දර්ශනය සංවිධානය කරන කණ්ඩායමට අයත්ව සිටින්නට ඇතැයි මම සිතමි.
විවේක කාලයේදී පිපාසයට යමක් බීම සඳහා ජෝන් ද සිල්වා රංග ශාලා පරිශ්‍රයේ පිහිටි කුඩා කැන්ටිමට ගියෙමි. (ඔබට මේ කැන්ටිම මතක ඇතැයි සිතමි) එහි මහ සෙනගකි. එහෙත් හැමෝම ඉතා සංවරව පෝලිමක සිටගෙන සිටියේ තම තමන්ගේ වාරය එන තුරුය. මමද පෝලිමට එකතු වී ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යමින් සිටියෙමි. හදිසියේම මගේ උරහිසට උඩින් අතක් පාත් විය.
”ළමයා මට ඔය බීම බෝතල් දෙකක් දෙනවා” අපේ කතානායක ප්‍රවීණ කලා කරුවාගේ හඬ මම හොඳින් හඳුනමි. ඔහු අප දෙතුන් දෙනෙකුට පිටුපසින් සිට අපට උඩින් අත දමා බීම බෝතල් දෙකක් රැගෙන යන්නට ගියේ ය.
මට මෙල්බන් නගරයේදී ඔහු කියූ කතාව මතක් විය.
හැබෑව නොවෙන්නම්. ශ්‍රී ලාංකිකයන් කියන්නේ කිසිම හැදියාවක් නැති ජාතියක් නෙව.