Monday, June 11, 2018

අමතක නොවන චරිත

ජීවිතය දෙස ආපසු හැරී බලන විට යම් යම් ආකාර වලින් අපේ මගට බලපෑම් කළ පුද්ගලයන් වරින් වර සිහිවෙයි.



අප කුඩා කාලයේ පොත පත ලියන පිරිස ඉතා අල්ප විය. පොත් බිහි වුණේද ඉතා අඩුවෙනි. ඒ නිසා මේ යුගයේ බිහිවුණ සියලූම පොත් පාහේ අප කියවා තිබුණි. මා මේ කියන තරුණයා අපේ තාත්තාගේ ව්‍යාපාරයක සේවයට එන්නේ අප කුඩා දරුවන් වූ මෙවන් වකවානුවකය. ඔහු තිලකරත්න පෙතියාගොඩ නම් විය. තාත්තාගේ ව්‍යාපාරවල සේවය කළ සේවකයන් නවාතැන්ගත් අපේ නිවසට අල්ලා ඉදිකර තිබූ කුඩා නිවාස පේලියේ ඔහු නවාතැන් ගෙන සිටියේ ය.



ඉතා කඩවසම් තරුණයකු වූ තිලකරත්න අපට ඉතා ඉක්මණින් සමීප වූයේ ඔහුගේ තිබූ සුහද ගති පැවතුම් නිසා ය. හැම විටම පොත පත කියවූ තිලකරත්න මගේ සිත් ගත්තේ ඔහු ලේඛකයකු වූ නිසා ය.



ඔහු මොනිටර් එක්සයිස් පොත් වල නවකතා ලිව්වේ ය. සමහර ඒවා ආදර කතා විය. ඒ යුගයේ භයානක දුම්රිය අනතුරක් සිදුවිය. මීරිගමදී ය. මීරිගම දුම්රිය අනතුර පාදක කරගනිමින් ඔහු ලියූ නවකතාව ඉතා අපූරු එකක් විය. එහි නම මට හරියටම මතක නැත . ”බදුල්ල එක්ස්ප‍්‍රස්” යයි සිතමි. ”වී කිරිල්ලී යයි ඉගිල්ලී ” නමින් ඔහු ලියා තිබූ නවකතාව ආදර කතාවක් විය. ඔහු ලිව්වේ තිලක් පෙතියාගොඩ නමින් ය. ඔහු ලියන ආකාරය දකින මමද මොනිටර් එක්සයිස් පොත් ගෙනැවිත් නවකතා ලියන්නට උත්සාහ ගත්තෙමි.



1970 දී පමණ ගමේ ගිය තිලකරත්න ආපසු ආවේ නැත. ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි අපි සිතුවෙමු. 1971 යනු තරුණයන්ට මහත් පීඩා ගෙන දුන් වසරක් විය. මේ තරුණයාද ඒ කරදර වලට හසුවන්නට ඇතැයි අපේ වැඩිහිටියන් සිතූ බව මට මතකය. ඔහුගේ නොපැමිණීම මගේ සිතේ ඇති කළේ විසල් කණගාටුවකි.



ඉන් වසර ගණනාවකට පසු තිලකරත්න නැවත අපේ නිවසට එයි. රැකියාවක් ඉල්ලා ගන්නටය. මේ වන විට අපේ ව්‍යාපාර නැවතී තිබුණ නමුත් තාත්තා මිරිහානේ පොලීසිය කිට්ටුවෙන් ඔහුට තේ කඩයක් දමා දුන්නේ "පුලූවන් නම් මේකෙන් දියුණු වෙන්න බලනවා" කියාය. පාසල ඇරුණ පසු මමද සමහර දිනවල ඔහුගේ සහයට ඒ තේ කඩයට වී සිටියෙමි.



තමන් 71 කැරැල්ලට අත්අඩංගුවට පත් වූ බවත් පුනරුත්තාපන කඳවුරක අවුරුදු ගණනාවක් සිටි බවත් තිලකරත්න කීවේ ය. පුනරුත්ථාපන කඳවුරේදී ඔහු අලූතෙන් ලියූ නවකතා සහිත මොනිටර් අභයාස පොත් දහයක් පමණ ඔහු මට කියවන්නට දුන්නේ ය. යම්කිසි ප‍්‍රකාශක ආයතනයක් මේ පොත් මුද්‍රණය කළා නම් තිලක් පෙතියාගෙඩ යන නම අද පාඨක ලෝකයේ නිතර කියැවෙන නමක් වන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවට ඒ පොත් මුද්‍රණය කරන්නට හෝ අදහසක් තිලකරත්නට නොවී ය.



දෙවන ආගමනයෙන් අවුරුදු කීපයකට පසු ඔහු නැවතත් යන්නට ගියේ ය. එසේ යන්නට සිදුවූයේ අපේ නැන්දා කෙනකු සමග ඇති වූ පෙම් සබඳතාවක් නිසා බව මට මතක ය. ඒ ගියායින් පසු ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් අපට දැනගන්නට නොලැබුණි. ඔහුගේ ඇසුරින් උත්තේජන ලබා මා ලියන්නට පටන් ගත් සමහර නවකතා අවසන් කළ නමුත් ඒවාද අස්තාන ගතවී ගියේ ය.



ලියන්නට උත්තේජනයක් ලබාදුන් මගේ අයියා කුමාර, මගේ මාමා ලයනල් සරත් සේම තිලක් පෙතියාගොඩද මගේ සිතේ තවමත් ජීවත්වෙයි.


Thursday, May 31, 2018

ඞී බී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය

අපි නැවතත් ”ලොකු වැඩක්” යයි කිව හැකි වැඩකට අත ගැසුවෙමු. ”ඞී බී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගය” මෙවර අපේ ඉලක්කයයි.

පය ගැසූ යම් තැනක් වීද ඒ සෑම තැනකදීම පත්තර සඟරා ගැසූ මම ඒ ලෙසටම සාහිත්‍ය තරග පවත්වන්නටද උත්සාහ කර ඇත්තෙමි.

යමක් කළ හැකි අය අගැයීම පිලිබඳ අපේ තෘෂ්ණාව පාසල් සමය දක්වා දිය යයි. අපේ පාසලේ (කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය මහා විද්‍යාලයය) සිංහල සාහිත්‍ය සංගමය කියා එක් තිබුණත් එයින් සිංහල සාහිත්‍යය වෙනුවෙන් කළ කිසිදු සේවාවක් නොවීය. සිංහල සාහිත්‍ය සංගමයේ මුල් පුටු වල සිටියෝ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සිසුවෝ වූහ. විද්‍යා අංශයේ අපට එහි තැනක් නොවීය. ඒ නිසා අප තනතුරු හෙබවූ විද්‍යා ශිෂ්‍ය සංගමය හරහා අපි කලා කටයුතු කළෙමු. මුල් වෑයම ”මුතුහර” සඟරාව විය. 1961 වසරේ මුද්‍රණය කර තිබූ ”විද්වාන්” නම් වූ සඟරාවෙන් පසු කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයයේ මුද්‍රණය කෙරුණු සඟරාව ”මුතුහර” විය. ඒ 1977 දී ය.  ඒ ගැන මම මෙයට පෙර ලියා ඇත්තෙමි. 

විද්‍යා ශිෂ්‍ය සංගමයේ අප ඉන්පසු ඇරඹුවේ සාහිත්‍ය තරගයයි. කවි, කෙටිකතා සහ වාක්‍ය රචනා ලෙස කොටස් තුනකින් සමන්විත වූ තරගය වැටිහිටි සිසුන් වෙනුවෙනුත් පහළ ශ්‍රේණි වල සිසුන් වෙනුවෙනුත් කොටස් දෙකකින් සමන්විතව පවත්වන්නට අපට හැකි විය. ජයග‍්‍රාහකයන්ට සහතික පත‍්‍රයක් ලබා දෙන්නටද අපට හැකි විය.

ඒ අත්දැකීමෙන් පසු නැවතත් සාහිත්‍ය තරගයක් පවත්වන්නට අපට හැකිවන්නේ ඔස්ටේ‍්‍රලියාවේ සිට ”පහන” පුවත්පත හරහාය. පහන සාහිත්‍ය තරගාවලියෙන් ජයගත් ලේඛක ලේඛිකාවන් රැසක් අදත් සාහිත්‍යකරණයේ යෙදී සිටිනු දැකීම අපට මහත් ආශ්වදයකි.

ඉන්පසු සන්නස පුවත්පත ඇරඹු පසු අප කල පළමු කාර්යයක් වූයේ සන්නස කෙටිකතා තරගය ආරම්භ කිරීමයි. එය විවෘත තරගයක් ලෙස සංවිධානය කෙරුණ අතර අවසන් වටයට තේරුණ කෙටිකතා දහය අපි ”පළමුවැනි තෑග්ග” නමින් වූ සංග‍්‍රහයක් ලෙස මුද්‍රණය කළෙමු. ඒ 2006 දී ය. මේ කටයුත්තේදී අප සමග උරෙන් උර ගැටී සිටියේ ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතා ය. කෙටිකතා පොත ලංකාවේ මුද්‍රණය කළ පසුව ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය බරපැන දැරුවේ ද එතුමා ය. අද එතුමා අප සමග නැතිවීමේ පාඩුව වචන වලින් ලියා නිම කළ නොහැකි ය.

මට යම් සිදුවීමක් සිහිපත්වෙයි.

මෙයට වහර හත අටකට පමණ පෙර මෙල්බනයේ එක්තරා ආයතනයකින් පවත්වන ලද සාහිත්‍ය තරගයක තෑගි බෙදා දෙන්නට මට ආරාධනා කර තිබුණි. මම වේදිකාවට ගොඩ වී ජයග‍්‍රහණය කළ එක් යුවතියකට සහතික පත‍්‍රය පුද කළෙමි. සහතිකය මගේ අතින් ගත් ඇය මවෙත හැරී සිහින් හඬින් යමක් කීවේ මගේ ඇස් වලට කඳුළු නංවමිනි.

”අපි මේ අරගන්නේ අයියල වපුරපු දේ වල අස්වැන්න.. මම ඉස්සෙල්ලාම යමක් ලිව්වෙ පහන සාහිත්‍ය තරගයට.. ඒ ආපු ගමන තමයි මේ.. මේ සම්මානෙ මගේ නෙවෙයි.. ඔයාගෙ.. ඔයාට ස්තුතියි”

අතුල උපසිරි කල්දෙමුල්ල
නිර්මාණය කළ සම්මානය


දැන් අපි නැවතත් කෙටිකතා තරගාවලියක් සමගින් ඉදිරියට පැමිණ සිටින්නෙමු. මෙවර වඩාත් පුළුල් ලෙසත් වඩාත් ආකර්ශනීය ලෙසත් එය ඉදිරිපත් කරන්නට අපට හැකිව තිබෙන්නේ අනුග‍්‍රාහක අර්ථපතීන් කීපදෙනෙකුගේ සහ ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වී සහය දෙන සහෝදර සහෝදරියන් දෙතුන් දෙනෙකුගේ ශක්තිය නිසා ය.

ඞී බී කුරුප්පු
මේ තරගය ශ‍්‍රී ලංකාවේ සිට පමණක් නොව ලෝකයේ කොතැන හෝ සිට කෙටිකතා ලියන සැමට විවෘත ය. මුල් කෙටිකතා තරගයේදී අපට මග පෙන්වූ ඞීබී කුරුප්පු මහතාගේ නමින් මේ කෙටිකතා තරගය නම් කරන්නට අපි තීරණය කළෙමු.  ”ඞී බී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය” ලෙස මෙය අප නම් කරන්නේ අප හැර ගිය ප‍්‍රවීණ ලේඛකයා කරන ලද සේවයට ගරු කරන්නට ය. ඒ සමගම සිංහල කෙටිකතාවේ උන්නතිය උදෙසා වාර්ෂික සම්මානයක් තහවුරු කරන්නටත් අපට ඇවැසි නිසා ය. මේ සඳහා අපට එක්වන ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකික ලේඛක සංසදයටත් අපේ ස්තුතිය හිමිවෙයි.


මේ කෙටිකතා තරගය වසරින් වසර ඉදිරියට යනු දැක්ම අපේ අභිප‍්‍රායයි. අපේ සතුටයි. යමක් කිරීමෙන් අප බලාපොරොත්තුවන්නේ එපමණකි.

Wednesday, May 23, 2018

ඇයි කුරුප්පු අංකල් දම්මි බැන්දෙ නැත්තෙ?

සිංහල නවකතා ඉතිහාසයේ සදා නොමැකෙන නමක් තැබූ නවකතා අතර ”ගොළු හදවත” ට හිමි වූ සුවිශේෂී ස්ථානයක් ඇත. අපේ පරපුරේ පොත් කියවන්නන් අතර ”ගොළු හදවත” නොකියවූ කෙනෙකු සිටිය නොහැකි ය. පේ‍්‍රමයේ සදාතනික වේදනාව අකුරු වලට හැරවූ කරුණාසේන ජයලත් ඒ වේදනාව අපේ හදවත් තුළද තැන්පත් කර කල් ඇතිවම යන්නට ගියේ ය. (1994 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දාහත් වසරක පාලනය පෙරළා දමා චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ගෙන එන්නට ක‍්‍රියාකාරීව සිටි ජයලත් ඒ ජයග‍්‍රහණය දනින්නට පෙරම යන්නට ගියේ ය)


පද්මා නාලිනී ගුණරත්න

ගොළු හදවතේ දම්මි ගේ චරිතයට පාදක වූ සැබෑ චරිතය වූ පද්මා නාලිනී මහත්මිය ද දින කීපයකට පෙර අප හැර ගිය පුවත අපේ සිතේ මහත් කම්පනයක් ඇති කරන්නට සමත් විය. මේ සටහන ලියන්නේ ඒ කම්පනය නිසා ය.



”ගොළු හදවත” නවකතාව සම්බන්ධව බොහෝ දෙනකු යාන්තමින් දැන සිටි කරුණක් වූයේ එය කරුණාසේන ජයලත් ගේ පුද්ගලික අත්දැකීමක් පදනම් කරගත් කතාවක් යන්නය. හොරණ තක්ෂිලාව පසුබිම් කර ගොඩ නැගුණ ගොළු හදවතේ දම්මිගේ ආදරය පැතූ සුගත්ට අත් වූ සෝබර ඉරණම අදත් අපේ හදවත් තුල වේදනාව දල්වයි.



දම්මි සුගත්ට හිතවත් ය. ඇගේ හිතවත් කම වරදවා වටහා ගත් සුගත් ඇයට ආදරය කරයි. ඇය වෙනකකු හා සරණ යන්නට නියමිතව සිටින බව සුගත් දැනගන්නේ තම ආදරය ඇයට ප‍්‍රකාශ කළ පසුව ය. ඒ වේදනාව සුගත්ගේ ජීවිතය අහසින් පොළොවට ඇද දමයි. ඒ නවකතාවේ කතාව ය.


සැබෑ කතාවත් ඒ වාගේම ය.

කරුණාසේන ජයලත් 


පද්මා (පද්මා නාලිනී ගුණරත්න), කරුණාසේන ජයලත් සහ දොන් බෝල්ඞ්වින් කුරුප්පු උගත්තේ හොරණ තක්ෂිලාවේ ය. ඔවුහු හොඳ යහළුවෝ වූහ.


ඞී බී කුරුප්පු 
තමා සහ ජයලත් අතර තිබූ මිත‍්‍රත්වය පිළිබඳව සිය ”සැ ඳෑ  තරු එළියේ කිමිදෙන හිරු” පොතේ ඞී බී කුරුප්පු මහතා ලියන්නේ මෙසේ ය. ”තක්ෂිලා විද්‍යාලයේ උගනිද්දී කරුණාසේන ජයලත් සහ මමත් දෙවසරක් පමණ සතියේ වැඩි දවසක් ගත කළේ දෙන්නාගෙන් එත් කෙනකුගේ නිවසේ ය. එක්කෝ අප දෙන්නාම අපේ ගෙදර ය. නැත්නම් කුඹුකේ කරුණාසේනගේ (ඒ කියන්නේ ඔහුගේ මවගේ) මහ ගෙදර ය.”


බෝල්ඞ්වින් තක්ෂිලාවේ සිටි දක්ෂම සිසුවකු විය. ජයලත් සහ බොල්ඞ්වින් දෙදෙනාම ඇදී සිටියේ වාමාංශික දේශපාලනයටය.


පාසලේ කිසිවකුට නොදැනෙන ආකාරයෙන් පද්මා සහ බෝල්ඞ්වින් අතර පේ‍්‍ර්ම සබඳතාවක් විය. ළඟම යහලූවකු වූ ජයලත් පවා මේ ගැන නොදැන සිටියේ ය.


පද්මා ජයලත්ට ලෙන්ගතු ය.


පන්තියේ කිසිවකු නැති වේලාවක
දම්මි සුගත්ට වෙරළු දුන්නා ය.
නවකතාවේ එන දම්මි සුගත්ට වෙරළු දුන්නාක් මෙන් ඇත්ත කතාවේ පද්මා ජයලත්ට කටු ලොවි දුන්නා ය. මේ ලෙන්ගතු කම නිසාම ජයලත් සිතින් පද්මාට ආදරය කළේ ය. එක් දිනෙක සිය ආදරය පද්මාට හෙළි කරන ජයලත්ට දැනගන්නට ලැබෙන්නේ පද්මා ඒ වන විටත් බෝල්ඞ්වින් සමග පෙමින් බැඳී ඇති බව ය.



ඒ හෙළිදරව්ව ජයලත්ට දරා ගන්නට නොහැකි තරම් විය. ඔහු සිය මිතුරා වූ බොල්ඞ්වින් හොරණ දී හමුවිය.



”එදා ජයලත් මගේ අත් දෙක අල්ලගෙන හොඳටම ඇඬුවා. මට ඒක අද වාගේ මතකයි” දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ප‍්‍රවීණ ලේඛක ඞී බී කුරුප්පු මට කීවේ ය. ”ඒ සිදුවීම මතක් වනවිට අදත් මට මහ දුකක් දැනෙනවා..”



ගොළු හදවතට පදනම් වූ සිය ආදර කතාව කොතැනකදීවත් හෙළිදරව් නොකර සිටින්නට කුරුප්පු පරිස්සම් විය. දැන සිටියේ අප කීප දෙනකු පමණකි. එහෙත් වක්කඩ කැඩුවා සේ මේ පුවත දෝරෙ ගලා ගියේ ප‍්‍රවීණ ලේඛක ඒ ඞී රන්ජිත් කුමාර මේ පෙම් පුවත ලක්බිම පුවත්පතට ලිවීමත්  සමගය. රන්ජිත් කුමාර මහතා කුරුප්පු මහතාගේ හිතවතකු වූවා පමණක් නොව පද්මා නාලිනී ද හොඳින් දැන හඳුණාගෙන සිටියේ ය. ඒ දැන හැඳුණුම් කම ඇති වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගොළු හදවත නවකතාව ඇසුරින් තැනූ ගොළු හදවත චිත‍්‍රපටය හරහා යයි සිතමි


මේ හැඳුණුම්කම් නිසා  කතාව වඩා රසවත්ව හෙලිදරව් කරන්නට ඔහුට හැකි විය. සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ පොත් අතරින් ”හැන්දෑවට පායන හිරු” පොතේ ඞී බී කුරුප්පු මහතා මේ කතාව පළමු වරට ලිව්වේ මෙයට පසුව ය. තව දුරටත් හංගාගෙන සිටීමෙන් පළක් නැතැයි වටහා ගත් පසුව ය. ඒ ලිව්වේත්  ඕනෑවට එපාවට මෙන් යාන්තමින් ය.



”ඇයි කුරුප්පු අංකල් එයාව බැන්දෙ නැත්තෙ..?” මම වතාවක් ඇසුවෙමි.. ඇත්තටම මම ඇසුවේ ”ඇයි කුරුප්පු අංකල් දම්මිව බැන්දෙ නැත්තෙ?” කියා ය.



”ඒක කෙරුණෙ නෑ ජගත්.. මං ඉගෙනගන්න කොළඹ ගියාම ඒක ඉබේටම අතෑරිලා ගියා.. කොහොම වුණාද කියලා තේරුම් කරගන්න බැහැ..තරුණ කාලෙනෙ..” කුරුප්පු මහතා කී හැටි මට මතකය. අතීතාවර්ජනයේ වේදනාව ඔහුගේ මුහුණේ ඇඳී තිබිනැයි මට ඒ වෙලාවේ සිතුණි.



මේ කාලය වන විට ඔහු සිටියේ විවාහයෙන් වෙන් වී තනිකඩව ය. මෙල්බන් නගරයේ හිතවතකුගේ ගෙදරක කාමරයක ය.



”පද්මව ආයෙම කවදාවත් හමුවුනේ නැද්ද?”



”හමුවුණා... එයා වතාවක් සිඞ්නි වලට ආව වෙලාවෙත් මට හමුවුණා..” ඔහු කීවේ ය. ” ඒ හමුවීමත් මට පස්සෙ ලොකු ප‍්‍රශ්නයක් වුණා..” ඒ ප‍්‍රශ්නය කුමක්දැයි අනුමානයෙන් සිතා ගත්තා විනා හාරා අවුස්සා අසන්නට නොගියෙමි. එය පවුලේ ප‍්‍රශ්නයක් විය හැකි යයි මම අනුමාන කළෙමි.



කරුණාසේන ජයලත් පසුව තක්ෂිලාවේම උගත් තරුණියක විවාහ කරගත්තේ ය. අධ්‍යාපනයෙන් කප් ගැසූ ඞී බී කුරුප්පු රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විය. පද්මා වෙනත් අයකු හා විවාහ විය. ජයලත් හා වූ මිත‍්‍රත්වය ඔහු මියයන තෙක්ම පැවති බව කුරුප්පු මහතා කීවේ ය.


මේ ඉතිහාසගත පේ‍්‍රමය පිළිබඳව සඟවාගත් වේදනාවක් කුරුප්පු මහතාගේ සිතේ තිබුණා යයි මම සිතමි. ඒ කතාව ආවර්ජනය කරන විට ඔහුගේ මුහුණේ මතු වූ ඉරියව් මට ඒ ඉඟිය සපයයි. එහෙත් ඔහුට හෝ ජයලත්ට හෝ ඇය නොලැබීම ගැන මම සතුටු වෙමි. කාට හෝ ඇය ලැබුණා නම් කරුණාසේන ජයලත් අතින් අර අපූරු නවකතාව ලියැවෙන්නේ නැති නිසා ය.



අද මේ තිදෙනාම අප හැර ගොසින් ය. අර සුන්දර ආදර කතාව පමණක් ඉතිරිව ඇත. තවමත් අපි එය කියවමින් විරහ වේදනාවේ කටුක රසය විඳ ගනිමින් සිටින්නෙමු.




පසු සටහන
(ඞීබී කුරුප්පු මහතා පිලිබඳව මා ලියූ සටහන් කීිපයක් මෙතැනින් කියවන්න)
ඞීබී සහ මම 1
ඞීබී සහ මම 2

ඞීබී සහ මම 3

ඞීබී සහ මම 6 - එකම ඉරණමක?

Thursday, May 10, 2018

වාහන සිතුවිලි

හදිසියෙම ලංකාවට ගිහින් ආවට පස්සෙ වාහන පැදවීම ගැන යමක් ලියන්න  ඕනෙ කියලා කීප වතාවක් හිතුවා. ඒත් ආයෙම හිතුණා මොකටද කියලා. දැන් හිතුණා ඔන්න ඔහෙ ලියලා දානවා කියලා. කවුරු හරි තේරුම් ගනියිනෙ.


සංවරයක් නැති රිය ධාවනය ගැන ලියලාම ඇති වෙලා. මහපාරවල නම් තව කමක් නැහැ අධිවේග මාර්ග වලත් මේ තත්වයේ වෙනසක් නැහැ. විශේෂයෙන්ම අධිවේගී පාරවල මාර්ග නීති අකුරටම පිළිපැද්දේ නැත්නම් මහා විනාශයක් වේවි. විශේෂයෙන්ම අදාල මං තීරුවේ ධාවනය, මං තීරු මාරු කරන විට සංඥා එළි දැල්වීම, වගේ දේවල් කොයි තරම් වැදගත්ද කියලා බොහෝ අය හිතන්නේ නැහැ. බොහෝ අය මං තීරු මාරු කරද්දි සංඥා එළි දල්වන්නෙම නැහැ. කම්මැලියිද කොහෙද. සමහර රියැදුරන් මං තීරු දෙකටම නැතිව මැද ඉර උඩ ධාවනය කරමින් ඉන්න හැටි දැක්කම පුදුම හිතුණා. තවත් සමහර අය අධිවේගී මාර්ගයෙදි හෙඞ් ලයිට් ගහන්නෙ මොකද කියලා මං තාම හිතනවා.


ලංකාවේ පාරවල වාහන තදබදයට ත‍්‍රීවීල්, මෝටර් සයිකල් විතරක් නෙවෙයි හන්දිවල වාහන හසුරුවන්න ඉන්න පොලිස් නිලධාරීනුත් හරි හරියට වග කියන බව ඇස් දෙකටම දැක්කා. මේ නිලධාරීන්ට තමන් ප‍්‍රමුඛත්වය දිය යුතු මාර්ග ගැන අවබෝධයක් තියෙන බවක් නම් පෙනුණෙ නැහැ.


දවසක් හෝමාගම ඉඳන් පන්නිපිටියට එනකල්ම එකම වාහන තදබදයක්.

”ෂුවර් එකටම ඉස්සරහ පොලිස්කාරයෙක් ඇති” වාහනය පැදවූ මගේ මිතුරා කියනවා. හරියටම හරි. පන්නිපිටියෙ බත්තරමුල්ලට හැරෙන හන්දියෙ පොලිස් නිලධාරියෙක් හරිම මහන්සිවෙමින් වාහන හසුරුවනවා. ඒ මනුස්සයා අවංකවම මහන්සිවෙලා ඒ වැඬේ කරනවා. ඒත් පුමුඛත්වය දිය යුත්තෙ හයිලෙවල් පාරටය කියන එක ගැන ඒ නිලධාරියට අවබෝධයක් තිබුණ බවක් පෙනුණෙ නැහැ. මේව සාමාන්‍ය බුද්ධිය පිළිබඳ ප‍්‍රශ්න.


එහෙන් මෙහෙන් රිංගලා යන එක ලංකාවෙ වාහන එළවන අයගෙ සාමාන්‍ය දෙයක් වෙලා. කවුරුත් කාටවත් ඉඩ දෙන්නෙ නැති නිසා එහෙම නොගියොත් යන්න වෙන්නෙත් නෑ තමයි. හැම රියැදුරෙක්ම අනෙක් අයට ගරු කරන්න ඉගෙනගන්නා තෙක් මේ දේවල් මෙහෙමම තියේවි.


ට‍්‍රැෆික් ගැන කතා කරද්දි කැලූම් පාලිත මහීරත්න ඉන්දියාවෙදි දැක්ක දෙයක් මතක් වුණා. නිලම්බරේ චිත‍්‍රපටයෙ වැඩ වලට ඉන්දියාවට ගිය වෙලාවක වෙච්ච දෙයක්. ඔහු අපට මේක බොහොම රස කරලා කියනවා.


ඉන්දියාවෙ එක්තරා නගරයක මහා ට‍්‍රැෆික් එකක් මැද මේ අය යමින් ඉන්නවා. ඔන්න හතර මං හන්දියක්. හන්දිය මැද තියලා තිබ්බ බැරල් එකක් වගේ එකක් උඩ පොලිස් කාරයෙක් හිටයෙන ගජ රාමෙට වාහන හසුරුවනවා. ඉතාම කාර්යක්ෂමයි. ඒ පාරට මේ පාරට ඉඩ දෙමින් ඉතාම කඩිසරව රාජකාරිය කරපු නිලධාරියා එක සැරේම හතරපැත්තෙන්ම ආව වාහන නැවැත්තුවා. දැන් පාරවල් හතරේම වාහන නැවතිලා. දැන් හැමෝම බලාගෙන ඉන්නවා ඊළඟට මොකක්ද වෙන්නෙ කියලා. අර මහා වාහන කන්දරාවම බලා ඉන්දැද්දි පොලිස් නිලධාරියා හෙමින් සීරුවේ අර බැරල් එකෙන් බැහැලා පාර අයිනට ගිහින්  .............................................. ...........   චූ කරන්න පටන් ගත්තා...


Thursday, March 29, 2018

ස්ටීව්... වරදක් කළත් නුඹ අවංකයෙකි



මිනිසුන් අතින් වැරදි සිදුවෙයි. සමහර ඒවා හිතා මතා සැළසුම් සහගතව කරන වැරදි ය. එහෙත් කළ වරදින් පසු එහි බරපතළකම තේරුම් ගෙන සමාජය ඉදිරියට පැමිණ ”මම වරදක් කළෙමි. එහි බරපතළ බව මට දැන් වැටහෙයි. මට සමාව දෙන්න” යයි කියන්නට තරම් ආත්මශක්තියක් ඇති මිනිසුන්ට මම ගරු කරමි.

ස්ටීව් ස්මිත් නම් වන අති දක්ෂ පිතිකරුවාට මගේ කැමැත්ත හිමිවන්නේ එනිසා ය.

___________________________________

වීඩියෝව මෙතැනින් බලන්න

තරුණ ක‍්‍රීඩකයනි.. වැරදි තීරණයක් ගන්නටයන්නේ නම් ඔබේ දෙමාපියන් ගැන පළමුව සිතන්න..
___________________________________

අපේ රටේ නම් මෙවැන්නක් සිදුවන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය. අති නිහීන වැරදි කලවුන් කිසිදු වරදක් නොකළවුන්සේ සමාජය හමුවේ සිනාසෙමින් කතා කරන ආකාරය දකින විට ඇතිවන අපුල අතිමහත් ය.. උන්ගේ වරද වසන්නට කළ හැකි සැම දේම කරන මාධ්‍ය පමණක් නොව උන්ගේ වැරදි නොදැක්කා සේ උන්ට සුදුහුණු ගාමින් උන් පසුපස යන මිනිසුන්ද අපේ රටට ආවේනික ය. ඒ අපේ අවාසනාව ය.


ඔසියන් ක‍්‍රීඩාවේදී පසුබසින්නට කැමති ජාතියක් නොවේ. උන් තරගකාරීය. ප‍්‍රවේගවත්ය. දිනන්නටම කැමැත්තෝ ය. ක‍්‍රිකට් බෝලය පලූදුකරන්නේ ඒ කැමැත්තටය. එහෙත් මේ මිනිස්සු නරක මිනිස්සු නොවෙති. උන් සමාජය හමුවට පැමිණ වරද පිළිගෙන කඳුළු සළන්නේ එනිසා ය. මිනිසුන්ට බොරුවට සිනාසිය හැකිය. බොරුවට හඬන්නට නොහැකි ය.


නරක මිනිසුන් වන්නේ දහසකුත් එකක් වැරදි කර ඒ කිසිවක් නොකළා සේ සමාජය හමුවේ සිනාසෙමින් සිටින දූෂිතයන් ය. 


සමාව ඉල්ලන්නට ස්ටීව් ස්මිත් සමාජය හමුවට කැඳවාගෙන ආ ඒ පියාටත් මම ගරු කරමි. දරුවන්ගේ වැරදි වසන්නට කළ හැකි සැම දෙයක්ම කරන අපේ රටේ විවිධාකාර මට්ටමේ තාත්තලාට ඔහු ආදර්ශයකි.


ස්ටීව් ස්මිත් ලොව අංක එකේ පිතිකරුවා ය. එක වරදක් වෙනුවෙන් ඒ දක්ෂයා විනාශවෙනවා දකින්නට මම අකැමැත්තෙමි. ඔහුට නැවත ක‍්‍රිකට් පිටියේ තැනක් ලැබේ නම් ඒ දවස දකින්නට මම කැමැත්තෙමි.


කළ වරද අවංකව පිළිගන්නන්ට සමාව දෙන්නට මම දෙවරක් නොසිතන්නෙමි.

Wednesday, March 28, 2018

ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නය

මම යමක් තේරෙන කාලයේ සිටම අඳුරට බිය දරුවකු වීමි.  අවතාර හොල්මන් ආදී  දේ අඳුරේදී මගේ සිතට එයි. වෙනෙකක් තබා ඒ කාලයේ රාත‍්‍රියට අපේ ගෙදර කාමරයකටවත් තනිවම යන්නට මම පසුබට වුයෙමි. අයියලා මා කාමරයකට ගිය පසු දොර වසා මා පණ බයේ බෙරිහන් දෙමින් හඬන අයුරු බලා විනෝද වන්නටද පුරුදුව සිටියහ.


මම කිසිම මළ ගෙදරක නොගියෙමි.


බොරැල්ලේ ලිඩෝ සිනමා හලේදී පවුලේ අයත් සමග මධුමතී හින්දි චිත‍්‍රපටය නැරඹීමෙන් පසු මගේ භීතිය තවත් වැඩිවූ බවද මතකයට එයි.


මේ කියන කාලයේ අපේ පළාතට විදුලිය ලැබී නොතිබුනි. ආලින්දයේ එල්ලූ පෙට්‍රොමැක්ස් ලාම්පුවත් කෑම මේසය මත තැබූ ඇලඩින් ලාම්පුවත් නිවස ආලෝකමත් කළ ප‍්‍රභව විය. කාමරවල වැඩක් කරනවා නම් කුප්පි ලාම්පු වලින් ආලෝකය ලබාගන්නට සිදුවිය.


පන්තියෙන් පන්තිය ඉහළට යනවිට ජීවවිද්‍යා අංශය හෝ ගණිත අංශය හෝ තෝරාගන්නට කාලයක් එළැඹ තිබුණි. මගේ එකම තෝරාගැනීම වූයේ ජීව විද්‍යා අංශයයි. දොස්තර කෙනෙක් වන්නට ආශාවක් තිබූ නිසා නොවේ. චිත‍්‍ර අඳින්නට තිබූ ආසාව නිසා ය.



අපේ වැඩිහිටි සොහොයුරන් සොහොයුරියන් ලොකු පොත් වල ඇමීබාගේ සිට මිනිස් ශරීරයේ විවිධ අවයව පද්ධති දක්වා රූප අඳිනු දකින මගේ සිතද ඒවාට ඇදී ගියේ ය. මට අවශ්‍ය වූයේ ඒවා අඳින්නට ය. අන් අයට වඩා වැඩි හොඳට ඒවා අඳින්නට මට හැකි බව පුංචි මගේ සිත කීවේ ය. ඒ නිසා ජීව විද්‍යාව තෝරාගන්නට මම සිතුවෙමි.


අපේ අයියා කවදත් ගණිතයට සූරයකු විය. ඔහු යමින් සිටියේ ඉංජිනේරුවකු වන්නටය. ඒ ගමන බොහෝ පැහැදිලි ගමනක් විය.


එක්තරා දවසක මගේ තේරීම පිලිබඳ කතාවක් ඇදී ආවේ ය.


”ජීව විද්‍යාව කරපුවහම දොස්තරකෙනෙක් වෙන්න පුලූවන්”


අපේ අයියා සිනාසුණේ ය. ඇසුවේ එකම එක ප‍්‍රශ්නයකි.


”දොස්තර කෙනෙක් වෙලා රෑ දොළහට ඉස්පිරිතාලෙ මිනීකාමරේ ළඟින් යන්න වුණොත් මොකද කරන්නෙ?”


මම ගණිත අංශයට ගොස් ඉංජිනේරුවෙක් වීමි.

Monday, March 26, 2018

ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න 2

හිතා මතා නොකළත් ජීවිතේ සමහර දේ සිදුවී ඇත්තේ යම්කිසි සැළසුමකටමය. ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නයත් එහෙම එකකි. ඒ ගැන කියන්නට පෙර තවත් බොහෝ වැල් වටාරම් කියන්නට සිදුවෙයි. කමත්වා. මේ කියන හැම දෙයක්ම මගේ කතාවට අදාල ය.


මම කුඩාකාලයේ සිටම අඳින්නට කැමැත්තක් සහ යම් දක්ෂතාවක් තිබූ දරුවකු වීමි. අපේ මාමා වූ නැසීගිය චිත‍්‍රශිල්පි ස්ටීවන් ගුණතිලක ගෙන් චිත‍්‍රශිල්පයේ ”අ”යන්නද ඉගෙන ගත්තෙමි. අඳින්නට තිබූ ආසාව නිසා ටික කාලයක් මිහිර පත්තරේට පැංචා නමින් කාටුන් එකක්ද ඇන්දෙමි.


ජීවිත කාලයටම හිතේ කොණක පුංචි වේදනාවක් ඇති කරමින් තිබෙන ඉතා කුඩා සිදුවීමක්ද මේ ඇඳීමේ කතාවට සම්බන්ධව තිබේ. වට වංගුවේ යන ගමන් එයද ලියන්නෙමි.


හතරේ පන්තියේ සිටියදී මා ඉගෙන ගනිමින් සිටියේ තලපත්පිටියේ් ඉස්කෝලේ හෙවත් කො/ද උඩහමුල්ල බෞද්ධ කණිටු විදුහලේ ය. අපේ පන්තිය තිබුණේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත ය.


(ඒ කාලයේ මේ වේදිකාව මත ලියතඹරා නමින් වේදිකා නාට්‍යයක් පෙන්වූ අයුරුත් මතකය. ශාලාව දෙපැත්තේ කොට බිත්තිවලට උඩින් පොල් අතු බැඳ ශාලාව කලූවර කර පෙන්වූ ඒ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ අපට වඩා පන්තියක් ඉහළින් සිටි රෝයි ජයවර්ධන ය. ඩොමී ජයවර්ධනගේ පොඩි පුතා ය. මාධ්‍යවේදිනී බුද්ධිනී ජයවර්ධනගේ තාත්තා වූ රංග ශිල්පි සහ ගායක නිහාල් ජයවර්ධනගේ මල්ලී ය. ”රොණට ඇදෙන සමණලියක” ගීය ගයන්නේ නිහාල් ජයවර්ධන ය. ටයිටස් තොටවත්ත සූරීන්ගේ "තෙවත" නම් වූ කෙටි චිත‍්‍රපට තුනක එකතුවේ ආ "අහල පහල" කෙටි චිත‍්‍රපටයේ නිහාල් රඟපෑවේ ය.

අපේ පාසලේ නාට්‍යයේ පෝස්ටර් ගසා තිබුණේ ”පුංචි ඩොමී රඟන ලියතඹරා” කියා ය. අද මේ අයිය මලෝ දෙදෙනාම අප අතර නැති එක ගැන කණගාටු ය)


පාසලේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත වූ හතරේ පන්තියේදී මට හොඳ යහලූවෙක් සිටියේ ය. ඔහුගේ නම මිල්රෝයි විය. අද කොහේ සිටිනවාදැයි නොදන්නෙමි. පන්තියේ කොට බිත්තියෙන් පැනගොස් අල්ලපුවත්තේ ආච්චිගෙන් පොල් රොටි සහ ලූනුමිරිස් ගෙනැවිත් මට දුන්නේ මිල්රෝයි ය. ජීවිතේටම කෑ රසම පොල් රොටි ඒ පොල් රොටි ය.


එක් දිනක් සෞඛ්‍යය පාඩම උගන්වන්නට ආ තරුණ ගුරුවරිය පන්තිය සිසාරා බැල්මක් හෙළා ප‍්‍රශ්නයක් ඇසුවා ය.

”කාටද පන්තියේ හොඳටම අඳින්න පුලූවන්?”

”ජගත්ට ජගත්ට..” කොල්ලෝ කෑගැසුව හ.

”කමලාට කමලාට..” කෙල්ලෝ කෑගැසුවහ.


කොල්ලන්ගේ කෑ ගැසීම යටපත් කරන්නට කෙල්ලන්ගේ කටහඬට නොහැකිය. ගුරුතුමිය මා පන්තිය ඉදිරියට කැඳවා අච්චු පොතක් අතට දී එහි තිබූ ආහාර ජීර්ණ පද්ධතිය කලූලෑල්ලේ අඳින්නැයි කීවා ය. කොල්ලෝ ජය ගෝසා නැගූහ. එහෙත් මට සතුටක් ඇතිවූයේ නැත. මා කලූලෑල්ලේ නිවැරදිව රූපය ඇන්ද නමුත් එදා සිට අද දක්වා සිතේ කොණක පැළපදියම්ව තිබෙන සියුම් වේදනාවක්ද මගේ සිතේ විය.


කමලා අපේ ගමේ ඉතාම දුප්පත් පවුලක කෙල්ලක වූවා ය. දණහිසටත් පහළට දික්වුණ අවපැහැගත් සුදු ගවුමක් ඇඳ රබර් සෙරෙප්පු දෙකක් පැළඳගෙන පාසල් ආ මේ අහිංසක කෙල්ල මට තවම මතකය. ඔබට මා විහිලූවක් සේ පෙනෙනු හැෙඟනු ඇත. එහෙත් මේ දුප්පත් කෙල්ලට සිය දස්කම පෙන්වන්නට ලැබුණ එකම අවස්ථාව ඩැහැගත්තාය යන හැඟීම අදටත් මට සියුම් වේදනාවක් ඇති කරයි.



අයියාගේ ප‍්‍රශ්නයට එන්නට මට තවත් දවසක් ලියන්නට සිදුවෙයි.

Saturday, March 24, 2018

ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න

සමහර විටෙක ඉතා කුඩා සරළ ප‍්‍රශ්න වලට ජීවිතය වෙනස් කරන්නට හැකියාව තිබේ. ජීවිත දෙස ආපසු හැරී බලන විට එවැනි අවස්ථා කීපයක්ම සිහියට නැගෙයි. එයින් වඩාත්ම මගේ සිත් ගත් ප‍්‍රශ්නය ඇසුවේ අපේ අයියා ය.


කවදත් අපේ අයියා පවුලේ බුද්ධිමතා විය. ඒ නිසා අයියා කියන කියන දේ දේව වාක්‍ය මෙන් ඇදහීමට අපි පුරුදුව සිටියෙමු. අයියා පවා ඒ බව දැන නොසිටියත් ඒවා සිදුවුණේ එහෙම ය.


අපි කුඩා කළ නාන්නට ගියේ වත්ත පහළ  ඕවිටේ පිහිටි නාන ලිඳට ය. දවසක් නාන අතරේදී අයියා අපූරු තියරියක් ඉදිරිපත් කළේ ය.


”සබන් ගාලා ගොඩක් නෑවම සබන් වළ සුවඳ ඇෙඟන් යනවා”

කතාව ඇත්ත ය. එදා සිට අපි ඒ තියරිය අනුගමනය කළෙමු. සබන් ගාන්නට පෙර බාල්දි 20ක්ද සබන් ගෑවාට පසුව බාල්දි 10ක්ද නෑමෙන් අපේ ස්නානය සම්පූර්ණ කරන්නට අපි පුරුදු වූයෙමු.


ප‍්‍රශ්නය මතුවුණේ අපේ පන්තියේ සෞඛ්‍යය පාඩමේදී ය. එවකට මා සිටියේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ 8ඒ පන්තියේ ය. අපට සෞඛ්‍යය උගන්වන්නට ආවේ ටිකක් වයසක ගුරුවරයෙකි. මට දැන් නම මතක නැත.


හොඳ සෞඛ්‍යසම්පන්න පුරුදු ගැන උගන්වමින් සිටි අපේ ගුරුතුමා සබන් ගෑම ගැන ද කතා කරන්නට පටන් ගත්තේ ය.


”ළමයි සබන් ගෑවාම අපේ සමේ තියෙන තෙල් කුණු ඉවත් වෙලා යනවා.. ඒ නිසා නානකොට සබන් ගාන්න  ඕනෙ.. කියන්න බලන්න අපි වැඩියෙන් නාන්න  ඕනෙ සබන් ගාන්න ඉස්සෙල්ලද ගෑවට පස්සෙද කියලා” එය නම් මටම ගැළපෙන ප‍්‍රශ්නයකි. මේ වන විටත් අපේ අයියාගෙන් ඒ ප‍්‍රශ්නයට පිළිතුර මම ඉගෙන ගෙන සිටියෙමි.


”සබන් ගාන්න ඉස්සෙල්ලා” මම පැනලා උත්තරය දුන්නෙමි. පන්තියේ හැමදාම පළමුවැනියා වුණත් කුලෑටි ශිෂ්‍යයකු වූ මට ඒ ධෛර්යය ලැබුණේ අයියාගේ දැනුම කෙරෙහි මගේ සිතේ තිබූ බලවත් විශ්වාසය නිසාම ය.


ගුරුතුමා නළල වකුටු කොටගෙන මා දෙස බැලූවේ ය.

”ඒ මොකද අයිසෙ..?” ඔහු ඇසුවේ ය.


”සබන් ගෑවට පස්සෙ ගොඩක් නෑවම සබන්  සුවඳ නැතිවෙන නිසා” මම කීවෙමි.


ගුරුතුමාට අසූහාරදාහට  කේන්ති  ගියේ ය. එකත් එකටම ඔහු සිතන්නට ඇත්තේ ඔහුගේ වැදගත් ප‍්‍රශ්නය මම අවඥාවට ලක්කළා කියා ය.


”සබන් සුවඳ තියේවි සබන් සැරට ඇඟ කසලා හොරි හැදුනාම” ඔහු කෝපයෙන් කීවේ ය. පන්තියේ කොල්ලෝ සිනාසුණ හ.


ඒ වුණාට තවමත් මා සිතන්නේ අපේ අයියා හරිි ය කියා ය.


මා කියන්නට ආවේ ඒ කතාව නොවේ. මගේ ජීවිතය වෙනස් කළ අයියා ගේ ප‍්‍රශ්නය ගැන ය. ඒ කතාව එන්නේ මෙයට පසුව ය.

Thursday, February 15, 2018

අධ්‍යාපනය ගැන යමක්

මෙයට වසර තුන හතරකට පෙර සිය ප‍්‍රථම උපාධිය හමාර කළ ඥාති නැගනියක මට සිටියි. රැකියා වෙළඳපොලට නොගැළපෙන ඇගේ උපාධිය අතේ තබාගෙන ඇය ආණ්ඩුවෙන් රැකියාවක් ලබාදෙන තෙක් බලා සිටියි. ගුරු පත්වීම් සඳහා වෙහෙසෙයි. දේශපාලකයන් පස්සේ යයි. රැකියාවක් නොලැබෙන විට දේශපාලකයන්ට පලූ පැලෙන්නට බනියි. ”උපාධිධාරීන්ට රැකියා දියව්”කියා පෙළපාලි යන්නට ඇය සූදානම් ය.


”මේ නාස්තිවන කාලයෙන් ප‍්‍රයෝජන අරගෙන තව ටිකක් ඉගෙන ගත්තනම් නරකද? තව ඉගෙනගන්න කොයි තරම් අවස්ථා තියෙනවද? චාටඞ් එකවුන්ටන්සි කරන්න කැමති නැද්ද?” මගේ යෝජනාව ඇගේ සිතේ කෝපයක් ඇති කරයි. ඇයට උපාධියක් ඇත. ඒ ඇති ය. විශ්ව විද්‍යාලයේ ඊනියා වාමාංශික දේශපාලනය ඇයට උගන්වා ඇත්තේ උපාධිධාරියකු නම් ආණ්ඩුවෙන් රස්සාවක් දිය යුතුය කියාය. ඒ නිසා ලබාගෙන ඇති උපාධිය හොඳටම ඇති ය. තව දුරටත් මහන්සිවන්නට අවශ්‍ය නැත. රස්සාවක් නොලැබෙන්නේ ආණ්ඩුවේ වරද නිසා ය.


මගේ දියනිය ඇගේ ප‍්‍රථම උපාධිය අවසන් කළේ මෙයට වසර පහකට පමණ පෙරදී ය. තමා උගත් අංශයෙන් ඇය පුද්ගලික ආයතනයක රැකියාවට ගියා ය. (ඔස්ටේ‍්‍රලියා රජය උපාධිධාරීන්ට රස්සා දෙන ජොබ් ඒජන්සියක් නොවේ) ඒ අතර පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද සම්පූර්ණ කළා ය.


”මට ලෝ කරන්න  ඕනෙ” වසර කීපයකට පෙර දිනෙක ඈ මට කීවා ය.

”කරන්න.. මට පුලූවන් විදිහට උදව් කරන්නම්” මම කීවෙමි.


ඈ රැකියාවෙන් ඉවත් වී නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල් වූවා ය. පසුගිය සතියේ ඈ නීති උපාධිය හමාර කළාය.

තව මාස කීපයකින් ඇය නීතිඥවරියක ලෙස දිව්රුම් දෙනු ඇත. ඉන්පසු අදාල ක්ෂෙත‍්‍රයේ රැකියාවක් සොයා ගත යුතුය. විවිධ සුදුසුකම් රැසක් ඇති ඇයට එය අපහසු නොවනු ඇත.


2000 වසරේදී මා මගේ විද්‍යාපති උපාධිය (Masters) හමාර කළ පසු මින් ඉදිරියට ඉගෙනගන්නේ නැතැයි තීරණය කළෙමි. ආචාර්ය උපාධියක් වැනි ආභරණයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්නට මගේ කැමැත්තක් නැති බැවිනි.  එහෙත් වසර කීපයකට පසු රැකියාව වෙනස් කරන්නට මට අවශ්‍ය විය. මම ඩිප්ලෝමාවක් සඳහා නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූයෙමි. එය හමාර කර ඒ අංශයෙන් රැකියාවකට ගිය පසු දැන් ඉගෙනගත්තා ඇතැයි නැවත සිතුවෙමි. වසර පහක් රැකියාව කළෙමි. මේ රැකියාවේ ස්ථාවරත්වයක් ලබා ගන්නට නම් මේ ක්ෂෙත‍්‍රයේ උපාධියක් ලබාගත යුතු බව මට දැන් වැටහෙයි. දිග කල්පනාවකින් පසු නැවත උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුල් වූයෙමි. එළැඹෙන සඳුදා සිට මම ඒ උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නට නැවත විශ්ව විද්‍යාලයට යමි.


භාෂා උපාධියක් අතැතිව වසර හතර පහක් තිස්සේ ආණ්ඩුවෙන් රස්සාවක් දෙනතෙක් බලා සිටිනා මගේ නැගනිය මට සිහිවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්නා තරුණ තරුණියන්ගේ මානසිකත්වය මට නොවැටහෙයි. උන්ගේ සිත්වලට විෂබීජ ඇතුල් කර උන් දක්කාගෙන යන දේශපාලන බලවේග කෙරෙහි මට ඇත්තේ කෝපයකි. උන් මේ විනාශ කරමින් සිටින්නේ ජාතියක ජීවනාලිය වන් උගත් තරුණ පරපුරේ මනස ය.


රිසි ලෙස අධ්‍යාපනය ලබන්නට අවසර ඇති මා ජීවත් වන මේ පරිසරට මා ණයගැතිය. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට එරෙහිව පෙළපාලි යන පටු අදහස් ඇති මිනිසුන් මේ රටේ නැති වීම කොයි තරම් දෙයක්ද?   

Thursday, January 18, 2018

රාවය, පද්ම තටාකය, රත්න ශ‍්‍රී සහ මම

මේ සටහනේ නිමිත්තත් මේ පින්තූරයත් උපුටාගන්නෙ අප හිතවත් තිඹිරියාගම බණ්ඩාරගෙ ෆේස්බුක් පිටුවෙන්.


මම ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණේ 1997 දි. (කරමින් හිටිය තෘප්තිමත් රස්සාවත් ගතකළ සැපවත් ජීවිතයත් දේපළත් අතැර දා විදෙස් රටකට සංක‍්‍රමණයවන්නට හේතු වූ පරිසරය ගැන මං ලියන්න අදහස් කරන්නෙ නෑ)


මං ගොඩබැස්සෙ ඔස්ටේ‍්‍රලියාවෙ ටැස්මේනිසා ප‍්‍රාන්තයේ ලොන්සෙස්ටන් නුවරට. ටැස්මේනියාව ලංකාව තරම් විශාල දූපතක්. ඒ කාලෙ හිටියෙ ලක්ෂ 5 ක පමණ ජනගහනයක්. රැකියා අවස්ථාත් නැහැ. හරිම පාලූයි. මං මාස තුනකට පස්සෙ වික්ටෝරියාවට ආවා.


ඔස්ටේ‍්‍රලියාවට ගොඩ බැහැලා දවස් තුනකින් ඔස්ටේ‍්‍රලියාවේ ඉංජිනේරු ආයතනය මට වරලත් ඉංජිනේරු තත්වය සමග පූර්ණ සාමාජිකත්වය පිරිනමා තිබුණත් රැකියාවක් සොයාගැනීමේ බලවත් අභියෝගයක් මා ඉදිරියේ තිබුණා. මෙල්බනයෙදි මා සමග මිත‍්‍ර වූ තමන්ගේම ව්‍යාපාරයක් කරමින් හිටිය ඉංජිනේරුවෙක් මා ඔහුගෙ ව්‍යාපාරයට එක් කර ගත්තා අපනයන කළමණාකරු හැටියට. තනතුර එක්ස්පෝට් මැනේජර් වුණත් නාට්ටාමි වැඬේ සිට සියලූම වැඩ කරන්න අපට සිදුවුණා. ඒ සියල්ල කළේ සතුටින්. අපි මහන්සි වෙලා වැඩ කරලා ඒ ආයතනය ගොඩගත්තා.


ඒත් මේ මුලූ කාලයම මං හිටියෙ හිතේ සැඟවගත්ත කණගාටුවකින්. මං ආදරය කළ රට, මං ආදරය කළ අය, මට ආදරය කළ අය - ඒ සියල්ල හැරදමා විදෙස්ගතවන්නට වීමේ වේදනාවෙන් මං පීඩා විඳිමින් හිටියා. ඒක දරුණු පීඩනයක්. කාටවත් කියන්න බැරි හිතේ තදකරගත්ත වේදනාවක්. අද වුණත් මං ඒ වේදනාව විඳිනවා. ජීවිතයම සිනාවකින් වසාගත් වේදනාවක්.


එක්තරා දවසක මහ රැු දොළහට පමණ මම අපනයන භාණ්ඩ පුරවාගත් කබල් වෑන්රියක් පදවාගෙන මෙල්බන් නගරය හරහා එමින් සිටියා. තනිවම. එදා පසලොස්වක දවසක්. විශාල හඳක් මෙල්බන් නගරයට ඉහළ ආකාසේ පායලා තිබුණා. ඒ හඳ මගේ හිතේ විශාල පාලූවක් ඇති කලා. මං අද මේ දකින හඳ හෙට ලංකාවෙ මං ආදරය කළ අය දකිනවා ඇති නේද කියන හැඟීමක් මට ඇතිවුණා. හිතේ මොහොතකින් පද දෙකක් ලියැවුණා.


ලියන්නට හැකිවෙද කවක් සඳ මතේ
දකින්නට නුඹට හෙට කොළඹ ආකහේ


මං වාහනය පාරේ පැත්තක නවත්වා ඒ පද කඩදාසියක ලියාගත්තා.
පසුවදා මං ඒ කවිය සම්පූර්ණ කර පරිගණකයේ ලියා රාවයේ පද්ම තටාකයට  යැව්වා.


ඒ කවිය මං ලිව්වෙ අවුරුදු දහයකට විතර පස්සෙ. අවුරුදු දහයක්ම මං කිසිම නිර්මාණාත්මක දෙයක් ලියලා තිබුණෙ නැහැ. ලංකාවෙ කරමින් හිටිය රැුකියාවෙ වගකීම් නිසාත් විඳිමින් හිටිය යම් යම් පීඩාත් නිසා යමක් ලියැවුණේ හිතේ විතරයි. නිර්මාණ ජීවිතයේ අවුරුදු දහයක් අපතේ යමින් තිබුණා.


මං අවුරුද දහයකට පස්සෙ ලිව්ව කවිය රාවයේ පද්ම තටාකයේ ඒ සතියේ රන් පියුම ලෙස තෝරාගෙන අගැයීම් සටහනක් ලියා තිබෙනු දැකීමෙන් මා ලද ධෛර්යය වචනයෙන් කියන්න බැරි තරම්. රත්න ශ‍්‍රී විජේසිංහ සොඳුරු කවියාට මා ආදරය කරන්නේ ගෞරව කරන්නේ මා නැවත උපද්දවන්නට ඔහුගේ ඒ වචන සමත් වූ නිසයි. රත්න ශී‍්‍ර කියන්නෙ පරපුරක් හදපු නිර්මාණකාරයෙක්.


ඉන් පසු මං දිගටම රාවයේ පද්ම තටාකයට ලිව්වා. මගේ කවි කීප වතාවක්ම රන් පියුම ලෙස තෝරාගෙන තිබුණා.






රාවයේ පද්ම තටාකය කියන්නෙ බොහෝ කවීන් බිහි කළ මහා සාගරයක් වන් විශාල නිර්මාණ වපසරියක්. පද්ම තටාකයේ කවි, පොත් දෙකක් ලෙස නිකුත් වූ බව දැනගත්තෙ තිඹිරි ගෙ ෆේස්බුක් සටහනකින්. ඒ පොත් වල මගේ කවි තියෙනවද කියලා මං දන්නෙ නැහැ. නොතිබුණත් කමක් නැහැ.  ඒ කවි පොත් පිටවීම මට ලොකු සතුටක්.