Friday, September 29, 2017

ජයකොඩි සෙනෙවිරත්න සූරීන්ට බැතියෙන් ලියමි

මේ ලියන්නට යන කතාව වරින් වර විවිධ තැන් වල මම ලියා ඇත්තෙමි. එහෙත් නැවතත් ඒ කතාව සිහිපත් කරන්නට හේතුවක් මතුවී ඇත. එබැවින් වඩාත් සවිස්තරව ලියන්නෙමි.


උසස් පෙළ පන්තියට එව විට මා අතින් නවකතා හතරක් ලියැවී තිබුණි. මොනිටර් අභ්‍යාස පොත් වල අතින් ලියූ මේ කතා ඉතා ප‍්‍රාථමික මට්ටමේ තිබෙන්නට ඇතැයි අද මට සිතෙයි. පළමු නවකතාව රහස්පරීක්ෂක නවකතාවකි. ඞීමන් ආනන්දගේ ඩිකී වීරකෝන් රහස් පරීක්ෂකයා අනුකරණය කරමින් මවිසින් නිර්මාණය කරගත් රන්දෙණිය නම් වූ රහස් පරීක්ෂකයකු වටා මේ කතාව ලිව්වෙමි. එවකට මා සිටියේ හතේ පන්තියේ යයි සිතමි. ඉන්පසුව ලිව්වේ ”ලන්දෙගම” නම් වූ නවකතාවයි. කැලෑවෙන් වටවී ගත් ගමක කතාවකි. එය කියවන විට කෙනෙකුට මුදලිනායක සෝමරත්න මහතාගේ මුවන්පැලැස්ස සිහිපත් නොවුණානම් පුදුමයකි. තෙවෙනුව ලිව්වේ ලන්දෙගම කතාවේ දෙවන කොටසයි. එය ”අලූත් ඉරක් පායලා” නම් විය. එය නම් මගේම යයි කට පුරා කිව හැකි ස්වතන්ත‍්‍ර නිර්මාණයකි. ලන්දෙගම වීරයා වූ ටිකිරා ගමට පාසලක් හදන්නට ගත් මහන්සිය මේ කතාවේ කියැවිණි. මේ කතාව ලියන විට මා සිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ විය යුතුය. දැන් මම ගැටවර වියට එළැඹෙමින් සිටින්නෙමි. ආදර කතාවක් ලියන්නට සුදුසුම සහ අවශ්‍යතාව තිබූ කාලයයි. ඉතින් මම ලිව්වෙමි. කතාවේ නම මතක නැත.


කතාව ගෙතුණේ සංගීත කණ්ඩායමක් වටා ය. මේ වන විට රුසියාවේ ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටි මගේ අයියා කුමාර් නිවාඩුවට ආ වෙලාවක බොක්ස් ගිටාරයක් ගෙනැවිත් තිබුණි. ඔහු එහි ශ‍්‍රී ලාංකික සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා විය. අපි ඒ ගිටාරයට වහ වැටී සිටියෙමු. තවත් මිතුරන් කීප දෙනෙකු සමගින් ”සමර් නයිට්ස්” නමින් සංගීත කණ්ඩායමක් පිහිවුටා ගත්තේ මේ කාලයේ දී ය. පසුව යුද හමුදා බටහිර සංගීත කණ්ඩායමට එක් වූ අපේ මිතුරා කිත්සිරි ගුණතිලක අපේ ගිටාර් ගුරුවරයා විය. (අදත් අප ගයන සමහර ගීත අප පළමු වරට ඇසුවේ කිත්සිරි ගෙනි. ඒ නිසා ඒ සමහර ගීත අදත් අප ගයන්නේ මුල් ගායකයාගේ ශෛලියට නොව කිත්සිරිගේ ඌරුවටය. හොඳම උදාහරණය වික්ටර් රත්නායක සූරීන්ගේ ”සඳකැන් වැටිලා” ගීතයයි) අපේ බර්ගර් මිත‍්‍රයකු වූ ටෙ‍්‍රවෝ ඩ‍්‍රම්ස් වාදනය කළ අතර අපේ මල්ලී - මංගල - ගායකයා විය. මම කොහොමින් කොහොමින් හෝ රිදම් ගිටාර් වාදකයා වීමි. අපටය කියා විද්‍යුත් සංගීත භාණ්ඩ නොවී ය. අපි මාසයකට සැරයක් පමණ බම්බලපිටියේ පිහිටි ස්ටුඩියෝවක් පැය ගාණට වෙන් කරවාගෙන විද්‍යුත් සංගීත භාණ්ඩ පුහුණුව ලද්දෙමු. තවමත් අධ්‍යාපනය ලබන රැකියා විරහිත තරුණයන් වූ අපට මේ වියදම දැරිය නොහැකි තරම් විශාල එකක් විය.


මේ අත්දැකීම් පාදක කර ගනිමින් මම මගේ හතරවන නවකතාව ලිව්වෙමි. ඒ කතාව ඒ කාලයේ මගේ හිතටද ටිකක් අල්ලලා ගිය කතාවක් විය. 😊


නවකතා කියවන්නට තරයේ ඇබ්බැහි වී සිටි මගේ අතට ජයකොඩි සෙනෙවිරත්න සූරින්ගේ ”මල් මැණීකේ” නවකතාව ලැබෙන්නේ මේ කාලයේ ය. මට වැදගත් වූයේ කතාවට වඩා කතාවේ අගට තිබූ පසුවදන ය. තමා දයාවංශ ජයකොඩි මහතාගේ සහයෝගයෙන් ආධුනික නවකතාකරුවනට දුන් සහය පිලිබඳව සටහනක් සෙනෙවිරත්න මහතා එහි ලියා තිබුණි. එහි තිබූ ලිපිනයට මම ලිපියක් ලියා යැව්වෙමි. මා නවකතාවක් ලියා ඇති බවත් එය මුද්‍රණය කරවාගන්නට අවශ්‍ය බවත් මම ලිව්වෙමි. සෙනෙවිරත්න මහතා මට හැරෙන තැපෑලෙනි පිලිතුරු ලිපියක් එව්වේය. පොත කියවා බලන්නට තමන්ට එවන්නැයි ඔහු ඉල්ලා තිබුණි. මම මගේ නවකතාව එතුමන්ට තැපැල් කර යැව්වෙමි. තවත් සතියකට දෙකකට පසු නැවතත් ලිපියක් ලැබුණි. පොත කියවා බැලූ බවත් පැමිණ තමන් හමුවන ලෙසත් මට දන්වා තිබුණි. ඒ කාලයේ එතුමන් පදිංචිව සිටියේ පානදුර වලානේය.


නුගේගොඩ සිට පානදුරට යාම අපහසු නැත. 183 බසය යන්නේ නුගේගොඩ සිට පානදුරට ය. එක්තරා දවසක මම එම බසයේ නැගී මේ මහා සාහිත්‍යවේදීයා සොයා ගියෙමි. පෙරේරා ඇන්ඞ් සන්ස් චොක්ලට් රෝලක්ද තෑගි ලෙස ගෙන ගියෙමි.


පානදුර ගාලූපාරේ වලාන බුදු පිලිමය අසළින් බසයෙන් බැස සුහද මාවතේ පිහිටි සෙනෙවිරත්න මහතාගේ නිවසට යනවිට දහවල් වී තිබුණි. මා සාදරයෙන් පිලිගත් එතුමන් මා සාලයේ වාඩි කරවා ගෙන මගේ පොත ගැන අදහස් දක්වන්නට විය. ඔහු කියූ එක් අදහසක් අදත් මම නිතර නිතර සිහිපත් කරමි. ”ජගත් ලියන භාෂාවට මං කැමතියි” අපූරුය.. එය ආධුනික ලේඛකයකු වූ මට විශාල ජවයක් ලබාදුන් අදහසක් විය.


පැයක පමණ අදහස් දැක්වීමකින් පසු එතුමා තමන්ගේ නිගමනය දුන්නේ ය.


”ඉක්මණින් පොත් අච්චුගහන්න මහන්සි වෙන්න එපා ජගත්.. දිගටම ලියන්න.. ඔයාට තව  ඕනෙ තරම් කාලය ඉස්සරහට තියෙනවා”


ආධුනික ගැටවර ලේඛකයකුගේ නවකතාවක් කියවා ප‍්‍රවීණ සාහිත්‍යධරයකුට එසේ නොසිතුනානම් පුදුමය එයයි. එතුමන්ගේ අදහස ගැන මට කණගාටුවක් නොවීය. මා සිටියේ සතුටින් බව මට අදත් මතක ය. සමහර විට එතුමා මගේ නවකතාව එකහෙළා බැහැර නොකර එහි සාධණීය ලක්ෂණ ඉදිරිපත් කර මා දිරි ගැන්වූ නිසා විය හැකි ය. ඒ අතරවාරයේ මගේ අඩුපාඩු ද පෙන්වා දෙන්නට ද එතුමා නොපැකිලූණේ ය. ඒ අවංක බවට මම කැමැත්තෙමි.


ඉක්මණින් පොතක් අච්චුගසා ලේඛකයකු ලෙස සලූවෙන්නට මගේ සිතේ තිබූ මහා අභිප‍්‍රාය මම යටපත් කර ගත්තෙමි. දිගින් දිගටම පුවත්පත් වලට සඟරාවලට ලියමින් සිටියා විනා පොතත් මුද්‍රණයෙන් එළිදක්වාගන්නට උනන්දුවක් තව දුරටත් මගේ සිතේ නොවී ය.


මුද්‍රණයෙන් නිකුත් වූ මගේ පළමු පොත - ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහය - නිකුත්වන්නේ මේ සිදුවීමෙන් වසර විස්සකට පමණ පසුව ය.



ජයකොඩි සෙනෙවිරත්න මහතා වැනි ආධුනිකයනට අත දෙන නිර්මාණකරුවන් අපේ රටේ විරල ය. අපේ සමාජයෙන් නිසි අගැයීමක් නොලද මේ මහා ලේඛකයා පිළිබඳ මගේ කතාවට සමාන කතා බොහෝ තිබෙන බව මම දනිමි. එතුමන්ගේ නවකතා ශෛලිය ලියනගේ අමරකීර්ති ලේඛකයා හඳුන්වා දී තිබුණේ ”අධිවිධග්ධ නොවන අති සරලද නොවන කතා කලාවක්” ලෙස ය. සිංහල නවකතා ක්ෂෙත‍්‍රයට කියවන්නන් කැඳවගෙන ආවෝ මේ ශෛලියෙන් ලියූ ජයකොඩි සෙනෙවිරත්න, කරුණාසේන ජයලත්, කරුණාරත්න සපුතන්ත‍්‍රී, කුමාර කරුණාරත්න, ජයසේන ජයකොඩි, එඞ්වඞ් මල්ලවාරච්චි (මේ නම් වැළ තවත් දිගය) වැනි ලේඛකයෝ වෙති. අවාසනාවට අපේ විදග්ධ සමාජය මේ ලේඛකයන් දෙස ඇස හැර බලන්නටවත් අකැමැති ය. කල්පනාවෙන් බලන විට පෙනී යන්නේ මේ විදග්ධ සමාජයමේ අපූරු ලේඛකයන් හා ඔවුන්ගේ රසවත් නිර්මාණ පිලිබඳව කතා කිරීම පවා තමන්ගේ තත්වයට නොගැළපෙන මට්ටමේ දෙයක් ලෙස සළකන බවකි. එසේ වුවද සිංහල සාහිත්‍ය කෘති කියවන පාඨක පිරිස දහස් ගණනින් කැඳවාගෙන ආවේ කැඳවාගෙන එමින් සිටින්නේ මේ දක්ෂ නිර්මාණකරුවන් ය යන්න සැඟවිය නොහැකි සත්‍යයකි.


ජයකොඩි සෙනෙවිරත්න සූරීන් වෙනුවෙන් අගැයීමේ අළෙලක් සංවිධානය කිරීම අපට මහත් සතුටක් ගෙන දෙයි. ඔබ සාහිත්‍යයට ආදරය කරන අයෙක් නම් ඔක්තෝබර් 10 වන දා සවස 3 ට මහවැලි කේන්ද්‍රයට යන මෙන් මම ඉල්ලා සිටිමි. එය අපේ යුතුකමකි.

ජයකොඩි සෙනෙවිරත්න සූරීනි.. ඔබට දීර්ඝායුවේවා..

Wednesday, September 13, 2017

වැඩසිටි කන්දේ මතකය

කතරගම වැඩිහිටිකන්ද (වැඩසිටිකන්ද) මුදුනට මිනිසුන් ගෙන යන වාහනයක් පෙරළීමෙන් සිදුවුණ අනතුරක් ගැන වාර්තාවක් පසුගිය දවසක කියවන්නට ලැබුණි. මෙයට වසර කීපයකට පෙර අපත් මෙවැනිම වාහනයකින් වැඩිහිටිකන්ද මුදුනට ගිය දිනයේ මේ ගමන අනතුරුදායක බව මම තේරුම් ගතිමි. දුහුවිලි කාගෙන වාහනයකින් කන්ද නැගීමේ අත්දැකීමේ කිසිදු සොඳුරු මතකයක්ද ඉතිරි නොවී ය.

සොඳුරු මතකය ඇත්තේ අප කුඩා අවදියේ ය. ඒ මතකය සොයා යමි.


අප කුඩා අවදියේ වසරකට වරක් වැඩිහිට කන්දට දානයක් දීමේ පුරුද්දක් අපේ තාත්තාට විය. තාත්තා ඒ සඳහා ලියාපදිංචි වී සිටි අතර වසරකට වරක් තාත්තාගේ දිනය දන්වා ලිපියක් ලැබුණ බව මගේ මතකය කියයි. ඒ නියමිත දවස පුරා වැඩසිටිකන්ද නැගීමට පැමිණෙන සියලූම සැදැහැතියන්ට දානය සැපයීමෙන් තාත්තා මහත් සතුටක් ලැබුවේ ය.


නියමිත දිනයට දිනකට දෙකකට පෙර ලොරියක හාල් පොල් එළවලූ ඇතුළු සියලූ කළමනා පටවාගන්නා තාත්තා දානයට උපකාරවන පිරිසත් අපත් තවත් වාහනයක නංවාගෙන කතරගම වැඩසිටි කන්ද බලා යයි. ලොකු මිනිසුන් දානය සකස් කරන අතර කඩා අපි වැඩසිටිකන්ද නැගීමට පටන් ගනිමු.


එදවස මේ කන්ද නැගීමට පඩි පෙළක් හෝ නොවී ය. තිබුණේ මිනිසුන්ගේ ගමන නිසා ඇතිවුණ අඩි පාරක් පමණකි. කන්ද ආරම්භවන තැන ගසක් වටා හැරමිටි ලෙස පාව්ච්චි කළ හැකි ලී දඬු විශාල ප‍්‍රමාණයක් තබා තිබුණි. කන්ද නගින්නන් පහසුව සඳහා මේ ලී දණ්ඩක් රැුගෙන යති. රළු මගෙහි උඩට යන්නට ඒ ලී දඬු මහත් පහසුවක් විය. කන්ද මුදුනට යන තෙක්ම මග දෙපස කැලෑව ය. අපි කැළැවේ ගඩා ගෙඩි කඩා කමින් කන්ද නගිමු.


කන්ද නගින දෙමළ මිනිසුන් අනුකරණය කරමින් ”හරෝ හරා..” යයි කෑ ගසමින් කන්ද නැගීමෙන් ලැබුණ සතුට අපමණ ය. ”හරෝ හරා... අරූ හොරා..” යයි වරෙක කෑ ගැසූ මල්ලිට තරවටුවක් ලැබුණ අයුරුද මට මතක ය.


ඒ කාලයේ අපේ ගෙදර මේසයක් මත කුඩා ලී පෙට්ටියක් විය. ගමනක් ගොස් ගෙදරට එන තාත්තා තමාගේ සාක්කුවේ තිබෙන සියලූම මාරුකාසි මේ පෙට්ටියට දමයි. වසරක් යනවිට පෙට්ටිය පිරෙන්නට මාරු කාසි ය. වැඩිහිටි කන්දේ දානයට යන විට මේ ලී පෙට්ටියද ගෙන යන්නට තාත්තා අමතක නොකරයි. කඳු පාමුළ දී තාත්තා ඒ ලී පෙට්ටිය අපට දෙයි. සිඟන්නන්ට කාසි බෙදන්නටය. අපි අතට අසුවන ප‍්‍රමාණයක් කාසි ගෙන සිඟන්නන්ට බෙදන්නෙමු.


සවස් වන විට අපි අවම වශයෙන් දෙවතාවක් වත් කන්ද උඩහ පහළට නැග බැස අවසන් කළෙමු. කන්ද මුදුණේ දැන් මෙන් ගොඩනැගිළි නොතිබුණි. කුඩා දේවාලයක් වැනි මඩුවක් පමණක් තිබූ බව මගේ මතකය කියයි.


ඒ සියල්ල ඉතා සරළ ය. නිස්කලංක ය. සුන්දර ය.


දුක් මහන්සියෙන් බොරළු අඩි පාර දිගේ කන්ද තරණය කර අප එදා ලැබූ සතුට අද වාහනයකින් කන්ද නගින විට හෝ පඩි නැග කන්ද නගින විට හෝ නොදැනෙයි. අද මේ කන්ද නගින මිනිසුන් දකින විට මසිතට දුකක් ඇතිවන්නේ ඒ නිසා ය.


පසු සටහන

තාත්තා වසරක් පාසා වැඩසිටි කන්දට දානයක් දෙන්නට යම් හේතුවක් තිබෙන්නට ඇතැයි අද මට සිතෙයි. එය එක්තරා පේ‍්‍රමකතාවක කොටසකි. ඒ කතන්දරය ලියම්දෝ නොලියම්දෝයි සිතමින් සිටින්නේ ඒ කතාවට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින්නන් අපහසුවකට පත්කරන්නට සිතේ ඇති අකැමැත්ත නිසා ය.