”ඔයා මේ පත්තර වලට කොටස් වශයෙන් කතා ලිවිල්ල නතර කරන්න ඕනෙ” ඔහු කෙලින්ම කිව්වා. ”..මේ වැඩෙන් ඔයාගෙ සැබෑ ලිවිල්ල මගඇරිලා යනවා.. පත්තරවලට ලියන එක නවත්තලා වෙනම ලියන්න ගන්න ඕනෙ”
මං අහගෙන හිටියා. උත්තරයක් දෙන්න ගියේ නැහැ. ඔහු දිගටම කතා කළා.
”... ඔයා ලේඛකයෙක් හැටියට ලොකු දුරක් යන්න හැකියාව තියෙන කෙනෙක්..” ඔහු කිව්වා. මේ කතාව මෙයිට කලින් ඔහු මගේ පොත් එළිදැක්වීමක කතාවක් පවත්වන අතරෙදිත් කිව්වා.
”ඉස්සෙල්ලම අර ඉස්කෝලෙ කාලෙ පොතේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්න” ඔහු ඒ ඉල්ලීමත් බොහෝ දවස් වල මගෙන් ඉල්ලා තිබුණා.
මට කියන්න ඕනෙ දේ තිබුණා. ඒත් මං කිසිම දෙයක් කිව්වෙ නැහැ.
පත්තරයටකට ලියන නවකතාවකින් කරන්න පුලූවන් දේ සීමිතයි. ඒක නොදන්නෙ කව්ද? ඒත් මං කැමතියි ඒ ව්‍යායාමයට. හේතු ගොඩක් නිසා.
අපිත් අපේ තරුණ අවදියේ පත්තරවල කොටස් වශයෙන් පළවෙච්ච නවකතා කොයි තරම් ආදරෙන් කියෙව්වද? ඈත යුගයෙ කරුණාරත්න සපුතන්ත‍්‍රිගෙ "ගංගා සහ නිස්සංක" විතරක් නෙවෙයි මෑත යුගයේ උපුල් ශාන්ත සන්නස්ගලගෙ "නේත‍්‍රා" පවා මට මතක් වෙනවා..
අපි පොතක් මුද්‍රණය කළාම කීයෙන් කීදෙනෙක්ද ඒ පොත මිලට ගන්නෙ. අපට මහා විසාල සිවිල් බලයක් නැති නිසා අපි ගැන - අපි ලියන දේ ගැන - කතා කරන කෙනෙකුත් නැහැ. ඕනෙ නම් පොත් දාහක් විකිණෙයි. කියවන ප‍්‍රමාණය දෙදාහක් තුන්දාහක් වෙයි. ඒත් පත්තරයක ලියන නවකතාවක් එක සතියකට අවම වශයෙන් තිස් හතළිස්දාහක්වත් කියවනවා. මිනිස්සු කියවන යමක් ලියන්න මං කැමතියි. මං ලියන යමකින් වැඩි පිරිසක් සතුටුවෙනවා දකින්න මං කැමතියි. එච්චරයි.
මං සතියකට විතර පස්සෙ කුරුප්පු අංකල්ට කතා කළා.
”අංකල් එදා කිව්ව දෙයට මං දැන් උත්තරයක් දෙන්න කැමතියි” මං කිව්වා.
”කියන්න” ඔහු කිව්වා.
”කුරුප්පු අංකල්.. මගේ හිතේ හීනයක් තිබ්බා.. ලෝකප‍්‍රකට ලේඛකයෙක් වෙන්න නෙවෙයි.. මට ඕනෙ වුණා කරුණාසේන ජයලත් කෙනෙක් වෙන්න.. මට ඕනෙ වුණා ජයසේන ජයකොඩි කෙනෙක් වෙන්න.. මට ඕනෙ වුණා ජයකොඩි සෙනෙවිරත්න කෙනෙක් වෙන්න.. මං ඒ හීනය දිනාගෙන තියෙනවා.. ඒ සතුට මං විඳිනවා.. සමහරවිට මං හෙට උත්සාහ කරයි සයිමන් නවගත්තේගම කෙනෙක් වෙන්න.. ඒත් එයිට කලින් අද මං මේ සතුට විඳිමින් ඉන්නවා.. මිනිස්සු වැඩි දෙනෙක් කියවන හොඳ යමක් ලියන එක විතරයි අද දවසේ මගේ සතුට.. බහුශ‍්‍රැතයෙක් විදිහට පුම්බගෙන හුදකලාවෙ ඉන්නවට වඩා සාමාන්‍ය මිනිහෙක් හැටියට මිනිස්සු වැඩි පිරිසක් අතර ඉන්න මං කැමතියි”
කුරුප්පු අංකල් හිනාවුණා.
”ඒ උත්තරේ මට සෑහෙනවා” ඔහු කිව්වා.
”ජගත් ගේ පිලිතුර ඉතා අවංක එකකි” ඔහු පසුව ඔහුගේ ලිපියක ලිව්වා.
ප‍්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සමරසිංහ ඔහු අලූතින් අරඹන ”චලන” සිනමා පුවත්පතට නවකතාවක් ලියන්නැයි කළ ආරාධනය මං බාරගත්තෙ සතුටින්. ඒ ලියන නවකතාව අපූරු සිත්තම් පෙළකින් වර්ණවත් කරන්නෙ මං කවදත් ආදරය කළ ජානක ඉලූක්කුඹුර කලාකරුවා වීම මගේ සතුට වැඩි කරනවා. විශ්ව සහ මහේෂිකා කියන තරුණ රංග ශිල්පියාත් ශිල්පිනියත් ඒ සිත්තම් වල පෙනී සිටීම තවත් සතුටක්.
ඉතින් මං ආයෙම පත්තරේකට නවකතාවක් ලියනවා. කුරුප්පු අංකල් මා සමග අමනාප නොවන බව මං දන්නවා. මොකද මං මේ දවස් වල ”ඉස්කෝලෙ කාලෙ” පොතේ දෙවෙනි කොටසත් ලියමින් ඉන්න නිසා.
මං ලියන දෙයකින් වැඩි පිරිසක් සතුටක් ලබනවා නම් මට ඒ ඇති. මං ඒ සතුට මාර විදිහට විඳිනවා...