Saturday, December 12, 2020

ගවුනකල්පය

ගවුනකල්පය? මොකක්ද ඒ? ඒ ගැන කියන්නට පෙර මේ අතුරු කතා කියා නිම කරන්නට සිදුවෙයි.


අපේ ළමා විය ගෙවුණේ දැනුම සොයා ගැනීම වෙනුවෙන් කළ මහා කැපවීමක් සමග ය. අන්තර්ජාලය කියා දෙයක් ඒ යුගයේ නොවී ය. අවම වශයෙන් රූපවාණිය හෝ නොවී ය. 


දැනුම උදෙසා ම කියැවූ පොත පත අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව ඇමරිකානු ප‍්‍රකාශන ආයතනයක් සමග එක්ව මුද්‍රණය කර තිබූ ”විද්‍යාව” නම් විශාල පොත, රුසියානු ලේඛක වයි පෙරල්මන්ගේ ගණිත විනෝදය, නවයුගය පුවත්පත වැනි ප‍්‍රකාශන මගේ මතකයට එයි. 



මේ පොත පත අතරේ අපට දැනුම ලබාදුන් සුවිශේෂී සඟරා ගණනාවක් තානාපති කාර්යාල මගින් මුද්‍රණය කොට බෙදා හැරුණි. සීතල යුද්ධයේ ඉහළ ම අවධියක සිටි ලෝකයේ බලවත් රටවල් තරගයට මෙන් මුද්‍රණය කර බෙදාහැරි මේ සඟරා වලින් ඒ ඒ රටවල රටවල ජන ජීවිතය, භූගෝලීය සාධක, විද්‍යාත්මක සොයාගැනීම් ආදී විවිධ කරුණු කාරණා කියවන්නට අපට හැකි විය. සෝවියට් තානාපති කාර්යාලයේ ”සෝවියට් දේශය” ඇමරිකන් තානාපති කාර්යාලය සහ බටහිර ජර්මන් තානාපති කාර්යාලය  මගින් මුද්‍රණය කර බෙදා හැරි සඟරා (නම් මතක නැත) වියට්නාම් තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ වියට්නාම් ඉංග‍්‍රීසි සඟරාව ආදිය මගේ මතකයට එයි. වියට්නාම් යුද්ධය ද පැවති මේ කාලයේ වියට්නාම් සඟරාවේ තිබූ රූමත් වියට්නාම් කෙල්ලන් ගේ පින්තූර මගේ විත‍්‍රපොතේ ඇන්ද හැටි ද මතක ය. (මේ කාලයේ මම මගේ මාමාගෙන් චිත‍්‍ර ඇඳීම ඉගෙන ගනිමින් සිටියෙමි)


මේ අතුරු කතා ලිව්වේ කියන්නට ආ කතාවට ප‍්‍රවිශ්ටයක් ලෙස ය.


වෛද්‍ය විද්‍යාවේදී නව බෙහෙතක් සොයා ගන්නා විට ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වේදැයි සොයා බලන්නට මිනිස් සාම්පල වලට ලබාදීම සම්මත ක‍්‍රමයයි. ස්වකැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත්වන්නන් කාණ්ඩ දෙකකට බෙදා එක් කණ්ඩායමකට නියම බෙහෙතත් අනෙක් කණ්ඩායමට ඒ බෙහෙතේ ආකාරයට ම නිර්මාණය කළ ව්‍යාජයක් ලබා දෙනු ලබන අතර කාණ්ඩ දෙකෙහි අය බෙහෙතට දක්වන ප‍්‍රතික‍්‍රියා නිරීක්ෂණය කෙරෙයි. ඇත්ත බෙහෙත බොන අය සේ ම සමහර විට ව්‍යාජ බෙහෙත් බොන සමහර අය ද සුව වනු දකින්නට ලැබීම ද පුදුමක් නොවී ය. බෙහෙත කෙරෙහි ඇති මානසික විශ්වාසය එයට හේතුවන්නට ඇතැයි කියැවෙයි. මෙය ප්ලැසිබෝ ඉෆෙක්ට් placebo effect නමින් හැඳින්වෙයි.


බෙහෙතක් ලෙස පෙනී සිටින ව්‍යාජය හැඳින්වෙන්නේ placebo යන ඉංග‍්‍රීසි වදනින් ය. 


ප්ලැසිබෝ ගැනත් ප්ලැසිබෝ ඉෆෙක්ට් ගැනත් ඒ කාලයේ මට කියා දුන්නේ ඉහළ පන්තියක සිටි මගේ අයියා කුමාර් ය.


ප්ලැසිබෝව විකිපීඩියාවේ අර්ථ දැක්වෙන්නේ මෙසේ ය.

placebo (/pləˈsiːboʊ/ plə-SEE-boh) is a substance or treatment which is designed to have no therapeutic value. Common placebos include inert tablets (like sugar pills), inert injections (like saline), sham surgery, and other procedures.


Placebo වෙනුවෙන් භාවිතා වන සිංහල වදනක් මට සොයා ගන්නට නොලැබුණි. එහෙත් 70 දශකයේදී බටහිර ජර්මානු තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ සිංහල සඟරාවක placebo යන ඉංග‍්‍රීසි වචනය වෙනුවෙන් අපූරු සිංහල වදනක් යොදා ගෙන තිබුණයුර මට තවමත් මතක ය. ”ගවුනකල්පය” ඒ වදනයි. 


මොන යම් හේතුවක් නිසා හෝ placebo වෙනුවට සාදාගත් ගවුනකල්පය වචනය එතැනින් ඔබ්බට භාවියට නොආ බව පමණක් මම නිරීක්ෂණය කළෙමි.


කෝවිඞ් එන්නතක් හදන්නට ලෝකය ම වෙහෙසෙන මේ කාලයේ placebo වදන නිතර ඇසෙන විට මගේ සිහියට ආ ගවුනකල්පය වචනය ඔබට සිහිපත් කරදෙන්නට සිතුවෙමි. ඒ වචනය හොඳ නිසා නොවේ. මෙහෙම දෙයකුත් සිදුවුණා නේදැයි ඔබට සිහිපත් කර දෙන්නට ය.