Saturday, December 12, 2020

ගවුනකල්පය

ගවුනකල්පය? මොකක්ද ඒ? ඒ ගැන කියන්නට පෙර මේ අතුරු කතා කියා නිම කරන්නට සිදුවෙයි.


අපේ ළමා විය ගෙවුණේ දැනුම සොයා ගැනීම වෙනුවෙන් කළ මහා කැපවීමක් සමග ය. අන්තර්ජාලය කියා දෙයක් ඒ යුගයේ නොවී ය. අවම වශයෙන් රූපවාණිය හෝ නොවී ය. 


දැනුම උදෙසා ම කියැවූ පොත පත අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව ඇමරිකානු ප‍්‍රකාශන ආයතනයක් සමග එක්ව මුද්‍රණය කර තිබූ ”විද්‍යාව” නම් විශාල පොත, රුසියානු ලේඛක වයි පෙරල්මන්ගේ ගණිත විනෝදය, නවයුගය පුවත්පත වැනි ප‍්‍රකාශන මගේ මතකයට එයි. 



මේ පොත පත අතරේ අපට දැනුම ලබාදුන් සුවිශේෂී සඟරා ගණනාවක් තානාපති කාර්යාල මගින් මුද්‍රණය කොට බෙදා හැරුණි. සීතල යුද්ධයේ ඉහළ ම අවධියක සිටි ලෝකයේ බලවත් රටවල් තරගයට මෙන් මුද්‍රණය කර බෙදාහැරි මේ සඟරා වලින් ඒ ඒ රටවල රටවල ජන ජීවිතය, භූගෝලීය සාධක, විද්‍යාත්මක සොයාගැනීම් ආදී විවිධ කරුණු කාරණා කියවන්නට අපට හැකි විය. සෝවියට් තානාපති කාර්යාලයේ ”සෝවියට් දේශය” ඇමරිකන් තානාපති කාර්යාලය සහ බටහිර ජර්මන් තානාපති කාර්යාලය  මගින් මුද්‍රණය කර බෙදා හැරි සඟරා (නම් මතක නැත) වියට්නාම් තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ වියට්නාම් ඉංග‍්‍රීසි සඟරාව ආදිය මගේ මතකයට එයි. වියට්නාම් යුද්ධය ද පැවති මේ කාලයේ වියට්නාම් සඟරාවේ තිබූ රූමත් වියට්නාම් කෙල්ලන් ගේ පින්තූර මගේ විත‍්‍රපොතේ ඇන්ද හැටි ද මතක ය. (මේ කාලයේ මම මගේ මාමාගෙන් චිත‍්‍ර ඇඳීම ඉගෙන ගනිමින් සිටියෙමි)


මේ අතුරු කතා ලිව්වේ කියන්නට ආ කතාවට ප‍්‍රවිශ්ටයක් ලෙස ය.


වෛද්‍ය විද්‍යාවේදී නව බෙහෙතක් සොයා ගන්නා විට ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වේදැයි සොයා බලන්නට මිනිස් සාම්පල වලට ලබාදීම සම්මත ක‍්‍රමයයි. ස්වකැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත්වන්නන් කාණ්ඩ දෙකකට බෙදා එක් කණ්ඩායමකට නියම බෙහෙතත් අනෙක් කණ්ඩායමට ඒ බෙහෙතේ ආකාරයට ම නිර්මාණය කළ ව්‍යාජයක් ලබා දෙනු ලබන අතර කාණ්ඩ දෙකෙහි අය බෙහෙතට දක්වන ප‍්‍රතික‍්‍රියා නිරීක්ෂණය කෙරෙයි. ඇත්ත බෙහෙත බොන අය සේ ම සමහර විට ව්‍යාජ බෙහෙත් බොන සමහර අය ද සුව වනු දකින්නට ලැබීම ද පුදුමක් නොවී ය. බෙහෙත කෙරෙහි ඇති මානසික විශ්වාසය එයට හේතුවන්නට ඇතැයි කියැවෙයි. මෙය ප්ලැසිබෝ ඉෆෙක්ට් placebo effect නමින් හැඳින්වෙයි.


බෙහෙතක් ලෙස පෙනී සිටින ව්‍යාජය හැඳින්වෙන්නේ placebo යන ඉංග‍්‍රීසි වදනින් ය. 


ප්ලැසිබෝ ගැනත් ප්ලැසිබෝ ඉෆෙක්ට් ගැනත් ඒ කාලයේ මට කියා දුන්නේ ඉහළ පන්තියක සිටි මගේ අයියා කුමාර් ය.


ප්ලැසිබෝව විකිපීඩියාවේ අර්ථ දැක්වෙන්නේ මෙසේ ය.

placebo (/pləˈsiːboʊ/ plə-SEE-boh) is a substance or treatment which is designed to have no therapeutic value. Common placebos include inert tablets (like sugar pills), inert injections (like saline), sham surgery, and other procedures.


Placebo වෙනුවෙන් භාවිතා වන සිංහල වදනක් මට සොයා ගන්නට නොලැබුණි. එහෙත් 70 දශකයේදී බටහිර ජර්මානු තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ සිංහල සඟරාවක placebo යන ඉංග‍්‍රීසි වචනය වෙනුවෙන් අපූරු සිංහල වදනක් යොදා ගෙන තිබුණයුර මට තවමත් මතක ය. ”ගවුනකල්පය” ඒ වදනයි. 


මොන යම් හේතුවක් නිසා හෝ placebo වෙනුවට සාදාගත් ගවුනකල්පය වචනය එතැනින් ඔබ්බට භාවියට නොආ බව පමණක් මම නිරීක්ෂණය කළෙමි.


කෝවිඞ් එන්නතක් හදන්නට ලෝකය ම වෙහෙසෙන මේ කාලයේ placebo වදන නිතර ඇසෙන විට මගේ සිහියට ආ ගවුනකල්පය වචනය ඔබට සිහිපත් කරදෙන්නට සිතුවෙමි. ඒ වචනය හොඳ නිසා නොවේ. මෙහෙම දෙයකුත් සිදුවුණා නේදැයි ඔබට සිහිපත් කර දෙන්නට ය.


Tuesday, November 24, 2020

මගේ තනු නිර්මාණ... ඒ කතාව

මගේ තනු නිර්මාණ ගැන ෆේස්බුක් එකේ ලියූ සටහන ගැන වැඩි අවධානයක් යොමුවී ඇති බව පෙනුණා. බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් ද කළා.. ඒ ගැන වැඩිදුරට යමක් ලියන්න හිතුවෙ ඒකයි. මේවා කෙනෙකුට වැදගැම්මක් නැති පුරසාරම් කතා වෙන්න පුලූවන්. ඒ නිසා කැමතිනම් පමණක් කියවන්න.


ෆේස්බුක් සටහන මෙහෙමයි.


 මේ වෙනස් ම ආකාරයක වැඩකි. ගීතය ලිව්වේ වරුණ සාවින්ද යි. ඒ ලියූ ගීතය ඔහු මා අතට දුන්නේ අපූරු ඉල්ලීමක් ද සමගින් ය.

”මේකට නූර්ති ගීයක් වගේ තනුවක් දාලා දීපං”

නූර්ති ගීය මට හොඳින් හුරු පුරුදු ය. මා හැදී වැඩුණේ නූර්ති ගී උදේ හවා ඇසුණ පරිසරයක ය. 

මගේ අම්මා ගේ මාමා ටවර් හෝල් යුගයේ නූර්ති වේදිකාවට ගෙනා ඤූු ෙ– ඩබ්ලිව් ගුණතිලක ය. එතුමා වේදිකාව මත පෑ විස්මිත දර්ශන නිසා ම විස්මකර්ම ගුරුතුමා නමින් හැඳින්වීමක් ලබා ගත්තේ ය. 

ඔහු පිළිබඳ විස්තරය මෙතැනින් කියවන්න


අතීතයෙන් කතාවක් 1


එතුමන් ගේ පුතා මගේ අම්මා ගේ මස්සිනා මගේ මාමා වූ කලා භූෂණ ලයනල් ගුණතිලක අප කුඩා කාලයේ පදිංචිව සිටියේ නුගේගොඩ මිරිහානේ අපේ නිවස ආසන්නයේම ය. මේ නිවස උදේ හවා නූර්ති ගී ගැයුණ වැයුණ රසගුලාවක් විය. ලංකාවේ නන් දෙසින් ආ ශිල්පීන් වයද්දී ගයද්දී අපි වශී වී බලා සිටියෙමු. ලයනල් මාමා ටවර් හෝල් නාට්‍යයක් ශ‍්‍රී සංඝබෝධි නමින් බොරැුුල්ලේ වයිඑම්බීඒ ශාලාවේ වේදිකාගත කරද්දී අපි තිරය පිටුපසට වී මේ විස්කම් කෙරෙන ආකාරය දැක බලා ගන්නට වාසනාව ලැබුවෙමු.


ඉදින් එවන් මගෙන් වරුණ මේ ඉල්ලීම කළ විට එය මම සතුටින් බාරගත්තෙමි. මේ ඒ පදමාලාවට මා නිමැවූ තනුවයි.  සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ය. එතුමන් මේ තනුවට යම් පැසසුමක් කළ බව ද සෙව්වන්දිකා මට වරක් කීවා ය. සතුටකි.. 

ඉදින් අසා බලමු..


මේ සටහනට දැමූ වරුණ සාවින්ද ගේ කොමෙන්ට් එක මෙහෙමයි..


Waruna Savinda


"ජගත් උබ සගවගෙන ඉන්න තවත් කුසලතාවයක් තමයි මේ සංගීතය පිලිබද උබට තියෙන හැකියාව. උබ මගේ පද රචනයට අවැසිම තනුව රචනය කලා. උබ ඒ අපුරු තනුවෙන් මා ලියූ ගීතයට පණ දුන්නා.

උබ උබේම සංගීතයෙන් රසවත් කල උබම ලියපු සිංදු කීපයක්ම තියෙනවා. ඒවාත් ඉතාම රසවත් මචං.


චන්ද‍්‍රකාන්ති දී සවුම්‍ය ආලොකේ වැටේවි. 

නිදි නැති යහන සොය සොයා

කවුළු දොරින් ඒවි බේරි.

ශෘංගාර රසය හෘදේ වැඬේවි.



සිසිලස කොහෙද මා ප‍්‍රියේ

නිදි නැති පාලූ යාහනතේ

හද දුක වාවගනු කෙසේ

තනිවම මේ සදළුතලේ

සුන්දරතාවයමයි..

තීවුර කරන්නේ සංවේගේ..



වාසල් දොරටු හැර තියේ

මුරකාවල්ද නෑ ප‍්‍රියේ

නුවරුන් නිදයි රාත‍්‍රියේ

දැල්වෙයි පහන් වීදියේ

ආලය අන්ධයි.. ඒකයි

මග බලමින් ලතවෙන්නේ..


නැවතත් ස්තුතියි ඒ මනරම් තනුවට."


තරුණ කාලයේ නුගේගොඩ පුංචි සංගීත කණ්ඩායමක රිදම් ගිටාරය වාදනය කළත් යන්තමින්  ඕගනයක් ගිටාරයක් වාදනය කරගන්න හැකි වුණත් මං සංගීතඥයකු නෙවෙයි. සංගීතඥයකු වන්නට අවශ්‍ය සතත අභ්‍යාසයේ නිරත වෙන්න මට කවදාවත් වෙලාවක් තිබුණෙ නැහැ. දැන් මේ වාදනය කරන්නෙ මගේ සතුට වෙනුවෙන් පමණයි. නමුත් මේ පිටිපස්සෙ කතාවක් තියෙනවා.


මගේ ජීවිතයට තදින් බලපාපු මාමාවරු තිදෙනෙක් ඉන්නවා.

මගේ අම්මා ගේ අයියා - ස්ටීවන් ගූණතිලක මාමා - ඔහු දක්ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සම්බන්ධව සිටියේ සිනමා කලා අධ්‍යක්ෂණයට. කේ ඒ ඩබ්ලිව් පෙරේරා එල් එම් පෙරේරා වැනි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සියලූම චිත‍්‍රපටවල වගේ කලා අධ්‍යක්ෂණය කළේ මගේ මාමා. ඔහු තමයි චිත‍්‍ර ශිල්පයේ අයන්න ආයන්න ඉගැන්නුවෙ. ඒ කතාව වෙනම ලියන්නම්.


මගේ තාත්තා ගේ ඥාති සහෝදරයකු වූ ලයනල් සරත් එදිරිසිංහ මාමා - ඔහු දක්ෂ ලේඛකයෙක්. ලංකාවේ පළමු විකල්ප පුවත්පත ලෙස මං විශ්වාස කරන ”බජරි හටන” ගැහුවෙ ඔහු. ඔහු පොත් ගණනාවක් ලියා තිබෙනවා. ලේඛකයකු ලෙස ඉදිරියට යන්නට ලොකු උත්තේජනයක් වුණේ ඔහු.


මගේ අම්මාගේ මස්සිනා - ලයනල් ගුණතිලක මාමා - ඔහු ගැන මගේ ෆේස්බුක් සටහනේ ලියලා තියෙනවා. ඔහු ඇසුරේ තමයි අපි සංගීතයට ළං වෙන්නෙ. 


මට ඒ කාලෙ ලොකුම ආසාව තිබ්බෙ තබ්ලා වාදකයකු වන්න. ඒ ගැන මා ලියූ බ්ලොග් සටහන මෙතැනින් කියවන්න.


තබ්ලාවාදකයෙක් වන්නට පෙරුම් පිරුවෙමි


රුසියාවෙ ඉංජිනේරු අධ්‍යාපනය ලබමින් හිටිය මගේ අයියා එහේ ලංකා නමින් වූ බටහිර සංගීත කණ්ඩායමට එක්වෙනවා බේස් ගිටාර් වාදකයකු ලෙස. නිවාඩුවකට ලංකාවට එනවිට අයියා ගිටාරයක් අරගෙන එනවා. අපි ඒ ගිටාරයට වශී වෙනවා. අයියා නැවත ගියාට පසුව අපේ යහලූවකු වෙතින් අපි ගිටාරය වාදනය කරන හැටි ඉගෙනගන්නවා. ඒ ගමනේ අවසානයෙදි අපි නුගේගොඩ ”සමර් නයිට්ස්” නමින් පුංචි කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. මං රිදම් ගිටාර් එක ගැහුවා. අපේ යහලූවෙක් වෙච්ච ටෙ‍්‍රවෝ ඩ‍්‍රම්ස් ගැහුවා. මංල්ලි සින්දු කිව්වා.


අපටමය කියලා සංගීත භාණ්ඩ තිබුණෙ නැහැ. අපි පුහුණු වුණේ බම්බලපිටියේ තිබුණ සංගීත භාණ්ඩ කුලියට දෙන තැනක. පැය ගානට සල්ලි ගෙවලා. අපි කාටවත් රස්සාවල් තිබුණෙ නැහැ. ඒ කාලෙ ඒ සල්ලි හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්.


මගේ උසස් අධ්‍යාපන කටයුතුත් ඉන්පසු රැකියාවත් නිසා මේ සියල්ල මගෙන් ඈත් වෙලා ගියා. ඒත් මගේ සතුටට ගෙදර බොක්ස් ගිටාරය වයමින් හිටියා. 


මුළින්ම ගීයක් ලියලා තනුවක් දැම්මෙ බොහොම පොඩි කාලෙ. අපේ තිබුණ ”ළමා කලා කවය” කියන පුචි සමිතියට. ඒ කාලෙ මං හිටියෙ අටේ නවය පංති වල කියලයි මං හිතන්නෙ.

”ළමා කලා කවයයි මේ

පොඩිත්තන්ගෙ වැඩ පෙන්වන

ළමා කලා කවයයි මේ”


සමර් නයිට්ස් කාලෙ මං ගීත කීපයක් ම ලියලා තනු නිර්මාණය කළා. ඒත් ඒවා කවදාවත් පටිගත කරන්න උනන්දුවක් හෝ දැනුමක් හෝ ඒ කාලෙ අපට තිබ්බෙ නැහැ.


”මතකේ රැුඳුනා - ඔබගේ රන් පිළිරූ”

”ආරාධනා”

”සුදු තාරකා - සේලෙන් එහා” මට මතක ගී තුනක්. 


ඒ කාලෙ අපි ක්ලැරන්ස් විජේවර්ධනට වහ වැටිල හිටියෙ. ඔහුගෙ ආරේ යමින් මම තනුව නිර්මාණය කළ සුදු තාරකා ගීතය අවුරුදු 15ක පමණ කාලයකට පසු තැටිගතවෙනවා. ඒ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණාට පස්සෙ ශ‍්‍රීපාලි එදිරිසිංහ ගේ සුදු තාරකා සංගත තැටිය වෙනුවෙන්. සංගීත සංයෝජනය මගේ ප‍්‍රිය මිත‍්‍ර විශාරද රෝහණ ධර්මකීර්තිගෙන්. ඒ ගීතය මෙතැනින් අහන්න. 


 සුදු තාරකා ශ‍්‍රීපාලි එදිරිසිංහ 


මේ සංගත තැටියට ම ශ‍්‍රීපාලි ජානක වික‍්‍රමසිංහ සමග ගයන ”හම හමා ඇදෙන” ගීය ලියා තනු නිර්මාණය කළෙත් මම. ඒක මෙතැනින් අහන්න.


හම හමා ඇදෙන - ජානක වික‍්‍රමසිංහ  ශ‍්‍රීපාලි එදිරිසිංහ 


මම ලියා තනු නිර්මාණය කළ තවත් ගීයක් රොහාන් ශාන්ත බුලේගොඩ සමග ශී‍්‍රපාලි ගයනවා. මේ ගී දෙකේම සංගීත සංයෝජනයත් රෝහණගෙ මයි.


කඳුළු තොට ළඟ - රොහාන් ශාන්ත බුලේගොඩ ශ‍්‍රීපාලි එදිරිසිංහ


අසුන්තා කරුණාරත්න ඇගේ පළමු සංගත තැටියක් වෙනුවෙන් ගීයක් ඉල්ලා සිටියා. ”දසන්තය” ගීතය ලියලා තනුවක් දමා ඇයට දුන්නා. ”මේකෙ සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්තිට දෙන්න” මං ඇගෙන් ඉල්ලූවා. ඒ ඉල්ලීම අනුව රෝහණ මියුරු සංගීත සංයෝජනයක් කළා. මේක අතීත පේ‍්‍රමයක් ගැන කෙරෙන ස්මරණයක් පමණයි. ඇය කියනවා මං අඬලා ඉවරයි කියලා. තරුණ කාලයේ මගේ පළමු පේ‍්‍රමයෙන් ඉවත්වීමෙන් පසු මට දැනුණ සැනසීම පමණයි මේ තනුව නිර්මාණ කරද්දි මගේ හිතේ තිබුණෙ.


දසන්තය - අසුන්තා කරුණාරත්න


ශ‍්‍රීපාලි සමග මිහිඳු මාපා ගායනා කරන මේ ගීතයත් මගේ තනුවක් සහ පද රචනයක්. ”ඔබට හිමි නැති”. මේ ගීතයේ සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.


ඔබට හිමි නැති - ශ‍්‍රීපාලි  එදිරිසිංහ / මිහිඳු මාපා


මගේ තවත් තනුවක් සහ පදරචනයක්ග ”පිනි බිඳක් සැලූණා” මේ ගීතයේත් සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.


පිනි බිඳක් සැලූණා - ශ‍්‍රීපාලි  එදිරිසිංහ


මේ, මේ වෙලාවෙ මට හොයාගන්න පුලූවන් වුණ ගීත කීපයක් පමණයි. මං තනු නිර්මාණය කළ ගීත 20කට වැඩියි. ඒවා හොයා ගන්න පුලූවන් වුණ වෙලාවක මේ සටහන අගටම අමුණන්නම්. 





Thursday, November 5, 2020

අපේ කතාවක්....










මෙය ඓතිහාසික ඡුායාරූපයකි. තාත්තා ගේ කුලියාපිටියේ මහගෙදර ඇති මේ සේයාරුව මා අවසන් වරට දැක්කේ අවුරුදු අටක දහයක කුඩා දරුවකුව සිටියදී ය. මතක පොත අවුස්සමින් සිටි මම කුලියාපිටියේ ජීවත්වන මගේ පති මල්ලිට කරදර කර ඒ සේයාරුව සොයා ගතිමි. මගේ කලබලය නිසා මල්ලි මට එවූවේ මුල් සේයාරුවේ සේයාරුවකි. එහි ස්කෑන් පිටපතක් ඔහු එවූ විට මේ සේයාරුව යාවාත්කාලීන කරන්නට බලා සිටිමි. 


මෙය පළමු වතාවට කුලියාපිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක් පිහිටවූ දා එහි ආරම්භක සාමාජිකයන් පක්ෂයේ නායක එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක බණ්ඩාරනායක මහතා සමග ගත් සේයාරුව යයි යම්කිසිවකු මට කියාදුන්නේ එදා ය. සේයාරුවේ මැද එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතා සිටින අතර දකුණු කෙළවරේ ජාතික ඇඳුමින් සිටින්නේ මගේ සීයා ෆ‍්‍රැන්සිස් පී ජේ එදිරිසිංහ යි. (අපේ නම් වල මැද ඇති "ජේ" අකුර අපේ පරම්පරාවෙන් එන එකක් මිස ලස්සනට දමාගත් එකක් නොවේ)


කුලියාපිටිය ඔරලෝසු කණුවේ සමරු ඵලකය
(සේයාරුව එවූ සමිත ජේ එදිරිසිංහ පුතාට ස්තුතියි)

සීයා වයස අවුරුදු 62 දී හෘදයාබාධයකින් මිය යන විට කුලියාපිටියේ උප නගරාධිපතිව සිටියේ ය. කුලියාපිටිය නගරය මැද ඇති ඔරලෝසු කණුවේ තවමත් ඔහුගේ නම සඳහන්ව ඇතැයි මම අසා ඇත්තෙමි.


සීයා ගේ ගම නුගේගොඩ වුවත් ඔහු ගම අතහැර කුලියාපිටියට යන්නේ හිතුවක්කාර විවාහයක් කරගත් නිසා ය. ඒ විවාහය වෙනුවෙන් ඔහු සිය පියාට අයත්ව නුගේගොඩ නගරය මැද පිහිටි විශාල ඉඩකඩම් යායක් අතහැර දැමුවේ ”මට උඹලගේ ඉඩකඩම්  ඕනෙ නැහැ”  කියා ය. (පේ‍්‍රමටය වඩා වැදගත් දෙයක් අපේ පරම්පරාවේ කිසිවෙකුට නොතිබුණ බව කල්පනාවෙන් බලන විට අදත් මට සිතෙයි. අපේ මහගෙදර ඇති නුගේගොඩ නගරය මැද පිහිටි ඉඩම තාත්තා ගේ නැන්දා කෙනෙකෙු ගේ අයිතියෙන් අපේ තාත්තාට ලැබුණ එකකි. සීයා ගේ පේ‍්‍රම කතාව මම වෙනත් ලිපියක ලියා ඇති බැවින් නැවත නොලියමි)


බණ්ඩාරනායක මහතා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අපේ සීයා ඒ පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කුලියාපිටියේ නගර සභාවට තරග කර එහි උප නගරාධිපති වීමෙන්  පමණක් සෑහීමට පත්ව සිටියේ ය.


”ඇයි සීයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළේ නැත්තෙ?” මම මෑතදී තාත්තාගෙන් ඇසුවෙමි.


”ඒ කාලෙ දැන් කාලෙ වගේ එහෙම පොරයක් තිබ්බෙ නෑ.. පප්පට එහෙම අවශ්‍යතාවක් වත් තිබ්බෙ නැහැ.. එයා සද්ද නැතුව එයාගෙ වැඩ ටික කරගෙන ගියා” තාත්තා කීවේ එහෙම ය.


එහෙව් මිනිසුන් හැදූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිසේන නම් වන ග‍්‍රාමසේවකයකු විසින් විනාශ කරන ලද ආකාරය  ගැන කණගාටුවක්ද වරෙක සිතේ ඇති වෙයි.


සිය පප්පා බරපතළ ශ‍්‍රීලංනිපාක්ෂිකයකු වන විට අපේ තාත්තා නැවතුනේ කොමියුනිස්ට් පක්ෂයේ ය. සිය තරුණ කාලයේ උද්යෝගිමත් කොමියුනිස්ට් පාක්ෂිකයකු වූ තාත්තා තමන් සාර්ථකව කරමින් සිටි බීඩි ව්‍යාපාරය ජනසතු කිරීමට අදාල වාර්තාව තමන්ගේ ම අතින් ලියා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික‍්‍රමසිංහට දුන්නේ ය. බීඩි ව්‍යාපාරය ජනසතුවීමත් සමගම තාත්තා ගේ ව්‍යාපාරයද නවතා දැමුණි. 

---------------------------------------

වැඩි විස්තර සඳහා මේ ලිපිත් කියවන්න...

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද? 2

----------------------------------------


වයසින් මුහුකුරායත්ම තාත්තා ඒ දේශපාලනයෙන් ඈත්වූයේ ය.


”දැඩි මර්දනයකින් තොරව කොමියුනිස්ට් පාලනයක් පවත්වාගෙන යන්න බැහැ” තාත්තා පසුකාලීනව කීවේ ය. ජීවිත කාලය ම කොමියුනිස්ට්වාදයට ආශක්තව සිටි මම ද දැන් වයසින් මුහුකුරා යමින් සිටිමි. මට ද දැන් සිතෙන්නේ තාත්තා ගේ අදහස නිවැරදි ය යන්න ය. විවිධාකාර අදහස් ඇති සංකීර්ණ මිනිස් සමාජයක් එක් රාමුවකට කොටු කර තබන්නට හැකි දේශපාලන ක‍්‍රමයක් තිබිය නොහැකි ය. අප මහන්සි විය යුත්තේ සාධාරණ සමාජයක් බිහිකර ගන්නට ය.


එනිසා අදත් මම නිර්පාක්ෂිකයකුව සැහැල්ලූවෙන් දිවි ගෙවන්නෙමි. කිසිදාක කිසිවකුගේ හෝ කිසිම පක්ෂයක හෝ කිසිම දේශපාලන මතවාදයක හෝ ගැත්තකු නොවූවා සේ ම ඉදිරියටත් නොවන්නෙමි. එය, ආත්මාර්ථයෙන් තොරව දේශපාලනය කළ මගේ සීයාටත් තාත්තාටත් කරන ගෞරවයකැයි මම සිතමි. 


Saturday, May 30, 2020

ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව සහ ඞීබී

මගේ ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව ගැන ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතාගේ හිතේ තිබ්බෙ ලොකු ආසාවක්. එය කියවූ දා සිටම ඔහු නොයෙක් වර ඒ ගැන මා සමග කතා කළා. වෙනෙකක් තියා ඔහු මේ පොත යම් සම්මානයක් දිනා ගනියි කියලත් විශ්වාස කළා. එහෙම නොවුණම ඔහු පුදුමයෙන් මා සමග ඒ ගැන කතා කළා.

”මේකෙ දෙවැනි කොටසක් ලියන්න  ඕනෙ” ඔහු කීප වතාවක් කිව්වා. මගෙත් එවැනි අදහසක් තිබ්බා. මොකද මේ පොත මං හුඟක් ආසාවෙන් ලිව්ව පොතක් නිසා. මේ පොතේ ලිව්ව බොහෝ දේ මගේ හැබෑ ජීවිතේ අත්දැකීම්. ඒ නිසාම මං ලිව්වා වුණත් අදත් මේ පොත කියවන විට මගේ ඇස් වලට කඳුළක් එනවාමයි.

පොතේ චිත‍්‍ර ඇන්දෙ ටිඩී අබේසූරිය මහතා. මං ඔහු හොයාගෙන ගිහින් මේ කටයුත්ත කරගත්ත හැටි අවුරුදු දහයකට විතර පස්සේ මට මතක් වෙනවා. ඒ චිත‍්‍ර හරිම අපූරුයි. මගේ කතාවටම ගැළපෙන මට අවශ්‍යම වූ ආකාරයේ චිත‍්‍ර.


”මේ පොත ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න” කුරුප්පු මහත්තයා වතාවක් මට කිව්වා. මං ඒ ගැන හුඟක් මහන්සි වුණා. ඉංග‍්‍රීසි සහ දෙමළ භාෂා වලට පරිවර්තනය කරන්න අය සෙව්වා. දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න බාරගත් කෙනා පොත ගෙන්වාගත්තා. එයින් පස්සෙ එයා නිෂ්ශබ්ද වුණා. ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න කෙනෙක් හොයාගන්න බැරිවුණා.


දවසක් කුරුප්පු මහත්තයා මේ ගැන මගෙන ඇහුවා. මං විස්තරේ කිව්වා. ඔහු අහගෙන හිටියා මිසක් යමක් කිව්වෙ නැහැ. සතියකට දෙකකට විතර පස්සෙ ඔහු නැවත කතා කළා.

”යෝජනාව මගේනෙ. මං ම පරිවර්තනය කරලා දෙන්නම්” ඔහු කිව්වා. කිව්වා විතරක් නෙවෙයි. මාස කීපයක් ඇතුළත ඔහු පරිවර්තනය නිම කළා. මට ලොකු සතුටක් දැනුණා.

”මගේ ඉංග‍්‍රීසි පරණයි කියල මට හිතෙනවා. මේක දුවෙකුට කියවලා ඒ අයට ගැළපෙන විදිහට එඩිට්කරවාගන්න” ඔහු කිව්වා.

”මං දුවෙකුට කියලා ටයිප් කරගන්නම්” මං කිව්වා. ඒත් ඒක කරගන්න බැරි වුණා. මොකද කිසිම කෙනෙකුට කුරුප්පු මහත්තයගෙ අත්අකුරු කියවගන්න බැහැ. ටිකක් හරි කියවගන්න පුලූවන් මට විතරයි කියලයි මට හිතෙන්නෙ. ඉතින් වැඬේ ටිකෙන් ටික කල් ගියා.
ඩීබීගේ අත්අකුරු

ඔහු මියයන්න පෙර පැවැත්වූ අවසාන පොත් එළිදැක්වීමෙදි කළ කතාවෙදි ඔහු මේ ගැන කිව්වා.

”මහලොකුවට කිව්ව දුවට කියලා ටයිප් කරගන්නම් කියලා. තාම වැඬේ කෙරුණෙ නැහැ.” ඔහු නෝක්කඩු කිව්වා. ”මං නොමිලෙම වැඬේ කළ නිසා අගයක් නැහැ නේද?” ඔහු ඇහුවා. මං පත්වෙලා හිටපු තත්වය ගැන පැහැදිළි කිරීමක් මගේ කතාවෙදි කරන්න එදා මට සිදුවුණා.

මේ පොත ඉක්මණින් ඉවරකරගන්න එක මගේ හිතේ ලොකු බරක් වගේ තිබුණා. මා නිසා නෙවෙයි. කුරුප්පු අංකල් නිසා මේ පොත ඉන්මණින් අවසන් කරගන්න මට අවශ්‍යව තිබුණා. ඔහුගෙ ශරීර සෞඛ්‍යය වේගයෙන් පිරිහෙමින් තියෙද්දි මං හරිම අසරණ වුණා. අවසානයෙදි ඔහු අප හැර යනවිටත් ඔහුගෙ පරිවර්තනය මගේ මේසය මතම තිබුණා.

පසුගිය මාස තුනක පමණ කාලය මම වැය කළේ ඒ කඩදාසි ගොන්න ටයිප් අකුරු බවට පෙරළන්න. ඒක අමාරු වැඩක්. බොහොම අමාරුවෙන් කියවමින් පිටුවෙන් පිටුව මමම ටයිප් කළා. සමහර දවසක පිටුවකට බාගෙකට වඩා ටයිප් කරගන්න බැරි වුණා. දැන් ඒ වැඬේ අවසානය කරා එළැඹෙමින් තිබෙනවා. දැන් මගේ අරමුණ හැකි ඉන්මණින් ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පරිවර්තනය මුද්‍රණයෙන් එළි දැක්වීම. ඞීබී අංකල් වෙනුවෙන්.

ඞීබී කුරුප්පු මහතා පරිවර්තනය කළ ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පොතත් ඉස්කෝලෙ කාලෙ සංශෝධිත අලූත් මුද්‍රණයත් දෙකම එකවර එළිදක්වන්න මං උත්සාහ කරනවා. මේ කොරෝනා කාලෙ හමාරවෙද්දි ඒ වැඬේ ඉවරකරගන්න පුලූවන් වෙයි කියලා මං හිතනවා.