Monday, October 4, 2021

ඩීමන් ආනන්ද මතකය


අපේ ආච්චිට - අම්මා ගේ අම්මාට - සහෝදරියෝ දෙදෙනකු වූහ. වැඩිමහලු නැගණිය නන්දිසේන කුරේ සිරිසේන කුරේ මාමලා ගේ අම්මා ය. ඇය කොටහේනේ පුංචි ආච්චි ය. ඔවුන් පදිංචිව සිටියේ කොටහේනේ ය. ඒ කාලයේ අප විසූ මිරිහාන සහ කොටහේන එකිනෙකට බොහෝ දුර ය. ඒ නිසා ඇය අපට හමුවුණේ කලාතුරකිනි. 

දෙවෙනි නැගණිය විසුවේ ඇඹුල්දෙණියේ බැවින් අය අපට සමීප විය. අපි ඇයට කීවේ නිකම්ම “පුංචි ආච්චි” කියා ය. අපේ ආච්චිත් පුංචි ආච්චිත් කතා කියන්නට රුසියෝ වූහ. අපේ ආච්චි සිටියේ අප සමග ය. රෑට නිදන්නට පෙර ඇයට බුලත් විටක් කොටා දෙන පුංචි අපි ඇගේ ඇඳ අසළ බිම වාඩිවී ඇගෙන් කතා අසාගත්තෙමු. බුලත් විට හපමින් ඈ අපට අතිවිශාල ප්‍රමාණයක් රජකතා කියා දුන්නා ය.


අපේ ආච්චි මිය පරළොව ගියායින් පසු කතා අසාගන්නට අපට සිටියේ පුංචි ආච්චි ය. ඉඳහිට දවසක ඇඹුල්දෙණියට ගොස් කතා අසාගත් හැටි මතක ය. එහෙත් හැබෑම ලොතරැයිය ඇදුණේ පසුව ඇය අපේ ගෙදරට පදිංචියට ආ පසුව ය. ඇය සිටියේ අපේ මහගෙදරට යාබදව තිබූ ඇනෙක්සියක ය. ඇනෙක්සියත් අපේ ගෙදරත් දොරකින් සම්බන්ධව තිබුණ අතර දොර පලු නොතිබූ දොර වැසෙන ලෙස ඇගේ පැත්තෙන් අල්මාරියක් තබා තිබුණි.


පුංචි ආච්චි අපට රජ කතා පමණක් නොව චිත්‍රපටි කතා පවා කියා දුන්නා ය. ඇය වතාවක් කාගෙන්දෝ අසාගෙන අපට කියාදුන් “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටයේ කතාව මට තවමත් මතක ය. ඒ කතාව ඇය කොයිතරම් විශිෂ්ට ලෙස අපේ සිතේ මැවුවා ද කියන කාරණය මට වැටහුණේ ඇත්තට ම ඒ චිත්‍රපටය නැරඹූ දවසේ ය. එහි සෑම රූප රාමුවක් පාසා ම ඇය කල් ඇතිව කිසිදු අඩුවක් නැතිව අපේ සිත් වල ඇඳ තිබුණි.


ඩීමන් ආනන්ද ගැන කියන්නට ගොස් මේ වැල්වටාරම් කියන්නට සිදුවීම ගැන සමාවිය යුතුය. නියම මාතෘකාවට පිවිසෙන්නේ දැන් ය.





පුංචි ආච්චි සතුව විශාල ට්‍රන්ක පෙට්ටියක් විය. ඒ යකඩ පෙට්ටිය ඇය ආරක්ෂා කළේ නිධානයක් රකින්නා සේ ය. ඒ පෙට්ටිය පිරී තිබුණේ සියගණනක් වූ කතන්දර පොත් වලින් ය. වැඩියෙන් ම තිබුණේ ඩීමන් ආනන්ද ගේ කතා පොත් ය. අපි බොහෝ පින්සෙන්ඩු වී ඉඳ හිට පොතක් ඉල්ලා ගනිමු. මට පොත් දෙන්නට ඇය වඩාත් කැමති වූයේ මා පොත කියවා එයට කවරයක් ද දමා ඒ කවරයේ පින්තූරයක් ද ඇඳ ගරු සරු ඇතිව ආපසු බාරදුන් බැවිනි. 


ඉඳහිට පොතක් කියවා අපේ කියැවීමේ පිපාසය සන්සිඳවාගන්නට නොහැකි බව අපි දැන සිටියෙමු. ඒ නිසා අප කළේ පුංචි ආච්චි නිවසින් බැහැරව යන වේලාවක් බලා සිට අපේ ගෙවල් දෙක වෙන්කළ අල්මාරිය උඩින් ඇගේ කොටසට පැන අර ට්‍රන්ක පෙට්ටියෙන් පොත් අරගෙන කියවීම ය. පුංචි ආච්චි ආපසු එන්නට පෙර පොත් ආපසු දමන්ට ද අපි සමත් වීමු. අපේ කියවීම ඒ තරම් ම වේගවත් විය.


ආච්චි අපේ නිවසින් ආපසු යන කාලය වන විට ඒ පොත් පෙට්ටිය ම කියවා හමාර කරන්නට අපි සමත්වීමු.

(අපේ ළමා විය සුන්දරත්වයෙන් පිරවූ එවැනි ආච්චිලා අද අපේ දරුවන්ට නැතිවීම කොයි තරම් කණගාටුවක් ද?)


හයේ පන්තියේදී මට හේමචන්ද්‍ර හෝ චන්ද්‍රපාල හෝ නමින් යහලුවෙක් සිටියේ ය. පාසල ඇරී තලපත්පිටියේ සිට මිරිහානේ මොරගහ පටුමගේ (දැන් බෝධිය පාර) ගෙදරට පයින් එන ගමනේ දී ඔහු ආවේ මා සමග ය. ඉගෙනගන්නට ඒ හැටි දක්ෂතාවක් නොපෙන් වූ නමුත් ඔහු පොත් කියවන්නට පුරුදුව සිටියේ ය. අපේ පුංචි ආච්චි හැරෙන්නට මට ඩීමන් ආනන්ද ගේ පොත් වැඩියෙන් ම දුන්නේ ඔහු ය. ශත 75 ක් වූ ඩීමන් ආනන්ද ගේ පිටු හැත්තෑ දෙකේ පොත් මිලට ගන්නට ඔහු පුරුදුව සිටියේ ය. හතේ පන්තියේ දී තලපත්පිටියේ පාසලින් අස් වී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට යාමෙන් මගේ යහලුවා මට මගහැරී ගියේ ය. 


2007 වසරේ දිනෙක මරදානේ දයාවංශ ජයකොඩි ආයතනයේ දී දයාවංශ ජකොඩි මහතා සමග කතාබහක නියැලී සිටිය දී තවත් අමුත්තෙක් ඒ කාමරයට ඇතුල් විය. ඒ කරුණාරත්න ඩී ෆිලිප් මහතා ය. ඒ දිනවල ඔහු මරදානේ ම තිබූ තවත් පුවත්පත් ආයතනයක කර්තෘ මණ්ඩල ප්‍රධානියා ව සිටියේ ය. ඒ කාලයේ බිරිඳ පුවත්පතත් ඈ සඟරාවත් මුද්‍රණය කළේ ඒ ආයතනයේ ය.

මා සමග සාකච්ඡාවක් කර ඈ සඟරාවේ පළකරන්නට කරුණාරත්න ඩී ෆිලිප් මහතාට අවශ්‍ය විය. අපි දෙදෙනා කතා බහ කරමින් මරදාන පාර දිගේ ඔහුගේ පුවත්පත් කාර්යාලයට ගමන් කළෙමු. සාකච්ඡාව බාර වූයේ ඈ සඟරාවේ තරුණ සංස්කාරකවරයා වූ ධනුජය සේනානායකට ය. (අකාලයේ අභාවප්‍රාප්ත වූ ඒ තරුණ සංස්කාරකවරයා පිළිබඳ මතකය ද නොමැකී මගේ සිතේ ඇත) අපේ සාකච්ඡාවේදී තැනෙකදී මම “අපි කියවන්නට පටන්ගත්තේ ඩීමන් ආනන්ද මහත්තයගේ පොත් කියවලා තමයි” යි කීවෙමි.


සාකච්ඡාව අවසානයේදී ෆිලිප් මහතා අපූරු ඉල්ලීමක් කළේ ය.


“අනේ එදිරිසිංහ මහත්තයා අර කතාව ඩීමන් ආනන්ද මහත්තයටම කියන්න බැරිද? එයා අසනීපෙන් ඉන්නෙ.. මේ කතාව ඇහුවොත් එයා හරිම සන්තෝස වෙයි”


ඔහු අංක කරකවා ඩීමන් ආනන්ද මහතා සම්බන්ධ කරගත්තේ ය. ආනන්ද මහතාත් මමත් විනාඩි පහළොවක් පමණ කතා කළෙමු. ඔහුගේ කතා කියවා පොත් කියැවීමේ රුවිකත්වය වර්ධනය කරගත් හැටි මා කියන විට ආනන්ද මහතා මහත් සතුටට පත් විය.

“රට රටවල ඉන්න දොස්තරවරු ඉංජිනේරුවරු කොයි තරම් මට ඔය කතාව කියලා තියෙනවද? ඒ අහන අහන වාරයක් වාරයක් පාසා මට හරිම සතුටක් දැනෙනවා මං මේ ලෝකෙට මොනා හරි හොඳ දෙයක් කරලා තියෙනවා කියලා” ඔහු සතුටින් කීවේ ය.


සැබෑ නම ඩිලී වීරකෝන් වූ ඔහු පොත් ලිව්වේ ඩීමන් ආනන්ද යන නමිනි. ඔහු ඉපැදුණේ 1933 වසරේ දී ය. ඩීමන් ආනන්ද මහතා ලියූ පොත් සංඛ්‍යාව දහස ඉක්මවන බව කියැවෙයි. බටහිර නවකතාවේ රහස් පරීක්ෂකයා ජේම්ස් බොන්ඩ් ඔහුගේ කතා වල ජේමිස් බණ්ඩා විය. එයින් නොනැවතී තමාගේ ම රහස් පරීක්ෂකයකු ඔහු බිහි කරගත්තේ ය. තමාගේ නමට අනුව ම යමින් ඒ රහස් පරීක්ෂකයා ඩිකී වීරකෝන් ලෙස නම් කළේ ය. විදග්ධ සාහිත්‍යකාරයන් ගේ අපමණ මදි පුංචි කම් වලට, කෙණෙහිළි කම් වලට, ඔහු මුහුණ දුන්නේ ය. ඔහු ප්‍රධාන සාහිත්‍ය ප්‍රවාහයට අයත් නැති චුල සාහිත්‍යකාරයකු ලෙස හංවඩු ගැසුණි. (අද කියාත් ඒ හැසිරීමේ වෙනසක් නැත. අදත් සාහිත්‍ය ලෝකයට කියවන්නන් කියවන්නියන් දහස් ගණනින් කැන්දාගෙන එන ලේඛකයන්ට ලේඛිකාවන්ට බෙදන්නේත් ඒ හැන්දෙන්ම ය. ඒ කුහකකම, ඉරිසියාව, දෝරේ ගලන, අපේ රටේ හැටි ය)


ඒ කාලයේ මම සන්නස පුවත්පතේ සංස්කාරකවරයාව සිටියෙමි. සන්නස වෙනුවෙන් සාකච්ඡාවක් දිය හැකිදැයි මම ඇසුවෙමි. ඔහු එකඟ විය. ඒ සාකච්ඡාව මට ම කරන්නට මට කාලයක් නොවීය. මම පසුදා ඔස්ටේ්‍රලියාවට එන්නට නියමිතව සිටියෙමි. එන්නට පෙර සන්නසට ලංකාවේ සිට ලිපි සම්පාදනය කළ ශ්‍රීලාල් සෙනෙවිරත්නට ඒ රාජකාරිය පවරා ආවෙමි. එහෙත් අපේ අවාසනාවට ඊළඟ සතියේ ඩීමන් ආනන්ද මහතා මෙළොව හැර ගියේ ය. 


නොසන්සිඳෙන ශෝකයක් ඔහු මගේ හදවතේ තබා ගොස් ඇති බව දැනෙණ වාර අපමණ ය.


(රසික සූරියාරච්චි සංස්කරණය කරන සිසිල සඟරාවට ලියූ ලිපියකි)