ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුල් වී එහි ගොණු විකෘති කර දැමූ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ඇති වී තිබේ. මේ තරුණයන් දක්ෂයන් බැවින් ඔවුන් කළ අපරාධය නොතකා හැරිය යුතුය යන මතයක් ජනගත කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ තරුණයන් දක්ෂයන් නම් ඔවුන් කළ යුතුව තිබුණේ සිය දක්ෂතා සමාජ විරෝධි අපරාධයක් සඳහා යොදා ගැනීම නොවේ. දක්ෂයන් කළ යුත්තේ තම දැනුම සමාජ සුබසිද්ධිය සඳහා යොදවා ගැනීමයි.

අපරාධයක් කරන්නා දක්ෂයෙක්ද නැද්ද යන්න නීතිය සහ යුක්තිය ඉදිරියෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ කළ අපරාධය සහ එයට නීතියෙන් ලැබිය හැකි දඬුවම පමණකි. අපරාධකරුවන් වීරයන් කිරීමේ ප්රවණතාව දැන්වත් නවතා දැමිය යුතුය. එසේ නොවන කල අනෙකුත් අපරාධකරුවන්ද එය ආදර්ශයට ගනිමින් ඉදිරියටම යනු ඇති බවට සැකයක් නැත.
සයිබර් අපරාධ හෝ වේවා වෙනයම් අපරාධ හෝ වේවා වරදකරුවන් ඒ වරද කරන්නේ දැනුවත්වමය. තමන් කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒ අය දනිති. දැනුවත්ව වැරදි කරන්නන් වීරයන් වන්නේ නැත. සමාජ සුබසිද්ධිය අපේක්ෂා කරන්නෝ වෙත් නම් ඔවුන් කළ යුත්තේ අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම නොවේ.