Saturday, April 16, 2016

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?  


මේ බ්ලොග් එකේ කලින් කියාගෙන ආව කතා කීපය තාත්තා ගැන තව තවත් දේ කල්පනා කරන්න මාව පෙළඹුවා. මං කලින් කිව්වා එක කාලෙක අපේ තාත්තා සාර්ථක ව්‍යාපාරිකයකුව සිටිය බව. තාත්තා වයාපාරිකයකු වුණ කතාවත් ස්වකැමැත්තෙන් ඒ ව්‍යාපාරයෙන් අයින් වුණ කතාවත් කොතනින් පටන් අරන් කොහොම ලියන්නද මන්දා.

මගේ ඇස්තමේන්තුව නිවැරදි නම් කුලියාපිටියෙ උපනගරාධිපතිගෙ ලොකු පුතා වෙච්ච අපේ තාත්තා කොළඹ විශ්ව විද්‍යාලයට එන්නෙ 40 දශකයෙ අග හරියෙ. ඉගෙන ගන්න දස්සසා. ඉංග‍්‍රීසි වතුර වගේ කතා කරන්න පුලූවන්. කොළඹ ඇවිත් නවතින්නෙ නුගේගොඩ නෑදෑ ගෙදරක. ?ට කෑම කන්න ගියේ ළඟ පාත තිබුණ ගෙදරකට. ඒ ගෙදර තමයි අපේ අම්ම වෙන්න නියමිතව හිටිය කෙල්ල හිටියෙ. කෑම කන්න දිනපතා මේ ගෙදරට ගිය අපේ තාත්තා තරුණයා මේ කෙල්ල එක්ක හාද වෙනවා. තරුණිය හිටියෙ හොඳ ආර්ථික තත්වයක නෙවෙයි. චිත‍්‍රශිල්පියෙක්ව හිටිය ඇගේ පියා හදිසියෙම මිය යනවා. ඒ නිසාම වගේ මේ පවුලේ බර කරට ගන්නට අපේ තාත්තා තරුණයාට සිදුවෙනවා.

මේ හිතුවක්කාර විවාහයට තාත්තගෙ පාර්ශවය දැඩි සේ විරුද්ධ වෙනවා.

මේක හරිම පුදුම ලෝකයකි. සීයා කුලියාපිටියට යන්න වුණේ හිතුවක්කාරෙට ආච්චිව කසාද බැඳගැනීම නිසයි. ඒ ගමන නිසා නුගේගොඩ සීයගෙ තාත්තට අයිතිවෙලා තිබුණ විශාල ඉඩ කඩම් යායම සීයට අහිමි වෙනවා. සීයගෙ තාත්තා ඒ දේපළ සියල්ලම සීයගෙ මල්ලිට ලියනවා. ආදරේ නාමයෙන් ඒ වස්තු සම්පත් අතඇරපු සීයලා තමන්ගෙ පුතාගෙ විවාහටය විරුද්ධ වෙනවා.

තාත්තා ගුරුපත්වීමක් ලබාගෙන සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට උගන්නන්න යනවා තමන්ගෙ බිරිඳත් සමගින්. ඔහු දක්ෂ ගුරුවරයෙක්.

සඳලංකාවෙදි සහෝදර ගුරුවරයෙකුට යම් අසාධාරණයක් වෙනවා. තාත්තා මිත‍්‍රයා වෙනුවෙන් ඉස්කෝලෙ ස්ට‍්‍රයික් එකක් මෙහෙයවනවා. ඒ නිසාම තාත්තගෙ වැඩ තහනම් වෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් තියනවා.

”ඉන්ක්වයාරි එකට මං වෙනුවෙන් සාක්කි දෙන්න මගේ යාලූවාවත් ආවෙ නැහැ පුතා” තාත්තා තාම කියනවා ”යාලූවො මත්තෙ ජීවත් වෙන්න එපා.. අවශ්‍ය වෙලාවෙදි ඒ අය ළඟට එන්නෙ නැහැ... හැමෝම ආත්මාර්ථකාමීයි”

රස්සාව අහිමි වෙච්ච එදිරිසිංහ තරුණයා නැවත නුගේගොඩටම එනවා. බිරිඳගෙ පැත්තෙන් ලැබුණ ඉඩම් කෑල්ලක තමන්ගෙම මහන්සියෙන් කටු මැටි ගෙයක් හදනවා. මේ කාලෙ වෙනකොට පවුලට පුංචි දියණියකත් එකතුවෙලා.  ජීවත්වෙන්න ආදායමක් අවශ්‍යයි. ඔහු පොල් ගෝනියක් අරගෙන මහරගම පොළට යනවා. ලාබයක් තියාගෙන පොල් විකුණනවා.

”මහරගම පොලේ ඉංග‍්‍රීසියෙන් කෑ ගහලා පොල් වික්ක එකම මිනිහා මමයි” තාත්තා අදත් ආඩම්බරයෙන් කියනවා. මේ උත්සාහවන්ත මිනිහා එතනින් නවතින්නෙ නැහැ.

පිටකොටුවෙ එක්තරා පාරක් තිබුණා දෙමළ බීඩි සුරුට්ටු ව්‍යාපාරිකයන් අරක්ගත්ත. එදිරිසිංහ තරුණයා උදෙන්ම ගිහින් මේ පාරෙ තැන් තැන් වලට වෙලා ඉන්නවා. බීඩි සුරුට්ටු ඔතන හැටි බලා ඉන්නවා. ගෙදර ඇවිත් මේ වැඬේ කරන්න උත්සාහ කරනවා. (මේ කියන කාලෙ බීඩි වලින් සුරුට්ටු සිගරට් වලින් පිළිකා හැදෙන බවක් කවුරුත් දැනගෙන හිටියෙ නැහැ* මාස ගාණක් උත්සාහ කරලා වැඬේ අල්ලා ගන්නවා. ඉන්දියාවෙන් ලංකාවට බීඩි කොල ගෙන්නන්න පර්මිට් එකක් කොහොම හරි ඔහු ලබා ගන්නවා. ඒත් ඒ බඩු ගේන්න විශාල සල්ලියක්  ඕනෙ. තාත්තා ළඟ සල්ලි නැහැ.


”මගේ බීඩි කොල නැවක් ළබන මාසෙ එනවා. කැමති නම් ඇඞ්වාන්ස් එකක් දීලා වෙන් කරගන්න” තාත්තා දෙමළ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට කියනවා. මේ කාලයේ බීඩි කොල හිඟයක් තිබුණෙ. හැමෝම ඉදිරිපත්වෙනවා මේ බීඩි කොල තොගය ගන්න. ඒ අය දුන්න ඇඞ්වාන්ස් එකෙන්ම තාත්තා ඉන්දියාවෙන් බීඩි කොල ගේනවා. ”බියුටි බීඩි” නමින් ඇරඹුණ ව්‍යාපාරය බලා හිටිද්දි නැගලා යනවා. තාත්තාගෙ අත මිට සරු වෙනවා.


”ඒ කාලෙ බීඩි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම තිබුණෙ දෙමළ මිනිස්සු අතේ.. මායි මරවනාගොඩයි විතරයි සිංහල මිනිස්සුන්ට හිටියෙ” තාත්තා කියනවා.


ඔය අතරේ දවසක් තාත්තාගෙ තාත්තා - අපේ සීයා - නුගේගොඩ මිරිහානෙ තාත්තගෙ ගෙදරට එනවා. සීයගෙ ඇස් වල කඳුළු. ඔහු කතා නැතුව තාත්තා දිහා බලා ඉන්නවා.


”විකී මං උඹට මෙච්චර ඉහළට ඉගැන්නුවෙ බිස්නස්කාරයක් කරන්න නෙවෙයි” සීයා කඳුළු අතරින්ම කියනවා. මේ කතාව තාත්තගෙ හදවතේ පතුළටම වැදෙනවා. ඔහු තීරණයක් ගන්නවා.


ඉතිරි හරිය පසුව කියන්නම්

15 comments:

  1. නියම කතාවක් නේ!

    ඔය හරියේ දෙල්කඳ හන්දියේ ජීවිතය ගැන ලියපු අරුණ පෙරේරා ගේ බ්ලොගය සිහිවුණා!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රසික. මේක කියවනකොට මගේ ගම මතක්වුනා. මිරිහාන,දෙල්කඳ බොහොම කිට්ටුයි. අපි ඇවිදපු කරක් ගහපු පිට්ටනි.Aru.

      Delete
  2. බීඩී එතිල්ල 1970 සිරිලංකා-සමසමාජ-කොමිනිස් ආණ්ඩුව කාලේ ගෘහස්ත කර්මාන්තයක් ලෙසත් පැවතුනා. මං හිතන්නේ බීඩීවල ලේබල් අලවලා, බන්ඩල් බැඳීම.

    දැන් නම් බීඩි බීම අඩුයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ බීඩි ව්‍යාපාරයෙ කතාව තව ටිකක් ලියන්න තියෙනවා..


      Delete
    2. ඔව්...ඒ කාලේ ගෘහස්ථ කර්මාන්තයක් තමයි. මට මතකයි ඉන්දියාවෙන් ගෙන්නපු රාජා බීඩි සත දහයට තුනයි. සුදු බීඩි කර්මාන්තයත් එක්කම ඔය බීඩි නැවතිලා ගියා. මගේ මතකය හරි නම් දේශීය 'මහවැලි බීඩි' කියලා ජාතියකුත් තිබුනා.

      පන්තියක ගුරුවරයා බෝඩ් එකේ සම චතුරශ්‍රයක් ඇඳලා, AC සමානයි හතරයි නම් BD කීයද කියලා අහනවා. වෙන සිහියක හිටිය මදාවි කොල්ලෙක් නැගිගටලා සත දහයට තුනයි සර් කියනවා.....ඕක මම පුංචි කාලේ පන්තියේ සඟරාවට ලියපු ජෝක් එකක්. ඒ නිසා මට ඔය රාජා බීඩි කතාව හොඳට මතකයි. Aru.

      Delete
  3. ලිවීමේ ශෛලය සිත්ගන්නා සුළුයි. යාලුවා නිසා තාත්තා කාපු පරිප්පුව කියෙව්වම මතක් වුනේ, මම නම් ජීවිතේ යාලුවෝ කියල කොටසක් ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නෑ. ඉන්නේ, අඳුරන මිනිස්සු. උනුත් මිනිස්සු, අවස්ථාවාදීකම කියන්නේ මිනිස්සුන්ට පොදු ලක්ෂණයක්. ඔය අඳුරන මිනිස්සුන්ව යාලුවෝය කියල හිතල දෙක පටලගත්තොත් වැඩේ වරදිනව ඉතින්

    කතාව ආසාවෙන් කියෙව්වා.. ඊළඟ එකත් ලියන්න

    ReplyDelete
  4. යාලුවෝ ගැන කතාවෙදි ඔබේ තාත්තා හරි. මටත් පදම්වෙන්න අත්දැකීම් තියෙනවා. තරුන කාලේ ඕවා තේරෙන්නේ නැහැ. තාම හරියට තේරුම් අරගෙනත් නැහැ. දිගටම ලියන්න. ඔබගේ ලියවිල්ල කියවීමට පහසුයි සහ රසවත්!!!!!Aru.

    මේ පහලින් ඇති කොටස උපුටාගත්තේ Cupcake Brown ලියූ A Piece of Cake කියන පොතෙන්. එයාගේ ඇත්ත නමත් කප්කේක්. පිස්සු ඔල්මොරොන්දන් වෙන ජීවිත කතාවක් තමයි මේ ගැහැනියගේ කතාව. අවසානයේ ඇය අධ්‍යාපනය හරහා ජීවිතය ජය ගන්නවා.

    මේ ඇය යහලුවන් ගැන කියනා අදහසක්!!!/////friends are like buses, if you miss one sooner or later another will come. the names of the routes change but the destinations don’t. it will always cost something to ride - no one rides for free. they’ll leave your ass if you don’t get with the schedule///////////

    මේ ඇය fear කියන වචනය විග්‍රහ කරන හැටි.

    ////Always remember the acronym for ‘FEAR’ can mean one of two things: Fuck Everything And Run or Face Everything And Recover.//////
    Cupcake Brown “A Piece Of Cake”

    ReplyDelete
    Replies
    1. @ෂෙෆාකි....... ලඟදි මුකුත් ලිව්වේ නැද්ද? Aru.

      Delete
  5. රසිකොලොජිස්ට් බ්ලොගය හරහා ආවෙ.ඔබේ ලිවීම රසවත්.
    ජයවේවා..!!

    ReplyDelete
  6. සම්පූර්න බ්ලොගය ම එක හුස්මට කියෙව්වා. කියවන්න ආස හිතෙන විදිහට ලිවීම ගැන ස්තූතී.

    ReplyDelete
  7. රසිකයියා තමා පාර කිව්වේ................

    බ්ලොගය ගැනනං කියන්න තියෙන්නේ ඉතා අගනා බව තමා. ඔබ අපි සමග එකතු වීම ඇත්තට ම සතුටට කරුණක්. දිගට ම ලියමු. දිගට ම බ්ලොග්කාරයෙක් වෙමු.

    අපේ සින්ඩියටත් දා ගත්තා. අනික් සින්ඩි වලටත් දා ගන්න හැකිනං හැම දෙනාට ම මේ පැත්තට ඒමට උදව් වේවි......

    ජයවේවා....

    ReplyDelete
  8. රසිකගෙන් මග අහගෙන ඇවිත් මුලින්ම කියෙව්වෙ සම්මන ැන ඊට පස්සෙයි මේ රසවත් ලිපියට ආව දිගටම ලියන්න අපි මග බලා සිඑිනවා

    ReplyDelete
  9. මාත් ආවේ රසිකගේ පාරෙන්. ඉතාම රසවත් කතාවක්. ඉදිරි කොටස් එනකම් මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  10. රසික ගෙන් පාර හොයාගත්තේ. Follower ගැජට් එකක් දැම්මොත් අපිට පහසුයි.

    ReplyDelete