Wednesday, April 20, 2016

ඞීමන් ආනන්ද - තව දුරටත්

ඞීමන් ආනන්ද - තව දුරටත්


නාලක සිය ලිපියේ තැනක මෙහෙම ලියනවා.


ඞීමන් ආනන්ද මාරක කථා කියැවීම හරහා සාහිත්‍ය ලෝකයට පිවිස, පසුව එහි ලොකු හපන්කම් කළ සිංහල භාෂා මහාචාර්යවරයකු මේ සතියේ මා සමග කීවේ මෙයයි.  ”බොහෝ රටවල ජනප‍්‍රිය හා සම්භාව්‍ය සාහිත්‍යය සමාන්තරව පවතිනවා. අපේ අවාසනාව නම් ජනප‍්‍රිය සාහිත්‍යයට මෙරට හිස ඔසවන්නට ඉඩක් නොදීම”


මේ ප‍්‍රකාශය ඉතා වැදගත්. අපේ රටේ ජනප‍්‍රිය සාහිත්‍යයට හෝ වෙනයම් ජනප‍්‍රිය කලාංගයකට හෝ හිස ඔසවන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ. හේතුව මොකක් වුණත් ජනප‍්‍රිය කලාව ගැන කතා කරන්නවත් අපේ විදග්ධ සමාජයේ ඉඩක් නැහැ.


මම මේ පිළිබඳව කතිකාවක් ගොඩනගා ගන්නට දෙවතාවක් උත්සාහ කළා. විදග්ධ ප‍්‍රබුද්ධ සම්භාව්‍ය ඔය වගේ මෙකී නොකී ඉහළ පන්නයේ තල වල ඉන්න සාහිත්‍යකාරයන් සාහිත්‍ය සේවනය කරන්නන් අතරදි. ඒ දෙවතාවෙම මං ඒක කළේ ප‍්‍රධානවශයෙන්ම මේ සංසිද්ධිය හමුවේ මේ අයගෙ හැසිරීම දැකගන්න අවශ්‍ය නිසයි. පර්යේෂණයක් හැටියට කිව්වොත් වඩා නිවැරදියි.


මගේ ප‍්‍රවිශ්ටය මෙහෙමයි.

”අපි ඒ කාලෙ ඞීමන් ආනන්දගේ පොත් කියවපු පිරිසක්. අවර ගණයේ සාහිත්‍යයක් කියලා සමාජයෙන් මහා ඝෝෂාවක් නැගෙද්දි තමයි අපි ඒවා කියෙව්වෙ. එහෙම කියවපු මිනිස්සු සාහිත්‍යායේ ඉහළ ඉසව් කරා ගියා. අද ඒ අය ඞීමන් ආනන්දට ස්තුති කරනවා. දවසක සුජීව ප‍්‍රසන්න ආරච්චි ගැනත් මිනිස්සු එහෙම නොකියයිද?”

සුජීව ප‍්‍රසන්නආරච්චි කියන නම ඉවර කරන්නත් කලින්ම අපේ ප‍්‍රබුද්ධ සමාජය පරළ වෙනවා.

” ඕකා ගෑනුන්ට පොත් ලියන එකෙක්. කළාපෙ එවුන්ටයි මැදපෙරදිග එවුන්ටයි ආදර කතා ලියලා හම්බකරගන්න එකෙන්. මුන් ගැන කතා කරන්නවත් වටින්නෙ නැහැ. සාහිත්‍යය විකූණගෙන කනවා.” ඔය වගේ දාහක් කාරණා මේ අය අවේගශීලීව මතුකරනවා. මොන බුද්ධිමය සාකච්ඡුාවක්ද?

මම කතා කරන්නෙ ඞීමන්ගෙ සාහිත්‍යයේ උසස් බවක් ගැනවත් සූජීවගෙ සාහිත්‍යයේ උසස් බවක් ගැනවත් නෙවෙයි. මම කියන්නෙ මොන මගුලක් ලියලා හරි මේ මිනිස්සු දෙන්නා කියවන සමාජයක් බිහිකරලා තියෙනවා කියන කාරණයයි. පොත් කියවන මිනිස්සු. 


”ඞීමන් ආනන්ද එදා නොහිටියා නම් අද මේ පොත් කියවන මිනිස්සුගෙන් බාගයක්ම නැහැ” අද මේ සටහන ලියන්න මොහොතකට කලින් අසෝක සුබසිංහ අතිශයෝක්තියෙන් කියපු කාරණයත් අමතක කරන්න බැහැ.


සූජීවලා කැන්දාගෙන එක මේ පොත් කියවන මිනිස්සුන්ව එතනින් උඩට ගන්න එක අපේ සම්භාව්‍ය ලේඛකයන්ගෙ වගකීමක්. එහෙම නැතුව සූජීවට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. මෙහෙම දෙයක් සිදුවෙමින් පවතිනවා කියන සත්‍යය නොදැක්කා වගේ කුහකවතින් අහක බලාගෙන ඉඳලත් වැඩක් නැහැ. කළ යුතු දේ සුජීව අපේ සාහිත්‍ය ලෝකයට පොත් කියවන්නන් දහස් ගණනින් ඇදගෙන එන බව පිළිඅරගෙන ඒ ඇදී එන පිරිසට මෙන්න මෙහෙම උසස් සාහිත්‍යයකුත් තියෙනවා කියලා පෙන්වා දෙන්න උත්සාහ කරන එකයි. එය කළ හැකි වන්නේ කෙසේද යන්න වෙනමම සාකච්ඡුා කළ යුතු දෙයක්.


සුජීව ප‍්‍රසන්නආරච්චි මා  පුද්ගලිකව හඳුනන්නෙක් නොවේ. ඔහු ලියන දේ පිළිබඳ කිසිදු ආකාරයක තක්සේරුවක්ද මට නැත. කොටින්ම ඔහුගේ අහංකාරපරවශ ජීවන රටාව පවා මට අප‍්‍රසන්නය. එහෙත් පොත් කියවන මිනිසුන් බිහිකිරීම ගැන ඔහුට ප‍්‍රශංසා කරන්නට ඒ කිසිවක් බාධාවක් නොවේ.


ජනප‍්‍රිය සාහිත්‍යය සහ ජනප‍්‍රිය කලාව පිළිබඳ තවත් යමක් කියන්නට ඉතිරිව තියෙනවා. එය පසුවට.

14 comments:

  1. ජනප්‍රිය සාහිතයය කවදත් පවතිනවා.. සුජීවගේ පොත් අතට අහු උනොත් නං මාත් කියවනවා. එපා වෙන්නේ එකම වර්ඩ් එක දහ දොලොස් තැනක තොදොල් වෙවි දාන එක තමා..

    ReplyDelete
  2. ජනප්‍රිය කොයි දේටත් විවේචන තියෙනවානේ.

    ඩීමන් ආනන්ද ගැන කියූ තව කතාවක් මා අසා තිබෙනවා මෙහෙම

    //පොත් දහස් ගණනක් ලිව්වාට ඩීමන් ආනන්දට "සිංහලයේ මහා ගත්කතුවරයා" කියලා කියන්නේ නැහැනේ. // වැනි ප්‍රකාශයක්.පුවත්පතක වෙන්න ඕනේ මම ඕක දැක්කේ.

    ReplyDelete
  3. // සුජීව ප‍්‍රසන්නආරච්චි කියන නම ඉවර කරන්නත් කලින්ම අපේ ප‍්‍රබුද්ධ සමාජය පරළ වෙනවා. //

    ඕකට කියන්නේ ඊරිසියාව කියලා

    ReplyDelete
  4. ඕකමනේ ජෝතිපාලලාටත් කලේ .... ගීතය මහ පොලවට ගෙනාපු මිනිස්සු. පීචං කියලා තමයි ලේබල් කරේ.

    ReplyDelete
  5. දීමන් ආනන්දගේ පොත් මා කියෙව්වේ 1960 දශකයේදී 8 වැනි පන්තියේ ඉගෙනගත් කාලයේදී. නමුත් 10 වැනි පන්තියට එනවිට, ඊට වඩා හොඳ පොත් මොනවාද යන්න හඳුනාගත් බැවින්, ඩීමන් ආනන්දට සමුදුන්නා. සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් මා දකිනවිට මගේ වයස 55 ත් පැනලා. ඔහු කරුණාසේන ජයලත් ටත් වඩා පහල ඉන්න බව පෙනුන නිසා අතහැර දැම්මා.

    ReplyDelete
  6. මා නම් කියවා ඇත්තේ ඩීමන් ආනන්ද ගේ පොත් දෙකක් පමණයි.

    එකක ඔසී නම් චරිතයක් ද, තවත් ගෑනු චරිත දෙකක් ද තිබුණා. බ්‍රිගේඩියර් එම් වගේ චරිතයකුත් තිබුණා මතකයි. කොළඹ වතුර සැපයුමට වස දාන්න කළ සැළසුමක් වීරයා නවත්වනවා.

    අනිත් එක ජේමිස් බණ්ඩා නම් චිත්‍රකතාවක්. කතාව ලියන් ඇත්තේ ඩීමන් ආනන්ද යැ්‍රි සිතනවා.

    පොත් දෙකක් පමණක් කියවීඟට හේතුව අන් කිසිවක් නොව ඒ පොත් මගේ නෙත ගැටෙන තැන්වල නොතිබුණු නිසායි. ඒ වෙනුවට මට කියවන්නට ලැබුණේ පරණ රසවාහිනී සහ ශ්‍රී සඟරා සහ රසකතා නම් කෙටිකතා රැගත් සතිපතා පුවත්පතයි!

    ReplyDelete
  7. ජේම්ස් හැඩ්ලි චේස් යනු "මේ ආකාරයේ ම" වැදගත් ලේඛකයෙකි!

    ReplyDelete
    Replies
    1. චේස් ව ඉස්සරෝම ලංකාවෙට ගෙනාවෙත් ඩීමන් මට මතක විදියට.
      ඒ පොත නං මතක නෑ.. ඒත් ඊට පස්සෙ චේස් ගෙ පොත් ගොඩක් ට්‍රාන්ස්ලේට් වුණා

      Delete
  8. මම කතා කරන්නෙ ඞීමන්ගෙ සාහිත්‍යයේ උසස් බවක් ගැනවත් සූජීවගෙ සාහිත්‍යයේ උසස් බවක් ගැනවත් නෙවෙයි. මම කියන්නෙ මොන මගුලක් ලියලා හරි මේ මිනිස්සු දෙන්නා කියවන සමාජයක් බිහිකරලා තියෙනවා කියන කාරණයයි. පොත් කියවන මිනිස්සු.

    -------------------------------------------------
    දෙයක් හුරු කරන්න, ආරම්බය සරල විය යුතුයි.
    -------------------------------------------------

    ReplyDelete
    Replies
    1. ඔබ එක් පැත්තකින් නිවැරදියි.
      නමුත් කියවන්නන්ගේ චින්තනය මොට කරමින්, එවන් සමාජයක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක්ද???

      Delete
    2. මාධව......නමුත් කියවීම නැමති මූලික අඩිතාලම හරහා නේද ඔය ඕනෑම චින්තනයක මූල බීජ හටගන්නේ සහ චින්තනයකට අඩි පාර හැදෙන්නේ. සාමා, අමරගෙන් පටන් ගත්ත අපි නොයෙකුත් genre හරහානේ කියවීම පුරුද්දක් කරගන්නේ. ඩීමන් කියන්නෙත් ඒ ගමනේ දම්වැල් පුරුකක් කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. ඩීමන් ගැන මගෙ කිසිම විරෝධයක් නෑ. ඩීමන් ආනන්ද කියන්නෙ ඉතාම ශක්තිමත් යෝධ පුරුකක්.
      නමුත් සුජීව වන්නන් මොන වගේ පුරුක්ද? එවන් පුරුක් වලින් ඇති කරන genre එක හොඳයි කියල මට හිතෙන්නෙ නෑ. ඒ genre එකේ කෙනෙක්ට ඩීමන් වැන්නන්ගෙ genre එකට යන එකත් ලේසි නෑ. එහෙම යාවිද කියන එකත් සැකයි. චින්ගීස්, පවුලෝ, තෝල්ස්තෝයි, ඩූමා, වැන්නන්ගේ පොත් නම් ඔවුන් අතටවත් ගන්න එකක් නෑ.

      Delete
    4. /////චින්ගීස්, පවුලෝ, තෝල්ස්තෝයි, ඩූමා, වැන්නන්ගේ පොත් නම් ඔවුන් අතටවත් ගන්න එකක් නෑ. ////////

      මාධව.....මට හිතෙන්නේ මේක 50-50 තත්වයක්.ඔය දෙකම කියවන අයත් ඉන්නවා. අමරදේවලා අහන අපි රම්බරීලාට නටන්නේ. මම වැරදි වෙන්න පුලුවන්. මුලු ලෝකයම ශාස්ත්‍රීය කියවන්නන් වූවා නම්, සමාජය imbalance නේද? සුජීවලාගේ කතා කියවන්න හුරුවෙලා ඉන්න අයතුලින් හෝ කියවන්නන පිරිසක් එකතුවීම හොඳයි. ඒක පෞද්ගලික රසාඥතාවයනේ. ඒක වැඩි දියුණු කරගැනීම වෙනම කතාවක්. ලෝකයේ ඕනෑම සමාජයක සුජීවලාත් ඉන්නවා,වික්‍රමසිංහලාත් ඉන්නවා.

      Delete
  9. උඩ තියෙන මොහොමඩ්ගෙ කමෙන්ටුවත් එක්ක කියන්නං කියල හිතපු දේ සුස් ගාල හුලගෙ ගියා.
    මම දිගට කියන්න හිතපු දේ ඔහු සරලව කියල.

    ReplyDelete