Monday, May 16, 2016

ජීවිතය තීරණය කරන කුරුබිලිය


මේ දිනවල තිස්ස අබේසේකරගේ ”අයාලේ ගිය සටහන්” පොත නැවත කියවමින් සිටින්නෙමි. අප අතර සිටි ශාස්ත‍්‍රාල සහතික නොලත් බුද්ධිමතකු ලෙස අපේ මහත් ගෞරවයට පාත‍්‍ර වන තිස්ස අබේසේකර මහතා පිලිබඳ සටහනක් ලියමින් ලියනගේ අමරකීර්ති පසුගිය දා පවසා තිබුණේ නොගියා නම් හොඳ යයි සිතෙන මිනිසුන් අතර තිස්සද සිටින බව ය. එය අපද පිලිගන්නා සත්‍යයකි.

තිස්ස අබේසේකර හමුවී කතා බහ කරන්නට අවකාශයක් මට කිසිදා නොලැබුණි. ලංකාවේ සිටි කාලයේදී මගේ ලොකු දුව පාසලෙන් ගන්නට කාන්තා විද්‍යාලයේ ගේට්ටුව ඉදිරියේ සිටිනා විට තිස්ස ද ඔහුගේ දුව ගන්නට පැමිණ සිටිනු මම නිතර දැක ඇත්තෙමි. ළඟට ගොස් කතා කරන්නට ආසාවක් තිබුණද වට පිට නොබලා ආඩම්බරකාර සෙයියාවකින් සිටිනා මේ දැවැන්තයා ඉදිරියේ පසුබා සිටියෙමි.

බොහෝ කාලයක් සිනමාවේ සිටියද පළමු වරට ඔහු මගේ හදවත දිනා ගන්නේ වැලිකතර චිත‍්‍රපටය ඔස්සේය. වැලිකතරට තිස්ස ලියූ තිරනාටකය අපට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේ ය.

ගාමිණී (වික‍්‍රම රන්දෙණිය පොලිස් පරීක්ෂකවරයා අලූත් පොලිසියේ රාජකාරියට යාමට පෙර නිල ඇඳුමින් සැරසී සිය බිරිය ඉදිරියේ සිටගෙන)  - රජ දැක්මට අවසරද
ස්විනීතා - අවසරයි

තිස්ස පිළිබඳ මේ කතාව ලියන්නට පටන් ගත්තේ මේ විස්තර ලියන්නට නොවේ. එහෙත් ලියැවුණි.

ශාස්ත‍්‍රාල බුද්ධිමතුන් පරදන විශිෂ්ට දැනුමක් තිබූ මේ බුද්ධිමතා වතාවක් ශාස්ත‍්‍රපති උපාධියකට ලියාපදිංචි වීමට අයැදුම් කළේ ය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයෙන් යයි මගේ මතකය කියයි. තිස්සට ප‍්‍රථම උපාධියක් නැතැයි කියා ඒ අයැදුම්පත ප‍්‍රතික්ෂෙප විය. මෙය අපේ රටේ මුග්ධ අධ්‍යාපන ක‍්‍රියාවලිය මනාව පිලිබිඹු කරන සිදුවීමක් යයි මට සිතෙයි.

උසස් පෙළ නැත්නම් ප‍්‍රථම උපාධිය කළ නොහැකිය
ප‍්‍රථම උපාධිය නැත්නම් පශ්චාත් උපාධියක් කළ නොහැකිය
වැනි දැඩි නීති රීති පනවාගෙන සිටින්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබ අධ්‍යාපන පරිපාලනයේ සිටින්නවුන්ගේ කුහක පිළිවෙත් නිසා යයි මට සිතෙයි.

ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වන මා දන්නා දියණියක හදිසියේම පාසල් යාම නවතා දැමුවේ පාසලේදී සිදුවන හිංසන වලට මුහුණ දෙන්නට ඇයට නොහැකි යයි කියමිනි. පසුව ටේෆ් කොලිජියකට (ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක වන තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියකි) ඇතුල් වූ ඇය එහි අධ්‍යාපනය ලබා ඒ සුදුසුකම් මත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූවාය. ඇයට උසස් පෙළ සහතිකය තිබේදැයි විශ්ව විද්‍යාලය ඇසුවේ නැත.

උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුල් වන්නට තරම් ලකුණු නොලද මගේ යෙහෙළියක ජාතික තාක්ෂණ ඩිප්ලෝමා (එන්ඞීටී) පාඨමාලාව හදාරා ඒ සුදුසුකම් ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූවාය. ඔස්ටේ‍්‍රලියාවේදී විශ්ව විද්‍යාලයකට ඇතුල් වූ ඇය ඉන් පිට වූයේ ආචාර්ය උපාධියක් ලබාගෙනය. අද ඇය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි.  උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය තරම් ලකුණු ලබා ගන්නට නොහැකිවන්නෝ මෝඩයෝ නොවෙති.


මෙවැනි උදාහරණ අනන්තවත් පෙන්වා දිය හැකිය. එහෙත් වැඩි වැල්වටාරම් නැතිව කියනවා නම් උසස් අධ්‍යාපනය හදාරන්නට කැමැත්ත ඇත්තවුන්ට ඉදිරියට යාමට විකල්ප මාර්ග සකස් කරදීමේ වගකීම අද දියුණු යයි සම්මත සෑම රටකට අධ්‍යාපනඥයන් පිළිගෙන ඇති බව නොදන්නේ ශ‍්‍රී ලංකාවේ බක පණ්ඩිතයන් පමණකි.

ලංකාවේ පාසල් දරුවකුගේ අනාගතය උසස්පෙළ සහතිකය නමැති කඩදාසි කැබැල්ලට තීරණය කරන්නට ඉඩ දී තිබීම අහම්බයක් නොවේ. හිතා මතා කරගෙන යනු ලබන සාහසික අපරාධයකි.

නොදන්නා කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඒ අපරාධයට උඩ ගෙඩි දෙන්නට දැන් විශ්වවිද්‍යාල වල සිටින තරුණ තරුණියන් පෙළඹී සිටිනු දැකීම අවාසනාවකි.

12 comments:

  1. TAගේ "Bringing Tommy home" හුඟක් හිතට වැදුන කතාවක්.

    ReplyDelete
    Replies
    1. මට ඒ පොත කියවන්න ලැබිල නෑ ප්‍රා.

      Delete
    2. කියවිය යුතුම පොතකි. වෙරළු මල් සුවඳ ගැන අති මනරම් ආකාරයට ලියා තිබේ.

      Delete
    3. ඒක සිංහලෙන් තිබුනා.. මට මතකයි ඔය කතාව.

      Delete
    4. PRA......Bringing Tony home.....නේද?

      Delete
  2. ලංකාවේ ඉහල උපාධි ගන්නට නිබන්ධන අනවශ්‍ය වේ. සිසිලා කොතලාවලට, මිලිනා සුමතිපාලට, මර්වින් සිල්වාට ද ආචාර්ය උපාධි තිබේ.

    ඒවා විශ්ව විද්‍යාලවලින් දුන් ජෙනුවැයින් ඒවා මිස හොර බඩු නොවේ!

    ReplyDelete
  3. අපේ කම අපිට හරිම වටිනවා.. ඒකයි මේවා මේ විදියටම කරගෙන යන්නේ..

    ReplyDelete
  4. //අද දියුණු යයි සම්මත සෑම රටකට අධ්‍යාපනඥයන් පිළිගෙන ඇති බව නොදන්නේ ශ‍්‍රී ලංකාවේ බක පණ්ඩිතයන් පමණකි.//
    I don't know why???

    ReplyDelete
  5. ජගත්......මේ ලියනගේ අමරසූරියද...ලියනගේ අමරකීර්තිද?
    තිස්ස අබේසේකරයන් ක්ලැරන්ස් විජේවර්ධන පිලිබඳ කිව්වේ "අමරදේව සිංහල සංගීතයට වැදගත් වේද, ක්ලැරන්ස්ද ඒතරම්ම වැදගත්" කියලා. තිස්ස අබේසේකරව නිසි ඇගයීමකට ලක්වුනාද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ.. නිවැරදි කළා..

      Delete
    2. තිස්ස අබේසේකර පිලිබඳ නිසි අගැයීමක් නොවුණ බව මගේද අදහසයි.. සිදුවුණ එකම අගැයීම ජීවිතයේ අවසාන කාලයේ යමිකිසි විශ්වවිද්‍යාලයකින් පිළිගැන්වුණ ආචාර්ය උපාධිය පමණයි.

      Delete