Saturday, May 7, 2016

පිදීමේ ක‍්‍රමවේදය

පමාවට සමාව ඉල්ලමි


හැම මාසයකම අග සතිය මට ඔලූව උස්සන්නවත් විවේකයක් නොදෙයි. ඒ ”සන්නස” පුවත්පත නිමා කර මුද්‍රණයට සූදානම් කළ යුතු නිසා ය. මේ මාසයේ ඒ බර දෙගුණයක් වූයේ එකවර පුවත්පත් දෙකක්ම එකම සතියක නිකුත් කරන්නට සිදුවීම නිසාය. එනිසා ලියන්නට සිටි දේ කිසිවක් ලියාගන්නට නොහැකි විය.

අද සවස මගේ බ්ලොග් ගුරු රසික සූරියආරච්චි දුරකතන ඇමතුමක් දී ”මොකද අලුතින් ලිව්වෙ නැත්තෙ?" යි අසන විටත් මා සිටියේ සන්නස අන්තර්ජාලයට එක් කරමින් ය.

”මේ වැඬේ අහවර වූ ගමන් කතාවක් ලියනවා” යයි රසිකට පොරොන්දු වූයෙමි. පොරොන්දු වූ පරිදි අලූත් එකක් ලියන්නට නොහැකි වුවත් පරණ කතාවක් සොයා ගතිමි.

මේ සටහන තරමක් පරණ එකකි. එසේ වුවද එහි කාලීන බව නිසා නැවතක මෙහි බහාලමි.



පිදීමේ ක‍්‍රමවේදය




මම විවිධ පුද්ගලයන්ගේ චරිතාපදාන කියවන්නට  මහත් රුචියක් දක්වන්නෙමි. ඞී බී කුරුප්පු ශූරීන් ගේ ‘‘හැන්දෑවට පායන හිරු නොහොත් යුගයක අත්දැකීම්’’ පොතත් ඞී එෆ් කාරියකරවන ශූරීන් ගේ ‘‘දශක සතක මතක’’ හා ‘‘මතක පොතේ ඉතිරි හරිය’’ පොත් දෙකත් පසුගිය මාස කීපයේ දී නැවත කියෙව්වෙමි. මේ දෙදෙනාම වියපත් ලේඛකයෝ ය. සාපේක්ෂ වශයෙන් තරුණ ලේඛකයකු වන ගුණසිරි සිල්වා සිය අත්දැකීම් ලියා තැබූ ‘‘පිහාටු පෑන’’ පොත කියෙව්වේ ගිය මාසයේ ය. ඔහුගේ පොතේ පෙරවදනේ එන මේ කොටස මගේ සිත් ගත්තේ ය.

‘‘හැම කෙනෙකුටම කියන්නට කතාවක් ඇත. හැම කතාවක්ම නිසි ලෙස පෙළ ගැස්විය හැකි නම් ඒ සියල්ල ම රසවත් වනු නොඅනුමාන ය. එහෙත් පාඨකයා හමුවට එන්නේ ලේඛකයන් කලාකරුවන් දේශපාලනඥයන් වැනි සිවිල් චරිත පිලිබඳ කතා පමණක් ම නිසා අර හැම දෙනා තුළම පොදුවේ පවතින රසවත් කතා නොවැදගත් ඒවා ලෙස යටපත් වෙයි.’’


කුරුප්පු මහතා සිය ජීවිත කතාව ලියන්නේ මතකයෙනි. ඔහුට ඇති ස්මරණ ශක්තිය විශ්මයජනක ය. කුරුප්පු මහතාගේ වයසට එන තෙක් ජීවත් වන්නට ලැබුණොත් අපූරු ය. එහෙත් ඉතා දුර්වල ස්මරණ ශක්තියක් ඇති මගේ මතකය ගැන මට කිසිදු විශ්වාසයක් නැත. එනිසා ම මතකයට එන යම් යම් දේ ලියා තබන්නට මම සිතමි. එයින් යම් රසයක් විඳ ගන්නට එක් අයකුට හෝ හැකිවුව හොත් එය සතුටකි.


සන්නස සාහිත්‍ය තරගාවලියේ සහතික බෙදා දීම නිමා විය. සුන්දර සැන්දෑවකින් පසු අප ආපසු ආවේ මහත් සතුටක් සිත්හි රඳවාගෙන ය. තරගයේ ජයග‍්‍රාහක කෙටි කතා දහය ඇතුළත් කොට "පළමුවැනි තෑග්ග" කෙටි කතා සංග‍්‍රහය නිකුත් කරන්නට ලැබීම අපේ සතුට තවත් වැඩි කරන්නට හේතු විය. පොත මුද්‍රණය කිරීමේ කටයුත්තේ දී මට ශක්තියක්ව සිටියේ ඞී බී කුරුප්පු මහතා ය. එනිසාම මේ පොත ඔහුට පුදන්නට තීරණය කළෙමු.

කුරුප්පු මහතා අනවශ්‍ය ගරු සැළකිලි වලට කැමති නැති නමුත් ඔහු ගේ කැමැත්ත නොවිමසා ම අපි මේ කටයුත්ත කළෙමු. ඒ අපේ හිතට හරියන මිනිසෙකුට පොත පිදිය යුතු නිසාය.

"පළමුවැනි තෑග්ග" පොත තුසිත් අබේනායක සොයුරා අතින් කුරුප්පු මහතාට පිළිගැන්වෙන මොහොතේ මගේ සිත දුව ගියේ පොතක් පිලිගන්වන්නට ගොස් උගත් පළමු පාඩම වෙත ය. ඒ 70 දශකයේ අග භාගයේ දී ය.

එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයේ උසස් පෙළ හදාරමින් සිටි මම විද්‍යා ශිෂ්‍ය සංගමයේ ලේකම් වරයා වූයෙමි. සභාපති වූයේ මගේ හිත මිතුරා උදය ලක්ෂ්මන් ය.

(පසු කලෙක ලංකාවේ අති සාර්ථක ව්‍යාපාරිකයකු ව මහත් සැපවත් දිවියක් ගෙවමින් සිටි මගේ මිතුරා පූරුවේ කළ පවක් පළදීමෙන් දෝ නවසීලන්තයට සංක‍්‍රමණය වී දැන් සැපසේ දුක් විඳිමින් සිටියි. නරක කල ආ දා විශ්ණු දෙවින්යන්ට ද බටකොල කන්නට වු වා ලූ. උදය ලක්ෂ්මන් ගේ හා මගේ කතා බොහෝ ය. ඒ සියල්ල පසුවට තබමි)

නම විද්‍යා ශිෂ්‍ය සංගමය වුව ද අප දෙදෙනා මේ සංගමයේ කළේ කලා කටයුතු ම ය.


අපි පළමුව පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සාහිත්‍ය තරගයක් පැවැත්වූයෙමු. (ශිෂ්‍යාවන්?? ඔව්... ආනන්ද ශාස්ත‍්‍රාලය පිරිමි පාසලක් වුවත් උසස් පෙළ විද්‍යා පන්ති වල පමණක් ශිෂ්‍යාවන් කීපදෙනෙකු සිටියේ විද්‍යාව උගත් අපට ලැබුණ විශේෂ වරප‍්‍රසාදයක් සේ ය)


අපේ ඊළඟ අරමුණ වූයේ සඟරාවක් මුද්‍රණය කිරීම ය.


මම පත්තර සඟරා පිස්සෙක්මි. කියවන පිස්සුව නොවේ. සංස්කරණය කිරීමේ පිස්සුව ය. යන යන තැන පත්තර සඟරා හැදීමේ පිස්සුව ය. මා මගේ පළමු පත්තරය සංස්කරණය කළේ හයේ පන්තියේ සිටියදී ය.  ඒ ගැන දිග කතාවක් තිබේ. එය පසුව කියමි.


60 දශකයේ ‘විද්වාන්’ නමින් මුද්‍රණය කර තිබූ සඟරාව පාසලේ මුල්ම මුද්‍රිත සඟරාව විය. දෙවැන්න වූ අපේ සඟරාව මම ‘මුතුහර’ ලෙස නම් කළෙමි. සොයා ගත හැකි සියලූම රාජ්‍ය ආයතන වලට ගොස් වෙළඳ දැන්වීම් එකතු කළෙමු. ඒ සඳහා අවසර දෙන ලෙස ඉල්ලා වෙළඳ අමාත්‍යාංශයට යැවූ ලිපියට පිළිතුරු එව්වේ එවකට වෙළඳ ඇමති වූ බී ඉලංගරත්න මහතා මය. එතුමා සිය අස්සනින් ම නිකුත් කළ ලිපියකින් අපට ඒ සඳහා අවසර දුන්නේ ය. (ඒ කාලයේ ඇමතිවරු එහෙම ය)  එවකට යුනියන් ප්ලේස් හි තබූ ට‍්‍රැක්ටර් සංස්ථාවට මාත් උදයත් ගියේ නා කපන වැස්සක් මැදින් ය. තෙත බරිත කුකුල් පැටවුන් දෙදෙනකු සේ ගැහෙමින් සිටි අප දෙදෙනා දෙස අනුකම්පාවෙන් බැලූ ඒ සංස්ථාවේ ප‍්‍රචාරක අශයේ ලොක්කා සම්පූර්ණ පිටුවකම දැන්වීමක් දුන් හැටි අමතක කරන්නේ කෙලෙසද?


ඉතින් කතාව කෙටියෙන් කියනවා නම්, මහත් වැර වෑයමක් දරා අපි අපූරු සඟරාවක් මුද්‍රණය කළෙමු. සඟරාව විදුහල්පති තුමාට පුදන්නට අපි තීරණය කළෙමු.

‘‘ඒකාකාරී රටාවෙන් මිදී නව මං ඔස්සේ සිතන්නට අප මෙහෙයවන විදුහල්පති තුමාට බැතියෙන් පිදෙයි’’ මේ මා ලියූ පිදීමේ පාඨයයි.


නියමිත දවසේ අපි විදුහල්පති තුමා හමු වී ඔහුට සඟරාව පුද කළෙමු. සඟරාව අතට ගෙන පිටුවක් දෙකක් පෙරළුෑ එතුමා කී වදන් මට තවමත් මතක ය.


‘‘අයිෂේ ජගත්... ලස්සන වැඩක් කළාම ඒක අපි අපිටම පුදාගෙන ඇති වැඬේ මොකක් ද..? තමුසෙලා මේක මට පුදන්නෙ නැතිව අධ්‍යාපන ඇමති තුමාට පිදුවා නම් එහෙමත් නැත්නම් අඩුම ගානෙ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට පිදුවා නම් ඒ අය ලව්වා ඉස්කෝලෙට මොකක් හරි වැඩක් කරවා ගන්න තිබුණා.. යමකට මහන්සි වුණාම ඒකෙන් උපරිම ප‍්‍රතිඵල එන විදිහට ඒක කරන්න  ඕනෙ අයිෂෙ..’’


විදුහල්පති තුමා එදා ඉගැන්නූ පාඩම මම කිසි දිනෙක අනුගමනය නොකළෙමි. අදත් අපේ පොත කුරුප්පු අංකල්ට පුදා මා ලැබූ අති මහත් සතුට වෙන කිසිදු ුද්ගලයෙකුට පුදා ලබන්නට නොහැකි බව මම සක් සුදක් සේ දනිමි. සතුට මිල කළ හැක්කේ කාට ද?

7 comments:

  1. ඒ ප්‍රතිපත්තිය ම මේ ලිපිය සඳහාත් අනුගමනය කර ඇති බව පෙනේ

    ;-)

    ReplyDelete
  2. පුදන කොටම කාපි යකා කිව්වලු.

    ReplyDelete
  3. ඔබ හරි.සතුට මිළ කල නොහැක.

    ReplyDelete
  4. සතුට හ්ම් අපේ වල් කොල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් එහෙම දැක්ක නං (මාත් ඇතුලුව) සතුට විකුනන්න තියෙයි කියන්න තිබ්බ.. හෙහ්

    මිළ කළ නොහැකි උපදෙස් නේහ්.. එක පාරයි හැමදාමයි...
    ජයවේවා

    ReplyDelete
  5. ගන්න බලාගෙන පුදන එකනේ බොහෝ විට වෙන්නේ.

    ජගත්ට පොලිසියෙන් පුදලා නැද්ද? අපි දවසක පොලිසියෙන් අම්බානක ගුටි කෑවා ඒ කාලේ සංගීත සංදර්ශනයක කචල් එකක් ගිහින්. මගේ යාලුවෙක් මිනිහගේ මාමාට උදේ කියනවා....මාමේ පිදුවා පිදිල්ලක් පොලිසියෙන් ආපහු පිදුම් එපා වෙන්න කියලා. ඇඬෙන්න හිටිය මාමාට හිනාව නවත්තගන්න බැරිවුනා. ඌට අපි කාලයක් යනකම් කතාකරේ පිදුවා පිදිල්ලක් කියලා.

    ReplyDelete
  6. පිදිය යුත්තේ සුදුස්සාව සහ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී...!!!!
    නමුත්;
    යම් හේයකින් අපට නුසුදුස්සාව පූදන්න සිදුවී,
    ඒ තුලින් සමාජයට, බහුතරයට හෝ කෝටසකට යහපත්ක්, ලාබයක් සිදුවෙනවානම් අපි මුරණ්ඩු නොවී ඒ ක්‍රමය පිළිගැනීම හොදයි.!
    මෙය කෙනෙකු මුරුංගා අත්තේ තබනවා සේද නොවීය යුතුයි...!!!

    ReplyDelete
  7. Jagath wettasingheMay 11, 2016 at 5:01 PM

    Happy to hear this story

    ReplyDelete