අප මුණ ගැසුණේ හයේ පන්තියේ දී ය. මොනයම් හේතුවක් නිසා හෝ ඔහු මගේ හිත දිනා ගත්තේය. අපි හොඳම යහළුවන් වීමු. ඔහු සිරිනිමල් ය.
මම ඒ කාලයේ ද නවකතා කෙටිකතා කවි ලියමින් සිටියෙමි. සිරිනිමල්ද ලිවීමේ දක්ෂතාවක් තිබූ ශිෂ්‍යයකු විය.
අපි වඩාත් ළං වූයේ කො/ද උඩහමුල්ල තලපත්පිටිය බෞද්ධ කණිටු විදුහලේ ළමා පුවත්පතක් පටන් ගැනීම නිසාය. මේ ගැන කලින් ලිව්වෙමි. මා හතේ පන්තියට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට ඇතුල්වීමෙන් පසුවද අපේ ඇසුර නොනැවතුණි.
මම පුරුද්දක් ලෙස ඉඳ හිට තලපත්පිටියේ දැන් ජයවර්ධනපුර රෝහල ඉදි කර ඇති ප‍්‍රදේශයේ තිබූ සිරිනිමල්ගේ නිවසට ආ ගියෙමි. වෙනෙකක් තබා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ උසස්පෙළ ගණිත පන්තියේ සිටියදී හොරෙන් හොරෙන් මා දෙස බැලූ, එසේ බලමින් සිට මා පාසල් නොගිය සතියක පිරිමි නමකින් මට ලිපියක් එවූ අපේ පාසලේ ලස්සන කෙල්ලගේ ලිපියට පිලිතුරක් යවමින් මා ලියා යැව්වේ සිරිනිමල්ගේ ලිපිනයම ය. මගේ ඉඟිය තේරුම් ගත් ඒ තරුණිය ඇගේ නියම නමින්ම ලියූ ආදර හසුන මට සුරැකිව ගෙනැත් දුන්නේද සිරිනිමල්ම ය.
තරුණ කාලයේ මගේ පෙම්වතිය දැඩි ලෙස රෝගාතුරව කොළඹ මහ රෝහලේ නවත්වා සිටි සමයේ ඇගේ පවුලේ අයට හොරා ඇය බලන්නට යාමේ වික‍්‍රමයට මට හවුල් වූයේ සිරිනිමල් ය. ඒ බලා, එහි සිට මගේ වේදනාව බෙදා ගනිමින්, පේ‍්‍රමය ගැන කතා කරමින්, විග‍්‍රහ කරමින්, නුගේ්ගොඩ දක්වා පා ගමනින් ආවේද සිරිනිමල්ය.
උසස් පෙළින් පසු සිරිනිමල් ඔහුගේ ඥාතියෙකුගේ බ්ලොක් මේකිං ආයතනයක රැුකියාවට ගියේය. අප තවත් යහලූවන් දෙදෙනකු හා සමගින් ”විද්‍යාව” පත්තරය පටන් ගත්තේ ඒ කාලයේ ය. මේ කාලයේ ඔහු ජීව විද්‍යා අංශයෙන් බාහිර උපාධිය හදාරමින් සිටියේ ය.
සිරිනිමල්ට තිබුණේ අතිශය කොමියුනිස්ට් විරෝධී දේශපාලන දැක්මකි. කොමියුනිස්ට් ක‍්‍රමය තුළ මිනිසුන්ගේ පුද්ගලික නිදහස අතිශයින් සීමා වන බවත් මිනිසුන්ගේ ජීවිත පාලකයන්ගේ අවශ්‍යතාව පරිද්දි හැසිරවෙන බවත් ඔහු තරයේ විශ්වාස කළේ ය. මොස්කව්හි ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික ශිය්‍යයන්ට ලංකාවෙන් ලැබෙන ලිපි පවා ඔවුන් අතට පත් වන්නේ ඒවා කඩා විවෘත කර කියවා බැලීමන් අනතුරුව යයි ඔහු විශ්වාස කළේ ය. ඔහුගේ සියලූම දේශපාලන තර්ක ගොඩ නැගී තිබුණේ කොමියුනිස්ට් විරෝධය ඔස්සේය. ඒ නිසාම ඔහු දැඩි ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධකාරයෙක් විය. ඒ විරෝධය තහවුරු කරන්නට ඔහු මා සමග වරු ගණන් තර්ක කළේය.
එක්තරා දෛවෝපගත දිනෙක ඔහු සිය ජීවිතය තීරණය කෙරෙන තීරණයකට එළැඹ සිටියේය. ඒ තීරණය මට කියූ දිනය මට තාම මතකය. අප කතා කරමින් සිටියේ අපේ නිවසින් පාගොඩ පාරට ගොඩවෙන තැනකය.
”හැමදාම ජේවීපී එකට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ ජගත්.. මට හිතුණා කෙළින්ම ඒ අය එක්ක කතා කරන්න..” ඔහු කීවේය.
ඒ කී ලෙසම ඔහු ඒ සතියේම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයකට ගොඩ වී එහි සිටි අයෙකුට සිය අවශ්‍යතාව කියා සාකච්ඡුාවක් ඉල්ලාගෙන තිබුණි. ඒ සාකච්ඡුාවෙන් අනතුරුව සිරිනිමල් ජනතා විමුක්ති පෙරමුණේ සුප‍්‍රකට පන්ති පහට සහභාගි විය. දේශපාලන කඳුවුරු වලට සහභාගි විය.
කුමරියක් වෙලා ඔබ සඳ දිලූණ ඒ ?යේ
මගේ සිතුවිලි ගොමුව අතර මැද සැඟවුණේ
යයි පෙම් කවි ලියූ ඔහු සිය පෙම්වතියත් කරමින් සිටි රැුකියාවත් බාහිර උපාධියත් අතහැර දමා ජවිපෙ පූර්ණකාලිකයකු විය. ඉන්පසු ජවිපෙ ඔහුගේ ජීවිතය විය.
ඔහුුට තිබුණේ තර්ක කිරීමේ අපූරු හැකියාවකි. ඉගැන්වීමේ අපූරු හැකියාවකි. සිය මතය රසවත්ව ඉදිරිපත්කිරීමේ අපූරු හැකියාවකි. ඒ සියල්ලටම වඩා සිය කාර්යයට අවංකව කැපවීමේ ගුණය අඩු නැතිව ඔහු තුළ විය. ඔහු ජවිපෙ අධ්‍යාපන අශයේ කටයුතු කළ බවක් මට දැනගන්නට ලැබුණි.
83 දී ජේආර් ගේ ආණ්ඩුව අසාධාරණ ලෙස ජවිපෙ තහනම් කරන විට ඔහු පන්නිපිටියේ පන්තියක විද්‍යාව උගන්වමින් සිටියේ ය. මම ද ඒ පන්තියේම සාමාන්‍ය පෙළ විද්‍යාවත් උසස් පෙළට ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතයත් උගන්වමින් සිටියෙමි. පක්ෂ තහනමත් සමගම සිරිනිමල් සැඟවුණේ ය. රහස් පොලිසියෙන් ඔවුන්ගේ තලපත්පිටියේ නිවසට පැන ඔහු සොයාගිය බව මට දැනගන්නට ලැබුණි. ඒ පවුලේ අය, ඒ වන විට ගොඩනැගෙමින් තිබූ රෝහල නිසා අධීක ඉල්ලූමක් තිබූ සිය දේපළ විකුණා වෙනත් ප‍්‍රදේශයක පදිංචියට ගිය බව ආරංචි විය.
සැඟව දේශපාලනය කළ සමයේ සිරිනිමල් ඉඳ හිට අපේ නිවසට ගොඩ වන්නට අමතක නොකළේ ය. බෝහෝ විට ඔහු ආවේ ”බඩගිණියි අම්මේ” යයි අපේ අම්මාට කියමින් ය. අපේ නිවසින් කෑම කන ඔහු තාත්තා සමග දේශපාලන වාද වලට පැටලෙයි. සැමට සම තැන ලැබෙන අනාගත කොමියුනිස්ට් රාජ්‍යය ගැන ඔහුගේ සිහිනය ඔහු අප ඉදිරියේ දිගහරියි.
ජවිපෙට එරෙහි මර්ධනය දැඩි වත්ම ඔහුගේ පැමිණිම අඩු විය. අවසන් වරට ඔහු ආ දවසේ ඔහු මගෙන් සපත්තු දෙකක් ඉල්ලා ගත්තේය.
”අපි ආයෙ හමුවෙයිද දන්නෙ නැහැ” අපේ නිවසේ ගේට්ටුව අසළදී ඔහු කීවේය. ඔහුගේ ඇස්වල කඳුළු තිබුණි. යමක් කියන්නට ධෛර්යයක් මට නොවීය. මම නිහඬව බලා සිටියෙමි. ඔහු ගාටමින් පාගොඩ පාර දිගේ යන හැටි මම බලා සිටියෙමි. ඒ අවසන් දැක්මයි.
එයින් මාස කීපයකට පසු මේ අපූරු හිතහොඳ අවංක තරුණයාගේ සිරුර බෙල්ලන්විල පන්සල අසළ දමා පුලූස්සා තිබුණේ යයි ආරංචි විය.
මට ඔහු වෙනුවෙන් තවමත් හඬන්නට හැකිය
සපත්තු දෙක
”තියෙනවනං වැඩිපුර
සපත්දෙකක් දීපං මට”
අඩිය ගෙවුණ සපත්තු දෙක
ගෙයි දොරකඩ එළිපත මත
ගැලවූ පසු නුඹ කී හැටි..
ගිය සුමානෙ මං අරගත්
අලූත්ම රට සපත්තු දෙක
දාගෙන නුඹ වෙන්වුණ හැටි..
පාගොඩ මහ පාර දිගේ
උකුසු රකුසු ඇස් මගහැර
බිම බලාන නුඹ ගිය හැටි..
කිසිම දිනෙක හමු නොවන්න
යන්නම යන්නට ගිය හැටි...
රට ගිනිගත් හැන්දෑවක..
බෙල්ලන්විල
වෙළ අද්දර
කුණු ගොඩ ළඟ
ගිනි ගොඩ මැද
නුඹ හිටියලූ
එක උදයක
මල් පුදන්න පන්සල් ආ
සැදැහැතියන් ඒ දුටුවලූ..
හිත් දොර ළඟ
එළිපත මත
නුඹ අතහැරි
අඩිය ගෙවුණ
සපත්තු දෙක
වද දෙනවා
තාමත් මට...
(”වියෝලය දරාගත් මිනිසා” කාව්‍ය සංග‍්‍රහය)
Raththaran mininsak..............
ReplyDeleteApage Acharaya !
People with good heart and education are gone, JVP is in honeymoon with UNP and still talking about salvation of people. What a world? Some people still voting for JVP.
Deleteහරිම සංවේදී මතකයක්.කවිපෙළ ඊටත් ඉහළයි.
ReplyDeleteහිත් දොර ළඟ
ReplyDeleteඑළිපත මත
නුඹ අතහැරි
අඩිය ගෙවුණ
සපත්තු දෙක
වද දෙනවා
තාමත් මට...
--------------------------
හරිම සංවේදී මතකයක්.කවිපෙළ ඊටත් ඉහළයි.
it's true...!!!
හඬ හඬා කියන්නට තව බොහෝ කතා තියෙනවා ජගත්. ඒවා හිත ඇතුලෙම තියාගෙන නිහඬව ඉන්නවා. රත්තරන් මිනිස්සු රාශියක් අපෙන් වෙන්කරලා දැම්මා.
ReplyDeleteඔය මිනිස්සුන්ව මරුවෙ කවරු කවරුද කියලත් නම් වශයෙන් පක්ෂ වශයෙන් මතක් කරල දෙනව නං හොඳයි අවුරදු 18 ඡන්ද අයිතිය අද ඊයේ ලැබිච්ච ළමයින්ට දැනගන්නත් එක්කම...
ReplyDelete// ඔය මිනිස්සුන්ව මරුවෙ කවරු කවරුද කියලත් නම් වශයෙන් පක්ෂ වශයෙන් මතක් කරල දෙනව නං හොඳයි අවුරදු 18 ඡන්ද අයිතිය අද ඊයේ ලැබිච්ච ළමයින්ට දැනගන්නත් එක්කම... //
ReplyDelete++++++++++++++
අද ඊයෙ ලැබිච්ච ලමයින්ට පමනක් නොව අනුර කුමාර ඩිසානායකලා ට සහ සමන්ත විද්යාරත්නලාටත් දැනගන්න
කවි පෙළට පුර්විකාව.. අගෙයි..
ReplyDeleteවියෝලය දරාගත් මිනිහා තම නිල්පැහැති ඇස් කරකවමින් මේ දැනුත් මගේ මේසය මත අත පොවන මානයේ මට විරිත්තමින් සිටින්නේ තරහකිනි.