Friday, May 13, 2016

අයියා කවියකුව සිටියේ ය

අයියා කුඩා කාලයේ හොඳ කවියකුව සිටියේ යයි මම මීට පෙර ලියූ සටහනේ සඳහන් කළා. ඒ කතාවත් මේ එක්කම ලියා අහවර කළොත් හොඳ යයි සිතනවා.


කුඩා කාලයේ සිටම අයියා ලියන්නට දක්ෂයෙක්. පහේ පන්තියේ සිටම මගේ සිංහල වාක්‍ය රචනා ඉතා ඉහළ තත්වයක තිබුණේත් සිංහල ගුරුවරුන්ගෙන් මා බොහෝ පැසසුම් ලැබුවේත්  අයියාගේ මග පෙන්වීම නිසායි.


අයියා පහේ පන්තියේද හෝ හයේ පන්තියේ සිටියදී ”ටිකිරි” පත්තරයෙන් මෙහෙයවූ කවි තරගයකින් තුන්වන තැන ලැබුවේය. ඒ තරගයේ දෙවන තැන ලැබුවේ දේ වි ගාල්ලගේ නම් ශිෂ්‍යයෙකි.


අයියා පාසල් යන යුගයේ ලියූ එක් කවක් මා ළඟ බොහෝ කාලයක් සුරැකිව තිබුණා. ඒ කව මම මගේ පළමුවන කාව්‍ය සංග‍්‍රහයෙ (සිසිරයේ පිපුණ මල) සටහන් කළා.


අසිරිමත් සිරිලක

හන්දියේ මැද තිබෙන - සම්බාර් හෝටලෙන්
විසි කරන ඉඳුල් කොල - පොදි කරන අදහසින්
කුසට ආහාරයක් - ලබමි යන අදහසින්
කුණු බාල්දිය හෙවත් - බදුරුගට වෙතට ගිය
පොඩි එකා අද ආවෙ - කනේ පාරක් කාල
මැනේජර උතුමගෙන්

සම්බාරු හෝටලේ - රේඩියෝ එකෙන් එන
කර්නාටක ගීතයේ - ගෝසාව මැද්දෙන්
එයි හඬක් කොහෙන්දෝ
සිතාරෙද ගිටාරෙද - නැතොත් මොන උලව්වද
එයට කියනා නාමෙ - නොම දනියි පොඩි එකා
මී විතක් අතින් ගත් - කඳ බඩ ඇතියවුන්
වෙසෙන මහ මැදුරේ - පිය සාදයකි අද
මස් කඩෙන් විසි කරපු - මස් ලේ වලින් තොර
කටුවකට ඉව වැටුණ - බලූ නාට්ටෙක් වගේ
(හොඳ බල්ලන් සිටින්නේ - මහ මැදුරු වල පමණි)
ඇදුනි කොලූවා ඒ දෙසට

ප‍්‍රවේසම්වනු බල්ලන්ගෙන් - (උන් සිටින්නේ මැදුරෙදෝ)
ළඟට එන විට කොලූවා - වැසුණි පියන් පත් මැදුරේ
අහෝ දම් දිවද මෙය..?


උසස් පෙළ පන්තියේ සිටි ශිෂ්‍යයකු වූ අයියා අතින් ලියැවුණ මේ කවිය සමාජය දෙස නැවත වතාවක් හැරී බලන්නට මට බල කළ අයුරු තවමත් මට මතකයි. අපි දකින සමාජයේ නොපෙනෙන පැත්ත ගැන සිතන්නට සමාජ අසාධාරණය ගැන කල්පනා කරන්නට මගේ ඇස් පෑදුවේ  මේ කුඩා කවයි.


 අයියා ඒ කාලයේම කවි ලිවීම නවත්තා නොදැමුවේ නම් අද වන විට ලංකාවේ අංක එකේ කවියකුව සිටිනු නොඅනුමානයි. කවියකු වනවාට වඩා වාහන කොම්පැණියක ඉහළ තනතුරක් දරා සිටීම හොඳ යයි අයියා සිතනවා විය හැකිය. කවියන් කලාකාරයන් යයි කියාගන්නා මිනිසුන් කරනා කියනා දේ දෙස බලන විට ඔහු නිවැරදි යයි මටත් අද සිතුණි.

6 comments:

  1. කවි ලියලා පුලුවන්ද ඕයි වාහන කොම්පැනියක ලොක්කෙකු වීම කෙසේ වෙතත් මාරුති කට්ටක් ගන්නවත්?

    ReplyDelete
    Replies
    1. මොකද බැරි මුලින්ම කවි ලියලා හොඳ නමක් හදාගන්නවා.පස්සේ බලේ ඉන්න "හොඳම" රාජ්‍ය නායක,නායිකාවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යනවා.මරුටි කාර් එකක් වෙනුවට පස්සේ කාලෙක කාර් එකක්ම වුනත් දාගන්න හැකි වේවි.

      Delete
  2. කවි ලියලා පුලුවන්ද ඕයි වාහන කොම්පැනියක ලොක්කෙකු වීම කෙසේ වෙතත් මාරුති කට්ටක් ගන්නවත්?
    ------------------------------------------------

    කතාවනම් ඇත්ත...!!!

    ඒහේත්...!!! මේහේම අපි සිතන්න ගියාම මොකක් වේයිද.!

    ReplyDelete
    Replies
    1. එය මගේ කතාවත් නොව ජේආර් ජයවර්ධන විසින් රාජ්‍ය සාහිත්‍ය උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවෙමින් කළ කතාවක වත්මන් අනුවර්තනයකි!

      Delete
  3. එදා ලියපු කවිය අදට වුව වලංගුය.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්.. පැහැදිලිවම...

      Delete