”මං කවද හරි මේ ඉඩම විකුණනවා නම් තමුසෙලාටම දෙනවා”
මාතර කතරගම පාරෙ බටඅත වෙල්යාය පහුකරනකොටම තිබුණ කාමර දෙකක මේ ගෙදර බිත්තියේ ලෙකු අකුරින් ”බටඅත බීඩි කර්මාන්තශාලාව” කියලා ඇඳලා තිබුණා. ගේ ඉස්සරහින් ”බටඅත කැලය” නමින් ප‍්‍රසිද්ධව තිබුණ මහ කැලේ.
තාත්තා රට වටේ ගිය දුෂ්කර සේවය අවසන් කරලා අපේ ගම වෙච්ච නුගේගොඩ ස්ථිර පදිංචියට නැවත ආවට පස්සෙත් අපි ඉස්කෝලෙ නිවාඩු කාලෙට බටඅත යන පුරුද්දක් තිබුණා. (මේ කාලෙ වෙනකොට බීඩි ව්‍යාපාරය නැවතිලා) කෝච්චියෙන් මාතරට ගිහින් එතන ඉඳලා බස්එකේ බටඅතට යන ගමනට අපට රසවත් එකක් වුණා. ඒ කාලෙ බටඅත ගමේ හිටිය පුංචි මිනිස්සු තාත්තට ආදරෙයි. අපි එහේ ගියාම බොහොම සාදරයෙන් පිළිගන්න හැටි තාම මතකයි.
අර පුංචි ගෙදර ඇරලා අපි සතියක් හමාරක් බටඅත නැවතිලා ඉන්නවා. විවේක සුවයෙන්. කැලේ අයිනෙන් වැටිලා තිබුණ පාරෙන් ගිහින් බටඅත වැවෙන් නානවා. එහෙමත් නැත්නම් හුංගම වැවට යනවා.
බටඅත ගමේ අය අපි බලන්න ආවාම හුංගම මං ඉපදුණ කාලෙ කතා, අපේ අක්ක බටඅත ඉඳන් පයින්ම හුංගම විජයබා විද්‍යාලයෙ හෝඩියෙ පන්තියට ගිය කතා, කතාවෙනවා.
පුරන් වෙල්යාය පටන්ගන්න තැන පුංචි තේ කඩයක් තිබුණා. මම සමහර වෙලාවට ගිනි කාස්ටකේ තියෙද්දිම වෙල හරහා මහ පාර දිගේ ඇවිදගෙන යනවා අර කඬේට ඥානකතා ගන්න. ඒ කාලෙ දැන් වගේ පියාඹන වාහන තිබුණෙ නැති නිසා පුංචි දරුවකු වුණ මගේ ඒ ගමන අවදානම් එකක් වුණේ නැහැ.
වාහන ගියේ බොහොම අඩුවෙන්. වැඩියෙන්ම ගියේ මගී ප‍්‍රවාහනයේ යෙදුණ ”ඩේරපරි” කියලා හැඳින්නුව පුංචි බස් ජාතියක්. බස් එකක් කිව්වට පුංචි ලොරියක් වගෙයි. බොඩිය ලී වලින් හදල තිබුණෙ. දෙපැත්තෙන් කවුළු. ලී බංකු. මිනිස්සු ඒ වාහනේට නැග්ගෙ පිටිපස්සෙන් කිබුණ පඩියකින්. බස් ජනසතු කරලා තිබ්බ කාලෙකත් ඒ වගේ පුද්ගලික ප‍්‍රවාහණ සේවයක් තිබුණෙ කොහෙමද කියලා අදටත් මං දන්නෙ නැහැ.
පළමු සහ අවසාන වතාවට තලප කෑවෙත් බටඅත ගමනකදිම තමයි. කුරහන් තලප කියන්නෙත් හැලප වගේ පැණි රස කෑමක් තියලයි ඒ කාලෙ මං හිතා හිටියෙ. ඒත් තාත්ත ළඟ කාලයක් වැඩ කරපු පියදාස අපට කන්න තලප හදාගෙ ආවට පස්සෙ තමයි මට තරු විසිවුණේ. මුව මස් හොද්දක පොඟවලා ගුලි පිටින් තලප ගිලින එක පුංචි අපට හුඟක් අමාරු වුණා.
තාත්ත විශ‍්‍රාම යන කාලෙ වෙනකොට බටඅත ගේ සහ ඉඩම රැකගැනීම අපට ප‍්‍රශ්නයක් වෙලා තිබුණා. සමහර අය ඒක අල්ලගන්න උත්සාහ කරන බවක් පෙණුනා. පියදාස මේ කාලෙ වෙනකොට බටඅතින් පෙළවහක් කරගෙන එහෙම පදිංචි වෙලා හිටියෙ. පියදාස අදටත් තාත්තත් අපටත් බොහොම හිතවත් කෙනෙක්. දැන් වුණත් කතරගම යනවා නම් අපි බටඅත පියදාසගෙ ගෙදරට ගොඩවලා තමයි යන්නෙ.
”මහත්තයෝ පොඩි කඩ කෑල්ලක් දාගන්න ඒ ඉඩම මට දෙන්න” කියල පියදාස ඉල්ලූවා. ඇත්තටම ඒ ඉඩම කඩ කෑල්ලකට එහෙමත් නැත්නම් රෙස්ටුරන්ට් එකකට කියාපු තැන.
”බෑ පියදාස.. මං අර මිනිස්සුන්ට පොරොන්දුවක් වෙලා තියෙනවා ඉඩම විකුණනවා නම් ඒ අයටම දෙනවා කියලා” තාත්තා කිිව්වා.
”ඒ අය අතේ ඉඩම ගන්න සල්ලි නෑ මහත්තයා” පියදාස කියනවා.
”කමක් නෑ”
තාත්තා අර මිනිස්සුන්ට පණිවුඩයක් යවනවා මුද්දර ගාස්තුව විතරක් හොයාගෙන එන්න කියලා. අවුරුදු තිහකටත් කලින් කට වචනයෙන් වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරමින් තාත්තා බටඅත ඉඩම ආපහු අර මිනිස්සුන්ටම නොමිලයේම ලියලා දෙනවා.
”ලක්ෂ ගාණක් පාඩු වුණත් වචන වෙනස් කරන්න බෑ පුතේ” තාත්ත කිව්වෙ එහෙමයි.
පසු සටහන
මේ කතාව මතකයට ආවෙ අම්මව සිහිපත් කරමින් නංගි මූණුපොතට දාල තිබුණ සේයාරුවක් දැකීමෙන්. ඒ පින්තූරෙ තාත්තගෙ අතින් කොටසක් වැහෙන්න යම් පාටක් ගාලා තියෙන බව පෙනෙනවා. පාට ගාලා ඒ කොටස වැහුවෙ අපේ මාමා - නැසීගිය චිත‍්‍රශිල්පී - සිනමා කලා අධ්‍යක්ෂක - ස්ටීවන් ගුණතිලක. එහෙම කළේ අම්මගෙ පින්තූරෙ වෙන් කරලා ගන්න. අම්මගෙ ඒ පින්තූරෙ දාලා තමයි තාත්තගෙ ”බියුටි බීඩි” පැකට් එක නිර්මාණය කරලා තිබුණෙ. ඒ කාලෙ ඩිජිටල් වැඩ තිබ්බෙ නෑනෙ. හැම කලා නිර්මාණයක්ම අතින් තමයි.
අපේ අම්මගෙ නම බියටි‍්‍රස්. ඒ නමෙන් තමයි තාත්ගෙ ව්‍යාපාර වලට යෙදුණ ”බියුටි” නම ආවෙ. බියුටි බීඩි, බියුටි පපඩම්, බියුටි ස්ටෝර්ස් කූල් ස්පොට් ඇන්ඞ් ෂූ පැලස්
රසවත් මතකයක්.. ඔය දැන් තියෙන බටඅත ෆාම් එක කිට්ටුවද?
ReplyDeleteතාත්තාගේ වචනයට ගරු කිරීමේ ගුණය ගැන නම් කියන්න වචන නෑ.. ලස්සන මතක පෙළක්..
බටඅත ෆාම් එක පහු කරනවත් එක්කම වගේ තමයි මේ පුරන් වූ වෙල් යාය තිබුණෙ.. දැන් නම් වෙලක් හොයාගන්නත් බැරි තරම්..
Deleteඒ තාත්තගෙ දරුවන් වීම ගැන ආඩම්බරයි..
ලෙදර් නිෂ්පාදන සංකීර්ණයක් පටන් ගන්න හැදුව නේද කාලෙකට ඉස්සර?
ReplyDeleteඑහෙම කතාවකුත් තිබ්බා වගේ මතකයි... :)
Deleteහරි ලස්සන මතක.වචනයක් දුන්නොත් බෙල්ල ගහලා ගියාත් එක ඒ විදියටම තියෙන්න ඕනේ කියන එක නම් ඇත්ත.
ReplyDeleteManoj - ඒ තාත්තගෙ දරුවන් වීම ගැන ආඩම්බරයි.. අපිත් ඉස්සරහට ගෙනියන්නෙ ඒ ප‍්‍රතිපත්තිම තමයි.. :)
Deleteසිපිපියා කොමන්ට් එකක් දාල නැත්තේ මොකෝ .....මොකක් හරි බැක්ස්ටබින් පාරකට සෙට් වෙනවා ඇති කල්පනාවන් ඉදපන් ලොක්කා එකට ඉදන් බෙල්ල කපන එකෙක් කියන්න ඕනේ නැනේ දන්නවනේ .......
ReplyDelete