Tuesday, November 7, 2017

ජයතිලක කම්මැල්ලවීර සූරීන්ගේ "චක‍්‍ර" කියවා ලියමි..



කම්මැල්ලවීර සූරීන්ගේ චක‍්‍ර නවකතාව නදී අපේ ගෙදරටම ගෙනැවිත් දී ගියේ පෙරේදා රැයේය. ඒ ත්‍යාගය මගේ සිතේ අපමණ සතුටක් ඇති කළ එකකි. පසුගිය දවස් දෙකේ රැ වැඩ කරන අතරේ පොත කියවා හමාර කළෙමි.


එක දිගට කියවා රස විඳින්නට හැකි චක‍්‍ර වෙනස්ම තේමාවක සිට ලියූවක් බව බැලූ බැල්මටම පෙනෙයි. පියා කවුදැයි නොදන්න දරුවකු ගේ කතාව කියන්නට කම්මැල්ලවීර මහතා පසුබිම් කරගන්නේ 1970 සිරිමා බණ්ඩාරනායකගේ රජය කාලයේ සිට හැත්තෑහතෙන් ඇරඹී වසර 17 ක් ගෙනගිය යූඑන්පී රජයේ අවසානය දක්වා කාලයයි. මේ කාලය තුළ දේශපාලනයේ මෙන්ම සමාජයේ වූ හැලහැප්පිලි සමගින් පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඇදවැටීමත් අනතුරුව බිහිවූ භීෂණ යුගයත් පිලිබඳවද ඔහු කතා කරයි. කැරලිකාරයන් අතින් තමා හදාවඩාගත් වාමාංශික නායකයා මරණයට පත්වීමෙන් පසු කතනායකයා ඔස්ටේ‍්‍රලියාවට පළා යාමත් ඉන්පසු ඔහු මුහුණ දෙන සිදුවීම් දාමයත් කම්මැල්ලවීර මහතා පාඨකයා වෙහෙස නොකරණ ශෛලියකින් ඉදිරිපත් කරයි.


කතාවේ අවසානයද අපූරුය. උතුරේ කැරලිකාරයන් අතින් සෙල්වා නම් වන ද්‍රවිඩ වාමාංශිකයා මරණයට පත්වීමත් දකුණේ කරළිකාරයන් අතින් මෙන්ඩිස් නම් වන සිංහල වාමාංශිකයා මරණයට පත්වීමත් නැවත නැවත කල්පනා කරන්නට වටිනා පසුබිමක් සකස් කරයි.



මාතලන් සිංහල චිත‍්‍රපටය තිරගතවූයේ 1955 දී ය. මදර් ඉන්ඩියා 1957 දී ය. කතානායකයා ඒ චිත‍්‍රපට දෙක නැරඹීම කතාව ගලායන කාලයට නොගැළපේ යයි මට දැනෙයි.



උතුරේ වේවා දකුණේ වේවා දේශපේ‍්‍රමී, දේශද්‍රෝහී, සමාජවාදී, ජනතාවාදී,  ,ලේබල යටතේ තොරොම්බල්වන තරුණ ජීවිත පිලිබඳව නැවත සිතන්නට පසුබිමක් "චක‍්‍ර" අපට සපයා දෙයි. විිවිධාකාර දේශපාලන උවමනාකම්වලට නැටවෙන් තරුණ පරපුර දෙස අනුකම්පාවෙන් බලන්නටත් උන් නටවන බලවේග දෙස චිවේචනාත්මක ඇසක් යොමු කරන්නටත් චක‍්‍ර අප පොළඹවන්නේ යයි මට සිතෙයි. එදා සිරිමා ගේ රජයට එරෙහිව දේශපාලනය ගැන මෙළෝ හසරක් නොදත් පාසල් ළමුන් වූ අප පාරට දක්කාගෙන ආ දේශපාලන බලවේගම අදත් පාසල් ළමුන් පාරවල දක්කන ආකාරය දකින විට චක‍්‍ර නවකතාවෙන් කතාකරන මේ දේශපාලනයේ සදාකාලික බව අපට පෙනෙයි.


පසු සටහන

ඔස්ටේ‍්‍රලියාවේ අවුරුදු 18ක් 19ක් සිංහල පත්තර කරන පත්තරකාරයකු බවට පත්ව සිටින මට අර කතානායකයාට හමුවන ඔස්ටේ‍්‍රලියාවේ පත්තරකාරයාගේ චරිතය හරහා කියවෙන සමහර කතා ගැන නම් සතුටක් ඇති නොවෙයි. ඔස්ටේ‍්‍රලියාවේ පළකෙරෙන කිසිම පත්තරයකට ඔස්ටේ‍්‍රලියා රජයෙන් සතපහක ආධාරයක් නොලැබෙන බව අවධාරණය කරන්නට කැමැත්තෙමි. නොමිලේ බෙදාදෙන මේ බොහෝ පත්තර දුවන්නේ ඒවා කරන මිනිස්සුන්ගේ ඇෙඟ් අමාරුවටය. නැත්නම් වෙනත්  ඕනෑ එපා කම් නිසා ය.

14 comments:

  1. /* දකුණේ කරළිකාරයන් අතින් මෙන්ඩිස් නම් වන සිංහල වාමාංශිකයා මරණයට පත්වීමත් නැවත නැවත කල්පනා කරන්නට */

    ඒ චරිත මරා දමන්න කලින් නවකතාකාරයා ඒ චරිත ලවා කරන්නේ මොකක්ද කියන එකයි වැදගත්.

    මං දැන් හොඳින් නිතර දුරකථනයෙන් කතාබහ කරන අඳුණන ලේඛකයෙකු අප නොහඳුනන කාලයක ලිව්වා මං හිතන විදියට ඔහුගේ මුල්ම නවකතාව.

    ඒ කතාවේ ඉන්නා 88-89 කාලයෙන් පසු ඕස්ටේ‍ර්ලියාව පළා ආ චරිතයක් තමන් ලංකාවේ දී කළ කී දේ ගැණ කිසිදු පාපෝච්ඡාරණයක් කරන්නට පෙර නවකතාකරුවා විසින් සිහිමුර්ඡා කර තබා පසුව මරා දමනවා.

    නවකතාවේ නම - අසුර අඩවිය.

    ReplyDelete
    Replies
    1. Ha Haaa.... :) ඒක ලියන කාලෙ ඒහෙම සාකච්චාවක් ඒ මනුස්සයා ලවා කරවන්න මගේ අදහසක් තිබුණෙ නැහැනෙ.. දැන් ආයෙම ලිව්වා නම් ඒක වෙනස් වෙන්න ඉඩ තිබුණා.. කාලෙන් කාලෙට අපි කල්පනා කරන විදිහ වෙනස් වෙනවා.. ලෝකය දකින විදිහ වෙනස් වෙනවා..

      Delete
  2. /* මාතලන් සිංහල චිත‍්‍රපටය තිරගතවූයේ 1955 දී ය. */

    හැබැයි ඔය චිත්‍රපටය පසුකාලවලත් තිරගත වුණා. මං නැරඹුවේ 70 දශකයේ මැද කාලේ පමණ.

    ReplyDelete
  3. /* කතානායකයාට හමුවන ඔස්ටේ‍්‍රලියාවේ පත්තරකාරයාගේ චරිතය හරහා කියවෙන සමහර කතා ගැන නම් සතුටක් ඇති නොවෙයි. */

    ජගත් මෙහෙම වෙන්නේ කෙටි කාලයක් මෙල්බර්න් වැනි තැනවල ගත කරන අය තමන් ලියන කතාවලට ඒ පරිසරය පමණක් නොව චරිත සහ තමන්ට හමුවන තමන්ගේ සිතුවිලි ද හිතාමතා ම කා වැද්දීම නිසයි.

    චන්ද්‍රසිරි දොඩංගොඩ ලියූ නවකතාවේත් ඒ වගේ තරමක් අභව්‍ය දේ යැයි දිගු කලක් ඉන්නා අයට හිතෙන දේ තිබුණා නේද? කියවන්නට වෙලාවක් නොලැබුණු සේන තෝරදෙණිය ගේ නවකතාවේත් එවැනි තැන් ඇති.

    ReplyDelete
    Replies
    1. නවකතා‍වේ එන පත්තරයක් කරන්න උත්සාහ කරන විජිත ආණ්ඩු‍වෙන් උදව්ගන්න පුළුවන් ‍වෙයි කියා කියනවා මිස එ‍සේ උදව් ලැබුණු බවක් ‍කොතැනකවත් ‍නොකිය‍වේ. එහි ‍මේ ගැන ඇති එකම ‍‍ඡේදය ‍මෙ‍සේයි.
      - ‍මේක ‍ලේසි වැඩක් ‍නො‍වෙයි. ඒක මම දන්නව. ඒත් මම උත්සාහ කරල බලනව. කලාප ‍දෙක තුනක් කර ගත්‍තොත් සමහර විට ‍මෙ‍හේ ආණ්ඩු‍වෙන් ග්‍රාන්ට් එකක් ගන්නත් පුළුවන් ‍වෙයි. ‍කොමියුනිටි ‍බේස් වැඩවලට ආධාර කරන්න ආණ්ඩුව ලෑස්තියි. ‍මේක හීනයක් ‍වෙන්නත් පුළුවන්- කම්මැල්ලවීර

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  4. /* අප පාරට දක්කාගෙන ආ දේශපාලන බලවේගම අදත් පාසල් ළමුන් පාරවල දක්කන ආකාරය දකින විට */

    පාසල් ළමුන් පාරේ සිටිනවා මං නං මෑතක දී දැක ඇත්තේ අර දිගම ඔසරි පොට විකාරයේ දී පමණයි. එයට ආණ්ඩුකාරයා සම්බන්ධ යැයි කියා තිබුණාට දේශපාලනයක් තිබුණේ නෑ නේද?

    ඒ හැර ඔබ කියන පාසල් ළමුන් පාරට ආ අවස්ථා මොනවාද ජගත්?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල පාසල් ළමුන් පාරට ගෙන ඒම නැවත පටන් අරන්..

      Delete
  5. ජයතිලක කම්මැල්ලවීරගේ පලමු පොතේ ඉඳලම මම ඔහුගේ රසිකයෙක්.//ඔස්ටේ‍්‍රලියාවේ පළකෙරෙන කිසිම පත්තරයකට ඔස්ටේ‍්‍රලියා රජයෙන් සතපහක ආධාරයක් නොලැබෙන බව අවධාරණය කරන්නට කැමැත්තෙමි. නොමිලේ බෙදාදෙන මේ බොහෝ පත්තර දුවන්නේ ඒවා කරන මිනිස්සුන්ගේ ඇෙඟ් අමාරුවටය. නැත්නම් වෙනත් ඕනෑ එපා කම් නිසා ය.//

    ReplyDelete
    Replies
    1. මමත් කම්මැල්ලවීර මහතාගේ බරපතළ රසිකයෙක්.. එතුමාගේ හැම පොතක්ම නොකඩවා කියැවූ එතුමාගේ උපදෙස් ලැබූ රසිකයෙක්...

      Delete
  6. නවකතා‍වේ එන පත්තරයක් කරන්න උත්සාහ කරන විජිත ආණ්ඩු‍වෙන් උදව්ගන්න පුළුවන් ‍වෙයි කියා කියනවා මිස එ‍සේ උදව් ලැබුණු බවක් ‍කොතැනකවත් ‍නොකිය‍වේ. එහි ‍මේ ගැන ඇති එකම ‍‍ඡේදය ‍මෙ‍සේයි.
    - ‍මේක ‍ලේසි වැඩක් ‍නො‍වෙයි. ඒක මම දන්නව. ඒත් මම උත්සාහ කරල බලනව. කලාප ‍දෙක තුනක් කර ගත්‍තොත් සමහර විට ‍මෙ‍හේ ආණ්ඩු‍වෙන් ග්‍රාන්ට් එකක් ගන්නත් පුළුවන් ‍වෙයි. ‍කොමියුනිටි ‍බේස් වැඩවලට ආධාර කරන්න ආණ්ඩුව ලෑස්තියි. ‍මේක හීනයක් ‍වෙන්නත් පුළුවන්-

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්න සමහර අය හිතනවා මේ පත්තර වලට ආණ්ඩුවෙන් ග‍්‍රාන්ට්ස් ලැබෙනවා කියලා.. මට හිතුණෙ එහෙම වැරදි මූලාශ‍්‍රයකින් කම්මැල්ලවීර මහත්තයට තොරතුරු ලැබෙන්න ඇති කියලා.. ඔව්.. කතාවෙ කියන්නෙ ග‍්‍රාන්ට්ස් ගැන බලාපොරොත්තුවක් ගැන පමණයි...

      Delete
  7. ඔහු ගේ අන් සියලුම පොත් ම ළඟ තියෙනවා. වතාවක් දුරකථනයෙන් මා ඔහු සමග ඒ පොත් ගැන කතා කළා. පසුව (දෙසැම්බර් 2015) කොළඹ පැවැත්වුණු නිරාෂ ගේ කවි පොත එළි දැක්වීමේ දී හමුවුණා.

    මේ දෙසැම්බරයේ දී චක්‍ර නවකතාවත්, එකොළහ කොටිකතා සංග්‍රහයත් මිළට ගන්න ලැබේවි.

    ReplyDelete